12-4 කුමාර කාශ්‍යප මාතාවගේ කථා පුවත.

අත්තා හි අත්තනො නාථො කො හි නාථො පරො සියා

අත්තනා’ව සුදන්තෙන නාථං ලභති දුල්ලභං.

තමාහට තමා ම පිහිට වන්නේ ය. තමා හැර අන් කවරෙක් තමහට පිහිට වන්නේ ද? ඉන්‍ද්‍රියදමනයෙන් මනා කොට දැමුනාවූ තමා කරණ කොට ගෙණ ම පරමදුර්‍ලභ වූ (රහත්පල යැ යි කියන ලද) ප්‍රතිෂ්ඨාව ලබන්නේ ය.

"අත්තාහි අත්තනෝ නාථො' යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවත දෙව්රම් වෙහෙර වැඩසිටිය දී කුමාර කාශ්‍යප තෙරුන්ගේ මෑණියන් අරමුණු කරගෙන දේශනා කළහ.

ඇය රජගහනුවර සිටුදුවක්ව ඉපිද යමක් තේරුම් ගැනීමට හැකි තත්ත්වයට පැමිණි තැන් සිටම පැවිද්ද ඉල්ලා සිටියාය. මේ අතර ඇගේ දෙමාපියන් ඉදිරියේ නැවත නැවතද ඉල්ලා සිටියත් පැවිදිවීමට අවස්ථාව නොලැබුණි. වැඩිවියට පත්ව පතිකුලයට ගොස් සැමියාගේ නිවසේ පතිනිය වී වාසය කළාය. මේ අතර වැඩිකල් නොගොස්ම ඇගේ කුස තුළ දරුගැබක් පිහිටියේය. ඇය ගැබ පිහිටි බව නොදැන සැමියාගෙන් පැවිද්දට අවසර ඉල්ලීය. පැවිදිවීමට අවස්ථාව ලබාගත්තාය. එම සැමියා මහත් සත්කාරයෙන් භික්ෂුණී සංඝයා වෙත පමුණුවා නොදැනුවත්වම දෙව්දත් තෙරුන්ගේ පක්ෂයේ භික්ෂුණීන් වෙත පැවිදී කරවීය.

