තේජෝ කසිණය වඩනු කැමැත්තහු විසින් තේජසෙහි නිමිත්ත ගත යුතු. පූර්‍ව කෘත අභියෝග ඇති පින්වතුනට චිත්තගුත්ත තෙරුන්ට මෙන් ප්‍රකෘති තේජසෙහි නිමිති ගනුත් පහන් සිල්ලෙහි හෝ උදුනෙහි හෝ පාත්‍ර පිසින තැන හෝ ලැව් ගින්නෙහි හෝ යම් කිසි තැනෙක ගිනිසිලු බලත් නිමිත්ත උපදින්නේ ය. චිත්තගුත්ත තෙරුන්ට වනාහි ධර්‍ම ශ්‍රවණ දවසෙහි පොහෝ ගෙට පිවිසැ පහන් සියල්ල බලත් ම ඒ නිමිත්ත උපන්නේ ය. පූර්‍වයෙහි කෘතාභියෝග නැත්තහු විසින් තේජෝ කසිණය පිළියෙළ කරගත යුතු ය. එය පිළියෙළ කර ගන්නා ක්‍රමය මෙසේ ය. සිනිඳු වූ හර ඇති දර පලා වියලා ගෙනැ එය කැබැලි කොටැ සුදුසු රුක් මුලකට හෝ මණ්ඩපයකට හෝ ගොස් පාත්‍ර පිසින ආකාරයෙන් රැස්කොටැ ගිනි දැල්විය යුතු ය. ඉක්බිති හුණ පැදුරෙක හෝ සමෙක හෝ වස්ත්‍රයෙක හෝ එක් වියත් සතරඟුල් පමණ කොටැ සිදුරක් කරගත යුතු ය. එය අර දැල්වෙන ගින්න අභිමුඛයේ තබා ගෙනැ යට දැක් වූ සේ හිඳැ ගෙනැ යට තණ - දර හෝ මතු දුම් සිල්ල හෝ මෙනෙහි නො කොටැ මැද විරල නො වැ ඝන වැ පවත්නා ගිලිදැල්ලෙහි නිමිත්ත ගත යුතු යි. නීල-පිතාදි වශයෙන් එහි පැහැය නො සිතිය යුතු ය. උෂ්ණත්‍ව වශයෙන් ලක්ෂණ මෙනෙහි නො කළ යුතු. වර්‍ණය ද නිශ්‍රය ගතික කොටැ උත්සන්න වශයෙන් ප්‍රඥප්ති ධර්‍මයෙහි සිත මෙහෙයා “පාචක, කණ්භවත්තනි, ජාත වෙද, හුතාසනාදි අග්නි වාචක නම් අතරෙන් ප්‍රකට නම වශයෙන් ම “තෙජො - තෙජො” යි භාවනා කටයුතුයි. මෙසේ භාවනා කරත්ම ඔහුට පිළිවෙළින් උද්ග්‍රහ-ප්‍රතිභාග නිමිති උපදිනේ ය. එයින් උද්ග්‍රහ නිමිත්ත ගිනි දැල් කැඩි කැඩී වැටෙන්නා සේ වැටහෙයි. ප්‍රකෘති තේජසෙහි නිමිති ගනුන් කසිණ දොස පෙනේ. පෙනහෙලි කැබලි හෝ අඟරු පිද්‍ධු හෝ හළු හෝ දුම් හෝ වැටහෙයි. ප්‍රතිභාග නිමිත්ත වනාහි අහස්හි තුබූ රත් කම්බිලි කඩක් සේ ද, රන් තල් වැටක් සේ ද රන් ටැඹක් සේ ද නිශ්චල වැ වැටහෙයි. එසේ වැටහෙන්නා හා ම ඒ යෝගාවචර උපචාර ධ්‍යානයට ද, යට කී සේ චතුෂ්ක-පඤ්චක ධ්‍යානයන්ට ද පැමිණෙන්නේ ය.
තේජෝ කසිණ වඩන ක්‍රමය යි.