2-1 පළමුවන සාමාවති මාගත්‍දියාදීන්ගේ මරණය දැක්වෙන උදේන වස්තුවයි.

අප්පමාදො අමතපදං පමාදො මච්චුනො පදං

අප්පමත්තා න මීයන්ති යෙ පමත්තා යථා මතා.

(සුචරිතධර්‍ම විෂයයෙහි) නොපමා බව (සිහි නොමුළා බව) නිර්‍වාණාධිගමයට කරුණු ය. (සුචරිතධර්‍ම විෂයෙහි) පමා බව (පමා වූවහු ඉපදීමටත් එයින් මරණයටත් පැමිණෙන බැවින්) මරණයට කරුණු ය. (කල්‍යාණධර්‍මයෙහි) නො පමා වූවෝ නො මියෙති. යම් කෙනෙක් ධර්‍මයෙහි පමා වෙත් ද, ඔහු (ජාත්‍යාදියෙන් නොමිදුණු බැවින්) මළවුන් වැනි වෙත්.

එතං විසෙසතො ඤත්‍වා අප්පමාදම්හි පණ්ඩිතා

අප්පමාදෙ පමොදන්ති අරියානං ගොචරෙ රතා.

නුවණැත්තෝ අප්‍රමාදයෙහි වූ මේ ගුණය වෙසෙසින් දැන අප්‍රමාදයෙහි සතුටු වෙති. ආර්‍ය්‍යයන්හට ගෝචර වූ බෝධිපාක්‍ෂිකධර්‍මය නව ලෝකෝත්තර ධර්‍මය යන මෙහි අලුනෝ වෙත්.

තෙ ඣායිනො සාතතිකා නිච්චං දළ්හපරක්කමා

ඵුසන්ති ධීරා නිබ්බාණං යොගක්ඛෙමං අනුත්තරං.

ධ්‍යාන වඩන සුලු, සතතයෙන් පැවැති වීර්‍ය්‍යය ඇති, නිතර පැවැති දැඩි පැරැකුම් ඇති ඒ ප්‍රාඥයෝ කාමාදි යෝගයන්ගෙන් නිර්‍භය වූ අනුත්තර වූ නිර්‍වාණය ස්පර්‍ශ කරති.

මේ උදේනගේ උත්පත්ති කථාවයි

‘අප්පමාදෝ අමතපදං’ යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝෂිතාරාමයේ වාසය කරන සමයෙහි මාගන්දිය ප්‍රමුඛ ස්ත්‍රීන් පන්සීයක්ද, ඇගේ පන්සීයක් පමණ ඥාතීන්ද මරණයට පැමිණීම අරභයා දේශනා කළසේක.

අතීතයේ අල්ලකප්ප නම් රටේ අල්ලකප්ප නමිනුත් වේඨදීපක නම් රටේ වේඨදීපක නමිනුත් සිටි දෙදෙනෙක් ළදරු කලපටන් යහළුවන්ට එකම ආචාර්යපරපුරක සිප්සතර ඉගෙන තමතමන්ගේ පියවරුන්ගේ ඇවෑමෙන් සේසත් නගා දිගුපුළුලින් දසයොදුන් පමණවූ රටවල රජුවරුවූහ. ඔවුහු කලින් කල එක්වී එකට සිටිමින් එකට හිඳිමින් එකට නිදමින් උපදින ජීවත්වන මියෙන මිනිසුන් දැක, පරලොව යන අය සමඟ යන්නෙක් නැත. යටත්පිරිසෙන් සියසිරුරු පවා ගෙන යා නොහැකි. සියල්ල මෙහි තබා යායුතුය. අපේ මේ ගිහිගෙයි විසුමෙන් ඇති ඵලය කුමක්ද? පැවිදි වන්නෙමුයයි කතිකාකරගෙන රජය දුපුතුන්ට පවරා ඍෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව හිමවත් පෙදෙසෙහි වසන අතර මෙසේ සාකච්ඡා කළහ.

අප රාජ්‍යයනුත් හැරදමා පැවිදිවූයේ ජීවත්වීමට බැරි නිසා නොවෙයි. ඒ අපි එක්තැනකට වී සිටීම පැවිදි නොවූවාක් වැනිය. ඒ නිසා අපි වෙන්ව වසමු. ඔබ අර පර්වතයෙහි වසන්න. මම මේ පර්වතයෙහි සිටින්නෙමි. අඩමසකින් පැමිණෙන පෙහෙවස් දිනයෙහි එකතුවෙමුයි කතිකා කළහ. ඔවුහු මෙසේද සිතූහ. මේ ක්‍රමයෙන් අපේ ගණසංගණිකාවද (පිරිස් සමඟ එක්වීම) සිදුවෙයි. ඔබ ඔබේ කඳුමුදුනේ ගිනිගොඩක් දල්වන්න. මම මගේ කඳුමුදුනේ ගිනිගොඩක් ගසමි. මේ ක්‍රමයෙන් අප ඇති නැති බව දැනගන්නෙමුයිද කියා එසේ කළාහුය.

පසු කාලයක වේඨදීපක තාපසතෙම කළුරියකොට මහේශාක්‍ය දේවතාවෙක්ව උපන්නේය. එයින් අඩමසකට පසු එම කඳුමුදුනේ ගිනි නොදැල්වීමෙන්ම මගේ යහළුවා කළුරිය කෙළේයයි අල්ලකප්පක තවුසා දැනගත්තේය. මියගිය තැනැත්තාත් දෙවියෙක්ව උපන් කෙණෙහිම තම දෙව්සිරි දැක කිනම් කර්මයකින් මෙසේ උපන්නේදැයි විමසා බලා ගිහිගෙයින් නික්මුණු දා පටන් තමාගේ තපස්චරියාවන් දැක දැන් ගොස් මගේ යාළුවා දැකගන්නෙමියි ඒ අත්බව හැරදමා සාමාන්‍ය මිනිසකු මෙන් යහළුතවුසා ළඟට ගොස් වැඳ එකත්පසෙක හුන්නේය.

ඉන්පසු අල්ලකප්පක මෙසේ විමසීය, ඔබ කොහි සිට ආවෙහිද? ස්වාමීනි, මම දුර සිට එන මඟියෙක්මි, ස්වාමීනි, ආර්යයන් වහන්සේ මෙහි වසන්නේ තනියමද? නැත්නම් තවත් කවුරුන් හෝ ඇද්ද? මගේ එක් යහළුවෙක් ඇත. ස්වාමීනි, ඔහු කොහිද? ඔහු අර පෙනෙන පර්වතයේ වසයි. පෙහෙවස් දිනයේ නම් ගිනි දැල්වූයේ නැත. ඒකාන්තයෙන් ඔහු මිය යන්නට ඇත. ස්වාමීනි, එසේද? ඇවැත්නි එසේය. ස්වාමීනි, ඒ යහළුවා නම් මමයි. ඔබ උපන්නේ කොහිද? දෙව්ලොව මහේශාක්‍ය දෙවියෙක්ව උපනිමි ස්වාමීනි. ඔබ දකිනු පිණිස යළි මෙහි ආවෙමි. මේ ස්ථානයේ වසන ඔබවහන්සේට කිසියම් අපහසුවක් ඇද්ද? එසේය. ඇවැත්නි, ඇතුන් නිසා මම වෙහෙසට පත්වෙමි. ස්වාමීනි, ඒ ඇත්තු කුමක් කරන්නහුද? අතුගෑ තැන්වල ඇත්තු බෙටි දමති. පාපහර දී පස් විසුරුවති. මම ඒ ඇත්බෙටි අදිමින් පස් සමකරමින් වෙහෙසට පත්වෙමි. එසේ නම් ඔවුන්ගේ පැමිණීම වළක්වන්නෙමියි කියා ඒ තවුසාට හස්තික්‍රාන්ත වීණාවක්ද (ඇතුන් ප්‍රියකරන හඬ ඇති) හස්තික්‍රාන්ත මන්ත්‍රයක්ද දුන්නේය.

වීණාවත් මන්ත්‍රයත් දෙන ගමන්ම මේ වීණාවේ තත් තුනකි. ඒවා හඳුන්වාදී මන්ත්‍ර තුනත් උගන්වා, මේ තත පහරා මේ මන්ත්‍රය කීකල ඇත්තු නැවතී නැවතී පසුපස බැලීමටවත් නොසිට දුවති. මේ තත ගසා මේ මන්ත්‍රය ජපකල විට ඇත්තු නැවතී නැවතී පසුපස බලමින් දුවති. මේ තත පහරවා මේ මන්ත්‍රය කීවිට ඇත්රජා පිට නමාගෙන තමා සමීපයට එයි. මෙසේ කියා ඔබට මනාපයක් කළ මැනවැයි වැඳ යන්ටගියේය. තවුස්තෙම පලායන මන්ත්‍රය ම කියා පලායන තත ශබ්දකොට ඇතුන් පලවා හැර සුවසේ වාසය කෙළේය.

එකල කොසඹෑ නුවර පරන්තප නම් රජෙක් විය. දිනක් හෙතෙම ගැබිණිදේවයත් සමඟ උදේ හිරුරැස් තපිමින් උඩුමහල්තලයේ සිටියේය. රජුගේ ලක්ෂයක් වටිනා රක්තකම්බලය පොරවාගෙන සිටි දේවිය රජුත් සමඟ සල්ලාපයෙහි යෙදී සිටි ගමන්ම රජු ඇඟිල්ලෙහි පැළදගෙනසිටි ලක්ෂයක් වටිනා රාජමුද්ද ගළවා තම ඇඟිල්ලෙහි ලාගත්තාය. එවේලෙහි අහසේ පියාඹා යන ඇත්කඳලිහිණියෙක් රතු කම්බිලිය පෙරවාගෙන සිටි දේවිය දැක මස්පිඬෙකියි සිතා පියාපත් විහිදුවාගෙන එතැනට බැස්සේය. රජු ඌ පහතට බසින හඬ අසා බියවී නැඟිට ඇතුළු නිවසට පිවිසියේය. දේවියට දරු ගැබ්බර නිසාත් බියවනසුලු (ස්ත්‍රීජාතිය) ජාතිය නිසාත් වේගයෙන් ඉවතට යානොහැකි විය.

ඉක්බිති ඒ ලිහිණියා හුදෙකලාව බලවත්වී දේවිය නියපඳුරෙන් ඩැහැගෙන අහසට පැන්නේය. ඒ ලිහිණියෝ වනාහි ඇතුන් පස්දෙනෙකුගේ ශක්තිය දරති. එහෙයින් තමන් කැමති තැනකට ගොදුර අහසින්ම ගෙනගොස් හිඳගෙන මස් කති. එසේ ගෙනයන්නාවූ දේවිය මරණභයින් බියපත්ව, යම්හෙයකින් මා කෑ ගැසුවොත්, මිනිස්හඬ තිරිසනුන්ට බිය ගෙනදෙන නිසා මගේ හඬ අසා මා ඉවත දමයි. එසේ වුවහොත් දරුගැබත් සමඟ මරණයට පත්වෙයි. යම් තැනක මා තබා කෑමට පටන්ගන්නවාත් සමඟ එතනදී ශබ්ද කොට පලවා හරින්නෙමියි තමා නුවණැති හෙයින් සිතා ගත්තාය. එකල හිමවත් පෙදෙසේ මඳක් වැඩුණු මණ්ඩපාකාර එක් මහනුගගසක් විය. ඒ රාජාලියා මුවන් ආදි සතුන් එහි ගෙනවුත් තබාගෙන කයි. එහෙයින් ඈද එහි ගෙනවුත් අතු දෙබල් අතර තබා ආ මඟ නැවත ආපසු හැරී බැලුවේය. ආමඟ නැවත හැරී බැලීම ඔවුන්ගේ සිරිතකි. එකෙණෙහිම දේවිය දැන් මූ පලවා හරින්ට සුදුසු කාලයයයි සිතා දෑත් ඔසවා අත්පුඩි ශබ්දයත් කෑගැසීමත් එකවරම කොට ඌ පලවා හැරියාය.

හිරු අවරට යන වේලෙහි ඇගේ කර්මජවාතයෝ (දරුවන් බිහිකිරීමේ වාත වේගය) ක්‍රියාත්මක වූවාහුය. හැම දිසාවක පැතිරී ගිය මහ වැස්සක් පටන් ගත්තේය. අතිශය දුක්ඛදායක, ඛේදනීය තත්වයට පත්වුවද ආර්යාවනි, බිය නොවන්න වැනි වචන මාත්‍රයකුදු නොලබා දුකම වැළඳගත් ඕතොමෝ නිදි නොලබාම මුළු රැයම ගතකළාය. රාත්‍රි අලුයම් වේලෙහි අහස වළාකුළු පහවී ගොස් හිරු උදාවීමත් ඈට දරුවන් ලැබීමත් යන ක්‍රියා දෙක එකම වේලාවේ සිදුවිය. ඕතොමෝ වැසි උදාවත් පර්වත උදාවත් අරුණ උදාවත් එක්කොට අලුත ලැබූ පුතාට උදේන යන නම තැබුවාය.

අල්ලකප්ප තවුසාටද ඒ ළඟම අසපුවක් තිබුණේය. හෙතෙම සිරිතක් හැටියට වැසිදිනවල ශීත බියෙන් පලවැල සෙවීමට වනයට නොයයි. ඒ නුගරුක මුලට ගොස් කුරුල්ලන් කාදැමූ ඇටකටු ගෙනවුත් ඒවා කොටා රස සාදාගෙන පානය කරයි. එහෙයින් එදිනද ඇටකටු ගෙනෙන්නෙමියි එහි ගොස් ගසමුල ඇටකටු සොයා බලනවිට උඩින් දරුවෙකුගේ හඬක් ඇසී උඩ බලනවිට දේවිය දැක තී කවරියකදැයි විචාළේය. මා මිනිස් ගැහැණියක්මියි කීකල, කෙසේ මෙහි ආවෙහිද? ඇත්කඳලිහිණියකු විසින් මා මෙහි ගෙන එන ලද්දෙමියි කීවාය. එසේ නම් බිමට බසින්නැයි තවුසා කීවේය. ආර්යයෙනි, ජාතියට කැළලක් වේදෝයි බිය වෙමියි කීවිට තී කවර ජාතියකට අයත්ද? ක්‍ර‍ෂත්‍රිය ජාතියටය. මමත් ක්ෂත්‍රියයෙක්මියි හේ කීවේය. එසේ නම් ක්ෂත්‍රියමායම් කියව. ඔහු ක්ෂත්‍රියමායම් කීවේය.

එසේනම් ගස උඩට ගොඩවී මගේ පුතා ගසින් ගනුව. හෙතෙම එක් පැත්තකින් හිණිමඟක් තනා එයින් ගසට නැඟ දරුවා ගත්තේය. ඔබ මා අතින් නොඅල්වවයි කී නිසා ඔහු ඈ අත නොඅල්ලාම දරුවා රැගෙන ගසින් බැස්සාය. දේවියද බැස්සාය.

මෙසේ ඔවුන් අසපුවට රැගෙන ගොස් ශීලභේදකයකට නොපැමිණ අනුකම්පාවෙන් පෝෂණය කළේය. මැස්සන් නොමැති මීවද ගෙනවුත් ස්වයංජාත ඇල්හාලෙන් කැඳ පිස දුන්නේය. මේ ආකාරයෙන් ඔවුන් පෝෂණය කරන කල්හි අපරභාගයෙහි දේවී මෙසේ සිතුවාය. මම මෙහි පැමිණ මඟ නොදන්නෙමි. ආපසු යන මඟද නොදන්නෙමි. මොහුගේත් මා සමඟ විශ්වාස මාත්‍රයකුදු නැත. යම් හෙයකින් මොහු අප හැරදා කොහේ හෝ ගියහොත් අප දෙදෙනාට මෙහිම මෙතනම මැරෙන්ට සිදුවේ. යම්කිසි උපායක් යොදා මොහුගේ සිල්බිඳ මා අත්නොහරින සේ කටයුතු කළයුතුය. එසේසිතා නොහොබිනා ලෙස හැඳ පෙරවාගෙන ඒ දැකුම්වලින් ඔහු පොළොඹවාගෙන සීලවිපත්තියට පැමිණවූවාය. එතැන් පටන් දෙදෙනා සහවාසයෙන් විසූහ.

පසු දිනෙක තවුසා නැකැත්යෝග පිරික්සා බලන්නේ පරන්තපගේ නැකැත්තරුව සැළෙනු දැක සොඳුර, කොසඹෑ නුවර පරන්තප රජු මළේයයි කීය. ආර්යයාණනි, ඔබ එසේ කියන්නේ ඇයි? ඔහු ඔබ හා නොමනාපදැයි ඇසුවාය. නැත සොඳුර, ඔහුගේ නැකත් පෙළෙනු දැක මෙසේ කී‍වෙමි. දේවිය හඬන්ට වූවාය. හඬන්නේ ඇයිදැයි ඇසූ විට පරන්තප තමන්ගේ සැමියා බව කීවාය. සොඳුර අමුත්තක් නොසිතන්න. උපන්නහුට මරණය නියත බව නොදන්නෙහිද? දනිමි ස්වාමීනියි කීකල එසේ නම් හඬන්නේ ඇයිද? ස්වාමීනි, මගේ පුතා කුලසන්තක රාජ්‍යයට සුදුස්සාය. යම් හෙයකින් එහි සිටියේ නම් ඔහු සේසත් නංවා රජ වන්නේය. එහෙත් දැන් ඒකාන්තයෙන් මහත් හානියකට පැමිණියේය. ඒ ශෝකයෙන් හඬන්නෙමි ස්වාමීනියි කීවාය. සොඳුර, එසේ නොසිතන්න, ඔහුට රාජ්‍ය ලබාදීමට ඔබ සිතන්නේ නම් මම ඔහුට රාජ්‍යය ලැබෙන ආකාරයක් කරන්නෙමි.

මෙසේ කියා ඈ අමතා, සොඳුර ඔබේ පුතාට හසුනක් ලියා දෙන්න. ඔහු තනිවම ගොස් රජවන්නේයයි කීවේය. ඈ කුමරා අමතා, කොසඹෑ නුවර පරන්තප රජුගේ පුත්‍රයායිද මා ඇත්කඳලිහිණියෙකු ගෙනා බව කියා සෙනෙවිවරුන්ගේ නම් ආදිය කීවිට නොපිළිගතහොත් මේ ඔබේ පියා පෙරවූ කම්බිලියත් ඇඟිල්ලේ දැමු මුද්දත් පෙන්වන්නැයි ඒවා දී කුමරා පිටත් කළාය. මෙසේ කියා දැන් කළයුතු කුමක්දැයි තවුසාගෙන් ඇසීය. තවුසා කුමරා අමතා, ඔබ ගසේ යටම අත්තේ සිට මේ මන්ත්‍රය මතුරා මේ තත පහරා වීණාව වාදනය කරන්න. එවිට නායක ඇතා පිට නමාගෙන ඔබ වෙත එනු ඇත. උගේ පිට උඩ නැඟී පරන්තප රජුගේ රටට ගොස් රාජ්‍යය ලබා ගනුව. කුමරා මවුපියන් වැඳ මන්ත්‍රය මතුරා ළඟට පැමිණ ඇතුපිට නැඟී කනට කොඳුරා අනිත් මන්ත්‍රය මතුළේය. මට කොසඹෑවේ රාජ්‍යය ලබා දෙවයිද කීවේය.

පැමිණි ඇතා එපුවත අසා දහස් ගණන් ඇත්තු පැමිණෙත්වායි එක් ඇත්නාදයක් කෙළේය. දහස් ගණන් ඇත්තු එහි රැස්වූහ. යළි දිරාගිය ඇත්තු ආපසු යෙත්වායි හඬක් නැඟීය. දිරා ගිය ඇත්තු ආපසු කැලයට ගියහ. තරුණ ඇත්තු නවතිත්වායි හඬක් නැඟීය. නායක ඇතා නොයෙක් දහස් ගණන් යෝධ ඇතුන් පිරිවරා ප්‍රත්‍යන්ත ග්‍රාමයට ගොස්, මම රාජපුත්‍රයාට රජ සම්පත රැගෙන දෙන්නට යන්නෙමි. තෙපි මා සමඟ එත්වායි එතැන්පටන් මිනිසුන්ට සංග්‍රහ කෙරෙමින් ගොස් නුවර වටලා යුද්ධ හෝ කෙරෙත්වා, රාජ්‍යය හෝ දෙත්වායි පණිවුඩයක් යැවීය.

නාගරිකයෝ අපි ඒ දෙකම නොදෙම්හයි කීවෝය. අපේ රාජදේවිය ගැබ්බරව සිටියදී ඇත්කඳලිහිණියෙකු විසින් ඩැහැගෙන යන ලදි. ඈ ජීවතුන් අතර ඇති නැතිබව නොදන්නෙමු. ඒ පිළිබඳ සත්‍ය පුවත යම් දවසක දැනගන්නා තුරු අපි යුද්ධත් නොකරමු. රජයත් නොදෙන්නෙමුයයි කීහ. එකල එය ප්‍රවේණිගත රාජ්‍යයකි. ඉන්පසු කුමරා මම ඒ දේවියගේ පුතායයි කීවේය. එය නොපිළිගත් පසු රක්තකම්බලයත් මුද්දත් පෙන්වීය. සේනාපතීහු ඒ කම්බිලි හා මුද්ද හඳුනාගෙන නිසැකවී රජදොරටුව හැර ඒ කුමරා රාජ්‍යයෙහි අභිෂේක කළහ.

මේ ඝෝෂක සිටුහුගේ උත්පත්ති කථාවයි

අජිත නම් රට දුර්භික්ෂයක් ඇති වූ කල්හි ජීවත්වීමට අපහසුවූ කෝතූහලික නම් එක් මිනිසෙක් කාපි නම් ළාබාල පුතාත් කාළි නම් බිරියත් කැටුව කොසඹෑ නුවරට ගොස් ජීවත්වන්නෙමියි මාර්ගෝපකරණද රැගෙන පිටත් විය. අභිවාතක නම් රෝගයෙන් මිනිසුන් මැරෙනු දැක (බිත්ති බිඳගෙන) නික්මුණාහුයයිද කියති. (ඒ රෝගය හටගත් විට බිත්ති බිඳගෙන යෑම සිරිතකි) මෙසේ යන ඔවුන්ගේ මාර්ගෝපකරණ අවසන්විය. බඩසා දුකින් පීඩිත වූ නිසා දරුවා ඔසවාගෙන යෑමද අපහසු විය. කෝතුහලික බිරිඳට කථා කොට, සොඳුර අප ජීවත්වුවහොත් පසුව පුතකු ලද හැකිය. ඒ නිසා මේ පුතා මඟ දමා යමුයයි යෝජනා කෙළේය. ඈ පුනපුනා ප්‍රතික්ෂේප කරමින් පිළිතුරක් නොදී සිටියාය. දරුවා වරින් වර මාරු කිරීමෙන් වෙහෙසට පත්ව එක් ගසක් යට කොළරොඬුඅතරෙහි ඔහු හොවා ගියෝය. මව නැවතී බලන විට පුතා නොදැක ස්වාමීනි මගේ පුතා කොහිදැයි ඇසුවාය. මම ඔහු එක් ගසක් යට නිදි කෙරෙව්වෙමියි ඔහු කීවේය. සැමියාණනි, මා නොනසව, පුතා නැතිව මට ජීවත්විය නොහැකියි. මගේ පුතා මට ගෙනත් දෙවයි පපුවේ අත් ගසා හඬන්ට පටන්ගත්තාය. ඔහු ගොස් පුතා ගෙනාවේය. ඒ ගෙන එන අතරමඟ පුතා මළේය. මේ කුමරා මෙතෙක් තැන්වල පුතු හැරදැමු අකුශලයෙන් භවාන්තරයේදී හත්වරක්ම හැරදමන ලද්දෙකු විය. පාපකර්මය වනාහි කුඩායයි අවමන් නොකළ යුතුය.

