(8) ඒ යෝගී තෙමේ මෙසේ පටිසඞ්ඛානුපස්සනා ඤාණයෙන් ‘සියලු සංස්කාර ශූන්‍යයයි’ පිරිගා කොට (පිළිගෙන) නැවැතැ මේ මේ සංස්කාර ධර්‍ම සමූහය ආත්මයෙන් හා ආත්මය පිළිබඳ ධර්‍මයකින් ද ශුන්‍යය යි මෙසේ දෙකෙළෙවරක් ඇති (ද්‍විකොටික) ශූණ්‍යත්‍වය පරිග්‍රහ කෙරේ.
ඒ යෝගී තෙමේ මෙසේ ආත්මයක් නො ලැබෙන හෙයින් ම ප්‍රත්‍යක්‍ෂ හෙයින් ද, අනුමාන වශයෙන් ද, ආත්මයක් නො දැක, තම-තමා ගේ උපකරණ වශයෙන් සුව-දුක් සාධන භවයෙන් සිටි අන් කිසි සතකු හෝ වස්තුවක් නො දැක නැවැතැ “නාහං කච්චනි කස්සචි කිඤ්චනතස්මිං, නච මම කච්චනි කිස්මිචි කිඤ්චනතත්‍ථි”[1] මම කිසි තැනෙක්හි කිසිවකු ගේ කිඤ්චන භාවයක් (අයිතියක්) නො වෙමි. මාගේ කිසි තැනෙකැ කිසිවකුට කිඤ්චන බවෙක් - අයිතියෙක් නැත්තේය යි’ මෙසේ මේ ශූන්‍යතානු දර්‍ශනයෙහි යම් චතුකෝටික ශූන්‍යතාවක් කියන ලද නම් එය පරිග්‍රහ කෙරේ.
ඒ මෙසේ යි. (1) මේ ‘නාහං කච්චනි’ යන්නෙන් කිසි තැනෙක්හි මම යයි ගත යුතු. ආත්මය නො දකී.
(2) ‘නකස්සචි කිඤ්චනතස්මිං’ යන්නෙන් තමා ගේ ආත්මය අන් කිසිවකුට කිඤ්චන (අයත්) බැව් එළවිය යුත්තක් නො දකීය යි භ්‍රාතෘ ස්ථානයෙහි භ්‍රාතෘහු හෝ සහාය ස්ථානයෙහි සහායයා හෝ පරිෂ්කාර ස්ථානයෙහි පරිෂ්කාර හෝ සලකා එළවිය යුත්තක් නො දකී යන අර්‍ථ යි.
(3) “න ච (මම) කච්චනි” යන්නෙහි (‘මම’ ශබ්දය හැර) අන්‍යයා ගේ ආත්මය ද කිසි තැනෙක නො දක්නේ ය. (දැන් මම ශබ්දය ගෙන)
(4) ‘න ච මම කිස්මිචි කිඤ්චනතත්‍ථි’ යන්නෙහි ඒ යෝගී තෙමේ අන්‍යයා ගේ ආත්මය ‘මා ගේ කිසි තැනෙක කිඤ්චක භාවයෙහි ඇතැයි නො දකීය යි, තමා ගේ භ්‍රාතෘ ස්ථානයෙහි භ්‍රාතෘහු හෝ සහාය ස්ථානයෙහි සහායයා හෝ පරිෂ්කාර ස්ථානයෙහි පරිෂ්කාරය හෝ සලකා කිසි තැනෙක්හි මෙරමාගේ ආත්මය මේ පරිෂ්කාරාදී කිඤ්චන භාවයෙන් එළවිය යුත්තක් කොට නො දකී, යන අර්‍ථ යි. මෙසේ මේ යෝගී තෙමේ කිසි තැනෙක ආත්මය නො දකින හෙයින් ඒ ආත්මය මෙරමාහට කිඤ්චක භාවයෙහි එළවිය යුත්තකු කොට නො දකී. (ආත්මය) තමාගේ කිඤ්චන භාවයෙහි එළවිය යුත්තකු කොට නො දකී. මෙරමා ගේ ආත්මය තමහට කිඤ්චන භාවයෙහි එළවිය යුත්තකු කොට නො දකී.
මෙසේ මොහු විසින් චතුකෝටික සුඤ්ඤතාව පරිග්‍රහ කොට නැවැතැ සයාකාරයෙකින් ශූන්‍යතාව පරිග්‍රහ කෙරේ.
ඒ මෙසේ ය:- චක්‍ෂුස (1) ආත්මයෙන් ද (2) ආත්මය පිළිබැඳි දැයින් ද (3) නිත්‍යයෙන් ද (4) ස්ථිරත්‍වයෙන් ද (5) ශාස්වතයෙන් ද (6) අවිපරිණාම ධර්‍මයෙන් ද ශූන්‍ය වේ. -පෙ- මනස ශුන්‍ය යැ. රූප ශුන්‍යය. -පෙ- ධර්‍ම ශූන්‍යය. චක්ඛු විඤ්ඤාණය ශූන්‍ය යැ. -පෙ- මනෝවිඤ්ඤාණය, චක්ඛුසම්ඵස්සයැ යි මෙසේ ජරා - මරණය තෙක් ක්‍රමය පැමිණ විය යුතු ය.
මෙසේ සය ආකාරයකින් ශුන්‍යත්‍වය පරිග්‍රහ කොට නැවැතැ අට ආකාරයකින් පරිග්‍රහ කළයුතු යි.
ඒ මෙසේ යි:- රූපය (1) නිත්‍යසාරයෙන් ද (2) ධුවසාරයෙන් ද, (3) සුඛසාරයෙන් ද (4) ආත්මසාරයෙන් ද (5) නිත්‍යයෙන් ද (6) ධුවයෙන් ද (7) ශාස්වතයෙන් ද (8) අවිපරිණාම ධර්‍මයෙන් ද අසාර යැ, නිස්සාර යැ. සාරාපගත යි.
වේදනාදිය ද මෙසේ මැ යි.
බට යැ, එරදඬු යැ, දිඹුල් යැ, හෙළවරා යැ, එරබදු යැ, පෙණපිඩ යැ, දිය බුබුළ යැ, මිරිඟු දිය යැ, කෙසෙල් කඳ යැ, මායා යැ යන මේවා යම් සේ අසාර වෙද් ද නිස්සාර වෙද්ද, සාරාපගත වෙද්ද, එසේ රූපය -පෙ- ජරා - මරණය, නිත්‍ය සාරයෙන් ද -පෙ- අවිපරිණාම ධර්‍මයෙන් ද අසාර ද, නිස්සාර ද, සාරාපගත ද, වේ යයි මෙසේ පරිග්‍රහණය කෙරේ.
ඒ යෝගී මෙසේ අට ආකාරයකින් ශූන්‍යතාව පරිග්‍රහ කොට නැවැතැ දශ ආකාරයෙකින් පරිග්‍රහ කෙරේ.
ඒ මෙසේයි:- (1) ඒ රූපය රික්ත වශයෙන් ද, (2) තුච්ඡ වශයෙන් ද (3) ශූන්‍ය වශයෙන් ද, (4) අනාත්ම වශයෙන් ද (5) අනීශ්චර වශයෙන් ද (6) අකාමකාරී හෙයින් ද (7) අලබ්හනීය හෙයින් ද, (8) අවශවත්තනක හෙයින් ද (9) පර හෙයින් ද (10) විවික්ත හෙයින් ද බලන්නේ යි. වේදනා -පෙ- විඤ්ඤාණය රික්ති හෙයින් -පෙ- විවික්ත හෙයින් බලන්නේ යි.
මෙසේ දශ ආකාරයෙන් ශූන්‍යත්‍වය පරිග්‍රහ කොට නැවත දොළොස් ආකාරයකින් පරිග්‍රහ කෙරේ.
ඒ මෙසේයි:- (1) රූපය සත්ත්‍වයෙක් (2) ජීවයෙක් (3) නරයෙක් (4) මානවකයෙක් (5) ස්ත්‍රියක් (6) පුරුෂයෙක් (7) ආත්මයක් (8) ආත්මය අයත් වස්තුවෙක් නො වේ. (9) මම නො වෙමි. (10) මාගේ නො වේ. (11) අනෙකකු ගේ නො වේ. (12) කිසිවකු ගේ නොවේ.
වේදනා -පෙ- විඤ්ඤාණය සත්ත්‍වයේක නො වේ. -පෙ- කිසිවකු ගේ නො වේය යි, මෙසේ දොළොස් (12) ආකාරයකින් ශූන්‍යත්‍වය පරිග්‍රහ කොට නැවැතැ තීරණ පරිඥා වශයෙන් දෙසාළිස් (42) ආකාරයකින් ශූන්‍යත්‍වය පිරිග්‍රහ කෙරේ. රූපය අනිත්‍ය හෙයින්- දුක් හෙයින් - රෝග හෙයින් ද, ගණ්ඩ- සල්ල - අඝ- ආබාධ- පර- පරොක- ඊති- උපද්දව - භය - උපස්සග්ග- චලපභඞ්ගු- අඬුව- අත්තාණ- අලෙන- අසරණ- අසරණිභූත- රිත්ත- සුඤ්ඤ - තුච්ඡ - අනිච්ච - අනස්සාද - ආදීනව - විපරිණාමධම්ම - අසාරක - අඝමූල - වධක - විභව - සාසව - සංඛත - මාරාමිස - ජාතිධම්ම - ජරාධම්ම - ව්‍යාධිධම්ම - මරණධම්ම - සොක - පරිදෙව - දුක්ඛ - දොමනස්ස - උපායාස ධම්ම විසින් ද, සමුදය- අස්තඞ්ගම- නිස්සරණ හෙයින් ද දකී. වේදනා -පෙ- විඤ්ඤාණය අනිත්‍ය හෙයින් -පෙ- නිස්සරණ හෙයින් දකී.
එයින් කීහ:- රූපය අනිත්‍ය හෙයින් -පෙ- නිස්සරණ හෙයින් බලන්නේ ශූන්‍ය හෙයින් ලෝකය බලයි. වේදනා -පෙ- විඤ්ඤාණය අනිත්‍ය හෙයින් -පෙ- නිස්සරණය හෙයින් බලන්නේ ශූන්‍ය හෙයින් ලෝකය බලයි.
“සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු - මොඝරාජ සදා සතො
අත්තානුදිට්ඨිං ඌභච්ච - එවං මච්චුතරො සියා
එවං ලොකං අවෙක්ඛන්තං - මච්චුරාජා න පස්සති”[2]
‘මෝඝරාජය! හැම කල්හි සිහි ඇති වැ සංස්කාර ලෝකය ශූන්‍ය වශයෙන් බලව, ආත්මානු (සත්කාය) දෘෂ්ටිය සමුච්ඡේද වශයෙන් නසා මෙසේ මරුන් එතර කරන්නේ වෙයි, මේ කී සේ ලෝකය බලන්නහු මාරයා නො දකී’
මෙසේ ශූන්‍යතා වශයෙන් දැක තිලකුණට නගා සංස්කාරයන් පරිග්‍රහ වශයෙන් සන්මර්‍ශනය කරනුයේ සංස්කාරයන් පිළිබැඳි විනාශය නිසා භය ද, සංස්කාරයන් ගේ සම්පත්තිය නිසා ඇතිවන ප්‍රීතිය ද හැර සංස්කාරයන් කෙරෙහි උදාසීන වෙයි. මැදිහත් වෙයි. ‘මම වෙමි’ යි කියා හෝ මාගේ ය යි කියා හෝ, අත්හළ භාර්‍ය්‍යාවක ඇති පුරුෂයකු මෙන් මිථ්‍යාදෘෂ්ටි වශයෙන් නො ගනී.
ඒ මෙසේයි:-පුරුෂයක් හට ප්‍රිය මනාප භාර්‍ය්‍යාවක් වූ හෙතෙමේ ඇයගෙන් වෙන්වැ මොහොතකුදු නොම වසයි. ඇයට අතිශයින් මමායන කෙරෙයි. හෙතෙමේ අන්‍ය පුරුෂයකු හා සිටින්නා වූ ද, හොත්තා වූ ද, කථා කරන්නා වූ ද, සිනාසෙන්නා වූ ද, ඇය දැක නො සතුටු සිත් ඇත්තේ කිපියේ ඉතා දොමනසක් විඳී. හෙතෙමේ පසුවැ ඇයගේ දොස් දැක ඇයගෙන් මිදෙනු කැමැත්තේ ඇය දුරු කරන්නේ ය. ඇය ‘මගේ’ ය යි නො ගනී. එතැන් පටන් ඇය යම් කිසිවකු හා යම් කිසිවක් කරනු දැක ද නො කිපෙන්නේ ය. දොම්නසකට නො පැමිණෙන්නේ ය. හුදෙක් ඒකාන්තයෙන් උදාසීන මැ වන්නේ යි මැදිහත් මැ වන්නේ යි. එසේ ම මේ යෝගී තෙමේ සර්‍ව සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැති වැ පටිසංඛානුපස්සනා ඤාණයෙන් සංස්කාරයන් සම්මර්‍ශනය කරනුයේ මමයැ මාගේ යැ යි ගතයුත්තක් නො දැක භය ද, ප්‍රේමය ද හැර සියලු සංස්කාරයන්හි උදාසීන වැ මැදිහත් වෙයි. මෙසේ දන්නා මෙසේ දක්නා ඒ යෝගීහු ගේ සිත තුන් භවයෙහි ද, සිවු යෝනියෙහි ද, පස් ගතියෙහි ද, සප්ත විඥානස්ථිතියෙහි ද, නවසත්ත්‍වා - වාසයෙහි ද, හැකිලෙයි, පැකිලෙයි, වැතිරෙයි, නො පැතිරෙයි මැදහත් බව හා පිළිකුල් බව හෝ පිහිටයි.
යම් සේ මඳක් නැමුණු පියුම් පතෙක දිය බින්‍දු හැකිලේ ද, පැකිලේ ද, වැතිරේ ද, නො පැතිරේ ද, ගින්නෙහි බහාලු කුකුළු පතක් හෝ නහර වැලක් හෝ හැකිලේ ද, පැකිලේ ද, වැතිරේ ද, නො පැතිරේ ද, එසේ ඔහුගේ සිත ද, තුන් භවයෙහි -පෙ- උපේක්‍ෂාව හෝ පිළිකුල් බව පිහිට යි. මෙසේ ඒ යෝගී හට සංඛාරුපෙක්ඛාඤාණය උපන්නේ වෙයි.
මේ සංඛාරුපෙක්ඛාඤාණය ශාන්තිපදය වූ නිර්වාණය ශාන්ත වශයෙන් දකී. සියලු සංස්කාර ප්‍රවෘත්තිය හැරපියා නිර්වාණයට වදී. නිර්‍වාණය ශාන්ත සේ නො දකී නම් නැවැතැ නැවැතැ සංස්කාරයන් ම අරමුණු කොට පවතී. සාමුද්‍රිකයන් ගේ දික් කවුඩා මෙනි.
ඒ මෙසේයි:- සමුද්‍රතරණය කරන වෙළෙන්දෝ නැව් නගින්නෝ දිශා කාකයකු ගනිති. ඔවුහු වාත වේගයෙන් පහරන ලද නැව විදේශයකට පැමිණ තෙරක් නො පැනේ නම් එකල දිශා කාකයා (අත්) හරිත්. ඌ කුඹගසින් අහට නැගී සියලු සතර දිග ද, සතර අනුදිග ද, අනුවැ ගොස් තෙරක් පැනේ නම් එයට අභිමුඛවැම යෙයි. එසේ නො දකී නම් නැවැතැ නැවැතැ අවුත් කුඹ ගසෙහි ම ලැගෙයි. එසේ ම සංස්කාරොපෙක්‍ෂාඥානය ශාන්ති පදය වූ නිර්වාණය ශාන්ත හෙයින් දකී නම් සියලු සංස්කාර ප්‍රවෘත්තිය හැර නිර්‍වාණයට ම පනී. එසේ නො දකී නම් නැවැතැ නැවැතැ සංස්කාරයන් අරමුණු කොට පවතී. ඒ විදර්‍ශකා ඥානය කුලු අග පොළනු ලබන පිටි මෙන් ද, ((කපු පොළන දුන්නෙන් පොළා) ඇට හරන ලද කපු පුළුන් මෙන් ද, නානාප්‍රකාරයෙන් සංස්කාරයන් පරිග්‍රහ කොට භය ද, නන්‍ද්‍රිය ද, හැරපියා සංස්කාර පරිග්‍රහයෙහි මැදැහැත් වැ ත්‍රිවිධානුදර්‍ශනා වශයෙන් සිටී. මෙසේ පරිග්‍රහයෙහි මැදහත් වැ ත්‍රිවිධානුදර්‍ශනා වශයෙන් සිටී. මෙසේ සිටි ඒ සංස්කාරෝපේක්‍ෂාඥානය ත්‍රිවිධ විමෝක්‍ෂ මුඛභාවයට පැමිණ සද්ධානුසාරි ආදී සප්තආර්‍ය්‍යපුද්ගලභාවය පිණිස ප්‍රත්‍යය වේ. ත්‍රිවිධ අනුපස්සනා වශයෙන් පවත්නා හෙයින් ශ්‍රද්ධා- සමාධි- ප්‍රඥා යන ත්‍රිවිධ ඉන්‍ද්‍රියන් ගේ අධිපති වශයෙන් ත්‍රිවිධ විමෝක්‍ෂ මුඛභාවයට පැමිණේ නම්වේ.
විස්තර:- අනිච්චානුපස්සනාව බහුලවූවහුට ශ්‍රදේධන්‍ද්‍රියය බලවත් වේ. අනිමිත්තවිමොක්‍ෂ මුඛය වේ. දුක්ඛානුපස්සනාව බහුලවූවහුට සමාධින්‍ද්‍රයි බලවත් වේ. අප්‍රණිහිත විමොක්‍ෂ මුඛය වේ. අනත්තානුපස්සනාව බහුලවූවහුට ප්‍රඥෙන්‍ද්‍රියය බලවත් වේ. ශුන්‍යතා විමොක්‍ෂ මුඛය වේ. මෙසේ ත්‍රිවිධ ඉන්‍ද්‍රියයන්ගේ අධිපත් භාවයෙන් ත්‍රිවිධ විමොක්‍ෂමුඛ භාවයට යේ.
එයින් වදාළහ:- “තීනි ඛො පණිමානි විමොක්ඛමුඛානි ලොක නීයානාය සංවත්තන්ති. සබ්බසඞ්ඛාරෙ පරිච්ඡෙද වටුමතො සමනුපස්සනාය අනිමිත්තාය ච ධාතු යා චිත්ත සමක්ඛන්‍දනතාය සබ්බසංඛාරෙසු මනො සමුත්තෙජනතාය අප්පණිහිතාය ච ධාතුයා චිත්ත සම්පක්ඛන්‍දනතාය සබ්බ ධම්මෙ පරතො සමනුපස්සනතාය සුඤ්ඤතාය ච ධාතුයා චිත්ත සම්පක්ඛන්‍දනතාය. ඉමානි තීනි විමොක්ඛමුඛානි ලොකනීයානාය සංවත්තන්ති”[3]
‘ලොවින් (වට දුකින්) නික්ම යාම පිණිස මේ විමෝක්‍ෂ මුඛ තුනක් පවතී. සියලු සංස්කාරයන් උදය - ව්‍යය වශයෙන් පරිච්ඡේද හෙයින් ද, මනාව බලන හෙයින් ද, සර්‍වසංස්කාරක නිමිති නැති හෙයින් අනිමිත්ත වූ අසංඛත ධාතුවෙහි අධිචිත්තයා ගේ අනුප්‍රවේශය පිණිස ද, සියලු සංස්කාරයන් කෙරෙහි චිත්ත සමුත්තේජනය පිණිස ද, රාග ප්‍රණිධින් ගේ අභාවයෙන් අප්‍රණිහිත ධාතුවෙහි චිත්තයා ගේ අනුප්‍රවේශය පිණිස ද, සියලු සංස්කාර ධර්‍ම අනාත්ම හෙයින් බලනුවහට ආත්ම ශූන්‍ය හෙයින් ශූන්‍යතා ධාතුවෙහි චිත්තයා ගේ අනුප්‍රවේශය පිණිස ද පවතිත්. මෙසේ මේ ත්‍රිවිධ විමෝක්‍ෂ මුඛ සසර දුකින් එතර වනු පිණිස පවතී.
විස්තර:- පරිච්ඡේද වටුමතො යන උදය-ව්‍යය වශයෙන් පරිච්ඡේද බැවින් ද, අවටින් මං සෙවීම් වශයෙන් පරිවටුම් බැවින් ද යන අර්‍ථ යි.
ඒ මෙසේ යි:- අනිච්චානුපස්සනාව උදයයෙන් පූර්‍වයෙහි සංස්කාර නැතැයි පිරිසිඳ ඒ සංස්කාරයන් ගේ නිෂ්පත්තිය (ගතිය) සොයනුයේ ව්‍යායයෙන් මත්තට නොයේමැ යි. මෙහි ම අතුරුදහන් වේය යි, පරිවටුම හෙයින් බලයි.
“මනොසමුත්තෙජනතාය” යනු සංස්කාරයන් ගේ ස්වභාවය සැලකීමෙන් සංවේගයට පැමිණි චිත්තය සම්‍යක් ප්‍රතිපත්තියෙහි තියුණු කරන පිණිස යන අර්‍ථ යි. දුක්ඛානුපස්සනාවෙන් චිත්තය සංවේගයට පැමිණේ.
