2-3 තුන්වන චුල්ලපන්ථක තෙරුන්ගේ වස්තුවයි.

උට්ඨානෙනප්පමාදෙන සඤ්ඤමෙන දමෙන ච

දීපං කයිරාථ මෙධාවී යං ඔඝො නාභිකීරති.

(කායික මානසික වීර්‍ය්‍ය සංඛ්‍යාත) උත්‍ථානයෙන් ද, (සුසිරිත් දහම්හි) සිහි ඇති බව යැ යි කියන ලද අප්‍රමාදයෙන් ද, (සිවු පිරිසිදු සිල් යැ යි කියන ලද) කායවාක් සංයමයෙන් ද, (සදොරට හමු වූ අරමුණෙහි ලෝභ දේවේෂ මෝහ නො උපදවා යෝනිසෝමනස්කාරය පැවැත්මය යි කියන ලද) ඉන්‍ද්‍රිය දමනයෙන් ද, (විවසුන් නුවණින් යුත්) ප්‍රාඥ තෙම, යම් ප්‍රතිෂ්ඨාවක් (කමෝඝාදී වූ) කෙලෙස් මහවතුර නො නසා ද (නසාපිය නො හේ ද), ඒ (රහත්පල නැමැති) ප්‍රතිෂ්ඨාව කරන්නනේ ය.

උට්ඨානෙනප්පමාදෙන’ ආදී මේ ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ සිටින කාලයේ චුල්ලපන්ථක තෙරුන් අරභයා දේශනා කළ සේක. රජගහනුවර මහාධන සම්පත් ඇති සිටුකුලයක දුවක් සුදුසු වියට පත්කල්හි මවුපියෝ සත්මහල් පහයක උඩුමහලේ බොහෝ රැකවල් තබා රැක සිටියාහුය. යොවුන්මදයෙන් මත්වූ ඈ පුරුෂයන් පිළිබඳ ලොල්බැවින් මුසපත්ව ස්වකීය දාසයා සමග සංසර්ග කොට, සෙස්සෝ තමාගේ මේ තොරතුරු දැන ගනිත්දෝ බියපත්ව සොරසැමියාට මෙසේ කීවාය. දැන් අපට මෙහි විසීම කළ නොහැක. යම් විදියකින් මගේ මවුපියන් මේ වැරැද්ද දැනගතහොත් මා කෑලිකෑලිවලට සිඳ දමනු ඇත. ඒ නිසා වෙනත් පෙදෙසකට ගොස් වසමු. මෙසේ කියා ඔවුහු අතින් රැගෙන ගිය හැකි දේ රැගෙන ප්‍ර‍ධාන දොරටුවෙන් නික්මී අන්‍යයන්ට හසු නොවන තැනකට ගොස් ජීවත්වූහ.

එක්තැන වසන ඔවුහු සංවාසයට පත්වූ හෙයින් ඇගේ කුස ගැබක් පිහිටියේය. ගැබ මෝරා ගිය පසු ඈ ඔහුට කථා කොට මෙසේ කීවාය. ‘මගේ දරුගැබ මෝරා ගියේය. නෑදෑයන් රහිත ස්ථානයක දරුවන් ලැබීම අප දෙදෙනාටම පීඩාදායක හෙයින් අපි අපේ ගෙදරටම යමු.’

ඒ තරුණයා, ඉදින් මා එහි ගියොත් මගේ ජීවිතයක් මට අහිමිවේයයි යන බියෙන් අද යමු, හෙට යමුදැයි කියමින් දවස් ගෙවූයේය. ඈ මෙසේ සිතුවාය. මේ බාලයා තමන්ගේ දෝෂමහත්වය (වරදේ බරපතලකම) නිසා යාමට උත්සාහයක් නොගනී. මවුපියෝ වනාහි දූදරුවන් කෙරෙහි ඒකාන්තයෙන්ම හිතවත්තුය. මොහු ගියත් නොගියත් මම යන්නෙමියි ගෙයින් නික්මීමට පෙර ගෙදර ආරක්ෂක කටයුතු යොදා තමන් සිය ගෙදරට යන බව ළඟපාත ගෙවල්වල අයට දන්වා මහමගට පිවිසියේය.

ඒ පුරුෂයාත් ගෙදර අවුත් ඈ නොදැක අසල්වැසියන්ගෙන් අසා ඈ සියගෙදර ගිය බව දැන වේගයෙන් ලුහුබැඳ ගොස් අතරමගදී දෙදෙනා හමුවූහ. ඒ ස්ථානයේදීම ඈට ප්‍ර‍සව වේදනා ඇතිවී පුතකු ප්‍ර‍සූත කළාය. ඔහු සොඳුර මේ කිමෙක්දැයි ඇසීය. හිමියනි, එක් පුතෙක් ලැබුණේයයි ඈ කීවාය. දැන් කුමක් කරන්නෙමුද, අපි කුලගෙය බලා නික්මුණු කරුණ දැන් සිදුවී අවසාන නිසා දැන් ගෙදර යෑමෙන් පලක් නැතැයි එක්සිත්ව නැවතුණාහුය. ඒ දරුවා මගදී (පන්ථයෙහි) උපන් හෙයින් ඔහුට පන්ථක යයි නම් තැබුවාහුය.

