අත්තදත්‍ථං පරත්‍ථෙන බහුනාපි න හාපයෙ
අත්තදත්‍ථමභිඤ්ඤාය සදත්‍ථපසුතො සියා.
බොහෝ වූ ද පරාර්‍ත්‍ථය නිසා ආත්මාර්‍ත්‍ථය නො පිරිහෙළන්නේ ය. ආත්මාර්‍ත්‍ථය වෙසෙසා දැන, අර්‍හත්ත්‍වඵලාධිගම නම් වූ ස්වාර්‍ත්‍ථයෙහි නියැලියෙක් වන්නේ ය.
"අත්ථ දත්ථංති” මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවත් නුවර දෙව්රම් වෙහෙර වැඩ සිටියදී අත්තදත්ථ තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
බුදුරජාණන් වහන්සේ විසින් පිරිණිවන් පෑමට සමීප කාලයේ දී මහණෙනි මම මෙයින් මාස හතරකින් පිරිනිවන්නෙමියි පැවසූවිට උපන් සංවේග ඇතිව භික්ෂූන් හත් සියයක් බුදුන් සමීපයේ විසීම අත්හැර ඇවැත්නි අපි කුමක් කරන්නමෝදැයි කතිකා කරමින් හැසිරෙති. අත්තදත්ථ තෙරුන් වනාහි මෙසේ සිතූහ. බුදුන් වහන්සේ මාස හතරකට පසුව පිරිණිවන් පාන්නාහ. මමද විරාගී වු බුදුන්වහන්සේ ජීවත්ව සිටියදීම අර්හත්වය සඳහා උත්සාහ කරන්නෙමි. උන්වහන්සේ භික්ෂූන් වහන්සේන්වෙත නොයයි. එහිදී භික්ෂූන් වහන්සේලා ඇවැත්නි ඇයි ඔබවහන්සේ අප වෙත නොඒමටත් කිසිවක් කථා නොකිරීමටත් හේතුව කුමක්ද? මෙසේ කියා බුදුන්වෙත ගෙන ගොස් මෙසේ පැවසුහ ස්වාමීනි මේ අත්තදස්ථ තෙරුන් මේ ලෙස හැසිරෙයි. යනුවෙන් පැවසුවිට උන්වහන්සේ - බුදුන්ට කරුණු දක්වමින් ස්වාමීනි ඔබ වහන්සේ සිව්මසකින් පිරිණිවන් පානහෙයින් මම ඔබවහන්සේ සිටියදීම අරහත් වීමට උත්සාහ කරන්නෙමි. බුදුහු උන්වහන්සේට සාධුකාර දී මහණෙනි මට ස්නේහ ඇත්තෝ අත්තදත්ථ තෙරුන් මෙන් වීමම වටියි. සුවඳ දුම් මල් ආදියෙන් මා සිඳිම මට පුජා කිරිමක් නොවේ. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදීම මට පුජා කිරීමක් වන්නේ ය. එනිසා අනෙක් භික්ෂූන් විසින්ද අත්තදත්ථ තෙරුන් ලෙසට විය යුතුයයි පවසා මෙම ගාථාව දේශනා කළහ.
තමනට බොහො ඇතත් - කටයුතු අනුන් සඳහා
අතපසු කෙරුම තම වැඩ - නොකළ යුතුමය උතුමෝ
අත්වැඩ ද පර වැඩ - වෙසෙසින් හැදින ගතයුතු
එහි අර්ථය - ගිහියෙක් වශයෙන් අනුන්ට දහසක් වටිනා ප්‍රයෝජන නිසා තමන්ට වන්නා වූ දෙවියට හමාරක් පමණ වූ ප්‍රයෝජනයද අත් නොහළ යුතුය. තමන්ට වැඩදායක දේ අත් නො හැරීමය. කෑ යුතු පිය යුතු දේ නිපදවීම පරාර්ථය නො වන්නේය. එවැනි දේ වශයෙන් නොව මෙය වදාරා ඇත්තේ කර්මස්ථාන වශයෙනි. එබැවින් භික්ෂුවක් විසින් චෛත්‍ය ප්‍රතිසංස්කරණාදිය උපාධ්‍යාය වත් ආදිය නො පිරිහෙළා, ආභිසමාචාරික වත් ආදිය පුරමින් සතර ආර්ය ඵලයන් ලබා ගැනීම සඳහා අද අදම ප්‍රතිවේධ ධර්ම පිරිය යුතුය. සතර ආර්ය ඵලයන් ලබා ගැනිම සඳහා අද අදම ප්‍රතිවේධ ධර්ම පුරමින් හැසිරෙන්නා විසින් උපාධ්‍යය වත් ආදිය බැහැර කොට හෝ තම කෘත්‍යයම කළ යුතුයි. අත්තදත්ථ මහි ඤ්ඤාය තම ශුභ සිද්ධියම සලකමින්, "සදත්ථපසුතො සියා” ස්වකීය අර්ථය සඳහා කය සිත දෙකින්ම වෙර වෑයම් දැරිය යුතු වන්නේය.
දේශනාව අවසානයේ එම තෙරුන් අත් ඵලයෙහි පිහිටියේය. සහභාගී වූ භික්ෂූන්ටද ධර්ම දේශනාව සාර්ථක වුයේය.
දොළොස්වැනි අත්තවර්ගය නිමියේය.