අධික ව මත්පැන් පානය කළවුන්ට ඒ හේතුවෙන් බලවත් සිහි මුළාවක් සම්මෝහයක් උමතු ගතියක් පහළ වන්නේ ය. එයට මදය යි ද, මතය යි ද, වෙරි යයි ද කියනු ලැබේ. මත් වූ තැනැත්තා මත හේතු කොට ගෙන කළ යුතු දෑ නො කර පසු කරන්නේ ය. තමාට ද අන්‍යයන්ට ද අහිත වූ නොයෙක් නොමනා දෑ කරන්නේය. ජාතිය, ගෝත්‍රය, ආරෝග්‍ය, යෞවන බවය යනාදිය හේතු කොට ද සත්ත්වයන් ගේ සිත් සතන්හි එබඳු සම්මෝහයක් උමතු බවක් හටගන්නේ ය. එනම් බලවත් වූ ද, බලවත් මෝහයෙන් යුක්ත වූ ද මානය යි.
ඒ මානය හටගත් කල්හි සිත අතිශයින් අඳුරු වන්නේ ය. එබැවින් එයින් යුක්ත වූ සිත් ඇති පුද්ගලයා ද, මත්පැන් පානය කළ තැනැත්තා මෙන් ම මුළාවට පැමිණ, කළ යුතු දෑ නො කර පසු කරන්නේ ය. තමාට ද අන්‍යයන්ට ද අහිත වූ නොයෙක් නො මනා දෑ කරන්නේ ය. එබැවින් ඒ මානයට ද මදය යයි කියනු ලැබේ. සුරාමදය වනාහි පැය ගණනකින් හෝ දවසකින් හෝ සන්සිදෙන්නේ ය. මේ මාන මදය වනාහි එසේ පැය ගණනකින් දින ගණනකින් තබා වර්ෂ ගණනකිනුදු සන්සිදෙන්නේ නොවේ. සමහරවිට එය දිවි ඇති තාක් ම පවත්නේය. එබැවින් මේ මාන මදය සුරා මදයට වඩා නපුරු දෙයකි. භයානක දෙයකි. මදය සාමාන්‍යයෙන් එකක් වුවද ජාත්‍යාදි හේතූන් ගේ වශයෙන් එය අනේක ප්‍රභේද වන්නේ ය. විභංග ප්‍රකරණයෙහි මද සත් විස්සක් ඇති බව වදාරා තිබේ.
ඒ මෙසේය:
ජාති මදො, ගොත්ත මදො, ආරොග්‍ය මදො, යොබ්බන මදො, ජීවිත මදො, ලාභ මදො, සක්කාර මදො, ගරුකාර මදො, පුරෙක්ඛාර මදො, පරිවාර මදො, භොග මදො, වණ්ණ මදො, සුත මදො, පටිභාන මදො, රත්තඤ්ඤුත මදො, පිණ්ඩපාතික මදො, අනවඤ්ඤාත මදො, ඉරියාපථ මදො, ඉද්ධි මදො, යස මදො, සීල මදො, ඣාන මදො, සිප්ප මදො, ආරොහ මදො, පරිණාහ මදො, සණ්ඨාන මදො, පාරිපූරි මදො.
1. ජාති මදො :
මාගේ ජාතිය ශ්‍රේෂ්ඨ ය, කිසි ම ජාතියකට දෙවෙනි නො වන්නේ ය, මම උතුම් ජාති ඇත්තෙමි, අන්‍යයෝ හීන ජාති ඇත්තෝ ය යි ජාතිය නිසා මත්වන ආකාරයෙන් හටගන්නා වූ මානය ජාතිමද නම් වේ.
