7. පටිසඞ්ඛානුපස්සනා ඤාණය

star_outline

(7) මෙසේ ඒ යෝගී සියලු භව- යෝනි- ගති- ස්ථිති- නිවාස- ගත සභෙදක සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැත්තේ සියලු සංස්කාර ජාතයෙන් මිදෙනු පිණිස නැවැත ඒ සංස්කාරයන් ම පටිසඞ්ඛානුපස්සනා ඤාණයෙන් තිලකුණට නගා පරිග්‍ර‍හ කෙරේ.

ඒ මෙසේ යි:- ඒ යෝගී සියලු සංස්කාර අනිත්‍ය ත්‍රික හෙයින් ද, තාවකාලික හෙයින් ද, උදය - ව්‍යය දෙකින් පරිච්ඡින්න හෙයින් ද, විනාශ වන හෙයින් ද බිඳෙන හෙයින් ද, අස්ථිර හෙයින් ද, විපරිනාම ධර්‍ම හෙයින් ද, අසාරක හෙයින් ද, විභව හෙයින් ද, සංඛත හෙයින් ද, මරණ ධර්‍ම හෙයින් දැ යි මේ ආදී කාරණයෙන් අනිත්‍යය යි දකී.

නිතර පෙළෙන හෙයින් ද, දුකින් ඉවසන හෙයින් ද, දුඃඛ වස්තු හෙයින් ද, රෝග හෙයින් ද, ගණ්ඩ හෙයින් ද, දුක් හෙයින් ද, ආබාධ හෙයින් ද, (ඊති) හිරිහැර හෙයින් ද, උපද්‍ර‍ව හෙයින් ද, භය හෙයින් ද, උපසර්‍ග හෙයින් ද, රක්‍ෂාස්ථාන නැති හෙයින් ද නිලීනස්ථාන නැති හෙයින් ද, අසරණ හෙයින් ද, ආදීනව හෙයින් ද, දුකට මුල් හෙයින් ද, වධක හෙයින් ද, ආශ්‍ර‍ව සහිත හෙයින් ද, මාරාමිෂ හෙයින් ද, ජාතිස්වභාව හෙයින් ද ජරාස්වභාව ඇති හෙයින් ද, ව්‍යාධි ස්වභාව ඇති හෙයින් ද, ශෝක ස්වභාව ඇති හෙයින් ද, පරිදෙව ස්වභාව ඇති හෙයින් ද, උපායාස ස්වභාව ඇති හෙයින් ද, සංකේලශ ස්වභාව හෙයින්දැ යි මේ ආදී කාරණයෙන් දුඃඛයයි දකී.

අමනෝඥ හෙයින් ද, දුර්‍ගන්‍ධ හෙයින් ද, පිළිකුල් කටයුතු හෙයින් ද, අමණ්ඩනාර්‍හ හෙයින් ද (අමණ්ඩනයෙන් අශුභ භාවය ප්‍ර‍කට වන හෙයිනි.) විරූප හෙයින් ද බීභත්ස හෙයින් දැ යි මේ ආදී කාරණයෙන් දුඃඛ ලක්‍ෂණයට පරිවාර වූ අශුභ හෙයින් දකී.

පර වශ හෙයින් ද, පරිත්ත හෙයින් ද, තුච්ඡ හෙයින් ද, ශුන්‍ය හෙයින් ද, අස්වාමික හෙයින් ද, අනීශ්චර හෙයින් ද, තමා වශයෙහි නො පවත්නා හෙයින් දැයි මේ ආදී කාරණයෙන් අනාත්ම හෙයින් දකී.

මෙසේ දක්නා වූ යෝගියා විසින් තිලකුණට නඟා සංස්කාර පරිග්‍ර‍හ කරන ලද්දේ වෙයි.

විශේෂ:- මේ සංස්කාර මෙසේ පරිග්‍ර‍හ කරනුයේ ඒ සංස්කාරයන් ගෙන් මිදීම සඳහා උපාය සම්පාදනය කරනු පිණිස යැ.

මේ එයට උපමාවෙකි:- එක් පුරුෂයෙක් මසුන් ඇල්ලීමට මස් කරප්පයක් ගෙන ජලයෙහි ඇට වී හේ කරක් මුවින් අත තබා දිය තුළ වූ සර්‍පයකු ගෙන මසෙක් ගන්නා දැ යි’ සතුටු වී මා විසින් මහා මසෙක් ලදැ යි’ ඔසවා බලනුයේ සොවැති තුන දැක සර්‍පයා හැඳින බිය පත්වැ ආදීනව දැක ගැනීමෙන් කළකිරී ඉන් මිදෙනු කැමැතිවැ එයට උපාය යොදනුයේ නගුට අග සිට අත වෙළුම් හැර බාහුව ඔසවා හිස වටා දෙතුන් වරක් කරකවා ඌ දුබල කොට ‘යා දුෂ්ට සර්‍පයැ යි’ දුරට දමා ගසා වහා මැ මියරට නැගී පින්වත! ‘මහා සර්‍ප මුඛයෙන් මිදුනෙමි යි’ ආ මඟ බලමින් සිටියේ යි.

