පරවජ්ජානුපස්සිස්ස නිච්චං උජ්ඣානසඤ්ඤිනො
ආසවා තස්ස වඩ්ඪන්ති ආරා සො ආසවක්ඛයා.
අනුන්ගේ වරද දක්නා සුලු වූ, සතතයෙන් අනුන් උදහන සුලු වූ (අනුන්හට දොස් කියන සුලු වූ) ඒ මහණහට ආස්‍රවයෝ වඩනාහ. හෙ තෙම රහත් බැවින් දුරු යි.
"පරවජ්ජානු පසිස්සාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම වැඩ සිටියදී උඡඣාන සඤ්ඤි නම් එක් තෙරකෙනෙක් නිමිති කරගෙන දේශනා කළහ.
මෙතෙමේ මෙසේ දවස්හරියි. මෙසේ අදියි මෙසේ පෙරවයි යනුවෙන් අනෙක් භික්ෂූන්ගේ වැරදීම සොයමින් හැසිරේ. භික්ෂුහු බුදුන් වෙත ගොස් ස්වාමීනි අසවල් තෙරුන් මෙසේ කරන්නේයයි බුදුන්ට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ වත් පිළිවෙත් මුල්කොට අවවාද කරන විට (කිසිවකුගෙනුත්) වැරදි සිදුනොවේ. යමෙක් වනාහි නින්දාකිරීමේ අදහසින් අනුන්ගේ සිදුරු සොයමින් ඒවා කියමින් හැසිරෙන්නම් ඔහුගේ බලාපොරොත්තු අනුව කිසියම් මාර්ග ඵල විශේෂත්වයකට ඔහු පත්නොවේ. හුදෙක් ආශ්‍රවයෝම කෙලස්ම වැඩේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
සොයමින් අනුන් දොස්
නිතර පවසන රළු බස්
මහණ සිරුරෙන් උස්
වුවත් මගපල වලින් වේ හිස්
එහි උඡඣාන සඤ්ඤි - යනු මෙසේ හිදිය යුතුය. මෙසේ පෙරවිය යුතුය. ආදි වශයෙන් අන් අයගේ වැරදි සොයන නින්දාකිරිම් බහුල පුද්ගලයින්ට ධ්‍යාන ආදී එකම ධර්මයක්වත් නොවැඩේ. එහෙත් ආසවාතස්ස වඩඨන්ති- යනු ඔහුගේ කෙලෙස් වැඩේ. මේනිසා ඔහු ආසවක්ඛයා ආරා ආර්ය භාවයෙන් බැහැරවේ දුරු වේ. දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ.