11-4 හතර වැනි අධිමානක කථා පුවත

යානිමානි අපත්‍ථානි අලාපූනෙව සාරදෙ

කාපොතකානි අට්ඨීනි තානි දිස්වාන කා රති.

සරත්කාලයෙහි ඒ ඒ තන්හි දමන ලද ලබු වැනි වූ කොබෝවන් පැහැ ඇත්තාවූ, යම් මේ මිනී ඇට කෙනෙක් ඇද්ද, ඒවා දැක කවර නම් කාමරතියෙක් තොපට වේ ද? (කාමරතියක් ඉපැදැවීම තොපට සුදුසු ද?)

"යානි මානි” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී අධිමානික (අධිකමානය ඇති) භික්ෂූන් සත්සියයක් දෙන නිමිති කරගෙන දේශනා කළහ.

පන්සියයක් භික්ෂූන් වහන්සේලා බුදුන්වෙතින් කර්මස්ථාන ලබාගෙන අරඤ්ඤයට පිවිස මහත් උත්සාහයෙන් වෙහෙසී. ධ්‍යානයක් උපදවාගෙන කෙලෙස් නොමැති හෙයින් අපගේ පැවිදිවීමේ අරමුණු ඉටු වූයේ යයි තමන් ලද ගුණය බුදුරදුන්ට දන්වමු යයි පැමිණියාහුය.

බුදුරජාණන් වහන්සේ ආවාසයෙන් පිටත දොරටුවේදීම ආනන්ද තෙරුන්ට මේ පැමිණි භික්ෂූන් - ආරාමය තුළට පිවිස මා දැකීමෙන් ප්‍රයෝජනයක් නැත. අමුසොහොනට ගොස් අවුත් අනතුරුව මා දකිත්වායි පැවසුහ. තෙරුන් ගොස් එම භික්ෂූන්ට මේ කරුණ දැනුම් දුන්හ. එම භික්ෂූන් අපට අමුසොහොනකින් කවර ප්‍රයෝජනයක් දැයි නොකියා දුරදිග දකින බුදුරජාණන් වහන්සේ විසින් කරුණක් දක්නට ඇතැයි අමුසොහොනට ගොස් එහි මළකුණු බලන්නේ දින එකක් දින දෙකක් ගතවූ පිළිකුල් සහගත මළකුණු දැක අප්‍රසාදයක් ද එවේලේ ගෙනත් දමන ලද අළුත් මළ සිරුරු දැක ඇලීමක් ඇතිකර ගත්හ. එකෙනෙහි තමන් කෙලෙස් සහිත බව තේරුම් ගත්හ. බුදුහු ගඳකිළියේ සිටම ආලෝකයක් පතුරුවා ඔවුන් ඉදිරියේ කථාකරන ලෙසට මහණෙනි ! තොපට සුදුසු නොවේ. මෙබඳු සම්මස් ඇටවලින් සැදුන සිරුරක් දැක රාග රති ඉපදවීමට සුදුසු නැතැයි පවසා මෙම ගාථාව දේශනා කළහ.

සරත් කල විසි කළ - හිස් ලබු කබල් වැනි වූ

පරෙවි පැහැ ඇති ඇට - දැක කවුරු එහි ඇලෙතිද

එහි අපත්ථානීති - විසිකරන ලද සාරදෙ සරත් කාලයේ සුළං වැසි අව්වෙන් තැවුන ඒ ඒ තැන විසුරුවා දමන ලද ලබුකබල් වැනි කාපොතකානී පරෙවි පාට ඇති තානිදිස්වානාති මෙබඳු ඇට කැබලි දැක ඔබට කවර ඇල්මක්ද මෙබඳු මිනී දැක ඔබම ඇල්මක් ඇතිකර ගැනීම සුදුසු නොවේ.

මෙම දේශනාව අවසන එම භික්ෂූන් සිටිලෙසම රහත් බවට පත්ව බුදුන් වහන්සේට ස්තුති කරමින් වැන්දාහුය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.