“පරතොසමනුපස්සනතාය” යනු (මම නො වෙමි. මාගේ නො වේය යි මෙසේ) අනාත්ම හෙයින් මෙනෙහි කිරීම පිණිස යැ. මෙසේ මේ පදත්‍රය අනිත්‍යානුදර්‍ශනාදි වශයෙන් කියන ලදි. එහෙයින් ම “අනිච්චතො මනසිකරොතො කථං ඛයතො සංඛාර උපට්ඨහන්ති” අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට කෙසේ ක්‍ෂය වශයෙන් සංස්කාර වැටහේදැ යි’ කී ප්‍රශ්න විසඳීමෙහි ලා අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නහුට ක්‍ෂය වශයෙන් සංස්කාර වැටහේ. දුක් වශයෙන් මෙනෙහි කරන්නහුට භය වශයෙන් සංස්කාර වැටහේ. අනාත්ම හෙයින් මෙනෙහි කරන්නහුට ශූන්‍ය හෙයින් සංස්කාර වැටහේය යි කියන ලදි.
විමොක්ඛ = මේ අනුපස්සනාවන් ම මුඛවන්නා වූ ඒ විමොක්‍ෂයෝ කවරහූ ද නිත්‍ය නිමිති ආදිය ගේ අභාවයෙන් අනිමිත්ත විමොක්‍ෂණය ද, තෘෂ්ණා ප්‍රණිධීන් ගේ අභාවයෙන් අප්‍රණිහිතා විමෝක්‍ෂය ද, ආත්ම ශූන්‍යතායෙන් ශූන්‍යතා විමෝක්‍ෂය දැ යි මේ විමෝක්‍ෂයෝ තිදෙන වෙත්.
එයින් වදාළහ:- “අනිච්චතො මනසි කරොන්තො අධි මොක්ඛ බහුලො අනිමිත්තවිමොක්ඛං පටිලභති. දුක්ඛතො මනසි කරොන්තො පස්සද්ධි බහුලො අප්පණිහිත විමොක්ඛං පටිලභති. අනත්තතො මනසි කරොන්තො වෙදබහුලො සුඤ්ඤතා විමොක්ඛං පටිලභති”[4]
‘අනිත්‍ය හෙයින් මෙනෙහි කරන යෝගී අධිමෝක්‍ෂය බහුල වූයේ අනිමිත්ත විමෝක්‍ෂය පිළිලබ යි. දුඃඛ වශයෙන් මෙනෙහි කරනුයේ සංසිඳීම් බහුල වූයේ අප්‍රණිහිත විමෝක්‍ෂය පිළිලබ යි. අනාත්ම හෙයින් මෙනෙහි කරනුයේ ආත්ම ශුන්‍යතානුදර්‍ශන බහුල වූ යේ ශූන්‍යතා විමෝක්‍ෂය පිළිලබ යි.’
විස්තර:- එහි “අනිමිත්තවිමොක්ඛො” යනු අනිත්‍යානු දර්‍ශනයෙන් අනිමිත්ත වශයෙන් සංස්කාරයන් පරිග්‍රහ කොට විදර්‍ශනා වඩන යෝගීහු ගේ අනිමිත්තාකාරයෙන් නිර්‍වාණය අරමුණු කොට පැවැති ආර්‍ය්‍ය මාර්‍ගය යි.
ඒ මෙසේ යි:- ඒ ආර්‍ය්‍යමාර්‍ගය අනිමිත්ත ධාතුවෙන් උපන් හෙයින් අනිමිත්ත නම් ද, කෙලෙසුන් කෙරෙන් මිදුණු හෙයින් විමොක්ඛ නම් ද වේ. මේ ක්‍රමයෙන් ම අප්‍රණිහිතාකාරයෙන් නිර්‍වාණය අරමුණු කොට පැවැති ආර්‍ය්‍යමාර්‍ගය අප්‍රණිහිත විමෝක්‍ෂ නමි. ශූන්‍යතාකාරයෙන් නිර්‍වාණය අරමුණු කොට පැවැති ආර්‍ය්‍ය මාර්‍ගය ශූන්‍යතාවිමෝක්‍ෂය යි දතයුතු.
ප්‍රශ්නයෙකි:- ආර්‍ය්‍යමාර්‍ගය ත්‍රිවිධ විමෝක්‍ෂනාමය ලබා නම් අභිධර්‍මයෙහි කුමක් හෙයින් විමොක්ෂ ද්‍වයයෙක් ආයේ ද
“යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නීයානිකං අපචයගාමි දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙච කාමෙහි- පඨමජ්ඣානං උපස්මපජ්ජ විහරති. අප්පණිහිතං -පෙ- සුඤ්ඤතං”[5]
‘යම් කලෙක දෘෂ්ටීන් ගේ ප්‍රහාණය පිණිස (සෝවාන් ඵලයට පැමිණීම පිණිස) නීයානික වූ ත්‍රෛභූමක වූ සංස්කාරයන් විධ්වංසනය කෙරෙමින් පැවැති ලෝකෝත්තර ධ්‍යානය වඩා ද කාමයෙන් (සමුච්ඡෙද ප්‍රමාණයෙන්) වෙන්වැ අප්පණිහිත නම් වූ ද, සුඤ්ඤත නම් වූ ද ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේ ද, එහෙයින් මෙසේ විමොක්‍ෂ දෙකක් ම වදාරන ලදැයි දත යුතු.
විශේෂ:- අභිධර්‍ම පර්‍ය්‍යායයෙහි ඒ විමොක්‍ෂද්‍වයයක් (නිෂ්පර්‍ය්‍යායෙන්) විදර්‍ශනායෙන් මාර්‍ගගමනය සඳහා වදාරන ලදී.
අනිමිත්ත විපස්සනා ආගමනීය ස්ථානයෙහි සිට තමා ගේ මාර්‍ගයට නම් දෙන්නට නො පොහොසත් වේ. (සත්‍යයෙහි මේ පිළිබඳ මතාන්තර සහිත වැ විස්තර වේ.)
විස්තර:- විදර්‍ශනා ඥානය වැලිත් (පටිසම්භිදාමග්ගයෙහි) අනිච්චානුපස්සනා ඤාණය නිත්‍ය වශයෙන් අභිනිවේශය මුදන හෙයින් සුඤ්ඤතාවිමොක්ඛය, දුක්ඛානුපස්සනා ඤාණය සුඛ වශයෙන් අභිනිවෙශය මුදන හෙයින් සුඤ්ඤතාවිමොක්ඛ ය. අනත්තානුපස්සනා ඤාණය ආත්ම වශයෙන් අභිනිවේශය මුදන හෙයින් සුඤ්ඤතාවිමොක්ඛය යි. මෙසේ අභිනිවෙශ මුඤ්චන වශයෙන් සුඤ්ඤතාවිමොක්ඛයයි ද,
අනිච්චානුපස්සනා ඤාණය නිත්‍ය වශයෙන් පැවැති සංස්කාර නිමිත්ත මුදන හෙයින් අනිමිත්තවිමෝක්‍ෂයයි ද, දුක්ඛානුපස්සනා ඤාණය සුඛ වශයෙන් පැවැති සංස්කාර නිමිත්ත මුදන හෙයින් අනිමිත්තවිමෝක්‍ෂයයි ද, අනත්තානුපස්සනා ඤාණය ආත්ම වශයෙන් පැවැති සංස්කාර නිමිත්ත මුදන හෙයින් අනිමිත්ත විමොක්‍ෂය යි ද, මෙසේ නිමිත්ත මිදීම් වශයෙන් අනිමිත්ත විමොක්‍ෂය යි ද,
අනිච්චානු පස්සනා ඤාණය නිත්‍ය වශයෙන් පැවැති තෘෂ්ණා ප්‍රණිධිය මුදන හෙයින් අප්‍රණිහිතවිමොක්‍ෂය යි ද, දුක්ඛානුපස්සනා ඤාණය සුඛ වශයෙන් පැවැති තෘෂ්ණා ප්‍රණිධිය මුදන හෙයින් අප්‍රණිහිතවිමෝක්‍ෂය යි ද, අනත්තානුපස්සනා ඤාණය ආත්ම වශයෙන් පැවැති තෘෂ්ණා ප්‍රණිධිය මුදන හෙයින් අප්‍රණිහිතවිමෝක්‍ෂය යි ද, මෙසේ ප්‍රණිධි මිදීම් වශයෙන් අප්‍රණිහිතවිමෝක්‍ෂය යි ද කියන ලදි.
එහෙත් ඒ ත්‍රිවිධ විදර්‍ශනාඥානය සංස්කාර නිමිත්ත දුරු නො කරන හෙයින් නිෂ්පර්‍ය්‍යායයෙන් අනිමිත්තවිමෝක්‍ෂ නො වේ.
නිෂ්පර්‍ය්‍යායයෙන් වනාහි සුඤ්ඤතාවිමෝක්ඛ ද, අප්පණිහිත විමෝක්ඛ ද වේ. අභිධර්‍ම ක්‍රමයෙහි ඒ දර්‍ශන (ඥාන) යාගේ ආගමන වශයෙන් ආර්‍ය්‍යමාර්‍ගක්ෂණයෙහි විමෝක්ෂයට නගන ලදි. එහෙයින් නිෂ්පර්‍ය්‍යාය භාවයෙන් අප්පණිහිත යැ, සුඤ්ඤත යැ යි විමෝක්ෂ දෙක්ක ම වදාරණ ලදැ යි දතයුතු.
මේ විමොක්ඛ කථා යැ.
‘මේ සප්ත ආර්‍ය්‍ය පුද්ගල විභාගය පිණිස ප්‍රත්‍ය වේය යි’ කී හෙයින් මෙහි ඒ ආර්‍ය්‍ය පුද්ගල විභාගය වේ. සද්ධානුසාරී යැ, සද්ධාවිමුත්ත යැ, කායසක්ඛි යැ, උභතොඵාගවිමුත්ත යැ, ධම්මානුසාරී යැ, දිට්ඨප්පත්ත යැ, පඤ්ඤාවිමුත්ත යැ, යන මොහු සප්ත ආර්‍ය්‍ය පුද්ගලයෝ යි. ඔවුන්ගේ එම විභාගයට මේ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය ප්‍රත්‍යය වේ.
විස්තර:- යමෙක් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ ශ්‍රද්ධාව බහුල කොට ඇත්තේ ශ්‍රද්ධේන්‍ද්‍රිය ප්‍රතිලාභය කෙරේ ද ඒ ආර්‍ය්‍ය පුද්ගලයා සෝවාන් මාර්‍ග ක්‍ෂණයෙහි සද්ධානුසාරී නම් වේ. සෙසු සත්-මාර්‍ග ඵලයන්හි දී සද්ධවිමුත්ත වේ. යමෙක් දුඃඛ වශයෙන් මෙනෙහි කරන්නේ පස්සද්ධි බහුල වූයේ සමාධින්‍ද්‍රිය ප්‍රතිලාභය කෙරේ ද ඒ ආර්‍ය්‍ය පුද්ගල තෙමේ හැම තන්හි ම කායසක්ඛි නම් වේ.