නොබෝ කලකින්ම ඈ නැවතත් ගැබ්බර වූවාය. ඉතිරි විස්තර පෙර සේම සිදුවිය. ඒ දරුවාත් මහමග උපන් හෙයින් පළමු වැන්නා මහාපන්ථක නමිනුත් දෙවැන්නා චුල්ලපන්ථක වශයෙනුත් නම් කළහ. ඔවුහු ඒ දරුවන් දෙදෙනාම රැගෙන සිය වාසස්ථානයටම ගියාහුය. ඔවුන් මෙසේ වසන අතර, සෙසු අයගේ දරුවන් සුළුපියා, මහපියා, මුත්තණුවෝ, මිත්තනිය ආදී කියන කථා අසා සිටි මහාපන්ථක දිනක් සිය අම්මාගෙන්, මෑණියනි, අනිත් ළමයි ආතා මිත්තණිය ආදී නෑයන් ගැන කියති. අපට එබඳු නෑයන් නැද්දැයි ඇසීය. පුත, එසේය. නුඹලාට එබඳු නෑයන් මෙහි නැත. රජගහනුවර ධනසිටුවරයා නුඹලාගේ ආතාය. එහි අපේ බොහෝ නෑයෝ සිටිති. මෑණියනි, එහි නොයන්නේ ඇයි? ඈ තමන් මෙහි ආ කරුණ පුතාට නොකියා නැවත නැවතත් ඉල්ලා සිටින හෙයින් පුතාගේ පියාට මෙසේ කීවාය. මේ මගේ දරුවෝ නිතර මට කරදර කරති. ඇයි අප දැක අපේ මවුපියෝ අපේ මස් කන්නහුද? යමු දරුවන්ට ඔවුන්ගේ මුත්තණුවන්ගේ ගෙදර පෙන්වමුයි කීවිට, මට ඔවුන් හමුවීමට බැරිය. එසේ වුවත් කිසියම් උපායකින් හේ දරුවන්ට ඔවුන්ගේ මුත්තණුවන් පෙන්වීම මැනවැයි දෙදෙනාම දරුවනුත් රැගෙන පිළිවෙළින් රජගහනුවරට පැමිණ නගරදොර අසළ එක් ශාලාවක නැවතී, දරුවන්ගේ මව දරුවන්ද රැගෙන අවුත් සිටින බව මවුපියන්ට දන්වා යැවුවාහ.

ඒ සිටුමවුපියෝ ඔවුන්ගේ පුවත අසා, සසර ඇවිදගෙන යන අතර පුතුන් දූන් නොවූ කෙනෙකුන් නොමැත. අපට මහ අපරාධයක් කළ ඔවුන් අපේ ඇස් ඉදිරිපිට සිටිනු දැකීම කළ නොහැකිය. මෙපමණකින් ධනය රැගෙන අඹුසැමිදෙදෙනා පහසු තැනකට ගොස් ජීවත් විය යුතුය. දරුවන් පමණක් මෙහි එවන්නැයි දූතයකු අත ධනය දී යැවූහ.

ඔවුහු එවූ ධනය රැගෙන පැමිණි දූතයාට දරුවන් භාර කොට යැවූහ. දරුවෝ එතැන් පටන් මුත්තණුවන්ගේ ගෙදර වැඩුණාහ. ඔවුනතර චුල්ලපන්ථක ඉතා ළදරුය. මහාපන්ථක මුත්තණුවන් සමග දශබලයන්වහන්සේගේ ධර්මකථා ඇසීමට යයි. නිතර බුදුන් හමුවට ගිය ඔහුගේ සිත පැවිද්දට ඇදී ගියේය. මහාපන්ථක මුත්තණුවන්ට මෙසේ කීවේය. මුත්තණුවනි, ඉදින් ඔබ අනුමත කරන්නේ නම් මම පැවිදි වෙමි. දරුව කුමක් කියන්නෙහිද, මුළු ලොවම පැවිදි වනවාටත් වඩා මට ඔබේ පැවිදිවීම උතුම්ය. ඔබට හැකිනම් පැවිදි වන්නැයි මුත්තණුවෝ ප්‍ර‍කාශ කළහ.

සිටුවරයා, මහාපන්ථකත් සමග බුදුන් සමීපයට ගිය කල ගෘහපතිය, කිම ඔබ දරුවකු ලද්දේදැයි පිළිවිසි කල්හි, එසේය ස්වාමීනි, මේ මගේ මුණුබුරාය. ඔබ ළඟ පැවිදි වීමට කැමතියයි දන්වා සිටියේය.

බුදුපියාණෝ එක් පිණ්ඩචාරික භික්ෂුවක් අමතා මේ දරුවා පැවිදි කරන්නැයි අණ කළහ. ඒ තෙරණුවෝ කුමරාට තචපංචක කමටහන් දී ඔහු පැවිදි කළහ. ඒ සාමණේරයෝ බොහෝ වූ බුද්ධවචන ඉගෙනගෙන විසිවස්සම්පූර්ණ වූ පසු උපසම්පදා වී යෝනිසෝමනසිකාරයෙන් යුක්තව කටයුතු කොට රහත් බවට පත්වූහ. උන්වහන්සේ ධ්‍යාන සැපයෙන් හා ඵල සැපයෙන් කල් ගෙවන්නාහු මේ සැපත චුල්ලපන්ථකටත් දියහැකිදැයි කල්පනා කළහ. ඉන්පසු මුත්තණු සිටුවරයා ළඟට ගොස්, මහසිටුතුමනි, ඔබ අනුමැතිය දෙන්නෙහි නම් මම චුල්ලපන්ථක පැවිදි කරන්නෙමි. ස්වාමීනි ඔහු පැවිදි කළ මැනවි.

