(9) මේ සංඛාරුපෙක්ඛා ඤාණය ඇසිරිකිරීම, වැඩීම බහුලැ ව වැඩීම ඇති යෝගීහට අධිමොක්‍ෂ සංඛ්‍යාත ශ්‍රද්‍ධාව ආසේවනාදී භාවනා විශේෂයෙන් කෘත්‍ය වශයෙන් අධික හෙයින් අතිශයින් බලවත්වැ උපදී. මොනවට රුකුල් ලත් (ප්‍රතිපක්‍ෂ ක්ලේශයන් මැඩීමට සමර්‍ථ වූ) වීර්‍ය්‍යය ඇති වේ. ආලම්බනාභිමුඛ භාවයෙන් මනාවැ එළඹ සිටි සතිය ඇති වේ. පස්සද්ධි- සුඛයන් ගේ අතිශයවත් භාවයෙන් මනාවැ සමාහිත චිත්තය වේ. අනුලෝමඤාණයාගේ ප්‍රවෘත්තියට ප්‍රත්‍යය වීමට සමර්‍ථ හෙයින් අතිශයින් තීක්‍ෂණ වූ සංස්කාරෝපේක්‍ෂාව උපදී. ඒ යෝගීහට ‘දැන් දැන් මාර්‍ගය උපදීය යි’ කියයුතු කලැ සංස්කාරෝපේක්‍ෂාව ත්‍රෛභූමක සංස්කාරයන් හි එල්බ අනිත්‍යයැ යි හෝ දුඃඛයැ යි හෝ අනාත්මයැ යි හේ සන්මර්‍ශනය කොට භවාඞ්ගයට බසී. භවාඞ්ගයට අනතුරු වැ සංස්කාරෝපේක්‍ෂාව අනිත්‍යාදි වශයෙන් අරමුණු කළ සේ ම සංස්කාරයන් අනිත්‍යයැ යි හෝ දුඃඛයැ යි හෝ අනාත්මයැ යි හෝ සන්මර්‍ශනය කොට අරමුණු කෙරෙමින් මනොද්වාරාවර්‍ජන සිත උපදී. භවංගය පෙරළා උපන් ඒ ක්‍රියා සිතට අනතුරුවැ අතරක් නැතිවැ චිත්ත සන්තතිය නිරන්තර කොට පවත්වමින් පෙර දේ ම අනිත්‍යාදි විසින් සංස්කාරයන් අරමුණු කොට පරිකර්‍මය යි කියන ලද පළමු වන ජවන් සිත උපදී. එයට අනතුරුවැ අතරක් එසේම සංස්කාරයන් අරමුණු කොට උපචාරයැ යි කියන ලද දෙවන ජවන් සිත උපදී. එයට අනතුරුවැ එසේ සංස්කාරයක් අරමුණු කොට අනුලෝමය යි කියන ලද තුන්වන ජවන් සිත උපදී. මේ ඒ සිත්වලට වෙන වෙන නමි. එහෙත් අවිශේෂයෙන් ත්‍රිවිධ වූ ම මේ ජවන චිත්තය ආසේවනය යි ද, පරිකර්‍මය යි ද, උපචාරය යි ද, අනුලොමයයි ද කියන්නට වටී.
ප්‍රශ්න:- කුමකට අනුලොම් වේ ද
පිළිතුර:- පූර්‍වභාග පශ්චිම භාගයන්හි වූ ධර්‍ම කොට්ඨාසයනට අනුලොම් වේ.
ඒ මෙසේ යි:- ඒ ජවන චිත්තය ප්‍රථව වූ උදය - ව්‍යයාදි අටවැදෑරුම් විදර්‍ශනා ඥානයන්ට ලක්‍ෂණ ත්‍රය සන්මර්‍ශනය කිරීම වූ තථ කෘත්‍යය වන බැවින් අනුලොම් වේ. මත්තෙහි ද සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍මයනට තථ කෘත්‍යය සිද්ධ කරන බැවින් අනුලොම් වේ.
