නීල කසිණය

“නීල කසිණං උග්ගණ්හන්තො නීලකස්මිං නිමිත්තං ගණ්හාති පුප්ඵස්මි වා වත්‍ථස්මිං වා වණ්ණධාතුයා වා” ‘නීලකසිණය උගන්නේ නීල වර්‍ණයෙහි නිමිත්ත ගනී. මලෙක හෝ වස්ත්‍රයෙක හෝ වර්‍ණ ධාතුවෙහි හෝ, යි කී හෙයින් කෘතාධිකාර පින්වතුනට අවිරල වැ පිපුණු නීල් මලින් ගැවසී ගත් මල් ගසක් හෝ පූජා ස්ථානයෙහි මල් අතිරියක් හෝ නිල්පිළි නිල්මිණි අතුරෙන් කිසිවක් හෝ දැක්මෙන් ම නිමිත්ත උපදී. අකෘතාධිකාර විසින් නිලුපුල් නිල්කටරොළු ආදි මල් ගෙනැ රේණු හෝ නැටි හෝ නො පෙනෙන පරිද්දෙන් චඞ්ගොටකයක්, තුඩා පෙට්ටියක් හෝ කරඬුපටලයක් හෝ ඒ මල් පෙතියෙන් මුවවිට තාක් පුරා ඇතිරිය යුතු. නිල්වන් පිළියෙන් පොදියක් බැඳැ එයින් හෝ පිරවිය යුතු. එහි මුවවිට බෙර ඇසක් මෙන් හෝ බැන්ද යුතු. ලොහොමලනිල් කොළනිල් අඳුන්නිල් අතුරෙන් යම් කිසිවකින් පඨවි කසිණයෙහි කී සේ ගෙනැ යා හැකි කොටැ හෝ භිත්තියෙක හෝ කසිණ මණ්ඩලයක් කොටැ වෙනස් වර්‍ණයකින් අවට පරිච්ඡේද කටයුතු. ඉක්බිති පඨවි කසිණයෙහි කී පරිදි “නීලං-නීලං” යි මනස්කාර කළ යුතු. මෙහි දු උද්ග්‍ර‍හ නිමිත්තයෙහි කසිණ දෝස පෙනෙන්නේ ය. රේණු නැටි පෙති අතර ආදිය වැටහෙන්නේ ය. ප්‍ර‍තිභාග නිමිත්ත කසිණ මණ්ඩලයෙන් මිදී අහස මිණි තල් වැටක් සේ වැටහෙන්නේ ය. සෙස්ස යට දැක්වුණු සේ දත යුතු.

නීල කසිණ වඩන ක්‍ර‍මය යි.