2-7 සත්වන මහාලිප්‍ර‍ශ්න වස්තුවයි.

අප්පමාදෙන මඝවා දෙවානං සෙට්ඨතං ගතො

අප්පමාදං පසංසන්ති පමාදො ගරහිතො සදා.

සක්දෙව් තෙම මාඝමාණවක කාලයෙහි පුරුදු කළ අප්‍රමාද හේතුයෙන් (දෙව්ලොවැ) දෙවියනට උතුම් බවට (රජ බවට) පැමිණියේ ය. (එහෙයින්) (බුද්ධාදි පණ්ඩිතයෝ) නොපමාබව පසසත්. පමාබව වනාහි හැම කල්හි ම (බුද්ධාදීන් විසින්) ගරහන ලද්දේ ය.

අප්පමාදෙන මඝවා යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේසාලිය සමීපයෙහි කූටාගාරශාලාවේ වැඩවාසය කරන සමයෙහි සක්දෙව්රජුන් අරභයා වදාළසේක. වේසාලියේ මහාලි නම් ලිච්ඡවියෙක් විය. හෙතෙම තථාගතයන්වහන්සේගේ සක්කපඤ්හසූත්‍රාන්තදේශනාව අසා බුදුරජාණන් වහන්සේ ශක්‍ර‍යාගේ සම්පත් මහත්කොට දේශනාකරනසේක. මෙය උන්වහන්සේ ඇසින් දැක කියනසේක්ද, නැතහොත් නොදැකද? මෙය ශක්‍ර‍යා දන්නේද, නැතහොත් නොද්නනේද? ඔහුගෙන් මෙය අසන්නෙමියි සිතුවේය.

ඉන්පසු මහාලි ලිච්ඡවිතෙමේ බුදුරදුන් සිටි තැනට ගොස් වැඳ එකත්පසෙක හිඳගත්තේය. එසේ සිටි මහාලි ලිච්ඡවි බුදුරදුන්ට මෙසේ කීවේය. භාග්‍යවතුන්වහන්ස, ඔබවහන්සේ සක්දෙව්රජ දුටුසේක්ද?

මහාලි මම සක්දෙව්රජ දැක්කෙමි. ස්වාමීනි, ඒකාන්තයෙන්ම ඒ ශක්‍ර‍ප්‍ර‍තිරූපකයක් විය හැකිය. ස්වාමීනි, ශක්‍ර‍යා දැකීම අතිශයින් දුෂ්කරය. මහාලි මම ශක්‍ර‍යාත් දනිමි, ශක්‍ර‍බවට පත්වීමට අවශ්‍ය කරුණුත් හොඳින් දනිමි. යම්කිසි ධර්ම සමූහයක් සමාදන්වීම නිසා ශක්‍ර‍යා ශක්‍ර‍ බවට පැමිණියේ ද, ඒ ධර්මත් මම දනිමි. මහාලිය, ශක්‍රදේවේන්ද්‍රතෙම පෙර මඝමානව නමින් මිනිසෙක්ව සිටියේය. එහෙයින්ම ඔහුට මඝ යයි ද කියයි. මහාලිය, සක්දෙව්රජතෙම පෙර මිනිසෙක්ව නගරයක් පාසා දන් දුන්නේය. එහෙයින් ඔහුට ‘පුරින්දද’ යයිද කියයි. මහාලිය, සක්දෙව්රජ පෙර මිනිසෙක්ව සකසා දන් දුන්නේය. එහෙයින් ඔහුට ‘ශක්‍ර’‍යයිද කියයි. මහාලිය, සක්දෙව්රජ පෙර මිනිසෙක්ව ආවාස සාදා දුන්නේය. එහෙයින් ඔහුට ‘වාසව’ යයිද කියයි. මහාලිය, සක්දෙව්රජ පෙර දහසක් අර්ථ එක්මොහොතකින් සිතුවේය. එහෙයින් ඔහුට ‘සහස්සක්ඛ’ යයිද කියයි. මහාලිය, ශක්‍ර‍දිව්‍යරාජයාට සුජාතා නම් අසුරකන්‍යාවක් භාර්යාව විය. එනිසා ඔහුට ‘සුජම්පති’ යයිද කියයි. මහාලිය, සක්දෙව්රජ තාවතිංස දෙවියන්ට වඩා ඉසුරුබර ආධිපත්‍යයක් ඇති රාජ්‍යය පාලනය කෙළේය. එහෙයින් ඔහුට ‘දේවානමින්ද’ යයිද කියය. මහාලිය, පෙර මිනිසෙක්ව සිටි සක්දෙව් රජ සප්තව්‍ර‍තපදයක් (ව්‍ර‍ත හතක්) පුරා සමාදන්වී සිටියේය. ඒ සප්තව්‍ර‍තපද සමාදන්ව පිරූහෙයින් ඔහු ශක්‍ර‍බවට පැමිණියේය. ඒ සප්තව්‍ර‍තපදයෝ නම් කවරහුද? දිවිඇතිතාක් මවුපියන් පෝෂණය කරමි. දිවි ඇති තාක් කුලදෙටුවන් පුදමි. දිවි ඇති තාක් මෘදු තෙපුල් ඇත්තෙක් වෙමි. දිවිහිමියෙන් කේලාම් නොකියමි. දිවිහිමියෙන් පහකර දැමූ මසුරුමල ඇති සිතින් ත්‍යාගවන්තව, දිමෙන් පිරිසිදු අත්ඇතිව, පරිත්‍යාගශීලීව, ඉල්ලීමට සුදුස්සෙක්ව, දන්දීම් සංවිධානයෙහි යෙදෙමින් ගිහිගෙයි වසන්නෙමි. දිවි ඇතිතාක් ක්‍රෝධ නොකරන්නෙමි. යම් ලෙසකින් මගේ සිතේ ක්‍රෝධයක් ඉපදුණොත් වහාම එය දුරුකර හරින්නෙමි. මහාලිය, පෙර මිනිසෙක්ව සිටි ශක්‍රදේවේන්ද්‍ර‍යා විසින් මේ සප්තව්‍ර‍තපද සමාදන්ව සම්පූර්ණ කරන ලද්දේය. මේ ව්‍ර‍ත සමාදන් වූ හෙයින් ඔහු ශක්‍ර‍භාවයට පත්වූයේය.