මවුපිය දෙමහල්ලෝ මෙසේ යන අතර එක් ගොපලු ගෙදරකට පැමිණියාහුය. ඒ දවසද ගොපල්ලාගේ දෙනුන් පිළිබඳ මඟුල් දිනයකි.මේ ගොපලුගෙදර එක් පසේ බුදුවරනමක් දිනපතා දන් වළඳති. ගොපල්ලා උන්වහන්සේ වළඳවා ධේනුමංගලයද කෙළේය.

ඒ සඳහා බොහෝ පායාසද පිළියෙළ කරන ලද්දේ විය. ගොපල්ලා එන්නා වූ මඟියන් දැක කොහි සිට එන්නේදැයි විචාරා සියලු පුවත් දැන මෘදු මොළොක් කුලපුතෙකු නිසා ඔවුන්ට අනුකම්පාකොට ගින්නෙන් සමඟ පායාස දුන්නේය. බිරිඳ, හිමියාණනි, මා ජීවත්වන්නේ ඔබ ජීවත්වුණොත් පමණි. බොහෝ කලකින් බඩ පිරුණේ නැත. ඇති තරම් බුදිනු මැනවැයි මිදුණුකිරි හා ගිතෙල් ඔහු ළඟටම කොට තමන් කිරි ටිකක් පමණක් කෑවාය. අනිකා බොහෝ කොට කෑ නමුත් හත්අටදිනක් බඩසා පවසින් පෙළී සිටි නිසා ආහාර තෘප්තිය අවසන් කර ගත නොහැකිවිය. ගොපල්ලාද ඔවුන්ට පායාස දෙවා තමනුත් කන්ට පටන්ගත්තේය.

කෝතුහලිකයා ඔහු දෙස බලා සිටින විට යට මැස්සෙහි හුන් බැල්ලියට ගොපල්ලා දෙන කිරිබත් දෙස බලා, මෙබඳු භෝජනයක් ලබන මේ බැල්ලිය හරිම වාසනාවන්තියකියි සිතීය. හෙතෙම රාත්‍රියෙහි තමා ගත් ආහාර දිරවාගත නොහී මිය පරලොව ගොස් ඒ බැල්ලියගේ කුස පිළිසිඳ ගත්තේය. ඉන්පසු ඔහුගේ බිරිඳ සැමියාගේ සිරුර පිළිබඳ කටයුතු අවසන් කර ඒ ගෙදරම බැලමෙහෙවර කර සහල් නැළියක් ලැබ එය උයා පසේ බුදුන්ගේ පාත්‍රයෙහි බෙදා, මේ පින මිය ගිය දාසයාට ලැබේවායි පතා මා මෙහිම සිටිය යුතුයි, ආර්යයන්වහන්සේ නිබඳවම මෙහි වඩිති. දීමට යමක් ඇතත් නැතත් දිනපතා වැඳීම්පිදීම් ආදි වතාවත් කිරීමෙන් සිත පහදවා බොහෝ පින් රැස්කර ගතහැකියයි සිතුවාය.

මෙසේ සිතු ඕතොමෝ ඒ ගෙදරම බැල මෙහෙවර කරමින් විසුවාය. ඒ ගෙදර බැල්ලීත් හයහත් මසකින් එකම පැටවෙකු වැදුවාය. ගොපල්ලා ඒ බලුපැටවාට එක් දෙනකගේ කිරි වෙන්කර දුන්නේය. පැටවා ටික කලකින්ම ලොකුමහත් විය. පසේ බුදුරජාණන්වහන්සේත් වළදන කල නිබඳවම එක් බත්පිඬක් පැටවාට දෙනසේක. ඌ බත්පිඬ නිසා පසේබුදුන්ට ආදරය දැක්වීය. ගොපල්ලාත් දිනකට දෙවරක්වත් පසේ බුදුන්ට උවටැන් සඳහා යයි. ඒ යන ගමන් අතරමඟ වන සිවුපාවුන් ඇති තැන්වලදී ලීයකින් ගස්වලට හෝ බිමට හෝ ගසමින් සූ සූ සූ යයි තුන්වරක් ශබ්දකර වනසතුන් පලවා හරී. බල්ලාද ඔහු සමඟ යයි. දිනක් හෙතෙම පසේබුදුන්ට, ස්වාමීනි, යම් දිනක මෙහි ඒම සඳහා මට ඉඩක් නොවුණොත් එදාට මම මේ සුනඛයා මෙහි එවන්නෙමි. මොහුගේ පැමිණීම අනුව ඔබවහන්සේ වඩිනු මැනවියි කීවේය.

එතැන් පටන් ඉඩ නැති දිනවල දරුව යන්න, ආර්යයන්වහන්සේ කැඳවාගෙන එන්නැයි සුනඛයා පිටත්කර යැවීය. සුනඛයාත් කී හැටියෙන්ම ස්වාමියා ගස්වලට බිමට ගසන තැන්වලදී තෙවරක් බුරා ඒ හඬින් වන සතුන් පලාගිය බව දැන, උදැසනම සිරුරු පිළිදැගුම් කොට පන්සල තුළට වී සිටින පසේබුදුන් වෙත පැමිණ, පන්සල් දොරටුවේදී තෙවරක් බුරා තමන් ආබව හඟවා එක්පැත්තකටවී නිදාගනියි. පසේ බුදුරජාණන්වහන්සේ වේලාව බලා පිටත් වන විට බුරබුරා ඉදිරියෙන් යයි.

පසේ බුදුරදුනුත් ඌ පරීක්ෂා කරනු පිණිස ඉඳහිට වෙනත් මාර්ගවලටද පිවිසෙති. එවිට සුනඛයා ඉදිරියෙන් මාර්ගය අවහිරකොට බුරා සැබෑ මඟට හරවාගනී. ඉන්පසු දිනක වෙනත් මාර්ගයකට පිවිස ඔහු හරස්ව සිට වැළැක්වූ නමුත් නොනැවතී ඌ පයින් මෑත්කොට වැඩියහ. සුනඛයා උන්වහන්සේ නොනවතින බව දැක සිවුරුකොණ සපා අල්වාගෙන අඳිමින් සැබෑ මඟටම ගත්තේය. මෙසේ ඌ උන්වහන්සේ කෙරෙහි බලවත් ස්නේහයක් උපදවාගෙන සිටියේය. පසු කලෙක පසේ බුදුන්වහන්සේගේ සිවුරු දිරා ගියේය. ගෝපාලයා උන්වහන්සේට සිවුරු පිණිස වස්ත්‍ර ගෙනත් දුන්නේය. වස්ත්‍ර පිළිගත් පසේබුදුන්වහන්සේ ඔහුට, ඇවැත්නි, සිවුරක් කිරීම එක්කෙනෙකුට අපහසුය.ඒනිසා පහසු තැනකට ගොස් එය මසාගන්නෙමියි කීහ. ස්වාමීනි, එය මෙහිදීම කරනු මැනවි. ඇවැත්නි, එසේ කිරීම අපහසුය. එසේ නම් ස්වාමීනි, පිටත ගොස් බොහෝ කල් නොගෙවන්න. සුනඛයා මේ දෙදෙනාගේ කථාව අසා සිටියේය. පසේබුදුන්වහන්සේ එසේ නම් නවතුවයි ඔහු නවතා අහසට පැන නැඟී ගන්ධමාදන පර්වතය බලා නික්මුණුසේක.

අහසට නැඟී වඩින උන්වහන්සේ දෙස බලමින් බුරමින් සිටි සුනඛයා උන්වහන්සේ තමන්ගේ ඇසින් නොපෙනී යනවාත් සමඟම හදවත පැලී ගියේය. තිරිසන්නු වනාහි සෘජු ජාතිකයෝය. අකුටිලයෝය. මිනිස්සු නම් එකක් සිතින් සිතා වෙනත් එකක් කටින් කියති. එහෙයින් මෙසේ කියා ඇත්තේ. ස්වාමීනි, මිනිස්සු කපටි සිත් ඇත්තෝය. සත්තු විවෘත හදවත් ඇත්තෝය. ඒ සුනඛ තෙමේ ඒ සෘජුසිතින්, ඒ අකුටිල භාවයෙන් කළුරියකොට තවුතිසා දෙව්ලොව උපන්නේය. දිව්‍ය අප්සරාවන් දහසක් පිරිවරා මහා සම්පත් අනුභව කළේය. ඔහු තව කෙනෙකුගේ කනළගට කර කරන කථාවේ ඝෝෂාව සොළොස් යොදුනක් පැතිර ගියේය. ප්‍රකෘතියෙන් කරන කථාවේ ශබ්දය යොදුන් දසදහසක්වූ සකල දේවනගරයේම පැතිරීයයි. ඒනිසාම ඔහු ඝෝෂක දිව්‍යපුත්‍ර යන නම ලැබීය.

මේ කිනම් පිනක ආනිසංසයක්ද? පසේ බුදුන් කෙරෙහි ප්‍රේමයෙන් බිරීමේ ප්‍රතිඵලයයි. හෙතෙම එහි ටික කලක් සිට ඒ දෙවිලොවින් චුත වූයේය. දෙව්ලොව දිව්‍ය පුත්‍රයෝ ආයුක්ෂය, පුණ්‍යක්ෂය, ආහාරක්ෂය හා කෝපය යන කරුණු හතර හේතුකොටගෙන දෙව්ලොවින් චුතවෙත්. එහිදී යමෙක් බොහෝ පින්කම්කොට ඇත් නම් හෙතෙම දෙව්ලොව උපදී. එයයි, ආයු ඇතිතාක් සිට වෙනත් තැන්වල උපදී. එයයි, ආයුක්‍ෂය චුතවීම නම් වේ. යමෙක් කුඩා පිනක්කොට උපන්නේ නම් ඔහුට රාජ්‍ය කෝෂ්ටාගාරයක දැමු නැළි දෙක තුනක ධාන්‍යටිකක් මෙන් ඉක්මනින්ම ඒ පින් අවසන්වී කළුරියකරන්ට සිදුවේ. එය පුණ්‍යක්ෂය චුතවීම නම් වේ. අනිත් තැනැත්තේ කාමගුණයන් අනුභව කරමින්සිහිය විකල් කරගෙන ආහාර නොගෙන ක්ලාන්ත වූ ශරීර ඇතිව කාලක්‍රියා කරයි. එය ආහාරක්ෂයචුතවීම නම් වේ. තවත් කෙනෙක් අනිකාගේ සම්පත් ඉවසාගත නොහැකිව කෝප වී කළුරිය කරයි. එය කෝපයෙන් චුතවීම නමි.

මේ දිව්‍ය පුත්‍රයා කාමයන් අනුභව කරමින් සිහිවිකලව ආහාරක්ෂයවී දෙව්ලොවින් චුතවිය. එයින් චුතව කෞෂාම්බී නගරයෙහි නගරශෝභිනියගේ (වෙසඟන) කුස පිළිසිඳ ගත්තේය. ඕතොමෝ ඔහු ලැබූ දින දාසියගෙන් විමසා ආර්යාවනි, ඔබට පුතකු ලැබුණේයයි කීපසු එසේවීනම් මේ දරුවා ගෙන ගොස් කසලගොඩක දමවයි එසේ කරවාලීය. නගරශෝභනියෝ දූවරුන් පමණක් හදාවඩා ගනිති. පුතුන් නොහදති. ඔවුන්ගේ වෘත්තිය ගෙන යන්නේ දුවරුන් විසින් හෙයිනි.

බල්ලොත් කපුටෝත් ළදරුවා වටකොටගෙන සිටියාහ. පසේ බුදුන්වහන්සේට ස්නේහ කිරීමේ හා බිරීමේ පින් මහිමයෙන් ඒ එකකුටවත් දරුවා ළගට ඒමට නොහැකි විය. ඒ වෙලාවේ එක් මිනිසෙක් බැහැර ඇවිදගෙන යන අතර ඒ බලූකපුටුවන්ගේ එක්වීම දැක මේ කිමෙක්දැයි එතැනට ගොස් දරුවා දැක පුත්‍රස්නේහය උපදවා, මට පුතෙක් ලැබුණේයයි දරුවා ගෙදර ගෙන ගියේය. එකල කොසඹෑ සිටුතෙම රජගෙදරට යන්නේ රජගෙදර සිට එන පුරෝහිතයා දැක ආචාර්යයන් කෙසේද, ඔබ අද දිනයේ තිථීකරණ නැකැත්යෝග විමසා බැලූවෙහිදැයි ඇසීය. එසේය, මහසිටාණෙනි, අපට බාරව ඇත්තේ එය මිස වෙන මොනවාදැයි කීය. ඉතින් මේ ජනපදයෙහි අද කුමක් සිදුවෙයිද, වෙනත් දෙයක් නම් නැත. මේ නගරයෙහි අද උපන් දරුවෙක් ඇත්නම් ඔහු දෙටු සිටුවරයා වන්නේයයි කීවේය.

එකල සිටුවරයාගේ බිරිය ගැබ්බරව සිටියාය. එහෙයින් හෙතෙම එම්බල, ගෙදර ගොස් ඈ වැදුවාද නැද්ද කියා බලා එවයි වහාම එක් පුරුෂයෙකු ගෙදර යැවීය. සිටු භාර්යාව නොවැදු බව දැන රජුන් දැක වහා ගෙට ගොස් කාලීනම් දාසිය කැඳවා, දහසක් දීතී ගොස් මේ නගරය පුරා ඇවිද අද උපන් දරුවකු ඇත්නම් ඔහු රැගෙන එවයි පිටත්කර හැරියේය. දාසිය ගොස් සොයා බලා දරුවා ගැන දැනගෙන එම ගෙදරට ගොස් දරුවාදැක මේ දරුවා උපන්නේ කවදාදැයි ගැහැවියාගෙන් අසා දැනගෙන අදයයි කීකල්හි මේ දරුවා මටදෙවයි කහවනුවක සිට මිල වැඩි කොට කහවනු දහසක් දී දරුවා රැගෙන ගොස් සිටුවරයාට දුන්නේය.

සිටුතෙමේ යම්හෙයකින් මට දුවක් ලැබුණොත් ඈ සමඟ මොහුත් එකට හදා සිටු තනතුරේ හිමිකාරයකු කරමි. පුතෙක් ලැබුණොත් මොහු මරාදමා ඔහු හිමිකාරයකු කරමියි සිතා ළදරුවා තම ගෙදරම නවතාගත්තේය. ඉන්පසු කිහිප දිනකින් ඔහුගේ බිරිඳ පුතකු වැදුවාය. සිටුතෙමේ, මොහු නැතිවිට මගේ පුතාම සිටුතැන් ලබයි. දැන්මම මොහු මැරීම වටීයයි සිතා කාළිය අමතා, එම්බල යව, ගවගාලෙන් ගවයන් නික්මෙන වේලාවෙහි ගාල දොරටුව මැද මේ දරුවා හරස්කොට තබව. දෙන්නු මොහු පාගායනු ඇති. පෑගුණු නොපෑගුණු බව දැනගෙන එවයි දරුවා දී ඈ පිටත් කෙළේය. ඈ ගොස් ගොපල්ලා ගාල් දොර විවෘත කරනවිටම දරුවා යටකී පරිදි හොවාලීය.

ගවරැලේ නායක වෘෂභයා වෙනත් දිනවල සියල්ලන්ට පසුව යන නමුත් එදින සියල්ලන්ට පළමුව නික්මී දරුවා පා සතර මැද සිටින සේ සිටගත්තේය. දහස් ගණනක් දෙනු මේ වෘෂභයාගේ දෙපසින් ඔහුගේ ඇඟේ හැපෙමින් නික්මුණාහුය. ගොපල්ලාත් මේ වෘෂභයා පෙර දිනවල සියල්ලන්ට පසුව යයි. අද සියල්ලන්ට පළමු ගොස් ගාල් දොරටුව මැද නිසලව සිටින්නේ ඇයි දැයි සිතා එහි ගොස් උගේ සිවුපා යට හුන් දරුවා දැක දරු සෙනෙහස උපදවා මට පුතෙක් ලැබීණැයි ගෙට ගෙනගියේය.

කාළිය ගොස් සිටුවරයා විසින් විචාරන ලදුව ඒ පුවත දැන්වූ කල්හි යව නැවතත් මේ කහවණු දහස දී ඔහු රැගෙන එවයි කී පසු ඈ නැවතත් ගෙනවුත් දුන්නාය. සිටුවරයා ඈට, දුව කාළිය මේ නගරයේ ගැල් පන්සීයක් ගෙන වෙළෙන්දෝ උදැසනම නැඟිට වෙළඳාමට පිටත්ව යන්නාහ. ඔබ මොහු ගෙන ගොස් රථ රෝදමඟෙහි හොවාළන්න. ගොන්නු හෝ මොහු පාගාගෙන යති. රිය රෝද හෝ මොහු කැබලි කර දමනු ඇති. ඒ පුවත දැනගෙන එන්නැයි කියා පිටත්කර හැරියේය. ඈ දරුවා ගෙනගොස් රෝදපාරෙහි හොවාලූවාය. එදින ගැල්කරු නායකයා ඉදිරියෙන්ම ආවේය. ඔහුගේ ගොන්නු එතනට පැමිණ නැවතුණාහ. නැවත නැවතත් ගැල සකසා තල්ලු කළ නමුදු ගැල පෙරට නොගියේය. මෙසේ ඒ සඳහාම ගොනුන්ද සමඟ උත්සහ ගන්නා අතර හිරුද පායා ආවේය. ගොන් මෙසේ කරන්නේ ඇයිදැයි පාර ගැන සොයා බලන විට රිය පාරේ හුන් බිළිඳා දැක, මවිසින් වැරැද්දක් කරන ලද්දෙමියි සිතා, මට පුතකු ලැබුණේයයි තුටු පහටු සිතින් දරුවාත් රැගෙන ගෙදර ගියේය.

කාළී එය බලාසිට සිටුවරයා ළගට ගොස් එපුවත දන්වා සිටියාය. තීයව, නැවතත් කහවණු දහසක් දී දරුවා ගෙනවයි කී කල්හි ඈඑසේ කළාය. දැන් මොහු ගෙන ගොස් අමු සොහොනේ ගස් අතර රඳවාපියව. එහිදී සුනඛාදීන් විසින් හෝ කාදමනු ලබයි, අමනුෂ්‍යයන් විසින් හෝ පහරදෙනු ලැබ මැරෙයි. මොහු මළ බව දැනගෙනම එවයි. පිටත්කර හැරියේය. ඈ දරුවා අමුසොහොනට ගෙන ගොස් ගස් අතර හොවා එක් පැත්තකට වී බලා සිටියාය. සුනඛයෙකුට කපුටෙකුට හෝ අමනුෂ්‍යයෙකුට හෝ දරුවාට ළංවිය නොහැකි විය. එහෙත් එහිදී ඔහුගේ මව පියා හෝ සොහොයුරා හෝ වෙනත් කවරකු හෝ ඔහු රක්ෂාකළේ නැත. එසේනම් ඔහු රැක්කේ කවුරුන්ද?

සුනඛ ආත්මයේ සිටි කාලයේ පසේබුදුන් කෙරෙහි ආදරයෙන් පැවැත්වූ භූංකාර මාත්‍රය (බිරීම) ඔහු රකියි.

ඉන් පසු එක් එළුගොපල්ලෙක් නොයෙක් දහස් ගණන් එළුවන් තණකැවීම පිණිස ගෙන යන ගමන් සොහොන ළඟින් ගියේය. එක් එළුදෙනක් කොළ ආදිය කමින් යන්නී, ගස් අතර සිටි දරුවා දැක දණ නමා සිට දරුවාගේ කටට තනපුඩුව දුන්නාය. අජපාලකයා හේ, හේ කියා ශබ්ද කළ නමුදු එළුදෙන එතනින් නොගියාය. අජප්පාලයා, කෙවිටෙන් ගසා ඈ ගෙනයන්නෙමියි සිතා ගස් අතරට පැමිණ, ඈ දණින් සිට දරුවාට කිරි පොවනු දැක, දරුවා කෙරෙහි පුත්‍රස්නේහය උපදවා මට පුතෙක් ලැබිණියි රැගෙන ගියේය.

කාළියගෙන් සිටුවරයා තොරතුරු ඇසූවිට ඒ පුවත දන්වා සිටියාය. සිටුතෙමේ එම්බල නැවතත් මේ කහවණු දහස රැගෙනයව. ගොස් ඔහු රැගෙන එවයි කීකල ඈ එසේ කළාය. ඉන්පසු සිටුවරයා මෑණියනි, මොහු ගෙන ගොස් චොරපපාත (සොරු මිනිසුන් මැරීමට හෙළනු ලබන පර්වතයකි) පර්වතයට නැඟ ප්‍රපාතයට දමව, පර්වත කුහරයේ වැදී මොහු කැබලි වී බිමට වැටෙන්නේය. එහිදී මළ නොමළ බව දැනගෙනම එවයි පිටත් කෙළේය. ඈ ඔහු එහි ගෙන ගොස් එසේ කළාය. පර්වතය මුදුනේ වැඩී පැතිර ගිය ඔලිඳ වැල් ලැහැබක්ද විය. දරුවා පලසක් මත තැබුවාක් මෙන් ඒ මත වැටුණේය. එගම නළකාර ප්‍රධානියාගේ වේණුබලිය (උණලීවලට බදු ගෙවීම) පවත්වන දිනයද එදාය. හෙතෙම තම පුතාත් සමඟ එහි ගොස් උණ ලැහැබ කපන්ට පටන් ගත්තේය. ලැහැබ සෙලවෙනවිට දරුවා ශබ්ද කෙළේය. හෙතෙම ළදරු හඬක්යයි එක්පැත්තකින් නැඟීදරුවා දැක මට පුතෙක් ලැබුණේයයි සතුටුව වඩාගෙන ගියේය.

කාළිය සිටුවරයා වෙත ගොස් තොරතුර දන්වා සිටියාය. සිටුවරයා නැවතත්, යව, ගොස් මේ කහවණු දහස දී ඔහු රැගෙන එවයි කීපසු ඈඑසේ කළාය. සිටුවරයා, මෙසේ කරව, මෙසේ කරවයි ඒ කියනකියනදේ කරන අතරම දරුවාද, වැඩී ගියේය. ඔහුට ඝෝෂක යන නමද ලැබිණි. ඔහු සිටුහුගේ ඇසේ ඇනුණු කටුවක් මෙන් පීඩාකාරකයක් විය. කලින් ඔහු දෙස බැලීමට පවා සිටුවරයා අසමත් විය.

දිනක් දරුවා මරා දමන උපායක් සිතමින් තම යහළු කුම්භඝෝෂක සමීපයට ගොස් ඔබේ වළං පෝරණුව ගිනි තබන්නේ කවදාදැයි ඇසීය. එය හෙට ගිනිතබන්නෙමියි කීකල්හි එසේනම් මේ කහවණු දහස රැගෙන මට එක් උදව්වක් කර දෙන්නැයි කීය. ස්වාමීනි, ඒ කුමක්ද? මට එක් අවජාතක පුතෙක් සිටී. ඔහු ඔබ ළඟට එවන්නෙමි. ඔබ ඔහු පෝරණුවේ ගැබ තුළට දමා තියුණු වෑයකින් කැබලිවලට කපා සැළියක බහාලා පෝරණුවේ ලා පුළුස්සන්න. දැන් මේ දෙන දහස අත්තිකාරමකි, තවත් කළයුතු දේ පසුව කරන්නෙමියි කීය. කුඹලා මැනැවැයි පිළිගත්තේය. සිටුතෙමේ දෙවනි දින ඝෝෂක කැඳවා දරුව, මම ඊයේ කුඹලාට වැඩක් භාරකෙළෙමි. දැන් ඔබගොස් මෙසේ කියන්න. මගේ පියා ඊයේ ඔබට එක් වැඩක් භාර දී ඇත. එය අවසානද? කියන්නැයි දරුවා එහි යැවීය. ඔහු මැනවින් එහි ගියේය.

දරුවා එහි යන අතර සිටුවරයාගේ අනිත් පුතා සෙසු දරුවන් සමඟ ගුඩුකෙළි සෙල්ලම් කරමින් සිට ඔහු දැක සොහොයුර කොහි යන්නෙහිදැයි අසා පියාගේ පණිවුඩයක් රැගෙන කුඹලා වෙත යන්නෙමියි කීකල්හි, මේ ළමයි මගෙන් බොහෝ ඔට්ටු දිනාගත්හ, මට ඒවා ආපසු දිනාදෙන්නැයි ඉල්ලා සිටියේය. මා පියාට බිය නිසා එය දැන් කල නොහැකියයි දෙවැන්නා කීවේය. සොහොයුර බිය නොවව. මම පියාගේ පණිවිඩය ගෙන යන්නෙමි. බොහෝ ඔට්ටු මගෙන් දිනාගෙන ඇති නිසා මා එනතුරු ඒ සියල්ල නැවත දිනාගෙන තබන්නැයි සිටුපුතා කීවේය.

ඝෝෂක ගුඩුක්‍රීඩාවෙහි දක්ෂයෙකි. එහෙයින් ඔහු මෙහි යොදවන ලද්දේ. හෙතෙම, ඔබ කුඹලා වෙත යන්න. මගේ පියා ඊයේ භාරදුන් වැඩය අවසන් කරන්නැයි කියා ඔහු පිටත් කර හැරියේය. සිටුපුතා කුඹලා ළඟට ගොස් සිටුවරයාගේ පණිවුඩය ඒ හැටියෙන්ම කීවේය. කුඹලාද සිටුවරයා කීලෙසින්ම ඔහු මරා පෝරණුවෙහි ලෑවේය. ඝෝෂක දවස පුරා ක්‍රීඩා කොට සවස් යාමයෙහි ගෙදර ආවේය. ඇයි දරුව ඔබ නොගියෙහිදැයි ඇසූ විට තමන් ආ කරුණත් බාල සොහොයුරා එහි ගිය සැටිත් දන්වා සිටියේය. සිටුතෙම ඒ අසා මට නින්දා වේවායි මහහඬින් හඬා සියලු සිරුරෙහි උණුතෙල් වැටුණාක් මෙන් දැවිල්ල හැදී, ලේ උණුවී ගොස් එම්බල කුම්භකාරය, මා නොනසව, මා නොනසවයි දෙඅත් හිස තබාගෙන හඬමින් කුඹලා ළඟට දිව ගියේය. කුඹලා දුව එන සිටුවරයා දැක, ස්වාමීනි, ශබ්ද නොකරන්න. ඔබ කියූ සියල්ල නිමාකෙළෙමියි කීය. හෙතෙම මහා පර්වතයකින් පහතට වැටුණු කෙනෙකු මෙන් මහත් සේ ශෝකයට පත්විය. අනල්ප දොම්නස් වින්දේය. දුෂ්ඨ නොවන අයට දුෂ්ඨකම් කිරීමේ විපාකය ඒ ලෙසමය. භාග්‍යවතුන්වහන්සේ එනිසාම මෙසේ වදාළහ.

දඬුවම් නොකළයුතු අයට දඬුවම් දේ නම්

මෙහි එන කරුණු දහයෙන් එකකට නමුත් පැමිණේ

මහවේදනා පීඩා ධනහානියද

ආබාධයට හා ඔල්මාදයට වැටේ

රජ උදහසට දෝෂාරෝපණයකට

නෑයන්ගෙනුත් පිරිහී සැප විනාසෙට

ඔහු සතුවූ ගෙවල් ගින්නෙන් දැවී වැනසෙයි

මරණින් පසුව ගොස් නිරා දුකකට පැමිණෙයි

එසේ සිදුවීමෙන් පසු සිටුවරයාට ඔහු මුහුණ දෙස කෙළින් බැලීමට පවා අපහසු විය. කෙසේ මොහු මරා දමන්නෙම්දැයි සිතන සිටුවරයාට, මගේ ගම් සීයේ අයවැය එකතු කරන්නා වෙත යවා, මොහු මරන්නෙමියි එක් උපායක් දැක, මේ මගේ අවජාතක පුතෙකි. මොහු මරා වැසිකිළියක දමව. එය ඉටුකළ කල මම මාමා වෙනුවෙන් කළයුතු දේ දන්නෙමියි ඔහුට ලිපියක් ලියවා, දරුව, ඝෝෂක, අපේ ගම්සීයේ ආයුත්තකයෙක් සිටී, මේ ලිපිය ගෙනගොස් ඔහුට දෙවයි ලිපිය ඔහු අත තැබීය. දරුවා අකුරුසමය හෙවත් ලිවීම කියවීම නොදනියි. බාල කල පටන් කුමරා මරවන්ට වෑයම්කළ නමුදු එය නොහැකි විය. අකුරුශිල්පයක් කෙසේ නම් දැනගන්ටද? මෙසේ හෙතෙම තමාගේ මරණලිපිය, රෙදිවාටියෙහි බැඳගෙන පිටත්වෙමින් පියාණනි, මට මඟඋපකරණ නැතැයි කීවේය. මාර්ගෝපකරණවලින් තොපට වැඩක් නැත. අතර මඟ අසවල් ගමේ මගේ යාළු සිටුවරයෙක් සිටී. ඔහුගේ ගෙදරදී උදේ ආහාරය ගෙන යවයි පිටත් කෙළේය.

ඔහු යහපතැයි පියා වැඳ පිටත්වී ගියේය. ඒ කියන ලද ගමට ගොස් සිටුවරයාගේ ගේ ගැන අසා දැන එහි ගොස් සිටුභාර්යා හමුවිය. ඔබ කොහි සිට ආවෙහිද? මාතාවනි, ඇතුළුනුවර සිටයි. කාගේ පුතෙක්ද? මෑණියනි ඔබේ යහළු සිටුතුමාගේයි. ඔබ ඝෝෂකද? මෑණියනි, එසේය. සිටුභාර්‍යාවට දරුවා දුටු ගමන්ම ඔහු කෙරෙහි පුත්‍රස්නේහය ඇතිවිය.

ඒ සිටුවරයාට සිටියේ එකම දුවණියකි. පසළොස් සොළොස් වියෙහිවූ ප්‍රසාදජනක අභිරූපිනියක වූවාය. ඈ රකිනු පිණිසත්, ඇගේ මෙහෙවර හා එහෙමෙහෙ ගෙන යෑමටත් එකම දාසියක් දී සත්මහල් පහයක උඩම මහලේ සිරියහන් ගබඩාවක නවතා සිටියාය.

මේ අවස්ථාවේ සිටුදුවණිය තම දාසිය ඇතුළු වෙළඳ පොළට යැවුවාය. සිටු බිරිඳ ඒ දැක කොහි යන්නීදැයි විචාරා, ආර්යාවනි, දුව විසින් මා එහි යවන ලද්දෙමියි කීකල දැන් මෙහි එව. ගමන නවතා ලවයි කියා මේ මගේ පුතාට පුටුවක් ගෙනව. පා දොවා තෙල් ගා සායනයක් සූදානම්කොට දෙව. ඉන්පසු යන ගමන යවයි කීවාය. දාසිය එසේ කළාය. පසුව කාලය ගතකර පමා වී පැමිණි දාසියට සිටුදුව දැඩිලෙස තර්ජනය කළාය. දාසිය සිටුදුවට මෙසේ කීවාය. මට නොකිපෙන්න ඝෝෂක සිටුපුතා පැමිණ සිටී. මම ඔහු වෙනුවෙන් මේ මේ කටයුතු කොට පැමිණියෙමි.

ඝෝෂක සිටුපුත් යනනම ඇසීමෙන්ම සිටුදුවණිය තුළ ඇති වූ ප්‍රේමයේ වේගය සම සිදුරු කරගෙන ගොස් ඇට මිදුළු දක්වා විනිවිද ගියේය. කෝතුහලික කාලයේ පටන් ඈ ඔහුගේ ප්‍රජාපතිනිය, බිරිඳ වී කැඳ බත් ආදියෙන් පසේබුදුන් පිදුවාය. ඒ පින් බලයෙන් මේ සිටුකුලයෙහි උපන්නාය. මෙසේ ඒ පෙරවූ ප්‍රේමය මෙහිදී ඉස්මතු විය. එහෙයින් බුදුරදුන් විසිනුදු මෙසේ වදාළහ.

පෙර එක්වී පුරුදු

හිතවත් කමින් වත්මන

ප්‍රේමය යළි යළි නැඟේ

දියවරක පැරණි අලයකින්

හැදී පිපෙන නෙළුමක් සේ

පසුව, සිටුදුවණිය, මෑණියනි, දැන් ඔහු කොහේදැයි ඇසුවාය. ඇඳ මත නිදාගෙනය. ඔහුගේ අතේ කුමක් හෝ ඇද්ද? ඔහුගේ ඉණේ (දසරුව) ලිපියක් ඇත. මා පියන් වෙනත් සිතකින් සිටින අතර, සිටුදුව ඔහු නිදා සිටියදීම රහසිගතව බැස ලිපිය රැගෙන තමන් වසන තැනට ගොස් දොර වසා ජනේලය හැර අකුරු කීමෙහි දක්ෂ හෙයින් නිහඬව කියවා බැලුවාය. අනේ මේ බාලයා තමන්ගේ මරණ ලිපිය තමන්ගේ ඉණේ බැඳගෙන ඇවිදියි. යම් හෙයකින් මෙය මා නොදුටුවේනම් ඔහුගේ ජීවිතයද අවසානයයි. ඒ ලිපිය පලා ඉරා සිටුවරයා ලියන හැටියට ඔහුගේ වචනයෙන් වෙනත් ලිපියක් ලීවාය. මේ මගේ පුත් ඝෝෂකයි. ගම් සියයෙන් අයබදු රැගෙන මොහු ජනපද සිටුවරයාගේ දුව හා සමඟ විවාහ මංගලයට ඇතුළු කොට තමන් වසන ගම මැද දෙමහල් මැදුරක් තනා එය ප්‍රාකාරවලින් වටකොට ආරක්ෂක පුරුෂයන් යොදවා මැනවින් ආරක්ෂාව සැපයිය යුතුය. ඉන් පසු මා විසින් මේ මේ දේ කරන ලදැයි මට ද ලිපියක් එවිය යුතුය. එසේ කළ පසු මම මාමා වෙනුවෙන් කළ යුතු සියල්ල බලා ගන්නෙමියි ලියා ලිපිය හකුළුවා ඝෝෂකගේ ඉණේ බැන්දාය.

සෝෂක වරුවක් පමණ නිදා අවදිවී නැඟිට ආහාර අනුභව කොට පිටත්ව ගියේය. දෙවෙනි දින උදෑසනම ඒ ගමට ගොස් ආයුක්තකයන් ගමේ වැඩකරන තැනදීම හමුවිය. හෙතෙම ඝෝෂකයන් දැක පුතා කුමක් නිසා පැමිණියේදැයි ඇසීය. මගේ පියා ඔබට ලිපියක් එවීය. මොන ලිපියක්ද? පුත, එය දෙන්නැයි ලිපියගෙන කියවා සතුටු සිතින් හිතවතුනි, මේ බලව්. මගේ ස්වාමියාගේ හිතවත් කම බලව්. මගේ දෙටු පුතාගේ විවාහ මංගල්ලය කරන්නැයි ඒ පුතා මා වෙත එවීය. හනික දර ආදී දේ ගෙනවුත් ගෘහපතියන්ටද කියා ගම මැද කියා එවා ඇති පරිදි ගෙයක් කරවා ගම් සියයෙන් අයබදු ගෙවා ගෙන ජනපද සිටුවරයාගේ දුව කැඳවාගෙන ගෙනවුත් විවාහමංගල්‍ය සිදුකොට මවිසින් මේ මේ දේ ඉටුකරන ලදැයි සිටුවරයා වෙත ලිපියක් ලියා යැවීය. ඒ පුවත ඇසූ සිටුවරයා කරන්ට හිතෙන දේ නොකෙරෙයි. නොකරන්ට සිතන දේ කෙරෙයි. කියා මහත් දොම්නසට පත්විය. පුත්‍ර ශෝකය සමඟ මේ ශෝකයත් එක්වී බඩේ පපුවේ දැවිල්ලක් හටගෙන අතීසාරයද වැළදිණි. සිටුදුවත් යම් විටක සිටුවරයා ළඟ සිට කවුරුන් හෝ ආවොත් මට නොකියා පළමුව සිටුපුත්‍රයාට නොදන්වවයි නියෝගයක් කළාය.

සිටුවරයා, දැන් ඉතින් ඒ දුෂ්ට පුත්‍රයා මගේ ධනයට ස්වාමියකු නොකරන්නෙමියි, එක් අයකැමියෙකුට කතා කොට මෙසේ කීවේය. මාමාණනි, පුතා දකිනු කැමැත්තෙමි. එක් පුරුෂයකු අත වියපැහැදම් දී මගේ පුතා මෙහි ගෙන්වව. හෙතෙම යහපතැයි හසුනක් දී එක් පුරුෂයෙකු එහි යැවීය. සිටුදුව ඔහු අවුත් දොරටුව ළඟ සිටින බව අසා කැඳවා, දරුව, ඇයිදැයි ඇසුවාය. ආර්යාවනි, සිටුවරයා ගිලන්විය. පුතා දකිනු කැමති වෙයි. දරුව, රෝගියා බලවත්ද, දුබලද? ආර්යාවනි, බලවත්ය. තවම ආහාරය වළඳිතියි කීය. ඈ ඔහු ආ බව සිටුපුතාට නොදන්වා ආ පුරුෂයාට නිවසකුත් අවශ්‍ය බඩුබාහිරාදියත් වැටුප් වියදම් ආදියත් දීමා කීපසු එහි යවයි නවතාගත්තාය. සිටුතෙමේ නැවතත් අයකැමියා අමතා, මාමාණනි, ඇයි මපුතුන් වෙත පණිවුඩයක් නොයැව්වේද? යැව්වෙමි ස්වාමීනි, ගිය මිනිසා මෙතෙක්ම ආවේ නැතැයිද කීය.

එසේ නම් තව කෙනෙක් එහි යවව. ඔහු තව එකෙක් යැවීය. සිටුදුව ඔහු කෙරෙහිද පළමුසේම කටයුතු කළාය. මේ අතර සිටුහුගේ රෝගය බලවත් විය. එක් බඳුනක් තබා එය ඉවත් කරන විට තවත් බඳුනක් තබන්ට විය. සිටු තෙමේ නැවතත් විචාළේය. මාමාණනි, ඇයි කිසිවකු මපුතු වෙත නොයැව්වේද? යැව්වෙමි ස්වාමීනි, ගිය පුරුෂයා මෙතෙක්ම ආපසු පැමිණියේ නැත. එසේ නම් තවත් පුරුෂයකු යවව. හෙතෙම තවත් පුරුෂයකු යැවීය. සිටුදුව තෙවෙනි වරට ආ පුරුෂයාගෙන් තොරතුරු විචාළාය. ආර්යාවනි, ඔහු දැඩි ලෙස ගිලන්ය. ආහාරද නවතා මංචපරායණව (ඇඳේ වැතිරී සිටීම) සිටියි. එක් බඳුනක් ඉවත් කරන විට තවත් බඳුනක් තැබියයුතුය (අතීසාරය නිසා).

සිටුදුව, දැන් යෑමට වේලාව යයි දැන ඔබේ පියා ගිලන්ව ඇතැයි ඝෝෂකට දැන්වීය. සොඳුර කුමක් කියන්නෙහිදැයි ඇසූ විට ඔහු බෙහෙවින්ම අරෝබලත් තත්වයට පත්වී ඇතැයි කීවාය. දැන් ඉතින් කුමක් කරමුද? ගම් සියයෙන් උපන් අයබදු හා බඩුමුට්ටුත් රැගෙන ගොස් සිටුවරයා හමුවෙමුයි කීවාය. හෙතෙම යහපතැයි අයබදු හා බඩුමුට්ටු ගෙන්වා ගෙන කරත්තයකින් ඔහුත් සමඟ පිටත්ව ගියේය. ඉක්බිති ඈ ඔබේ පියා දුබලය. මේ අයබදු හා භාණ්ඩ ගෙනයන විට පමා වෙයි. මොහු නවත්වන්නැයි කියා ඒ සියල්ල තමන්ගේ ගෙට යවා සිටුපුත්‍රයාට, ස්වාමීනි, ඔබ එහි ගොස් ඔබේ පියාගේ දෙපා ඇති පැත්තෙන් (පාමුලින්) සිටින්න. මම ඉහලෙන් (හිස ඇති) සිටින්නෙමියි කියා ගෙට පිවිසෙන විට ගෙය ඉදිරිපසිනුත් පසුපසිනුත් රැකවල්ලාගන්නා ලෙස ආරක්ෂකයන්ට නියෝග කළාය. ගෙට පිවිසි සිටුපුතා පියාගේ පා ඇති පැත්තේ සිටගත්තේය. ආයුක්තකයා සිටුහුගේ පිරිමදිමින් ස්වාමීනි, ඔබේ පුතා ආවේයයි කීවේය. පුතා දැන් කොහිද? මේ ඔබේ දෙපා සමීපයෙහි. පසුව, මගේ ගෙදර කොපමණ ධනය ඇද්දැයි ඇසීය. ස්වාමීනි කහවණු වලින් පමණක් සතළිස් කෝටියකි. ගම්කෙත්ද්විපාද චතුෂ්පාදසත්තු යාන වාහනාදිය මේ මේ පමණයයි කීකල මගේ මෙපමණ වූ ධනය මපුත් ඝෝෂකට නොදෙන්නෙමියි කියනු කැමැත්තේ දෙමියි කීය. ඒ අසා සිටුදුව මොහු නැවන කථා කළොත් මීට වඩා වෙනත් දෙයක් කීමට පුළුවනියි සිතා ශෝකාතුරවූවාක් මෙන් කෙස් කළඹ කඩාහෙළා, හඬමින් පියාණනි මේ කුමක් කියන්නෙහිද, ඔබ මේ කියන්නේ මොන කතාද, අනේ, නොඇසිය යුතු කතා ඇසුවෙමියි කියමින් යළි කතා කළ නොහැකි අයුරින් හිසෙන් ඔහුගේ පපුව මැදට ගසමින් බලවත් ශෝකය ප්‍රකට කළාය. සිටුතෙම එකෙණෙහිම කළුරිය කෙළේය.

සිටුවරයා මියගිය බව උදේන රජුට දන්වා යැවූහ. රජු ඔහුගේ සිරුර පිළිබඳ අවසන් කටයුතු කරවා මොහුට දුවක හෝ පුතකු ඇද්දයි ඇසීය. මොහුට ඝෝෂක නම් පුතෙක් ඇත. සියලු සම්පත් ඔහුට පවරා දීමෙන් පසුවම සිටුවරයා මියගියේයයි කීවාහුය. රජු ඉන්පසු සිටු පුත්‍රයා කැඳවීය. ඒ වැසි දිනයකි. රජමිදුලේ තැනින් තැන ජලය රැස්වී තිබිණි. සිටුපුතා රජුන් දැකීමට පිටත් විය. රජු වාකවුලුව විවර කොට රාජාංගනයෙහි දියෙන් පැන පැන දිය පාගමින් එන ඔහු දැක, අවුත් වැඳ සිටි කල්හි දරුව, ඔබ ඝෝෂකදැයි අසා දේවයිනි එසේයයි කීකල්හි තමාගේ පියා මළේයයි ශෝක නොකරව. ඔබේ පියාසතු සිටු තනතුර ඔබටම දෙමියි ඔහු සනසා පුතා දැන් ඔබ යන්නැයි පිටත්කර හැරියේය. රජු, යන ඔහු දෙසද බලා සිටියේය. ඝෝෂක මාලිගයට එන ගමන් පෑගු දියට ම බැස සෙමින් ගියේය. පසුව රජු ඔහු නැවත කැඳවීය. දරුව ඔබ මා ළඟට එන විට ජලය පැන පැන පාගාගෙන අවුත් ආපසු යන විට ජලයට බැස සෙමින් ගියේත් ඇයිදැයි ඇසීය. දේවයන්වහන්ස, එසේය. මා මෙහි එන විට ක්‍රීඩාශීලී කුමරෙක්මි. දැන් දේවයන්වහන්සේ විසින් මා ඨානාන්තරයක පිහිටුවනු ලබන බවට පිළිණ ලදිමි. එහෙයින් පෙර මෙන් නොව තමන් තැන්පත්වූවෙකු ලෙස හැසිරීම මැනවැයි සිතුණු නිසායයි හේ පිළිතුරු දුන්නේය. රජු ඒ අසා නුවණැති පුරුෂයෙකියි මේ දැන්ම මොහුට සිටු තනතුර දෙන්නෙමියි. පියා පරිභෝග කළ භෝග සම්පත්ද, හැම දෙයකින්ම සියයේ කොටස්වලින් වස්තුවද සමඟ ඔහුට සිටු තනතුර පවරා දුන්නේය.

