2-2 දෙවන කුම්භඝෝෂක වස්තුවයි.

උට්ඨානවතො සතිමතො සුචිකම්මස්ස නිසම්මකාරිනො

සඤ්ඤතස්ස ච ධම්මජීවිනො අප්පමත්තස්ස යසො’භිවඩ්ඪති.

උත්‍ථාන (සංඛ්‍යාත වීර්‍ය්‍ය) යෙන් යුක්ත වූ, (කුදු මහත් කටයුත්තෙහි) එළඹ සිටුනා සිහි ඇති, නිර්දෝෂ කායකර්‍මාදිය ඇති, (සියලු කටයුතු) පරීක්‍ෂා කොට කරන සුලු වූ, සංයත වූ කායවාක්කර්‍ම ඇති, ධාර්‍මමික ජීවිකායෙන් ජීවත් වන්නාවූ, (කෘෂිවණික්කර්‍මාන්ත රාජසේවාදියෙහි) අප්‍රමත්ත වූ, පුරුෂයාගේ (ඓශ්චර්‍ය්‍ය භොග පරිවාර සම්මාන සංඛ්‍යාත වූ ද කිත්තිවර්‍ණ සංඛ්‍යාත වූ ද) යශස (ඔදවැඩි) මුහුද මෙන් වඩනේ ය.

උට්ඨානවතො ආදි මේ ධර්ම දේශනාව බුදුරදුන් වේළුවන විහාරයෙහි වසන සමයෙහි කුම්භඝෝෂක අරභයා දේශනා කරනලදි. රාජගෘහයෙහි රජගහ සිටුහුගේ ගෙදර අභිවාතක නම් රෝගය ඇතිවිය. ඒ රෝගය හටගත් කල මැස්සන් ආදිකොට ගවයන් දක්වා සියලු තිරිසන්සත්තු මිය යති. ඉන්පසු දැසිදස්සෝද සියල්ලන්ට පසුව ගෙහිමියෝද මියයති. එහෙයින් ඒ සියල්ලන්ට පසුව සිටුවරයාත් ඔහුගේ බිරිඳත් රෝගාතුර වූහ. රෝගයෙන් පෙළුණු ඔවුහු, ළඟ සිටි පුතා දෙස කඳුළු පිරි දෙනෙතින් බලා ඔහු අමතා මෙසේ කීහ. පුතණුවනි, මේ රෝගය වැළඳුණු විට බිත්ති බිඳගෙන පලායන්නෝ ජීවත්වෙති. ඔබ අප ගැන නොසලකා පලාගොස් ජීවත් වී නැවත අවුත් අසවල් තැන නිධන් කොට ඇති සතළිස්කෙළක් ධනය උපුටා (උඩට රැගෙන) ජීවත් වන්න.

හෙතෙම ඔවුන්ගේ බස් අසා හඬමින් මවුපියන් වැඳ මරණභයින් බියපත්ව බිත්ති බිඳගෙන පර්වතගහනයකට පලාගොස් දොළොස්වසක් එහි වාසය කොට ආපසු ආවේය. ඉක්බිති ළමාකාලයේ ගොස් දැළි රැවුල් ඇතිව පැමිණි ඔහු කිසිවකුත් හැඳින නොගත්තෝය. හෙතෙම මවුපියන් දුන් සලකුණු අනුව ධනය ඇති තැනට ගොස් ධනය සුරක්ෂිත බව දැනගෙන මෙසේ සිතීය.

මෙහි කිසිවක් මා නොහඳුනති. ඉතින් මම මේ ධනය උපුටා එය පරිහරණය කරතොත්, මෙහි එක් නිර්ධන එකෙක් නිධානයක් හාරා ගත්තේ යයි මා අල්වා මට හිංසා පීඩා කළ හැකිය. බැළමෙහෙකොට ජීවත්වීම ඊට වඩා අගනේය. මෙසේ සිතා එක කඩමාල්ලක් ඇඳගෙන බැළමෙහෙ කරන්නෙක් කාටවත් අවශ්‍යදැයි අසමින් භතකවීථියට පැමිණියේය.