අරූප ධ්‍යානයට පැමිණ අර්හත්‍වයට පැමිණියේ උභතොභාග විමුත්ත නම් වේ.
යමෙක් වනාහි අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ වදෙ (දැනීම) බහුල කොට ඇත්තේ ප්‍රඥෙන්‍ද්‍රියය ප්‍රතිලාභය කෙරේ ද ඒ ආර්‍ය්‍ය පුද්ගල තෙමේ සෝවාන් මාර්‍ගක්‍ෂණයෙහි ධම්මානුසාරී නම් වේ. සෝවාන් ඵලය පටන් අර්‍හත්මාර්‍ග ක්‍ෂණය තෙක් සතන්හි දිට්ඨප්පත්ත නම් වේ. අර්හත් ඵලයෙහි පඤ්ඤාවිමුත්ත නම් වේ.
මේ සඳහා “අනිච්චතො මනසිකරොතො සද්ධින්‍ද්‍රියං අධිමත්තං හොති. සද්ධින්ද්රියස්ස අධිමත්තත්තා, සොතාපත්ති මග්ගං පටිලභති. තෙනවුච්චති සද්‍ධානුසාරීති. තථා අනිච්චතො මනසිකරොතො සද්ධින්‍ද්‍රියං අධිමත්තං හොති. සද්ධින්ද්රියස්ස අධිමත්තත්තා සොතාපත්තිඵලං සච්ඡිකතං හොති. තෙන වුච්චති සද්‍ධා විමුත්තොති”[6] වදාරන ලදි. (අර්‍ථ කීයේමැ යි.) තවද හේතුඵල විශ්වාස කෙරෙමින් කෙලෙසුන් කෙරෙන් මිදුනේ සද්ධාවිමුත්ත නම් වේ. වුඨානන්තයෙහි (අරූපධ්‍යානයට අනතුරු වැ) මාර්‍ගඵල ප්‍රත්‍යවෙක්‍ෂා කෙළේනු යි කායසක්ඛි නම් වේ. දර්‍ශනාන්තයෙන් (සෝතාපත්ති මාර්‍ගයට අනතුරු වැ) සෝතාපත්ති ඵලයෙහි පටන් අර්‍හත් මාර්‍ගය තෙක් පැමිණියේ නු යි දිට්ඨපත්ත නම් වේ. හැදහීමෙන් කෙලෙසුන් කෙරෙන් මිදුණේ සද්‍ධාවිමුත්ත නම් වේ. ධ්‍යානය පළමු ස්පර්‍ශ කොට පසුවැ නිරෝධය (නිර්‍වාණය) ප්‍රත්‍යක්‍ෂ කරනුයේ කායසක්ඛි නම් වේ. සංස්කාර දුක් යැ, නිරෝධය සුඛයැ යි දක්නා ලද්දේ ප්‍රකට කොට දක්නා ලද්දේ ස්පර්‍ශ කරන ලද්දේනු යි දිඨප්පත්ත නම් වේ.
මේ සද්ධානුසාරී ආදී සතර පදයන් අතුරින් ශ්‍රද්ධාව අනුවැ යේනු යි හෝ ශ්‍රද්ධාවෙන් අනුවැ යේනු යි සද්ධානුසාරී නමි. ප්‍රඥාව අනුවැ යේනුයි (ධර්‍මයෙන්) ප්‍රඥාවෙන් අනුවැ යේනු යි ධම්මානුසාරී නමි. අරූපධ්‍යානයෙන් ද, ආර්‍ය්‍යමාර්‍ගයෙන්දැ යි දෙකොටසින් මුක්තවූයේනු යි උභතොභාගවිමුත්ත නමි. (රූපකාය - නාමකාය වශයෙන් හෝ විෂ්කම්භන - සමුච්ඡෙද වශයෙන් හෝ උභය භාගයෙන් හෝ උභය වාරයෙන් මිදුණේ උභතොභාග විමුක්ත යැ යනු ටීකාර්‍ථ යි.) අනිත්‍යාදි වශයෙන් ප්‍රකාරයෙන් දැන කෙලෙසුන් කෙරෙන් මිදුණේනු යි පඤ්ඤාවිමුත්ත නමැ යි මෙසේ වචනාර්‍ථ දතයුතු.
(සඞ්ඛාරුපෙක්ඛා ඤාණය යි.)
මේ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය පළමු කී (මුඤ්චිතුකම්‍යතා - පටිසඞ්ඛානුපස්සනා යන) ඤාණ දෙක හා අර්‍ථ වශයෙන් එකෙකි. (ප්‍රවෘත්ති ආකාරයෙන් වෙනසි.)
එහෙයින් කීහ පැරැණියෝ:- “ඉදං සඞ්ඛාරුපෙක්ඛාඤාණං එවමෙව තීනි නාමානි ලභති. හෙඨා මුඤ්චිතුකම්‍යතාඤාණං නාම ජාතං. මජ්ඣෙ පටිසඞ්ඛානුපස්සනා ඤාණං නාම. අන්තෙ ච සිඛාප්පත්තං සංඛාරුපෙක්ඛා ඤාණං නාම”[7]
‘එකල මේ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය යටැ මුඤ්චිතුකම්‍යතා ඤාණ නමැ යි ද, මැද පටිසඞ්ඛානුපස්සනා ඤාණ නමැයි ද, අන්තයෙහි මස්තකප්‍රාප්ත වූයේ සඞ්ඛාරුපෙක්ඛ ඤාණ නම්දැ යි නම් තුනක් ලබයි.’
පෙළෙහි ද- කථං මුඤ්චිතුකම්‍යතා පටිසංඛාසන්තිඨනා පඤ්ඤා සංඛාරුපෙක්ඛාසු ඤාණං පවත්තං -පෙ- නිමිත්තං -පෙ- උපායාසං මුඤ්චිතුකම්‍යතා පටිසඞ්ඛා සන්තිඨනා පඤ්ඤා සංඛාරුපෙක්ඛාසු ඤාණං. උප්පාදො දුක්ඛන්ති -පෙ- භයන්ති සාමිසන්ති -පෙ- උප්පාදො සංඛාරාති -පෙ- උපායාසො සංඛාරාති මුඤ්චිතුකම්‍යතා පටිසංඛා සන්තිඨානා පඤ්ඤා සංඛාරුපෙක්ඛාසු ඤාණං”1 මුඤ්චිතුකම්‍යතා ඤාණය, පටිසඞ්ඛා ඤාණය, සන්තිට්ඨනා ඤාණය යන තුන කෙසේ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය වේ ද පැවැත්ම ද, නිමිත්ත ද -පෙ- උපායාසය ද, මුඤ්චිතුකම්‍යතා ඤාණය, පටිසංඛා ඤාණය, සන්තිටඨනා ඤාණය යන තුන සංඛාරුපෙක්ඛා ඤාණය යි. උත්පාදය දුකයැ යි ද, භයෙකැයි ද, සාමිෂයැ යි ද -පෙ- උත්පාදය සංස්කාරයැ යි ද -පෙ- උපායාසය සංස්කාරයැයි යි ද, මුඤ්චිතුකම්‍යතා - පටිසංඛා- සන්තිට්ඨනා ඤාණය සංඛාරුපෙක්ඛාහි ඤාණය යි.
මුඤ්චිතුකම්‍යතා ද -පටිසංඛා ද - සන්තිට්ඨානා ද හේමනු යි මුඤ්චිතුකම්‍යතා-පටිසංඛා-සන්තිට්ඨනා නම.
මෙසේ මාර්‍ගයට පූර්‍වයෙහි නිර්වේදඥානයෙන් කළකිරුණු පුද්ගලයා ගේ උත්පාදාදීන් (ඡන්‍දරාග ප්‍රහාණයෙන්) හරිනු කැමති බව මුඤ්චිතුකම්‍යතා නම. මිදීමට උපාය කරනු පිණිස මධ්‍යයෙහි ප්‍රත්‍යවේක්‍ෂා කිරීම පටිසඞ්ඛා ඤාණ නමි.
මිදීමෙන් අවසන්හි අපේක්‍ෂාව හැරීම වශයෙන් මැදිහත්වීම සන්තිට්ඨනා නම.
ඒ සඳහාම - “උත්පාදය සංස්කාර යැ, සංස්කාරයන් ගේ මැදහත් බව බැලීම සඞ්ඛාරුපෙක්ඛා යැ” යනාදිය කී මෙසේ මේ ත්‍රිවිධ ඥානය එකෙක් මැ යි. වැලි මේ පිළිවෙළින් ද එකක්මය යි දතමනා යැ.
“යා ච මුඤ්චිතුකම්‍යතා, යා ච පටිසඞ්ඛා, යා ච සංඛාරු පෙක්ඛා ඉමෙ ධම්මා එකට්ඨා ව්‍යඤ්ජනමෙව නානා”[8] ‘යම් මුඤ්චිතුකම්‍යතායෙක් වේ ද යම් පටිසංඛාඤාණයෙක් වේද, යම් සංඛාරුපෙක්ඛාඤාණයෙක් වේ ද මේ ධර්‍මයෝ ඒකාර්‍ථය හ. ව්‍යඤ්ජනයහ වෙනසි’ යි එහෙයින් කියන ලදි.
මෙසේ අධිගත සංඛාරුපෙක්ඛාඤාණ ඇති මේ කුල පුත්‍රයාගේ මස්තකප්‍රාප්ත විදර්‍ශනාව වුට්ඨාන සංඛ්‍යාත මාර්‍ගයට යන හෙයින් වුට්ඨානගාමිනී වේ.
විශේෂ:- සිඛාප්පත්තවිපස්සනා යැ යි ද වුට්ඨානගාමිනී යැයි ද, මෙකී සංඛාරුපෙක්ඛා ය, අනුලොම ය, ගෝත්‍රභූය යන මේ ඤාණ තුනට ම නමි.
ඒ සංස්කාරෝපේක්‍ෂා ඥානය (සිඛාවට) කෘත්‍ය වශයෙන් ද, ප්‍රවෘත්ති වශයෙන් ද, ලෞකික ඥානයන් ගේ මස්තකයට උත්තම භාවයට පැමිණි හෙයින් සිඛාප්‍රාප්ත නම් වේ. වුට්ඨානයට (නැගීමට) යන හෙයින් වුට්ඨානගාමිනී නමුදු වේ.