ඝෝෂක සිටු රියට නැගී නුවර ප්‍රදක්ෂිණා කෙළේය. ඔහු බැලු බැලූ හැම තැනම කම්පාවිය. සිටුදුවත් කාලී දාසියද සමඟ කථාකරමින් සිටින අතර, කාලී මෑණියනි, ඔබේ පුතාට මෙපමණ සම්පත් මා නිසා ලැබුණේයයි කීවාය. මෑණියනි, ඒ කෙසේදැයි ඇසූ විට, මොහු තමාගේ මරණලිපිය ඉණේ තබාගෙන අපේ ගෙට ආවේය. මම ඒ ලිපිය ඉරා දමා මා සමඟ විවාහ මංගලය කරන හැටියට වෙනත් ලිපියක් ලියා මෙපමණ කලක් එය ආරක්ෂා කෙළෙමි. මෑණියනි. මේ සිද්ධිය ඔබට පෙනෙන්නේ කෙසේද? ළමා කාලයේ පටන් මේ කුමරා මරාදැමීමට සිටුවරයා වෙහෙස ගත් නමුත් එය කළ නොහැකිවිය. හුදෙක් මොහු නිසා බොහෝ ධනය නොයෙක් දෙනා විසින් දිනා ගන්නා ලදහ. මෑණියනි, මේ සිටුවරයා විසින් කරන ලද්දේ බැරෑරුම් ක්‍රියාවකියි කියන අතර නගර ප්‍රදක්ෂිණා කළ ඝෝෂක සිටු ගෙට පිවිසෙනු දැක මොහු මෙපමණ සම්පත් ලැබුවේ මා නිසායයි සිනා පහළ කළාය. අනතුරුව සිටුතෙමේ සිනාසෙන්නේ ඇයිදැයි ඇසීය. ඈ කිසිවක් නොකීවාය. ඉදින් නොකියන්නී නම් ඒ දෙකඩකොට ලන්නෙමියි කඩුව අමෝරා ගත්තේය. ඕතොමෝ මේ සිටුපුත් මෙපමණ සම්පත් මානිසා ලැබුවේයයි සිතා සිනාසුණු බව කීවාය. මගේ පියා විසින් තමා සන්තක ධනය මට පවරා දෙන ලදි. ඉතින් ඔබ නිසා ලැබුණේයයි කියන දේ සිදුවන්නේ කෙසේද?

සිටුපුත්‍රයා මෙපමණ කලක් මේ කිසිවක්ම දැන නොසිටියේය. එහෙයින් ඇගේ කියමන් විශ්වාස නොකෙළේය. ඉන්පසු ඈ, ඔබේ පියා ඔබේ මරණ ලිපිය දී ඔබ එවුවිට මවිසින් මේ මේ දේවල් කරමින් රැකගන්නා ලදී ආදි සියලු විස්තර පැවසුවාය. බොරුවක් කියන්නෙහිදැයි කාළී මාතාවගෙන් අසා බලන්නෙමියි සිතා, අම්මේ මෑ කියන්නේ ඇත්තදැයි ඇසූ විට, එසේය දරුව, ළාබාල කාලයේ සිට ඔබ මරාදමන්ට කැමති වුවත් ඔබ මරාගන්ට නොහැකිවිය. ඔබ නිසා බොහෝ අය බොහෝ වස්තුවද ලබාගත්තේය. සත්වරක්ම ඔබ මරණයෙන් බේරුණෙහිය. දැන් වස්තුවද ඇති සැටිත් සියලු දෙයින් සියය බැගින් ලබා සිටුතනතුරට පත්වූ හැටිත් ඈ පහදා දුන්නාය. ඝෝෂක ඒ අසා මා විසින් කරන ලද්දේ බරපතල අකටයුත්තකියි සිතා, දිනපතා දහස බැගින් වියදම් කොට දුගීමගීයාචකාදීන්ට දන් පැවැත්වීය. මිත්‍ර නම් කෙළෙඹියෙක් ඒ දන්දීමෙහි සහායව ව්‍යාවෘතවිය.

මේ සාමාවතීගේ උත්පත්ති කථාවයි.

එකල භද්‍රවතී නගරයෙහි භද්‍රවතිය නමින් ඝෝෂක සිටුහුගේ නොදුටු යහළුවෙක් සිටියේය. ඝෝෂක භද්‍රවතී නුවරින් පැමිණි වෙළඳුන්ගෙන් භද්‍රවතිය සිටුහුගේ ධන සම්පත් හා වයස් ප්‍රමාණයද අසාගෙන ඔහු සමඟ යහළුවීමේ කැමැත්තෙන් තුටුපඬුරු යැවීය. භද්‍රවතිය සිටුවරයාත් කොසඹෑනුවරින් ආ වෙළඳුන්ගෙන් ඝෝෂකගේ ධනසම්පත් හා වයසද අසා දැනගෙන ඔහු හා යහළුවීමේ අභිප්‍රායයෙන් තුටුපඬුරු යැවීය. මෙසේ ඔවුහු ඔවුනොවුන් නොදැක ඔවුනොවුන් යහළුවන්ව විසූහ. පසු කලෙක භද්‍රවතිය සිටුහුගේ ගෙහි අභිවාතක නම් රෝගයක් හටගත්තේය. ඒ අභිවාතක රෝගය වසංගතයකි. සර්පවිෂ වාතයට මුසුවීමෙන් හැදෙන බිහිසුණු වසංගතයකි. එය හටගත් විට පළමුව ඒ ගෙදර මැස්සෝ මැරෙති. ඊළඟට අනුක්‍රමයෙන් පණුවෝ, මීයෝ, කුකුල්ලු, බළල්ලු, බල්ලෝ, ගව මී ආදිහුද, දැසිදස්සෝද මැරෙති. සියල්ලන්ට පසුව ගෙහිමි මිනිස්සු මැරෙති. ඔවුනතුරෙන් යමෙක් ගෙදර බිත්ති බිඳගෙන පලා ගියොත් එසේ යන අය පමණක් නොමැරී බේරෙති. එහිදී සිටුවරයාත් බිරිඳත් දුවත් එසේ බිත්ති පලාගෙන ගොස් ඝෝෂක සිටු මිතුරා ගැන බලාපොරොත්තුවෙන් කොසඹෑවට යන මාර්ගයට පැමිණියාහුය.

අතර මඟදී ආහාර අවසන්වීමත්, අව්වැසි සුළං ආදියෙනුත්, සාපිපාසාවෙනුත්, ක්ලාන්ත භාවයට පත් ඔවුහු කොසඹෑවට ගොස් ජලය ඇති තැනකදී නහා නුවර දොරටුව වූ එක් ශාලාවකට පැමිණියාහ. ඉන්පසු සිටුවරයා බිරිඳ අමතා, මෙසේ නිරාහාරව යන කල වැදු මව වුවද අමනාප අප්‍රිය වෙයි. මගේ යාළුවා අඳ ගොළු බිහිරි යාචකාදීන්ට දිනපතා දහසක් වියදම් කොට දන්දෙයි. එතැනට දුව යවා ආහාර ගෙන්වා ගෙන තවත් දෙතුන් දිනක් ආහාර ගැනීමෙන් ශරීර සන්තර්පණය කොටගෙන යහළුවා බලන්න යමුනේදැයි ඇසුවේය. ස්වාමීනි එසේයයි කියා ඒ ශාලාවෙහිම විසුවාහුය. දෙවෙනි දින වේලාව දැන්වුපසු දුගීමගීයාචකයින් ආහාර පිණිස යනවිට, දුව ඔබත් එහි ගොස් ආහාර ගෙනඑවයි පිටත්කර හැරියාහ.

මහසම්පත් ඇති සිටුකුලයක උපන් දුවණියක වූ සිටු දුව විපතට පැමිණ ලජ්ජාව සිඳීගොස් තිබුණත්, ලජ්ජාවෙන්ම භාජනයක් රැගෙන දුගීමගීයාචකාදීන් සමඟම ගියාය. ආහාර කීදෙනෙකුන් සඳහාදැයි ඇසු විට තිදෙනෙකුටයයි කීවාය. තිදෙනෙකුන්ට ප්‍රමාණවත් ආහාර ලැබිණි. ආහාර ගෙන ආ පසු තිදෙනාම එකතුව ආහාර ගැනීමට හිඳගත්හ. අනතුරුව දුව හා මව සිටුවරයා අමතා මෙසේ කීහ. ස්වාමීනි, විපත්ති නම් මහා කුලවතුන්ටත් එළඹේමය. අප ගැන නොබලා ඔබ ඇති තරම් ආහාර ගන්න. අපගැන නොබලන්න. මෙසේ ඔවුහු නන්අයුරින් පෙරැත්ත කොට කැව්වාහුය. හෙතෙම ආහාර අධිකව ගෙන දිරවාගතනොහී පසුදා හිරු නැගෙන වේලෙහි කළුරිය කෙළේය. මවුදුවණියෝ දුක් දොම්නසින් හඬාවැළපුණාහ. කුමරිය පසු දින අඬ අඬාගොස් ආහාර කීදෙනෙකුටදැයි ඇසූ විට දෙදෙනෙකුටයයි කියා ආහාර රැගෙනවුත්, මට වැළඳුවූවාය. ඈද දුවගේ ඇවිටිලි නිසා වැඩිපුර ආහාර ගෙන දිරවාගතනොහී එදිනම කළුරිය කළාය. කුමරිය හුදෙකලාවී හඬාවැළප ඒ කරුණ නිසා අතිශය දුකින් තුන්වෙනි දිනයේ යාචකයන් සමඟ ආහාර පිණිස හඬමින්ම ගියාය. දරුව කීදෙනෙකුටදැයි ඇසු විට එක්කෙනෙකුටයයි කීවාය. දන් බෙදන කෙළෙඹියා තෙදිනක් බත් හැරගෙනගිය ඈ හඳුනාගෙන පහව යව. වසළිය, තමන්ගේ කුසේ පමණ දැනගත්තේ අදදැයි ඈ හෙළා තළා කථා කෙළේය.

විලිබිය දෙකෙන්යුත් මේ ළාබාල කුලකුමරියට ඒ රුදුරු වචන මර්මස්ථානයකට වැදුණු ආයුධ පහරක් මෙන්ද, තුවාලයකට දැමු ක්ෂාරොදකයක් (ලුණු ඇඹුල්වතුරක්) මෙන්ද වූ නමුත්, ස්වාමීනි, එසේ කියන්නේ ඇයිදැයි විමසුවාය. තී පළමුව ආහාර කොටස් තුනක් ගත්තාය. ඊයේ කොටස් දෙකකි. අද එකකි. තීගේ කුසයේ ප්‍රමාණය දැනගත්තේ අදදැයි ඔහු ඇසීය.ස්වාමීනි, මා මේ ආහාර ගෙන යන්නේ මට පමණක් බව ඔබ තේරුම් නොගත්තෙහිය. එසේ නම් මුලින් එපමණක් ගෙනගියේ ඇයිද? මුලින්ම අපි තුන්දෙනෙක් වූම්හ. ඊයේ දෙදෙනෙකි. අද මා පමණකි ස්වාමීනියි කීවාය. හෙතෙම එසේ වීමට හේතු කවරේදැයි විචාරා, ඈ මුලපටන් විස්තර සියල්ල කීපසු, ඇසින් වෑහෙන කඳුළු නවතා ගනු නොහැකිව බලවත් ශෝක උපදවා, දරුව, එසේනම් දුක් නොවන්න. ඔබ භද්‍රවතිය සිටුහුගේ දුවණියයි. අද පටන් මගේම දුවණියයයි හිස සිඹ ගෙදර ගෙනගොස් තමන්ගේ ජ්‍යෙෂ්ඨදුහිතෘ ස්ථානයෙහි තබාගත්තේය.

ඕතොමෝ දානශාලාවෙහි උඩින් ඇසෙන මහා ඝෝෂාව අසා පියාණනි, මේ මිනිස්සු නිහඬ කරවා දන්දිය නොහැකිදැයි ඇසුවාය. දුව එය කළ නොහැකියි. ඔහු පිළිතුරු දුනි. පියාණනි, එය කළ හැකියි. දුව ඒ කෙසේද? පියාණනි, දන්සල වටකොට එක්කෙනෙකුට පමණක් ඇතුල්විය හැකි සේ දොරවල් දෙකක් යොදා එක් දෙයකින් ඇතුල් වී අනිත් දොරින් පිටවෙන්නැයි කියන්න. එවිට නිහඬව අවුත් දානය ගනු ඇතැයි කීවාය. දුව ඒ උපායයහපතැයි එසේ කෙළේය.

ඈ ඊට පෙර සාමා නම් වූවාය. අරගළ නැති වන සේ වැටක් කොට උපාය යෙදු හෙයින් එවක්පටන් සාමාවතී නම ලැබුවාය. එතැන්පටන් දන්සල කෝලහල නැතිවිය. ඝෝෂක සිටු පෙර ඒ කෝලාහල හඬ අසා ඒ මගේ දන්සැලේ හඬයයි සතුටුවිය. දෙතුන් දිනක පටන් ශබ්දයක් නොඇසුණු හෙයින් මිත්ත කෙළෙඹියා තමන්ට උවටැන් පිණිස ආ විට දුගීමගීයාචකාදීන්ට දන් දෙන්නෙහිදැයි ඇසීය. ස්වාමීනි, එසේයයි හේ කීය. දෙතුන් දිනක පටන් ශබ්දයක්වත් නොඇසෙන්නේ ඇයිද? නිහඬව දන් ලබාගත හැකි උපායක් යෙදුවෙමි. ඉතින් මින්පෙර එසේ නොකෙළේ ඇයි? ස්වාමීනි, නොදන්නා නිසාය. දැන් එය දැනගන්නේ කෙසේද? ස්වාමීනි, ඒ උපාය මගේ දුවණිය කියා දුන්නාහයි අභිවාතක රෝගයේ පටන් භද්‍රවතිය සිටුහුගේ ප්‍රවෘත්තිය කියා ඈ තම දෙටුදුවණි තැන තබාගත්බවද කීවේය.

ඉන්පසු සිටුවරයා ඔහු අමතා, කරුණු මෙසේ තිබියදී ඔබ මට ඒ බව නොකීවේ ඇයි? මේ මගේ යහළුවාගේ දුව මගේත් දුවමයි, කියා ඈ කැඳවා, දුව ඔබ භද්‍රවතිය සිටුතුමාගේ දුවදැයි ඇසීය. පියාණනි. එසේය. එසේනම් දුක් නොවන්න. ඔබ මගේම දුවයයි හිස සිඹ පිරිවර වශයෙන් පන්සීයක් ස්ත්‍රීන්ද දෙවා ඈ තම ජ්‍යෙෂ්ඨ දුහිතෘස්ථානයෙහි තබා ගත්තේය. පසු දිනක නැකත්කෙළි නම් සැණකෙළියක් විය. ඒ නැකැත්කෙළි දිනයෙහි කිසි විටක ප්‍රාසාදයන්ගෙන් පිටතට නොඑන කුලදුවරුන් පවා සිය පිරිවර සමඟ පයින්ම නදියට ගොස් නාති. එහෙයින් එදින සාමාවතීද පිරිවර ස්ත්‍රීන් පන්සීය සමඟ රාජාංගනය මැදින්ම නාන්ට ගියාය. උදේන රජු සීමැදුරු කවුළුව ළඟ සිට ඈ දැක මෑ කවුරුන්ගේ නාටක ස්ත්‍රියක්දැයි විචාරා, දේවයන්වහන්ස මොවුහු කාගේවත් නාටකස්ත්‍රීන් නොවෙතියි අසා එසේනම් කාගේ දුවරුන්දැයි විමසීය. දේවයිනි, සාමාවතී නමැති මැය ඝෝෂක සිටුවරයාගේ දුවණියයයි කීවාහුය.

හෙතෙම ඈ දුටුමනතින්ම ස්නේහ උපදවා නොපගේ දුව මා වෙත එවවයි ඝෝෂකට ලිපියක් යැවීය. දේවයිනි, දුව නොඑවන්නෙමි, එසේ නොකරව, එවිය යුතුමයයි දැන්වූ පසු, ගොවියන් ගෘහපතියන්වූ අපි අපේ ගෑණු දරුවන්ට හෙළාතළා අවමානයෙන් කියවෙන නින්දිත කථා ඇසීමට නොකැමති නිසා දරුවන් දීමට නොහැකි බව කියා යැවීය. රජු කිපී සිටු ගෙදර හස්ඔබා (සීල්තබා) සිටාණන් හා ඇඹණීන් අතින් ඇඳ ගෙයින් බැහැර කරවීය. සාමාවතී නහා පැමිණ ගෙට ඇතුල්වනු නොහැකිව, පියාණනි, මේ කිමෙක්දැයි ඇසුවාය. දුව, රජතුමා ඔබ එහි එවන ලෙස ලිපියක් එවීය. අපි ඔබ නොඑවන බව කියා යැවීමු. ඉන්පසු ගෙට හස්තබා අප බැහැරට ඇඳ දමන ලද්දෙමුයි කීය. පියාණනි, ඔබ කර ඇත්තේ බරපතළ ක්‍රියාවකි. රජු මා එවන්නැයි කීවෙහි නම් කියයුතුව තිබුණේ ඉදින් පිරිවර සහිතව භාරගන්නේ නම් එවියහැකි බවයි. දුව ඔබේ රුචිය එය නම් එසේ කරන්නෙමියි ඒ අයුරින් ලිපියක් ලියා රජුන් වෙත යැවීය. රජු මැනවැයි සපිරිවරින් ඈ ගෙන්වගෙන අභිෂේකකොට අග්‍රමහේෂිකා තනතුරෙහි තබාගත්තේය. සෙසු පිරිවර ස්ත්‍රීහුද එහිම නැවතුණහ.

මේ වාසුලදත්තාගේ උත්පත්ති කතාවයි.

උදේනී රජුට වාසුලදත්තා නමින් තවත් මෙහෙසියක් වූවාය. ඕචණ්ඩපජ්ජෝතගේ දුවණියකි. උදේනියෙහි චණ්ඩපජ්ජෝත නම් රජෙක්විය. හෙතෙම දිනක් උයනෙහි සිට එන ගමන් තමන්ගේ ධන සම්පත් ගැන සිතා මට මෙන් මෙවන් සම්පත් වෙනත් කිසිවෙකුට හෝ ඇද්දැයි විචාරා, මිනිසුන් අතර මේ සම්පත කුමක්ද, උදේනි රජුන්ගේ සමීපත් මීට වඩා ඉතා මහත්යයි කීවිට රජු මෙසේ කීවේය. එය එසේ නම් ඔහු පරදා ඒ සම්පත් අත්පත් කර ගනිමු. ස්වාමීනි, එය කළ නොහැකියි. කවර කරුණක් නිසාද? හෙතෙම හස්තිකාන්ත්‍ර වීණාව වයා ඇතුන් පලවාද හරියි. ගෙන්වා ගැනීමද කරයි.ඇත්වාහනවලින් පිරිපුන් ඔහු හා සමවන්නෙක් නැතැයි දැන්වූහ. එසේ නම් මට ඔහු පැරදවිය නොහැකිද? දේවයිනි, ඒකාන්තයෙන්ම මෙන්න මේ ක්‍රමවලින් නම් නිශ්චය වශයෙන්ම ඔහු පැරදවිය හැකිය. ඒ කෙසේද යත්? ඔබ පළමුකොට ලීයෙන් ඇතෙක් තනවා, ඒ රජුට කිට්ටුම තැනකට යවන්න. ඔහු ඇත්වාහනයක් හෝ අශ්වවාහනයක් හෝ ඇතැයි දැනගත් හැටියේම කෙතරම් දුර වුවත් එහි යන්නේය. එසේ ඔහු ආ කල අල්වාගත හැකිය.

රජු ඒ අසා මේ නම් හොඳ උපායකියි දාරුමය යාන්ත්‍රිකව ක්‍රියා කරන ඇතකු නිර්මාණය කරවා පිටත රෙදි ආදියෙන් වසා චිත්‍රකර්ම කොට ඒ උදේනී රජුගේ විජිතයෙහි ළඟ තැනක එක් විල්තෙරක තැබ්බවීය. ඇතාගේ කුස තුළ සැටක් පමණ මිනිස්සු එහාමෙහා සක්මන් කරති. ඇත්බෙටිද ගෙන්වා ඒ ඒ තැන දැමුවාහුය.එක් වනචාරී මිනිසෙක් ඇතා දැක මු අපේ රජුන්ට සුදුසු යයි සිතා ගොස් දේවයන්වහන්ස, මුළුමනින්ම සුදු කෛලාස පර්වතය මෙන් විශාල, ඔබ වහන්සේටම ගැළපෙන එක් ඇතකු මවිසින් දක්නාලදැයි දන්වා සිටියේය.

උදේනි රජු ඒ පුරුෂයාට මඟ පෙන්වන්නා හැටියට යොදාගෙන තම ඇතුපිට නැඟී සපිරිවරින් එහි නික්මුණේය. ඔහුගේ පැමිණීම දැනගත් චරපුරුෂයෝ වහා ගොස් ඒ බව චණ්ඩපජ්ජෝතට කීහ. හෙතෙම පැමිණ පාර මැද හිස්කොට දෙපස බළකාය පෙළ ගැස්වීය. උදේනී ඔහුගේ පැමිණීම නොදැන දැව ඇතා ලුහුබැඳ ගියේය. ඇතා තුළ සිටි මිනිස්සු යන්ත්‍ර ක්‍රියා කරවා ඇතා පලවා වේගයෙන් යන්නාහුය. රජු මන්ත්‍ර ජපකර වීණාව වාදනය කළත්, තත්හඬනොඇසුණාක් මෙන් පලාගියේය. රජු ඇතුවෙත ළංවනු නොහැකිව අසකු පිටට පැන ලුහුබැන්ඳේය. ඔහු වේගයෙන් ලුහුබැඳ යනවිට බළකාය රජු වටකරගත්හ. රජු තනිවිය. ඉන්පසු මඟ දෙපස සිටි චණ්ඩපජ්ජෝතගේ පිරිස රජු අල්වා තම රජුන්ට භාර දුන්හ. ඉන්පසු ඔහුගේ බළකාය රජු හතුරා අතට පත්වූ බව දැන පිටත කඳවුරු බැඳ සිටියෝය. චණ්ඩපජ්ජෝතද උදේනී රජු ජීවග්‍රාහයෙන්ම (පණපිටින්) ගෙන එක් සොරගෙයක දමා දොරවල් වසා තෙදිනක් ජයපැන් බීවේය.

