අප්පමාදරතො භික්ඛු පමාදෙ භයදස්සි වා
අභබ්බො පරිහාණාය නිබ්බාණස්සෙව සන්තිකෙ.
නොපමාබව්හි ඇලුනු, පමායෙහි බිය දක්නා සුලු මහණ තෙම (ශමථ විදර්‍ශනා කෙරෙත් හෝ මර්‍ගඵලාධිගමය කෙරෙන් හෝ) පිරිහීමට අයෝග්‍ය ය. හේ නිවන වෙතැම වෙයි.
අප්පමාදරතො ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩවසන සමයෙහි නිගමතිස්ස නම් තෙරුන් අරභයා දේශනා කළසේක.
සැවැත්නුවර සමීපයෙහි එක් නියම්ගමක ඉපදී වැඩුණු එක් කුලපුත්‍රයෙන් බුදුසසුනෙහි පැවිදිවී උපසම්පදාවද ලබා, අල්පේච්ඡව ලද දෙයින් සතුටුව සතුටින්, විවේකීව, පටන්ගත් වීර්යයෙන් යුක්තව නිගමතිස්ස තෙරුන් යයි හඳුන්වනු ලබමින් සිටියේය. ඒ භික්ෂුව නිබඳවම සියනෑපිරිස වෙතම පිඬුසිඟා ගියේය. අනේපිඬුසිටු ආදීහු මහාදන් පවත්වද්දීත්, පසේනදිකෝසල ආදීන් අසදෘශ මහාදන් දෙද්දීත් උන්වහන්සේ සැවතට නොවඩිත් යයි සෙසු භික්ෂූහු කථාවක් උපදවා බුදුරදුන්ට ඒ බව දැන්වූහ. ශාස්තෘන්වහන්සේ ඒ භික්ෂුව කැඳවා, සැබෑද මහණ ඔබ මේ කියන ලෙස කරන්නෙහිදැයි අසා, නැත ස්වාමීනි, මගේ ඤාතිසංසර්ගයක් නැත. මම මේ මිනිසුන් නිසා, මට වැළඳීමට ප්‍රමාණවත් ආහාර ලබමි. එය කටුක වුවත් ප්‍රණීත වුවත් යැපීමට ප්‍රමාණවත් ලෙස ලැබුණු පසු නැවත ආහාර සෙවීමක් අනවශ්‍ය හෙයින් නොයමි. ඤාතීන් සමග මගේ අමුතු සංසර්ගයක් නැතැයි කී කල ශාස්තෘන් වහන්සේ ඒ භික්ෂුවගේ අදහස දන්නාසේක් මහණ, ඉතා මැනවි, මහණ ඉතා මැනවි යයි ඔහුට සාධුකාර දී, මහණ, මා වැනි ආචාර්යවරයකු ලැබූ ඔබගේ මේ ක්‍රියාව (අල්පේච්ඡ බව) පුදුමයක් නොවේ. මේ අල්පේච්ඡ බව මගේ බුද්ධ වචනයයි, මගේ ප්‍රවේණියයි වදාරා භික්ෂූන් විසින් ඉල්ලා සිටි පසු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර හිමවත ගංතෙරකවූ එක් දිඹුල්වනයක නොයෙක් දහස් ගණන් ගිරව් වාසය කළහ. ඔවුනතර එක් ගිරාරජෙක් තමන් වාසය කළ ගසේ ගෙඩි අවසන් වූ පසු යමක් ඉතිරිවී නම් අත්තක් හෝ කොළයක් හෝ පොත්තක් හෝ වේවා එය කා ගඟෙන් වතුර බී අතිශයින්ම අල්පේච්ඡ සන්තුෂ්ටියට පත්ව වෙනත් ගසකට නොයයි. ඔහුගේ අල්පේච්ඡ සන්තුෂ්ට ගුණය නිසා ශක්‍රභවනය කම්පා විය. ශක්‍රයා එය සොයා බලන්නේ ඒ ගිරාරජුගේ ක්‍රියාව දැක ඔහු විමසා බලනු පිණිස තමන්ගේ ආනුභාවයෙන් ඒ ගස වියළවා දැමුවේය. ගස කණුවක් බවට පත් වී තැනින් තැන ලොකු කුඩා සිදුරු ඇති වී වාතය හමන විට ගසට තට්ටු කරන්නාක් වැනි ශබ්දයක් නිකුත් විය. ඒ සිදුරුවලින් කුඩු වැගුරුණේය. ගිරාරජු ඒ කුඩු කා ගඟෙන් වතුර බී වෙන ගසකට නොගොස් අව්වැසි නොතකා දිඹුල්කණුව උඩම සිටියේය. ශක්‍රයා ඔහුගේ පරම අල්පේච්ඡභාවය දැන මිත්‍රධර්මගුණය කියා දී මොහුට වරයක් දී දිඹුල් අමාඵල බවට පත්කොට එන්නෙමියි එක් හංසරාජ වෙසක් ගෙන සුජා නම් අසුර කන්‍යාව පෙරටු කොට ගෙන දිඹුල්වනයට ගොස් ළඟම වූ එක් ගසක අත්තක හිඳගෙන ඔහු සමග කථා කරමින් මේ ගාථාව කීවේය.