ඒ මෙසේ යි:- පිටත විදර්‍ශනාවට අරමුණු වූ අභිනිවේශ කළ පඤ්චස්කන්ධ සංඛ්‍යාත වස්තුවෙන් ද, ස්වසන්තානයෙහි පවත්නා හෙයින් අජ්ඣත්තප්පත්තයි යි කියන ලද මිථ්‍යාදෘෂ්ටි ආදියෙන් හා ඒ අනුවැපවත්නා කෙලෙසුන් කෙරෙන් ද නැගී සිටින හෙයින් මාර්‍ගය වුට්ඨානය යි කියනු ලැබේ. ඒ වුට්ඨානයට යන හෙයින් වුට්ඨානගාමිනී නම. මාර්‍ගය හා ඝටනා කරනු ලැබේ යන අර්‍ථයි.
එහි අභිනිවේශ - වුට්ඨානයෙන් හෙළි පෙහෙළි වීම සඳහා මේ මාතෘකාවය අද්‍ධ්‍යාත්මයෙහි පිවිස අද්‍ධ්‍යාත්මයෙන් නැගී සිටී. අද්‍ධ්‍යාත්මයෙහි පිවිස බාහිරයෙන් නැගී සිටී. බාහිරයෙහි පිවිස අද්‍ධ්‍යාත්මයෙන් නැගී සිටී.
රූපයෙහි පිවිස රූපයෙන් නැගී සිටී. රූපයෙහ පිවිස අරූපයෙන් නැගී සිටී. අරූපයෙහි පිවිස අරූපයෙන් නැගී සිටී. අරූපයෙහි පිවිස රූපයෙන් නැගී සිටී.
ඒක ප්‍රහාරයෙන් පඤ්චස්කන්‍ධයෙන් නැගී සිටී.
අනිත්‍ය විසින් පිවිස අනිත්‍ය විසින් නැගී සිටී. අනිත්‍ය විසින් පිවිස දුක් විසින් ද, අනාත්ම විසින් ද නැගී සිටී. දුක් විසින් පිවිස දුක් විසින් ද, අනිත්‍ය විසින් ද, අනාත්ම විසින් ද, නැගී සිටී. අනාත්ම විසින් අනාත්ම විසින් ද, අනිත්‍ය විසින් ද, දුක් විසින් ද නැගී සිටී.
කෙසේ ද යත්:- මේ ශාසනයෙහි ඇතැම් යෝගාවචරයෙක් පළමුකොට ම අධ්‍යාත්ම සංස්කාරයන් විෂයෙහි පිවිසෙ යි. (විදර්‍ශනාව ආරම්භ කෙරේ.) පිවිස ඒ සංස්කාරයන් බල යි. හුදු අධ්‍යාත්ම සංස්කාරයන්හි මාර්‍ග ව්‍යුත්‍ථානය නො වන හෙයින් පිටත්හිදු බැලිය යුතු වේ. එහෙයින් පරසන්තාන ගත ස්කන්‍ධයන් ද, අනීන්‍ද්‍රියබද්ධ සංස්කාරයන් ද අනිත්‍ය යැ. දුඃඛ යැ, අනාත්මයැ යි දකී. ඒ යෝගී කලෙක ස්වසන්තානය ද, කලෙක පරසන්තානය ද, සන්මර්‍ශනය කෙරේ. මෙසේ සන්මර්‍ශනය කරන ඒ යෝගී අධ්‍යාත්ම ධර්‍මයන් සන්මර්‍ශනය කරන කාලයෙහි විදර්‍ශනාව මාර්‍ගය හා ගැළපේ නම් අධ්‍යාත්මයෙහි පිවිස අධ්‍යාත්මයෙන් නැගී සිටී නම් වේ. බාහිර ධර්‍මයන් සන්මර්‍ශනය කරන කලැ විදර්‍ශනාව මාර්‍ගය හා ගැළපේ නම් අධ්‍යාත්මයෙහි පිවිස බාහිරයෙන් නැගී සිටී නම් වේ. පිටත්හි පිවිස පිටතින් ද, අධ්‍යාත්මයෙන් නැගී සිටීමෙහිදු මේ ක්‍රමය මැයි. අනෙක් යෝගියෙක් ආදියෙහි ම රූපයෙහි පිවිසෙයි. පිවිස භූත රූප ද, උපාදාරූප ද රැසක් කොට දකී. හුදු රූප දර්‍ශන මාත්‍රයෙන් ම මාර්‍ග ව්‍යුත්‍ථාපනය නො වන හෙයින් අරූපය ද දැකිය යුතු වේ. එහෙයින් ඒ රූපය අරමුණු කොට උපන් ‘වේදනා - සංඥා - සංස්කාර - විඥාන යන මෙය අරූපය’යි අරූපය සන්මර්‍ශනය කෙරේ. හෙතෙම කලෙකැ රූපය සන්මර්‍ශනය කෙරේ. කලෙක අරූපය සන්මර්‍ශනය කෙරේ. මෙසේ සන්මර්‍ශනය කරන ඒ යෝගීහට රූප සන්මර්‍ශනය කරන කාලයෙහි විදර්‍ශනාව මාර්‍ගය හා ගැළපේ නම් මේ අරූපයෙහි පිවිස අරූපයෙන් නැගී සිටී නම් වේ. අරූප සන්මර්‍ශනය කරන කාලයෙහි විදර්‍ශනාව මාර්‍ගය හා ගැලපේ නම් මේ අරූපයෙහි පිවිස අරූපයෙන් නැඟී සිටී නම් වේ.
අරූපයෙහි පිවිස අරූපයෙන් නැගී සිටීමෙහි ද රූපයෙහි පිවිස රූපයෙහි නැඟී සිටීමෙහිදු මේ ක්‍රමය මැ යි.
“යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරොධ ධම්මං”[9] යි ‘උදය වන සුලු වූයේ ව්‍යය වන සුලුයැ යි’ මෙසේ අභිනිවේශ කොට එසේම ව්‍යුත්‍ථාන කාලයෙහි එක ප්‍රහාරයෙන් පඤ්චස්කන්‍ධයෙන් නැඟී සිටී නම් වේ.
එක් යෝගියෙක් ආදියෙහි ම අනිත්‍ය හෙයින් සංස්කාරයන් සන්මර්‍ශනය කෙරේ. අනිත්‍ය හෙයින් සන්මර්‍ශනය කළ මාත්‍රයෙන් ම ව්‍යුත්‍ථානය නො වන හෙයින් දුඃඛ හෙයින් ද, අනාත්ම හෙයින් ද, සන්මර්‍ශනය කළයුතු ම වේ. එහෙයින් දුඃඛ හෙයින් අනාත්ම හෙයින් සන්මර්‍ශනය කෙරේ. එසේ පිළිපන්නහුට අනිත්‍ය හෙයින් සන්මර්‍ශනය කරන කලැ වුට්ඨානය වේ නම් මේ අනිත්‍ය විසින් පිවිස අනිත්‍ය විසින් නැඟී සිටී නම් වේ. දුඃඛ වශයෙන්, අනාත්ම වශයෙන් අභිනිවේශ කරන කල ව්‍යුත්‍ථානය වේ නම් මේ අනිත්‍ය විසින් පිවිස දුක් විසින් අනාත්ම විසින් නැඟී සිටී නම් වේ.
දුඃඛ හෙයින් අනාත්ම හෙයින් අභිනිවේශ කොට ශේස ව්‍යත්‍ථානයන්හිදු මේ ක්‍රමය මැයි.
මේ යෝගීන් අතුරෙන් යමෙක් අනිත්‍ය හෙයින් ද, යමෙක් දුඃඛ හෙයින් ද, යමෙක් අනාත්ම හෙයින් ද, අභිනිවේශ කෙළේ නම් වුට්ඨාන කාලයෙහි ද අනිත්‍ය හෙයින් වුට්ඨානය වේ. තුන් දෙනම අධිමෝක්‍ෂ බහුලයෝ වෙති. ශ්‍රද්ධෙන්‍ද්‍රිය පිළිලබති. අනිමිත්ත විමෝක්‍ෂයෙන් මිදෙති. ප්‍රථම මාර්‍ගක්‍ෂණයෙහි සද්ධානුසාරීහු වෙති. සෙසු සත් තන්හි ශ්‍රද්ධා විමුක්තයෝ වෙත්.
දුඃඛ හෙයින් වුට්ඨානය වේ නම් තිදෙනම පස්සධි බහුලයෝ වෙති. සමාධින්‍ද්‍රිය පිළිලබති. අප්‍රණිහිත විමෝක්‍ෂයෙන් මිදෙති. සියලු තන්හි කායසක්ඛීහු වෙති.
අරූපධ්‍යානය මෙහිදී යමෙකුට පාදක වේ නම් හේ අර්‍හත් ඵලයෙහි දී උභතොභාග විමුක්ත වේ. වැලි අනාත්ම හෙයින් වුට්ඨානය වේ නම් ඔහු තිදෙනම ප්‍රඥා බහුලයෝ වෙති. ප්‍රඥෙන්‍ද්‍රිය පිළිලබති. ශූන්‍යතා විමෝක්‍ෂයෙන් මිදෙත්. ප්‍රථම මාර්‍ග ක්‍ෂණයෙහි ධර්‍මානුසාරීහු වෙති. සතැනෙක දිඨප්පත්තයෝ වෙති. අර්‍හත් ඵලයෙහි ප්‍රඥා විමුක්තයෝ වෙත්.
දැන් පූර්‍ව වූ භයතුපඨානදි ඤාණයෙන් ද, පසුවැ කී ගෝත්‍රභු ආදී ඤාණයන් ද සමග වුට්ඨානගාමිනී විදර්‍ශනාව ප්‍රකාශ කරනු පිණිස මේ දොළොස් (12) උපමාවො දතයුතු වෙත්. මේ ඔවුන්ගේ උද්දානයයි.
“වග්ගුලී කණහසප්පො ච - ඝරං ගො යක්ඛි දාර කො
ඛුදං පීපාසං සීතු‘ණ්හං - අන්‍ධකාරං විසෙන ච”
වවුලී යැ, කෘෂ්ණා සර්‍ප ය, ගෘහ යැ, ගව යැ, යකිනි යැ, ළදරු යැ, ක්‍ෂුධා යැ, පිපාසා යැ, ශීත යැ, උෂ්ණ යැ, අන්‍ධකාර යැ, විෂය යැ යි මේ උපමාවෝ භයතුපඨාන ඤාණයෙහි පටන් යම්කිසි ඤාණයෙකැ සිට ඇරැ දක්වන්නට වටිත්. (මෙතැන වනාහි) මේ ව්‍යුත්‍ථාපන ගාමිනී විදර්‍ශනායෙහි ඒ උපමා ඇරැ දක්වන කල්හි භයතුපට්ඨාන ඤාණයෙහි පටන් ඵල ඤාණය දක්වා සියලු ඤාණකෘත්‍යය ප්‍රකට වේ. (එහෙයින් මෙහිම ඇරැ දැක්විය යුතු යැ යනු ආශය යි.)