උදේනී රජු තෙවෙනි දින ආරක්ෂකයන්ගෙන් මෙසේ ඇසීය. දරුවනි, තොපගේ රජු කොහේද? ඔහු මගේ හතුරා අල්වාගනිමියි ජයපැන් බොයි. උදේනී ඒ අසා තොපගේ රජු ගැහැණියක මෙන් මේ කරන ක්‍රියාව කුමක්ද? සතුරු රජකු අල්වාගත් විට මුදාහැරීම හෝ මරාදැමීම කළයුතු නොවේද? අප දුකින් තබා ජයපැන් බීම සුදුසුද? ආරක්ෂකයෝ ගොස් චණ්ඩපජ්ජෝතට මේ බව දන්වා සිටියහ. රජු එහි අවුත් ඔබ මෙසේ කියන්නේ සත්‍යදැයි ඇසීය. එසේය මහරජ, මම එසේ කීවෙමි. හොඳයි, මම තොප මුදා හරින්නෙමි. තොප ළඟ මෙබඳු මන්ත්‍රයක් තිබේලු. එය මට දෙන්නෙහිදැයි ඇසීය. යහපත දෙන්නෙමි. එහෙත් ඔබ එය ලබාගත යුතු ක්‍රමයට ගතයුතුය. ඔබ ඒ සඳහා මට වඳින්නෙහි ද? මම නොවඳින්නෙමි. මමත් එය නොදෙන්නෙමි. එසේනම් තොපට රාජදඬුවම් පමුණුවන්නෙමි. එසේ කරව. එහෙත් එය මගේ සිරුරට පමණි. සිතට දඬුවමක් නොවේයයි කීය.

චණ්ඩපජ්ජෝත උදේනීගේ නිර්භීත ගර්ජනාව අසා කෙසේ නම් මොහුගෙන් මන්ත්‍රය ගන්නෙම්දැයි සිතා, මේ මන්ත්‍රය ගැන වෙනත් කෙනෙකුට දැන්වීම නොමැනවි. මගේ දුව මොහු ළඟ තබා උගන්වා මම ඇගෙන් මෙය ඉගෙන ගන්නෙමියි සිතා, ඔබට වඳින වෙනත් කෙනෙකුටත් උගන්වන්නෙහිදැයි ඇසීය. එසේය මහරජ උගන්වන්නෙමි. එසේ නම් අපේ ගෙදර එක් කුදියක් සිටී. ඈ රෙදිකඩතුරාවකින් එහා සිටින විට ඔබත් තව කඩතුරාවකට මුවහවී මන්ත්‍රය උගන්වවයි කීවේය. එසේය මහරජ කුදියක් හෝ කූරෙක් හෝ වේවා, වඳින්නෙකුට දෙන්නෙමියි කීය. ඉන්පසු චණ්ඩපජ්ජෝත ගොස් වාසුලදත්තා දුවණිය අමතා මෙසේ කීවේය. එක් සුදු පුල්ලි ඇති කුෂ්ඨ මිනිසෙක් ඉතා වටිනා මන්ත්‍රයක් දනී. එය වෙනත් කෙනෙකුන්ට දැන්විය නොහැකිය. ඔබ කඩතුරාවකට මැදින් හිඳ මන්ත්‍රය ඉගෙන ගන්න. හෙතෙම පිටත කඩතුරාවක් මැද සිට කියවනවා ඇත. ඉන්පසු මම එය ඔබෙන් ඉගෙන ගන්නෙමි.

මෙසේ ඔවුනොවුන් සහවාසයට පැමිණෙතියි බියෙන් හා සැකයෙන් දුව කුදියක් ලෙසිනුත්. අනිකා සුදුපුල්ලි ඇති කුෂ්ඨරෝගියෙක් ලෙසත් හඳුන්වා දුන්නේය. උදේනී ඈ කඩතුරාව තුළ සිටිද්දී බැහැර කඩතුරාවකට මුවහවී මන්ත්‍රය කියවීය. පසුව එක් දිනක නැවත නැවතත් කියාදුන් නමුත් මන්ත්‍රය නොවරදවා කියන්ට නොහැකිවූ ඈට, බොල කුදිය, තිගේ කටේ තොල් හා කපාල ගල්ගැසී ඇති නිසා මෙසේ කියන්නීදැයිඇසීය. ඈ කිපී, බොල දුෂ්ඨ කුෂ්ඨිය, මෙසේ කියන්නේ ඇයිද? මා වැනි කුදියෝ ඇද්දැයි බලාගනුවයි කඩතුරාව ඇද දමා තමා ප්‍රදර්ශනය කළාය. තී කවරියකදැයි ඇසූ විට, මම රාජදුහිතෘ වාසුලදත්තා නමැයි කීවාය. ඔබේ පියා මට කීවේ ඔබ කුදියක බවයයි රජු කීවේය. මට හඳුන්වන විටත් ඔබ සුදුකුෂ්ඨරෝගියෙකුයයි කීබවත් ඈ කීවාය. ඒ දෙදෙනා එසේනම් අප සන්ථවය කරනු ඇතැයි බියෙන් මෙසේ කියන්නට ඇතියි කියමින් කඩතුරාව ඇතුළතදීම කායසංසර්ගයෙහි යෙදුණාහ. එතැන් පටන් මන්ත්‍ර ඉගෙනීමක් හෝ ශිල්ප ඉගෙනීමක් හෝ නොවීය. චණ්ඩපජ්ජෝත රජ, දුව ශිල්ප උගන්නෙහිදැයි නිතර අසයි. පියාණනි. උගනිමියි ඈ කියයි.

පසුව දිනක් උදේන මෙසේ කීවේය. සොඳුර, භාර්යාවක් වෙනුවෙන් සැමියකු විසින් කළයුතු දේවල් මවුපියන් විසින් හෝ සහෝදර සහෝදරියන් විසින් හෝ කළ නොහැකියි. ඉදින් මට ජීවත්වීමට ලැබුණොත් ඔබට පරිවාර ස්ත්‍රීන් පන්සීයක් දී ඔබ අග්‍රමහේෂිකා තනතුරෙහිද තබන්නෙමි. ඉදින් ඔබ මේ වචනයේ ස්ථිරව සිටින්නෙහි නම් මම ඔබ වෙනුවෙන් ජීවිතදානය කරන්නෙමියි ඈ කීවාය. සොඳුර, මට එය කළහැකියයි රජු පිළිතුරු දුන්නේය. ඈ යහපත ස්වාමීනියි කියා පියා ළඟට ගොස් වැඳ එකත්පසෙක හුන්නාය. පියාණනි, මෙතෙක්ම ශිල්ප හදාරා අවසන්වී නැත. දුව එසේම තව කළයුතු දේ මොනවාද? පියාණනි, ඒ මන්ත්‍රයට උපචාරවිධි සඳහා රාත්‍රියෙහි තරු ලකුණු අනුව එක් ඖෂධයක් සොයාගත යුතුව ඇත. එහෙයින් වේලාවේ හෝ අවේලාවේ හෝ නික්මීමට එක් දොරක්ද වාහනයක්ද ලැබිය යුතුය. රජු මැනවැයි පිළිගත්තේය. ඔවුහු කැමති පරිදි එක් දොරක් තමන්ගේ භාරයට ගත්හ.

ඒ රජුට වාහන පහක් තිබිණි. එක් දිනකදී යොදුන් පණසක් යන කරේණුක නම් ඇතින්න එකකි. දිනකදී සැටයොදුනක් යන කාකනම් දාසයා දෙවැන්නයි. දිනකට යොදුන් සීයක් යන වේලකණ්ඨිමුංජකේසි යන අසුන් දෙදෙනා තුන්වැන්නයි. දිනකට විසි යොදුනක් යන නාලාගිරි නම් ඇතා සිව්වැන්නයි.

ඒරජ අප බුදුරදුන් නූපන් කාලයක එක් ඉසුරුමතකුගේ උපස්ථායකයා විය. දිනක් ඉසුරුමතා නුවරින් බැහැර තැනක නහා එන අතරතුර එක් පසේබුදුවරයන් වහන්සේමක් නුවර පිඬු පිණිස හැසිර සියලු නගරවාසීන්ට මාරාවේශව සිටි හෙයින් එක්බත් පිඬකුදු නොලැබ පාත්‍රය සේදු හැටියටම රැගෙන ආපසු වැඩියහ. ඉන්පසු උන්වහන්සේ නගර දොරටුවට පැමිණි කල, මාරයා වෙනත් මිනිසකුගේ වෙස්ගෙන එහි පැමිණ ස්වාමීනි, කිසිවක් ලද සේක්දැයි විචාළේය. කිම ඔබ මට කිසිවක් ලැබෙන්නට සැලසුවෙහිද? එසේ නම් නැවතත් නුවරට වැඩිය මැනවි. එවිට යමක් ලැබෙන සේ කරන්නෙමි. මම නැවත නොනවතින්නෙමි. ඉඳින් නැවතුණොත් මාරයා සියලූ නගරවාසීන්ටම ආවේශවී අත්පොළසන්දී සිනා පහළ කරන්නේයයි නොනැවතුණුසේක.

ඉන්පසු ඒ ඉසුරුමතා සේදු හැටියටම තිබුණු හිස් පාත්‍රය රැගෙන එන්නාවූ පසේබුදුරදුන් දැක වැඳ, ස්වාමීනි, කිසිවක් ලැබුණේදැයි ඇසීය. ඇවැත්නි, නගරයෙහි ඇවිද නික්මුණම්හයි වදාළහ. හෙතෙම මෙසේ සිතීය. ආර්යයන්වහන්සේ මා ඇසූ පැනයට පිළිතුරු නොදී අනිකක් වදාළහ. කිසිවක් නොලැබෙන්නට ඇතියි පාත්‍රය බලා එය හිස් බව දැක, ගෙදර බත් පිසූ නොපිසූ බවත් නොදැන අතරමඟ පාත්‍රය ගත නොහී ස්වාමීනි මදක් ඉවසුව මැනවැයි කියා, වේගයෙන් ගෙදර ගොස් අපට බත පිසුවේදැයි අසා, එසේයයි කීපසු ඒ උපස්ථායකයාට මෙසේ කීවේය. දරුව, ඔබ තරම් වේගයෙන් යාහැකි කෙනෙක් නැත. ශීඝ්‍රයෙන් ස්වාමීන් වෙත දුවගොස් ස්වාමීනි, මට පාත්‍රය දෙන්නැයි ඉල්වාගෙන එන්නැයි පිටත් කෙළේය.

උපස්ථායකයාත්, එක් වචනයෙන්ම පැන දුවගොස් පාත්‍රය රැගෙන ආවේය. අනිත් තැනැත්තා තමන්ගේ භෝජනයෙන් පාත්‍රය පුරවා, මෙය වහා ගොස් ආර්යයන්වහන්සේට පිළිගන්වව. මම ඔබට එයින් ලැබෙන පින් දෙන්නෙමියි කීය. ඔහුද ශීඝ්‍රයෙන් ගොස් පසේබුදුන්ට පාත්‍රය දී පසඟ පිහිටුවා වැඳ, ස්වාමීනි, වේලාව ඉක්මේයයි මම ඉතා වේගයෙන් දුවගොස් නැවත ආවෙමි. මට මේ වේගයෙන් දිවූ පින්බලයෙන් යොදුන් පණහක් - හැටක් - සීයක් - එකසිය විස්සක් යොදුන් දවසට යාහැකි වාහන ලැබේවා, ඒ ගමන යනඑන මා දැඩි හිරු රැසින් දැවීයතත්, එයද පින් උදෙසාම දිවූ නිසා එහි ඵලයෙන් උපනුපන් වාරයන්හි මගේ අණසක සුර්ය තේජස්මෙන් වේවායිද පැතීය. ඔබවහන්සේට මේ පිණ්ඩපාතය දීමේ අනුසස් අනුමෝදන් වීමේ පුණ්‍ය බලයෙන් ඔබවහන්සේ විසින් අවබෝධ කොට ඇති නිවන ලැබීමටත් හේතුවාසනා වේවායි පැතීය. පසේ බුදුරදුන්වහන්සේ එසේම වේවායි වදාරා,

ඔබ කැමතිව පතන සියලු දේ ඉටුවේවා

පසළොස්වක පිරෙන සඳක් මෙන් සපිරේවා

ඔබ කැමතිව පතන දේත් එලෙසම ඉටුවේවා

දෝරැස මැණිකක් මෙන් මේ පැතුමන් ඉටුවේවා

යනුවෙන් අනුමෝදනා කළහ.

මේ ගාථා දෙක පසේ බුදුවරයන්වහන්සේලාගේ අනුමෝදනා ගාථා නම්වේ. එහි ජොතිරසො (දෝරැස) යනු සියලු කැමති දේ ලබා දෙන මාණික්‍ය රත්නයකි. මේ ඔහුගේ පූර්වචරිතයයි. හෙතෙම මෙකල චණ්ඩපජ්ජෝත නම්විය. ඔහුගේ ඒ පූර්වකෘත පුණ්‍ය හේතුවෙන් වාහන පහක් ඔහුට ලැබිණ.

ඉන්පසු දිනක් රජු උයන්කෙළියට පිටත්විය. උදේන අද පැන යායුතුයයි ලොකු ලොකු සම්පසුම්බිවලට රන්රුවන්පුරවා කරේණුකාගේ පිට පටවා වාසුලදත්තාවන් රැගෙන පලාගියේය. අන්තඃපුර පාලකයෝ මේබව දැක ගොස් රජුට දැන්වූහ. රජු ශීඝ්‍රයෙන් ගොස් අල්වා ගනුවයි බළඇණියක් යැවීය. උදේන බළඇණිය පැනඑනබව දැන කහවණු පසිම්බුව ලිහා මාර්ගයෙහි දැමීය. මිනිස්සු කහවණු අහුලා නැවත දුව ආහ. අනිකා රත්රන් පසිම්බුව ලිහා මාර්ගයෙහි දමා රත්රන් ලෝහයෙන් මිනිස්සු පමා වනු බලා නුවරින් බැහැර තිබූ ස්වකීයකඳවුරට පැමිණියේය. ඔහු එනබව දුටු ස්වකීය බළකායේ අය ඔහු පිරිවරාගෙන නගරයට ප්‍රවේශ කරවූහ. හෙතෙම ගොස් වාසුලදත්තා අභිෂේකකොට අග්‍රමහේෂිකා තනතුරෙහි තැබීය.

මේ මාගන්දියාගේ උත්පත්ති කථාවයි.

මාගන්දියා නම් අනිත් තැනැත්තියක්ද රජුගේ අගමෙහෙසි තනතුරු ලබා සිටියාය. ඕතොමෝ වනාහි කුරුරට මාගන්දිය බමුණාගේ දුවයි. ඇගේ මවද මාගන්දිය යන නමම ලැබුවාය. ඇගේ සුළුපියාද ඒ නමින්ම හැඳින්විණි. ඈ දිව්‍යඅප්සරාවක මෙන් අභිරූප වූවාය. ඇගේ පියා ඈට සුදුසු සැමියෙකු නොලද හෙයින්, ලොකු ලොකු කුලවතුන් විසින් ඉල්ලා සිටි අවස්ථාවල තෙපි මගේ දුවට නුසුදුසුයි කියා තර්ජනය කොට පලවාහැරියේය. දිනක් බුදුරදුහු උදෑසන ලොව බලනසේක් (තමා එහි යෑමෙන්) මාගන්දිය බමුණා බැමිණියත් සමග අනාගාමී ඵලයට පැමිණීමට හේතු සම්පත් ඇතිබව දැක තම පාසිවුරු හැරගෙන ඒ බමුණුගමේ ගිනිපුදන තැනට වැඩිසේක. බමුණා රූපයෙන් අගතැන්පත් තථාගතයන්වහන්සේ දැක, මේ ලොව මෙබඳු රුවින් අගතැන්පත් පුරුෂයෙක් නම් තවත් නැත. මේ පුරුෂයා මගේ දුවණියට සුදුසුයයි සිතා ඔබ විසින් පෝෂණය කරනු පිණිස මගේ දුවණියක් ඇත. මම මෙතුවක්කල් ඈට ගැළපෙන සැමියෙකු නොදුටිමි. ඔබ ඇයටත් ඈ ඔබටත් හොඳින්ම ගැළපෙන සැමියෙකු හා පාදපරිචාරිකාවක වෙයි. ඈටත් සැමියකු ලැබිය යුතුය. මම ඈ ඔබට දෙන්නෙමි. මා එනතුරු මෙහිම සිටින්නැයි කීවේය. ශාස්තෘන්වහන්සේ කිසිවක් නොවදාරා නිහඬවූහ.

බ්‍රාහ්මණයාත් වේගයෙන් ගෙදර දුවගොස් බැමිණිය අමතා සොඳුර, මගේ දුවණියට ඔබින පුරුෂයකු දිටිමි. වහවහා ඇය සරසවාලවයි දුව සරසවා බැමිණියත් සමග දුවණිය රැගෙන බුදුරදුන් හමුවට පැමිණියේය. සියලු නගරය කැළඹී ගියේය. මොහු මෙතෙක්කල් මගේ දුවණියට සුදුස්සකු නැතැයි කිසිවකුටත් නොදී අද මගේ දුවට සුදුස්සකු දැක්කෙමියි කියයි. ඔහු කවුරුන්දැයි බලමුදැයි කියමින් බමුණා සමගම පිටත්වූහ. දුවත් රැගෙන එහි එනවිට බුදුරදුන්ද ඒ කියනලද ස්ථානයෙහි නොසිට එහි පියවර සටහන් අධිෂ්ඨානකොට තැබූවිට ඒ තැබූතන්හිම නොමැකී පෙනෙයි. අනිත් කිසිතැනක නොපෙනෙයි. යම් අය කෙරෙහි අරමුණුකොට තැබුවේ නම් ඔවුන්ට පමණක් පෙනෙයි. ඒවා නොපෙනීම සඳහා ඇතුන් ලවා පෑගෙව්වත්, මහවැසි වැස්සත්, වෙරම්බ නම් වාතය (අහසෙහි යොදුනක් පමණ උසින් හමායන වාතය) හමා ගියත් ඒ කිසිවකින් මකාලිය නොහැක්කේය.

පසුව බැමිණිය, ඒ පුරුෂයා කොයිදැයි ඇසුවාය. මෙහි සිටින්නැයි මම කීවෙමි. ඔහු කොහේ ගියේදැයි විමසා බලන විට, පා සටහන් දැක මේ ඔහුගේ පියවර සටහන්යයි කීවේය. බැමිණිය සිරුරු සටහන් දන්නා මන්ත්‍ර‍ත්, ත්‍රිවේදයත් හොඳින් ප්‍ර‍ගුණකොට ඇතිහෙයින් ලක්ෂණ මන්ත්‍රානුසාරයෙන් පාලකුණු විමසා බලා, බමුණානනි මේවා පස්කම්ගුණ සේවනය කරන්නකුගේ පියවර නම් නොවේ යයි කියා මේ ගාථාවද කීවාය.

රාගියාගෙ පාසටහන් උඩට නැගී සිටියි

ද්වේෂයාගේ සමතලවූ පාසටහන් දිසෙයි

මෝඩයාගෙ මැදින් කැඩුණ පාසටහන් පෙනෙයි

කෙලෙස් පහව ගිය අයගේ මෙබඳු ලකුණු තිබෙයි

බමුණා බැමිණියට මෙසේ කීවේය. සොඳුර, තී දියසැළියෙහි කිඹුලන්ද, ගෙමැද සොරුන්ද නපුරුලෙස දක්නාසුලුය. නිශ්ශබ්ද වෙව. බමුණ, ඔබ කැමති දෙයක් කියන්න. මෙය නම් පස්කම්ගුණ සේවනය කරන්නකුගේ පියවර සටහන් නම් නොවේයයි කියමින් එහෙමෙහෙ සොයා බලන විට බුදුරදුන් දැක මෙන්න:

ඒ පුරුෂයායයි කියා බමුණා එතැනට ගොස් ශ්‍ර‍මණයන්වහන්ස, මගේ දුව ඔබට පාදපරිචාරිකා කොට දෙන්ට මම කැමැත්තෙමියි කීය. ශාස්තෘන්වහන්සේ ඔබේ දුවගෙන් මට ප්‍රයෝජනයක් ඇතැයි හෝ නැතැයි හෝ නොකියාම, බ්‍රාහ්මණය, ඔබට එක් කරුණක් කියන්නෙමියි කීකල ශ්‍ර‍මණයන් වහන්ස කියනුමැනවැයි හේ කීය. ඉන්පසු මහාභිනිෂ්ක්‍ර‍මණයේ පටන් අජපල්නුගරුක මුල දක්වා මාරයා තමන් ලුහුබැඳ ආ බවත්. අජපල් නුගරුක මුලදී දැන් ඔහු මගේ විෂය ඉක්මවා ගියේයයි ශෝකයෙන් සිටිනවිට ශෝක දුරලනු පිණිස ආ මාරදුහිතෘන් විසින් කුමරිවෙස් ගෙන තමන් පොළොඹවා ගන්නා අටියෙන් යෙදූ ප්‍රලෝභඋපායයන්ද ප්‍ර‍කාශකොට ඒ කාලයේත් තමන් තුළ කාමාදි ඡන්දරාගයන් නොවූ බවද වදාරා:

තණ්හා රති රගා ආදි මාර කුමරියන් ඇවිදින්

නැටුවත් ලීලා දක්වා කාම හැඟුම් ඇති නොවීය

දැන් මේ මළ වූ කිළුටින් පිරුණු කතක් දැක්ක නමුත්

පයින් ගසා ලන්නටවත් මට රුචියක් ඇති නොවේය

ගාථා කෙළවර බමුණාත් බැමිණියත් සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. මාගන්දිය, යම්හෙයකින් මොහුට මගෙන් ප්‍රයෝජනයක් නැත්නම් ඒ බව කිය යුතුය. එහෙත් මා මළමුත්‍ර‍ ගොඩක් බවට පත් කරයි. කමක් නැත. මගේ ජාතිකුල ප්‍රදේශ සම්පත් හා වයසටද ගැළපෙන සුදුසු සැමියකු ලැබ ශ්‍ර‍මණ භවත් ගෞතමයන්ට කළයුතුදේ දනිමියයි බුදුරදුන් කෙරෙහි ආඝාත බැඳගත්තේය. ඇයි? ඈ බුදුන් කෙරෙහි ආඝාත බැඳගන්නා බව නොදන්නේද, දන්නේද? දනිති. එසේ දැනදැනත් මෙබඳු ගාථාවක් දේශනා කෙළේත් ඇයිද? අනිත් දෙදෙනා නිසාය. බුදුවරයෝ ආඝාත ගණන් නොගෙන මාර්ගඵලාවබෝධය ලබන්නන් ගැනම සිතා දහම් දෙසන්නාහුම වෙති. මවුපියෝ ඈ රැගෙන ගොස් චුල්ලමාගන්දියට භාරදී තමන් පැවිදිව රහත්බවට පැමිණියාහුය.