පසු අවස්ථාවක දී භික්ෂුණීහු ඇගේ ගර්භණීභාවය දැනගෙන, මේ කුමක් නිසා සිදුවීදැයි විමසා සිටියහ. ඇය ආර්යාවනි මම නොදනිමි මගේ සීලයට හානියක් නොවීයයි පැවසුවාය. අනෙක් භික්ෂුණීන් ඇය දෙව්දත් තෙරුන් වෙත ගෙනගොස් මේ භික්ෂුණිය ශ්‍රද්ධාවෙන් පැවිදි වූ තැනැත්තියකි. මැය ගැබිනියක බව දනිමු. එහෙත් කාලය නොදනිමු. දැන් කුමක් කරන්නදැයි විමසුහ. දෙව්දත් තෙරුන් මගේ අවවාදයේ පිහිටන භික්ෂුණීන්ට අපකීර්තියක් සිදුවේ යයි පවසා ඒ ගැන පමණක් සිතා ඇය උපැවිදි කරන්නැයි පැවසීය. එම තීරණය අසා මේ ගැබිණි භික්ෂුණීය ආර්යවනි මාව නොනසවයි ද මම දේවදත්ත වෙනුවෙන් පැවිදි නොවු නිසා බුදුන් වෙත දෙව්රමට ගෙන යන්නැයි ඉල්ලා සිටියාය. එම භික්‍ෂුණීහු ඇය සමග ගොස් දෙව්රම් වෙහෙරේ දී බුදුරදුන්ට දන්වා සිටියහ. බුදුරජාණන් වහන්සේ ඇය ගිහිව සිටියදී මේ ගර්භය පිහිටිබව දැන අන් අයගේ චෝදනාවෙන් ගලවා ගැනීම සඳහා - පසේ නදී කෝසල, අනාථ පිණ්ඩික සිටුතුමා සුළු අනේපිඬු සිටුතුමා, විසාඛා උපාසිකාව සහ අනෙක් බලවත් කුලවල අය ද කැඳවා උපාලි තෙරුන් ඇණවීය. යව මේ සිව් පිරිස මැඳ ඇය පිළිබඳව විනිශ්චයක් කොට ඇගේ පිරිසිදු බව සනාථ කරන්නැයි නියම කළහ. උපාලි තෙරුන්වහන්සේ කොසොල් රජු ඉදිරියේ විසාඛාව කැඳවා ඇයට ඇය පරීක්ෂා කිරීමට නියම කළහ. එතුමිය වටතිර ඇද ඇයව පරික්ෂා කරමින් අත්පා නැබ. උදරය ආදිය පරික්ෂාකර බලා දින මාස පිළිබඳව තීරණය කර ඇය ගිහිව සිටියදී ගැබ පිහිටිය එකක් බව තිරණය කර තෙරුන්ට ඇගේ නිරවද්‍ය බව පැවසුවාය. මෙහිදී අධිකරණ විනිශ්චය කළ තෙරුන් වහන්සේ විසින් පිරිස මැද ප්‍රකාශ කළහ. ඒ අනුව ඇගේ පවිත්‍රත්වය ප්‍රසිද්ධියට භාජනවුණි. අනතුරුව ඇය දරු ගැබ මුහුකුරා ගිය පසු පදුමුත්තර බුදුන් පාමුල කරන ලද ප්‍රාර්ථනය අනුව මහත් ආනුභාව ඇති පුතණු කෙනෙකුන් බිහි කළාය. ඉක්බිති එක් දිනක් කොසොල් රජු භික්ෂුණි ආරාමය අසලින් යද්දී දරුවකුගේ ශබ්දය අසා මේ ළදරු හඬ කුමක්දැයි විමසා දේවයන් වහන්ස ඒ භික්ෂුණියට දරුවෙක් ලැබුනේ යයි පැවසුවිට එම කුමරු රජු ගෙන ගොස් කිරිමවුවරුන්ට භාරකළේය. නම් තබන දින ඔහුට කස්සප යයි නම් තබා කුමාරයෙක් ලෙසට වැඩුන නිසා කුමාරකස්සප නමින් හැඳින්වුණි. ඔහු සෙල්ලම් කරනවිට අනෙක් ළමයින්ට පහරදුන් විට මව පියා නැති එකා අපට තැලුවේයි ඔවුන් කී කල්හී, ඔහු රජු වෙත එළඹ දේවයනි අනාථයයි කියා පවසති. එබැවින් මගේ මව කවුදැයි කියන්නැයි ඉල්ලා සිටියේය. කොසොල් රජු මේ ඔබේ මවුවරුන් යයි කිරිමවුවරු පෙන්වීය නැත දේවයනි මෙයින් එක් අයෙක් මගේ මව විය යුතුමය. එනිසා ඒ මගේ එකම මව කියන්නැයි පැවසුවිට මොහු රැවටීම අපහසුයයි සිතා දරුව ඔබේ මව භික්ෂුණියකි. මම මෙහෙණවරින් ඔබ රැගෙන ආවෙමියි පැවසුවේය. ඔහු එතෙනින්ම සංවේගයට පත්ව දේවයනි පියාණෙනි ! මා පැවිදි කරවන්නැයි ඉල්ලා සිටිය නිසා රජු දරුව ඉතා යහපතියි මහත් උත්සවයකින් ඒ කුමරු බුදුන් වෙත පැවිදි කරවීය. උපසම්පදාවද ලත් පසුව කුමාර කාශ්‍යප තෙරුන් යයි ප්‍රසිද්ධ විය. හේ බුදුන් වෙතින් කර්මස්ථාන ඉගෙන ආරඤ්ඤාවාසීව උත්සාහ කර අධිගම්‍යයක් ලබා ගැනීමට නොහැකිව නැවත කමටහන් ලබාගන්නෙමියි බුදුන්වෙත ගොස් අන්ධ වනයේ වාසය කළහ. අනතුරුව කාශ්‍යප බුද්ධ කාලයේදී එකට මහණ දම් පිරූ අනාගාමී ඵලයට පත්වු බඹලොව උපත ලද භික්ෂුවක් බඹලොවින් පැමිණ ප්‍රශ්න පහළොවක් විමසා මේ ප්‍රශ්න බුදුන්හැර වෙනත් කෙනෙකුට විසඳිය නොහැකියයි පවසා බුදුන් වෙත ගොස් ඉගෙන ගන්නැයි උනන්දු කළේය. ඔහු එලෙසම බුදුන් වෙත ගොස් ප්‍රශ්න විසදුම් අවසානයේ දී රහත්වුහ.

