න තෙන අරියො හොති යෙන පාණානි හිංසති
අහිංසා සබ්බපාණානං අරියො’ති පවුච්චති.
යම් කරුණෙකින් ප්‍රාණීන් නසා ද (ප්‍රාණීනට හිංසා කෙරේ ද), එ කරුණින් හේ ආර්‍ය නම් නො වෙයි. සියල් සත්නට (පණිප්‍රහාරාදියෙන්) හිංසා නොකිරීම හේතු කොට ගෙණ (මෛත්‍රීභාවනාදියෙහි පිහිටි බැවින්, හිංසායෙන් දුරු වැ සිටි බැවින්) ආර්‍ය යැ යි කියනු ලැබේ.
"නතෙන අරියො හොති" යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටියදී එක් "අරිය” මාළු බිලී බාන්නෙකු මුල්කරගෙන දේශනා කළ සේක.
එක් දිනක් තථාගතයන් වහන්සේ ඔහුගේ සෝවාන් ඵලයට පත්වීමේ හේතු සම්පත් දැක සැවැත් නුවර උතුරු වාසල ගම්දොර පිඬු පිණිස හැසිරී භික්ෂු සංඝයා පිරිවරා වැඩම කළහ. එකෙණෙහි මේ මාළු බිලිබාන්නා බිලී කොක්කෙන් මාළු ගන්නේ බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා දැක බිලිපිත්ත වීසිකොට සිටියේය. බුදුහු ඔහුගේ නොදුරේ සිට ඔබේ නම කුමක්දැයි සැරියුත් තෙරුන් ආදීන්ගෙන් නම් විමසුහ. උන්වහන්සේලා ද මම සැරියුත් මම මුගලන් යනුවෙන් තම තමන්ගේ නම් පැවසුහ. බිලිබාන්නා මෙසේ සිතුවේය. බුදුහු සියල්ලන්ගේ නම් විමසති මගේ නමද අසනු ඇතැයි සිතමි බුදුහු ඔහුගේ අදහස දැන ගෙන උපාසක ඔබගේ නම කුමක්දැයි විමසුහ. ස්වාමීනි මගේ නම "අරිය"යි. පැවසුවිට උපාසකය ඔබ වැනි ප්‍රාණඝාත කරන අය අරියනම් නොවෙති. අරියෝ නම් මහජනයාට අවිහිංසක භාවයේ සිටියෝ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
දස අකුසල් කරන - පුගුලා අරි නොවේමැයි
අහිංසාවෙන් යුතු - පුගුලාම අරිය වන්නේ
ප්‍රාණීන්ට හිංසා පමුණුවන අය ආර්ය නොවෙති සියළු ප්‍රාණීන්ට හිංසා පීඩා නොකරන්නා අරිය නමින් හැඳින් වෙයි.
එහි අහිංසා - යනු හිංසා නොකිරීමෙන් - මෙසේ හැඳින්වේ. යම් කෙනෙකු විසින් සියළු ප්‍රාණීන්ට හිංසා කෙරේද ඉන් අරිය නම් නොවේ. යම් කෙනෙක් සියළු ප්‍රාණීන්ට අත් ආදියෙන් හිංසා පීඩා නොකර මෙත්‍රී ආදී භාවනා වෙන් පිහිටීම නිසා හිංසා වෙන් වෙන්වී සිටීම නිසාම මෙතෙමේ අරිය නම් වේ. යයි දත යුතු යන අර්ථයි. දේශනය කෙළවර බිලිබාන්නා සෝවාන් ඵලයේ පිහිටියේය. පැමිණි අයට දෙසුම සාර්ථක විය.