මවුපියන් සුරකින කුලදෙටුවන්ට සලකන

පිය තෙපුල් උසුරුවන කේලමක් කිසිවිටක නොකියන

මසුරුමල දුරු කර සැබෑබස් නිති බණන

ක්‍රෝධ සිත් බැහැරලා දැහැමි ගුණයන් පුරන

පිනැතියන් තව්තිසා දෙවියෝද හොඳ සිතින්

සත්පුරුෂයෙකියි මොහු බුහුමනින් ගුණ කියති

මහාලිය, මඝමානවක කාලයෙහි මේ ශක්‍ර‍යා විසින් කරන ලද කටයුතු යයි වදාළ කල්හි නැවත ඔහු විසින් ඔහුගේ ප්‍ර‍තිපත්තිවල කෙසේ පිහිටියේදැයි විස්තර වශයෙන් දැනගනු කැමතිව අසා සිටි මහාලිට, එසේ නම් අසාගනුවයි අතීත කතාව ගෙන හැර දැක්වූහ.

අතීතයෙහි මගධරට මචල නම් ගම මඝ නම් මානවකයෙක් ගමේ වැඩ කරන තැනකට ගොස් තමන් සිටි තැන පයින් පස් විසුරුවා එතැන රමණීය කොට සිටියේය. තව එකෙක් ඔහුට අතින් පහර දී එතැනින් එළවා ඔහු එතැන සිටගත්තේය. මඝමානවක ඔහු කෙරෙහි ක්‍රෝධ නොකොට වෙනත් තැනක් රමණීය කොට ගෙන සිටියේය. එතැනදීද වෙනත් එකෙක් ඔහුට අතින් පහරදී එලවා දමා එතැන සිට ගත්තේය. මඝමානවක ඔහු සමඟත් නොකිපී වෙනත් තැනක් රමණීය කොටගෙන සිටියේය. මෙසේ ගෙවල්වලින් පිටත්ව ආ මිනිස්සු අතින් පහර දී ඔහු පිරිසිදු කළ තැන්වලින් එලවා දැමූහ.

එවිට මේ සියලු දෙනා සැපවත් වූවාහු. මේ කර්මාන්තයෙන් මා විසින් පින්කමක් කරන ලද්දෙමි යයි සිතූ මඝමානවක දෙවෙනි දිනයේ උදැල්ලක්ද රැගෙන ගොස් කලවිටක් (කමතක්) පමණ තැනක් පිරිසිදු කොට රමණීය බවට පත් කෙළේය. සෙසු සියල්ලෝ ගොස් එහි සිටියෝය.

පසුව ශීතසෘතුවේදී ගිනිදල්වා දුන්නේය. එය කාටත් ප්‍රියමනාප තැනක් විය. මෙතැන් පටන් මා මංමාවත් පාදමින් යායුතු යයි සිතූ ඔහු උදෑසනම ගෙයින් නික්මී පාර සමතලා කරන විට කපා ඉවත් කළයුතු ගස් අතු ඉවත් කරයි. තවත් එකෙක් මෙයදැක යහළුව මේ කුමක් කරන්නෙහිදැයි ඇසීය. මේ මගේ ස්වර්ගගාමී මාර්ගය යයි කීය. එසේනම් මමත් ඔබට සහාය වන්නෙම්ද, යහළුව සහාය වන්න. ස්වර්ගය සියල්ලන්ටම ප්‍රියමනාප යයි කියා එතැන් පටන් දෙදෙනාම එකතුවූහ.

ඒ දෙදෙනා දැක තොරතුරු අසා දැන තවත් එකෙක් ඔවුනට එකතු විය. මෙසේ එකිනෙකා එක්වී සියල්ලෝ තිස්තුන්දෙනෙක් වූහ. ඒ සියලුදෙනා උදලු ආදිය රැගෙන මාර්ගය සමකරමින් යොදුනක් දෙකක් ඉදිරියට යති. මෙ දුටු ගම්මුලාදැනියා, මේ මිනිස්සු අකටයුත්තක යෙදුණාහු වෙති. මොවුහු කැලයෙන් මත්ස්‍යමාංශාදිය ගෙන එත් නම් සුරා සාදාබොන්නාහු නම් වෙනත් එබඳු දේ කෙරෙත් නම් මටත් මොන මොනවා හෝ ලැබන්නේ යයි සිතීය. ඉන්පසු ඔවුන් කැඳවා තෙපි කුමක් කරමින් ඇවිදුණාහුදැයි ඇසීය. ස්වාමීනි, අපි ස්වර්ගමාර්ගය සාදන්නෙමු. ගිහිගෙයි වසන අය මෙසේ කටයුතු නොකළ යුතුයි. කැලයෙන් මත්ස්‍යමාංශ ගෙනඒම සුරාවර්‍ග සාදා පානය කිරීම ආදි නානාප්‍ර‍කාර කර්මාන්ත කළ යුතුයි. ඔවුහු වදන් ප්‍ර‍තික්ෂේප කළහ. යළියළිත් කී නමුදු ප්‍ර‍තික්ෂේපම කළාහුය.

