(4) ඒ භයතුපට්ඨාන ඤාණය සෙවුනා - වඩන - බහුලවැ වඩන ඒ යෝගීහට සියලු භව - යෝනි - ගති ස්ථිති - සත්ත්‍වාවාසයන්හි සංස්කාරයන්ගෙන් වන අනර්‍ථයෙන් ආරක්ෂාවෙක් නැති. ඒ අනර්‍ථය දුරු කිරීමට ලැගෙන තැනෙක නැති, යා යුතු තැනෙක් නැති, රක්‍ෂාකරන තැනෙක් නැතැ’ යි පැනේ. සියලු භව - යේනි - ගති ස්ථිති - නිවාස ගත වූ සංස්කාරයන් අතුරින් එක සංස්කාරයෙක්හිදු ප්‍රාර්‍ථනාවෙක් හෝ දෘෂ්ටි වශයෙන් දැඩිවැ ගැනීමෙක් හෝ නො වේ. තුන් භවය සාලඟුරින් පිරි අඟුරු වළවල් මෙන් ද, සතර මහාභූත (කඬමුඛ - පූතිමුඛ - අගගිමුඛ - සත්‍ථමුඛ) ආශිවිෂයන් සතර දෙනකුන් මෙන් ද, පඤ්චස්කන්‍ධ නගා ගත් කඩු ඇති වධකයන් පස්දෙනෙකුන් මෙන් ද, චක්‍ෂුරාදී ආධ්‍යාත්මික ආයතන සය ආත්ම - අත්මීය භාවයෙන් ශුන්‍ය හෙයින් ශුන්‍ය ග්‍රාමයක් මෙන් ද, බාහිරායතන සය ගම් පහරන සොරුන් මෙන් ද, සප්ත විඥාන සථිතිහු ද, නව සත්ත්‍වාසය ද, රාගාදී එකොළොස් ගින්නේ ඇවිල ගත්තවුන් මෙන් ද, දිළියෙන්නවූන්මෙන් ද, රෝග මෙන්, හුල් මෙන් ද, අඝ මෙන් ද, ආබාධ මෙන් ද වූවාහු ආස්වාද රහිතවැ නීරසවැ මහත් ආදීනව රැසැක්වැ වැටහෙති.
ඒ මෙසේයි:- සුවසේ ජීවත්වනු කැමැති බියසුලු පුරුෂයකු හට රමණි සේ පිහිටි චණ්ඩ මෘගයන් ඇති වන ගහණයක් මෙන් ද, ව්‍යාඝ්‍රයන් ඇති ගුහාවක් මෙන් ද, කිඹුලන් හා රකුසන් සහිත විලක් මෙන් ද, ඔසවා ගත් කඩු ඇති සතුරකු මෙන් ද, විෂ සහිත බොජුනක් මෙන් ද, සොරුන් ඇති මෘගයක් මෙන් ද, ගිනිගත් ගෙයක් මෙන් ද, යොදන ලද සේනා ඇති යුද බිමක් මෙන් ද වැටහේ. ඒ පුරුෂ තෙමේ ව්‍යාල සහිත වන ගහණාදීන්ට පැමිණ බිය පත්වැ සංවිග්නවැ හටගත් ලොමුදැහැ ගැනීම් ඇතිවැ හාත්පසින් ආදීනව දක්නා සේ මේ යෝගීතෙමේ භඞ්ගානුපස්සනා වශයෙන් සියලු සංස්කාරයන් භය වශයෙන් එළැඹ සිටි කල්හි හාත්පසින් නීරස වූ ආස්වාද රහිත ආදීනවය ම දකී. මෙසේ බලන්නා වූ ඒ යෝගීහට ආදීනව ඤාණ නම් ඤාණයක් උපන්නේ වේ.
එයින් වදාළහ.
“කථං භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං?
(1) උප්පාදො භයන්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං පවත්තං භයන්ති- නිමිත්තං භයන්ති- ආයූහනා භයන්ති- පටිසන්‍ධි භයන්ති- ගති භයන්ති- නීබ්බන්ති භයන්ති- උප්පන්ති භයන්තී- ජාති භයන්තී- ජරා භයන්ති- ව්‍යාධි භයන්ති- මරණං භයන්ති- සොකො භයන්ති- පරිදෙවො භයන්ති- උපායාසො භයන්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං.
