උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය ධම්මං සුචරිතං චරෙ
ධම්මචාරී සුඛං සෙති අස්මිං ලොකෙ පරම්හි ච.
ගෙපිළිවෙළින් පිඬු සිඟා ලැබිය යුතු කෙණෙසි අහරෙහි නො පමා වන්නේ ය. භික්‍ෂූචර්‍ය්‍යධර්‍මය සකසා පුරුදු කරන්නේ ය. භික්‍ෂාචර්‍ය්‍යධර්‍මය අනුව හැසිරෙන මහණ තෙම මෙ ලොවෙහි ද පරලොවෙහි ද සුවසේ වෙසෙයි.
ධම්මං චරෙ සුචරිතං න නං දුච්චරිතං චරෙ
ධම්මචාරී සුඛං සෙති අස්මිං ලොකෙ පරම්හි ච.
(භික්‍ෂාචර්‍ය) ධර්‍මය (අනෙස්නෙන් තොර වැ පිඬුසිඟීමෙන්) මනා කොට පුරන්නේ ය. එය (වේසියගෝචරාදි අගෝචරයෙහි හැසිරීම් වශයෙන්) නපුරු කොට නො පුරන්නේ ය. භික්‍ෂාචර්‍ය්‍යධර්‍මය මනා ව පුරනා මහණ තෙම මෙ ලොවෙහි ද පරලොවෙහි ද සිවු ඉරියවුහි ම සුව සේ වෙසෙයි.
"උත්තිට්ඨො" යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ නිග්‍රෝධාරාමයේ වැඩ සිටිය දී තමන් වහන්සේගේ පියාණන්ට දේශනා කළහ.
එක් සමයක තථාගතයන් වහන්සේ කපිලවත්ථු පුරයට වැඩම කළ පළමු ගමනේ දී ඥාතීන් විසින් පිළිගැනීම් කරන ලද්දේ නිග්‍රෝධාරාමයට පැමිණ ඥාතීන්ගේ මානය බිදීම සඳහා අහසේ රුවන් සක්මන් මවා එහි සක්මනේ යෙදෙමින්ම ධර්මය දේශනා කළහ. පැහැදුන සිත් ඇති සුද්ධෝදන මහරජු ඇතුළු ඥාතීහු වැන්දාහුය. එම ඥාති සමාගමයේ දී පොකුරු වැස්සක් වැස්සේය. මෙහිදි වෙස්සන්තර ජාතකය දේශනා කළහ.
ධර්ම දේශනය අසා පිටත්වූ ඥාතීන් කිසිවෙක් පසුදින දානයට ආරාධනා නොකළහ. මහරජුද මගේ පුතු මගේ ගෙට නොපැමිණ කොහියන්නදැයි සිතා ආරාධනා නොකරම ගියේය.
එසේ ගොස් භික්ෂූන් විසි දහසකට කැඳබත් ආදිය පිළියෙළ කර අසුන් ද පැනවීය. දෙවන දිනයේ බුදුන් පිඬු සිඟා වඩින්නේ - පෙර බුදුවරු තම නගරයට වැඩමවා ඥාතීන්ගේ නිවෙස්වලට වැඩියේද නැතහොත් පිණ්ඩපාතයේ වැඩම කළේදැයි විමසා බලා ගෙපිළිවෙලින් ඒ බුදුවරු පිඬුසිඟා වැඩිය බව දිවැසින් බලා පළමු ගෙයි සිට පිඬු පිණිස වඩින්නේ රාහුල මව (යසෝදරා දේවිය) මතුමහලේ සිටිමින් මෙය දැක එම පුවත රජුට දන්වා සිටියාය. රජතුමා සළුව සදමින්ම වේගයෙන් පිටත්වී බුදුන් වැඳ දරුව! "කිම මා විනාශ කරන්නේ ඔබ පිඬු සිඟා යනවිට මට අතිශයින් ලජ්ජා ඇතිවිය. ඔබ පෙර මේ නගරයේ රන් සිවිකා වලින් ගමන්කර දැන් ලෙස පිඬුසිඟා යාම යුතුවේදැයි ද මට ලජ්ජා ඇතිකරන්නේ ඇයි දැයි" විමසීය.
නැත, මහරජ, මම ඔබට ලජ්ජා ඇති නොකරමි. මගේම කුලවංශය අනුව මම පවතිමි. ඇයි දරුව මගේ වංශය පිඩු සිඟායයිද? නැත මහරජ ඔබේ වංශය මගේ වංශය නොවේ. මගේ වංශයේ දහස් ගණන් බුදුවරු පිඬු පිණිස හැසිරී පිණ්ඩපාතයෙන්ම යැපුනාහුයයි පවසා ධර්මය දේශනා කරමින් මේ ගාථාව පැවසුහ.
නැගිටිනු මැනැවි කය සිත දෙක වැර ඇතිව
හැසිරෙනු කුසලයෙහි නොපමාවම බැතිව
සුචරිත දහම් සළකා එයටම ගැතිව
සුවසේ වෙසෙන මිනිසත් බවෙ පල සතුව
දහමෙහිම හැසිරෙනු
දුසිරිත තුරන් කර ලොවැ
දහම්හිම හැසිරෙන්නා
දෙලොවම වෙසේ සුවසේ.
නැගි සිටින්න. ප්‍රමාද නොවන්න සුචරිත ධර්මයේ හැසිරෙන්න. ධර්මචාරි පුද්ගලයා මෙලොව ද පරලොව ද සුවසේ පසුවනු ඇත.
සුචරිත ධර්මයේ යෙදෙන්න. දුශ්චරිතයෙන් වළකින්න. දැහැමියා මෙලොව ද පරලොව ද සුවසේ පසුවේ.
තත්ථ උත්තිට්ඨනි - එහි උතිතිට්ඨ යනු අයගේ ගෙදොර සිට ගෙපිළිවෙළින් යනුවෙන් ගත යුතුය. නප්පමජ්‍ජෙය්‍ය යනු පිඬුසිඟා යාම අර ප්‍රනීත ආහාර සොයා යාමයි. ඒ සඳහා ප්‍රමාදයේ යෙදීමයි.
ගෙපිළිවෙළින් පිඬුසිගා යාම ප්‍රමාද නොවීමකි. ධම්මං යනු ගෙපිළිවෙළින් ගොස් එම භික්ෂු චරියා ධර්මය සුචරිතයේ යෙදීමකි. මෙහිලා භික්‍ෂු චර්යා ධර්මය කරන්නේ එම ධර්මචාරි තැනැත්තා සිව් ඉරියාපථයන් සැපසේ විහරණය කරයි යන අර්ථයි න නං දුච්චරිතං වරෙ - යනු වෙසඟනන් වෙසෙන ගෙවල අගෝවර ස්ථානයන්හි හැසිර භික්‍ෂු චරිය ධර්මය නරක ලෙස හැසිරීමයි එලෙස නොහැසිරී ධර්මයේ හැසිරෙන අයුරු පවසන ලද්දේය.
රජතුමාට පවසන්නේ අධර්මයෙන් නොව ධාර්මිකව රජකිරීම සැපගෙන දීමට හේතුවන බවය. මේ දෙසුම අවසානයේදී රජු සෝවාන් ඵලයේ පිහිටි අතර පැමිණි පිරිසට සාර්ථක දෙසුමක් වූ බවයි.