චුල්ලමාගන්දියාද මෙසේ සිතුවේය. මගේ දුව සුළුපටු කෙනෙකුන්ට නුසුදුසුය. එක්තරා රජෙකුටම සුදුසුයයි ඈත් රැගෙන කොසඹෑවට ගොස් සියලු අලංකරණයන්ගෙන් සරසා මේ ස්ත්‍රීරත්නය දේවයන්වහන්සේටම සුදුසුයයි උදේනී රජුන්ට දුන්නේය. හෙතෙම ඈ දුටු පමණින් ම බලවත් ස්නේහ උපදවා අභිෂේක කොට පන්සීයක් මාගමුවන් පිරිවරකොට දී අගමෙහෙසි තනතුරෙහි තැබීය.

පළමුවන සාමාවති මාගත්‍දියාදීන්ගේ මරණය දැක්වෙන උදේන වස්තුවයි.

මෙසේ ඒ රජුට එක්දහස් පන්සීයක් නාටක ස්ත්‍රීන් පිරිවරකොට ඇති අගමෙහෙසියෝ තිදෙනෙක් වූහ. ඒ කාලයෙහි ඝොෂකසෙට්ඨි, කුක්කුටසෙට්ඨි, පාවාරිය සෙට්ඨි යන නම්වලින් ප්‍ර‍කට සිටුවරු තිදෙනෙක් කොසඹෑ නුවර සිටියහ. ඔවුහු වස් වසනා දිනයෙහි පන්සීයක් තාපසවරු හිමවතින් අවුත් නුවර පිඬු සිඟා වඩිනු දුටුවහ. ඒ දැක පැහැදී වඩාහිඳුවා වළඳවා වස් විසීමට ප්‍ර‍තිඥා ලබාගෙන සිවුමසක් තමන් සමීපයෙහි වස්වසවා නැවත වස්කාලය පැමිණිවට පැමිණෙන ලෙස කැමති කරවාගෙන පිටත්කළහ. තවුසෝත් එතැන් පටන් අටමසක් හිමවතෙහි වැස ඉතිරි සිවුමස ඔවුන් සමීපයෙහි වස් විසූහ. ඔවුහු පසුකලක හිමවතේ සිට එන අතරමග වනපියසෙහි එක් නුගරුකක් මුල හිඳගත්තාහුය.

ඔවුනතුරෙන් වැඩමහළු තවුසා මේ රුකෙහි අධිගෘහිත දේවතාවා සුළුපටුකෙනකුන් නොවිය යුතුය. එක් මහානුභාව සම්පන්න දිව්‍යරාජයකු වියයුතුයයි සිතීය. ඔහු විසින් මේ සෘෂිසමූහයාට පැන් දෙතොත් මැනවැයි සිතීය. දේවතාවා පැන් ගෙනවුත් දුන්නේය. නෑමටත් පැන් ගෙනවුත් දෙතොත් මැනවැයි සිතීය. නෑමටත් පැන් දුන්නේය. යළි තවුසා මෙසේ සිතීය, මේ දේවරාජයා අප සිතූසිතූ ද සියල්ලක්ම සපයා දෙයි. ඔහු දැකගන්නට ඇත්නම් කොපමණ හොඳද? දේවතාවා රුක්කඳ පලාගෙන අවුත් තමන් දැක ගැනීමට සැලසීය. ඉන්පසු ඔහුට, දිව්‍යරාජයාණනි, ඔබගේ සම්පත් ඉතා මහත්ය. කිනම් පිනක් කොට මේ සම්පත් ලැබුවෙහිදැයි ඇසීය. ආර්යයන්වහන්ස, එය නොවිචාළ මැනවියයි දිව්‍යරාජයා කීය. හෙතෙම තමුන් කළ පින්කම කුඩා බැවින් ලජ්ජාවෙන් එය කියන්ට මැලිවිය. ඔවුන් විසින් නැවත නැවතත් කරදර කරන හෙයින් එසේනම් අසා ගන්නැයි මෙසේ කීවේය.

ඒ දිව්‍යපුත්‍ර‍යා වනාහි එක් දුප්පත් මිනිසෙක්ව බැළමෙහෙවරක් සොයමින් අනේපිඬුසිටාණන් ළඟ එක් බැළමෙහෙවරක් ලැබ එයින් ජීවිකාව කරගත්තේය. එක් පෙහෙවස් දිනක සිටුවරයා විහාරයේ සිට අවුත් ඒ බැළයාගෙන්, අද පෙහෙවස් දිනය බව කවුරුන් විසින් හෝ කියනලදදැයි ඇසීය. ස්වාමීනි, එය කවුරුවත් කියා නැත. එසේ නම් ඔහුට සවස් ආහාරය පිසවයි කීහ. ඉන්පසු ඔහුට නැළියක පමණ අහරක් පිසීය. හෙතෙම දවස පුරා කැළෑවෙහි වැඩකොට සවස අවුත් බත් බෙදා දුන්කල්හි බඩගිනියයි වහා අනුභව නොකොටම අනිත් දවස්වල මේ ගෙදර බත් දෙව, කැවිලි දෙව, ව්‍යංජන දෙවයි මහා කෝලාහලයක් විය. අද සියල්ලෝ වැදහෙව සිටිති. හුදෙකලා මට පමණක් බත් බෙදා දුන්හ. මේ කිමෙක්දැයි සිතා, අනික් අය ආහාර අනුභව කළාහුද නැද්දැයි ඇසීය. දරුව, අනිත් අය ආහාර අනුභව නොකළාහුය. කාරණය කුමක්ද? මේ ගෙදර පෙහෙවස් දිනයෙහි සවස ආහාරවේල නොබුදිති. සියල්ලෝ උපොසථිකයන්ව සිටිති. අවම වශයෙන් සිටුතුමා, මවුකිරි බොන දරුවන්ගේ පවා මුව සෝදා පිරිසිදු කොට මුවෙහි චතුමධුර දමා ඔවුහු පවා පෙහෙවස් සමාදන්වූවන් බවට පත්කෙරෙති. සුවඳ තෙල් දමා පහන් දැල්වූ කල්හි ලොකු කුඩා සියල්ලෝ සයන ගතව ද්වත්තිංසාකාරය සජ්ඣායනා කරති.

ඔබට අද උපෝසථ දවසයයි කීම සිහි නොකෙළෙමු. එහෙයින් ඔබට බත් පිසුවෙමු. එය අනුභව කරව. එසේ නම් දැන් මාද පෙහෙවස් සමාදන් විය යුතුය. එහෙයින් මමත් එසේ කරන්නෙමියි කීය. මෙය සිටුතුමා දන්නේ ද? එසේනම් එතුමාගෙන් අසව. ඔවුහු ගොස් සිටුතුමාගෙන් එය විමසූහ. සිටුතෙමේ මෙසේ කීවේය. දැන් ආහාර නොගෙන මුව සෝදා පිරිසිදු කරගෙන උපෝසථඅංගයන් අධිෂ්ඨාන කරන්නේනම් උපෝසථයෙන් භාගයක් ලබන්නේය. අනිත් තැනැත්තා ඒ අසා එසේ කෙළේය.

දවස පුරා වැඩකොට බඩගින්නේ සිටිනිසා සිරුරේ වාතවේගය කිපීගියේය. හෙතෙම යොතක් බැඳ යොත් කෙළවර අල්වාගෙන කැරකෙයි. සිටුතෙමේ ඒ පුවත දැන ගිනිහුලු රැගෙන චතුමධුර ගෙන්වාගෙන ඔහු ළඟට ගොස් දරුව කිමෙක්දැයි ඇසීය. ස්වාමීනි, මගේ වාතයෝ කිපීගොස් ඇතැයි කීය. එසේනම් නැගිට මේ බෙහෙත් කන්නැයි කීවිට, ස්වාමීනි, ඔබත් කෑවෙහිද? අපට අපහසුවක් නැත. ඔබ කන්න. ස්වාමීනි, පෙහෙවස්කම් කරන විට සම්පූර්ණව කළ නොහැකි වීමි. බාගයකින් පමණ කරද්දීත් එයත් නොකඩකොට කළයුතු නිසා ආහාර ගැනීමට නොකැමති වෙමි. දරුව එසේ නොකරවයි කියද්දීත් ඊට එකඟ නොවී හිරු නැගෙත්ම මලානිකවයන මලක් මෙන් මියගොස් ඒ නුගරුකෙහි දේවතාවෙක්ව උපන්නේය. මෙසේ කථාව කියා ඒ සිටුතෙම බුද්ධමාමකය, ධර්මමාමකය, සංඝමාමකය. ඔහු නිසා කළ පෙහෙවස් භාගයක් පිරීමේ පුණ්‍යඵලයෙන් ම මේ සම්පත් ලදිමියි කීවේය.

බුද්ධ යන වචනය ඇසූ පමණකින් පන්සීයක් තාපසවරු නැගී සිට දේවතාවාට ඇදිලිබැඳ, බුද්ධයයි කියව. බුද්ධයයි කියමින් තෙවරක් හඳුන්වාදී බුද්ධ යන හඬ පවා ලෝකයෙහි දුර්ලභයයි ප්‍රීතිවාක්‍ය කියවා, දේවතාවාණනි, නොයෙක් කල්ප ලක්ෂගණනකිනුත් නොඇසූවිරූ ශබ්දයක් ඔබ විසින් අස්වනලදැයි කීවාහුය. අතවැස්සෝ ආචාර්යවරයාට මෙසේ කීවාහුය. ආචාර්යතුමනි, එසේනම් අපි බුදුන් හමුවට යමු. දරුවනි, සිටුවරු තිදෙනා අපට බොහෝ උපකාරකයෝය. හෙට ඔවුන්ගේ ගෙදර භික්ෂා රැගෙන ඔවුන්ටත් මේ බව දන්වා යමු. එතෙක් ඉවසන්නැයි කීය. ඔවුහු එය ඉවසූහ.

දෙවෙනි දින සිටුවරු කැඳබත් පිළියෙලකොට අසුන් පනවා අද අපේ ආර්යයන්වහන්සේලා පැමිණෙන දවසයයි දැන පෙරගමන්කොට නිවසට කැඳවාගෙන ගොස් වඩාහිඳුවා භික්ෂාව දුන්හ. තාපසයෝ බත්කිස නිමවා, මහසිටුහට, දැන් අපි යන්නෙමුයයි කීහ. ස්වාමීනි, ඔබ වහන්සේලා සිවුමසක් නැවතෙන බවට අපට ප්‍ර‍තිඥා දුන්නාහු නොවෙත්ද? දැන් කොහි යන්නාහුද? ලොව බුද්ධරත්නය ධර්මරත්නය සංඝරත්නය පහළවිය. එහෙයින් බුදුරදුන් හමුවට යන්නෙමුයි කීහ. කෙසේද? ඒ බුදුරදුන් හමුවට ඔබවහන්සේලා පමණක් යෑම සුදුසුද? ඇවැත්නි එහි යෑම අන්‍යයන්ට තහනමක් නැත. එසේ නම් ස්වාමීනි, නවතිනු මැනවි. අපිත් සූදානම්ව එන්නෙමු. ඔබලාගේ පිරිවර සූදානම් කරගෙන එනවිට අපට ප්‍ර‍මාද වෙයි. එනිසා අපි පෙරටුව යන්නෙමු. තෙපි පසුව එව්යයි කියා ඔවුහු පළමුව ගොස් සම්මාසම්බුදුන් දැක අතිශයින් ස්තුතිකොට වැඳ එක්පැත්තක වාඩිවූහ.

ඉන්පසු බුදුරජාණන්වහන්සේ ඔවුන්ට පිළිවෙළ කථාව වදාරා දහම් දෙසූහ. දේශනා කෙළවර ඒ සියලු තාපසවරු සිව්පිළිසිඹියාපත් රහතුන්බවට පත්ව පැවිද්ද ඉල්ලූහ. බුදුහු එව මහණයයි වදාරත්ම සෘද්ධිමය පාසිවුරු දරා ඒහිභික්ෂුපැවිද්දන් බවටද පත්වූහ. ඒ සිටුවරු තිදෙනාත් ගැල් පන්සීයක සහල් ගිතෙල් මීපැණි ආදියද, සෙසු දානෝපකරණද රැගෙන සැවැත්නුවරට පැමිණ බුදුන් වැඳ දැහැමිකථා අසා කථා කෙළවර සිය්ලලෝම සෝවාන් ඵලයෙහි පිහිටා අඩමසක් පමණ දන් දෙමින් බුදුන් ළඟ සිට කොසඹෑවට යනු කැමැත්තෙන් බුදුන් අයැද සිටිකල්හි භාග්‍යවතුන් වහන්සේ, අවසර දෙමින් තථාගතවරු ශූන්‍යාගාරය වඩා කැමති වෙතියිද වදාළ කල්හි, භාග්‍යවතුන් වහන්ස, අප විසින් ප්‍ර‍තිඥා දී ඇති හෙයින් හසුනක් එවූවිට එහියෑම උචිතයයි කියා කොසඹෑ නුවරට ගොස් ඝෝෂිත සිටු ඝොසිතාරාමයද, කුක්කුට සිටු කුක්කුටාරාමයද, පාවාරිත සිටු පාවාරිකාරාමයද වශයෙන් මහාවිහාර තුනක් කරවා ශාස්තෘන්වහන්සේ වැඩමවාගෙන එනු පිණිස හසුනක් යැවූහ. ශාස්තෘන්වහන්සේ ඔවුන්ගේ හසුන ගැන අසා එහි වැඩමවූහ. ඔවුහු පෙරගමන්කොට ශාස්තෘන්වහන්සේ විහාරයට වැඩමවා වාරානුකූලව පිළිදැගුම් කළහ.

ශාස්තෘන්වහන්සේ දිනපතා එක් එක් විහාරයෙහි වාසයකරන සේක. යම් විහාරයක වැඩවසනසේක් නම් ඒ විහාරය කළ අයගේ ගෙටම පිඬුසිඟා වඩිති. ඒ සිටුවරුන් තිදෙනාට සුමනමාලාකාර නම් උපස්ථායකයෙක් සිටියේය. ඔහු ඒ සිටුවරුන් අමතා, මම දිගු කලකපටන් ඔබලාට උපකාරකයෙක් වෙමි. බුදුන්ට දනක්දී වළඳවනු කැමැත්තෙමි. මටත් බුදුන් වළඳවනු පිණිස එක් දිනක් දෙන්න. එසේනම් හෙට දිනයේ වළඳවව. ඔහු ස්වාමීනි යහපතැයි බුදුරදුන්ට ආරාධනා කොට දානසත්කාර පිළියෙළ කෙළේය.

එකල රජු සාමාවතියට දිනපතා මල් සඳහා මිල වශයෙන් කහවණු අටක් දෙයි. ඇගේ ඛුජ්ජුත්තරා නම් දාසිය සුමන මාලාකාරයා ළඟට ගොස් නිරතුරැව මල් ගනී. එදින එහි ආ දාසියට කථා කොට, අද මා විසින් බුදුරදුන්ට ආරාධනා කරනලදි. අද මලින් බුදුන් පුදමි. ඔබද සිටින්න. වළඳනා තැන සහායිකාව වී ධර්මය අසා සේසවූ මල්ද රැගෙන යන්නැයි මල්කරු කීවේය. ඈ මැනවැයි පිළිගත්තාය. සුමන බුදුරදුන් ප්‍ර‍මුඛ භික්ෂුසංඝයා වළඳවා අනුමෝදන් කරනු පිණිස පාත්‍ර‍ය ගත්තේය. ශාස්තෘන්වහන්සේ අනුමෝදනාව පටන්ගත්සේක. ඛුජ්ජුත්තරාව ධර්මය අසා සිටි ගමන්ම සෝවාන් ඵලයෙහි පිහිටියාය. ඈ වෙනත් දිනවල කහවණු සතරක් තමන් තබාගෙන සතරකින් මල් ගෙනයයි. එදින කහවනු අටටම මල් ගෙන ගියාය. පසුව, සාමාවතී මෑණියනි, කිම අද අපේ රජු දෙගුණයක්කොට මල්මිල දුන්නේදැයි ඇසුවාය. ආර්යාවනි, නැත. එසේනම් අද කුමක් හෙයින් බොහෝමල් වීද? අනිත් දිනවල මම කහවණු සතරක් මා ළඟ තබාගෙන සතරකින් මල්ගෙන ආවෙමි. අද නොගත්තේ ඇයි? සම්මාසම්බුදුන්ගේ ධර්මකථා අසා ධර්මාවබෝධයට පැමිණි හෙයිනි.

ඉන්පසු ඇයට, එම්බල දුෂ්ඨ දාසිය, මෙතෙක්කල් තී ගත් කහවණු මට දෙවයි තර්ජනය නොකොට, මෑණියනි, ඔබ පානයකළ අමෘතය අපටත් දෙන්නැයි ඉල්ලා සිටියාය. එසේනම් මා නහාපියවයි කීකල සුවඳ ජලයෙන් පිරි කළසොළසකින් නහවා, මටසිලිටි සළු දෙකක්ද දුන්නාය. ඈ එයින් එකක් ඇඳ අනික ඒකාංශකොට පෙරවා අසුනක් පනවා විජනිපතක් ගෙන්වාගෙන ආසනයෙහි හිඳ විචිත්‍ර‍ විජිනිපත ගෙන පන්සීයක් මාගමුන් අමතා බුදුරදුන් දෙසා වදාළ අයුරින්ම ධර්මය දේශනා කළාය. ඇගේ ධර්මකථාව අසා සියල්ලෝම සෝවාන්පෙලෙහි පිහිටියාහුය. ඒ හැමෝම ඛුජ්ජුත්තරාවට වැඳ, මෑණියනි, ඔබ අද පටන් කසළ ඉවත් කිරීමාදි වැඩ නොකරන්න. අපේ මවු තනතුරේත්, ගුරු තනතුරේත් සිට බුදුන් හමුවට ගොස් දෙසන දහම් අසා අපටත් කියාදෙනු මැනවැයි වැන්දාහ. ඈ එසේ කරමින් මෑත භාගයෙහි ත්‍රිපිටකධර වූවාය. ඉන්පසු බුදුරජාණන් වහන්සේ මහණෙනි, ශ්‍රාවිකා උපාසිකාවන්ගෙන් බහුශ්‍රැත ධර්මකථිකාවන් අතර, ඛුජ්ජුත්තරාව අග්‍ර‍වන්නීයයි අග්‍ර‍තන්හි තැබූහ. ඒ පන්සීයක් ස්ත්‍රීහුද ඈට කථාකොට, මෑණියනි, අපි බුදුන් දකිනු කැමැත්තම්හ. අපට උන්වහන්සේ පෙන්වන්න. අපිත් සුවඳමල් ආදියෙන් උන්වහන්සේ පුදම්හයි දන්වා සිටියහ. ආර්යාවරියනි, රාජකුලය බරපතළ තැනකි. ඔබලා රැගෙන බැහැර යානොහැකිය. මෑණියනි, අප නොනසන්න. අපට ශාස්තෘන්වහන්සේ පෙන්විය යුතුමයි. එසේනම් තොප සිටිනා ගර්භයන්හි බිත්තිවල බලාගැනීමට සුදුසු තරමේ සිදුරුකරවාගෙන සුවඳමල් ආදිය ගෙන්වාගෙන ශාස්තෘන්වහන්සේ සිටුවරුන් තිදෙනාගේ ගෙදරට වඩිනකල ඒ ඒ තැන්වල සිට බලාගන්න. අත් දිගහැර වඳින්න. පුදපූජා පවත්වන්නැයි කීවාය. ඒ ස්ත්‍රීහු එසේකොට බුදුරදුන් යනඑනවිට බලා වැඳ පිදූහ.

පසු දිනක මාගන්දිය තම ප්‍රාසාදතලයෙන් නික්මී සක්මන් කරනගමන් ඔවුන්ගේ වාසස්ථානයට ගොස් ඒ ගර්භවල බිත්තිසිදුරු දැක මේ කිමෙක්දැයි අසා, ඔවුන් ඈ ශාස්තෘන්වහන්සේ සමග බද්ධවෛරයෙන් පසුවන බව නොදන්නා හෙයින් ශාස්තෘන්වහන්සේ ආ කල අපි මෙහි සිට මේ සිදුරුවලින් බුදුන් බලන්නෙමු. එසේම පුදපූජාද කරන්නෙමුයයි කීකල්හි ශ්‍ර‍මණ භවත් ගෞතමයන් මේ නගරයට ආකල ඔහුට කළයුත්ත දනිමියි මොවුනුත් උන්ගේ උපස්ථායිකාවෝයි ඔවුන්ටද කළයුත්ත දන්නෙමියි සිතා රජුට මෙසේ දන්වා සිටියාය. මහරජතුමනි, සාමාවතී ප්‍ර‍ධාන පිරිස ඔබ හැර වෙනත් අය පිළිබඳව බලාපොරොත්තු ඇත්තෝය. කිහිප දිනකින්ම ඔබේ ජීවිතය විනාශ කර දමනු ඇත. ඔවුහු එසේ නොකෙරෙත්යයි රජු එය නොපිළිගත්තේය. යළියළිත් කී නමුදු භාරගත්තේ නැත. ඈ තෙවෙනි වර දක්වාත් කීනමුදු නොඇදහුවේමය. ඉන්පසු ඈ මහරජතුමනි, ඉදින් මා කියන දේ නොඅදහන්නේ නම් ඔබතුමා එහි ගොස් බලනු මැනවයි කීවාය.

රජු ඔවුන්ගේ වාසස්ථානවලට ගොස්, ගබඩාවල බිත්තිසිදුරු දැක මේ කිමෙක්දැයි ඇසීය. එහි අදහස කියාදුන් පසු ඔවුන් හා නොකිපී කෝප නොකොට කිසිවක් නොකියා සිදුරු වසා දම්මවා හැම ගබඩාවක් පාසා උඩින් දැල් ගැසූ වාකවුළු කරවීය. මේ උඩින් ජාලකවුළු ඇති වුණේ එවන් පටන්ය.

මාගන්දිය ඔවුන්ට කිසිවක් කරකියාගත නොහැකිව ශ්‍ර‍මණභවත් ගෞතමයන්ටම කළයුත්ත කරන්නෙමියි නගරවාසීන්ට අල්ලස් දී ශ්‍ර‍මණභවත් ගෞතමයන් ඇතුළු නුවරට පිවිසී හැසිරෙන විට දාසකම්කරු පුරුෂයන් සමග බැණවැදී නින්දාකොට පලවා හරිව්යයි නියෝග කළාය. තෙරුවන් කෙරෙහි නොපැහැදුණු මිසදිටුවෝ, ඇතුළු නුවරට වැඩමවූ බුදුරදුන් ලුහුබඳිමින් හොරා, අඥානයා, මෝඩයා, ඔටුවා, ගොනා, බූරුවා, තිරිසනා, තොට සුගතියක් නැත, තොපට හිමි දුගතියයි, ආදී දශ ආක්‍රෝෂවස්තුවෙන් ආක්‍රෝෂ පරිභවකොට බැන්නාහුය. ඒ ඇසූ ආනන්ද හිමියෝ බුදුරදුන්ට මෙසේ පැවසූහ:

භාග්‍යවතුන්වහන්ස, මේ නගරවාසීහු අපට ආක්‍රෝෂ කරති. නින්දාකරමින් පරිභව කරති. අපි මේ නුවර හැර වෙනත් තැනකට යමු. ආනන්ද අපි යන්නේ කොහාටද? ස්වාමීනි, වෙනත් නගරයකට ආනන්ද එහි මිනිස්සුත් බැන්නොත්? ස්වාමීනි, ඒ නගරයත් හැර වෙනත් නගරයකට. එහි මිනිස්සුත් බැන්නොත්? එතනින් කොහාටද? එතනිනුත් එතනිනුත් වශයෙන් නගරයෙන් නගරයටයි ස්වාමීනි.

