විනීලකාදී අසුභ

star_outline

විනීලකාදියෙහි ද “උද්ධුමාතක අසුභ නිමිත්ත උගන්නා යෝගාවචර නො මුළා වැ එළඹ සිටි සිහියෙන් යුක්ත වැ -පෙ- හුදෙකලා වැ යන්නේ ය” යනාදීන් දැක්වුණු සේ “විනීලක අසුභ නිමිත්ත උගන්නා - විපුබ්බක අසුභ නිමිත්ත උගන්නා යෝගාවචර නො මුළැ වැ එළඹ සිටි සිහියෙන් යුක්ත වැ -පෙ- හුදෙකලා වැ යන්නේ යැ” යනාදීන් උද්ධුමාතක පදය වෙනුවට විනීලකාදි පද යොදා යට කී සේ විනිශ්චය සහිත අභිප්‍රාය දත යුතු. එහි විශේෂ මෙසේ ය.

2. විනීලකයෙහි - “විනීලක පටික්කුලය, විනීලක පටික්කුලය”යි මෙනෙහි කළ යුතු. එහි උග්ගහ නිමිත්ත කබර කබර වර්‍ණ වැ ද, ප්‍ර‍තිභාග නිමිත්ත රක්ත-නීල-ශේවත-වර්‍ණ කෙරෙන් උත්සද වැ ද වැටහෙන්නේ ය. (පුරාණ සන්නයෙහි උත්සද වශයෙන් නීලවර්‍ණම වඩති යි කීහු.)

3. විපුබ්බකයෙහි - “විපුබ්බක පටික්කුලය, විපුබ්බක පටික්කුලය”යි මෙනෙහි කළ යුතු. එහි උග්ගහ නිමිත්ත පූයා වැගිරෙන්නා සේ ද, ප්‍ර‍තිභාග නිමිත්ත නිශ්චල වැ සන්සුන් සේ ද වැටහෙන්නේ ය.

4. විච්ඡිද්දකය යුද්ධභූමියෙහි හෝ සොරුන් වසන වනයෙහි හෝ රජදරුවන් සොරුන් සිඳැ ලවන සොහොනෙහි හෝ සිංහ ව්‍යාඝ්‍ර‍යන් විසින් මිනිසුන් කා දමන වනයෙහි හෝ ලැබෙයි. එබඳු තැනකට ගොස් නොයෙක් තැන වැටුණු කුණපය ඉදින් ඒකාවර්‍ජනයෙන් ආපාතයට එන්නේ නම් එසේ ආවර්‍ජනය කළ යුතු. එසේ ආවර්‍ජනයට නො එන්නේ නම් කුණප සියතින් නො අල්ලා ආරාමිකයකු ලවා හෝ සාමණේරයකු ලවා හෝ වෙන කිසිවකු ලවා හෝ එක්තැන් කරවා ගත යුතු යි. සියතින් අල්ලන කල විශ්වාසයට පැමිණෙන්නේ ය. එකබන්දෙක් නො ලැබේ නම් සැරයටියෙන් හෝ අන්කිසි දණ්ඩයකින් හෝ එය එකඟුල් අතර ඇතිවන සේ එක් තැන් කොටැ “විච්ඡිද්දක පටික්කුලය, විච්ඡිද්දක පටික්කුලය” යි මෙනෙහි කළ යුතු. එහි උග්ගහ නිමිත්ත මැදින් කැපුවා සේ ද, පටිභාග නිමිත්ත පරිපූර්‍ණවැ ද වැටහෙන්නේ ය.

5. වික්ඛායිතකයෙහි - “වික්ඛායිතක පටික්කුලය, වික්ඛායිතක පටික්කූලය” යි මෙනෙහි කළ යුතු. එහි උග්ගහ නිමිත්ත ඒ ඒ තන්හි කඩා කන ලද්දක් සේ ද පටිභාග නිමිත්ත පරිපූර්‍ණ සේ ද වැටහෙන්නේ ය.

6. වික්ඛිත්තකය ද, විච්ඡිද්දකයෙහි කී සේ අඟලක් අතර කරවා ගෙනැ හෝ කැරැ ගෙනැ හෝ “වික්ඛිත්තක පටික්කූලය, වික්ඛායිතක පටික්කූලය”යි මෙනෙහි කළ යුතු. එහි උද්ග්‍ර‍හ නිමිත්ත අතර ප්‍ර‍කට වැ ද, ප්‍ර‍තිභාග නිමිත්ත පරිපූර්‍ණ වැ ද වැටහෙයි.

