සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්‍දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.
සියලු සංස්කාරයෝ අනිත්‍යයහ යි යම් කලෙක විවසුන් නුවණින් දක්නේ ද එ කල්හි මේ (ස්කන්‍ධපරිහරණය යැයි කියන ලද) දුකෙහි (මුදුන් පත් වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන්) කළකිරෙන්නේ ය. (එසේ කලකිරුණේ දුඃඛපරිඥානාදි විසින් සත්‍යප්‍රතිවේධය කරන්නේ ය. එ හෙයින්) මේ සංස්කාරයන් කෙරෙහි නිර්වේදය, නිර්‍මල වීමට (නොහොත් නිවනට) මඟ ය.
"සබ්බේ සංඛාරා" යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදි පන්සියයක් භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ. ඔවුහු බුදුන් වෙතින් කර්මස්ථාන ලබාගෙන වනයේ උත්සාහ කරන්නේ රහත් බවට පත්නොවී විශේෂ වශයෙන් කර්මස්ථාන ගනිමුයි බුදුන් වෙතට පැමිණියාහුය. බුදුහු මොවුන්ට කුමක් නම් සප්පාය වේ දැයි විමසන්නේ මෙම භික්ෂූන් කාශ්‍යප බුද්ධ කාලයේ දී අවුරුදු විසි දහසක් අනිත්‍ය ලක්‍ෂණයේ යෙදුනාහුය. ඒ නිසා අනිත්‍ය ලක්ෂණයෙන්ම ඔවුන්ට එක් ගාථාවක් දේශනා කිරීම වටීයයි සිතා මහණෙනි කාම භව ආදියේදී සියළු සංස්කාර අභාව වන හෙයින් අනිත්‍ය වේයයි පවසා මේ ගාථාව පැවසුහ.
සව් සකර අනිසය.
නුවනින් දැකිය යුතුමය
සව් කෙළස් සිඳිනට
මෙයම මහමග වේය නිවනට
සියළුම සංස්කාර අනිත්‍යයි. යම් දිනෙක නුවණින් දකී ද එනිසා දුක කෙරෙහි කලකිරේ මෙය විසුද්ධියට මාර්ගය වේ.
එහි සබ්බ සංඛාරාති - යනු සියළු සංඛාර නම් කාම භව ආදියේ උපන් ස්ඛන්ධ ඒ ඒ තැන්හි නැති වන්නේ, අනිච්චාති යදා අනිත්‍ය යන විදර්ශනාව පඤ්ඤාය පස්සතී - ප්‍රඥාවෙන් දකිද? ඒ නිසා මේ ස්ඛන්ධ පරිහරණයේ දී දුක්ඛෙ නිබ්බන්දති දුකේ කළකිරි බිඳුනේ දුක් දැනගැනීම් වශයෙන් සත්‍යය අවබෝධ කර ගනී. එස මග්ගො විසුද්ධියාති යනු මේ මාර්ගය විසුද්ධිය පිණිසය. පිරිසිදු වීම පිණිසය යන අර්ථයි.
දේශනය අවසානයේ එම භික්ෂුහු රහත් වුහ. පැමිණ පිරිසට ද දේශනය සාර්ථක විය.