(1) වවුලී - එක් වවුලියක් ‘මෙහි මලක් හෝ ගෙඩියක් ලබමි’යි ශාඛා පසක් ඇති මී රුකෙකැ වසා එහි ශාඛාවක් පරාමර්‍ශනය කොට එහි ගතමනා කිසි මලක් හෝ ඵලයක් හෝ නොදුටුවා ය. එසේ ම දෙවන ශාඛාව ද, තුන්වන සිවුවන - පස්වන ශාඛාවන් ද පරාමර්‍ශනය කොට නො දැක්කාය. ඇය ඒකාන්තයෙන් මේ රුක ඵල නැත්තෙක. මෙහි ගතමනා කිසිවක් නැතැ යි ඒ රුකෙහි ආලය හැර සෘජු ශාඛාවට නැගී වෙලෙප් අතුරින් හිස ඇද උඩ බලා අහසෙහි පියඹා අනෙක් ඵල රුකෙක වැසුවා ය.
ඒ උපමාහී යෝගී වවුලිය මෙන් දතයුතු. පස් ශාඛා ඇති මීරුක මෙන් පඤ්චොපාදානස්කන්‍ධය ද, එහි වවුලිය වැසීම මෙන් යෝගියා ගේ පඤ්චස්කන්‍ධයෙහි අභිනිවේශය ද, ඇය ගේ එක එක ශාඛාව පරාමර්‍ශනය මෙන් යෝගියා ගේ රූපස්කන්‍ධය සන්මර්‍ශනය කොට ගතමනා කිසිවක් නො දැක සෙසු ස්කන්‍ධයන් සන්මර්‍ශනය ද, ඇය මේ රුක නිශ්චලය යි රුකෙහි ආලය හැරීම මෙන් පඤ්චස්කන්‍ධයෙහි අනිත්‍ය ලක්‍ෂණාදිය දැකීම් වශයෙන් කළකිරුණු යෝගීහු ගේ මුඤ්චිතුකම්‍යතා -පටි-සඞ්ඛානුපස්සනා - සඞ්ඛාරුපෙක්ඛා යන ඤාණ තුන ද, ඇය සෘජු ශාඛාවෙන් මත්තෙහි නැඟීම මෙන් යෝගීහු ගේ අනුලෝම ඤාණය ද, හිස නගා උඩ බැලීම සේ ගෝත්‍රභූ ඤාණය ද ආකාශයෙහි ඉහළ නැගීම මෙන් මාර්‍ග ඤාණය ද, අන් ඵල රුකෙක වැසීම මෙන් ඵල ඤාණය ද දත යුතු යි.
(2) කෘෂණසර්ප, පටිසඞ්ඛාන ඤාණයෙහි කී සේ මැයි. මේ උපමාන -උපමෙය සංසන්‍දනය යි:- සර්‍පයා හැරීම මෙන් ගෝත්‍රභූ ඤාණය ද, මුදා හැර ආ මග බලන්නා සේ මාර්‍ග ඤාණය ද මිදී අභය ස්ථානයෙහි සිටීම සේ ඵල ඤාණය ද වේ. මේ මෙහි වෙනස යි.
(3) ගෘහ, ගෙහිමියා රෑ අහර කිස නිමවා යහනයට නැගී නිදි ගත් කලැ ගෙය ගිනි ගත්තේය. හේ පිබිදී ගිනි දැක බිය වී මේ ගින්නෙන් නො දැවී නික්ම යෙම් නම් මැනැවැ යි බලන්නේ මගක් දැක නික්ම වේගයෙන් නිර්‍භය ස්ථානයකට ගොස් සිටියේ ය.
එහි ගෙහිමියා අහර ගෙන යහනට නැගී නිදීම සේ බාල පුහුදනා ගේ පස්කඳෙහි ‘මම යැ මාගේය’ යි මමායනය ද, පිබිද ගිනි දැක බිය පත් කල මෙන් සම්‍යක් ප්‍රතිපත්තියට පිළිපැද තිලකුණු දැකි භයතුපට්ඨාන ඤාණයද නික්මෙන මග සෙවීම මෙන් මුඤ්චිතුකම්‍යතා ඤාණය ද, මග දැකීම මෙන් අනුලෝම ඤාණය ද, නික්ම යාම සේ ගෝත්‍රභූ ඤාණය ද, වේගයෙන් යාම සේ මාර්‍ගඤාණය ද, අභය ස්ථානයෙහි සිටීම සේ ඵලඥානය ද දත යුතු.
(4) ගව, එක් ගොවියකු රෑ නිදි ගත් කල ගාල බිඳගෙන ගවයෝ පලා ගියහ. හේ අලුයමැ එහි ගොස් බැලු කලැ ඔවුන් පැන ගිය බව දැන පිය අනු වැ ගොස් රජුගේ ගොන්නු දිටී. මේ මාගේ ගෙරිහු යැයි සිතා ගෙනෙන්නා වූ හෙතෙමේ අලුයම්හි “මේ මාගේ ගෙරිහු නොවෙති, රජු ගේ ගෙරිහු යැයි” හැඳින “මේ සොරකැ”යි මා රාජ පුරුෂයන් දැක අල්ලා පෙළන්නට පෙර පලායෙමැ යි බිය වැ ගොනුන් හැර වේගයෙන් පලා ගොස් බිය නැති තැනෙක සිටියේ යැ. ඒ උපමාහි - මාගේ ගෙරිහු යැයි රජුගේ ගොනුන් ගැනීම සේ බාල - පෘථග්ජනයන් ගේ ‘මම යැ මාගේ යැ’යි ගැනීම ද, අලුයම්හි රජුගේ ගෙරිහු ය’යි හැඳිනීම සේ යෝගීහුගේ තිලකුණු වශයෙන් අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්ම යැ යි ස්කන්‍ධයන් හැඳිනීම ද, භීත කාලයේ භයතුපඪානඤාණය ද, හැරැපීම යනු කැමැත්ත මුඤ්චිතුකම්‍යතා ඤාණය ද, හැරැපීම සේ ගෝත්‍රභු තාණය ද, පලා යාම සේ මාර්‍ගය ද, පලා ගොස් අභය ස්ථානයෙහි සිටීම සේ ඵලය ද, දතයුතු.
(5) යකිනි, එක් පුරුෂයෙක් යකින්නක හා සසඟ කෙළේ ය. ඕ රෑ කල “මෙතෙමේ නිදහස් වන්නේ” යයි සිතා අමුසොහොනට ගොස් මිනීමස් කයි. හේ “මැය කොහිදැයි” ලුහුබැඳ මිනීමස් කන්නිය දැක ඇය නො මිනිස් බව දැන මා කන්නට පෙරාතුව ම පැන යවමි” භීත වැ වේගයෙන් පලා ගොස් අභය ස්ථානයෙකැ සිටියේය. ඒ උපමාහි - මිනිසා ගේ යකින්නට හා සහවාසය සේ ස්කන්‍ධයන් “මම යැ මාගේ යැ”යි ගැනීමද, සොහොනෙහි මිනීමස් කන්නිය දැක “මෝ යකින්නකැ” යි දැනීම මෙන් ස්කන්‍ධයන් ගේ තිලකුණු දැක අනිත්‍යාදි බව් දැනීමද, බියපත් කල සේ භයතුපඪානඤාණය ද, පලා යනු කැමැත්ත සේ මුඤ්චිතුකම්‍යතා ඤාණය ද, සොහොන් හැරීම සේ ගෝත්‍රභු ඤාණය ද, වේගයෙන් පලා යෑම සේ මාර්‍ගඥානය ද, අභය ස්ථානයෙහි සිටීම සේ ඵල ඥානය ද දතයුතු.
(6) ළදරු, දරු සොඩ එක් ස්ත්‍රියක් පහයෙකැ මතු මහලේ හුන්නා ඇතුළු විථියෙහි දරු හඩක් අසා ‘ම පුතු කිසිවෙක් පෙළාදැ’යි වේගයෙන් ගොස් තමා පුතුයැ යි හැඟීමෙන් පර පුතු ගත. ඕතොමෝ ‘මේ පර පුතෙකැ’යි හඳුනා භයින් ඔබ මොබ බලන්නි ‘මෝ දරු සෙරකැයි’යි කිසිවකු කියන්නට පෙරැ දරුවා එහි බස්වා පෙරලා වේගයෙන් පහට නැගී හුන්නා ය. ‘එහි තමා පුතුයැ’යි සඤ්ඤායෙන් පර පුතු ගැනීම සේ ‘මම යැ- මාගේ යැ’යි පස් කඳු ගැනීම ද, ‘මේ පර පුතුයැ’යි හැදිනීම සේ තිලකුණු විසින් ‘මම නො වෙමි’ මාගේ නො වේ යැ’යි හැඳිනීම ද, බියවීම් මෙන් භයතුපට්ඨානය ද, ඔබ මොබ බැලීම සේ මුඤ්චිතුකම්‍යතා ඤාණය ද, එහිම දරුවා බැස්වීම සේ අනුලෝම ඤාණය ද, බස්වා වීථියෙහි සිටි කාලය සේ ගෝත්‍රභු ඤාණය ද, පහට නැගීම සේ මාර්‍ගය ද, නැග හිඳීම සේ ඵලය ද දතයුතු.
ඛුදා - පිපාසා - සීත - උණ්හ - අන්‍ධකාර - විස යන උපමා සදෙන ව්‍යුත්‍ථානගාමිනී විදර්‍ශනාවෙහි සිටියහුට ලෝකෝත්තර ධර්‍මාභිමුඛ වැ නිම්න-ප්‍රවණ-ප්‍රාග්භාර භාවය දැක්වීම සඳහා කියන ලදහ.
(7) බඩ සයින් මඩනාලද පුරුෂයකු මිහිරි රස බොජුනක් පතන්නා සේ මේ යෝගී තෙමේ සසර වට බඩ සයින් පෙළුණේ අමාරස වූ කාගියාසි බොජුන් පතයි.
(8) පිපාසිත පුරුෂයකු වියළි ගෙළ මුවැතිවැ නොයෙක් ද්‍රව්‍යයෙන් යුක්ත පානයක් පතන්නා සේ මේ යෝගී තෙමේ සසර වට පවසින් පෙළුණේ අරි අටැඟි මග පානය පත යි.
(9) සීතලින් පෙළුණු පුරුෂයකු උණුසුම පතන්නා සේ සංසාරවට්ටයෙහි තෘෂ්ණා සෙනහ ශීතයෙන් පෙළුණේ කෙලෙස් තවන මාර්‍ගොෂණය පත යි.
(10) උෂ්ණයෙන් පහරන ලද පුරුෂයකු සිසිලස පතන්නා සේ සංසාර වට්ටයෙහි රාගාදි එකොළොස් (11) ගින්නෙන් තැවුණු යෝගී තෙමේ එකොළොස් ගිනි සංසිඳුවන නිවන පත යි.
