සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය දජ්ජාප්පසමිම්පි යාචිතො
එතෙහි තීහි ඨානෙහි ගච්ඡෙ දෙවාන සන්තිකෙ.
සත්‍යය ම කියන්නේ ය. නො ම කිපෙන්නේ ය. ඉල්ලන ලදුයේ, දෙන දෑ ස්වල්ප වැ ඇති කල්හි නමුදු, එයින් මඳ දැයක් නමුදු දෙන්නේ ය. මේ කරුණු තුනින් දෙවියන් වෙතට යන්නේ ය.
"සච්චං භණෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී මහ මුගලන් තෙරුන්ගේ ප්‍රශ්නයක් නිමිති කරගෙන දේශනා කළහ.
එක් සමයක මුගලන් තෙරුන් දෙලොව චාරිකාවේ යෙදී මහේශාක්‍ය දේවතාවියකගේ විමන් දොර සිටියදී ඇය තමන් වහන්සේ වෙත පැමිණ වැඳ සිටි අවස්ථාවේ දිව්‍යංගනාවනි ! ඔබේ සම්පත් මහත්ය. කවරනම් කුසල කර්මයක් කොට මේ සම්පත් ලැබුවේදැයි විමසුහ.
ස්වාමීනි මගෙන් නො විමසන්න. දේවතාවියෝ තමන්ගේ සුළු කුශල කර්ම නිසා ලජ්ජාවෙන්ම කියති. තෙරුන් වහන්සේ එය කියනයයි බලකර සිටි හෙයින් එසේය ස්වාමීනි මම දන් නොදුන්නෙමි. පූජා ද නොකෙළෙමි. ධර්මය ද නො ඇසුවෙමි. හුදෙක් සත්‍ය බස පමණක් ආරක්ෂා කළෙමි. තෙරුන් අනෙක් විමන් දොරටුවලට වැඩමකොට පැමිණියා වු අනෙක් දෙව් දූවරුන්ද විමසුහ. ඔවුහු ද නොසගවා කරුණු පැවසුහ. තෙරුන් වළකාලීමට නොහැකිව එක් දේවතාවියක් මෙසේ පැවසුවාය.
ස්වාමිනි මම දානාදි පිංකම් නොකෙළෙමි. මම කාශ්‍යප බුද්ධ කාලයේදී දාසියක් වීමි. එකල මගේ සැමියා සැඩ පරුෂ කෙනෙක් විය. ගත් ගත් තැන දණ්ඩකින් හෝ දරලීයකින් හෝ මගේ හිස පළයි. මට කෝපයක් ඇතිවුවිට ඔබේ සැමියා අත්පා සිදීමක් හෝ නාසාදිය සිඳීමට හෝ නොකිපේවායි තමන්මම සිතා කෝප නොකෙළෙමි. එනිසා මේ සම්පත් මම ලදිමි. පැවසුවාය. අන් අප්සරාවක් ස්වාමීනි මම පසුගිය ආත්මයේ දී උක්හේනක් රකින්නිව සිටියදී භික්ෂුවකට උක්ලීයක් දුන්නෙමි. තවත් තැනැත්තියක් තිඹිරි ගෙඩියක් දුන්නාය. එකියක් කුඩා ගෙඩියක් දුන්නාය. එකියක් උගුරැස්ස ගෙඩියක් දුන්නාය. එකියක් අල මුලක් දුන්නාය. එකියක් කොසඹ විටක් දුන්නාය. මේ ආදී වශයෙන් තම තමන් දුන් ඉතා ස්වල්ප දාන පෙන්වාදී මේ මේ කරුණු නිසා අප විසින් මේ සම්පත් ලබන ලදැයි කිවාහුය. තෙරුන් ඔවුන් විසින් කරනලද කුශලකර්ම අසා බුදුන් වෙත එළඹ මෙසේ විමසුහ.
ස්වාමීනි ! සත්‍යවචන කීම් පමණකින්, කෝපය නිවු පමණකින්, ඉතා කුඩා වු තිඹිරිගෙඩියක් දීමෙන් දිව්‍ය සම්පත් ලැබිය හැකිද? ඇයි මුගලන් කුමක් නිසා ඔබ මගෙන් මෙසේ විමසයිද? දේව කාන්තාවන් විසින් නොකියන ලද්දේද? එසේය. ඔවුන් කියන ලදි මෙපමණකින් නිවන් සුව ලැබිය හැකිදැයි සිතමි අනතුරුව බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන සත්‍ය වචන කිම් පමණකින් කෝපය සිඳලු පමණකින් සුළු දානයක් පිරිනැමු පමණකින් දෙලෝ යති. මේ ගාථාව දේශනා කළහ.
තරහ ගෙන නොකිපෙනු
කුඩා බොරුවක් වුවද නොකියනු
මදක් වුව දන් දෙනු
මෙපින් ලැබ දෙවිලොවේ ඉපදෙනු
එහි සච්චං හණෙ - සත්‍යයම කියයි - ව්‍යවහාර කරයි. සත්‍යයෙහි පිහිටන්න යන අරුතයි. අන් අයට නොකිපෙන්න. “යාචිතොති” ඉල්ලන්නෝ නම් සිල්වත් භික්ෂූන් විසින් කිසිවක් දෙන්න. ආයාචනා කරමින් ම ගෙදොර සිටිති. අර්ථයෙන් නම් ඉල්ලීමයි මෙලෙස සිල්වතුන් විසින් ඉල්ලා සිටිනවිට ඉතා ස්වල්ප වූ දෙයක්වුව තිබේ නම් දියයුතුය. මේ කරුණු තුනෙන් දෙලොව යන්නේය යන අර්ථයි. දේශනය කෙළවර බොහෝ දෙන සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පත්වූහ.