අශුභ ප්‍ර‍කිර්‍ණක කථා

අශුභ අතුරෙන් කවරක් හෝ අරමුණු කොටැ ධ්‍යාන ලැබැගත් යෝගී චීතරාගයකු සේ නිල්ලෝලුප්පචාරී වන්නේ ය. හෙවත් අලෝලභාවයෙන් හැසිරෙන්නේ ය.

එසේ නම් එය දශවිධ කොටැ කුමක් හෙයින් වදාළේ ද එසේ වදාළේ ශරීරය උද්ධුමාතකාදි ඒ ඒ ස්වභාවයට පත්වීම් වශයෙන් හා රාගචරිත පුද්ගලයන්ගේ විභාග වශයෙනි.

ඒ එසේ මැ යි:- මළසිරුර පිළිකුල් බවට පැමිණෙන්නේ උද්ධුමාතක භාවයට හෝ විනීලකාදීන් අතුරෙන් එක්තරා අවස්ථාවකට හෝ පත්වන්නේ ය. එයින් යම් යම් ආකාර අසුභයක් ලද හැකි නම් ඒ ඒ අශුභයෙහි “උද්ධුමාතක පටික්කූලය, විනීලක පටික්කූලය” යනාදීන් නිමිති ගත යුතුම ය. ශරීරය ඒ ඒ ස්වභාවයට පත්වීම වශයෙන් දශවිධ කොටැ වදාළේ ය යි කීයේ එහෙයිනි.

රාගචරිත පුද්ගලයන්ගේ විභාග වශයෙන් දශවිධ කොට වදාළේ ය යන්නෙහි අර්‍ථ මෙසේ දත යුතුයි.

උද්ධුමාතකය විශේෂයෙන් සරීරසණ්ඨානයාගේ විපත්තිය ප්‍ර‍කාශ කරන්නේ ය. එබැවින් එය සණ්ඨානරාගීන්හට සප්පාය වේ.

විනීලකය ඡවි වර්‍ණයාගේ විපත්තිය ප්‍ර‍කාශ කරන බැවින් ශරීර වර්‍ණයෙහි රාග ඇත්තවුනට සප්පාය වේ.

විපුබ්බකය ශරීරය පිළිබඳ දුර්‍ගගන්‍ධය ප්‍ර‍කාශ කරන බැවින් මල් සුවඳ ආදිය ගැනීම් වශයෙන් නැගුණු ශරීර ගන්‍ධරාගීන්හට සප්පාය වේ.

විච්ඡිද්දකය ඇතුළෙහි සිදුරු ඇති බව ප්‍ර‍කාශ කරන බැවින් ශරීරයෙහි අඞ්ග ප්‍ර‍ත්‍යඞ්ග පිළිබඳ ඝන භාවය පිණිස උපදනා රාග ඇත්තවුනට සප්පාය වේ.

වික්ඛායිතකය මස් වැඩි තන්හි සැපත විනාශ වන සැටි ප්‍ර‍කාශ කරන බැවින් තන කලවා ආදි ශරීර ප්‍රදේශයෙහි මස් වැඩීම නිසා උපදනා රාග ඇත්තවුනට සප්පාය වේ.

වික්ඛිත්තකය අඞ්ග ප්‍ර‍ත්‍යාඞ්ගයන්ගේ ඒ ඒ තැන වැටීම් වශයෙන් වික්‍ෂේපය ප්‍ර‍කාශ කරන බැවින් අඞ්ගප්‍ර‍ත්‍යඞ්ග පිළිබඳ ලීලාරාගීන්හට සප්පාය වේ.

හතවික්ඛිත්තකය ශරීරසඞ්ඝාතයාගේ භේදය ප්‍ර‍කාශ කරන බැවින් ශරීර සංඝාත සම්පත්තිරාගීන්හට සප්පාය වේ. (ශරීර සංඝාන නම් අවයව එක් වැ බැඳී තිබෙන ශරීරය යි.)

ලෝහිතකය ලෙයින් වැකීමෙන් පිළිකුල් බව ප්‍ර‍කාශ කරන බැවින් අලඞ්කාරයෙන් ජනිත ශෝභායෙහි රාග ඇත්තවුනට සප්පාය වේ.

පුලවකය ශරීරය නොයෙක් කිමිකැලට සාධාරණ බව ප්‍ර‍කාශ කරන බැවින් ශරීරය මමත්‍වයෙන් ඇලුම් කරන්නවුනට සප්පාය වේ.

අට්ඨිකය ශරීරයේ ඇට පිළිබඳ පිළිකුල ප්‍ර‍කාශ කරන බැවින් අන්තසම්පත්තයෙහි රාග ඇත්තවුනට සප්පාය වේ.

මෙසේ රාගචරිත පුද්ගලයන්ගේ භේද වශයෙන් අශුභය. දශවිධ කොටැ වදාරන ලදැ යි දත යුතුයි.

අශුභ කර්‍මස්ථානයෙන් ප්‍ර‍ථමධ්‍යානය පමණක් ලැබැ ගත හැකි ය.

දශවිධ වූ ම අශුභාරම්මණය පිළිකුල් ය. පිළිකුල් බැවින් ම එහි සිත පිහිටුවා ගැන්ම දුෂ්කරය. සිත පිහිටුවා ගනුත් හොත් හැක්කේ විතර්‍ක බලයෙන් මැ ය. විතර්‍කය නැත්නම් සිත එහි නො පිහිටයි. නො සිටින දිය ඇති සැඬවතුරු ඇති ගඟෙහි නැව සිටුවාගත හැක්කේ රිටි බලයෙන් ය. රිටි නැතහොත් නැව එහි නො රඳයි. මෙ ද එබැවින් දශවිධ අශුභය ම අරමුණු කොටැ භාවනා කිරීමෙන් ලද හැක්කේ ප්‍ර‍ථම ධ්‍යානය පමණි. විතර්‍ක නැති බැවින් ද්විතීය ධ්‍යානාදිය නො ලද හැකි ය.

ප්‍ර‍ථම ධ්‍යානයෙහි ප්‍රීතිය ඇත්තේ ය. පිළිකුල් වූ අශුභය

අරමුණු කොටැ සප්‍රීතික ප්‍ර‍ථමධ්‍යානය කෙසේ ලැබිය හැකි ද

පිළිකුල් වූ ද ඒ අරමුණු කොටැ “ඒකාන්තයෙන් මම මේ ප්‍ර‍තිපදායෙන් ජරාමරණයෙන් මිදී ගන්නෙමි”යි ආනිසංස දක්නා බැවින් ද, නීවරණ සන්තාප ප්‍ර‍හාණ වන බැවින් ද ප්‍රීති සොම්නස් උපදනේ ය. “මම මෙයින් දැන් බොහෝ වැටුප් ලබමි”යි සිතන පුස්සඩුවාට අසූචි රැස් අරමුණු කොට ප්‍රීතිසොම්නස් උපදින්නාක් මෙන් ද, උපශාන්ත වූ ව්‍යාධි දුක් ඇති රෝගියාහට වමන විරේචන ප්‍ර‍වෘත්තියෙහි ප්‍රීති සොම්නස් උපදින්නාක් මෙන් දැ යි දත යුතු.