ගම්මුලාදැනියා කිපී මොවුන් විනාශකර දමන්නෙමියි සිතා, රජුන් ළඟට ගොස් දේවයන් වහන්ස, සොරකල්ලියක් ඇවිදිනවා දුටිමියි කී විට එසේ නම් ඔවුන් අල්වාගෙන එවයි රජු අණ කළ කල්හි ඔහු එසේ කෙළේය. රජු විමසීමක් නොකරම ඇතුන් ලවා පාගවා විනාශ කරනුයි අණ දුන්නේය.

මඝමානවක සෙස්සන් අමතා, හොඳින් තබාගන්නා මෛත්‍රිය හැර වෙන අපට සහායකයෙක් නැත. තෙපි කිසි විටෙකත් කෝප නොකර රජුත් ගම්මුලාදැනියාත්, පාගන ඇතුනුත් තමනුත් ගැන සමසිත් ඇතිකරගෙන මෙත් සිතම ඇති කර ගනිව්යයි අවවාද දුන්නේය. සෙස්සෝ එසේ කළහ. මෛත්‍රියේ ආනුභාවයෙන් ඇතුන්ට ඔවුන් ළගටවත් ඒමට නොහැකි විය. රජු ඒ පුවත අසා, බොහෝ දෙනෙක් ඇති නිසා ඇත්තු ඔවුන් පාගා දමන්ට ශක්තිමත් නොවෙතියි පැදුරකින් මුවහ කරවා (වසා) පාගවව්යි කීවේය. ඔවුහු පැදුරකින් වසා පෑගවීම පිණිස යැවූ ඇතා දුර සිටම නික්මී ආපසු ආවේය. රජු එපුවත අසා මෙහි කිසියම් කරුණක් විය යුතුයයි ඔවුන් කැඳවා මෙසේ විචාළේය. දරුවනි මා නිසා ඔබලාට නොලැබෙන්නේ මොනවාද? දේවයන් වහන්ස, එසේ අසන්නේ ඇයි? නුඹලා කල්ලියක්වී, සොරුන් බවට පත්වී වනයේ හැසිරෙන්නේ ඇයිද? දේවයන් වහන්ස, එසේ කීවේ කවුද? දරුවනි, ගම්මුලාදැනියායි. දේවයන්වහන්ස, අපි හොරු නොවෙමු. අපි තමන්ගේ ස්වර්ගමාර්ගය පිරිසිදු කරමින් මේ මේ දේ කරන්නෙමු. ගම්මුලාදැනියා අප පව්කම්වල යොදවා, ඔහු කියන දේ නොකරන නිසා, අප වනසා දැමීමට මෙසේ කියන්ට ඇතියි කීවාහුය.

දරුවනි, මේ තිරිසනා නුඹලාගේ ගුණය දනියි. මම මිනිසකුවීත් එය දැනගත නොහැකිවීමි. මට සමාකරව්. මෙසේ කිවා දූදරුවන් සහිත ග්‍රාමභොජකයා දාසයන් හැටියටත් නැග යනු පිණිස ඇතාත් දී ඒ ගම ඔවුන් කැමති පරිදි ප්‍රයෝජනයට ගතහැකි කොට පවරා දුන්නේය.

ඔවුහු මෙලොවදීම අප විසින් කරන ලද පිනෙහි ආනිසංස දැක්කෙමු යයි බොහෝ සෙයින්ම ප්‍ර‍සාදයට පත් සිත්ඇත්තන්ව ඒ ඇතා පිට මාරුවෙන් මාරුවට නැගෙමින් යන ගමන් මෙසේ කථා කළහ. දැන් අප විසින් කිසියම් විශේෂ පින්කමක් කළ යුතුය. කුමක් කරමුද? සිවුමංසන්ධියේ ස්ථිරව පවත්නා ලෙස මහාජනයා උදෙසා විශ්‍රාමශාලාවක් කරමු. ඔවුහු වඩුවකු ගෙන්වාගෙන ශාලාව ගොඩ නැගූහ. වනිතාවන්ගේ විවිධ කල්පනා ඇති හෙයින් ඒ ශාලාවෙහි වැඩ කිරීම සඳහා වනිතාවන්ට හවුල් වීමට ඉඩ නොදුන්හ.

මඝමානවකයාගේ ගෙදර නන්දා-චිත්‍රා-සුධර්මා යන නම් ඇති අඹුවෝ තිදෙනෙක් වෙති. එයින් සුධර්මා වඩුවා සමග එකතු වී සහෝදරය, මේ ශාලාවෙහි මා ප්‍ර‍ධාන බවට පත් කරන්නැයි කියා අල්ලස් දුන්නාය. හෙතෙම මැනවැයි පිළිගෙන ප්‍ර‍ථමයෙන්ම කැණිමඩල සඳහා ගසක් කපා වියළවා සැස විද කැණිමඩල නිමවා එහි සුධර්මශාලාව යයි අකුරු කොටා රෙද්දකින් ඔතා තැබීය. ඉන්පසු ශාලාවේ වැඩ නිමවා කැණිමඩල නංවන දිනයේ, අනේ, අනේ, එක් දෙයක් අමතක කෙළෙමුයයි කීය. පින්වත, ඒ කුමක්ද? කැණිමඩලයි, මම එය ගෙනෙන්නෙමි. දැන් කැපූ ගසකින් එය කරන්ට බැරිය. කලින් කැපූ ගසකින් තනා ඇති කැණිමඩලක් ලබා ගත යුතුය. දැන් කුමක් කරමුද? ඉදින් කාගේ හෝ ගෙයක නිමවා තැබූ විකිණීමට ඇති කණ්ණිකාවක් ඇද්දැයි සෙවිය යුතුයි. ඔවුහු එකතුව සොයන්නාහු සුධර්මාගේ ගෙදර ඇති බව දැන මිල දහසක් ගෙවාත් ලබාගත නොහැකි විය. ඉදින් මාත් ශාලාවේ හවුල් කාරියක කරන්නහු නම් දෙමියි කීකල අපි මීට මාගමුන්ට හවුලක් නොදෙන්නෙමුයි කීහ.