(2) අනුප්පාදො ඛෙමන්ති සන්තිපදෙ ඤාණං. අප්පවත්තං -පෙ- අනුපායාසො ඛෙමන්ති සන්තිපදෙ ඤාණං.
(3) උප්පාදො භයං - අනුප්පාදො ඛෙමන්ති සන්තිපදෙ ඤාණං.
(4) උප්පාදො දුක්ඛංති භයතුපට්ඨනෛ පඤ්ඤා ආදීනවෙ ඤාණං. පවත්තං -පෙ- උපායාසො දුක්ඛන්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදිනවෙ ඤාණං.
(5) අනුප්පාදො සුඛංති සන්තිපදෙ ඤාණං.
(6) උප්පාදො දුක්ඛං, අනුප්පාදො සුඛන්ති සන්තිපදෙ ඤාණං පවත්තං -පෙ- උපායාසො දුක්ඛං අනුප්යාසො සුඛන්ති සන්තිපදෙ ඤාණං.
(7) උප්පාදො සාමිසන්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං.
(8) අනුප්පාදො නිරාමිසන්ති සන්තිපදෙ ඤාණං. අප්පවත්තං -පෙ- අනුපායාසො නිරාමිසන්ති සන්තිපදෙ ඤාණං.
(9) උප්පාදො සාමිසං, අනුප්පාදො නිරාමිසන්ති සන්තිපදෙ ඤාණං. පවත්තං -පෙ- උපායාසො සාමිසං අනුපායාසො නිරාමිසන්ති සන්තිපදෙ ඤාණං.
(10) උප්පාසො සඞ්ඛාරාති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං. පවත්තං -පෙ- උපායාසො සඞ්ඛරාති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං.
(11) අනුප්පාදො නිබ්බානන්ති සන්තිපදෙ ඤාණං.
(12) උප්පාදො සඞ්ඛාර, අනුප්පාදො නිබ්බානන්ති සන්තිපදෙ ඤාණං පවත්තං -පෙ- උපායාසො සඞ්ඛාර අනුපායාසො නිබ්බානන්තී සන්තිපදෙ ඤාණං.[1]
මේ දශ වස්තුක දොළොස් වාරයකින් සැරසුණු අන්‍වයව්‍යතිරෙක වූ මේ ආදීනව ඥාන පදභාජනිය කියන ලදි.
භයතුපට්ඨානයෙහි ප්‍රඥාව කෙසේ ආදීනවයෙහි ඥානය වේද
(1) ඉපදීම භයෙකැ යි භයතුපඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥානය වේ. සංස්කාර ප්‍රවෘත්තිය භයෙකැ යි, සංස්කාර නිමිත්ත භයෙකැ යි, ආයූහන සඞ්ඛ්‍යාත ප්‍රතිසන්‍ධියට හේතු වූ කර්‍මය භයෙකැ යි, ප්‍රතිසන්‍ධිය භයෙකැ යි, නිරයාදී පස් ගතිය භයෙකැ යි, නිපැත්ම භයෙකැ යි, උපප්‍රාප්තිය භයෙකැ යි ජාතිය භයෙකැ යි, ජරාව භයෙකැ යි, ව්‍යාධිය භයෙකැ යි මරණය භයෙකැ යි, ශෝකය භයෙකැ යි පරිදේවය භයෙකැ යි, උපායාසය භයෙකැ යි, භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥාන නම් වේ.
(2) අනුත්පාදය ක්‍ෂේමය යි ශාන්තිපද සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි ඥානය වේ. අප්‍රවෘත්තිය - අනුපායාසය ක්‍ෂේමය යි ශාන්තිපදයෙහි ඥානය වේ.
(3) උත්පාදය භය යැ, අනුත්පාදය ක්‍ෂේමය යි ශාන්තිපදයෙහි ඥානය වේ.
(4) උත්පාදය දුඃඛය යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥානය වේ. ප්‍රවෘත්තිය -පෙ- උපායාසය දුක්ය යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥානය වේ.
(5) අනුත්පාද සුඛය යි ශාන්තිපදයෙහි ඤාණය වේ. අප්‍රවෘත්තිය - අනුපායාසය සුඛයය යි ශාන්තිපදයෙහි ඥානය වේ.