2. ගොත්ත මදො:
එක් එක් ජාතියකට අයත් මිනිසුන්ගේ වෙන් වූ පරම්පරා ගෝත්‍ර නමින් හඳුන්වනු ලබති. වර්තමාන ව්‍යවහාරයේ සැටියට ගෝත්‍රවලටත් ජාතිය යයි කියනු ලැබේ. පෙළපත යයි ද කියනු ලැබේ. ඒ පෙළපත නිසා මම එසේ මෙසේ අවමන් කළ යුතු කෙනෙක් නො වෙමිය, අසවල් පෙළපතින් පැවත එන්නකු වෙමිය යනාදීන් මත්වන ආකාරයෙන් හටගන්නා වූ මානය ගොත්ත මද නම් වේ.
3. ආරෝග්‍ය මදො:
මට කිසි රෝගයක් නැත. අන්‍යයෝ නිතරම රෝගවලින් පෙළෙන කාලකණ්ණිහුය. සෙම්ප්‍රතිශ්‍යාවක් පමණ රෝගයක් වත් මට සෑදෙන්නේ නැත යයි මත්වන ආකාරයෙන් පවත්නා වූ මානය ආරෝග්‍ය මද නම් වේ.
4. යොබ්බන මදො:
අන්‍යයෝ මහල්ලෝ ය. පැසුණු හිසකේ රැවුල් ආදිය නිසා පිළිකුල් කටයුත්තෝ ය. මම තරුණ වෙමි යයි යොවුන් බව නිසා මත්වන ආකාරයෙන් හටගන්නා වූ මානය යොබ්බන මද නම් වේ.
5. ජීවිත මදො:
බොහෝ සත්ත්වයෝ වහා පිපී පරවී නටුවෙන් ගිලිහි ගිලිහී වැටී යන මල් සේ මඳ ආයු ඇත්තෝ ය. මම දීර්ඝ කාලයක් ජීවත් වූවෙමි. දැනුදු ජීවත් වෙමි. මතු ද බොහෝ කලක් ජීවත් වන්නෙමි. අන්‍යයෝ ජීවත් වන්නාහු ද, දුකසේ ජීවත් වන බැවින් ඔවුන් ජීවත් නොවන්නවුන් වැනිය. මම වනාහී සුවසේ ද ජීවත්වෙමියි ජීවිතය නිසා මත් වන ආකාරයෙන් හටන්නා වූ මානය ජීවිත මද නම් වේ.
6. ලාභ මදො:
අන්‍යයෝ දුගියෝ ය. මට බොහෝ ආදායම් ඇත්තේ ය යි ලැබීම නිසා මත් වන ආකාරයෙන් හට ගන්නා වූ මානය ලාභ මද නම් වේ.
7. සක්කාර මදො:
මම මහා ජනයාගෙන් අනේක සත්කාර ලබමියි තමන්හට අනුන් කරන සත්කාර නිසා මත්වීම් වශයෙන් හටගන්නා වූ මානය සක්කාර මද නමි. මෙය වැසියන්ගෙන් ප්‍රණීත ආහාර පාන අගනා භාණ්ඩ පුද පඬුරු වශයෙන් ලබන්නා වූ මුදලිවරු, මුහන්දිරම්වරු ආදි නිලධාරීන්ට හා තවත් යම් යම් කරුණු නිසා පඬුරු ලබන්නා වූ අධිපතීන්ට ද, දායකයන් ගෙන් බොහෝ සත්කාර ලබන පැවිද්දන්ට ද උපදනා මානයකි.
8. ගරුකාර මදො:
අනුන් තමහට කරන ගරු බුහුමන් නිසා මත්වීම් වශයෙන් උපදනා මානය ගරුකාර මද නම් වේ. එය “අන් අධිපතීන්ට මිනිසුන් මඟ යන කල මගින්වත් ඉවත් වන්නේ නැත. මා දුටු කල ගෙවල සිටින මිනිසුන් පවා අසුන්වලින් නැඟිට මට ආචාර කරන්නාහ. යන යන තැන්වලදී මා මල් මාලා පළඳවා උත්සවයෙන් පිළිගනිති”යි යනාදීන් අනුන්ගෙන් ගරු බුහුමන් ලබන අධිපතීන්ට හා එසේම ගරු බුහුමන් ලබන පැවිද්දන්ට ද හටගන්නා මදයකි.
