උද්ග්‍ර‍හ නිමිත්තයේ හා ප්‍ර‍තිභාග නිමිත්තයේ වෙනස

උද්ග්‍ර‍හ නිමිත්ත විරූප වැ පිළිකුල් වැ භයානක වැ වැටහෙන්නේ ය. ප්‍ර‍තිභාග නිමිත්ත කුස පුරා කා නිදන ස්ථුලාඞ්ග ප්‍ර‍ත්‍යඞ්ග ඇති පුරුෂයකු සේ වැටහෙන්නේ ය.

ප්‍ර‍තිභාග නිමිත්ත පහළවත් ම අශුභභාවනානුභාවයෙන් බාහිර වූ කාමසංඥාව දුරු වූ බැවින් විෂ්කම්භන වශයෙන් ඔහුගේ කාමච්ඡන්‍දය ප්‍ර‍හීණ වන්නේ ය. ලේ නැති වීමෙන් ලේ මුල් කොටැ ඇති පූයාව සැරව ද නැති වන්නා සේ අනුනය (කාමච්ඡන්‍දය) ප්‍ර‍හාණයෙන් ඒ මුල් කොට ඇති ව්‍යාපාදයද ප්‍ර‍හීණ වේ. එසේම ආරබ්ධ වීර්‍ය්‍ය ඇති බැවින් ථීන මිද්ධය ද, විපිළිසරයට ප්‍ර‍තිපක්‍ෂ වූ ශාන්තධර්මානුයෝගයෙන් උද්ධච්චය-කුක්කුච්චය ද අධිගත විශේෂය තමහට ප්‍ර‍ත්‍යක්‍ෂ වූ බැවින් ඒ ප්‍ර‍තිපත්තිය නියම කොටැ වදාළ ශාස්තෘන් වහන්සේ කෙරෙහිත් ප්‍ර‍තිපත්තිය කෙරෙහිත් ප්‍ර‍තිපත්ති ඵලය කෙරෙහිත් විචිකිච්ඡාව ද ප්‍ර‍හීණ වේ. මෙසේ පඤ්චනීවරණයන්ගේ විෂ්කම්භන ප්‍ර‍හාණය කියන ලදි.

ඒ හා සමඟ ම ඔහුට ඒ ප්‍ර‍තිභාග නිමිත්තෙහි සිත නැංවීම ලක්‍ෂණ කොටැ ඇති විතර්‍කය ද, ඒ නිමිත්ත - පිරිමැදීම කෘත්‍ය කොට ඇති විචාරය ද ලත් විශේෂාධිගම ය හේතුකොටැ වන ප්‍රීතිය ද, ප්‍රීතිමත්හට පස්සද්ධිය ලැබෙන බැවින් පස්සද්ධි නිමිත්ත කොටැ ඇති සුඛය ද, සුඛිතහට චිත්තසමාධි ලැබෙන බැවින් සුඛ නිමිති කොටැ ඇති ඒකාග්‍ර‍තාව ද යන ධ්‍යානාඞ්ගයෝ පහළ වෙති. මෙසේ ඒ යෝගීහට ප්‍ර‍ථම ධ්‍යානයාගේ ප්‍ර‍තිබිම්බය වූ උපචාර ධ්‍යානය ද ඒ ඇසිල්ලෙහි ම වන්නේ ය. අර්පණායෙහි පටන් සියල්ල පඨවිකසිණයට කී පරිදි මැයි.

උද්ධුමාතක අශුභ භාවනා විධිය යි.