සිටුවරයා වනාහි සසුනේත් පැහැදුණු කෙනෙකි. ඒ අතරම මේ පුත්‍රයෝ කවර නම් දුවකගේ පුතුන්දැයි ඇසූ විට පැනගිය දුවගේ පුතුන්යයි කීමටද ලජ්ජා වෙයි. එහෙයින් කිසි අසීරුවක් නොව ඔවුන්ගේ පැවිදිවීම අනුමත කෙළේය. මහාපන්ථක තෙරණුවෝ චුල්ලපන්ථක පැවිදි කර සීලයෙහි පිහිටුවාලූහ. එහෙත් ඔහු පැවිදි වනවාත් සමගම බුද්ධියෙන් අඩ වූවෙක්-දන්ධයෙක් විය.

කොකනද නම් ලද පියුම් සුවඳ ඇති

උදේ පිපී සුවඳත් විහිදනු වැනි

තවන හිරක් මෙන් අහස්කුසේ

බලනුව අංගීරස මහමුනි දෙස

යන මේ ගාථාව සිවුමසකිනුත් ඉගෙනීමට නොහැකි විය.

ඔහු වනාහි කස්සප සම්මාසම්බුදුන් කාලයෙහි පැවිදි ප්‍ර‍ඥාවන්තයෙක්ව එක්තරා නුවණ මඳ භික්ෂුවක් පාළි ඉගෙන ගන්නා වේලාවෙහි වැරදුණු තැන්වලදී විහිළු කොට අවමන් කෙළේය. ඒ භික්ෂුව ඒ අවමානයෙන් ලජ්ජා වී උදෙසීම් නොගත්තේය. සජ්ඣායනා නොකෙළේය. (ඉගෙන නොගත්තේය) ඒ කර්ම විපාකයෙන් චුල්ලපන්ථක පැවිදිවීමත් සමගම අනුවණයෙක් විය. පළමුව පාඩම් කළ පදය දෙවෙනි තුන්වෙනි පද ඉගෙන ගන්නා විට අමතක විය. ඔහු මේ ගාථාව ඉගෙනීමට වෑයම් කළත් ඒ සඳහා හාරමාසයක් ගතවිය. එහෙත් පාඩම් නොසිටියේය.

ඉන්පසු මහාපන්ථකතෙරණුවෝ ඔහු අමතා, පන්ථක, ඔබ මේ සසුනෙහි අභව්‍යයෙකි. (ප්‍ර‍තිඵලයක් ලැබිය නොහැක්කෙකි) සාරමසකිනුත් එක් සතරපදගාථාවක් පාඩම් කරගත නොහැකි විය. ඉතින් ඔබ පැවිදිකම මුදුන් පමුණුවා ගන්නේ කෙසේද? එහෙයින් මේ විහාරයෙන් පිටවී යන්නැයි කීවෝය. චුල්ලපන්ථක බුදුසසුනෙහි ඇල්ම ඇති හෙයින් ගිහිබව නොපතයි. එකල මහාපන්ථක හිමියෝ භත්තුද්දෙශක තනතුර දැරූහ.

ජීවකකෝමාරභච්ච නම් වෛද්‍යවරයා බොහෝ මල්ගඳවිලවුන් රැගෙන තම අඹවනයට ගොස් බුදුන් පුදා බණ අසා අසුනින් නැගිට දශබලයන් වහන්සේ නැවත වැඳ මහාපන්ථකයන්වහන්සේ වෙත එළඹ, ස්වාමීනි දැන් බුදුරදුන් වෙත කොපමණ භික්ෂූන් සිටිත්දැයි විචාළේය. සිටාණනි, පන්සීයක් පමණ වෙතියි පිළිතුරු දුන්හ. ස්වාමීනි, හෙට දිනයෙන් බුදුන් ප්‍ර‍මුඛ පන්සීයක් භික්ෂූන් රැගෙන මගේ නිවසේ භික්ෂාව (ආහාර) ගනු මැනවයි ආරාධනා කෙළේය. උපාසකය, චුල්ලපන්ථක නමින් අනුවණ දහම් නොදන්නා එක් භික්ෂුවක් ද සිටියි. ඒ භික්ෂුව හැර සෙසු අය සඳහා ආරාධනය පිළිගනිමියි තෙරණුවෝ පැවසූහ.

මේ කථාව අසා සිටි චුල්ලපන්ථක තෙරුන්වහන්සේ මෙසේ සිතූහ. ‘මහාපන්ථක හිමියෝ මෙතරම් භික්ෂූන් උදෙසා ආරාධනය පිළිගත්තේ මා අතහැර දමාය. නිසැකයෙන්ම මගේ සහෝදර හිමියන්ගේ සිත කලකිරී ඇත. දැන් ඉතින් මම මේ සසුනින් පිටව ගොස් ගිහිබවට පත්වී දානාදි පින්කම් කරමින් ජීවත්වන්නෙමි. මෙසේ සිතූ උන්වහන්සේ දෙවෙනි දින උදෑසනින්ම උපැවිදිවීම සඳහා පිටත්වූහ. ශාස්තෘන්වහන්සේ අලුයම් වේලෙහි ලොව දෙස බලනසේක් මේ කරුණ දැක ප්‍ර‍ථමයෙන්ම ගොස් චුල්ලපන්ථක යන මාර්ගයෙහි වූ දොරකොටුවෙහි සක්මන් කරමින් වැඩසිටි සේක. ගමන් කරමින් සිටි චුල්ලපන්ථකගෙන් ඔබ මේ වේලාවේ කොහි යන්නෙහිදැයි බුදුහු විචාළහ. ස්වාමීනි, මාගේ සොහොයුරා මා එළවා දැමුවේය. එහෙයින් මම ගිහිවීම සඳහා යන්නෙමියි පැවසූහ. චුල්ලපන්ථක ඔබේ පැවිද්ද මා සතුය. සොහොයුරා එලවා ගත් කළ මා ළඟට නාවේ ඇයි? ඔබට ගිහි වීමෙන් කිනම් ඵලයක්ද? මා සමග යන්ට එන්නැයි මොලකැටි අතින් උන්වහන්සේගේ හිස පිරිමැද කැඳවාගෙන ගොස් ගන්ධකුටිය ඉදිරිපස හිඳුවා, චුල්ලපන්ථක, පෙරදිග පැත්ත බලා හිඳගෙන මේ රෙදිකැබැල්ල “රජෝ හරණං රජෝහරණං” (කෙලෙස් හැර දැමීම) යයි කියමින් මෙය පිරිමදිමින් මෙතන ම සිටින්නැයි සෘද්ධියෙන් ලබාගත් පිරිසිදු රෙදි කැබැල්ලක් දුන්හ.