ඉන්පසු භතකයෝ ඔහු දැක, අපට එක් වැඩක් ඇත. ඔබ එය කර දේනනෙහි නම් ඔබට බත්බැළ දෙන්නෙමුයයි කීවාහුය. කුමක්ද ඒ කටයුත්ත? පබෝදනචෝදන කර්මයයි හෙවත් මිනිසුන් අවදි කරවීමයි. අලුයමින්ම නැගිට දරුවනි, නැගිටිව්. කරත්ත ඔසවා ගනිව්. හරක් එළියට ගනිව්. ඔවුන් රියවල බඳිව්. ඇතුන් හා අසුන් තෘණාදි ආහාර සඳහා යොදන වේලාවයි. මෑණිවරුනි, ඔබලාත් අවදි වන්න. කැඳ උයන්න. බත් පිසන්න යයි හැම තැන ඇවිදිමින් දන්වන්නැයි කීහ.

හෙතෙම යහපතැයි පිළිගත්තේය. ඉන්පසු ඔහුගේ වාසය පිණිස ගෙයක්ද දුන්හ. ඔහු දිනපතා ඒ කටයුත්ත කෙළේය. එක් දිනක් බිම්බිසාර රජු ඔහුගේ ශබ්දය අසා සිටියේය. රජු වනාහි සියලු ශබ්දයන්ගේ තත්ත්වය මැනවින් දන්නෙකි. එහෙයින් මේ ඇසෙන්නේ මහාධනවතකුගේ ශබ්දයකියි ප්‍ර‍කාශ කෙළේය.

ඉන්පසු රජු සමීපයේ සිටි එක් පරිචාරිකාස්ත්‍රියක්, මේ රජු නිකම් ඒ මේ දේ නොකියන්නේයි මෙය මා විසින් දැන ගැනීම වටනේයයි සිතා, එක් පුරුෂයකු අමතා, යව, ගොස් මෙහි තොරතුරු දැනගනුවයි එහි යැවීය. හෙතෙම වේගයෙන් ගොස් ඒ බැළයා දැක අවුත්, මෙහි බැළයන්ගේ බැළයෙක් - දුගී මිනිසෙක් ඇතැයි දන්වා සිටියේය.

රජු ඔහුගේ කීම අසා නිහඬ ඒ දෙවෙනි තෙවෙනි දිනවලත් ඔහුගේ ඒ හඬ අසා එය විමසවයි ඈ පිටත්කර හැරියේය. ඒ පරිචාරිකාවත් එසේම සිතා නැවත නැවතත් පුරුෂයකු යවා ඒ දිළිදු මිනිසෙකියි කී කල්හි මෙසේ සිතීය. රජු මොහු දිළිඳු මිනිසෙකියි කී කලද එය විශ්වාස නොකරයි. මෙය මහධනවත් පුද්ගලයකුගේ ශබ්දයක් බව නැවත නැවතත් කියයි. මෙහි කුමක් හෝ කරුණක් වියයුතුයයිද එහි ඇත්ත දැනගත යුතුයයි ද ඈ සිතුවාය. එසේ සිතූ ඈ රජුට මෙසේ දන්වා සිටියාය.

දේවයන් වහන්ස, මට දහසක් මිල ලදහොත් දුවත් සමග ගොස් මේ ධනය රාජකුලයටම ගෙනවුත් දෙන්නෙමි. රජු ඈට දහසක් මිල දෙවීය. ඈ ඒ මිලත් රැගෙන දුවට එක් කිළිටිරෙද්දක් අන්දවා ඈත් සමග රජගෙදරින් නික්මී පාරේ ඇවිදින්නාක් මෙන් භතකවීථියට ගොස් එක් ගෙයකට ඇතුළු වී, මෑණියනි, අපි පාරේ ඇවිදගෙන යන අය වෙමු. දෙතුන් දිනක් මෙහි විශ්‍රාම ගෙන යෑමට අවසරදැයි ඇසුවාය. මෑණියනි, මේ ළඟම ඇති කුම්භඝෝෂකගේ ගෙය හිස්ය. එහි යනු මැනවි. ඈ එහි ගොස් ස්වාමීනි, අපි මගියෝ වෙමු. දෙතුන්දිනක් මෙහි නවතින්නෙමුයි කී කල ඔහු නැවත නැවතත් ඉල්ලීම ප්‍ර‍තික්ෂේප කළ නමුත්, ස්වාමීනි, අද එක දවසක් පමණක් නැවතී උදෑසනම පිටත් වී යන්නෙමුයයි යෑමට නොකැමති වූහ.

