22-7 බොහෝ ආගන්තුක භික්ෂූන් වහන්සේලා පිළිබඳ කථා පුවත

නගරං යථා පච්චත්තං ගුත්තං සන්තරබාහිරං

එවං ගොපෙථ අත්තානං ඛණො වො මා උපච්චගා

ඛණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා.

ප්‍රත්‍යන්තයෙහි (හෙවත් රට කෙළවරැ පිහිටි) (ද්වාරප්‍රාකාරාදිය තර කිරීමෙන්) ඇතුළත හා සහිත කොට, (දොරටු අටලු පදනම් අගල් ආදිය තර කිරීමෙන්) පිටත සහිත කොට (නොහොත් ඇතුළතින් පිටතින්) සොරුන් නොවැද්ද හැකි සේ රක්නා ලද නුවරෙක් යම් සේ ද, එ පරිද්දෙන් ම ආත්මය (හෙවත් සිත) රකිවු. යම් හෙයකින් ක්‍ෂණසම්පත් ඉක්මියාහු නිරයෙහි පිහිටියෝ (නිරයෙහි උපන්නෝ) ශෝක කෙරෙත් ද, එ හෙයින් (දුෂ්ට ක්‍ෂණයෙන් මිදුනු) ක්‍ෂණසම්පත්තිය ඒකාන්තයෙන් තොප නහමක් ඉක්මේවා.

"නගරං යථාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී බොහෝ ආගන්තුක භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.

එක භික්ෂු පිරිසක් එක් ප්‍රත්‍යන්ත පෙදෙසක වස් සමාදන් වී පළමු මස සුවසේ වාසය කළහ. මධ්‍යම මාසයේ දී සොරුන් පැමිණ ඔවුන්ගේ ගොදුරු ගමට පහර දී බලහත් කාරයෙන් භාණ්ඩ රැගෙන ගියාහුය. එතැන් පටන් මනුෂ්‍යයෝ සොරුන් මර්ධනය සඳහා ඒ ප්‍රත්‍යන්ත නගරය ප්‍රතිසංස්කරනය කරන්නේ එම භික්ෂූන්ට සකසා උවටැන් කිරීමට ඉඩකඩ නොලැබුහ. ඔවුහු අපහසුවෙන් වස්කාලය අවසන් කර (පවාරණයෙන් පසු) බුදුන් දැකීමට සැවැත් නුවරට ගොස් බුදුන් වැඳ එකත් පසෙක සිටියාහුය. බුදුහු ඔවුන් සමග කරන ලද පිළිසඳර කථා ඇත්තේ කිම මහණෙනි සුවසේ විසුවෝදයි විමසා සිටිවිට ස්වාමීනි අපි පළමු මාසයේ දී සුවසේ විසිවෙමු. මධ්‍යම මාසයේදී සොරු ගමට පහර දුන්හ. එතැන් පටන් මිනිස්සු නගරය ආරක්ෂා කරන්නේ සකසා උවටැන් කිරිමට අවකාශ නොලැබුහ. මේ නිසා අපහසුවෙන් වාසය කලෙමුයි කීවිට, වැඩක් නැත මහණෙනි නොසිතමු. ඵාසු විහාරය නම් නිතර දුර්ලභයි. යම් සේ ඒ මිනිස්සු නගරය ආරක්ෂා කළෝද මෙලෙස භික්ෂූන් විසින් ආත්ම භාවය රැකීමට වටීයයි කියා මේ ගාථාව දෙසුහ.

වට කොට නුවර සුවිසල් මහ පවුරු තනා

යොදවා සෙබළු රැකවරණය යෙදුව ගෙනා

නුවරක් වගේ සුරකින, රජු රටම දිනා

රැකගනු ඔබේ සිත කය සහ වදන මනා

ප්‍රත්‍යන්ත නගරයක ඇතුලත හා පිටත ආරක්ෂ කරන ලද්දේ යම්සේ වේද? එසේ තමා රකිව්. යම් හෙයකින් මේ වටිනා මොහොත ඉක්ම ගියාහු. නරකයෙහි ඉපදී ගෝක කෙරෙන්ද එහෙයින් ඒ මොහොත ඒකාන්තයෙන් ඉක්ම නොයේවා.

එහි සන්තර බාහිර - යම් සේ මහණෙනි ඒ මිනිසුන් විසින් ඒ ප්‍රත්‍යන්ත පිටිසර නගරය දොරටු පවුරු ආදියෙන් ස්ථිර කරන්නේ දොරටු අට්ටාල දිය අගල් ආදියෙන් ස්ථිර කරන්නේ බාහිරවම ආරක්ෂා කෙරේද? මෙලෙස තොපද සිහිය පිහිටුවා ආධ්‍යාත්මික සදොර වසා දොරටු රකිනා ලෙසරකීද එසේම බාහිර ෂඩ් ආයතන ආධ්‍යත්මය නැසීම සඳහා පවතී. එසේ නොගත්තේද ස්ථිර කර ඔවුන්ට ප්‍රවේශ නොවීම සඳහා වාර වසා ඇතිවිට පහනොකොට මෙසේ තමන් රකින්නේ යන අර්ථයි. "මා උදෙසා” යමෙක් විසින් මෙසේ තමන් ආරක්ෂා නොකරයිද, එම පුද්ගලයා බුද්ධ උත්පාද කාලයේ මජ්ඣිම දේශයේ ඉපිද ඒ මොහොතේ සම්‍යක් දුෂ්ටිය ලැබ ෂඩ් ආයතන නො අඩුව මේ සියළු ලක්‍ෂණ ලැබ උදාවු මේ යහපත් පරිපුණ්ණ මොහොත ඉක්මවයි. තෙපි ඒ පරිපුර්ණ මොහොත නොඉක්මවා ඛණාතීතා - යම් කිසිවකු විසින් ඒ උසස් මොහොත ඉක්මවන ලද්දේ නම්, ඔහු නිරයේ ඉපදී සෝකයට පත්වේ යන අර්ථයි.

දේශනාවසානයේ එම භික්ෂුහු උපන් සංවේග ඇතිව රහත් භාවයේ පිහිටියාහුය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.