බුදුහු කාලය එළඹි කල්හි භික්ෂුසංඝයා පිරිවරා ජීවකයන්ගේ ගෙට වැඩමවා පැන වූ ආසනයෙහි වැඩහුන්සේක. චුල්ලපන්ථකද හිරු දෙස බලාගෙන ඒ රෙදිකැබැල්ල රජෝ හරණං රජෝ හරණං කියමින් පිරිමදිමින් හුන්නේය. ඒ රෙදිකැබැල්ල එසේ පිරිමදිමින් සිටින අතර එය කිලිටි වී ගියේය. චුල්ලපන්ථක මේ රෙදිකැබැල්ල අතිශයින් පිරිසිදුයි. මේ ආත්මභාවය නිසා මුලින් පැවති තත්ත්වය හැර මෙසේ කිලිටි විය. අනිච්චා වත සංඛාරා යි සියලු සංස්කාරයන්ගේ ක්ෂයවීම හා වැනසීයෑම සිහි කරමින් විදර්ශනා වැඩුවේය.

බුදුපියාණන් වහන්සේ, චුල්ලපන්ථකගේ සිත විපස්සනාවට වැටී ඇති බව දැන, චුල්ලපන්ථක, ඔබද රෙදිකැබැල්ල මෙන් කිළුටුය. රජං රජං යනුවෙන් සංඥා වශයෙන් නොගනුව. ඔබේ අභ්‍යන්තරයේ රාගාදි රජස් බොහෝය. ඒවා අතහරින්න යයි වදාරා ආලෝකයක් විහිදුවා පෙරටුව සිටියාක් මෙන් පෙනෙන රුවක්සේ සලස්වා මේ ගාථා වදාළහ.

රජස නම් රාගයයි ඒ දුහුවිලි නම් නොවේ

රාගයට ම කියන තවත් නමකි රජස යයි

මහණෙනි මේ රජස් දුරැර

බුදුසසුනෙහි ඔබ විසිය යුතුය

රජස නම් ද්වේෂයයි ඒ දුහුවිලි නම් නොවේ

ද්වේෂයට ම කියන තවත් නමකි රජස යයි

මහණෙනි මේ රජස් දුරැර

බුදුසසුනෙහි ඔබ විසිය යුතුය

රජස නම් මෝහයයි ඒ දුහුවිලි නම් නොවේ

මෝහයටම කියන තවත් නමකි රජස යනුවෙන්

මහණෙනි මේ රජස දුරැර

බුදුසසුනෙහි ඔබ විසිය යුතුය

ගාථා කෙළවර චුල්ලපන්ථක හිමියෝ සිවුපිළිසිඹියා සමග රහත් බවට පත්වූහ. සිවුපිළිසිඹියා ලබනවාත් සමග උන්වහන්සේට ත්‍රිපිටකය ප්‍ර‍ගුණ විය. (සිවුපිළිසිඹියාම ත්‍රිපිටකය විය.) උන්වහන්සේ පෙර රජෙක්ව නුවර ඇවිදින විට නළලින් ඩාබිඳු වැගුරුණේය. පිරිසිදු සළුවෙන් නළල පිස දැමීය. සළුව කිලිටි විය. උන්වහන්සේ, මේ ශරීරය නිසා මෙවන් පිරිසිදු සළුවක් එහි ප්‍ර‍කෘතිය හැර කිලිටි වීයයි අනිච්චා වත සංඛාරා ආදි වශයෙන් අනිත්‍ය සංඥාව ලැබූහ. ඒ කරුණින් රජෝහරණයම ප්‍ර‍ත්‍යය විය. උදව් විය.

ජීවක කෝමාරභච්චතෙමේත් දශබලයන්වහන්සේට දක්ෂිණෝදකය පිළිගැන්වීය. බුදුරජාණන්වහන්සේ, ජිවකයනි, විහාරයෙහි තවත් භික්ෂූන් ඇත්තේ නොවේදැයි අතින් පාත්‍ර‍ය වැසූසේක. මහාපන්ථක තෙරණුවෝ විහාරයෙහි භික්ෂූන් නැතැයි කීහ. ශාස්තෘන්වහන්සේ ජීවක, තවත් භික්‍ෂූන් ඇතැයි වදාළහ. ජීවක, එසේනම් විහාරයෙහි භික්ෂූන් ඇති නැති බව දැනගෙන එන්නැයි පුරුෂයකු යැවීය. ඒ වේලාවෙහි චුල්ලපන්ථක හිමියෝ, මගේ සොහොයුරා විහාරයෙහි භික්‍ෂූන් නැති බව කියයි. භික්ෂූන් ඇති බව එතුමන්ට ප්‍ර‍කාශ කරන්නෙමියි සියලු අඹවනය භික්ෂූන්ගෙන් පුරවාලූහ. එයින් ඇතැම් භික්ෂූහු සිවුරු පිළියලෙ කරති. ඇතැමෙක් සිවුරු පඬු පොවති. ඇතැමෙක් සජ්ඣායනා කරති. මෙසේ ඔවුනොවුන් එකහා සමාන භික්ෂූන් දහසක් මවාලූහ. ඒ පුරුෂයා විහාරයෙහි බොහෝ භික්ෂූන් දැක ආපසු ගොස්, ආර්යයයෙනි, සියලු අඹවනය භික්ෂූන්ගෙන් පිරී පවතී යයි ජීවකට දැන්වීය. චුල්ලපන්ථක තෙරුන් වහන්සේත් එහිම:

