ඒ යෝගී විසින් මේ ශරීරය කල්ලකුගේ හෝ සුද්දකගේ හෝ මගුරුපැහැ ඇත්තකුගේ හෝ යි වර්‍ණ වශයෙන් ව්‍යවස්ථා කළ යුතු.
ලිඞ්ග වශයෙන් වනාහි ස්ත්‍රී ලිඞ්ග - පුරුෂ ලිඞ්ගය යි ව්‍යවස්ථා නො කොටැ ප්‍රථම වයසෙහි හෝ මධ්‍යම වයසෙහි හෝ පශ්චිම වයසෙහි හෝ සිටියකු ගේ යයි ව්‍යවස්ථා කළ යුතු.
සණ්ඨාන වශයෙන් උද්ධුමාතක සටහන් වශයෙන් ම මේ මෙහි හිස් සටහන, මේ ග්‍රීවා සටහන, මේ අත් සටහන, මේ උදර සටහන, මේ කෙණ්ඩා සටහන, මේ පා සටහන යයි ව්‍යවස්ථා කළ යුතු.
දිශා වශයෙන් මේ ශරීරයෙහි දිශා දෙකෙක. නැබින් යට යට දිසාව ය. නැබින් උඩ උඩු දිසාය යි ව්‍යවස්ථා කළ යුතු. නොහොත් මම මේ දිශායෙහි ය. අසුභ නිමිත්ත මේ දිසායෙහි යයි ව්‍යවස්ථා කළ යුතු.
අවකාශ වශයෙන් මේ අවකාශයෙහි අත් ද, මේ අවකාශයෙහි පා ද, මේ අවකාශයෙහි මැදුම් කය ද, පිහිටියේ ය යි ව්‍යවස්ථා කළ යුතු. නොහොත් මම මේ අවකාශයෙහි, අශුභ නිමිත්ත මේ අවකාශයෙහි යයි ව්‍යවස්ථා කළ යුතු.
පරිච්ඡේද වශයෙන් මේ සිරුර යට පතුලින් ද උඩ කෙසගින් ද, සරස සිවියෙන් ද පිරිසුන් ය. ඒ පිරිසුන් තන්හි දෙතිස් කුණපයෙන් පිරුණේ යයි ව්‍යවස්ථා කළ යුතු. යම් පමණ සිරුරු පෙදෙසක් උද්ධුමාත වශයෙන් නුවණින් පිරිසිඳැ ගනී ද එපමණක් ම මේ මෙ බඳු උද්ධුමාතයෙකැ යි හෝ පරිච්ඡේද කළ යුතු.
පිරිමිහට ස්ත්‍රී ශරීරය ද, ස්ත්‍රීහට පිරිමි ශරීරය ද සප්පාය නො වේ. විසභාගයෙහි අසුභාරම්මණය නො වැටහෙන බැවිනි එයින් කිමෙක් වේ ද, කේලශොත්පත්තියට ම කාරණ වේ. “උග්ඝාණිතාපි හි ඉත්‍ථි පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති” ‘ඉදිමී ගිය හෝ කුණු වැ ගිය ස්ත්‍රී ද පිරිමින්ගේ සිත පොළඹවා ගෙන සිටින්නී ය’යි මැදුම්සඟි අටුවාවෙහි දැක්විණි. එබැවින් සභාග සිරුරෙහි ම සවැදෑරුම් නිමිති ගත යුතු.
පෙර බුදුවරයන් වෙත කමටහන් පුරුදු කළ සොසානිකාදි ධුතාඞ්ග පරිහරණ කළ - මහාභූත පිරිමැදී - සංස්කාර පරිග්‍රහ කළ - නාම රූප ව්‍යවස්ථා කළ - සත්ත්‍වසංඥා උගුලාලු - මහණුවම සිදු කළ - කුසල වාසනා වුසූ - කුසල භාවනා වැඩු - කුශල බීජ සහිත ඥානොත්තර වූ - මඳ කෙලෙස් ඇති කුලපුත්‍රහට බැලූ බැලූ තන්හි ප්‍රතිභාග නිමිත්ත වැටහෙන්නේ ය. ඉදින් එසේත් නො වැටහෙතේ හොත් යට දැක්වුණු ෂඩාකාරයෙන් නිමිති ගන්නා කල වැටහෙන්නේ ය. එසේත් නො වැටහේ නම් සන්‍ධි වශයෙන්, විවර වශයෙන්, තින්න වශයෙන්, ථල වශයෙන්, සමන්ත වශයෙන් යන පස් ආකාරයෙන් නිමිත්ත ග්‍රහණය කළ යුතු.