අත්තනා’ව කතං පාපං අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤො විසොධයෙ.
තමා විසින් ම පව් කරණ ලද නම් (සිවුඅපාහි ඉපිද දුක් විඳින්නේ) තෙමේ ම කෙලෙසෙන්නේ ය (තැවෙන්නේ ය). තමා විසින් ම පව් නො කරණ ලද නම්, එයින් තෙමේ ම විශුද්ධ වන්නේ ය. ශුද්ධිය ද අශුද්ධිය ද තමා පිළිබඳ ය. අනෙකෙක් අනෙකකු ශුද්ධ නො කරන්නේ ය.
"අත්තනාව කතන්ති" යන ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩසිටියදී චූලකාල උපාසක නිමිති කරගෙන දේශනා කරන ලද්දකි.
එක් දිනක් මහාකාල කථාවේ කියන ලද පරිදි උමං සොරු ධන හිමියන් විසින් ලුහුබඳින ලද්දේ රාත්‍රියෙහි ධර්මකථා අසා අළුයම නික්ම පැවතට යන්නා වූ උපාසකතුමා ඉදිරියේ භාණ්ඩ විසිකර පළාගියහ. මිනිස්සු එය දැක මේ තැනැත්තේ රාත්‍රි කාලයේ සොරකම් කර ධර්මයේ හැසිරෙන ලෙසට අඟවයි. මොහු ගන්නැයි කියා තලා දැමුහ. දියගෙන යන දාසීන් මේ දැක ඔහුගේ ජීවිතය බේරා ගත්හ. බුදුන්ට මේ කරුණු දැක්වුවිට ඔහුගේ මේ කථා පුවත අසා මහණෙනි චූලකාල උපාසක කළගෙන යන දාසියන් නිසාත් - තමන් නොකළ අකුශලය නිසාත් ජීවිතය ලබන ලදී. මේ අයුරින් සත්ත්වයෝ තමන්විසින් අකුශලකම් කොට නිරය ආදීහි තමන්ම කිළිටිවට පත් කුසල් කොට සුගතීන්හි ඉපිද නිවන් ලැබීමද වදාරා මේ ගාථාව වදාළහ.
පව්කම් නිසා ඉඳහිටවත් තමන් කළ
අවසානයට පත්වේමැයි කලින් කළ
සිල්වත් දනා දස අකුසල් සිතින් හළ
සම්මානයට පත්වේ උපනුපන් කල
මේ ලෙස වැඩ අවැඩ
දෙකරුණු තමන් සතුමය
කෙනෙකු හට තවෙකෙක්
පිරිසිදු කරනු බැරිවෙයි.
එහි අර්ථය අන්තයා - යම් කිසිවෙකු විසින් අකුසල කර්මය කරන්නේ වේද? හෙතෙම සතර අපායන්හි දුක් අනුභව කරන්නේ වේ. අත්තභාව සඞකිලිස්සති. - යම් කෙනෙකු වනාහි අත්තනා අකතං පාපං - තමන් විසින් අකුසල ධර්මයන් නො කරන්නේ වේද? හෙතෙම සුගතියට මෙන්ම නිවණටද පැමිනෙන්නේ අත්තනාව විසුජ්ඣති, කුසල ධර්ම සංඛ්‍යාත පිරිසිදු බව, ද අකුසල කර්ම සංඛ්‍යාත අපිරිසිදු බව ද තමන් පිළිබඳවම පවතී. අනෙක් පුද්ගලයෙක් සතු නොවේ. න විසොධය - පිරිසිදු නොකිරීමය. අනිකෙකු විසින් පිරිසිදු බවට නොපැමිණ වීමයි. නො කෙලෙසීමය යයි කියන ලදී.
දේශනාවසානයෙහි චුලකාල තෙමේ සෝවාන් ඵලයෙහි පිහිටියේය. සහභාගී වු පිරිසට ධර්ම දේශනාව සාර්ථක විය.