දහස් වරක් තම රුවමවමින්

වැඩ සිටියහ පන්ථක හිමියෝ

ඒ රමණිය වූ අඹවනයේ

සුදුසු කාලයයි දන්වා එන තුරු

ඉන්පසු ශාස්තෘන්වහන්සේ ඒ පුරුෂයා අමතා ඔබ විහාරයට ගොස් බුදුහු චුල්ලපන්ථක හිමියන්ට කථා කරන්නේ යයි කියව. ඔහු ගොස් එසේ කළ කල මමයි චුල්ලපන්ථක, මමයි චුල්ලපන්ථක යයි මුඛ දහසකින් හඬ නැගිණි. ඒ පුරුෂයා ගොස් ස්වාමීනි, ඒ දහසක් හිමිවරු මමයි චුල්ලපන්ථක යයි කියන බව දන්වා සිටියේය. එසේනම් ඔබ ගොසින් පළමුවෙන්ම චුල්ලපන්ථක යයි කියන අයගේ අත අල්ලා ගනුව, සෙස්සෝ අතුරුදහන් වනු ඇතැයි වදාළහ. ඔහු එසේ කළේය. එකෙණෙහිම දහසක් පමණ වූ භික්ෂූහු අතුරුදහන් වූහ. චුල්ලපන්ථක තෙරණුවෝ එහි පැමිණි පුද්ගලයා සමග වැඩියහ.

ශාස්තෘන්වහන්සේ වළඳා අවසානයෙහි ජීවක ඇමතූහ. ජීවක චුල්ලපන්ථකගේ පාත්‍ර‍ය ගනුව. ඒ තෙරණුවෝ ඔබට අනුමෝදනා බණ දෙසනු ඇතියි වදාළහ. ජීවක එසේ කෙළේය. තෙරණුවෝ සිංහනාද කරන තරුණ සිංහයකු මෙන් ත්‍රිපිටකය අළලා අනුමෝදනා දේශනාව කළහ. ශාස්තෘන් වහන්සේ භික්ෂුසංඝයා පිරිවරා විහාරයට වැඩමවා භික්ෂූන් වත් දැක්වූ කල්හි ගඳකිළිය අබියෙස සිට සංඝයාට සුගතෝවාදය දී, කමටහන් කියා භික්ෂුසංඝයා එම කාර්යයන්හි යොදවා නොයෙක් සුවඳින් සුවඳවත් වූ ගඳකිළියට පිවිස දකුණැලයෙන් සිංහසෙය්‍යාවට පැමිණියහ. (සැතපී වදාළහ)

ඉන්පසු සවස් වේලාවෙහි නොයෙක් දෙසින් පැමිණි භික්‍ෂූහු රතුකම්බිලිතිරයකින් වසන්නාක් මෙන් දම්සභා මණ්ඩපයට රැස්ව බුදුන්ගේ ගුණකථාව පටන්ගත්හ. ඇවැත්නි, මහාපන්ථක, චුල්පන්ථකගේ අදහස් තේරුම් නොගෙන සිවුමසකිනුත් එක් ගාථාවක් උගන්වන්ට නොහැකි විය. මොහු අනුවණයෙකියි විහාරයෙන් නෙරපා හැරියේය. සම්මාසම්බුදුරදුන් වහන්සේ තමන්වහන්සේ අනුත්තර වූ ධර්මරාජයන් බැවින් එක් බත්වේලක් අතරතුර සිවුපිළිසිඹියා හා සමග රහත්බව ලබා දුන්සේක. සිවුපිළිසිඹියාහාත් සමගම ත්‍රිපිටකය පිළිබඳ දැනීමද ලැබිණි. බුදුවරයන්ගේ බලමහත්ත්වය විස්මය ජනකයයි කීවෝය. ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ ධර්මසභාවෙහි උපන් මේ කථා පුවත දැන, මා දැන් එහි යායුතුයයි බුද්ධසෙය්‍යාවෙන් නැගිට හොඳින් රත්පැහැ ගැන්වුණු හඳනා සිවුර හැඳ විදුලිය ලතාවක් බඳු කායබත්‍ධනය (පටිය) බැඳ රතුකම්බිලියක් වැනි සුගතමහාචීවරය පෙරවා විවිධ සුවඳින් යුතු ගඳකිළියෙන් නික්මී මත්වූ උතුම් ඇතකගේ-සිංහරාජයකුගේ නික්මීමකට බඳුව අනන්ත වූ බුද්ධලීලාවෙන් ධම්සභාමණ්ඩපයට වැඩමවා අලංකාර කරනලද මණ්ඩලමාලා මැද පණවනුලැබූ බුද්ධාසනයට නැග සවණක් බුදුරැස් විහිදුවමින් මුහුදුකුස කළඹන්නාක් වැනිව, යුගඳුරු මුදුනෙහි බාලසූර්යයකු මෙන් අසුන් මැද වැඩහුන් සේක.