9. පුරෙක්ඛාර මදො:
යම් කිසි දුෂ්කර කාරණයක් පැමිණි කල්හි අන්‍යයෝ එය සිදු කර ගනු පිණිස මා ඉදිරිපත් කරන්නාහ. ගිය ගිය තැන මට මුල් පුටුව ම දෙන්නාහ. සැම බරපතල ප්‍රශ්නයක් ම මගෙන් ම විසදෙන්නේ යයි, අන්‍යයන් විසින් පෙරටු කර ගැනීම ප්‍රධානත්වයෙහි තබා ගැනීම නිසා මත් වන්නා වූ ආකාරයෙන් උපදනා මානය පුරෙක්ඛාර මද නම් වේ.
10. පරිවාර මදො:
සෙස්සෝ මඳ පිරිවර ඇත්තෝ ය. සමහර කෙනකුට තමා හා එක් ව ක්‍රියා කරන දෙතුන් දෙනකු පවා නැත. මට වනාහි ඕනෑ දෙයකට මිනිස්සු සිටිති ය, අන්‍යයන්ට සිටින දුබල මිනිසුන් මෙන් නොව ලෝකයා ගණන් ගන්නා වූ බොහෝ මිනිස්සු ද මට ඇති ය යි පිරිවර නිසා මත් වීම් ආකාරයෙන් උපදනා මානය පරිවාර මද නම් වේ.
11. භෝග මදො:
අන්‍යයන්ට තමාගේ ජීවිතය ගෙන යෑමට සෑහෙන පමණ වත් ධනය නැත. සමහරුන්ට සෙට දවසට වියදමවත් නැත. මට රැස් ව තිබෙන ධනය බොහෝ ය. පරම්පරා ගණනකට වුව ද සෑහෙන්නේ ය යි රැස්ව තිබෙන ධනය නිසා මත් වන ආකාරයෙන් හටගන්නා මානය භෝග මද නම් වේ.
12. වණ්ණ මදො:
අන්‍යයෝ විරූප වූවෝ ය. බලන්නට පවා කැත ශරීර ඇත්තෝ ය. මම වනාහී පැහැයෙන් ද හැඩ හුරු කමින් ද දැකුම් කටයුතු වූ දුටුවන් සිත් පින වන්නා වූ රූපය ඇත්තෙමි යි රූපය නිසා හට ගන්නා වූ ද, ලොව කොපමණ උගතුන් සිටියත් ඔවුන් ගැන කථා කරන කෙනකුන් පවා නැත. ඇත්නම් ඔවුන් ගේ අගුණ කියන්නන් පමණය. මාගේ ගුණය වනාහි සෑම තැනම වර්ණනා කරන්නාහ. මාගේ නම නො දත් කෙනෙක් නැත යයි ගුණය සහ වර්ණය නිසා හට ගන්නා වූ ද, මත්වන්නා වූ ද, මානය වණ්ණ මද නම් වේ.
13. සුත මදො:
අන්‍යයන් උගතුන්ය කියා සිටියත් ඔවුන් දන්නා දෙයක් නැත. මා වැනි උගතෙක් තවත් ඇත්තේ නැතය යි උගත්කම නිසා මත්වන ආකාරයෙන් හට ගන්නා වූ මානය සුත මද නම් වේ.
14. පටිභාන මදො:
සෙස්සන් උගතුන් වුව ද ඔවුනට කාරණාකාරණ වැටහෙන නුවණ නැත. එබැවින් කරුණක් පැමිණි කල්හි පැනයක් විචාළ කල්හි ඔවුහු දුර්මුඛ වන්නාහ. අසමත්කම නිසා කෝපය හෝ පහළ කරන්නාහ. මම වනාහි කාරණාකාරණ වහා වැටහෙන නුවණ ඇත්තෙමියි වැටහීම නිසා මත් වන්නා වූ මානය පටිභාන මද නම් වේ.
