මානාතිමානයෝ වනාහි පින් කිරීමට ද බාධක ධර්ම දෙකකි. ඇතැමෙක් මානය නිසා පාවහන් ගලවන්නට නො කැමැත්තෙන්, බිම වාඩි වන්නට නො කැමැත්තෙන්, විහාරස්ථානවලට පවා නො යති. ඇතැමෙක් අන්‍යයන් හා සම ව හිඳ ගන්නට නො කැමැත්තෙන්, බිම හිඳ ගන්නට නො කැමැත්තෙන් බණ අසන්නට නො යති. ඇතැමෙක් අන්‍යයන් හා සමග හිඳගනු නො කැමැත්තෙන්, සුදුවත් හැඳ පෙරවීමට නො කැමැත්තෙන් සිල් සමාදන් වන්නට නො යති.
ඇතැමෙක් ඔය පන්සල දුප්පතුන් දායකකම් කරන දුප්පතුන් යනෙන තැනක් ය, පහත් මිනිසුන්ගේ පිටිපසින් අපට සිටිය නො හැකිය කියා ඇතැම් විහාරස්ථානයකට නො එළඹෙති. ඇතැමෙක් පන්සල කුඩා ය, දුප්පත් ය, ඕවා අපට යන්නට සුදුසු තැන් නො වේය යි කියා සමහර විහාරස්ථානයකට නො යති. ඇතැමෙක් ඔය පන්සල අසවල් කුලයේ මිනිසුන්ගේ පන්සලක් ය, අප ඔතැනට යන්නේ කෙසේ දැයි ඇතැම් විහාරස්ථානයකට නො යති. සමහරු ඔය පන්සලේ සිටින භික්ෂූන් වහන්සේලා අසවල් ජාතියේ යයි ඇතැම් විහාරස්ථානවලට නො යති.
ඇතැම්හු සිය නිවසට පිඬු සිඟා වැඩියා වූ භික්ෂුවට සියතින් ආහාරයක් පවා නො දෙති. වැඩකාරයකු අමාරුවෙන් වත් සොයා ගෙනවුත් පිණ්ඩපාතය බෙදවති. ඇතැමෙක් මවුපියන්ට ගරු සත්කාර නො කරති. නො වඳිති. වැඩකාරයන් ලවා මිස සියතින් කිසි ම වතක් පිළිවෙතක් නො කරති. ඇතැමෙක් පණ්ඩිත මානය නිසා බණ නො අසති. මේ ආදී කරුණු බලා මානය කොතරම් පින් කිරීමට බාධක දෙයක් ද යන බව දත යුතුය. පාපයක් වූද, නොයෙක් පාපයන්ට හේතු වූ ද, පිනට බාධකයක් වූ ද, මේ මානය වැඩ කැමැත්තෝ දුරු කර ගනිත්වා!