11-3 උත්තරී තෙරණියගේ කථා පුවත

පරිජිණ්ණමිදං රූපං රොගනිඩ්ඪං පභඞ්ගුරං

භිජ්ජති පූතිසන්‍දෙහො මරණන්තං හි ජීවිතං.

මේ රූපය (පාලු වැ ගිය හෙයින්) ඉතා ජීර්‍ණ ව ගියේ, වැලිත් නොයෙක් රෝගයනට කැදැල්ලක් බඳු ය. වහා නස්නා සුලු ය. (රන්වන් වුව ද නව දොරින් සතතයෙන් වැහෙන කුණු ඇති බැවින්) කුණු වූ මේ කය තෙම (නොබෝ කලෙකින්) බිඳෙන්නේ ය. කුමක් හෙයින? යත්: සියලු සතුන්ගේ ජීවිතය තෙම යම් හෙයකින් මරණය ම අන්ත කොටැත්තේ ද, එහෙයිනි.

"පිරිජිණ්ණ මිතුං” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී උත්තර නම් භික්ෂුණියක් නිමිති කරගෙන දේශනා කළහ.

තෙරණිය අවුරුදු විසි හතක්ම පිඩුසිගා ලබන ලද පිණ්ඩපාත ඇත්තී - අතුරු වීථියේ දී එක් භික්ෂු නමක් දැක පිණ්ඩපාතය දෙන්නදැයි විමසා ප්‍රතික්‍ෂේප නොකළ බව නිසා සියළු දෙය දී නිරාහාරව සිටියාය. මෙලෙස දෙවැනි දිනයේදී ද තුන්වැනි දිනයේදී ද එම භික්ෂූන් වහන්සේම එම ස්ථානයේදීම බත් දන් දී නිරාහාරව සිටියාය.

සිව්වැනි දිනයේදී ඇය පිඩුපිණිස යන්නේ එක් බාධා සහිත තැනක දී බුදුරජාණන් වහන්සේ දැක අයිනකට එල්ලෙන තම සිවුරු කොණ පෑගී සිටගෙන සිටීමට නොහැකිව පෙරළී වැටුණාය. බුදුරජාණන් වහන්සේ ඇය වෙත වැඩමකරවා සොහොයුරිය ඔබේ ආත්මභාවය (සිරුර) දිරාගොස්ය නොබෝ කලකින්ම බිදෙන්නේයයි පවසා මෙම ගාථාව දේශනා කළහ.

ලස්සණ දැකුම්කළු මේ සුදු සිරුර ඔබේ

රෝදුක්වලට නිතරම ඉඩ තබනු ලැබේ

කුණුවන, දිරන, බිඳෙන ගති එමට තිබේ

එය මරණයෙන් කෙළවර වෙයි සිතනු ඉබේ

මෙහි අරුත - නැගණිය ඉදං ඔබගේ සිරුර නම්වූ රූපං රූපය මහළු බැවින් පරිජිණ්ණං - දිරා යයි. මෙම සිරුර සියළු රෝගාබාධයන්ට වාසස්ථාන වන බැවින් රොගනිඩ්ඪං නම් වේ. යම්සේ තරුණ වූ හිවලෙක් වූ ජරසිඟාල නමින් ද තරුණ වූද රසකිඳ වැල තිලතා නමින් ද හැදින්වෙයි. එමෙන්ම එදින උපන් රන්වන් වු රුව වැගිරෙන හෙයින් පුතිකාය නම් පභඬගුරං - මේ කුණුකය ඔබේ සිරුරට සමාන වේ භිජ්ජති නොබෝ කලකින්ම බිඳෙන්නේය. යනුවෙන් දැනගත යුතුය. කුමක් නිසාද? මරණන්තං හි ජීවිතං එහෙයින් සියළු සත්ත්වයින්ගේම ජීවිත කාලය මරණයෙන් කෙළවර වේ යන වදන කියන ලදී. දහම් දෙසුම අවසානයේ එම තෙරණිය සෝවාන් ඵලයට පත්වූවාය. මහජනයාටද ඉතා සාර්ථක දම්දෙසුමක් වීය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.