ඒ ඤාණය අනිත්‍ය ලක්‍ෂණාදි වශයෙන් සංස්කාරයන් ඇරැබැ පවත්නා හෙයින් උදය - ව්‍යය ඥානය උදය ව්‍යයවත් සංස්කාරයන්ගේ ම උත්පාද ව්‍යය දිටී ය යි ද, භඞ්ගානුපස්සනා ඤාණය ඒකාන්තයෙන් භඞ්ගය ඇති ධර්‍මයන් ගේ භඞ්ගය දිටී ය යි ද, ඒකාන්තයෙන් භය සහිත වූයෙහි ම භයතුපට්ඨාන ඤාණයට භය සහිත වැ වැටහිණ යැ යි ද, ආදිනවානුපස්සනාව ආදීනව සහිත වූයෙහි ම ආදීනව දිටී ය යි ද, නිබ්බිදා ඤාණය නිර්‍වෙද කටයුත්තෙහි ම නිර්‍වක්න වීය යි ද, මුඤ්චිතුකම්‍යතා ඤාණය මිදිය යුත්තෙහි ම මිදෙනු කැමැති වීය යි ද, පටිසංඛා ඤාණයෙන් අනිත්‍යාදි විසින් පටිසඞ්ඛා (නුවණින් සැලකීම) කරන ලදැයි ද, සංඛාරුපෙක්ඛා ඤාණයෙන් උපෙක්‍ෂා කටයුත්තෙහි ම උපේක්‍ෂිතයි යි ද, අර්‍ථ හෙයින් කියන්නාක් මෙන් මේ අට වැදෑරුම් ඤාණයෙන් ගේ තථ කෘත්‍යය ඇති බැවින් මතු මාර්ගයෙහි ද සත්තිස් බෝධිපාක්‍ෂිකධර්‍මයනට ඒ සම්‍යක් ප්‍රතිපත්තියෙන් පැමිණිය යුතු බැවින් අනුලොම් වෙයි.
නිදර්‍ශනයෙකි:- දැහැමි රජෙක් විනිශ්චයාසනයෙහි හුන්නේ ව්‍යවහාරික (අධිකරණ) ඇමතියා ගේ විනිශ්චය අසා අගතිගමනයට නො ගොස් මැදහත් වැ එසේ වේවා යි අනුමෝදන් වනුයේ ඒ විනිශ්චයට ද පුරාතන රාජධර්‍මයට ද අනුලොම් වෙයි.
උපමාන උපමෙය සංසන්‍දනය:- අනුලොම ඤාණය රජු මෙන් ද, අටවැදෑරුම් ඤාණයෝ අධිකරණ ඇමැතියන් මෙන් ද, සත්තිස්බෝධිපාක්‍ෂික ධර්‍මයෝ පෞරාණික රාජ ධර්‍මයන් මෙන් ද, දත යුතු වෙති. එසේ වේවා! යි කියනුයේ ව්‍යවහාරික අමාත්‍යයන්ට ද, විනිශ්චයට ද, රාජ ධර්‍මයට ද අනුලොම් වන්නාක් මෙන් අනිත්‍යාදි වශයෙන් සංස්කාරයන් අරැබ උපන්නා වූ අට නුවණට ද, තථ කෘත්‍ය කරන බැවින් අනුලොම් වෙයි. මතුයෙහි ද සත්තිස් බෝධිපාක්‍ෂිකධර්‍මයනට අනුලොම් වේ. එහෙයින් සච්චානුලොමික ඤාණය යි කියනු ලැබේ. (ටීකාහි ද විශෙෂ විස්තරයෙකි.)
අනුලෝම ඤාණය නිමි.
අනුලොම ඤාණය දක්වා එයට අනුවර්‍තක වූ ව්‍යුත්‍ථානගාමිණී විදර්‍ශනාව දක්වනුවෝ, මේ අනුලෝමඤාණය සංස්කාරාලම්බනික වූ ව්‍යුත්‍ථාන ගාමිණී විදර්‍ශනාවේ කෙරළවර වේ. සර්‍වප්‍රකාරයෙන් වනාහි ගෝත්‍රභූ ඥානය ව්‍යුත්‍ථානගාමිණී විදර්‍ශනාවේ පර්‍යවසානය යි දැන් පිණිස මේ සූත්‍ර සංසන්‍දනය දතයුතු.
ඒ මෙසේයි:- සළායතන විභඞ්ග සූත්‍රයෙහි;
“අතම්මයතං භික්ඛවෙ නිස්සාය අතම්මයතං ආගම්ම යායං උපෙක්ඛා එකත්තා එකත්තසීතා තං පජහථ තං සමතික්කමථාති”[1] මහණෙනි, අතම්මයතාව (ව්‍යුත්‍ථානගාමිනී විදර්‍ශනාව) නිශ්‍රය කොට අතම්මයතාවට පැමිණි යම් උපෙක්‍ෂාවක් එකස්වභාවයක් ඇති ද, එක් අරමුණක් ඇති බව ඇසුරු කොට පවතී ද ඒ උපෙක්‍ෂාව තදාලම්බන ක්ලේශ ප්‍රහාණයෙන් දුරු කරව්, ඒ ඉක්මවව්, මෙහි ව්‍යුත්‍ථානගාමිනී විදර්‍ශනාව අතම්මයතාය යි වදාරන ලදි.
