5. නිබ්බිදානුපස්සනාඤාණය

(5) ඒ යෝගී තෙමේ මෙසේ ත්‍රෛභූමක සියලු සංස්කාරයන් ආදීනව වශයෙන් දක්නේ සියලු භව - යොනි - ගති - විඤ්ඤාණඨිති - සත්ත්‍වාවාසගත වූ බිඳෙන සුලු සියලු සංස්කාර ජාතයෙහි කළකිරෙයි. උකටලි වෙයි. නො ඇලේ. චිත්‍ර‍කුට පර්‍වත පාදයෙහි ඇලුණු ස්වර්‍ණ රාජහංසයා අපවිත්‍ර‍ වූ සැඩොල් ගම්දොර ගවර වළෙහි නො ඇලෙන්නාක් මෙනි. සිංහ ප්‍ර‍පාතාදී සප්ත මහා විල්හිම ඇලේ. එපරිද්දෙන් ම මේ යෝගී රාජහංස තෙමේ මනාකොට දක්න ලද ආදීනව ඇති සභඞ්ගුර ත්‍රෛභූමක සංස්කාරගතයෙහි නො ඇලේ. භාවනාවෙහි ඇලුණු හෙයින් භාවනාභිරතියෙන් යුක්ත වූ යේ සප්තානුදර්‍ශනයෙහි ඇලේ.

රන් මැදිරියෙහි බහාලු මෘගරාජ සිංහයා එහි නො ඇලී තුන් දහසක් යොදුන් විශාල වූ හිමවත ම ඇලෙන්නාක් මෙනි. මේ යෝගී සිංහ තෙමේ ද කාමසුගති ආදි ත්‍රිවිධ සම්පත්ති භවයෙහි නො ඇලී ත්‍රිවිධ අනුපස්සනාහිම ඇලේ. සර්‍වාඞ්ග ධවල සප්තස්ථානයක් භූමියෙහි ස්පර්‍ශ වන්නා වූ සෘද්ධිමත් ආකාශචාරී ෂඩ්දන්ත හස්තිරාජයා නුවර මැද නො ඇලී හිමාලයෙහි සදත් විල්හි ම ඇලෙන්නා සේ මේ යෝගීවරවාරණයා ද සියලු ත්‍රෛභූමක සංස්කාරයෙහි නො ඇලී යට “අනුප්පාදො ඛෙමං” යනාදී නයින් අධිමුක්ති පූර්‍වක [1]*අන්‍වය දර්‍ශනයෙන් දක්නා ලද ශාන්ති පදයෙහි ම ඇලෙයි. ඒ ශාන්ති පදයෙහි නිම්න ප්‍ර‍වණ ප්‍රාග්භාර සිත් ඇති වේ.

නිබ්බිදානුපස්සනාඤාණය නිමි.

  1. *ටීකාහි ඛයදර්‍ශනයැ යි කී ව්‍යතිරෙක දර්‍ශන යනු මැනවි.