(6) මේ නිබ්බිදාඤාණය පෙර කී භයතුපට්ඨාන - ආදීනව ඤාණ දෙක හා අර්‍ථ වශයෙන් එකකි. එහෙයින් කීහ පැරැණියො:-
‘එකම භයතුපට්ඨාන ඤාණය නාම තුන ම ලබ යි. සියලු සංස්කාරයන් භය වශයෙන් දිටීනු යි, භයතුපට්ඨාන නම් වී. එම සංස්කාරයන්හි ම ආදීනව උපදවානු යි ආදීනවානුපස්සනා නම් වී. එම සංස්කාරයන්හි ම නිර්‍වෙද කරමින් උපනැයි නිබ්බිදානුපස්සනා නම් වී යැ යි’ කියායි.
පෙළෙහි ද වදාළහ.
“යා ච භයතුපඨානෙ පඤ්ඤා, යා ච ආදීනවෙ ඤාණං යාච නිබ්බිදා, ඉමෙ ධම්මා එකට්ඨා ව්‍යඤ්ජනමෙවනානා”[1] ‘භයතුපට්ඨානයෙහි යම් ප්‍රඥාවෙක් වේ ද, ආදීනවයෙහි යම් නුවණෙක් වේ ද, යම් නිර්‍වෙදයෙක් වේ ද, මේ ධර්‍ම ඒකර්‍ථය ව්‍යඤ්ජ නම වෙනසි’ යි.
මේ නිර්‍වෙද ඥානයෙක් කළකිරුණු, උකටලී වූ නො ඇලුණු මේ කුලපුත්‍රයා ගේ සිත සියලු භව- යෝනි- ගති- විඥානස්ථිති- සත්ත්‍වාවාස ගත වූ සභෙද සංස්කාරයන් අතුරින් එකද සංස්කාරයෙකැ නො ඇලේ. නො ලැගේ, නො බැඳේ, සියලු සංස්කාර ජාතයෙන් මිදෙනු කැමැත්තේ, නික්මෙනු කැමැත්තේ වේ.
ඒ මෙසේයි:- දැල ඇතුළත වන් මසකු සේ ද, සර්‍පමුඛගත මැඩියකු සේ ද, මැදිරියක ලූ වලිකුකුළකු සේ ද, දැඩි මළපුඩුවකට අසු වූ මුවකු සේ ද, අහිකුණ්ඨිකයෙකු ගේ අතට පත් නයකු සේ ද, මහමඩෙහි ගැලුණු ඇතකු සේ ද, ගරුඬ මුවගත නාගයකු සේ ද, රාහුමුඛගත චන්‍ද්‍රයා සේ ද, සතුරන් පිරිවරන ලද පුරුෂයකු සේ දැයි (මේ ආදීන් ඒ ඒ තැනින් මිදෙනු කැමැත්තන් නික්මෙනු කැමැත්තන් වන්නා සේ) ඒ යෝගිහුගේ සිත ද සියලු සංස්කාර ජාතයෙන් මිදෙනු කැමැත්තේ, නික්මෙනු කැමැත්තේ වේ. මෙසේ සියලු සංස්කාරයෙහි ආලය පහවූ සියලු සංස්කාර ජාතයෙන් මිදෙනු කැමති ඒ යෝගීහට මුඤ්චිතුකම්‍යතා ඤාණය උපදී.
මුඤ්චිතුකම්‍යතා ඤාණය නිමි.
-
ප:ම: ඤාණකථා 259 (බුරුම) ↑