(6) උත්පාදය දුඃඛය, අනුත්පාදය සුඛයැ යි ශාන්තිපදයෙහි ඥානය වේ.
(7) උත්පාදය සාමිසයැ යි භතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥානය වේ. සංස්කාර ප්‍රවෘත්තිය - උපායාසය සාමිසය යි භතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥානය වේ.
(8) අනුත්පාදය නිරාමිසය යි නිර්‍වාණයෙහි ඥානය යි. අප්‍රවෘත්තිය - අනුපායාසය නිරාමිසය යි ශාන්තිපදයෙහි ඤාණය වේ.
(9) උත්පාදය සාමිසය, අනුත්පාදය නිරාමිසයැ යි ශාන්තිපදයෙහි ඥානය වේ.
(10) උත්පාදය සංස්කාරය යි භයතුපඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥානය වේ. (සංස්කාරයන් ගේ) ප්‍රවෘත්තිය, උපායාසය සංස්කාරය යි භයතුපඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥානය වේ.
(11) අනුත්පාදය නිර්‍වාණය යි. ශාන්තිපදයෙහි ඤාණය වේ. අප්‍රවෘත්තිය-අනුපායාසය නිර්‍වාණය යි ශාන්තිපදයෙහි ඥානය වේ.
(12) උත්පාදය සංස්කාරය, අනුත්පාදය නිර්‍වාණය යි ශාන්තිපදයෙහි ඥානය වේ. ප්‍රවෘත්තිය -පෙ- උපායාසය සංස්කාරය අනුපායාසය නිර්‍වාණය යි ශාන්තිපදයෙහි ඥානය වේ.
සංග්‍රහ ගාථා
“උප්පාදඤ්ච පවත්තඤ්ච - තිමිත්තං දුක්ඛන්ති පස්සති
ආයූහනං පටිසන්‍ධිං - ඤාණං ආදීනවෙ ඉදං.”
“අනුප්පාදං අප්පවත්තං - අනිමිත්තං සුඛන්ති ච
අනායූහනාප්පටිසන්‍ධි - ඤාණං සන්තිපදෙ ඉදං”
“ඉදං ආදීනවෙ ඤාණං - පඤ්චට්ඨානෙසු ජායතී
පඤ්චඨානෙ සන්තිපදෙ - දසඤාණෙ පජානාති
ද්වින්තං ඤාණානං කුසලතා - නානාදිට්ඨීසු න කම්පති”
ඉපදීමය, පැවැත්මය, නිමිත්තය, ආයූහනය, ප්‍රතිසන්‍ධිය, දුක්ය යි දකී. මේ ආදීනවයෙහි ඤාණය යි. අනුත්පාදය, අප්‍රවෘත්තිය, අනිමිත්තය, අනායූහනය, අප්‍රතිසන්‍ධිය සැපය යි දකී. මේ නිර්‍වාණ (ශාන්තිපද)යෙහි ඤාණය යැ.
ආදීනවයෙහි ඤාණය - අප්පාද - පවත්ති - නිමිත්ත - ආයූහන - පටිසන්‍ධි යන පස්තැනෙක උපදී.
ශාන්ති පදයෙහි ඤාණය, අනුප්පාද - අප්පවත්ති- අනිමිත්ත- අනායූහන- අප්පටිසන්‍ධි යන පස් තැනෙක උපදී. මේ දස ඤාණයන් දන්නේ ආදීනව ඤාණ, ශාන්තිපද ඤාණ දෙකෙහි දක්‍ෂ භාවයෙන් නොයෙක් මිථ්‍යා දෘෂ්ටීන් ගෙන් කම්පිත නො වේ.
ඒ දැනීම දන්නා ලද අර්‍ථයෙන් ඥාන නමි. අනිත්‍යාදී ත්‍රිලක්‍ෂණ ප්‍රකාරයෙන් දැනීම් අර්‍ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් ‘භයතුපඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං’ කියනු ලැබේ.
ගාථා විස්තරාර්‍ථ:-
ඒ ගාථාහි උප්පාදො යනු පූර්‍වභවයෙහි වූ කර්‍ම ප්‍රත්‍යයෙන් මේ භවයෙහි උත්පත්තිය යැ.