(උපමාන උපමෙය සංසන්‍දනය) එහි ඒ පුරුෂයා මසෙකැ යි සර්‍පයා ගෙන සතුටු වූ කාලය මෙන් මේ යෝගියාගේ ද ආදියෙහි ම ආත්මය ලැබ සතුටු වූ කාලය ද, ඔහු කරක් මුවින් සර්‍ප හිස පිටතට ගෙන සෝවැති තුන දැකීම මෙන් මොහු ඝන විනිර්භෝග කොට සංස්කාරයන් ගේ තිලකුණු දැකීම ද, ඔහු බිය වූ කාලය මෙන් මොහු ගේ භයතුපට්ඨාන ඤාණයද, අනතුරුවැ ආදීනව දැකීම මෙන් ආදීනවානුපස්සනා ඤාණයද, සර්‍පයා ගෙන් මිදෙනු කැමැත්ත මෙන් මුඤ්චිතුකම්‍යතා ඤාණය ද, මිදීමට උපාය සෙවීම මෙන් පටිසංඛානුපස්සනා ඤාණයෙන් සංස්කාරයන් තිලකුණට නැගීම ද දතයුතු. ඒ පුරුෂයා සර්‍පයා හිස වටා සිසාරා දුබල කොට පෙරළා දෂ්ට කිරීමට අසමර්‍ථ කොට මොනවට මිදුනා සේ මේ යෝගීතෙමේ තිලකුණට නගා සංස්කාරයන් බමවා දුබල කොට නැවැතැ නිත්‍ය - සුඛ - ආත්ම ආකාරයෙන් එළඹ සිටීමට අසමර්‍ථ බවට පමුණුවා මනා මිදුමෙන් මිදේ. එයින් මිදීමට උපාය සෙවීම සඳහා මෙසේ පරිග්‍ර‍හ කෙරේ ය යි කියන ලදි.

මෙතෙකින් ඒ යෝගීහට පටිසඞ්ඛා ඤාණය උපන්නේ වේ.

එයින් වදාළහ. “අනිච්චතො මනසිකරොතො කිං පටිසඞ්ඛාඤාණං උප්පජ්ජති. දුක්ඛතො -පෙ- අනත්තතො මනසිකරොතො කිං පටිසඞ්ඛාඤාණං උප්පජ්ජති. අනිච්චතො මනසිකරොතො නිමිත්තං පටිසඞ්ඛාඤාණං උප්පජ්ජති. අනත්තතො මනසිකරොතො නිමිත්තඤ්ච පවත්තඤ්ච පටිසඞ්ඛාඤාණං උප්පජ්ජති”[1] යි.

‘අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට කිනම් පටිසඞ්ඛාඤාණයෙක් (කුමක් දැන නුවණ) උපදී දැ දුඃඛ හෙයින් -පෙ- අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට කිනම් පටිසඞ්ඛා ඤාණයෙක් (කුමක් දැන නුවණ) උපදී ද, අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට සංස්කාර නිමිත්ත ඇති පටිසඞ්ඛා ඤාණය උපදී. දුක් හෙයින් මෙනෙහි කරන්නාහට සංස්කාර ප්‍ර‍වෘත්ති ඇති පටිසඞ්ඛා ඤාණය උපදී. අනාත්ම හෙයින් මෙනෙහි කරන්නා හට නිමිත්ත ද, ප්‍ර‍වෘත්තිය ද ඇති පටිසඞ්ඛා ඤාණය උපදී, යැ කියා යි. (මේ පිළිබඳ විස්තර භයතුපඨන කථාහි කියන ලදි.)

විශේෂ:- මෙහි නිමිත්තං පටිසඞ්ඛා - යනු සංස්කාර නිමිත්ත අද්ධුවය, තාවකාලිකය යි අනිත්‍ය ලක්‍ෂණය වශයෙන් දැන (පළමු කොට ඒකාන්තයෙන් දැන) පසුව ඤාණය උපදී ද එක ක්‍ෂණිකව මුත් පෙර පසුවැ නූපදී.

එහෙත් ව්‍යවහාර හෙයින් මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං”[2] සිත නිසා ද, ධර්‍මාලම්බනය නිසා ද මනෝවිඤ්ඤාණය උපදී, ය යි කීවා සේ මේ කියනු ලැබේ. නොහොත් පළමු උපන් ඤාණයෙන් අතුරෙහි පූර්‍ව ඥාන වශයෙන් ප්‍ර‍තිසංඛ්‍යාත ක්‍රියාව ද, තදන්‍ය ඥාන වශයෙන් උත්පාද ක්‍රියාව ද යෙදිය යුතු යි ඒ ඥාන ද ඒකසන්තානා පතිත බැවින් එකත්‍වනය වශයෙන් ගෘහීත යි. හේද වශයෙන් ද අපේක්‍ෂණය නො වෙත් යනු ටීකා යි.

මේ නයින් ම පවත්ත - පටිසඞඞ්ඛා යන පද ද්වයෙහි අර්‍ථ ද දත යුතු යි.

පටිසඞ්ඛානුපස්සනා ඤාණය නිමි.

  1. ප:ම: විමොක්ඛකථා 259

  2. සං:නි: නිදානවග්ග 198