(11) අන්‍ධකාරයෙන් මඩනා ලද පුරුෂයකු එළියක් පතන්නා සේ අවිද්‍යාන්‍ධකාරයෙන් වෙළා වටකරන ලද යෝගී තෙමේ ඤාණාලොක මාර්‍ගභාවනාව පත යි.
(12) විෂ කැවුණු පුරුෂයකු විෂ නසන බෙහෙතක් පතන්නා සේ ක්ලේශයෙන් වළඳනා ලද මේ යොගී තෙමේ කෙලෙස් විස මඩනා අමාඔහු නිවන පතයි.
“කස්සෙචං ජානතො එවං පස්සතො තීසු භවෙසු -පෙ- නවසු සත්තාවාසෙසු චිත්තං පතිලීයති. පතිකුටති පතිවට්ටති න සම්පසාරියතී. උපෙක්ඛා වා පටිකූල්‍යතා වා සණ්ඨාති. සෙය්‍යථාපි නාම පදුමපලාසෙ ඊසකපොණෙ” යනාදිය එහෙයින් වදාරන ලදී.
සියල්ල පෙරැ කී සෙයින් ම දත යුතුයි. මෙතෙකින් ඒ යෝගී පතිලීනචර නම් වේ.
“තිබවේ ලොබසුන් බැවින් සිතේ
හැකුළුම් යුතු මහණු ගේ මනා
පැවැතුම් නො දැකුම් ඵනිස්සයැ යි
පියසු මැනවින් අරීදනෝ”
(කාමාදි භවත්‍රයෙහි තමා නො දක්වන, කාය විවේකාදීන් යුතු වූ ත්‍රිභවයෙහි නිරාලය හෙයින් නො විසුරුණු අදහස් ඇතිවැ එහෙයින් ම හැකුළුණු සිත් ඇති භික්‍ෂුව ගේ ඒ ආදර්‍ශනය යෝග්‍ය වූ සාමග්‍රිය පැවැත්මය යි බුද්ධාදි ආර්‍ය්‍යයෝ වදාරති.)
මෙසේ සංඛාරුපෙක්ඛා ඤාණය යෝගීහු ගේ පතලීනචර භාවය නියම කොට මත්තෙහි ආර්‍ය්‍යමාර්‍ගයා ගේ ද, බොද්‍ධ්‍යඞ්ග මාර්‍ගාඞ්ග - ධ්‍යානාඞ්ග - ප්‍රතිපදා - විමොක්‍ෂ යන මොවුන්ගේ ද, විශේෂය නියම කෙරේ.
ඒ මෙසේ යි.
(1) චූලනාග ස්ථවිරවාදයෙහි - බොජ්ඣඞ්ග සතෙක- සයෙකැ යි ද, මාර්‍ගාඞ්ග අටෙක - සතෙකැ යි ද, ධ්‍යානාඞ්ග පසෙක- සතරෙකැයි ද යනාදී විශේෂය පාදක වූ ධ්‍යානය නියම කෙරේය යි යෙති.
(2) මොරවැවේ වැසි මහාදත්ත ස්ථවිරයෝ:- විදර්‍ශනාවට අරමුණු වූ ස්කන්‍ධ නියම කෙරෙතැ යි යෙති.
(3) ත්‍රිපිටක චූලාභය ස්ථවිරවාදයෙහි:- පෙර කී උභය භේදය ඇති කල්හි ද පුද්ගලයා ගේ අද්‍ධ්‍යාශය නියම කෙරේය යි යෙති.
මේ තෙරුවන් ගේ වාදයන්ගෙන් මේ පූර්‍වභාග ව්‍යුත්‍ථානගාමිනී විදර්‍ශනාව ම බොද්‍ධ්‍යඞ්ගාදීන් ගේ විශේෂය නියම කෙරෙතැ යි දතයුතු.
විස්තර:- (1) ඒ බොද්‍ධ්‍යඞ්ගාදි විශේෂය නියම කිරීමෙහිලා මේ පිළිවෙල කථාව යි:- විදර්‍ශනා නියමයෙන් ධ්‍යානලාභී නොවූ ශුෂ්කවිදර්‍ශකයාහට උපන් මාර්‍ගය ද, සමාපත්තිලාභී යෝගියා හට ධ්‍යාන පාදක නො කොට උපන් මාර්‍ගය ද, ප්‍රථමධ්‍යානය පාදක කොට ඒ පාදක ධ්‍යානයෙන් අන්‍ය වූ ප්‍රකීණික සංස්කාරයන් සන්මර්‍ශනය කොට උපදවන ලද මාර්‍ගය ද, ප්‍රථමධ්‍යානික ම වේ. මේ තුන් ආකාර මාර්‍ගයෙහි සප්ත බොද්‍ධ්‍යඞ්ග ද, අෂ්ට මාර්ගාඞ්ග ද පඤ්චධ්‍යානඞ්ග ද වේ.
(මේ මෙහි ශුෂ්ක විදර්‍ශකාදීන් ගේ ග්‍රහණය විදර්‍ශනා ග්‍රහණයා ගේ ඓකාන්තික භාවය දක්වන පිණිස යි. වුට්ඨානගාමිනය හැර කේවල පාදකධ්‍යානාදීහු නියම හේතු විය නො හෙති. වුට්ඨානගාමිනි වනාහි පාදකධ්‍යානාදීන් ගේ අභාවයෙහිදු ශූෂ්ක විදර්‍ශකයා ගේ මාර්‍ගය ප්‍රථමධ්‍යානික වීමට හේතු වේ. එහෙයින් වුට්ඨානගාමිනී බෝධ්‍යඞ්ගාදි විශේෂ නියමයෙහි ඓකාන්තික හේතුව වේ යනු සත්‍ය යි.)
විස්තර:- ඒ ආර්‍ය්‍ය මාර්‍ගයන් ගේ පූර්‍වභාග විදර්‍ශනාව සොම්නස්ස සහගතව ද, උපෙක්ඛා සහගතව ද වේ. ව්‍යුත්‍ථාන කාලයෙහි (මාර්‍ගසන්න කාලයෙහි) සඞ්ඛාරුපෙක්ඛා භාවයට පැමිණ උපෙක්ඛාසසහගත ම වේ.
පඤ්චක නයෙහි:- දුතිය - තතිය - චතුත්‍ථජ්ඣානයන් පාදක කොට උපදවන ලද මාර්‍ගයෙහි පිළිවෙළින් ම ධ්‍යානය දුතියජ්ඣානයෙහි චතුරඞ්ගික ද, තතියජ්ඣානයෙහි චතුරඞ්ගික ද, චතුත්‍ථජඣානයෙහි දුවඞ්ගික ද වේ. මේ ද්විතීයාදි ධ්‍යානත්‍රයයෙහි විතර්‍ක (සංකල්ප) නැති හෙයින් මාර්‍ගාඞ්ග සතෙක්ම වේ. සතර වන ධ්‍යානයෙහි ප්‍රීතිය නැති හෙයින් බොජ්ඣඞ්ග සතෙක් වේ. මේ විශේෂය පූර්‍වභාගයෙහි මෙන් විදර්‍ශනා නියමයෙන් නො වැ පාදකධ්‍යාන නියමයෙන් ද, විදර්‍ශනා නියමයෙන් ද වේ.
ඒ පඤ්චක නයෙහි, දුතිය-තතිය-චතුත්‍ථජ්ඣානයන් පාදක කොට උපදවන ලද මාර්‍ග ඇත්තවුන්ට පූර්‍වභාග විදර්‍ශනාව සොමනස්ස සහගත ද, උපෙක්ඛා සහගත ද වේ. වුට්ඨානගාමිණි ප්‍රඥාව සොමනස්ස සහගතම වේ.
පඤ්චමධ්‍යානය පාදක කොට නිපදවන ලද මාර්‍ගයෙහි උපෙක්ඛා චිතේතකග්ගතා වශයෙන් ධ්‍යානාඞ්ග දෙකෙක් ම වේ. පීති සම්බොජ්ඣඞ්ගය නො යෙදෙන හෙයින් බොජ්ඣඞ්ග සයක් හා සම්මා සංකප්පය කො යෙදන හෙයින් මාර්‍ගාඞ්ග සතෙක් වේ. මේ විශේෂය ද පාදකධ්‍යාන නියමය හා විදර්‍ශනා නියමය ද යන උභය නියමයන් ගේ වශයෙන් වේ. මේ ක්‍රමයෙහි පූර්‍වභාග විදර්‍ශනාව සොමනස්ස සහගත හෝ උපෙක්ඛා සහගත හෝ වේ. වුට්ඨානගාමිනී විදර්‍ශනාව උපෙක්ඛාසහගත ම වේ. අරූපධ්‍යානයන් පාදක කොට උපදවන මාර්‍ගයෙහි ද මේ ක්‍රමය මැ යි. මෙසේ පාදකධ්‍යානයෙන් නැගී යම් කිසි සංස්කාරයක් සන්මර්‍ශනය කොට නිපදවන ලද මාර්‍ග ඇති යෝගීහු ගේ ආසන්න ප්‍රදේශයෙහි නැගෙන ලද සමාපත්ති තොමෝ ගෝධා වර්‍ණයට භූමිවර්‍ණය මෙන් තමා හා සදෘශ කෙරේ.
(2) ද්‍විතීය ස්ථවිරවාදයෙහි යම් යම් සමවතකින් නැගී යම් යම් සමාපත්ති ධර්‍මයක් සම්මර්ශනය කොට මාර්‍ගය නිපදවන ලද නම් ඒ ඒ සමවත හා සමානම වේ. ඒ වාදයෙහි ද විදර්‍ශනා නියමය යට කී සෙයින් ම දතයුතු.
(3) තෘතීය ස්ථවිරවාදයෙහි තම තමා ගේ අදහසට අනුරූප වශයෙන් යම් යම් ධ්‍යානයෙක් පාදක කොට යම් යම් ධ්‍යාන කෙනෙකුන් සම්මර්‍ශනය කොට මාර්‍ගය නිපදවන ලද නම් ඒ ඒ මාර්‍ගය ඒ ඒ ධ්‍යානය සදෘශම වේ ය යි කීහ. ඒ නො යෙදේ.
විශේෂ:- පාදකධ්‍යානයක් නැතිව අද්‍ධ්‍යාශ්‍රය මාත්‍රයකින් ම ඒ ඒ ධ්‍යානය හා සදෘශ භාවය සිද්ධ නො වේ.
