කාසාවකණ්ඨා බහවො පාපධම්මා අසඤ්ඤතා
පාපා පාපෙහි කම්මෙහි නිරයං තෙ උපපජ්ජරෙ.
කසාවතින් වෙළන ලද ග්‍රීවා ඇති (හෙවත් දසරුවෙහි ලූ කසා කඩ ඇති) ලාමක ස්වභාවය ඇති (මහණ පිළිවෙතැ නොයෙදුනු) කායවාක් සංයම රහිත පුද්ගලයෝ බොහෝ වූහ. ඒ පාප පුද්ගලයෝ (තමන්ගේ) පව් කම්වලින් (මරණින් මතු) නිරයට යන්නාහ.
"කාසාව කණ්ඨා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩසිටියදී දුශ්චරිත නිසා දුශ්චරිතවල ප්‍රතිඵල වසයෙන් පෙළුන සත්ත්වයන් නිමිති කරගෙන දේශනාකළහ.
ආයුෂ්මත් මහමුගලන් තෙරුන් විසින් ලක්‍ෂණ තෙරුන් සමග ගිජුකුළු පව්වෙන් බසිනවිට අට්ඨි සංබලික ප්‍රේත ආදීන්ගේ ආත්මභාව දැක සිනා පහල කරන්නේ ලක්ඛණ තෙරුන් විසින් සිනා පහළ කිරීමට හේතු විමසුමෙන් ඇවැත්නි මේ සුදුසු කාලය නොවේ. බුදුන් හමුවේ මගෙන් මේ පිළිබඳව විමසන්නැයි කීය. ලක්ඛණ තෙරුන් ද එය සිත තබාගෙන තථාගතයන් ඉදිරියේදී තෙරුගෙන් විචාරණ ලද්දේ. ඇවැත්නි මම ගිජුකුළු පව්වෙන් බසද්දී තුන් සිවුරු පාත්‍රා ගිනි ගෙන දිලිසෙන්නාවු ඇටසැකිලි පමණකින් යුත් භික්ෂු භික්ෂුණී ලෙසින් පැවිදි ප්‍රේතයන් දුටිමියි. සහධර්මික ලක්ඛණ තෙරුන්ට දැනුම් දුන්නේය. ශාස්තෲන් වහන්සේ මෙහිදී කාශ්‍යප බුද්ධ කාලයේදී පැවිදිව, පැවිද්ද අනුරූපව පුරන්නට නොහැකි වුවන්ගේ ආත්ම භාවය පවසා, ඒ අවස්ථාවේ එතැන සිටියවුන්ට බොහෝ දුශ්චරිත කර්ම විපාක දක්වමින් මේ ගාථාව පැවසුහ.
පොරවා ඇතත් සිය සිරුරෙහි කසාවත
පාපී ගතිය ඇත. සංයම ගතිය නැත
නොතකා හරිතහොත් සිය පැවිදි පිළිවෙත
මතුදින අපායෙහි දුක් විඳතැවෙනු ඇත.
කසාවතින් ගෙළ වෙළා ගත්, මහණ පිළිවෙත්හි නොයෙදෙන, සංයමක් නැති බොහෝ පුද්ගලයෝ වෙති. ඒ පාපි පුද්ගලයෝ, සිය පව් කම් හේතුවෙන් නරකයෙහිම උපදිති.
එහි කසාව කණ්ඨ යනු කසාවතකින් වෙලන ලද ගෙල ඇත්තෝයි. පාප ධම්මාති - ලාමක වූ ධර්මයෝ, අසඤ්ඤතාති කායාදී සංවර රහිත - පාපී පුද්ගලයෝය. තමන් විසින් කළ අකුශල කර්මයෙන් ඔවුන් නරකයේ උපදිති ඔවුන් එහි පැසී, ඉන් චුතවුවෝ විපාක වශයෙන් ප්‍රේත යෝනියේද මෙලෙස විපාක විඳී යන අර්ථය දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පැමිණියහ.