7. හතවික්ඛිත්තකය ද, විච්ඡිද්දකයෙහි කී තන්හි ලැබෙයි. එබැවින් එහි ගොස් යට කී සේ අඟලක් අතර කරවා ගෙනැ හෝ කැරැ ගෙනැ හෝ “හතවික්ඛිත්තක පටික්කූලය, හතවික්ඛිත්තක පටික්කූලය” යි මෙනෙහි කළ යුතු. එහි උද්ග්‍ර‍හ නිමිත්ත ප්‍ර‍හාරමුඛ පැනෙන සේ ද, ප්‍ර‍තිභාග නිමිත්ත පරිපූර්‍ණ වැ ද වැටහෙයි.

8. ලෝහිතකය, යුද්ධමණ්ඩලාදියෙහි දී වැදුණු පහරින් අත් පා ආදිය කැපුණු කල්හි ද, ගඩ පොළ ආදිය පැලුණු කල එහි මුඛයෙන් වැගිරෙන කල්හි ද ලැබෙන්නේ ය. එබන්දක් දැකැ “ලෝහිතක පටික්කූලය, ලෝහිතක පටික්කූලය”යි මෙනෙහි කළ යුතු. එහි උද්ග්‍ර‍හ නිමිත්ත වාතයෙන් සැලෙන රක්තවර්‍ණ පතාකාවක් සේ සැලෙන්නාක් වැ ද, ප්‍ර‍තිභාග නිමිත්ත නො සැලෙන්නාක් වැ ද වැටහෙයි.

9. පුළවකය, දෙතුන් දිනෙකින් පසු වුණ මුඛ නවයෙන් පණුකැලන් කඩා හැලෙන කල ලැබෙන්නේ ය. වැළිත් එය බලු-කැණහිල්-මිනිස්-ගෙරි-මී-ඇත්-අස්-පිඹුරු ආදීන්ගේ ශරීර තරම් වැ ම හැල්බත් රැසක් සේ ද සිටියි. ඒ කෙබඳු තැනෙක හෝ පුලවක පටිකූලය, පුලවක පටික්ක්කූලය”යි මෙනෙහි කළ යුතු. චුල්ලපිණ්ඩපාතිකතිස්ස තෙරුනට වනාහි කලුදිගා වැවේදී ඇත්කුණපයෙක මේ නිමිත්ත වැටහුණේය. මෙහි උද්ග්‍ර‍හ නිමිත්ත සැලෙන්නාක් වැ ද, ප්‍ර‍තිභාග නිමිත්ත හැලිබත් පිඩක් සේ නොසැලෙන්නාක් වැ ද වැටහෙන්නේ ය.

10. අධිකය වනාහි “සො පස්සෙය්‍ය සරීරං සිවථිකාය ජඩ්ඪිතං අට්ඨිසංඛලිකං සමංසලොහිතං නහාරු සම්බන්‍ධ”[1] යනාදීන් නානාප්‍ර‍කාරයෙන් දැක්වුණේ ය. එබැවින් එබන්දක් ඇති තැනකට යට කී සේ ගොස් හාත්පස ගල් ආදි වශයෙන් සනිමිත්ත කොටැ සාරම්මණ කොටැ “මේ අට්ඨිකය”යි ස්වභාව වශයෙන් සලකා වර්‍ණාදි එකොලොස් ආකාරයෙන් නිමිත්ත උගත යුතු. එය වර්‍ණ වශයෙන් සුදු යයි බලත්හොත් නිමිත්ත නො වැටහෙන්නේ ය. යට දැක්වුණු ඕදාත කසිණය හා මිශ්‍ර‍ වන බැවිනි. එසේ හෙයින් “අට්ඨික” ය යි පිළිකුල වශයෙන් ම බැලිය යුතු. ලිඞ්ග යනු මෙහි අත් ආදියට ලැබෙන නමෙකි. එබැවින් අත්, පා, හිස, බඩ, බාහු, කටි,කලවා, කෙණ්ඩ යන මේ වශයෙන් ලිඞ්ග හෙයින් ව්‍යවස්ථා කළ යුතු දිග, කොට, වට, සතරැස්, කුඩා, මහත් වශයෙන් සණ්ඨාන හෙයින් ව්‍යවස්ථා කළ යුතු. දිසා හා ඕකාස යට කී සේ ම ය. ඒ ඒ ඇටවල පර්‍ය්‍යන්ත වශයෙන් පරිච්ඡේද හෙයින් ව්‍යවස්ථා කොටැ ප්‍ර‍කට වැ වැටහෙන්නාක් අරමුණු කොටැ ගෙනැ අර්පණාවට පැමිණිය යුතු ඒ ඒ ඇටවල මිටි තැන් උස් තැන් වශයෙන් නින්න ථල හෙයින් ව්‍යවස්ථා කටයුතු ප්‍රදේශ වශයෙනුදු “මම වළ තැන ය, ඇට ගොඩ තැන ය, මම හෝ ගොඩ තැන ය, ඇට වළ තැන ය”යි ව්‍යවස්ථා කටයුතු. දෙ ඇට දෙ ඇට ගැලපුණු තැන් වශයෙන් සන්‍ධි හෙයින් ව්‍යවස්ථා කටයුතු. ඇට අතර වශයෙන් විවිර අවිවර හෙයින් ව්‍යවස්ථා කටයුතු සියලු ඇටසැකිල්ලෙහි හෝ ඇටයෙහි හෝ නුවණ මෙහෙයා “මෙ තැන මේ ඇට ය”යි හාත්පසින් ව්‍යවස්ථා කටයුතු. මෙසේත් නො වැටහේ නම් නළල් ඇටයෙහි සිත යෙදිය යුතු යි.