15. රත්තඤ්ඤු මදො:
අද ඊයේ මෙලොව එළිය දුටු මොවුහු පැරණි තොරතුරු කිසිවක් නො දන්නෝ ය. මම වනාහි මොවුන් ගේ මව්පියන් උපදින්නටත් පෙර පටන් සිටින්නෙක්මි. රාජ වංශ ග්‍රාම වංශාදි නොයෙක් පැරණි තොරතුරු දනිමි යි පැරණි බව හා පැරණි පුවත් දන්නා බව නිසා මත්වීම් වශයෙන් හටගන්නා මානය රත්තඤ්ඤු මද නම් වේ.
16. පිණ්ඩපාත මදො:
අන්‍ය භික්ෂූහු දායකයන් ගෙනෙන දානය බලාගෙන ම විහාරවල ම සිටින්නාහු ය. පිඬු සිඟා යතත් යන්නේ කලාතුරකින් ය. ඒත් දායකයන්ගෙන් නො ලැබෙන නිසා ය. මම වනාහි සෑම කල්හි ම පිණ්ඩපාතයෙන් ම ජීවත් වෙමි යයි පිණ්ඩපාතික බව නිසා මත් වන්නා වූ ආකාරයෙන් හටගන්නා මානය පිණ්ඩපාතික මද නම් වේ. මෙය පැවිද්දන්හට උපදනා මානයකි.
17. අනවඤ්ඤාත මදො:
සෙස්සෝ නොයෙක් වර නොයෙක් දෙනාගෙන් නොයෙක් අවමන් ලබා තිබෙන්නෝ ය. මම වනාහි මේ වනතුරු කිසිවකුගෙන් අවමන් නොලදිමි. කිසිවෙක් මට තවම අවනම්බුවක් නො කළේ යයි අවනම්බු නො ලැබීම නිසා මත්වන ආකාරයෙන් උපදනා මානය අනවඤ්ඤාත මද නම් වේ.
18. ඉරියාපථ මදො:
අන්‍යයන් යන සැටි සිටින සැටි හිඳගන්නා සැටි නිදන සැටි අමනෝඥ ය. කැතය. මගේ ගමනාදි ඉරියව් පැවැත්වීම යහපත්ය ලක්ෂණය යි මත්වීම් වශයෙන් උපදනා මානය ඉරියාපථ මද නම් වේ.
19. ඉද්ධි මදො:
අන්‍යයෝ පියාපත් සුන් කවුඩන් වැන්නෝ ය. මම වනාහි මහානුභාව සම්පන්නයෙක්මි. අහසින් යෑම් ආදී කැමති දෙයක් කළ හැක්කේ වෙමි යයි සෘද්ධිමතුන්ට සෘධිය නිසා හටගන්නා වූ, අන්‍යයන් කරන්නට පටන් ගන්නා දේවල් බොහෝ සෙයින් ව්‍යර්ථ වන්නාහ, සිදු නොවන්නා හ, මා පටන් ගත් දෙයක් වේ නම් එය සිදුවන්නේ ය, මුදුන් පැමිණෙන්නේ ය යි සෙස්සන්ට හටගන්නා වූ ද මත්වන ආකාරය ඇති මානය ඉද්ධි මද නම් වේ.
20. යස මදො:
රටවලට, පළාත්වලට, නගරවලට, ගම්වලට, නිකායවලට, සමාගම්වලට, සේනාවට, කර්මාන්ත ශාලාදී ස්ථානයන්ට ප්‍රධානකම් කරන්නවුන්ට මම ප්‍රධාන වෙමි යි නායක වෙමියි කියා ප්‍රධාන බව නිසා මත්වන්නා වූ මානය යස මද නම් වේ.
21. සීල මදො:
අන්‍යයෝ දුශ්ශීලයෝ ය. නොයෙක් පව්කම් කරන්නෝ ය. මම සිල්වත් වෙමි, කිසි පාපයක් නො කරමි යි සිල්වත් බව නිසා මත්වන්නා වූ මානය සීලමද නම් වේ.
