පමාදං අප්පමාදෙන යදා නුදති පණ්ඩිතො
පඤ්ඤාපාසාදමාරුය්හ අසොකො සොකිනිං පජං
පබ්බතට්ඨො’ව භුම්මට්ඨෙ ධීරො බාලෙ අවෙක්ඛති.
ප්‍රඥා වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම යම් කලෙක කුසල්හි (සිහි ඇති බව යැ යි කියන ලද) අප්‍රමාදයෙන් ප්‍රමාදය (සිහිමුළාව) දුරු කෙරේ ද, එකල්හි (දිවැස්නුවණැ යි කියන ලද) ප්‍රාඥප්‍රාසාදයට නැගී, (අනාගාමි මගින් උදුරා හළ ශෝකශල්‍ය ඇති බැවින්) ශෝක රහිත වූ ප්‍රඥා වූ ඒ රහත් තෙම නො උදුරා හළ ශෝක ඇති බැවින් ශෝකී වූ ප්‍රජාව (හෙවත් චුත වන උපදනා ශෝක සහිත සත්ත්‍ව සමූහය) බලන්නේ ය. බිම සිටියවුන් (සුවසේ බලන) පර්‍වත මුදුනෙක්හි සිටි එකක්හු මෙන් (නොසුන් තෘෂ්ණා ඇති බැවින් චුත වන උපදනා) බාලජනයන් දිවැසින් සුව සේ දක්නේ ය.
පමාදං අප්පමාදෙන ආදි මේ දේශනාව බුදුරදුන් දෙව්රම වැඩ වාසය කරන සමයෙහි මහාකාශ්‍යප තෙරුන් අරභයා දෙසූසේක. පිප්ඵලිගුහාවෙහි වැඩවිසූ මේ තෙරණුවෝ ආජගෘහයෙහි පිඬුසිඟා වැඩ පිණ්ඩපාතය නවතා, සවස් වේලෙහි ආලෝකයක් උපදවාගෙන ප්‍රමාද වන, අප්‍රමාදීව වසන දිය ගොඩ පර්වතාදියෙන් චුතවන උපදින සතුන් දිවැසින් බලමින් සිටියෝය. ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩ සිටිමින්ම මා පුත් කාශ්‍යප අද කිනම් විහරණයකින් වසන්නේදැයි දිවැසින් සොයා බලනසේක්, තෙරණුවෝ සතුන්ගේ චුති උත්පත්ති පිළිබඳව දිවැසින් බලමින් සිටින බව දැක, සත්වයන්ගේ චුති උත්පත්ති නම් බුදුකෙනකුන්ගේ ඥානයෙනුත් පිරිසිඳ දැකීම අසීරුය. මවුකුස පිළිසිඳගෙන මවුපියන්ට නොදන්වාම චුතවී යන්නාවූ සත්වයන්ගේ පමණක් වුවද සංඛ්‍යාවක් කිරීම අපහසුය. ඔවුන් ගැන පමණක් දැන ගැනීම වුවද ඔබට අවිෂය වෙයි. ඔබගේ ඒ විෂය ගැන දැනීමද අල්පමාත්‍රය. ඉතින් සියල්ලන්ගේ එනම් චුතවන උපදින සියල්ලන්ගේ සංඛ්‍යාව දැන ගැනීම බුදුවරුන්ට පමණක් විෂය වන්නේයයි ආලෝක ධාරාවකින් තමන්වහන්සේ තෙරුන් හමුවෙහි සිටින්නාක් මෙන් වී මේ ගාථාව වදාළහ.
නොපමාවෙන් පමාබව දුරු කරන නුවණැත්තා
දිවැස් නම් පහට නැගි අශෝක වූ ධීර පුද්ගලයා
ශෝකී ජනයන් දෙස බලයි කදුමුදුනක සිට
බිම සිටිනවුන් බලන ලෙස
එහි නුදති යනු යම්සේ පොකුණකට පිවිසෙන අලුත් වතුර, එහි තිබුණු පැරණි වතුර කළඹා එයට නැවතීමට ඉඩක් නොදී තමන් උඩින් පලායන ජලය පිටත්කර හරීද, ඒ ලෙසින් නුවණැත්තා අප්‍රමාද ලක්ෂණය වර්ධනය කරගනිමින් ප්‍රමාදයට ඉඩක් නොතබා යම් කලක අප්‍රමාද වේගයෙන් ඒ ප්‍රමාදය හරියිද, පිටතට ඇද දමයිද, එසේ ඒ අතිශයින් දුරුකළ ප්‍රමාදය ඇතිව ඉහළම තලයට දියුණු කොටගත් දිව්‍යචක්ෂු සංඛ්‍යාත ප්‍රඥාමහාප්‍රාසාදයට ඔහුටම උචිත අප්‍රමාද ප්‍රතිපදාව පුරමින් ඒ ප්‍රතිපදාව තුළින්-හිණිමගකින් පහයකට නගින්නාක් මෙන් නැගී වනසා දැමූ ශෝක නමැති හුල් ඇතිව වාසය කරයි.
අසොකො ප්‍රහීණ ශොක සල්ලතා (හුල්) ඇති, ශොකිනිං පජං ශෝකී ජනතාවයි. චුත වන්නාවූත් උපදින්නාවූත් සත්ත්ව සමූහයයි. අවෙක්ඛති යනු බලයි යන අරුත්ය. කුමක් මෙන්ද? පබ්බතට්ඨොව භුම්මට්ඨෙ පර්වත මුදුනකට නැගගත් පුද්ගලයා, බිම හෝ ප්‍රාසාදයක් උඩ හෝ ප්‍රාසාද මිදුලක හෝ සිටි අය දුෂ්කරත්වයකින් තොරව බලයි. එසේ ඒ ධෛර්ය සම්පන්න නැණවත් මහරහතන්වහන්සේ සසර ඉපදීමේ හෙවත් පැවැත්මේ බීජ නොනැසූ චුතවන්නාවූත්, උපදින්නාවූත් බාලයන් දකිත් යනු අර්ථයි.