සෙය්‍යො අයොගුළො භුත්තො තත්තො අග්ගිසිඛූපමො
යඤ්චෙ භුඤ්ජෙය්‍ය දුස්සීලො රට්ඨපිණ්ඩං අසඤ්ඤතො.
සිල් නැති, කාය වාක් සංයම නැති පුද්ගල තෙම (රටවැස්සන්) සැදැහැයෙන් දුන් අහර (‘මමත් මහණෙකිමි’ යි පිළින කොට) වළඳන්නේ ය යන යමක් ඇද්ද, එයට වඩා දිලියුණු ගිනිසුලක් බඳු වූ යවට වළඳන ලද්දේ උතුමි.
"සෙය්‍යා අයෝගුලො” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ විශාලාවේ මහාවනයේ වැඩසිටියදී "වග්ගුමුදා” නදී තීරයේ භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.
කථා පුවත "උත්තරි මනුස්ස ධම්ම පාරාජිකාවේ” ආ ලෙසට ය. එදින බුදුන් එම භික්ෂූන්ට මහණෙනි තෙපි උදර පෝෂණය සඳහා ගිහියන්ට ඔවුනොවුන්ගේ උතුරු මිනිස් දම් (මහගු ලොව්තුරා දහම්) ගුණ පවසව් ද? කියා ඔවුන් විසින් එසේය ස්වාමීනියි පැවසුවිට බුදුහු නොයෙක් ආකාරයෙන් ගර්හා කොට මේ ගාථාව පැවසුහ.
දුසිලෙකුව සිටිමි න්
සිව්පසයෙ රසවිඳිමි න්
ඉන්නෙපා අදමි න්
සිටිනු රත් ලෝ ගුලිම ගිලිමි න්
සීල සංයමයක් නැති දුශ්ශීලයා රට වැසියන් විසින් සැදැහැයෙන් දෙනු ලබන සිව් පසය වළදනවාට වඩා ගිනි ගුළියක් සේ රත්වුණු ලෝහ ගිලීම යහපති.
එහි යංවෙ භුඤ්ජය්‍ය - යනු යම් දුසිල් පුද්ගලයෙක් කාය ආදීයෙන් හෝ අසංවර වුයේ රට වැසියන් විසින් ශ්‍රද්ධාවෙන් දෙනලද ආහාරය යයි අගවා ගෙන අනුභව කරයිද, එයට වඩා ගිනිගත් යගුලියක් ගිලීම ශ්‍රේෂ්ඨය සුන්දරය කුමක්නිසාද එයින් එකම ආත්මභාවයකදී විපාක ලැබේ දුශිල තැනැත්තේ සැදැහැවතුන්ගේ සිව්පස පරිභෝග කර ජාති දස දහස් ගණන් නිරයේ පැසෙන්නේය යන අර්ථයි. දේශනය අවසන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵල ආදියට පත්වුහ.