22. ඣාන මදො:
සෙස්සෝ වනයෙහි හැසිරෙන රිලවුන් සේ වික්ෂිප්ත සිත් ඇත්තෝ ය. මොහොතකුදු සිත එක අරමුණක පැවැත්වීමට අසමර්ථයෝ ය. මම උපචාර අර්පණා ධ්‍යානලාභී වෙමි. කැමැති තාක් කල් සෘද්ධියෙන් යුක්තව විසීමට සමර්ථ වෙමි යි ධ්‍යානලාභීන්ට ධ්‍යානය නිසා මත්වන ආකාරයෙන් හටගන්නා වූ මානය ඣාන මද නමි.
23. සිප්ප මදො:
අන්‍යයෝ කිසි ශිල්පයක් නො දන්නෝ ය. කිසි කර්මාන්තයක් කිරීමට අසමර්ථයෝ ය. මම නොයෙක් ශිල්ප දන්නෙමි. නොයෙක් දේ කිරීමට සමර්ථ වෙමියි ශිල්පය නිසා මත්වන්නා වූ මානය සිප්ප මද නම් වේ.
24. ආරෝහ මදො:
සෙස්සෝ මිට්ටෝ ය, ඔවුන් මා ඉදිරියෙහි ළමයින් වැන්නෝ ය. මට සරි කෙනෙක් නැත. මම අන් සැමට උස් වෙමියි උස්වීම නිසා මත් වන්නා වූ මානය ආරෝහ මද නමි.
25. පරිනාහ මදො:
ඇතැම්හු පමණට වඩා උස් වූවෝ ය. ඇතැම්හු මිට්ටෝය මම වනාහි නො උස් නො මිටි යහපත් ශරීර ඇත්තේ වෙමියි නො උස් නො මිටි බව නිසා මත්වන්නා වූ මානය පරිනාහ මද නමි.
26. සණ්ඨාන මදො:
අන්‍යයන්ගේ ශරීරවල සටහන හැඩහුරුකම අමනෝඥ ය. අවලක්ෂණය, මාගේ ශරීර සටහන යහපත්ය. දුටුවන් සිත් ගන්නේ යයි හැඩහුරුකම නිසා මත්වන්නා වූ මානය සණ්ඨාන මද නමි.
27. පාරිපුරි මදො:
අන්‍යයන්ගේ ශරීරවල හිසකේ, බැම, ඇස්, තොල්, දත් ආදී අවයවයන්ගේ නොයෙක් දොස් ඇත්තේය. මාගේ සකල ශරීරයෙහි කොතැනකවත් දැක්විය හැකි කිසි ම දෝසයක් නැත. මාගේ ශරීරය සර්ව සම්පූර්ණය යි සම්පූර්ණ බව නිසා මත්වන්නා වූ මානය පාරිපුරි මද නමි.
උදාර අදහස් ඇත්තා වූ පුද්ගලයෝ කිනම් සම්පතක් ලදත් කිනම් සම්පත්තියකට පැමිණියත් මත් නො වෙති. ලාමක අදහස් ඇත්තෝ යම් කිසි සම්පත්තියකට පැමිණි කල්හි එයින් මත් වෙති. මත් වන කරුණු සත්විස්සක් වුවත් මිනිසුන් බොහෝ සෙයින් මත් ව සිටිනු පෙනෙනුයේ ධනයය, තනතුරුය, පිරිවරය, උගත්කමය, තරුණ බවය, ශරීර ශක්තියය යන මේවායින් ය. ස්ත්‍රීහු රූපය නිසා බොහෝ සෙයින් මත් ව සිටිනු දක්නා ලැබෙති. පරම්පරාගත දිළිඳුව සිට හදිසියෙන් සම්පත් ලබා උසස් වූවෝ බොහෝ සෙයින් මත්වෙති. එයින් නොයෙක් විට ඔවුහු තමා ලැබුවා වූ පැමිණියා වූ සම්පත්තියෙන් ද පිරිහෙති. ඩෙබර ගෙඩි (කටු ගෙඩි) විකුණමින් සිට රාජදේවියක් වූ සුජාතාවගේ කථාව මෙයට හොඳ නිදසුනකි.