වායෝ කසිණය.

වායෝ කසිණය වඩනු කැමැති යෝගී විසින් වායුයෙහි නිමිත්ත ගත යුතු. ඒ ගැන්ම ද සැලෙන තැන් බැලීමෙන් හෝ ඇඟ ස්පර්‍ශයෙන් හෝ විය යුතු. අර්‍ථ කථායෙහි ඒ මෙසේ දක්වති. “වායො කසිණං උග්ගණ්හන්තො වායුස්මිං නිමිත්තං ගණ්හාති උච්ඡග්ගං වා එරිතං සමෙරිතං උපලක්ඛෙති වෙළග්ගං වා -පෙ- රුක්ඛග්ගං වා කෙසග්ගං වා එරිතං සමෙරිතං උපලක්ඛෙති කායස්මිං වා ඵුට්ඨා උපලක්ඛෙති” යි ‘වායු කසිණය උගන්නේ වායුවෙහි නිමිත්ත ගනී. සැලෙන උග්ගස් අගක් හෝ හුණගස් අගක් හෝ රුක් අගක් හෝ කෙසගක් හෝ නිමිත්ත කොටැ බලයි. ශරීරයෙහි වැදගත් වාතය හෝ නිමිත්ත කොට බලයි’ යනු එහි අර්‍ථ යි. අටුවාහි එසේ කී බැවින් මුදුනෙහි පත්‍ර‍ විසින් සම වූ හිස් ඇති වැ සිටි ඝන පත්‍ර‍ ඇති උගක් හෝ උණක් හෝ රුකක් හෝ සතරඟුල් ප්‍ර‍මාණ ඝන කෙස් ඇති පුරුෂයක්හු ගේ හිසක් හෝ වාතයෙන් සැලෙන්නා දැකැ මේ වාතය මෙතැන වදනේන යයි සිහි එළවා. එසේ ම කවුළු දොරින් හෝ භිත්ති සිදුරින් හෝ තම ඇඟ හැපෙන වාතයෙක් වේ නම් එහි හෝ සිහි එළවා. වාත, මාළුත, අනිලාදි සුළං වාචක නම් වලින් ප්‍ර‍කට වූ නම වශයෙන් ‘වාතො-වාතො’ යි භාවනා කටයුතු. මෙහි උද්ග්‍ර‍හ නිමිත්ත උදුනින් බා ගත් ඇසිල්ලේ කිරිබතක උණුසුම් වැටියක් බඳු වැ චල වැ වැටහේ. පටිභාග නිමිත්ත එ ම සන්සුන් වැ නිශ්චල වැ වැටහේ. සෙස්ස යට කී සේ දත යුතු යි.

වායෝ කසිණ වඩන ක්‍ර‍මය යි.