අලගද්ද සූත්‍රයෙහි “නිබ්බින්‍දං විරජ්ජති විරාගා විමුච්චතීති”[2] සසර කළකිරුණේ නො ඇලේ. නො ඇල්මෙන් මිදේ මෙසේ ව්‍යුත්‍ථාගාමිනී විදර්‍ශනාව නිබ්බිදාය යි වදාරන ලදී.
සුසීම සූත්‍රයෙහි “පුබ්බෙ ඛො සුසීම ධම්මට්ඨීතීඤාණං පච්ඡා නිබ්බානෙඤාණං”[3] ‘සුසීමය! පූර්‍වයෙහි ධම්මඨීතියෙහි (පටිච්චසමුප්පාදයෙහි) නුමුළා බව වේ. පසු වැ මාර්‍ගඥානය වේ.’ මෙසේ ධම්මඨිතිඥානය යි වදාරන ලදී.
පොට්ඨපාද සූත්‍රයෙහි “සඤ්ඤා ඛො පොට්ඨපාද පඨමං උප්පජ්ජති පච්ඡාඤාණං”[4] ‘පොට්ඨපාදය! සඤ්ඤාව (ව්‍යුත්‍ථාන ගාමිනී විදර්‍ශනාව) පළමු වැ උපදී. පසු වැ මාර්‍ග ඥානය උපදී.’ මෙහි සඤ්ඤග්ගය යි වදාරන ලදි.
දසුත්තර සූත්‍රයෙහි “පටිපදාඤාණදස්සනවිසුද්‍ධි පාරිසුද්‍ධි පධානියඞ්ගං”[5] ‘පටිපදාඤාණදස්සන විසුද්‍ධිය පාරිසුද්‍ධි පධානියඞ්ගය’ යි මෙසේ ව්‍යුත්‍ථානගාමිනී විදර්‍ශනාව පාරිසුද්ධිපධානියඞ්ගය යි වදාරන ලදි.
පටිසම්භිදාමාර්ගයෙහි “යා ච මුඤ්චිතුකම්‍යතා යා ච පටිසංඛානුපස්සනා යා ච සංඛාරුපෙක්ඛා ඉමෙ ධම්මා එකට්ඨා ව්‍යඤ්ජමෙව නානා”[6] ‘මුඤ්චිතුකම්‍යතා ඤාණය ද, පටිසංඛානුපස්සනා ඤාණය ද, සංඛාරුපෙක්ඛා ඤාණය ද යන මේ ධර්‍මයෝ ඒකාර්‍ථයහ. ව්‍යඤ්ජකය ම වෙනසි යි’ මෙසේ ව්‍යුත්‍ථාන ගාමිනී විදර්‍ශනාව මේ නාම තුනින් වදාරන ලදි.
පට්ඨානයෙහි “අනුලොමං ගොත්‍රභුස්ස අනුලොමං වොදානස්ස”[7] ‘අනුලොම චිත්තය ගොත්‍රභූ චිත්තයට ද, අනුලොමය වෝදානයට ද ප්‍රත්‍යය වේ යයි’ මෙහි අනුලොම- ගොත්‍රභු- වොදාන යන නම් තුනෙක් වදාරන ලදි.
රථවිනීත සූත්‍රයෙහි:- කිං පනාවුසො පටිපදාඤාණ දස්සනවිසුද්‍ධත්‍ථං භගවති බ්‍රහ්මචරියං වුස්සති”[8] ‘ඇවැත්නි! ප්‍රතිපදාඥානදර්‍ශන විශුද්ධිය සඳහා භගවත්හු කෙරෙහි බඹසර වෙසේ දැ’යි මෙහි වුට්ඨානගාමිනී විදර්‍ශනාව ප්‍රතිපදාඥානදර්‍ශන විශුද්ධිය යි වදාරන ලදි.
මෙසේ අතම්මයතාදි නො එක් නමින් මහාර්ෂි වූ සම්‍යක් සම්බුද්‍ධයෝ ශාන්ත වූ පිරිසිදු වූ ව්‍යුත්‍ථානගාමිනීවිදර්‍ශනාව වදාළහ. එහෙයින් මහත් භය ඇති සසර දුක් මඩින් නැගෙනු කැමැති උපන් පඩි බව ඇත්තේ එහි නිතර යෝග කරන්නේ යි.
මෙසේ සාධුජනයා ගේ ප්‍රමෝදය පිණිස කළ විශුද්‍ධි මාර්‍ගයෙහි
ප්‍රඥා භාවනාධිකාරයෙහි ප්‍රතිපදාඥාන දර්‍ශනවිසුද්‍ධි නම් වූ
එක් විසිවන පරිච්ඡේදය නිමියේ යි.