ඉන්පසු වඩුවා මෙසේ කීවේය. ආර්යයෙනි, නුඹලා කුමක් කරන්නහුද? බඹලොව හැර මාගමුන් රහිත අන් තැනක් නම් නැත. මේ කණ්ණිකාව ගනිමු. එවිට අපේ කර්මාන්තයත් නිමාවට යයි. ඔවුහු යහපතැයි කණ්ණිකාව ගෙන ශාලාව නිමවා එය තුනකට බෙදූහ. එක් කොටසක් ඉසුරුමතුන්ගේ වාසස්ථානය වශයෙන්ද, එකක් දුප්පතුන්ටද, එකක් ගිලනුන්ටද වශයෙනි. තිස්තුන්දෙනා පුවරු තෙතිසක් තබා ඇතාට ඒ පිළිබඳ දැනීමක්ද ලබා දුන්හ. ආගන්තුකයෙක් අවුත් යමකු විසින් තබන ලද පුවරුයෙහි හිඳගත්තොත් ඒ පුවරුව රැගෙන පුවරුව හිමියාගේම ගෙදර පිහිටුවයි කියාය.

ඉන්පසු ඒ ආගන්තුකයාගේ ඇපඋපකාර පුවරු හිමියාටම භාර වන්නේය. ඇතාද ආගිය අයගේ පුවරු එය හිමියාගේ ගෙදරට ගෙන යයි. පුවරු හිමියා ඒ ආගන්තුකයාට ඒ දවසේ කළයුතු සියලු ඇපඋපකාර කරයි. මඝමානවක ශාලාව සමීපයෙහි එක් කොබෝලීල ගසක් රෝපණය කොට ඒ ගසමුල ගල්පුවරුවක් තැබීය. ශාලාවට ආ අය කැණිමඩල දෙස බලා එහි ඇති අකුරු කියවා මේ ශාලාව සුධර්මා නම් වෙයි යනුවෙන් කියති. තෙතිස් දෙනාගේ නම් නොකියවෙයි. ප්‍ර‍කට නොවෙයි.

නන්දා නම් භාර්යාව මෙසේ සිතුවාය. මොවුහු ශාලාව කරන අතර අප එහි ඊට හවුල් කර නොගත්හ. සුධර්මා තම බුද්ධිය නිසා කැණිමඩලක් ලබා දී හවුල් වූවාය. මාත් යමක් කළ යුතු යයිද කුමක් කරන්නෙම්දැයිද සිතුවාය. ඈට මෙබඳු අදහසක් ඇතිවිය. මේ ශාලාවට ආවවුන්ට බිමට ජලයත් නෑමට ජලයත් අවශ්‍ය වේ. පොකුණක් කරවන්නෙම් නම් ඉතා මැනවි. මේ ඒ අදහසයි. ඈ පොකුණක් කැණවුවාය.

චිත්‍රානම් බිරිය මෙසේ සිතුවාය. සුධර්මා මේ ශාලාවට කැණිමඩලක් දුන්නාය. නන්දා පොකුණක් කරවූවාය. මාත් යමක් කළ යුතුය. කුමක් කරන්නෙම්දැයි සිතන්නී ඈට මෙබඳු අදහසක් ඇති විය. ශාලාවට පැමිණි අය වතුර බී නා යන කල මල් පැළඳ යා යුතුය. මම ඒ සඳහා මල්උයනක් කරවන්නෙමියි ඉතාමත් රමණීය මල්උයනක් කරවූවාය. ඒ උයන තුළ බොහෝ සෙයින් අසවල් නම් මල් නොපිපෙන අසවල් නම් ගෙඩි නොපලගන්නා ගසක් නැත්තේයයි කීමට බැරි විය. සුජාතා මෙසේ සිතුවාය. මම මඝ මානවකගේ මාමාගේ දුවය. එසේම භාර්යාවද වෙමි. මොහු කළ දේ මටත් සමය, මා කරන දේ මොහුටත් සමයයි සිතා කිසිම අමුතු දෙයක් නොකොට තම සිරුරම අලංකාර කරමින් කාලය ගත කළාය. මඝ තෙමේත්, මවුපිය උපස්ථාන, කුලදෙටුවන් පිදීම, සත්‍යවචන, මෘදුතෙපුල් කේලාම් නොකීම, මසුරුමල හැර දැමීම, ක්‍රෝධ නොකිරීම යන සප්තවතපද සපුරා,