ඕ තොමෝ එහිම නැවතී දෙවෙනි දින කුම්භඝොෂක කැලයට යන වේලෙහි, ස්වාමීනි සහල් ටිකක් දී යන්න. ඔබට ආහාර පිස තබන්නෙමියි කීවිට, නැහැ අවශ්‍ය නැහැ. මමම පිසගෙන කන්නෙමියි ඔහු කී කල නැවත නැවතත් ඉල්ලා ඔහු සහල් ටිකක් දුන් කල ඒවා අතටවත් නොගෙන පසෙක තබා ඇතුළු වෙළඳපොළෙන් පිසින අයුරින් සුපිරිසිදු බත්ද මනා රසැති ව්‍යඤ්ජන දෙකතුනක්ද පිස කැලයේ සිට ආ ඔහුට දුන්නාය.

ඒවා අනුභව කොට මෘදු සිත් ඇතිවූ ඔහුට, ස්වාමීනි, මදක් වෙහෙසට පත්වීමු. දෙතුන් දිනක් මෙහි නවතින්නමෝදැයි ඇසීය. ඔහු එය පිළිගත්තේය. ඉන්පසු ඈ එදින සවසද දෙවෙනි දිනයේද මිහිරිබත් පිස දුන්නාය. දැන් ඔහුගේ සිත මෘදු බවට පත් වී ඇති බව දැන ස්වාමීනි, තවත් කීප දිනක් මෙහි වසන්නෙමුයයි එහි වසමින් තියුණු ආයුධයකින් ඔහු නිදාගන්නා ඇඳේ තැනින් තැන යටින් වැල් කපා දැමීය. ඔහු අවුත් ඇඳේ වාඩිගත් කෙණෙහි ම යට වැල් කැඩී යටට එබී ගියේය. හෙතෙම කුමක් නිසා මේ ඇඳ සිඳී ගියේදැයි ඇසීය.

ස්වාමීනි, මෙහි එන බාලදරුවන් වළක්වන්ට බැරිය. ඒ එනවුන් මේ ඇඳටම පනිත්යයි කීවාය. මෑණියනි, මට මේ කරදර ඔබ නිසාම වෙයි. පෙර මම පිට යන කල දොර වසා යන්නෙමි. එනිසා කරදරයක් නොවී යයි කීය. දරුව මම කුමක් කරන්නට ද, ඒ බාලදරුවන් වළක්වාගනු නොහැකියි ඕ කීවාය. ඕ තොමෝ මේ ආකාරයෙන් දෙතුන් දිනක්ම ඇඳවැල් කපන විට, ඔහු නොසතුටු බස් කියතත්, දොස් කියතත් මුලින් කී ලෙසම කියා නැවත එක් ලණුපොටවල් දෙකක් පමණක් ඉතිරි කර සෙස්ස සිඳලූවාය. එදින ඔහු ඇඳේ ඉඳගන්නවාත් සමගම සියලු වැල් කැඩී බිමට වැටුණේය. හිසත් දෙදණත් එකට එකතු විය.