බුදුරදුන් එහි පැමිණි විගසම භික්ෂූන් වහන්සේලා කථාව නවත්වා නිහඬ වූහ. ශාස්තෘන්වහන්සේ මෘදු වූ මෛත්‍රීසහගත සිතින් පිරිස දෙස බලා මේ පිරිස අතිශයින් ශෝභනයහ. එකකුගේ හෝ අතවැනීමක් පය වැනීමක් උගුර පෑදීමක් කිබිසීමක් හෝ නැත. මේ සියල්ලෝ බුද්ධගෞරවයෙන් ගෞරව සහිතව, බුද්ධතේජසින් තෙදගැන්වී සිටින හෙයින් ආයුෂ කාලයක් මා කථා නොකර සිටියත් පළමුව කථාවක් ඇදගෙන කථා නොකෙරෙති. කථාව පටන් ගැනීම මා විසින්ම දතයුතුය. මම පළමුව කථා කෙරෙන්නෙමියි මධුර වූ බ්‍ර‍හ්මස්වරයෙන් භික්ෂූන් අමතා මහණෙනි, මෙතැන්හි කවර නම් කථාවකින් යුක්තව හුන්නාහුද, කවර නම් අතුරුකථාවක් අඩාළ වූයේ දැයි අසා ස්වාමීනි, මෙනම් කථාවකියි දැන්වූ කල්හි, මහණෙනි, චුල්ලපන්ථක නුනුවණ වූයේ දැන් පමණක් නොවේ, පෙරත් එසේම වීයයි වදාළහ. මා ඔහුට උපකාර කළේ අද පමණක් නොවෙයි. පෙරත් මා විසින් උපකාර කරනලදැයි වදාරා, පෙර මම මොහු ලෞකික ධනයට හිමිකරුවකු කෙළෙමි. දැන් ලෝකෝත්තර ධනයට හිමිකාරයකු කෙළෙමියි කියා එය සවිස්තරව දැනගනු කැමති වූ භික්ෂූන් විසින් ආරාධිතව අතීතය ගෙනහැර දක්වා වදාළහ.

අතීතයෙහි බරණැස්නුවර වැසි එක් මානවකයෙක් තක්ෂශිලාවට ගොස් ශිල්ප ඉගෙනීම පිණිස දිසාපාමොක් ආචාර්යවරයාගේ ධර්මාන්තේවාසිකයකුව පන්සීයක් මානවකයන් අතර සියල්ලන්ටම වඩා ආචාර්යවරයාට උපකාරකයෙක් බවට පත්විය. පාමැඩීම් ආදි සියලු වැඩ ඔහුම කරයි. දන්ධ (අනුවණ) හෙයින් කිසිවක් ඉගෙනගත නොහැකි විය. ආචාර්යවරයා, මොහු මට බොහෝ උපකාර කරන්නෙකි, ඔහුට උගන්වමියි වෑයම් කළ නමුදු කිසිවක් උගැන්විය නොහැකි විය. ඔහු බොහෝකල් එහි විසූ නමුත් එක් ගාථාපදයක්වත් ඉගෙනගත නොහැකිව කලකිරී, සිවුරුහැර යන්නෙමියි ගුරුවරයාගෙන් ඇසීය.

ආචාර්යවරයා මෙසේ සිතීය - මොහු මට බොහෝ උපකාරකය. මොහු පණ්ඩිතයකු කිරීමට බලාපොරොත්තු වූයෙමි. එහෙත් එය කළ නොහැකි විය. අවශ්‍යයෙන්ම මා මොහුට ප්‍ර‍ත්‍යුපකාර කළ මනාය. මොහුට එක් මන්ත්‍ර‍යක් හදා දෙන්නෙමියි සිතා ඔහු වනයට ගෙන ගොස්, ඝට්ටෙසි ඝට්ටෙසි කිං කාරණා ඝට්ටෙසි අහම්පි තං ජානාමි ජානාමි (හැප්පිණි හැප්පිණි කුමක් නිසා හැප්පෙයිද මම ද එය දනිමි, දනිමි) මේ මන්ත්‍ර‍ය බැඳ උගන්වන්නේ නොයෙක්වර පෙරළවා ඔහුට එය අවබෝධ වූයේදැයි අසා, එසේය එය වටහා ගතිමියයි කී කල්හි, අනුවණයාට වෑයම් කොට ප්‍ර‍ගුණ කළ ශිල්පය ඔහුවෙතින් පලා නොයන්නේයයි (ඔහුට අමතක නොවන්නේ යයි) සිතා මගවියදම්ද දී, යව, මේ මන්ත්‍ර‍ය නිසා ජීවත් වනු. මෙය අමතක නොවීමට නිරන්තරයෙන් සජ්ඣායනා කරවයි කියා පිටත්කර හැරියේය.

