2-8 අටවන එක්තරා භික්ෂුවකගේ වස්තුවයි.

අප්පමාදරතො භික්ඛු පමාදෙ භය දස්සි වා

සංයොජනං අණුං ථූලං ඩහං අග්ගීව ගච්ඡති.

නොපමාබව්හි ඇලුනු, පමායෙහි බිය දක්නා සුලු, මහණ තෙම(උද්ධාමභාගිය වශයෙන්) කුඩා වූ ද, (ඕරම්භාගිය වශයෙන්) මහත් වූ ද, සංයෝජන සියල්ල ලැව්ගින්නක් සෙයින් (රහත්මග නුවණ ගින්නෙන්) දවමින් යන්නේ ය.

අප්පමාදරතො භික්ඛු ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන කාලයෙහි එක්තරා භික්ෂුවක් අරභයා දේශනා කරන ලදි. ඒ භික්ෂුව බුදුරදුන් හමුවෙහි රහත්බව දක්වා කමටහන් අසාගෙන වනයට ගොස් යත්නදරා වෑයම් කළ නමුත් රහත් වීමට නොහැකි විය. හෙතෙම විශේෂයෙන් අවුල් හැරගෙන කමටහන් කියවා ගනිමියි වනයෙන් නික්මී බුදුරදුන් හමුවට එන අතරමග මහත්සේ නැගුණු ලැව්ගින්නක් දැක වේගයෙන් දුවගොස් ගස්කොළන් නැති මුඩු පර්වතයකට නැග දැවෙන කැලය දෙස බලා එහි අරමුණ සිතට නගා ගත්තේය.

ඒ මෙසේය. මේ ගින්න මහත්වූත් කුඩාවූත් ගස්කොළන් ආදි සියල්ල දවමින් යයි. මෙසේ ආර්යමාර්ගඥාන ගින්නෙනුත් සන්තානගත, ලොකු කුඩා සංයොජනයන් දවමින් යායුතු වන්නේය. බුදුරජාණන්වහන්සේ ගඳකිළියෙහි වැඩ හිඳිමින්ම ඒ භික්ෂුවගේ සිත්හසර දැනගෙන මහණ එහෙමමයි, එහෙමමයි. කැලයේ ලොකුකුඩා ගස්කොළන් මෙන් මේ සත්වයන්ගේ අභ්‍යන්තරයෙහි උපදින්නා වූ ලොකුකුඩා සංයෝජන (කාමාදිය) ඒ අර්හත්මාර්ගඥාන ගින්නෙන් දවා නැවත ඉපදීමට ඉඩ නොදියයුතුයයි වදාරා ආලෝකයක් විහිදුවා තමන්වහන්සේ ඒ භික්ෂුව ඉදිරිපිට සිටින්නාක්සේ පෙන්වා මේ ගාථාව වදාළසේක.

නොපමා බවෙහි ඇළී

පමාවෙහි බිය දකින මහණ තෙම

ලොකු කුඩා සංයෝජනයන්

ගින්නෙන් මෙන් දවා ඉදිරියට යයි

එහි අප්පමාදරතො යනු අප්‍ර‍මාදයෙහි ඇළුණු, අතිශයින් ඇළී සිටින, අප්‍ර‍මාදයෙන්ම කාලය ගත කරන යන අර්ථයයි. පමාදෙ භයදස්සි වා යනු අපායෙහි ඉපදීම් ආදියෙහිදී ප්‍ර‍මාදයෙහි බිය දකින්නේ, ඒ සියල්ලෙහිම මුලවූ ප්‍ර‍මාදය බියක් හැටියට දකිමින්. සංයොජනං යනු සංසාර පැවැත්මට හේතුවන කාමාදි සංයෝජන හෙවත් බන්ධන සත්වයන් සසරෙහි ගිල්වා තැබීමට සමත් දශවිධ සංයෝජනයෝය. අණුං ථූලං යනු කුඩාවූද මහත්වූද යන අරුත්ය. ඩහං අග්ගීව ගච්ඡති යනු යම් මේ ලැව්ගින්න මහත්වූද කුඩාවූද සියලු ගස්වැල් දවමින් ඉදිරියට යයිද, එපරිද්දෙන් මේ අප්‍ර‍මාද ප්‍ර‍තිපදාවෙහි නියැළුණු භික්ෂුව අප්‍ර‍මාදයෙන්ම පැමිණි අර්හත්මාර්ගඥාන නමැති ගින්නෙන් සන්තානගත සියලු කාමාදි සංයෝජන දවමින් නැවත ඉපදීමට නොහැකි වනසේ කරමින් ඉදිරියටයයි යන අදහසයි.

ගාථා කෙළවර ඒ භික්ෂුව හිටිහැටියේම සියලු සංයෝජනයන් දවා සිවුපිළිසිඹියාපත් රහත්බවට පැමිණ අහසින් අවුත් බුදුරදුන්ගේ රන්වන් සිරුරට ස්තුති කොට, වර්ණනා කොට වඳිමින්ම ගියේය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.