ඒ මේ කාරණය (පාදකධ්‍යාන - සම්මසිතධ්‍යාන ධ්‍යාතොප නිශ්‍රය නැති වැ අද්‍ධ්‍යාශය මාත්‍රයෙන් ම සිද්ධ නො වන බව) නන්‍දකොවාද සූත්‍රයෙන් ද දක්වන ලදි. ඒ නන්‍දිකොවාද සූත්‍රයෙහි[11] සෝවාන් මෙහෙණගේ ද පරිපූර්‍ණ සංකල්පනාව වදාරන බුදුහු උපනිශ්‍රව සම්පත්තිය ඇත්තහු ගේ ම අධ්‍යාශය නියමය වන බව් හා අධ්‍යාශය පමණකින් සිද්ධ නොවන බව වදාළහ.
එසේ ම මෙහිදු ද්විතීයදධ්‍යානිකාදි මාර්‍ගයකට උපනිශ්‍රය ඇත්තහුට ම අධ්‍යාශ නියම වේ. එහෙත් උපනිශ්‍රය නැතහොත් අධ්‍යාශය මාත්‍රයකින් එලොත්පත්තිය නො වේ. එහෙයින් මේ වාදයෙහි පාදක- සම්මර්‍ශන- ධ්‍යානොපනිශ්‍රය ඇති කල්හි ම එකාන්තයෙන් සිද්ධවන අධ්‍යාශ නියමය ම කෙරේ යැ යි කියන ලදි.
මෙසේ පළමු කොට සංස්කාරෙපෙක්‍ෂා විදර්‍ශනාව බොද්‍ධ්‍යඞ්ග-ධ්‍යානඞ්ගයන් නියම කෙරේ යැ යි දත යුතු.
මේ සඞ්ඛාරුපෙක්ඛාව ආදියෙහි පටන් කෙලෙස් විෂ්කම්භනය කරනුයේ දුකින් (සප්‍රයෝගයෙන්) උත්සාහයෙන් විෂ්කම්භනය කිරීමට හැකි වී නම් දුක්ඛාපටිපදා නම. විර්‍ප්‍යාසයෙන් සුඛා පටිපදා වේ.
කලේශයන් විෂ්කම්භනය කොට මාර්‍ග ප්‍රාවුර්භාවය සෙමෙන් කරන සංස්කාරොපෙක්‍ෂාව දන්‍ධාභිඤ්ඤා නම. විර්‍ප්‍යාසයෙන් ඛිප්පාභිඤ්ඤා වේ. මෙසේ මේ සඞ්ඛාරුපෙක්ඛාව ආගමනීයස්ථානයෙහි පටන් තමන් තමන් ගේ මාර්‍ගයට නම් දේ. එහෙයින් මාර්‍ගය දුක්ඛාපටිපදා- දන්‍ධාභිඤ්ඤා, දුක්ඛාපටිපදා- ඛිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා- දන්‍ධාභිඤ්ඤා, සුඛාපටිපටිපදා-ඛිප්පාභිඤ්ඤා යි සතර නාමයක් ලබ යි. ඒ මේ ප්‍රතිපදාව කිසි භික්‍ෂුවක් හට වෙන් වෙන් වශයෙන් ද වේ. කිසි භික්‍ෂුවක් හට සතර මාර්‍ගයෙහි එකම ප්‍රතිපදාවෙක් වෙයි. බුදුන් ගේ වූ කලී සතර මාර්‍ගය ම (සුඛාපටිපදා) ඛිප්පා - භිඤ්ඤාම වී ධම්ම සේනාපති සාරිපුත්ත ස්ථවිරයන්ට ද එසේ මැ යි. මොග්ගල්ලාන ස්ථවිරයන්ට ප්‍රථම මාර්‍ගය සුඛාපටිපදා - ඛිප්පාභිඤ්ඤා වී. මතු තුන දුක්ඛාපටිපදා - දන්‍ධාභිඤ්ඤා වී. ප්‍රතිපදාවෙන් අධිපතිහු ද ඇතැම් භික්‍ෂූන්ට සතර මාර්‍ගයෙහි වෙන් වෙන් වශයෙන් වෙති. ඇතැම් භික්‍ෂුවක් හට සතර මාර්‍ගයෙහි ම එකෙක් වේ. මෙසේ සංඛාරුපෙක්ඛා ඤාණය පටිපදා විශේෂය ද නියම කෙරේ. විමොක්‍ෂ විශේෂය නියම කරන අයුරු පෙරැම කියන ලදි.
තවද මාර්‍ගය වනාහි ස්වරසයෙන් හෝ, ප්‍රත්‍යණිකයෙන් හෝ, ස්වගුණයෙන් හෝ, ආලම්බනයෙන් හෝ, ආගමනයෙන් හෝ මෙසේ කරුණු පසකින් නම් ලබයි.
ඒ මෙසේයි:- (1) සංඛාරුපෙක්ඛා ඤාණය අනිත්‍ය හෙයින් සංස්කාර සන්මර්‍ශනය කොට නැගේ නම් මාර්‍ගය අනිමිත්ත විමොක්ඛ වේ. දුක්ඛ හෙයින් සංස්කාර සන්මර්‍ශනය කොට නැගේ නම් මාර්‍ගය අප්පණිහිත විමොක්ඛ වේ. අනාත්ම හෙයින් සංස්කාර සන්මර්‍ශනය කොට නැගේ නම් මාර්‍ගය සුඤ්ඤතා විමොක්ඛය වේ.
මේ ස්වරසයෙන් ලද නාම යි.
(2) මේ මාර්‍ගය අනිච්චානුපස්සනාවෙන් සංස්කාරයන් ගේ ඝන විනිර්භෝග කොට නිත්‍ය නිමිත්ත යැ, ධුව නිමිත්ත යැ, ශාස්වත නිමිත්ත යැ යන මොවුන් දුරු කෙරෙමින් ආ හෙයින් අනිමිත්ත නමි.
දුක්ඛානුපස්සනාවෙන් සුඛ සංඥාව හැර (ප්‍රණිධිය) ප්‍රාර්‍ථනාව වියළවමින් ආ හෙයින් අප්පණිහිත නමි.
අනත්තානුපස්සනාවෙන් ආත්මයැ - සත්ත්‍වයැ - පුද්ගලයා යන සංඥා හැර සංස්කාර ශූන්‍යත්‍වයෙන් දක්නා ලද හෙයින් සුඤ්ඤත නමැ යි මේ ප්‍රත්‍යණික හෙයින් සිද්ධ නාම යි.
(3) මේ මාර්‍ගය රාගාදීන් වියුක්ත හෙයින් සුඤ්ඤත නමි. රූප නිමිති ආදීන්ගේ ද, රාග නිමිති ආදීන්ගේ ද, අභාවයෙන් අනිමිත්ත නමි. රාග ප්‍රාර්‍ථනා ආදීන් ගේ අභාවයෙන් අප්පණිහිතය යි මේ මාර්‍ගයට ස්වගුණ හෙයින් නම් වේ.
(4) මේ මාර්‍ගය ශූන්‍ය වූ අනිමිත්ත වූ අප්‍රණිමිත වූ නිර්‍වාණය අරමුණු කරන හෙයින් සුඤ්ඤත යැ, අනිමිත්ත යැ, අප්පණිහිතැ යි කියනු ලැබේ. මේ මාර්‍ගයට ආලම්බන හෙයින් නම් වේ.
(5) ආගමනය:- විදර්‍ශනාගමන යැ, මාර්‍ගාගමනයැ යි ද්විවිධ යැ. ඒ දෙකින් මාර්‍ගයෙහි විදර්‍ශනාගමනය ලැබේ. ඵලයෙහි මර්‍ගාගමනය ලැබේ.
ඒ මෙසේයි. අනත්තානුපස්සනාව සුඤ්ඤත යැ. ඒ ශූන්‍යතා විදර්‍ශනාව ගේ මාර්‍ගය විදර්‍ශනාගමන වශයෙන් සුඤ්ඤත යැ. අනිච්චානුපස්සනාව අනිමිත්ත යැ. ඒ අනිමිත්ත විදර්‍ශනා මාර්‍ගය අනිමිත්ත නමි.
විශේෂ:- මේ අනිමිත්ත නාමය අභිධර්‍ම පර්‍ය්‍යායයෙන් නො ලැබේ. අභිධර්‍මයෙහි ස්වරසය නො ගෙනම ප්‍රත්‍යණික හෙයින් නාම ලාභය වන හෙයිනි. ස්වගුණාලම්බනයෙන් වන නාම ලාභය ස්වප්‍රධාන වේ. ස්වරසයෙන් ම නාම ලාභයෙහි සර්‍ව ධර්‍මයන් ගේ ශූන්‍යතාදි භාවය වේ. මාර්‍ග ව්‍යවස්ථානය නො වේ. එහෙයින් අභිධර්‍මයෙහි කාරණ ද්වයයෙකින් අනිමිත්ත නාම ලාභය ඇති හෙයින් ප්‍රත්‍යණිකයෙන් නාම ව්‍යවස්ථාව ගන්නා ලැබේනුයි තදභාවයෙන් අනිමිත්ත ලාභය නො ලබයි.
(මේ පිළිබැඳිවැ පුරාණ සන්නයෙහි විස්තර වේ.)
සුත්‍රාන්තදේශනාව පර්යාය දෙශනා හෙයින් සුත්‍රාන්තපර්යායෙන් ස්වගුණ මාත්‍රාලම්බනයෙනුදු නාමය ලැබේ. ඒ සූත්‍රාන්ත පර්‍ය්‍යායයෙහි ගොත්‍රභූ ඤාණය අනිමිත්ත වූ නිර්‍වාණය අරමුණු කොට අනිමිත්ත නම් වැ තෙමේ ආගමන ප්‍රතිපදා ස්ථානයෙහි සිට මාර්‍ගයට නම් දෙතැ යි යෙති. (හෙද පර්‍ය්‍යාය මාත්‍රයෙනි.) ඒ අනිමිත්ත හේතුකොට ගෙන මාර්‍ගය අනිමිත්තය යි කියන ලදි. මාර්‍ගගමනයෙන් ඵලය වනාහි අනිමිත්ත යැ යනු යෙදේ මැ යි.
දුක්ඛානුපස්සනාව සංස්කාරයන් විෂයෙහි ප්‍රණිධිය වියළවා ආ හෙයින් ස්වරසයෙන් අප්‍රණිහිත නම් වේ. අප්‍රණිහිත විදර්‍ශනාවෙන් යුක්ත මාර්‍ගය විදර්‍ශනාගමනයෙන් අප්‍රණිමිත නමි. ඒ අප්‍රණිහිත මාර්‍ගයේ ඵලය ද අප්‍රණිහිත නමි. මෙසේ විදර්‍ශනාව තමා ගේ නාමය මාර්‍ගයට දෙයි. මාර්‍ගය ඵලයට නාමය දේ. මේ ආගමන හෙයින් නාම ලාභය යි. මෙසේ මේ සංඛාරු පෙක්ඛාව විමොක්‍ෂ විශේෂය නියම කෙරේ.
සංඛාරුපෙක්ඛා ඤාණය නිමි.