12-5 මහාකාල උපාසකගේ කථා පුවත.

අත්තනා’ව කතං පාපං අත්තජං අත්තසම්භවං

අභිමත්‍ථති දුම්මෙධං වජිරං’වස්මමයං මණිං.

තමා කෙරෙන් ම ජනිත වූ, තමා කෙරෙන් ම උපන්නා වූ, තමා විසින් ම කරණ ලද්දා වූ අකුශල කර්‍මය තෙම (අකුශලකාරී වූ ඒ) අනුවණයා මඩනේ ය. (සිවු අවාහි ගලා දුක් දෙන්නේ ය.) (පාෂාණමය වූ පාෂාණයෙන් ම උපන්) විදුර තමහට උත්පත්තිස්ථාන වූ පාෂාණය (කා, සිදුරු විසිදුරු කොට, කඩ කොට) අපරිභෝගාර්‍හ කරන්නාක් මෙනි.

"අත්තනාව කතං පාපන්ති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී, සෝවාන් වී සිටි මහාකාල නම් වූ උපාසකවරයෙක් නිමිති කරගෙන දේශනා කළහ.

මේ උපාසක තෙම මාසයකට දින අටක් පෙහෙවස් සමාදන්ව විහාරයේ සිට මුළු රාත්‍රියම ධර්ම කථා අසයි. එක්තරා දිනක රාත්‍රියේ සොරුන් එක් නිවසක බිත්ති සන්ධියක් බිඳ භාණ්ඩ පැහැරගෙන සිටිය දී, ලෝහ භාජන ශබ්දවීමේ හඩ අසා අවදිවූ ගෙහිමියන් විසින් ලුහුබදින්නේ ගත් ගත් භාණ්ඩ ඒ ඒ තැන දමමින් දුවන්නට වුහ. එක් සොරෙක් පන්සලට යන පාරෙන් පළා යන්නේ රාත්‍රියේ බණ අසා මහාකාල උපාසක අළුයම පොකුණු තෙර මුණ සෝදමින් සිටිතැනට භාණ්ඩ විසිකර දමා පළා යන්නේය. සොරුන් ලුහුබැඳ ආ පුරුෂයෝ විසිකරන ලද භාණ්ඩ දැක හා අපේ ගෙය බිඳ භාණ්ඩගෙන දැන් ධර්මය රකින්නෙක් ලෙසට ඉන්නේදැයි කියා හොඳට තලා පෙළා මරා විසිර ගියහ.

අළුයම - පැන්කළ ගෙන ඒමට පොකුණට ගිය කුඩා සාණේරවරු එය දැක විහාරයේ ධර්මය අසා නිදාගත් උපාසකට අයුතු මරණයක් ලැබුවේයි බුදුන් වෙත දන්වා සිටියහ. මහණෙනි එසේය මේ ආත්ම භාවයේදී නොසුදුසු මරණයක් ලබන ලදී පෙර කරන ලද කර්මය අනුව යුතුවු මරණයක් ලබන ලදී පවසා එම භික්ෂුගේ ඉල්ලීම අනුව අතීත පුවත දේශනා කළහ.

පෙර බරණැස් නුවර අගනුවරින් බැහැර එක් ප්‍රත්‍යන්ත වූ පිටසර ගමක වනයට පිවිසෙන තැන සොරු කොල්ල කති මේ බව දත් රජතුමා වන මුව දොර මුරකාවල් යෙදීය. හේ මිලගෙන වන අඩවියෙන් එතරට මිනිසුන් ගෙනයයි. එතර සිට මෙතරටද ගෙනඑයි. මේ අතර එක්තරා පුරුෂයෙක් තමන්ගේ රූමත් බිරිඳ කුඩා යානයක නංවාගෙන මෙතැනට පැමිණියේය. රාජ පුරුෂයා එම රූමත් ස්ත්‍රීය දැක සිත් ඇළුනේ. එතර කරවන්නැයි ඉල්ලා සිටිවිට දැන් කාලය නොවේ අළුයම එතරට පමුණුවමියි පැවසුවේය. ස්වාමීනි දැන් කාලය සුදුසුයි දැන්මම අපව වනයෙන් එතෙර කරවන්නැයි ඉල්ලා සිටියේය. නවතින්න පින්වතුනි දැන් අපේ ගෙදරටම ඔබලා ගෙනයමි ඉඳුම් හිටුම්ද ආහාරයද ඇතැයි පැවසුවේය. ඔහු නතරවීමට කැමති නොවීය. රාජ පුරුෂයා පුරුෂයන්ට සංඥා දී යානය නවතා අකමැතිව සිටියදීම දොරටු කොටුවේ නවාතැන් දී ආහාර ද දෙවීය. ඔහුගේ ගෙදර මැණිකක් ඇත. එම මැණික කරත්තය අසල දමවා උදැසන සොරුන් පැමිණි ආකාරය දැක්වීය. ඔහුගේ පුරුෂයෝ ස්වාමීනි සොරු ඔබේ මැණික සොරකම් කරගෙන ඇතැයි දැනුම් දුන්හ.

ඔහු ගම්දොර ආරක්ෂාව තබවා ඇතුළු ගම සොයන්නැයි විධාන කළේය. අනෙක් තැනැත්තාද උදේම රථය යොදවා යැවීය. අතර මගදී රථය පරීක්ෂා කරන්නේ තමන් තැබු මැණික දැක තර්ජනය කර තෝ මැණික ගෙන පළා යන්නේ යයි තලා පෙළා දමා ස්වාමීනි සොරා අල්ලා ගත්තේ යයි ගාමභෝජකට දැක්වුහ. ඔහු මම නවාතැන් දී කෑමදී උපකාර කළ තැනැත්තා පාපියා යයි තලා පෙළා මරා විසිකළේය. මේ ඔහුගේ පෙර කළ කර්මයයි ඔහු අවිචියේ බොහෝකලක් පැසී විපාක කෙළවර ආත්මභාව සියයක් එසේම පෙළීමෙන් මරණයට පත්විය. මෙසේ ශාස්තෲන් වහන්සේ මහාකාලගේ පුර්ව කර්මය වදාරා මේ සත්වයෝ තමන් විසින් කරන ලද පාප කර්මයන් නිසා සතර අපායන්හි උත්පත්තිය ලබන්නේ යයි වදාරා මෙම ගාථාව වදාළහ.

තමන් කළ පාපය තමන් පසු පස ඒමය

බලවත් විදුරු මිණකින් - මැණිකක් නසන්නා සේ

මේ දෙක්හි නිජබිම - එකම මහ පොළව මැයි

අත්තනා කතං - තමන් විසින්ම උපදවන ලද අත්ත සමඟවං පාපං දුම්මෙධං - අනුවණ පුද්ගලයා සතර අපායන්හී (වැටී) අභිමන්ථති දරුණු සේ වැඩේ. වැනසේ

දේශනාවසානයේ පැමිණ සිටි භික්ෂූහු සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියාහුය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.