සුකරානි අසාධූනි අත්තනො අහිතානි ච
යං වෙ හිතඤ්ච සාධුං ච තං වෙ පරමදුක්කරං.
යම් කර්‍ම කෙනෙක් සාවද්‍ය හෙයින් අසාධු ද, (අපාය සාධක බැවින්) තමහට අහිත ද, එසේ වූ (අකුශල) කර්‍මයෝ (වළ තැනට ගෙණ යන දිය සෙයින්) සුව සේ කටහැක්කාහු ය. යම් කර්‍මයෙක් කරණ ලද්දේ (සුගතිසාධක බැවින්) තමහට හිත ද, (නිරවද්‍ය බැවින්) සාධු ද, ඒ (කුශල) කර්‍මය (පැදුම් දෙසට නතු වූ ගඟක් පෙරළා පැළ දෙසට නතු කරණු සෙසින්) අතිදුෂ්කර යි (කරන්නට ඉතා ම නො පිළිවනි).
"සුකරානි” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩසිටිය දී සංඝභේද කිරිම අරභයා දේශනා කළහ.
එක් දිනක් දෙව්දත් තෙර සංඝභේදයට උත්සාහ කරමින් පිඬු සිඟා වඩින ආනන්ද තෙරුන් වහන්සේ දැක තම අදහස දන්වා සිටියේය. මෙය අසා දැනගත් ආනන්ද තෙරුන් බුදුන් වෙත ගොස් මෙසේ පැවසුහ. ස්වාමීනි මම හවස් වේලාවේ දී සිවුරු හැඳ පෙරගෙන පාත්‍රය ගෙන රජගහ නුවර පිඬු සිඟා වැඩියෙමි. ස්වාමීනි එහිදී රජගහනුවර පිඩුසිඟායන දෙව්දත් තෙරුන් දැක දෙව්දත් තෙරුන් මා වෙත එළඹීයේය. එළඹ මට මෙසේ කිවේය. ඇවැත්නි අද පටන් මම භාග්‍යවතුන්ගෙන් බැහැරව භික්ෂු සංඝයා සමග උපෝසථය කරමි. සංඝ කර්ම ද කරන්නෙමි.
ස්වාමීනි අද දෙව්දත් තෙර සංඝයා බිඳවන්නේය උපෝසථය කරයි සංඝ කර්මය ද කරන්නේය. මෙසේ දන්වා සිටිවිට තථාගතයන් වහන්සේ යහපත්ය.
සත්පුරුසයන්හට - හොඳ දේ කරනු පහසුයි
ඔහුට නපුරක් කරන්නට කිසිදා සිත් නොදේමැයි
පව්කාරයා නිති - කරනුයෙ පව් පිරීමයි
අරිය මහා සඟනට - පකම් නො කළ හැකිමැයි
මෙම උදානය ප්‍රකාශකොට ආනන්දය තමාට අහිතවූ ක්‍රියාවන් කිරීම පහසුය. හිත පිණිස පවතින දේ කිරීම දුෂ්කරයයි පවසා මෙම ගාථාව පැවසුහ.
රටටම අහිත දේ - කරනට බොහොම පහසුයි
අමාරුම දේ නම් යහපත් දේ කිරීමයි
අයහපත පහසුය හිත දෙනුයේද එයටය
යහපත අපහසුමය හිත නොයෙදෙන්නේ එහිමය
එහි අරුත යම් කර්මයක් අසාධුනි - අයහපත්ද ඒ වැරදි දෙය අපායේ වැටීමට හේතුවේ. අත්තනො අහිතානීච - තමන්ට අහිතදේ කිරීම පහසුය. යම් දෙයක් සුගතිය සඳහා හේතුවේද තමන්ට හිතකර වේද - නිවන් සුව සඳහා හේතුවේද එම කර්මය බටහිරට ගලායන ගංගාවක පසුපසට පටිසෝතයට පිහිනා යාමක් සේ ඉතා දුෂ්කරය දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයට පත්වූහ.