ඉන්පසු ඔහුගේ මව, බරණැසට පැමිණි කල්හි මගේ පුතා ශිල්ප හදාරා ආවේයයි මහත් වූ සත්කාර සම්මාන කළාය. එකල බරණැස් රජු, තමන්ගේ කටයුතුවල යම්කිසි දෝෂයක් අඩුපාඩුවක් ඇද්දැයි සිතා බලනුයේ එබඳු තමන්ට රුචිනොවන කිසි අඩුපාඩුවක් නොදක, තමන්ගේ වරද තමන්ට නොපෙනෙයි. අනුන්ගේ වැරදි නම් පෙනෙයි යනුවෙන් සිතා, නගරයට ගොස් පරීක්ෂාකර බලන්නෙමියයි කල්පනා කොට වෙස්වලාගෙන නික්මී, සවස බත් කා රැස්වෙන මිනිසුන්ගේ කථා සල්ලාප නානාප්‍ර‍කාර වෙයි. ඉදින් මම අධර්මයෙන් රාජ්‍යය කෙරෙම් නම් මේ පවුකාර අදමිටු රජු දඬුවමින් හා අයබදුවලින් අප වනසා දමා ඇත ආදිය කියති. යම් විදියකින් මා දැහැමෙන් නිවැරදිව රාජ්‍යය කෙරෙම් නම්, අපේ රජතුමාට දීර්ඝායුෂ ලැබේවා ආදි මගේ ගුණ කියනු ඇතියි සිතා ඔවුනොවුන්ගේ ගෙවල් පිළිවෙලින් ඇවිදියි.

එකල උමංසොරු ගෙවල් දෙකක් මැදින් උමගක් බිදිති. එක උමගකින් ගෙවල් දෙකකටම යනු සඳහාය. රජු ඔවුන් දැක ගේ සෙවනැල්ලට වී සිටියේය. ඔවුන් උමග බිඳ ගෙට පිවිසී බඩුමුට්ටු සොයන විට මානවකයා පිබිදී යට කී මන්ත්‍ර‍ය හැප්පෙන්නෙහි, හැප්පෙන්නෙහි, කුමක් නිසා හැප්පෙන්නහුද මම තොප හොඳින් දනිමි, දනිමි’යි කීවේය. සොරු ඒ අසා දැන් මොහු විසින් අප දක්නා ලද්දේය. දැන් අප නසා දමතියි හැඳසිටි වස්ත්‍ර‍ත් දමා මහත්වූ බියෙන් අසුවූ අසුවූ තැන්වලින් පලා ගියහ.

එසේ පලායන සොරුන් දුටු රජු අනිකා මන්ත්‍ර‍ ජපකරන ශබ්දයද අසා නුවර පරීක්ෂා කරමින් රජමැදුරට පැමිණියේය. රෑ පහන්වූ පසු උදෑසනම එක් පුරුෂයකු කැඳවූ රජු, ඔහු අමතා යව, අසවල් වීථියේ උමගක් බිඳපු තැනක් ඇත. එතැන ගෙදර තක්ෂිලාවෙන් ශිල්ප හදාරා පැමිණි මානවකයෙක් සිටී. ඔහු කැඳවාගෙන එවයි පිටත් කෙළේය. ඔහු එහි ගොස් රජු ඔබ කැඳවන්නෙහියයි කියා කැඳවාගෙන ආවේය. ඔහු ඇමතූ රජු මෙසේ කීවේය. දරුව, ඔබ තක්ෂිලාවෙන් ශිල්ප හදාරා ආ මානවකයාද? ස්වාමීනි, එසේය. අපටත් ඒ ශිල්පය දෙන්න. එසේය ස්වාමීනි, සමඅසුනක හිඳ එය ඉගෙන ගත යුතුය. රජු එසේ කොට මන්ත්‍ර‍ය ලබාගෙන, මේ ඔබේ ආචාර්යභාගයයයි දහසක් මිල දුන්නේය.

එකල රජුගේ සෙන්පතියා හිසරැවුල්බාණ කපුවාගෙන් මෙසේ ඇසීය. එම්බල කපුව, රජුගේ රැවුල් කපන්නේ කවදා ද? හෙට හෝ අනිද්දා යයි හේ පිළිතුරු දිණි. සෙන්පතියා කපුවාට දහසක් දී ඔබ විසින් එක් දෙයක් කළ යුතුයයි කීවිට ඒ කුමක්දැයි හේ ඇසුවේය. ඔබ රජුගේ රැවුල්කපන්ට මෙන් ගොස් කරය (දැළිපිහිය) හොඳින් අතේ මුවහත් තබා එක්වරම ගළනාලය (බොටුව) කපා දමව. ඉන්පසු ඔබ සේනාපති වෙයි. මම රජවන්නෙමියි කීය. ඔහු එසේයයි පිළිගත්තේය. රජු රැවුල්බාණ දවසෙහි සුවඳ දියෙන් රැවුල තෙමා හුන්කල කපුවා කරය (දැළිපිහිය) අතේ පාස්සා නළල් කෙළවර අත තියා, රැවුල මදක් කපා කරය මුවහත් මද බව දැන එක් පහරින්ම ගළනාලය කැපිය යුතු යයි පසෙකට වී නැවතත් කරය අතේ මුවහත් තියන්ට විය. එකෙණෙහි රජු තමන්ගේ මන්ත්‍ර‍ය සිහිකොට සජ්ඣායනා කරමින්, හැප්පෙන්නේ ඇයි හැප්පෙන්නේ ඇයි? මම එය දනිමි, දනිමි, යි කීය. කරනවෑමියාගේ නළලින් දාඩිය මතුවිය. රජු මා කරන්ට යන දේ දැනගත්තේයයි බිය වී කරකැත්ත බිම දමා පාමුල පපුව තබා වැටුණේය. රජවරු දක්ෂයෝය. එහෙයින් රජු ඔහුට මෙසේ කීවේය.