නිල්වන් කොළ හා ගෙඩි ඇති
නන්වන් ගස් ඇති නමුත්
දිරාපු කොවුලකට වෙලා
ගිරාරජුනි ඇයි ඉන්නේ.
සම්පූර්ණ ජාතකකතාව දසකනිපාතයෙහි ආ ක්‍රමයෙන් විස්තර කළ යුතුය. නිදානකථාව එහිත් මෙහිත් වෙනස්ය. සෙස්ස සමානය. ශාස්තෘන් වහන්සේ මේ දේශනාව ගෙනහැර දක්වා එකල ශක්‍රයා නම් ආනන්දය, ගිරාරජ වූයේ මම ම යයි වදාරා, මහණෙනි මේ අල්පේච්ඡතාව මගේ දහමයි, මගේ ප්‍රවේණියයි. මාගේ පුත්‍ර නිගමතිස්ස මා වැනි ගුරුවරයකු ලබා අල්පේච්ඡ වීම පුදුමයක් නොවෙයි. භික්ෂූන් විසින් නිගමතිස්ස මෙන් අල්පේච්ඡ විය යුතුයි. මහණෙනි, මෙබඳු භික්‍ෂුව සමථවිපස්සනාභාවනා ධර්මයන්හිත් මාර්ගඵලවලත් පිරිහීමට පත්නොවන්නේය. අනිත් අතට ඔහු නිවන ළඟම යයි වදාරා මේ ගාථාවද දෙසූසේක.
නොපමාවෙහි ඇළුණු පමාවෙහි බිය දක්නා
මහණ ඉන් නොපිරිහේ ඔහු නිවන ළඟම වේ.
එහි අභබ්බො පරිභාණාය යනු මෙබදු භික්ෂුව සමථ විදර්ශනා දහම්හි හෝ මගඵලදහම්හි හෝ පිරිහීමට සුදුස්සෙක් නොවේ. පැමිණියයුතු දහම්වලින් නොපිරිහී නොපැමිණ නොසිටියි යනු අර්ථයි. නිබ්බාණස්සෙව සන්තිකෙ යනු ඒ භික්ෂුව ක්ලෙශ පරිනිර්වාණය (කෙලෙස් නැසීම) මෙන්ම අනුපාදාපරිනිර්වාණය (කයින් නොඉපදෙන සේ පිරිනිවීම) යන නිවන සමීපයටම පැමිණියෙකි.
ගාථා කෙළවර නිගමතිස්ස තෙරණුවෝ පටිසම්භිදා සහිත රහත්බවට පැමිණියහ. තවත් බොහෝ අය සෝවාන් ආදි මගඵලවලට පැමිණියහ. මහජනයාට එම දේශනාව මහත්ඵලදායි විය.
අප්‍රමාදවර්ග වර්ණනාව නිමයි.
දෙවන වර්ගයයි