මවුපියන් සුරකින කුලදෙටුවන්ට සලකන

පිය තෙපුල් උසුරුවන කේලමක් නොම කියන

මසුරුමල දුරුකරන සැබෑබස් නිති බණන

ක්‍රෝධ සිත් බැහැර ලා දැහැමි ගුණයන් පුරන

පිනැතියන් තව්තිසා දෙවියෝද හොඳ සිතින

සත්පුරුෂයෙකියි මොහු බුදුමනින් ගුණ කියති

මෙසේ ප්‍ර‍ශංසනීය බවට පැමිණ දිවි කෙළවර තව්තිසා භවනයෙහි සක්දෙව්රජව උපන්නේය. ඔහුගේ සහායකයෝ ද එහිම උපන්හ. වඩුවා විශ්වකර්ම දිව්‍යපුත්‍ර‍ව උපන්නේය. එකල තව්තිසා භවනයෙහි අසුරයෝ වාසය කළහ. ඔවුහු අභිනව දිව්‍යපුත්‍රයෙක් උපන්නේයයි අසා දිව්‍යමය පානවර්ග පිළියෙල කළහ. ශක්‍ර‍යා, තම පිරිසේ කිසිවකුවත් නොබොන ලෙස සංඥා කෙළේය. අසුරයෝ බී මත්වූහ. ශක්‍ර‍යා මොවුන් සමග එකතුව රාජ්‍යය කරන්නේ ඇයිදැයි පිරිසට සංඥා කොට අසුරයන් පයින් අල්වා මහ මුහුදට විසිකරවූයේය. ඔවුහු හිස් පහතට හැරී මුහුදෙහි වැටුණාහ.

ඉන්පසු ඔවුන්ගේ පින්බලයෙන් මහමෙර පාමුල අසුර නම් විමානයක් පහළ විය. සිත්පළොල් ගසක්ද පහළ විය. දේව අසුරයන් අතර වූ යුද්ධයෙන් අසුරයන් පරාජිතවූ පසු දේවනගර නම් වූ තව්තිසාව යොදුන් ලක්ෂයක් පමණ විශාල විය. එහි පෙරදිග හා අපරදිග අතර ප්‍ර‍මාණය යොදුන් ලක්‍ෂයකි. දකුණු උතුරු දොරටු අතරද එපමණ ම විය. ඒ නගරයෙහි දොරටු දහසකි. මල්වතු හා පොකුණුවලින් සමන්විතය. එහි මැදශාලාවෙහි ඔවුන්ගේ අනුහසින් තුන්යොදුනක් පමණ උස ඇති ධජවලින් යුතු විය. සත්යොදුනක් පමණ උස වෛජයන්ත නම් ප්‍රාසාදයකි. රන්ලීඅග මැණික් ධජද, මැණික්ලීඅග රන්ධජද, පබළුධජද, මුතුලීඅග පබළුධජද, සත්රුවන්ලීඅග සත්රුවන්ධජද වශයෙන් ශාලාව අවට ඔවුන්ගේ අනුහසින් යොදුන් සියයක් උස ප්‍රාසාදය සත්රුවනින්ම නිමවිය.

කොබෝලීල රුකක් රෝපණය කළ පිනේ මහිමයෙන් හාත්පස යොදුන් සියයකින් වටවූ පරසතුමදාරාගසක් ඇතිවිය. ගල්පුවරුවක් පිහිටුවීමේ අනුහසින් පරසතුමදාරා රුක්මුල දිගින් සැට යොදුනක්ද, පළලින් පනස් යොදුනක්ද, ඝනත්වයෙන් පසළොස් යොදුනක්ද බඳුවදමල් පැහැඇති පාණ්ඩුකම්බල ශෛලාසනයද පහළ විය. එහි හිඳගත් කල කයින් භාගයක් පමණ යටට එරී යයි. නැගිටි විට එය උඩට අවුත් සම්පූර්ණ වෙයි.

ඇතා ඓරාවණ නම් දිව්‍යපුත්‍රයෙක්ව උපන්නේය. දෙව්ලොව තිරිසනුන් නොවන හෙයින්, හෙතෙම උයන් කෙළියට යන කල සිය අත්බව හැර යොදුන් එක්සියපණසක් පමණවූ ඓරාවණ නම් ඇතෙක් වෙයි. ඔහු තෙතිස්දෙනාට තෙතිසක්කුඹු මවාගනී. ඒවා දිගින් ගවුසියයක් පමණ වෙයි. සියලු කුඹු මැද ශක්‍ර‍යා සඳහා සුදර්ශන නම් තිස්යොදුන් පමණ කුඹක් මැවෙයි. ඒ මතුපිට දොළොස් යොදුනක් පමණවූ සත්රුවන්මය යොදුනක් උස ධජ එසවයි. ධජ කෙළවර කිංකිණිදැල් එල්බෙයි. ඒවා මදසුළඟ වැදී පංචාංගිකතුර්ය ශබ්ද හා මිශ්‍ර‍ව දිව්‍යමය සංගීත ශබ්ද මෙන් හඬ නිකුත් කෙරෙයි. මණ්ඩපය මැද ශක්‍ර‍යා සඳහා යොදුනක් පමණ වූ මාණික්‍යමය පළඟක් පණවා තිබේ. ශක්‍ර‍යා එහි හිඳගනී. තෙතිස් කුඹුවලින් එක් කුඹක දළ සතක් බැගින් මැවෙයි. එයින් එකක් පනස් යොදුන බැගින් දිගය. ඒ එක් එක් දළයක පොකුණු සත බැගින් වෙයි. හැම පොකුණකම නෙළුම්ගස් සත බැගින් වෙයි. ඒ ගසක් පාසා මල් සත බැගිනි. එක් එක් මලකට පත්‍ර‍ සත බැගින් වේ. ඒ එක් එක් පත්‍ර‍යක දෙව්දූන් සත්දෙනෙක් නටති. මෙසේ හාත්පස පණස්යොදුනක් පමණ තැන ඇත්දළ උඩම නෘත්‍ය සමජ්ජ පැවැත්වේ. ශක්‍ර‍යා මෙසේ මහත්වූ සැපසම්පත් අනුභව කෙළේය.