එම්බල දුෂ්ට නහාපිතය, මා රජ නියාව තෝ නොදන්නෙහිදැයි බිය ගැන්වීය. දේවයන් වහන්ස, මට අභය දෙනු මැනවි. එසේය කමක් නැහැ. කියන්ට ඇති දෙයක් කියවයි රජ අණ කෙළේය. දේවයන් වහන්ස, සේනාපතිතුමා මට දහසක් මුදල් දී රජුගේ රැවුල කපන්නාක්මෙන් හඟවා ගළනාලය සිඳුව. මම රජ වී තා සේනාපති කරන්නෙමියි මට කීය. රජතෙම මගේ ගුරුතුමා නිසා ජීවිතය බේරා ගතිමියි සිතා සෙන්පතියා කැඳවා, එම්බල සේනාපතිය, තෝ මා වෙතින් කුමක් නම් නොලැබුවෙහිද? දැන් තා දෙස බලන්ටවත් මම නොකැමැත්තෙමි. මගේ රටින් වහා යවයි ඔහු රටින් පිටුවහල් කොට ආචාර්යවරයා කැඳවා, ඇදුරුතුමනි, ඔබ නිසා මම ජීවිතය ලද්දෙමි කියා මහත් වූ සත්කාර කොට ඔහුට සේනාපති තනතුර දෙවීය. ඒ තැනැත්තා එදා චුල්ලපන්ථක විය. දිසාපාමොක් ආචාර්යවරයා නම් ශාස්තෘන්වහන්සේයි. එහෙයින් මේ අතීත කථාව ගෙන හැරපා, මහණෙනි, පෙරත් චුල්ලපන්ථක නුනුවණය. එදත් මම ඔහුට අවශ්‍ය කෙනකු වී ඔහු ලෞකික සම්පතෙහි පිහිටුවාලුයෙමියි වදාරා, නැවත දිනක අහෝ ශාස්තෘන්වහන්සේ චුල්ලපන්ථකට අවශ්‍ය කෙනෙක් වූහයි කථාවක් ඇති වූ කල්හි චුල්ලසෙට්ඨිජාතකයෙහි අතීත කථාවස්තුව වදාරා,

නුවණැතියා අතට පත් සුළු පඬුරකින් වුව

මහධනයක්ම සපයයි තමනුත් එයින් නැගිටියි

මහ ගිනි පුපුරකින් නගන ගිනිමැලයක් සේ

මහණෙනි, මම මොහුට අවශ්‍ය කෙනකු වූයේ අද පමණක් නොවේ. පෙරත් එසේම වූයෙමි. පෙර මම මොහු ලෞකික ධනයට හිමිකාරයකු කෙළෙමි. අද ලෝකෝත්තර ධනයටයි. එකල චුල්ලන්තේවාසික වූයේ චුල්ලපන්ථකයි. චුල්ලසෙට්ඨි වූයෙම් මම්ම යයි ජාතක කථාව කෙළවර කළසේක. නැවතත් දිනක ධර්මසභාවෙහි මෙබඳු කථාවක් පැන නැගිණි. ඇවැත්නි, චුල්ලපන්ථක සාරමාසයකින් සතරපද ගාථාවක් පාඩම්කරගන්ට නොහැකි වූ නමුත් වීර්යය අත් නොහැර රහත් බවෙහි පිහිටියේය. දැන් ලෝකෝත්තර ධර්ම සම්පතට හිමිකාරයකු විය ආදි වශයෙනි. ශාස්තෘන්වහන්සේ එහි වැඩමවා, මහණෙනි, දැන් කිනම් කථාවකින් යුක්තව හුන්නාහුදැයි විචාරා, මෙබඳු කතාවකිනුයි කී කල්හි මහණෙනි, මගේ ශාසනයෙහි පටන්ගත් වීර්යයෙන් යුක්තව භික්ෂුව ලෝකෝත්තර ධර්මාවබෝධයට හිමිකාරයෙක් වන්නේම යයි වදාරා මේ ගාථාවද වදාළහ.

නොපසුබට විරියෙන් හා

නොපමා බැවින්ද

ඉන්ද්‍රිය සංයමයෙන් හා

දමනය කිරීමෙන්ද

සිවු ඕඝයන් විසින්

අභිභවනය නොකළ හැකි වන දූපතක්

නුවණැත්තා විසින් තැනිය යුතු වේ

එහි - දීපං කයිරාථ යනු වීර්ය සංඛ්‍යාත උත්සාහයෙන් ද, සිහියෙන් වෙනස්නොවී විසීම්ආකාර ඇති අප්‍ර‍මාදයෙන්ද, චතුපාරිශුද්ධිසීලය නම් වූ සංයමයෙන්ද, ඉන්ද්‍රිය දමනයෙන් ද යන මේ කරුණු සතරෙන් යුත් දහම්වලින්ද පිරිපුන් ධර්මෝජප්‍ර‍ඥාවෙන් සංසාර සාගරයෙහි තමන්ට පිහිට වූ රහත්ඵලය දූපතක් කරගත යුතුය. කර ගැනීම හැකි වන්නේය යන අර්ථයි. කෙබඳු දූපතක්ද? යං ඔඝො නාහිකීරති යනු යම් මේ චතුර්විධ කෙලෙස් සැඩ පහරවල් විසිරුවා හැරීමට විනාශකර දැමීමට හැකි වෙයි. අර්හත්වය කෙලෙස් සැඩ පහරින් විසුරුවා හරින්ට නොහැකිය යන අර්ථයි.

ගාථා කෙළවර බොහෝ අය සෝවාන් මාර්ගාදියට පැමිණියහ. මෙසේ ඒ දේශනාව සපැමිණි පිරිසට අර්ථවත් විය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.