හෙතෙම නැගිට කුමක් කරම්ද, දැන් කොහි යන්නෙම්ද, තොප, මා හිඳිනා ඇඳටත් අහිමියකු කරනු ලැබුවෙමියි කීය. දරුව, කුමක් කරම්ද? අසල්වැසි දරුවන් වළක්වාලිය නොහෙමි. එසේ වේවා, කමක් නැහැ. ඒ ගැන අහිතක් නොසිතනු මැනවි. මේ වේලාවේ කොහි යන්නෙමුදැයි දුව අමතා, දුව ඔබේ සොහොයුරාට හිඳිනා අයුරක් කරවයි කීවාය. ඕ තොමෝ සිය අසුනෙහි එක් පැත්තකට වී ස්වාමීනි, මෙහි එන්නයයි කීවාය. අනික් තැනැත්තිය ද දරුව එහි යන්න. සොහොයුරිය සමග නිදන්නැයි කීවාය. හෙතෙම ඈ සමග එකම ඇඳෙහි නිදා එදිනම ඈ සමග කායසංසර්ගයෙහි යෙදුණේය. කුමාරිකාව හඬන්ට වූවාය. ඉන්පසු ඇගේ මව හඬන්නේ ඇයිදැයි විචාළාය. මෑණියනි, මෙබන්ඳක් වීයයි කුමරිය කීවාය. දුව කමක් නැහැ. ඔබටත් එක් සැමියකුත්, ඔහුට එක් භාර්යාවකුත් ලැබිය යුතු යයි ඔහු බෑණා බවට පත්කර ගත්තාය. ඔවුහු සමගිව විසූහ. ඈ කීප දිනකින් රජුන් වෙත ලිපියක් යැවුවාය.

භතකවීථියෙහි උත්සව පැවැත්විය යුතුයි. යම්කිසිවකුගේ ගෙදර උත්සව නොකරන්නේ නම් ඔහුට මෙතෙක් දඩ යයි ප්‍ර‍සිද්ධ කරන්නැයි ලිපියක් යැවුවාය. රජු එසේ කෙළේය. අනතුරුව කුම්භඝෝෂක අමතා නැන්දම්මා, පුත්‍ර‍ය, භතකවීථියෙහි රජ අණින් උත්සව පැවැත්විය යුතුව ඇත. අපි කුමක් කරමුදැයි කීවාය. මෑණියන්, මම බැළමෙහෙ කොටත් ජීවත්වීමට නොහැකිව සිටිමි. දැන් ඉතින් කුමක් කරම්ද, දරුව ගිහිගෙයි වසන්නාහු අවශ්‍ය වූ විට ණයට ද මුදල් ගනිත්. රජුන්ගේ ආඥාව නොකර සිටිය නොහැකියි. ණය නම් යම් කිසි උපායකින් මිදෙන්ට පුළුවන. යන්න, ගොස් කොතනකින් හෝ කහවණු එකක් දෙකක් සොයා ගෙන එන්නැයි කීවාය. හෙතෙම දොස් කියමින් ගොස් සතළිස්කෙළක් ධනය ඇති තැනින් එකම කහවණුවක් රැගෙන ආවේය.

ඕ තොමෝ ඒ කහවණුව රජුන් වෙත යවා තමන්ගේ කහවණු වලින් උත්සව කොට නැවත කීප දිනකින් එබඳුම තවත් ලිපියක් යැවුවාය. රජු ද නැවතත් උත්සව පැවැත්විය යුතු බවත් එසේ නොකරන්නන්ට මෙතෙක් දඩ යයි කියා අණබෙර යැවීය. නැවතද ඔහු ඈට ඒ බව කියා මිරිකෙමින් ගොස් කහවණු තුනක් ගෙනවුත් ඈට දුන්නේය. ඈ ඒ කහවණුත් රජුන් වෙත යවා කීප දිනකින්, දැන් මිනිසුන් එවා මොහු ගෙන්වා ගන්නැයි ලිපියක් යැවුවාය. රජු එසේ කෙළේය.