සුධර්මාද කළුරිය කොට ගොස් එහිම උපන්නීය. ඈට සුධර්මා නමින් නවයොදුන් පමණ වූ දිව්‍ය සභාවක් විය. ඊට වඩා රමණීයකර වෙනත් තැනක් නම් නැත. මාසයේ අට දිනක් දහම් ඇසීම එහිම සිදුවිය. අද පවා රමණීය තැනක් දුටු විට හරියට සුධර්මා නම් දිව්‍ය සභාව මෙනැයි කියති. නන්දාද කළුරිය කොට ඒ දෙව්ලොවම උපන්නීය. ඈට පස්යොදුන් පමණ වූ නන්දා නම් පොකුණක් විය. චිත්‍රාද කළුරිය කොට ගොස් ඒ දෙව්ලොවම උපන්නීය. ඈට ද යොදුන් පන්සීයක් පමණ වූ චිත්‍ර‍ලතාවන නමින් තැනක් පහළ විය. ඉපදීමට පූර්වනිමිති සොයන දෙවිවරු එහි පමුණුවා මෝහයෙන් හැසිරෙත්. සුජාතාව කළුරිය කොට එක්කඳුරැලියක කෙකිණියකව උපන්නීය.

ශක්‍ර‍යා තමන්ගේ අඹුවන් ගැන සලකා බලන විට, සුධර්මා මෙහිම උපන්නාය. නන්දා චිත්‍රා යන අයද එසේමය. සුජාතා කොහි උපන්නීදැයි බලන්නේ ඈ උපන් තැන දැක මේ බාලතැනැත්තිය කිසි පින්කමක් නොකර තිරිසන් යෝනියක උපන්නීය. දැන් හෝ පිනක් කරවා මෙහි ගෙන ඒම සුදුසු යයි සිතා සිය අත්බැව හැර දමා වෙනත් වෙසකින් ඈ සමීපයට ගොස්, කුමක් කරන්ට මෙහි ඇවිදින්නේදැයි ඇසීය. ස්වාමීනි, ඔබ කවරෙක්ද? මම ඔබේ සැමියා වූ මඝ යයි කීවේය. ස්වාමීනි, ඔබ උපන්නේ කොහිද? මම තව්තිසාවේ උපනිමි. තිගේ සහායිකාවන් උපන් තැන දන්නෙහිදැයි විචාළ කල නොදනිමියි කීවාය. ඔවුහුද මා සමීපයෙහිම උපන්නාහුය. ඔවුන් දකිනු කැමතිද, ස්වාමීනි, මම කෙසේ එහි යන්නෙම්ද, ශක්‍ර‍යා මම ඔබ එහි ගෙන යන්නෙමියි කියා කෙකිණිය අතින් ගෙන දෙව්ලොවට ගොස් නන්දාගේ පොකුණ ළඟ අතහැර දමා අනිත් තිදෙනාට දන්වා යැවීය. ඔබලාගේ සහායිකා සුජාතා දකිනු කැමැත්තහුද? දේවයන් වහන්ස, ඈ කොහිද? නන්දා පොකුණු තීරයෙහිය. ඒ තිදෙනාම ගොස් අහෝ, ආර්යාව, මෙයද ආත්මභාවය සැරසීමේ ඵලය? දැන් මැගේ හොට බලව. පා බලව. කෙණ්ඩා බලව. මැගේ ආත්මභාවය හොබීද යනුවෙන් කෙළිකවටකම් කොට ගියාහුය. ඉන්පසු ශක්‍ර‍යා ඈ ළඟට විත් ඔබේ සහායිකාවන් දුටුවේදැයි ඇසූ විට දුටිමි ස්වාමීනි, ඔවුහු මට අවමන් කොට ගියාහයි කීවාය. ස්වාමීනි, මා සිටි තැනටම ගෙන යන්නැයි කී කල්හි ඈ එහිම ගෙන ගොස් දියටදමා තී ඔවුන්ගේ සැප සම්පත් දැක්කාදැයි විචාළේය.

ස්වාමීනි, දිටිමි, ඔබත් එහි ඉපදීම පිණිස කිසියම් උපායක් කළ යුතු යයි කීවේය. ස්වාමීනි, මා කුමක් කරම්ද? මා දෙන අවවාද පිළිපදින්නෙහිද? එසේය පිළිපදින්නෙමි දේවයන් වහන්ස. ඉන්පසු ඈට පන්සිල් දී නොපමාව සිල් රකින්නැයි කියා ගියේය.

ඕතොමෝ එතැන් පටන් මියගිය මාලුවන්ම සොයා කයි. ශක්‍ර‍යා කීපදිනකින් ඈ විමසනු පිණිස එහිගොස් වැල්ල මතුපිට මළ මසකු මෙන් වී සිටියේය. ඈ ඒ දැක මළමසෙකි යන හැඟීමෙන් ඩැහැගත්තාය. මාලුවා ගිලින වේලාවෙහි නගුට සෙලවීය. ඈ මෙහි ජීවී මසෙකියි සිතා වතුරෙහි දැමුවාය. හෙතෙම ටිකක් දුර ගොස් නැවතත් ඇගේ ඉදිරියෙහි අඩුකුරුව පෙරළී සිටියේය. නැවත ඈ මළ මසකු යයි සිතා ඌ රැගෙන ගිලින කල්හි නගුටු අග සෙලවීය. ඒ දැක මේ ජීවී මසෙකියි සිතා මුදා හැරියාය. මෙසේ තෙවරක්ම විමසා මැනවින් සිල් රකින්නීයයි තමන් හඳුන්වා මම තී විමසනු පිණිස ආවෙමි. තී මැනවින් සිල් රකින්නෙහිය. මෙසේ සිල් රැකීමෙන් නොබොහෝ කලකින්ම මා සමීපයෙහි උපදින්නෙහිය, නොපමා වනු යයි කියා ගියේය.

