13-3 විදර්ශනා ධූරී පන්සියයක් භික්ෂූන් වහන්සේලා පිළිබඳ කථා පුවත

යථා බුබ්බුලකං පස්සෙ යථා පස්සෙ මරීචිකං

එවං ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සති.

දිය බුබුලක් (ඉපිද වහා නස්නේ යැ යි තුච්ඡ යැ යි අසාර යැ යි) යම්සේ බලා ද, (පවනින් සැලුනු ඉරු රැස යැ යි කියන ලද) මිරිඟුව ගන්නට නොනිසි යැ යි දක්නේ ද, එ පරිද්දෙන් ම (ස්කන්‍ධායතනධාතුසංඛ්‍යාත) ලෝකය (ඉපිද වහා නස්නේ ය, තුච්ඡ ය, අසාර ය, ආත්ම ආත්මීය භාවයෙන් ගන්නට නො නිසි යැ යි) නුවණැසින් බලන තැනැත්තහු මෘත්‍යුරාජ තෙම (මරණ තෙම) (තමාට අවිෂය වූ නිවන් පුරයට ගිය හෙයින්) නො දක්නේ ය.

"යථා බුබ්බුලකංති” - යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම සිටිය දී පන්සියයක් වූ විපස්සනාධූරි භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.

එම භික්ෂූන් වහන්සේලා බුදුන්ගෙන් කර්මස්ථාන ලබාගෙන අරණ්‍යයට පිවිස වෙහෙසමින් උත්සාහ දරමින් විශේෂත්වයකට නොපැමිණ විශේෂ කමටහන් ගන්නෙමුයි බුදුන් වෙත එළඹෙන අතරමග මිරිගුව පිළිබඳව කමටහන් වඩමින්ම පැමිණියහ. උන්වහන්සේලා විහාරයට පිවිසි කෙනෙහිම මහ වැස්සක් වැටුනි. එම භික්ෂූන් ඒ ඒ තැන ඉදිරිපස සිට වැසිධාරා වේගයෙන් හටගත් දිය බුබුළු දැක මේ අපේ සිරුරද ඇති වී නැති වන්නේ යයි ද එනිසාම දියබුබුළුවලට සමාන යයිද අරමුණු කරගත්හ. බුදුරජාණන් වහන්සේ ගඳ කිළියේ සිටියදීම එම භික්ෂූන් බලා ඔවුන් හා කථාකරන්නේ ආලෝකයක් විහිදුවා මේ ගාථාව දේශනා කළහ.

ඇතිව නැති වී යන - දිය බුබුළයේ අත්බැව්

මිරිගුවක් ලෙස දිස්වේ - නොතිරයැ දකින නුවණින්

යුතු අය පසුපස - මාරයා නැත එන්නේ.

එහි මරිචිකං යනු මායාවකි - මුලාවකි. දියබුබුලක් ලෙසට සිරුර ගැන සිතා - මිරිගුවක් ලෙසට සිතා මේ ආත්මභාව සංඛ්‍යාත ලොව ගැන බලන්නේ මාරයා නොබලන තත්ත්වයට පත්වේ. තත්ථ මරීචික්නති එහි මිරිගුවයි. එය දුරසිට බලන විට පෙනේ. ළඟට යන විට හිස් බවද නොමැති බවද මායාවක් බවද පැහැදිලි වේ. එලෙසම ඇති වී නැතිවී යන ස්වභාවය බුබුලක බුබුලක - දියබුබුල වැන්න. හිස්බව තුච්ඡ බව බලන්න. මේ ලෙසට පඤ්චස්කන්ධ ආදී ලෝකයද විමසා සසඳා බලනවිට අවෙක්ඛන්තං මච්චුරාජස්ස න පස්සතී මාරයාට නොපෙනෙන තත්ත්වයට පත්විය හැකිය. මෙම දෙසුම අවසානයේදී එම භික්ෂුහු සිටි ස්ථානයේම අරහත්වයට පත්වුහ.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.