ආනන්ද මෙහිදී එසේ කිරීම වටින්නේ නැත. යම් තැනකදී ප්‍ර‍ශ්නයක් ඇති වුණොත් එතනදීම එය සංසිඳුණු විට වෙන තැනකට යෑම වටී. ආනන්ද ඒ බණින්නේ කවුද?

ස්වාමීනි, දාසකම්කරු ආදීන්ගේ පටන් සියල්ලෝම බණිති. ආනන්ද මම රණබිමට පැමිණි ඇතෙකු හා සමානයි. රණබිමට පත් ඇතාට හතර පැත්තෙන්ම එන හීසැර ඉවසීම භාරය, එසේම බොහෝ දුසිලුන් කියන කථා ඉවසීමත් මට භාරයයි ප්‍ර‍කාශකොට තමන්වහන්සේ අරභයා දහම් දෙසනසේක් නාගවර්ගයෙහි එන මේ ගාථා දේශනා කළහ:

රණබිමට සපැමිණි ඇතකු හා මම සමවෙමි

සිව්දිගින් මා වෙත විදින හීසැර දරා සිටිනෙමි

දමනයවූ ඇතා මහ ජනයා මැදට එයි

එවන් ඇතකු පිටටම රජවරු නැගී ඇවිදිති

මිනිසුන් අතරවුව දැමුණෝම උතුමෝ වෙති

ඔවුහු අනුන් කියනා බැණුම් පරිභව ඉවසති

තරුණ අසු දමනය වූ ආජානීය සින්ධව හෝ

මහත්වූ ඇතකු හෝ විනීත නම් යහපත් වේ

මේ හැමටම වඩා තමා දැමුණේ උතුම් වේමය

මෙම ධර්මකථාව පැමිණි බොහෝ දෙනාට ප්‍රයෝජනවත් විය. මෙසේ දහම් දෙසා ආනන්ද අමුත්තක් නොසිතන්න. මොවුහු වැඩිම වුණොත් සතියක් පමණ බණිනු ඇති. අටවෙනි දිනයේ නිහඬ වනු ඇති. බුදුවරයන් පිළිබඳ ප්‍ර‍ශ්න සතියකට වඩා පවතින්නේ නැත. මාගන්දිය බුදුන්ට ආක්‍රෝෂ කරවා බුදුන් එලවා දමන්ට නොහැකිව කුමක් කරන්නෙම්දැයි සිතා මොවුහු මේ බුදුන්ට උපස්ථම්භකයහ. මොවුන්ට විනාශයක් කරන්නෙමියි සිතා දිනක් රජුගේ මත්පැන් බොන තැන උවටැන් කරමින් සිටින අතර සුළුපියාට හස්නක් යැව්වාය. මැරුණු කුකුළන් අටක් සහ ජීවී කුකුළන් අටක්ද රැගෙන එන්න. එසේ අවුත් සෝපාන මුදුනෙහි සිට ආ බව දන්වා ඇතුළට එන්නැයි කී පසුත් එසේ ඇතුළට නෑවිත් පළමුව සජීවී කුකුළන් අට එවා, පසුව අනික් අටදෙනා එවන්න යනු ඒ ලිපියයි. සුළුඋපස්ථායකයාටද ඔබ මගේ වචනය ඉටුකරන්නැයි අල්ලස් දුන්නාය.

සුළුපියා අවුත් ඇතුළට එන්නැයි කීකල්හි රජුගේ මත්පැන්හලට ඇතුළු නොවෙන්නෙමියි කීවේය. අනික් තැනැත්තිය චුල්ලඋපස්ථායක එහි යැව්වාය. දරුව මගේ සුළුපියා ළඟට යවයි කියාය. හෙතෙම ගොස් ඔහු විසින් දෙනලද ජීවී කුකුළන් අටදෙනා රැගෙනවුත්, දේවයන්වහන්ස, පුරෝහිතයන් විසින් පණිවුඩකරුවන් යවනලදැයි කීය. රජු අද ඉතාමත් හොඳ අහරක් ලැබිණි. මෙය උයන්නේ කවුරුන්දැයි ඇසීය. මාගන්දියා, මහරජ සාමාවතී ප්‍ර‍මුඛ ස්ත්‍රීහු නිකම්ම හැසිරෙති. කුකුළන් ඔවුන් වෙත යවන්න. ඔවුහු කුකුළන් පිසගෙන එන්නාහයි කීවාය. රජු යව, කුකුළන් ඔවුන් වෙත යවන්න. වෙන කෙනෙකුට නොදී තමන් තමන්ම, මරා පිසගෙන එන්නැයිද උයන්නැයිද කියවයි පණිවුඩ යැවීය. සුළුඋපස්ථායක, දේවයන්වහන්ස මැනවයි ගොස් කීලෙසම කියා සිටිවිට, අපි ප්‍රාණාතිපාතය නොකරම්හයි ප්‍ර‍තික්ෂේප කළ හෙයින් ආපසුවිත් ඒබව රජුන්ට දැන්වීය.

මාගන්දිය රජතුමනි, ඔවුන්ගේ හැටි දුටුවා නොවේදැයි පැවසුවාය. දැන් ඔවුන්ගේ ප්‍රාණාතිපාතයේ හැසිරීමක් ඇතිනැති බව දැනගන්ට නම්, ශ්‍ර‍මණභවත් ගෞතමයන්ට පිස යවන්ටයයි කියා මේ කුකුල්ලු පිටත්කර යවනු මැනවියිද කීවාය. රජු එසේ කියා යැවීය. අනිත් තැනැත්තා කුකුළන් පුරෝහිතයාට දී මළ කුකුළන් සාමාවතී ප්‍ර‍මුඛ පිරිස වෙත යවා මේ කුකුළන් උයා බුදුන් සමීපයට යවව්යයි එහි යැවීය. ස්වාමීනි, ගෙනෙන්න. එය අපට අයත් වැඩකියි අවුත් එය භාරගත්හ. හෙතෙම රජුන් හමුවට ගිය කල, දරුවනි කෙසේදැයි රජු විචාළේය. ශ්‍ර‍මණ භවත් ගෞතමයන්ට උයා යවවයි කීසැණෙකින්ම පෙරමගටම අවුත් භාරගත්තාහයි දන්වා සිටියේය. මාගන්දිය බලනු මැනවි රජතුමනි, ඔවුහු ඔබේ වැඩ නොකරති. බැහැර බලාපොරොත්තු ඔවුන් තුළ ඇතිබව දැන්වත් නොපිළිගන්නෙහිදැයි ඇසුවාය. රජු ඒ අසාත් නිහඬව සිටියේය.

මාගන්දිය, දැන් ඉතින් කුමක් කරම්දැයි සිතුවාය. රජු එකල සාමාවතී, වාසුලදත්තා, මාගන්දිය යන තිදෙනාගේ ප්‍රාසාදයන්හි වාරයෙන්වාරයට සතිය බැගිය කාලය ගතකෙළේය. ඉන්පසු මාගන්දිය, රජු හෙට හෝ අනිත්දා සාමාවතියගේ ප්‍රාසාදයට යනබව දැන සුළුපියාට, බෙහෙතකින් දළ සෝදා එක් සර්පයෙක් සාමාවතීගේ ප්‍රාසාදයට එවන්නැයි ලිපියක් යැවුවාය. හෙතෙම එය එසේම කළේය. රජු යනවිට තම හස්තික්‍රාන්ත වීණාවද රැගෙනයාම යාම සිරිතකි. ඒ වීණාද්‍රෝණියෙහි එක් සිදුරක් ඇත. මාගන්දිය ඒ සිදුරෙන් සර්පයා ඇතුළට දමා එහි සිටියාය. මාගන්දිය, රජු එහි යන දවසෙහි ස්වාමීනි, අද කාගේ ප්‍රාසාදයට යන්නෙහිදැයි අසා සාමාවතියගේයයි කීකල්හි ද මා අශුභ සිහිනයක් දක්නා ලදිමි. දේවයිනි, ඔබ එහි නොයායුතුයයි කීකල, රජු, මා එහි යායුතුමයයි කීවේය. ඈ තෙවෙනි වරටත් වළක්වා, එසේනම් මමත් ඔබ සමග එන්නෙමියි කියමින් රජු සමගම එහි ගියාය. සාමාවතී ප්‍ර‍ධාන පිරිස දෙනලද වස්ත්‍ර‍ හා මල් වර්ගද දරා සුභෝජනය අනුභවකොට වීණාව ඉහඉද්දරින් තබා ඇඳෙහි නිදාගත්තේය.

මාගන්දිය එහෙමෙහෙ බලන්නියක මෙන් ඒ වීණා සිදුරෙන් මල්ගුළිය ඉවත් කළාය. සර්පයා දෙතුන් දිනක් නිරාහාරව සිටි බැවින් සිදුරෙන් එලියටවිත් සුසුම් හරිමින් පිඹිමින් පෙණය දිගහැර සයනය මත වැටුණේය. මාගන්දිය ඒ දැක අපොයි අපොයි දේවයිනි, සර්පයෙකියි මහහඬ නගා පළමුව රජුට බණිමින් මේ මෝඩ රජු අවාසනාවන්තයෙකි, මගේ වචන ගණන් නොගනී, මේ නැහැදුණු තැනැත්තියෝ රජුගෙන් මොනවා නම් නොලබත්ද? තෙපි මොහු මළදාට සැපසේ නිදා ගනිව්, ජීවත් වව්. මොහු ජීවත්වීම තොපට කරදරයකි. අද මා පාපී සිහිනයක් දක්නාලදි. සාමාවතියගේ පහයට යෑම නුසුදුසුයයි කෑගසද්දීත් ඒ වචන ඇසුවේ නැහැනේද දේවයිනියි පැවසුවාය.

රජු සර්පයා දැක මරණභයෙන් බියපත්ව. අහෝ මොවුහු මෙබඳු දේ කරති. මම, මොවුන්ගේ පව්කාරකම් කියා දෙන විටත් මාගන්දියාගේ වචන නොපිළිගතිමි. පළමුව තම ප්‍රාසාදයන්හි සිදුරු තනාගෙන සිටියාහ. නැවත මා එවූ කුකුළන් නොපිස ආපසු එවූහ. ඇඳ උඩ සර්පයකු මුදාහැරියහයි ක්‍රෝධයෙන් දිලිසෙන්නකු මෙන් විය.

සාමාවතී අනිත් ස්ත්‍රීන් පන්සීයට අවවාද කරමින්, මෑණිවරුනි, දැන් ඉතින් අපට වෙනත් පිළිසරණක් නැත. නරනිඳුන්, දේවීවරුන් හා තමතමන්ටත් සමසමව මෛත්‍රිය වඩන්න. කිසිවකුට ක්‍රෝධ නොකරන්න. රජු දහසක් දෙනා උසුලන සිංගධනුව (අංවලින් තැනූ දුන්න) රැගෙන දුනුදිය පොලා විෂකැවූ ඊයක් යොදා සාමාවතිය එක් තැනක සිටුවා අනික් ස්ත්‍රීන්ද පිළිවෙලින් සිටුවා සාමාවතීගේ පපුවට ඊය විද්දේය. ඒ ඊය ඇගේ මෛත්‍රී ආනුභාවයෙන් නැවතී ආපසු හැරී ආ මගින්ම අවුත් රජුගේ හෘදයට පිවිසියාක් මෙන් සිටියේය. රජු, මා විදි ඊය ගලක්වුවත් විදගෙන යන්නකි. අහසෙහි නවතින තැනක් නැත. එහෙත් මෙය අද නැවතී මා අබියසටම ආවේය. මේ ඊයට සිතක් නැත. ජීවයකුදු නැත. එබඳු ඊයත් මැගේ ගුණය දනී. මා මිනිසකුවුවත් ඒ ගුණය නොදන්නෙමියි සිතීය. හෙතෙම දුන්න විසිකර දෙඅත් ඇඳිලි බැඳගෙන සාමාවතී පාමුල උක්කුටිකයෙන් හිඳ මේ ගාථාව කීවේය.

මුළාවීම් අතිශයින්ම බියවෙමි සියලු දිශාවෝ බිය එලවත්

සාමාවති මා රැකගනු මැනවි මට ඇති සරණය ඔබ පමණයි

සාමාවතී ඔහුගේ වචන අසා යහපත දේවයිනි, මා සරණ යමියි නොකියා, මා යමෙක් සරණ ගියා නම් ඒ උතුමාම සරණ යන්නැයි කියා:

සම්බුදු ශ්‍රාවිකා සාමාවති මෙය කියා

මා සරණ නොම යා බුදුසරණ යනු මා ගිය

මහරජ ඒ බුදුහු අනුත්තර නම් වන්නේ

එතුන් සරණ යනු මැන ඔබ මට සරණ වනු මැන

දැන් මම වැඩියෙනුත් බියවෙමි යළිත් බියවෙමි

සාමාවතිය මා රැකගන්න මට සරණ වී

ඉන්පසු ඈ මා සරණ නොයන්නැයි නැවතත් ප්‍ර‍තික්ෂේප කළ නමුත්, එසේ නම් ඔබත් ශාස්තෘන්වහන්සේත් සරණ යන්නෙමි. ඔබට වරයකුත් දෙන්නෙමියයි කීකල, වරය පසුව ගිනිමි, මහරජතුමනියයි කීවාය. රජතෙම බුදුන් කරා පැමිණ සරණයෙහි පිහිටා ආරාධනාකොට බුදුන් ප්‍ර‍මුඛකොට මහා සංඝයා වෙත සතියක් මහදන් පවත්වා, කෙළවර සාමාවතී අමතා, නැගී සිටින්න, වරය ලබා ගන්නැයි කීවේය. මහරජාණනි, මර රන් රුවණින් ප්‍රයෝජනයක් නැත. මට වරයක් දෙන්නෙහි නම් මෙසේ කරන්න. බුදුරජාණන්වහන්සේ පන්සීයක් භික්ෂූන් සමග මෙහි වැඩමවා ගන්නට අවසර දීමයි ඒ වරය. එවිට මට නිතර බණ ඇසිය හැකි වේයයි කීවාය.

රජු බුදුන් වැඳ, ස්වාමීනි, භික්ෂූන් පන්සීයක් සමග නිබඳව මෙහි වඩිනු මැනවි. සාමාවතී ප්‍ර‍ධාන පිරිස බණ ඇසීමට කැමැත්තෙන් සිටිතියි කීවේය. මහරජ තවත් මහාජනයා බලාපොරොත්තුවෙන් සිටින නිසා බුදුවරුන් එකම ස්ථානයකට යෑම නොවටී. එසේනම් ස්වාමීනි, එක් භික්ෂූන්වහන්සේ නමකට නියෝග කළ මැනවියයි ඉල්ලා සිටියේය. බුදුරජාණන්වහන්සේ ආනන්ද හිමියන්ට එය පැවරූහ. ආනන්ද හිමියෝ පන්සීයක් භික්ෂූන් සමග නිබඳවම රජ ගෙදරටම වැඩමවති. ඒ දේවිවරුන් නිබඳවම උන්වහන්සේලා වළඳවති. බණද අසත්. ඔවුහු දිනක් තෙරුන්ගේ ධර්මකථා අසා පැහැදී උත්තරසාටක පන්සීයක් පූජා කළහ. එක් එක් උත්තරාසංගයක් කහවණු පන්සීයක් අගනේ විය.

ඔවුන් තනි වස්ත්‍රයෙන් සිටිනු දුටු රජු තොපගේ උත්තරාසංග කොයිදැයි ඇසීය. අපි ඒවා ආර්යයන්වහන්සේලාට පූජා කෙළෙමු. උන්වහන්සේ ඒ සියලු සඟල් පිළිගත්තෝද? එසේය. පිළිගත්සේක. රජ තෙරුන් වෙත පැමිණ වැඳ දේවීවරු සිය උතුරුසළු දුන්බවත්, තෙරුන් ඒවා පිළිගත්බවත් විචාරා දැනගෙන ස්වාමීනි, වස්ත්‍ර‍ බොහෝ රාශියක් නොවේද? මෙපමණ වස්තුවලින් කමක් කරන සේක්දැයි ඇසීය. මහරජ අපට පොහෝනා තරම් අරගෙන සෙස්ස දිරූ සිවුරු ඇත්තන්ට දෙන්නෙමු. ඒ අය තමන්ගේ පුරාණ සිවුරුවලට කුමක් කරන්නාහුද? ඊටත් වඩා දිරූ සිවුරු ඇත්තන්ට දෙති. ඔවුහු තමන්ගේ දිරූ සිවුරුවලට කුමක් කෙරෙත්ද? ඇතිරිලි කෙරෙති. පුරාණ ඇතිරිලිවලට කුමක් කෙරෙත්ද? බුමුතුරුණු කෙරෙත්. ජීර්ණතරපසතුරුණුවලට කුමක් කෙරෙත්ද? මහරජ පාපිසි කෙරෙති. පුරාණ පාපිසිවලට කුමක් කෙරෙත්ද? මහරජ කුජා කැබලිවලට කඩා මැටි සමග අනා බිත්තිවල ආලේප කරති.

ස්වාමීනි, මෙපමණ ප්‍රයෝජන ලබන හෙයින් ආර්යයන්වහන්සේලාට දෙන දෙය නොනස්නේ වේද? එසේය මහරජයයි පිළිතුරු දුන්කල්හි රජු වඩාත් පැහැදී තවත් වස්ත්‍ර‍ පන්සීයක් ගෙන්වා තෙරවරුන්ගේ පාමුල තැබීය. ආනන්ද තෙරණුවෝ මෙසේ පන්සීයක් අගනා වස්ත්‍ර‍ දහස්වර පාමුලතබා ලැබූහ. ලක්ෂයක් වටිනා වස්ත්‍ර‍ දහස බැගින් සියක්වර ලැබූහ.

එක දෙක තුන හතර පහ දහය ආදී වශයෙන් වස්ත්‍ර‍ ලැබූ වාර ගණනක් නැත. බුදුන් පිරිනිවි කල්හි තෙරණුවෝ සියලු දඹදිව හැසිරෙමින් සියලු විහාරවල භික්ෂූන්ට තමන් සන්තක පාසිවුරු බෙදා දුන්හ.

එකල මාගන්දිය ද මා විසින් කරන ලද හැම දෙයක්ම මා සිතන පරිදි නොවී වෙනත් අයුරකින්ම සිදුවේ යයි සිතා, දැන් ඉතින් කිනම් උපායක් කරන්නෙම්දැයි කල්පනා කොට එක් උපායක් ගැන කල්පනා වී රජුන් සමග උයන්කෙළියට යන ගමන් සුළුපියාට, සාමාවතීගේ පහයට ගොස් රෙදි ඇති ගබඩා හා තෙල් ඇති ගබඩා විවෘත කොට රෙදි තෙල්සැළිවල බහා තෙමා කණුවල ඔතා ඒ සියලු ස්ත්‍රීන් එක්තැන් කොට දොරවල් වසා පිටතින් යතුරු දමා පන්දම් දල්වා එයින් ගෙට ගිනිතියා දාරුමය දෙවියන් දැවෙද්දී පහයෙන් බැස යන්නැයි හසුනක් යැවුවාය.

හෙතෙම පහයට නැගී කොටුගුළු විවර කොට රෙදි එළියට ගෙන තෙල්සැළිවල දමා තෙමා කණු වෙලන්ට පටන් ගත්තේය. සුළුපියාණනි, කුමක් කරන්නෙහිදැයි අසමින් සාමාවතී ප්‍ර‍ධාන ස්ත්‍රීහු එතැනට ආවාහුය. මෑණියනි, රජු මේ කණු ශක්තිමත් කරනු පිණිස තෙල් කඩමලුවලින් වෙලවයි. රජගෙදර කටයුතු කෙසේදැයි හරිහැටි වටහා ගැනීම අපහසුයි. ඒ නිසා මා සමීපයේ නොසිටින්නැයි කීය. මෙසේ කියා එහි ආ සියලු කාන්තාවන් ඇතුළු ගැබට යවා දොරවල් වසා පිටතින් යතුරු දමා කොණක සිට ගිනි තබමින් පහතට බැස්සේය. සාමාවතී ඒ ස්ත්‍රීන්ට මෙසේ අවවාද කළාය. අගක් මුලක් නැති මේ සසර හැසිරෙන නඅප මෙවැනි ගිනිවලින් දැවුණු වාර ගණන බුදුනුවණකිනුත් බලා ප්‍ර‍මාණ කළ නොහැකිය. ඒ නිසා පවා නොවව්.

ඒ ස්ත්‍රීහු රජගෙය දැවෙද්දී වේදනාපරිග්‍ර‍හකර්මස්ථානය කරන්නාහු කිසි තැනැත්තියක් දෙවෙනි ඵලයටද, තවත් සමහරු තෙවෙනි ඵලයටද, පැමිණියාහුය. එහෙයින් මෙසේ කියා ඇත.

ඉන්පසු බොහෝ භික්ෂූහු පසුබත් වේලෙහි පිඬු පිණිස හැසිරෙමින් ගොස් බුදුරදුන් හමුවට පැමිණියාහුය. එසේ පැමිණ බුදුන් වැඳ එකත්පසෙක හිඳගත්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු බුදුරදුන්ට මෙසේ දන්වා සිටියහ. භාග්‍යවතුන් වහන්ස, උදේන රජු උයනට ගිය අවස්ථාවක සාමාවතී සමග ස්ත්‍රීන් පන්සීයක්ද අන්තඃපුරයද දැවී ගියේය. ස්වාමීනි, ඒ උපාසිකාවේ කොහි උපන්නාහුද? ඔවුන්ගේ පරලොව තත්ත්වය කුමක්ද? මහණෙනි, ඒ උපාසිකා පිරිස අතර සෝවාන්, සකෘදාගාමී, අනාගාමී ඵලයන්ට පැමිණි අය වෙති. ඒ උපාසිකාවෝ නිකරුණේම කළුරිය නොකළහ. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍ය ප්‍ර‍කාශ කළ සේක.

ලොව මෝහ අඳුරෙන් බැඳී ඇත හැම විටකම

හිංසාකරනු රුචි බව නිරතුරුවම පළට වෙයි

කෙලෙසින් ගහන ලෝකය තමසින් අඳුරටම යයි

නොනැසෙන ලෙසක් පෙනුණත් හැම දෙයම වැනසී යයි

මෙසේත් වදාරා, මහණෙනි, සත්ත්වයෝ සංසාර වෘත්තයෙහි හැසිරෙන විට නිතරම නොපමා වී පින්කම්ම නොකෙරෙති. ප්‍ර‍මාද වී පව්කම්ද කරති. එනිසා සසර හැසිරෙන විට සැපදුක් දෙකම අනුභව කෙරෙත් යයි දහම් දෙසූහ.