රාජපුරුෂයෝ ගොස් කුම්භඝෝෂක නම් කවුරුන්දැයි අසා සොයමින් යන්නේ ඔහු දැක, එම්බල මෙහි එව. රජු නුඹ කැඳවන්නේයයි කියා සිටියහ. කුම්භඝෝෂක බියෙන් තැතිගෙන මම රජු හඳුනන්නේ නැත. ආදිය කියමින් යන්ට නොකැමති විය. ඉන්පසු ඔහු බලහත්කාරයෙන් අත් ආදියෙන් අල්ලා ඇද්දාහ. ඒ ස්ත්‍රිය ඔවුන් දැක එම්බල දුෂ්ඨ අවිනීතයෙනි, තෙපි මගේ බෑණා අත්ආදියෙන් ඇදගෙන යන්ට සුදුස්සන් වූයේ කෙසේදැයි තර්ජනය කොට, පුතා මෙහි එන්න. බිය නොවන්න, රජුන් දැක නුඹේ අත් ආදියෙන් ඇද්දවුන්ගේ අත් සිඳුවාලන්නෙමියි දුවණිය සමග ඉදිරියෙන් යමින් රජවාසලට පැමිණ වෙස් මාරුකරගෙන, සර්වාභරණයෙන් සැරසී එක් පසෙක හුන්නාය. අනිකා (කුම්භඝෝෂක) ද ඇදගෙන ම ආහ. ඉන්පසු වැඳ සිටි ඔහු ඇමතූ රජු මෙසේ කීය, ඔබ කුම්භඝෝෂක ද‍්, එසේය මහරජතුමනි, කුමක් නිසා මහධනයක් වංචාවෙන් තබා ගන්නෙහිද? දේවයන් වහන්ස, මම ඔබ වංචා නොකරමි. මට ධනයක් නැත.

ඉන්පසු රජු ඔහුගෙන් ගත් කහවණු ඔහු අතට දී මේ කහවණු කාගේදැයි ඇසීය. හෙතෙම ඒවා හැඳිනගෙන, අනේ නැසුණේ වෙමි. කෙසේ නම් මේ කහවණු රජු අතට පත්වීදැයි එහෙ මෙහෙ බලන විට, මැනවින් සැරසී ගර්භද්වාරමූලයෙහි සිටි මවුදූවරුන් දැක, දැන් නම් කළ දෙය භයානකය. මොවුන් විසින් මගේ කහවණු රජුන් වෙත එවනලදහයි සිතීය.

ඉන්පසු රජ, පින්වත, කියන්න මෙසේ කරන්නේ කුමක් නිසාද, දේවයන් වහන්ස, මා ඇසුරු කරන හිතවතෙක් මට නැත. ඔබට මා වැනි ඇසුරු කරන්නෙක් සුදුසු ද, දේවයන් වහන්ස ඉතා මැනවි. ඔබ මගේ ඇසුරු කරන්නා වන්නෙහි නම් ඉතා මැනවැයි හේ කියා සිටියේය. පින්වතාණෙනි, මම එසේ වන්නෙමි. ඔබේ ධනය කොතෙක්ද? දේවයිනි, සතළිස් කෙළක ධනයකි. අවශ්‍ය කුමක්ද? දේවයන් වහන්ස, අවශ්‍ය වන්නේ ගැල්ය. රජු නොයෙක් සිය ගණන් ගැල් යොදවා ඒ ධනය ගෙන්වා ගෙන රජමිදුලෙහි ගොඩගසා රජගහනුවර වැස්සන් රැස් කරවා, මෙනුවර මෙපමණ ධනයක් ඇති කෙනෙක් ඇද්දැයි විචාළේය. දේවයන් වහන්ස නැතැයි කීවාහුය. මොහුට කුමක් කළ යුතුදැයි රජු විචාළ කල්හි, දේවයන් වහන්ස, සත්කාර කළ යුතු යයි කී කල්හි. ඔහුට මහත් වූ සත්කාර සම්මාන පවත්වා සිටුතනතුරෙහි තබා දුවද පාවාදී ඔවුනුත් සමග බුදුන් සමීපයට ගොස් වැඳ මෙසේ පැවසීය.

ස්වාමීනි, මේ පුරුෂයා බලනු මැනවි. මොහු වැනි බුද්ධිමත්හු නැත. සතළිස්කෙළක් ධනයට හිමිකාරයකු වුවද අධිකප්‍රීතියක් මමත්ත්වයක් හෝ නැත. දුගියකු මෙන් රෙදිකඩමාල්ලක් හැඳගෙන බැළයන්ගේ වීථියෙහි බැළමෙහෙවර කොට ජීවත් වෙයි. මම මොහු හඳුනාගත්තේ මෙබඳු උපායමාර්ගවලිනි. එසේ දැන ඔහු කැඳවා ධනවතකු බව පිළිගන්වා ඒ ධනයද ගෙන්වා ගෙන සිටුපදවි පිරිනමා මගේ දුවණියද විවාහකර දුනිමි. ස්වාමීනි, මා නම් මෙබඳු ඥානවන්තකයකු මින්පෙර දැක නැතැයි කීවේය.

