2-6 සවන පමා නොපමා යහළු භික්ෂූන්දෙනමගේ වස්තුවයි.

අප්පමත්තො පමත්තෙසු සුත්තෙසු බහුජාගරො

අබලස්සං’ව සීඝස්සො හිත්‍වා යාති සුමෙධසො.

පමා වූවන් අතුරෙහි නොපමා වූ, (කෙලෙස් නින්දෙන්) නිදන සතුන් අතුරෙහි (කෙලෙස් නිදි නැති හෙයින්) බොහෝ පිබිද සිටින, සොඳුරු නුවණ ඇති රහත් තෙමේ කොර පා ඇති ජවහීන දුබල අසකු හැර පියා යන සීඝ්‍ර ජව ඇති සෛන්‍ධව අසකු මෙන්, පමා වූ සතුන් (ආගමාධිගම දෙකින් ම) පසු කොට පියා (සසරින් නික්ම) නිවන් පුරට යන්නේ ය.

අප්පමත්තො පමත්තෙසු යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩ වාසය කරන සමයෙහි යහලු භික්ෂු දෙනමක් අරභයා දේශනා කළසේක.

ඒ භික්ෂූහු බුදුන්ගේ කමටහන් ගෙන ආරණ්‍යවාසයට ගියහ. එයින් එක් භික්ෂුනමක් කල් ඇතුවම දර ගෙනවුත් අඟුරුකබල සාදා ළදරු සාමණේරයන් සමග කථා කරමින් ප්‍ර‍ථම යාමය ගිනි තපියි. එක් භික්ෂුනමක් නොපමාව මහණදම් පුරමින් අනිත් භික්ෂුවට ඇවැත්නි, ඔය ලෙස නොකරන්න. පමාවන අයට සතරඅපාය තමන් වසන ගෙය මෙන් ළඟය. බුදුවරුනම් කපටිකමින් සතුටු කරවන්ට නුපුළුවනැයි අවවාද දෙයි. ඒ භික්ෂුව අනිත් භික්ෂුවගේ අවවාද නොඅසයි. අනිත් භික්ෂුව මොහු වචනයෙන් හික්මවිය හැක්කෙක් නොවේයයි ඔහුට කිසිවක් නොකියා අප්‍ර‍මාදීව මහණදම් පිරීය.

අලස භික්ෂුව ප්‍ර‍ථමයාමයෙහි ගිනි තැපීමෙන් කල්ගෙවා අනිත් භික්ෂුව සක්මන් කොට නිදන ගැබට ආ කල්හි මහාකුසීතය, වැටී නිදාගැනීමට අරණ්‍යයට ආවෙහිද, බුදුන් හමුවේ කමටහන් ගෙන ආ නිසා නැගිට මහණදම් පිරීම නොවටීද? ආදිය කියා තමා වසනතැනට ගොස් වැද හොවී. අනිත් භික්ෂුව විශ්‍රාම ගෙන පශ්චිම යාමයෙහි නැගිට මහණදම් කෙරෙයි. ඒ භික්ෂුනම මෙසේ අප්‍ර‍මාදීව විසීමෙන් නොබෝ කලකින්ම රහත්බවට පැමිණියේය. අනිත් භික්ෂුව ප්‍ර‍මාදයෙන්ම කල් ගෙවීය.

ඔවුහු වස්වැස බුදුරදුන් හමුවට ගොස් වැඳ එකත්පසෙක හුන්හ. බුදුරදුහු ඔවුන් සමග පිළිසඳර කථා කොට කෙසේ ද අප්‍ර‍මාදීව මහණදම් කළාහුද? කෙසේ ද ඔබලාගේ පැවිදි කාර්යය මුදුන්පැමිණියේදැයි ඇසූහ.

අලස භික්ෂුව කථා කරමින්, අනේ ස්වාමීනි, මේ භික්ෂුවට කුමන අප්‍ර‍මාදයක්ද? ගියදා පටන් පෙරළී නිදාගනිමින් කාලය ගෙවී යයි කීවේය. මහණ, ඔබ කෙසේද? ස්වාමීනි, මම කල්තියාම දර ගෙනැවිත් අඟුරුකබල හදා ප්‍ර‍ථම යාමය ගිනි තපිමින් සිට නොනිදාම ගත කෙළෙමි. ඉන්පසු ඒ භික්ෂුව ඇමතූ බුදුරදුහු, මහණ ඔබ ප්‍ර‍මාදීව සිට අප්‍ර‍මාදයෙන් සිටිමියි කියන්නෙහිය. අප්‍ර‍මාදීව සිටි අය ප්‍ර‍මාදී කරන්නෙහිය. ඔබ මේ මගේ පුතු ඉදිරියේ ජවබල සිඳුණු දුබල අශ්වයකු හා සමානය. මේ භික්ෂුව ඔබ ඉදිරියේ ශීඝ්‍ර‍ගාමී ජවබලසම්පන්න අශ්වයකු හා සමානයයි වදාරා මේ ගාථාව ප්‍ර‍කාශ කළහ.

අලසව පමාවී

කෙලෙස් නින්දෙහි ගැලී සිටිනා

අය පරදවන රහත්තෙම

දුබල අසු පරදා යන

පබල ජව ඇති අසකු මෙන් වේ

මෙහි අප්පමත්තො යනු සිහිය විපුලත්ත්වයට පත්වී අප්‍ර‍මාද ප්‍ර‍තිපදාවෙන් යුත් රහතන්වහන්සේයි. පමත්තෙසු යනු සිහියෙන් තොරව සිටින සත්ත්වයන් අතර සුත්තෙසු සිහියෙන් නිදිවරා සිටීම නැති, හැම චරියාවකම නිදියන බහුජාගරො යනු මහත් වූ ස්මෘතිවිපුලභාවයෙන් නිදි වරා සිටින. අබලස්සං යනු මොට වූ පා හා සිඳී ගිය ජවබල ඇති අශ්වයා හා ශීඝ්‍ර‍ගාමී ජවබල ආජානීයසින්ධවඅශ්වයා මෙන්. සුමෙධසො යනු උතුම් ප්‍ර‍ඥාවයි, එබඳු පුද්ගලයා ආගමන අධිගමන යන දෙයාකාරයෙන්ම හිත්වායාති යනු මඳ නුවණක් ඇත්තා එක් සූත්‍ර‍යක් පාඩම් කිරීමට වෑයම් කරන විටම, මනා නුවණක් ඇති තැනැත්තා එක් වර්ගයක් පාඩම් කරයි. මෙසේ පළමුකොට ආගම (දීඝනිකාය ආදි ආගම) වශයෙන් ඉක්මවායයි. මන්ද ප්‍රාඥයා රාත්‍රිස්ථාන දිවාස්ථානාදිය කිරීමට සූදානම් වන විටම කමටහන් උගෙන සජ්ඣායනා කරන ගමන්ම නුවණැත්තා පූර්වභාගයෙහිදීම අනුන් කළ රාත්‍රිස්ථාන දිවාස්ථානවලට පැමිණ කමටහන් මෙනෙහි කොට සියලු කෙලෙස් ගෙවා දමා නවලොව්තුරු දහම් අත්පත් කර ගනී. මෙසේ අධිගමයෙනුදු අනෙකා පරදා ඉදිරියට යයි. වට්ටපාද හෙවත් සසර පැවැත්ම හැරදමා සසරින් එතර වී යන්නේමය යනු අර්ථයි.

ගාථා කෙළවර බොහෝ අය සෝවාන් ඵලාදියට පැමිණියහ.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.