ඈ එතැන් පටන් ඇතැම් විට තමාම මළමසුන් ලබයි. ඇතැම් විට නොලබයි. මෙසේ කීපදිනකින්ම වියළීගොස් කළුරිය කොට ඒ සීලයේ ඵල වශයෙන් බරණැස කුඹලාගේ දුවණියකව උපන්නීය. ඇගේ දොළොස් වැනි පසළොස් වැනි වයස් කාලයෙහි, ශක්‍රතෙමේ ඈ කොහි උපන්නීදැයි විමසා බලා ඈ සිටි තැන දැක දැන් මා එහි යායුතුයයි සිතා කැකිරිගෙඩි මෙන් පෙනෙන සේ සප්තරත්නයන්ගෙන් ගුළි තනා රථ පුරවාගෙන දක්කාගෙන අවුත් බරණැසට පිවිස කැකිරි ගනුවයි කෑගසමින් වීථියට පැමිණියේය. මුං මෑ ආදිය රැගෙන ආ අය ඇසූ විට මිලට නොදෙමියි කීවට දෙන්නේ කෙසේදැයි ඇසූ කල සිල්රකින ස්ත්‍රියකට දෙමියි කීය.

ස්වාමීනි, සීලය කෙබඳුද? කළුපාටද නැතහොත් නිල්පාටදැයි ඇසූහ. තෙපි සීලය කෙබඳුද යන්නවත් නොදන්නහුය. ඉතින් සිල් රකින්නේ කෙසේද, කෙසේ වුවත් සිල් රකින්නියකට දෙමියි කීය. හිමියනි මේ කුඹලාගේ දුව සිල් රකිමියි කියමින් ඇවිදිය. ඈ දෙවයි කී විට, ඈ ද එසේ නම් හිමියනි මට දෙවයි ඉල්ලුවාය. තී කවර තැනැත්තියකදැයි ඇසීය. මම පන්සිල් අත්නොහළ එකියක්මියයි පැවසූ කල, මේ සියල්ල මම ඔබටම ගෙනාවෙමියි ගැල් පදවා ඇගේ ගෙට ගොස්, අන්‍යයෙකුට ගත නොහැකි කොට කැකිරි මෙන් පෙනෙන දෙවියන් විසින් දුන් ධනය දී තමන් හඳුන්වා දී මේ ඔබේ ජීවිකාවෘත්තිය ධනයයි, පන්සිල් නොකඩ කොට රකුවයි කියා ගියේය.

ඈ ද එයින් චුතව ගොස් අසුරභවනයෙහි ප්‍ර‍ධාන අසුරයාගේ දුව වී ශක්‍ර‍යාගේ හතුරාගේ ගෙදර උපන්නාය. ආත්මභාව දෙකක් සිල්රැකි නිසා රන්වන් වූ අසාධාරණ රූසපුවකින් හෙබි අභිරූපිකාවක් වූවාය.

වේපචිත්ති අසුරිඳු ආ ආ අසුරයන්ට තෙපි මගේ දුවණියට සුදුස්සෝ නොවෙත් යයි කියයි. ඈ කිසිවකුටත් පාවා නොදී මගේ දුව තමාම තමන්ට සුදුසු ස්වාමියකු තෝරා ගන්නීයයි අසුරහමුදාව රැස් කරවා ඔබට සුදුසු සැමියකු තෝරා ගන්නැයි ඇගේ අතට මාලාදාමයක් දුන්නේය. එකෙණෙහි සක්දෙව්රජ ඈ උපන් තැන සොයා බලන්නේ එහි සදුවන දේ දැන දැන් මා ගොස් ඈ ගෙනආයුතුයයි මහලු අසුරවෙසක් මවාගෙන ගොස් පිරිස් කෙළවර සිටියේය. ඈ ඔබ මොබ බලා පෙර සහවාසය නිසා උපන් ප්‍රේමයෙන් මහාමේඝයක් එක් අතකට වැටුණාසේ වී මේ මාගේ සැමියායයි ඔහු මත මාලාදාමය දැමීය.