එපවත් ඇසූ බුදුපියාණන් වහන්සේ, මෙසේ ජීවත්වන්නහුගේ ජීවිතය ධාර්මිකජීවිතය නම් වන්නේය. මහරජ, සොරකම් ආදිය කෙරෙමින් ජීවත් වන පුද්ගලයා මෙලොව පරලොව දෙකේදීම තැවෙයි, පෙළෙයි.

ඒ නිමිති කරගෙන ඇති වන සැපයක් නම් නැත. පුරුෂයා ණයෙන් පිරිහුණු කාලයේ වුවද බැළමෙහෙ කොට ජීවත් වන්නේ නමුදු එය ධාර්මික ජීවිකා නම් වෙයි. මෙබඳු වීර්යසම්පන්න, ස්මෘතිසම්පන්න වූ කයින් වචනයෙන් පිරිසිදු කර්ම කරන ප්‍ර‍ඥාවෙන් සොයා බලා විමසීමෙන් කටයුතු කරන කායාදි ද්වාරයන් සංයත භාවයට පත්කරගත් දැහැමි දිවියෙන් ජීවත් වන්නාගේ සති අවිප්‍ර‍වාසය හෙවත් නුමුළාසිහියෙන් සිටින පුද්ගලයාගේ ධනධාන්‍යාදි ඉසුරු සම්පත් වැඩෙයි යනාදියෙන් දහම් දෙසා මේ ගාථාවද වදාළහ.

නොපසුබට විරියද

සිහියෙන් දිවිය ගෙවමුද

පිරිසිදු කම්හි යෙදෙමින්

විමසුම්නුවණ මෙහෙයන

සන්සුන් දැහැමි දිවියක්

ඇතුව නොපමා වඩන්නහුගේ

යසස තව තව වැඩි වේවී යයි

එහි උට්ඨානවතො යනු උට්ඨාන වීර්ය ඇති පුද්ගලයාගේයි. සතිමතො යනු සිහියෙන් යුක්ත බවයි. සුචිකම්මස්ස යනු නිදොස් නිරපරාධි කාය කර්මාදියෙන් යුක්ත බවයි. නිසම්ම කාරිනො යනු මෙසේ වුවහොත් මෙසේ කරන්නෙමි හෝ මේ කටයුත්තේ දී මෙසේ කළ විට මෙබඳු ප්‍ර‍තිඵලයක් විය හැකිය යනාදි වශයෙන් යමක නිදානය සලකාගෙන රෝග පරීක්ෂා කරන වෙදුන් මෙන් හැම වැඩක්ම සොයා විමසා බලා කරන්නාහට යන අර්ථයි. සඤ්ඤතස්ස යනු කායාදි ක්‍රියාවන්හි සංයමයයි. සිදුරු හෙවත් වැරදි නැති බවයි. ධම්මජීවිනො යනු ගිහියාට නම් වැරදි තරාදි ආදිය හැර දමා ගොවිතැන හරකුන් රැකගැනීම ආදියද, අනගාරික (පැවිද්දාට) යාට වෙදකම් දූතමෙහෙවර ආදිය හැර දමා, දැහැමින් සෙමෙන් පිඬුසිඟා වැළඳීමෙන් ජීවිතය අප්පමත්තස්ස යනු සිහිය මුළාකර නොගැනීමයි. යසොභිවඩ්ඪති යනු ඓශ්වර්යය, ඉසුරුමත් බව භවභෝග හා වර්ණනා ආදියද ලැබීමයි.

ගාථා කෙළවර කුම්භඝෝෂක සෝවාන් ඵලයෙහි පිහිටියේය. තවත් නොයෙක් අය සෝවාන් ඵලාදියට පැමිණියාහුය. එසේම මේ දේශනාව මහජනයාටද සාර්ථක දේශනයක් විය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.