මේ කුමාර කාශ්‍යප තෙරුන් නික්මෙන දින සිට දොළොස් වසක් මව් භික්ෂුණියගේ නෙතින් කඳුලින් වැගුරුනි. ඇය පුතුගේ වියෝ දුකින් කඳුළු වැගුරුන මුහුණින් යුතුව පිඬුසිඟා වඩින්නී දිනක් පුතුදැක අතුරු පාරක පුත - පුත - යනුවෙන් අමතමින් යන්නී පය පැකිලී වැටුණාය. ඇගේ පියවුරුවලින් කිරි වැගිරෙමින්ම සෙනෙහසින් ගැළවුන සිවුරද අල්ලාගෙන දුවගොස් තෙරුන්ගේ අතින් අල්ලාගත්තේය. තෙරුන් වහන්සේ මෙලෙස සිතූහ. ඉදින් මම ඇය මිහිරි වචන නොදුනොත් ඇගේ සෙනෙහස වැනසේ. තදබවක් පෙන්වාම ඇය සමග කථාකරමියි සිතා මෙසේ පැවසුවේය. මොකද මේ කරන්නේ තවත් ස්නේහය නැතිකරගන්න බැරිවුණාද? යනුවෙන් තදින් විමසුවිට - අහෝ තෙරුන් මෙලෙස කථාකරයි. පුත කුමක් කියන්නේද? දෙවැනි වරද තෙරුන් දැඩිලෙසම කථා කළෙන් මව මේ ලෙස සිතුවාය. මම අවුරුදු දොළහක් මේ පුතු නිසා කඳුළු නොහෙලා සිටීමට නොහැකි වීමි. මොහු තද හදවත් ඇත්තෙකි. මට මොහුගෙන් කවර ප්‍රයෝජනයක්ද පුත්‍ර ප්‍රේමය සිඳදමා එදිනම රහත් වූවාය.

පසුකාලයක දී ධර්මසභාවේ දී කථාවක් ඇතිවුණි මේ දෙව්දත් තෙරුන් මෙපමණ උපනිශ්‍රය සම්පන්නවූ කුමාර කාශ්‍යප තෙරුන් හා මව නසා දමන ලදි. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට පිහිටවූහ. බුදුවරුනම් ලොවට අනුකම්පා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේ දභා මණ්ඩපයට වැඩමකරවා මහණෙනි මා එන්නට පළමු ඔබ කවර කථාවකින් සිටියේදැයි විමසුහ. මේ ප්‍රවෘත්තිය යයි පැවසුහ මහණෙනි දැන් පමණක් නොව මොවුන්ට මම පෙරද පිහිටවීමී.

නිග්‍රෝධ නම් මුවාවම ඇසුරු කරන්න. සේවනය කරන්න. සාබ මුවා වෙත නොයන්න. ඔහු සේවනය නොකරන්න. සාඛ මුවා සමීපයේ ජීවත්වීමට වඩා නිග්‍රෝධ මුවා ළඟ මරණය යහපත්ය.

මෙම නිග්‍රෝධ ජාතකය විස්තර වශයෙන් දේශනාකර එකල ශාඛාමිග දෙව්දත් විය. ඒ පිරිස දෙව්දත්ගේ පිරිසවිය. මරණයට වාරය පැමිණි මුවදෙන තෙරණියයි.

එදා මරණයට මුහුණ දී සිටි, මිග ධෙනුව කුමාර කාශ්‍යප මාතාවයි. ඇයට ජීවිතය ලබා දී මරණයට යොමු වු නිග්‍රෝධ මිග රාජයන් මම වෙමි.

ජාතකය සසඳා දරු සෙනහස සිඳි ථේරීය තමන්ට තමන්ම පිහිට බව ඔප්පු කළාය. මහණෙනි යමෙකුට ලොව් ලොව්තුරා සැප ලබා දීමට වෙනත් කෙනෙකුට පිහිට විය නොහැකි බවත්, තමන්ට පිහිට තමන්ම බවත් අන් අය විසින් කළ යුත්තක් නැති බවත් පෙන්වා මේ ගාථාව දෙසුහ.

තමන් හිසට තම අතමය සෙවනැල්ල

අනුන් බලා සිටියොත් වේ වැනසිල්ල

කළ හොත් මනා කොට සය ඉඳුරන් මෙල්ල

ලැබ ගත හැකිය ලොව්තුරු අම සැනසිල්ල

තත්ථ නාථො මෙහි නාථ - නම් පිහිටයි. තමන් විසින්ම අර්ථවත් කුසල් කර ස්වර්ගයට හෝ පැමිනෙන්නේ. මාර්ගයන් ලබන්නට හෝ ඵලයක් සාක්ෂාත් කරන්නට හෝ හැකිවන්නේය. එහෙයින් තමා මැ තමාට පිහිට වන්නේය. කෙසේ නම් වෙනත් අයකු පිහිට වන්නේද? නොවේමැය.

සුනෙත්න - මැනවින් දැමුන තැනැත්තා අරිහත් ඵලය නම් වූ දුල්ලභං නාථං -

ලභති - අරිහත් භාවය සදහා - නාථං ලභති දුල්ලභං යන්න කියන ලදී.

දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ඵල ආදියට පත්වුහ.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.