මේ ඇට අට්ඨිකයෙහි සේම සෙසු පුලවකාදිහි ද එකොලොස් ආකාරයෙන් නිමිති ගැන්ම යෙදෙන යෙදෙන පරිද්දෙන් සැලකිය යුතු.

මේ කර්‍මස්ථාන ඇටසැකිල්ලෙක සේ ම ඒ ඇටයෙක ද ලැබෙයි. ඒ කවරෙක හෝ එකොලොස් ආකාරයෙන් නිමිති උගෙන “අඨික පටික්කූලය, අඨික පටික්කූලය”යි මෙනෙහි කළ යුතු. මෙහි උද්ග්‍ර‍හ නිමිත්ත හා ප්‍ර‍තිභාග නිමිත්ත හා එක් සමානය යි අටුවායෙහි කියා තිබේ. ඒ කීම එක ඇටයෙක නම් සුදුසු ය, ඇට සැකිල්ලෙහි උද්ග්‍ර‍හ නිමිත්ත පෙර පෙනෙන විවර ඇති වැද, ප්‍ර‍තිභාග නිමිත්ත පරිපූර්‍ණවැද විය යුතු. එක ඇටයෙක වුව ද උද්ග්‍ර‍හ නිමිත්ත භයජනක විය යුතු. ප්‍ර‍තිභාග නිමිත්ත සෞමනස්‍යජනක විය යුතු. භාවනා විශේෂයෙන් මටසිලුටු වැ වැටහී උපචාර ධ්‍යානය එළවන බැවිනි.

මෙහි ලා අටුවායෙහි කියන ලද්ද මතභේදයට අවකාශ තබා කියන ලද බැව් පෙනේ. ඒ එසේ මැ යි:- අටුවායෙහි සතර බ්‍ර‍හ්මවිහාරයන්හි ද දශ අශුභයන්හි ද ප්‍ර‍තිභාග නිමිති නැතැ යි ද, බ්‍ර‍හ්මවිහාරයන්හි සීමාසමේභදය ම නිමිත්තය යි දශ අසුභයන්හි විකල්ප රහිත කොටැ ප්‍ර‍තිකූලත්‍වය දුටු කල්හි නිමිත්ත නම් වන්නේ ය යි ද දක්වා ‘ඊට අනතුරුවැ ම උග්ගහ නිමිත්තය, ප්‍ර‍තිභාග නිමිත්තය යි නිමිත්ත ද්විවිධ වේ. ඉන් “උද්ග්‍ර‍හ නිමිත්ත භයජනක වැ වැටහේය”යි දක්වන ලද්දේ ය. එ බැවින් අප විසින් විචාරණය කොටැ යට කියන ලද ක්‍ර‍මය සුදුසුය යි දත යුතු. තවද මහාතිස්ස තෙරුනට දත් ඇට දැකීම් පමණෙකින් මුළු ස්ත්‍රී ශරීරය ඇට සැකිල්ලක් සේ වැටහීම ද මෙහි නිදර්‍ශනයට ගත යුතු.

“ඉති අසුභාති සුභ ගුණො - දස්සනලොචනෙන ථුතකිත්ති,

යානි අවොච දසබලො - එකෙකජඣානහෙතූති

එවං තානි ච තෙසං ච - භාවනානයමිදං වීදිත්‍වාන

තෙසචේව අයං භිය්‍යො - පකිණ්ණක කථාව විඤ්ඤෙය්‍යා”

‘සුනාශීර විසින් සංස්තුත වූ කීර්‍තති ඇති විශුද්ධ ගුණ යුත් දශබලධාරීන් වහන්සේ එකී එකී ධ්‍යානයට හේතු වූ යම් අශුභ කෙනෙක් වදාළ සේක් ද, ඒ දශ අශුභ ද ඔවුන් පිළිබඳ භාවනා ක්‍ර‍ම ද යට කී පරිද්දෙන් දැනැ ඔවුන්ගේ ප්‍ර‍කීර්‍ණක කථාව මතු කියන පරිද්දෙන් දත යුතු.’

  1. දි: නි: මහාවග්ග 181