රජු, සාමාවතී ප්‍ර‍මුඛ පිරිස ගේ තුළ දැවෙතියි අසා වේගයෙන් එහි ආ නමුත් දැවී අවසන් වන තුරුත් පැමිණිය නොහැකි විය. එහි පැමිණ ගිනිනිවා එය දැක උපන් බලවත් දොම්නසින් යුක්තව ඇමතියන් පිරිවරා ගෙන සාමාවතියගේ ගුණ සිහිකරමින් මෙය කාගේ වැඩක්දැයි සිතා මාගන්දියගේ බව දැන, ඇගෙන් ඇසුවත් මෙය නොකියන්නීය. සෙමින් උපායෙන් අසාගන්නෙමියි සිතා ඇමතියන් සමග මෙසේ කීවේය. සගයෙනි, මම මීට පෙර පටන් උනන්දුවෙමින් සැකයට පැමිණෙමින් කල්ගෙවීමි. ඈ නිතරම මගේ වැටීමක් ම සෙවුවාය. දැන් මගේ සිතට නිවීමක් ඇති විය. දැන් ඉතින් සුවසේ නිදාගත හැකිය. කවුරුන් විසින් මෙය කරනලද්දේදැයි මම නොදනිමි. මට හිතවත් කවුරුන් හෝ කරන ලදැයි සිතමි. ඒ ළඟම නොපෙනී සිටි මාගන්දිය ඒ කථාව අසා මෙය කරන්ට වෙන කවුරු සමත්ද? මවිසින් ම සුළුපියාට නියම කොට මෙය කරවූයෙමියි කීවාය. ඔබ හැර මට සෙනෙහැති වෙනත් කෙනෙක් නැත. මම ඉතාමත් පැහැදීමට පත්වීමි. ඔබට වරයක් දෙනු කැමැත්තෙමි. ඔබේ සියලු නෑයන් කැඳවන්නැයි කීවේය.

මාගන්දිය රජු මා කෙරෙහි පැහැදී සිටී, මගේ සියලු නෑයෝ වහා මෙහි පැමිණෙත්වායි හසුනක් යැවුවාය. රජු පැමිණි සියලු නෑයන්ට මහත් සැලකිලි සත්කාර කෙළේය. ඒ පුවත අසා මාගන්දියගේ නොනෑයෝත් අල්ලස් දී අපිත් මාගන්දියගේ නෑයන් වෙමුයි ආවාහ. රජු ඒ සියලු දෙනම රැගෙන රාජාංගනයෙහි, නැබ පමණ මහවළක් සාරවා ඔවුන් එහි ගිල්ලවා - බස්සවා මත්තෙහි පිදුරු විසුරුවා ගිනි තැබීය. දම දැවී ගිය කල යකඩ නගුලින් සාවා කඩකඩ කොට කැබලිවලට ඉරා වධ කොට දැමීය. මාගන්දියගේ සිරුරේ ලොකු තද තැන් තියුණු සැතකින් මස්පිඩු කපා තෙල් පිරවූ කබළක් ලිප තබා මස්පිඩු කැවුම් මෙන් බැද ඈටම කැවීය. සාමාවති වැනි ශ්‍ර‍ද්ධාව ඇති උපාසිකාවක් මෙසේ මරණයට පත්කිරීම නුසුදුසු යයි එදින දම්සබා මණ්ඩපයට රැස් වූ භික්ෂූහු කථා කළහ. බුදුරදුන් එහි වැඩමවා මහණෙනි, කිනම් කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙබඳු කථාවකිනියි කී කල්හි මහණෙනි සාමාවතී ප්‍ර‍මුඛ ස්ත්‍රීන්ට මේ ආත්මයේදී නම් මෙය අමුත්තකි. එහෙත් පෙර අත්බවෙක කළ කර්මය අනුව නම් යුතුයයි ද එය ඔවුන් විසින් ලදමනා දෙයකැයිද වදාළ කල්හි භාග්‍යවතුන් වහන්ස, මොවුන් විසින් පෙර කළ කර්මය වදාරනු මැනවැයි ඉල්ලා සිටිකල්හි අතීත කථාව ගෙනහැර දක්වා වදාළහ.

අතීතයේ බරණැස් නුවර බ්‍ර‍හ්මදත්ත නම් රජු රාජ්‍යය කරන කාලයෙහි ඒ රජගෙදරට නිබඳව පසේබුදුවරු අටනමක් දන් වළඳති. පන්සීයක් වනිතාවෝ උන්වහන්සේලාට උවටැන් කරති. එයින් හත්නමක් හිමවතට වඩිති. එක් නමක් නදීතීරයෙහි තෘණ ලැහැබක ධ්‍යානයට සමවැදී සිටිති. දිනක් රජු පසේබුදුවරුන් හිමවතට වැඩිය පසු ඒ ස්ත්‍රීන්ද කැටුව ජලක්‍රීඩා පිණිස ගියේය. ඒ ස්ත්‍රීහු වරුවක්ම ජලක්‍රීඩා කොට නදියෙන් ගොඩ අවුත් සීතලෙන් පෙළෙමින් ගිනිතපිනු කැමතිව අපට ගිනි දැල්වීමට සුදුසු තැනක් බලවයි එහා මෙයා ඇවිදින විට ඒ තණලැහැබ දැක තණගොඩෙකියි යන හැඟීමෙන් ඒ වටා සිට ගිනි තැබූහ. තණ දැවී වැටෙන විට ඒ මැද සිටි පසේබුදුන් දැක නැහුණා, නැහුණා, රජුන්ගේ පසේබුදුන් පිළිස්සෙනවා, රජු දැනගත්තොත් අපත් වනසා දමනු ඇතැයිද දැන් ඉතින් මොහු හොඳටම පුළුස්සා දමමුයයි සියලුදෙනා ඔබමොබ ඇවිද දර ගෙනවුත් උන්වහන්සේ මත හෙළා ඒකරාශී කොට මහදරසෑයක් කළහ. දැන් ඉතින් මුළුමනින්ම දැවෙනු ඇතැයි එතනින් ඉවත්ව ගියහ. ඔවුහු පළමුව අචේතනිකව සිට පසුව සචේතනිකව - දැනදැනම එම පාපකර්මයෙහි බැඳුණාහ. පසේබුදුවරුන්ට වනාහි සමාපත්තියකට සමවැදී සිටින අතරතුර ගැල් දහසකින් දර දමා ගිනි තබා වුවද උණුසුමක් පවා දැන්වීමට නොහැක. එහෙයින් උන්වහන්සේ සත්වෙනි දිනයෙහි සමවතින් නැගිට සැපසේ වැඩියහ. ඒ ස්ත්‍රීහු ඒ පාපකර්මයෙන් අවුරුදු දහස් ගණනක් නිරා දුක්විඳ එහි විපාක වශයෙන්ම අත්බැව් සියයක් මේ ලෙසින්ම ගෙවල් ගිනිගෙන දැවුණාහ. මේ ඔවුන්ගේ පූර්වකෘත කර්මයයි.

මෙසේ වදාළ කල්හි භික්ෂූහු නැවතත් බුදුරදුන්ගෙන් මෙසේ විචාළහ. භාග්‍යවතුන් වහන්ස, කිනම් කර්මයකින් ඛුජ්ජුත්තරාව කුදුවූවාද? කිනම් කර්මයකින් මහාප්‍රාඥ වූවාද? කිනම් කර්මයකින් සෝවාන්ඵලයට පැමිණියාද? කුමක් නිසා අනුන් විසින් පෝෂණය කළයුතු වූවාද? මහණෙනි, ඒ බරණැසම බ්‍ර‍හ්මදත්ත රජුන් විසින් රජකම් කරනු ලබද්දී ඒ පසේබුදුවරයන් අතර එක්නමක් මදක් කුදුගැහුණු ස්වරූපයෙන් සිටියහ. අර උපාසිකාවන්ගෙන් එක්කෙනෙක් කම්බිලියක් පෙරවා රන්තැටියක් අතින් ගෙන අපේ පසේබුදුන් වහන්සේ මෙන්න මෙහෙමයි වඩින්නේ කියමින් මඳක් කුදු ගැසී උන්වහන්සේගේ ගමන අනුකරණය කොට දැක්වූවාය. ඒ පවුකමින් කුදුවූවාය. ඔවුහු ප්‍ර‍ථම දිනයෙහි පසේබුදුවරුන් රජගෙදර වඩා හිඳුවා පායාස පිළිගැන්වූහ. උණුසුම් පායාසයෙන් පිරුණු පාත්‍ර‍ ඒ අතින් මේ අතට මේ අතින් ඒ අතට මාරුකරමින් අල්ලාගෙන සිටියහ. ඒ ස්ත්‍රීහු පසේබුදුවරු එසේ කරනු දැක, තමතමන් සන්තක වූ දළකඩ වළළු (ඇත් දළින් කළ වළළු) අටක් දී මේ වළළු මත තබා ගනු මැනවැයි කීවාහුය. ඔවුන් එසේ කර ඒ දෙස බලා සිටි විට, ස්වාමීනි, අපට මේවාගෙන් වැඩක් නැත. ඔබවහන්සේලාටම මේවා පරිත්‍යාග කරන ලදී, රැගෙන වඩින්නැයිද කීවාහුය. උන්වහන්සේලා නන්දමූලක නම් පර්වතයට වැඩියාහ. අද දක්වාත් ඒ වළළු යහතින් පවතී. ඕ තොමෝ මේ පින්කමේ හේතුවෙන් මෙකල ත්‍රිපිටකධාරී වූවාය. පසේබුදුවරුන්ට කළ උපස්ථාන පින්කමේ බලයෙන් සෝවාන්ඵලයට පැමිණියාය. මේ ඈ මෙම බුද්ධාන්තරයෙහි කළ කුශලාකුශල කර්මයන්ය.

කාශ්‍යප සම්මාසම්බුදුන් කල බරණැස්සිටුහුගේ එක් දුවණියක් හිර අවරට යන වේලාවේ කැඩපතක් ගෙන තමන් සැරසෙමින් සිටියාය. ඒ වේලාවේ ඇගේ හිතවත් එක් රහත් භික්ෂුණියක් ඈ දකින්නට එහි පැමිණියාය. භික්ෂුණීහු රහත් වූවත් තමන්ගේ උපස්ථායක ගෙවල්වලට සවස් මානයේ යෙති. එවේලෙහි සිටුදුව ළඟ කිසියම් දාසියක් නොවූවාය. සිටුදුව ආර්යාවනි, වඳිමි. මගේ අර පළඳනා පෙට්ටිය අරගෙන දෙන්නැයි කීවාය. රහත් මෙහෙණියෝ යම්හෙයකින් මේ පෙට්ටිය රැගෙන නොදුන්නොත් මා කෙරෙහි ආඝාත ඇති කරගෙන නිරයෙහි උපදින්නීය. මෙය රැගෙන දුන්නොත් අනුන්ට වැඩ කරන දාසියක වන්නීය. නිරාදුකට වඩා අනුන්ට මෙහෙ කිරීම සුදුසු යයි සිතා ඈ කෙරෙහි අනුකම්පා උපදවා ආභරණ පෙට්ටිය රැගෙන දුන්නාහුය. එම කර්ම විපාකයෙන් අනුන්ට මෙහෙ කරන්නියක වූවාය.

නැවත දිනක දම්සබාමණ්ඩපයෙහි මෙබඳු කථාවක් ඇති විය. සාමාවතී ප්‍ර‍මුඛ ස්ත්‍රීන් පන්සීයක් ගෙදරම ගින්නෙන් දැවුණාහ. මාගන්දියගේ නෑයෝ පිදුරු දමා ගිනිතියා යකඩ නගුලෙන් සානලද සිරුරු ඇතිව මළහ. මාගන්දිය පැසුණු තෙළෙහි බැදී මැරුණාය. මෙයින් ජීවත්වන්නෝ නම් කවුරුන්ද? මළාහු නම් කවුරුන්ද? බුදුරජාණන්වහන්සේ එහි පැමිණ මහණෙනි, කිනම් කථාවක් කරමින් හුන්නාහුදැයි විචාරා ස්වාමීනි මෙබදු කථාවකිනියි දැන්වූ කල, මහණෙනි, යම් කිසිවෙක් ප්‍ර‍මාද නම් ඔවුහු සියවසක් ජීවත් වූ නමුත් මළවුන් හා සමානය. යමෙක් අප්‍ර‍මාද නම් ඔවුහු මළත් නැතත් සැමදා ජීවත් වන්නාහුම වෙති. එනිසා මාගන්දිය ජීවත්වුවත් මළාක් මෙනි. සාමාවතී ප්‍ර‍මුඛ පිරිස මළත් ජීවත්වන්නාහුම වෙති. මහණෙනි, අප්‍ර‍මාද වූවාහු නොමැරෙතියි වදාරා මේ ගාථා ද වදාළහ.

නොපමා බව නිවන් මගයි පමාව මරුමුවට ළඟයි

නොපමා වූවෝ නොමියෙති ප්‍ර‍මාදියෝ මළවුන් මෙනි

මෙකරුණ වෙසෙසින් දැනගෙන නොපනමා වන නුවණැත්තෝ

තම නොපමාවෙහි තුටුවෙති ආරියයන් නිති තුටුවන

භාවනාව පුරුදු කරන ඒ උතුමෝ විරිය වඩන

යෝග නොමැති අනුත්තරවු නිවනේ ඇති රස වළදිති

එහි අප්පමාද යන පදය මහත්වූ යන අරුත ගෙන දෙයි. මහත්වූ අර්ථයක් ගෙන සිටියි. සියලු ත්‍රිපිටක බුද්ධවචනය ගෙන හැර පා කියන විට අප්පමාද යන පදයම යොදනු ලැබේ.

එහෙයින් මෙසේ කියා ඇත. මහණෙනි, යම්සේ ජංගම වූ සියලු ප්‍රාණීන්ගේ පියවරවල් ඇද්ද? ඒ සියල්ල ඇත්පා සටහන තුළ ඇතුළත් කළහැකි වේද, එහෙයින්ම එය සියලු සතුන්ගේ පියවර සටහන්වලට වඩා විශාල යය කියනු ලැබේ. ඒ එය මහත් වූ එකක් හෙයිනි. එසේම මහණෙනි, සියලු කුසල් දහම් අප්‍ර‍මාදය මුල්කොටම පවතී. අප්පමාද යන්නෙහි අන්තර්ගත වෙයි. අප්පමාදය ඒ දහම්වලට අග්‍ර‍ යයි කියනු ලැබෙයි. ඒ වනාහි සිහියෙන් තොර නොවී සිටීම යන තේරුමයි. මේ වනාහි සිහියෙන් තොර නොවී සිටීමයි. අප්පමාදං යන මෙහි අමෘතය නම් නිර්වාණයයි. එය නූපන්නක් හෙයින් නොදිරයි, නොමැරෙයි, එහෙයින් අමෘත යයි කියනු ලැබේ. මෙයින් පැමිණේ යන අරුතින් පද නම් වේ. අමෘතයට පැමිණෙත් යනු අර්ථයි. අමෘතයට අධිගම උපාය යයි කියූ ආකාරයයි.

පමාදො යනු ප්‍ර‍මාද වීමේ ස්වභාවයයි. මුට්ඨස්සති නම් වූ සිහිය හැර දැමීමට මෙය නමකි. මච්චුනො යනු මරණයට නමකි. පදං යනු උපායයි, මාර්ගයයි. පමාවන්නා ඉපදීම නොඉක්මවයි. උපන් තැනැත්තා දිරීමටත් මරණයටත් පත්වන හෙයින් පමාදො මච්චුනෝපදං, ප්‍ර‍මාදයෙන් මරණයට පත්වෙයි, හෙවත් මැරෙයි. අප්පමත්තා න මීයන්ති යනු සිහියෙන් යුතු අප්‍ර‍මාදී පුද්ගලයා නොමැරෙයි. අජරාමර වෙත් යයි නොසැලකිය යුතුයි. අජරාමර තත්ත්වයට පැමිණෙන කිසිම සතකු නැත. පමා වූවහුගේ සසර පැවැත්මේ අවසානයක් නැත. අප්‍ර‍මාදියාගේ අවසානයක් ඇත. එහෙයින් ප්‍ර‍මාද වන්නෝ ඉපදීම් ආදියෙන් නොමිදුණු හෙයින් ජීවත් වුවත් මළාහුම වෙති. අප්‍ර‍මාදීහු වනාහි අප්‍ර‍මාද ලක්ෂණ දියුණු කර ගනිමින් වහා මගපල සාක්ෂාත් කොට දෙවෙනි තෙවෙනි ආත්මභාවවලින් පසු නූපදිත්. එහෙයින් ඔවුහු ජීවත් වුවත් මළත් නොමැරෙත්මය.

යෙ පමත්තා යථා මතා යනු යම් සත්ව කෙනෙක් ප්‍ර‍මාද නම් ඔවුහු ප්‍ර‍මාද මරණයෙන් මළ හෙයින්, යම්සේ ජීවිතේන්ද්‍රිය ආයුප්‍ර‍මාණයන් අවසන් ව මැරෙන්නහු දරකඳක් මෙන් පහවූ විඤ්ඤාණය ඇතිව මැරෙත්. ඒ ඒ ආකාරවලින් මැරුණාක් වැනි ගිහියන්ට, දන් දෙන්නෙමු. සිල් රකින්නෙමු, පෙහෙවස් වසන්නෙමු ආදි එක් සිතකුදු නූපදී යයි යන මතයෙහි පිහිටියා වූ ඔවුහු නොයෙක් අදහස් ඇති කර ගත්තාහු වෙති. යෙ පමත්තා යථා මතා යයි කීයේ එහෙයිනි.

එතං විසෙසතො ඤත්ත්වා යනු පමා වන්නාහට වට්ට නම් වූ සංසාර දුකෙන් මිදීමක් නැත. අප්‍ර‍මාදී පුද්ගලයාට පමණක් එය ඇත යන අදහසයි. මේ විශේෂත්වය විශේෂයෙන් ම දැනගෙන යනු ද මෙහි අදහසකි. කවරෙක් නම් මේ විශේෂය දැනගනිත්ද? අප්පමාදම්හි පණ්ඩිතා යනු (ඒ දැනගන්නා පුද්ගලයන්ය.) යමෙක් පණ්ඩිත නම්, දැන ගැනීමේ නුවණින් යුක්ත නම්, ප්‍ර‍ඥාවන්ත නම් ස්වකීය අප්‍ර‍මාදී පිළිවෙතෙහි සිට එය වර්ධනය කර ගනිත්. ඔවුහු මෙසේ ඒ විශේෂ කාරණය දැන ගනිත්.

අප්පමාදො පමොදන්ති යනු, මෙසේ දැනගෙන ඒ දැනගත් ස්වකීය අප්‍ර‍මාද ප්‍ර‍තිපත්තිය පිළිබඳව විශේෂයෙන් ප්‍රීතියට පත්වෙති. ප්‍රබෝධමත් සිනාමුසු මුහුණින් තුටුපහටු වෙත්. අරියානං ගොචරෙ රතා යනු මෙසේ ඒ ආකාරයෙන් අප්‍ර‍මාදයෙන් ප්‍රමෝදයට පත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ අප්‍ර‍මාදී ප්‍ර‍තිපදාව තවදුරටත් වඩා ආර්ය වූ බුදුපසේබුදුමහරහතන් වහන්සේලාගේ ගෝචර සංඛ්‍යාත සතරසතිපට්ඨානාදි භේදගත සත්තිස්බෝධිපාක්ෂික ධර්මයන් හා නවවිධලෝකෝත්තරධර්මයන්හි ඇළෙමින් ඒවාහි නිරත වෙමින් වාසය කෙරෙත් යනු අර්ථයයි.

තෙ ඣායිනො යනු ඒ අප්‍ර‍මාදී පණ්ඩිත පුද්ගලයෝ අෂ්ටසමාපත්ති සංඛ්‍යාත වූ ආරම්මණ උපනිජ්ඣාන ලක්ෂණ කොට ඇති (අරමුණු නිරීක්ෂණය කිරීම) විදර්ශනාමාර්ගඵල සංඛ්‍යාත වූ ලක්ෂණ නිරීෟක්ෂණය කිරීම යන ද්විවිධ වූ ධ්‍යාන මගින් ධ්‍යානලාභී වූවාහු. සාතතිකාති යනු අභිනිෂ්ක්‍ර‍මණයේ පටන් අර්හත්මාර්ගය දක්වා නිරන්තරව පවත්වනලද කායික චෛතිසක වීර්යයෝයි. නිච්චං දළ්හපරක්කමාති යනු යම් ඒ පුරුෂබලයෙන්, පුරුෂ වීර්යයෙන්, පුරුෂ පරාක්‍ර‍මයෙන් පැමිණිය යුතු තැනට නොපැමිණි වීර්යයාගේ එකතු කිරීම (ගෙතීම) වන්නේ යයි මෙබඳු වීර්යයෙන් අතරතුර පසු නොබැස දැඩි උත්සාහයෙන් නිති පවත්වා ගන්නා වීර්යයෙන් යුක්ත වීමයි.

ඵුසන්ති යනු මෙහි ඵුසනා හෙවත් ස්පර්ශ කිරීම් දෙකකි. ඤාණඵුසනා - විපාකඵුසනා වශයෙනි. එහි සතර මාර්‍ගයෝ (සෝවාන් ආදි) ඤාණඵුසනා නම් වෙති. සතරඵලයෝ විපාකඵුසනා නම් වෙති. ඔවුනතුරෙන් මෙහි විපාකඵුසනා අදහස් කරන ලදි. ආර්යඵලයෙන් නිවන් අවබෝධ කරන ධෛර්යමත් පණ්ඩිතයෝ ඒ විපාකඵුසනාවන්ගෙන් නිවන් ස්පර්ශ කරති. නිවන් පසක් කරති. යොගක්ඛෙමං අනුත්තරං යනු මේ සතර මහා යෝගයෝ (කාම, බව, දිට්ඨි, අවිජ්ජා) නිරතුරුවම සත්ත්වයා සංසාර වෘත්තයෙහි - බැම්මෙහි ගිල්වා ලති. ඒ සතර මහා යෝගයන්ගෙන් ආරක්ෂාස්ථානය, නිර්භයස්ථානය වූ නිවන සියලු ලෞකික ලෝකෝත්තර ධර්‍මයන්ගෙන් ශ්‍රේෂ්ඨ යයි අනුත්තරයයි කියනු ලැබේ.

මේ දේශනා කෙළවර බොහෝ අය සෝවාන් ආදි මාර්ගයන්ට පැමිණියහ. දේශනාව මහජනයාට සාර්ථක විය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.