19-3 තුන්වැනි වූ ඒකුදාන තෙරුන්ගේ කථා පුවත

න තාවතා ධම්මධරො යාවතා බහු භාසති

යො ච අප්පම්පි සුත්‍වාන ධම්මං කායෙන පස්සති

ස වෙ ධම්මධරො හොති යො ධම්මං නප්පමජ්ජති.

(බණ හැදෑරීම් ආදී) යම් පමණ කාරණයෙකින් බොහෝ කොට බෙණේ ද, එ පමණෙකින් ධර්‍මධර නම් නො වෙයි. යමෙක් වනාහි මඳ දැයකුදු අසා (ධර්‍මය දැන, අර්‍ත්‍ථය දැන, ධර්‍මානුධර්‍මයට පැමිණ) නාම කයින් (දුක් ආදීන් පිරිසිඳ දත්තේ) සිවු සස්දහම් දක්නේ ද, යමෙක් වඩන ලද වැර ඇති ව (අද අද ම රහත්පල ගණිමි යි) ප්‍රතිවේධය කැමැති වෙමින් වෙසේ ද, ඒ මහණ තෙම ඒකාන්තයෙන් ධර්‍මධර නම් වෙයි.

"නතාවතා" යන මේ ධර්මදේශනය බුදුහු දෙව්රම වැඩ සිටියදී ඒකූදාන නම් රහත් තෙරනමක් නිමිති කරගෙන දේශනා කළහ.

උන්වහන්සේ හුදකලාවම එක වන රොදක එකම උදානයක් ප්‍රගුණ කරමින් වැඩ වාසය කරයි. අධි චේතනා ඇති ප්‍රමාද නොවන මෞණ පථයේ හික්මුණ මුණිවරයා ශෝක නොකරයි. උපශාන්තවූ සදා සිහි ඇති එබඳු තැනැත්තා මනා සිහියෙන් යුතුව වසන ශාන්ත වු සන්සුන් පැවතුම් ඇත්තෝ වෙති.

උන්වහන්සේ උපෝසථ දිනවල තමන්ම ධර්ම ශ්‍රවණයට ඝෝෂාකර මේ ගාථාව පවසති. පොළව පැලෙන ලෙසට දෙවියන්ගේ සාධුකාර ශබ්දය ඇතිවේ. අනතුරුව පෙහෙවස් දිනෙක පන්සිය බැගින් පිරිවර කොට ත්‍රිපිටකධාරී භික්ෂූන් දෙනමක්, උන්වහන්සේ වෙසෙන තැනට ගියාහුය. උන් වහන්සේ මේ පිරිස දුටුවිටම සතුටු සිත් ඇතිව මෙහි පැමිණිමෙන් ඔබ වහන්සේලා යහපතක්ම කළාහුයයි පැවසුහ. අපි අද ඔබ වහන්සේස්ලාගේ ධර්මදේශනය අසමුයි කීවෝය. ස්වාමීනි මෙහි බණ අසන අය නැත. ස්වාමීනි මේ වන ලැහැබ බණ අසන දිනයේදී දෙවියන්ගේ සාධුකාර ශබ්දයෙන් එකකින් නාදවේ. ත්‍රිපිටකධාරි භික්ෂූන් දෙනම අතරින් එක් ත්‍රිපිටකධර භික්ෂුවක් ධර්ම දේශනා කිරීම සඳහා ධර්ම ඝෝෂාව කළහ. එක් භික්ෂුවක් පාලිපාඨ පැවසුහ. එක් දෙවියෙක් හෝ සාධු කාර නොදුන්නේය.

එවිට එම භික්ෂූන් - ඇවැත්නි ඔබ වහන්සේ ධර්මදේශනා දිනයේදී මේ වන ලැහැබ මහත් හඩින් සාධුකාර දෙති. මේ කුමක්දැයි පවසන්නැයි කිවාහුය. ස්වාමීනි අනෙක් දිනවලදී සාධුකාර දීමෙන් එකට ඝෝෂාවක් පවතී. අද නම් මේ කුමක් වීදැයි මම නො දනිමි. ඇවැත්නි එසේනම් ඔබ පළමුව ධර්මය දෙසනු මැනව. උන්වහන්සේ විජිනි පත ගෙන අසුන්නේ හිඳ වෙනදා කියන ගාථාවම පැවසුවේය. දෙවිවරු මහත් හඩින් සාධුකාර දුන්හ. ඉක්බිති ඒ පරිවාර භික්ෂූහු හඬනැගුහ. මේ වන ලැහැබේ දෙවියෝ මුහුණ බලා භික්ෂාව දෙන්නාක් වැන්න. ත්‍රිපිටක ධාරී භික්ෂූන් මෙපමණ දේශනා කරද්දීත් කිසි හඩක්. සාධුකාරයක් හෝ නොකියා මේ මහළු තෙරුන් විසින් එකම ගාථාවක් පැවසුවිට මහා හඩින් සාධුකාර දෙති.

ඔවුහු විහාරයට ගොස් බුදුන්ට මේ කරුණු දැක්වුහ. මහණෙනි මම බොහෝ කොට කියන හෝ බොහෝ කොට ඉගෙන ගන්නා අය මම ධර්මධරයයි නොකියමි. යම් කෙනෙක් එකම ගාථාවක් හෝ ඉගෙන සත්‍ය අවබෝධකර ගනිද මේ තැනැත්තා ධර්මධර යයි මම කියමි මේ ලෙස පවසා මෙම ගාථාව දෙසුහ.

ටිකක් පවසන්නේ

සිවිසස් මැනව දන්නේ

බොහෝ නො කියන්නේ

ඔහුම දම්දර තෙරහු වන්නේ

බොහෝ කොට කියන්නේද එයින්ම ධර්මධර යෙක් නොවේ. යම් කෙනෙක් පවු දෙයක් අසා සිව්සස් දකිද එසේ ප්‍රමාද නොවන තැනැත්තා ඒ කාන්තයෙන් ධර්ම ධරයෙක් වන්නේය.

තත්ථ යාවතාති - එහි යම් පමණකින් ඉගෙනීම දැරීම වාචනා ආදී කිරීමෙන් බහු භාසති තාවතා ධම්මධරො න ඔහු වංශය රකින්නෙක් ප්‍රවේණිය රකින්නෙක් නම් වේ. යොච අප්පම්පි - යම් කෙනෙක් ස්වල්පයක් හෝ අසා ධර්මය දැන - අර්ථය දැන ධර්මය අනුව පිළිපදිනෙක් වී නාම කායයේ දුක් ආදිය දන්නේ චතුරාර්ය සත්‍යය දන්නේද සවෙ ධම්ම ධරො - ඔහුම ධර්මධර නම් වේ. යොධම්මං නප්පමජ්ජති පටන්ගත් විර්ය ඇතිව ප්‍රතිවේධය අදයි අදයි අපේක්ෂා කරන්නා. ධර්මයෙහි ප්‍රමාද නොවේ. මේ තැනැත්තාද ධර්ම ධර වේ. යන අර්ථයි දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පැමිණියහ.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.