අසුරයෝ අපේ රජතුමා මෙතෙක් කල් දුවට සුදුස්සකු නොලැබ සිට දැන් ලැබුණේය. මොහු නම් දුවණියක් මුත්තාටත් වඩා මහල්ලෙක. එනිසා සුදුසුයයි ලජ්ජාවෙන් ඉවත ගියහ. ශක්‍ර‍යාත් ඈ අතින් ගෙන මම ශක්‍ර‍යායි කෑගසා අහසට පැනනැංගේය. අසුරයෝ, මේ මහලු ශක්‍ර‍යා විසින් අප රවටනලදැයි ඔහු ලුහුබැන්දාහ. මාතලී දිව්‍යපුත්‍ර‍සහායකයා වෛජයන්ත රථය ගෙනවුත් අතරමග සිටියේය. ශක්‍ර‍යා ඈ ඒ මත නංවාගෙන දිව්‍යනගරාභිමුඛව ගියේය. සිම්බලී වනයට ඔහු සැපත් කල්හි රියහඬ ඇසූ ගුරුළුපැටව් කෑගසන්නට වූහ. ඔවුන්ගේ හඬ ඇසූ ශක්‍ර‍යා, මේ හඬන්නේ කවුරුන්දැයි මාතලීගෙන් ඇසීය. දේවයිනි, ඒ ගුරුළුපෝතකයෝයයි හෝ කීය. කුමක් නිසා හඬත් ද? රථශබ්දයෙන් මරණ භයින් භීතව හඬතියි ඔහු කීය. එක් අයකු නිසා මෙපමණ පිරිසක් රියවේගයෙන් මිරිකී නොනැසේවා. රථය නවත්වන්නැයි කීය. ඔහු සෛන්ධවයන් දහසට කෙවිටි සංඥාව දී රථය නැවැත්වීය.

ඒ දුටු අසුරයෝ මහලු ශක්‍ර‍යා අසුරපුරයෙන් පලා යන්නේ දැන් රථය නැවැත්වීය. ඒකාන්තයෙන් මොහු සුරයන්ගේ උදව් ලැබීයයි නැවතී ආමගින්ම අසුර පුරයට පිවිසී නැවත හිස ඔසවා නොබැලූහ. ශක්‍ර‍යාද සුජාඅසුර කන්‍යාව දේවනගරයට ගෙන ගොස් අඩුතුන්කෙළක් දෙවඟනන්ට නායක ස්ථානයෙහි තැබීය. ඈ ශක්‍ර‍යාගෙන් වරයක් ඉල්ලුවාය. මහරජතුමනි, මට මේ දිව්‍යලෝකයෙහි මවුපියන් හෝ සොහොයුරු සොහොයුරියන් හෝ නැත. යම් තැනක ඔබ යන්නේ නම් ඒ හැම තැනටම මාද රැගෙන ගිය මැනවි යනු ඒ වරයයි. ඔහු ද මැනවැයි ඈට ප්‍ර‍තිඥා දුන්නේය.

ඉන්පසු අසුරභවනයෙහි චිත්‍ර‍පාටලීමල් පිපෙන්ට වූ නිසා, අපගේ දිව්‍යමය මදාරාගස මල් පිපෙන කලැ අසුරයෝ සටනට නික්මෙති. ශක්‍ර‍යාද මුහුද යටින් නාගයන් ආරක්ෂාව සඳහා යෙදුවේය. ඉන් උඩ ගුරුළන් කුම්භාණ්ඩයන් යක්ෂයන් හා එයිනුත් උඩ සතරවරම් දෙවියන්ද දේවනගරයෙහි සියලු දොරටුවල වජ්‍රායුධය අතින්ගත් ශක්‍ර‍ප්‍ර‍තිමාද කරවීය. අසුරයෝ නාගාදීන් සිඳ දමා පැමිණි නමුත් ශක්‍ර‍ප්‍ර‍තිමා දැක ශක්‍ර‍යා එන්නේයයි පලායත්.

මහාලිය, මඝමානවක මේ අයුරින් අප්‍ර‍මාද ප්‍ර‍තිපදාවට පැමිණියේය. මෙසේ අප්‍ර‍මාදයෙන් මොහු මෙවන් ඉසුරුමත් බවට පැමිණ දෙව්ලොව රාජ්‍යය කෙළේය. මේ අප්‍ර‍මාදය වූකලි බුද්ධාදීන් විසින් ප්‍ර‍ශස්තය. අප්‍ර‍මාදය නිසා සියලු ලෞකික ලෝකෝත්තර විශේෂ අධිගමය (පැමිණීම) වන්නේයයි මේ ගාථාවද වදාළහ.

මඝ නම් මානවක නොපමාව වැඩ කරමින්

දෙවියන් අතර දෙටු වී මහසත් සැපතක් ලද්දේ

නොපමාව පැසසුමකි පමාබව ගැරහුමට ලක් වේ

එහි අප්පමාදෙන යනු මචලග්‍රාමයෙහි බිම්පෙදෙස් පවිත්‍ර‍කිරීම් ආදි වශයෙන් කරන ලද අප්‍ර‍මාදයයි. මඝවා යනු දැන් මඝවා යනුවෙන් හැඳින්වෙන මඝමානවක තෙමේ දෙව්ලොවට රජු බැවින් දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පැමිණියේය. පසංසන්ති යනු බුද්ධාදි නුවණැත්තෝ අප්‍ර‍මාදයම ස්තුති මුඛයෙන් කථා කෙරෙත්, වර්ණනය කෙරෙත්, කිනම් කරුණක් නිසාද? සියලු ලෞකික ලෝකෝත්තර විශේෂ අවබෝධයන්ට එය කරුණු වන හෙයිනි. පමාදො ගරහිතො සදා යනු ප්‍ර‍මාදය වනාහි ඒ ආර්යයන් විසින් නිරන්තරයෙන් ම ගර්හාවට නින්දාවට භාජනය කරන ලදහ. කුමක් නිසාද? එය සියලු විපත්වලට මුල්වන හෙයිනි. පහත් මිනිසත්කමක් හෝ අපායක ඉපදීමක් වැනි සියල්ල ප්‍ර‍මාදය මුල්කොටම සිදුවේ.

ගාථා කෙළවර මහාලි ලිච්ඡවි සෝවාන් ඵලයෙහි පිහිටියේය. පැමිණි පිරිසද සෝවාන්ආදී තත්ත්වවලට පැමිණියාහ.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.