පවත්ත නම් එසේ උපන්නහුගේ ප්‍රවෘත්තිය යැ.
නිමිත්ත නම් සියලු සංස්කාර නිමිත්ත යැ.
ආයූහන නම් මතු භවයෙහි ප්‍රතිසන්‍ධියට හේතු වූ කර්‍ම යැ.
පටිසන්‍ධි නම් මතු භවයෙහි පිළිසිඳීම යැ.
ගති නම් යම් ගතියකින් ඒ ප්‍රතිසන්‍ධි වේ නම් ඒ ගති යැ.
නිබ්බත්ති නම් පඤ්චස්කන්‍ධයන් ගේ පහළ වීම යැ.
උප්පත්ති නම් සමාපන්නයා ගේ හෝ ප්‍රතිසන්‍ධියට ගියහු ගේ හෝ විපාකයන් ගේ පැවැත්ම යැ.
ජාති නම් ජරාදියට ප්‍රත්‍යය වූ කර්‍මභව ප්‍රත්‍යයයෙන් හට ගැනීම යැ.
ජරා, ව්‍යාධි, මරණාදිය ප්‍රකට යි.
විශේෂ:- මේ උත්පාදාදී පස පමණක් ආදීනව ඥානයට වස්තු වශයෙන් කියන ලදි. සෙසු ගති - නිබ්බත්ති ආදිය එයට පරියාස වශයෙනි.
ඒ මෙසේයි:- නිබ්බත්ති - ජාති යන දෙක උත්පාදයේ ද ප්‍රතිසන්‍ධියේ ද පරියාය වචන යි.
ගති - උප්පත්ති යන මේ දෙක ප්‍රවෘත්තිහු ගේ පරියාස වචන යි.
ජරාදිය නිමිත්ත ශබ්දයා ගේ පරියාය වචනයි.
“උප්පාදඤ්ච පවත්තං ච - නිමත්තං -පෙ- පස්සති
ඉදං ආදීනවෙ ඤාණං - පඤ්චඨානානි ගච්ඡති” යි එයින් කියන ලදි.
අනුප්පාදො ඛෙමන්ති සන්ති පදෙ ඤාණං - යනාදිය ආදීනව ඤාණයට ප්‍රතිපක්‍ෂ වූ ඤාණය දැක්වීම සඳහා කියන ලදි.
විස්තර:- යට කී සේ භයතුපට්ඨාණඤාණයෙන් ආදීනව දැක උද්වේගයට පත්වූවන්ට අභය ද, නිරාදීනවය ද ඇතැයි අස්වැසිලි දනවනු පිණිස කියන ලදි.
යම් හෙයකින් වනාහි ඒ යෝගී හට උත්පාදා දී ධර්‍මයෝ භය වශයෙන් මැනැවින් වැටහුණාහු ද ඒ යෝගීහු ගේ සිත ඒ භයාදියට ප්‍රතිපක්‍ෂ නිර්‍වාණයට නැමේ.
(දාහයෙන් මැඩුණා වූ සීතලට නැමී ගන්නා සේ මැනැවින් ආදීනව දැක්මෙන් ඒකාන්තයෙන් මිදෙනු කැමැති වන බැවිනි, යනු ටීකායි.)
එහෙයින් භයතුපඨාන වශයෙන් සිද්ධ ආදීනව ඥානයා ගේ අනුසස් දැක්වීම සඳහා මේ කියන ලදැයි දතයුතු.
මෙහි උත්පාදාදි යම් භවයෙක් වේ නම් එය නියමයෙන් ම දුක් වේ. උත්පාදාදිය වට්ටමිස - ලෝකාමිස - කිලෝසාමිසයෙන් නො මිදුණු හෙයින් සාමිස මැ යි. යමක් ආමිස සහිත නම් එය සංස්කාර මාත්‍ර මැ යි. එහෙයින් උප්පාදෙ දුක්ඛන්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං යනාදිය කියන ලදි. මෙසේ දුක් සැහැවි ඇති කල්හිදු භයාකාරයෙන් ද, දුඃඛාකාරයෙන් ද සාමිසාකාරයෙන් දැ යි ආකාර නානාත්‍වයෙන් පැවැතීම් වශයෙන් මෙහි නානාත්‍වය දත යුතු. ‘දසඤාණෙ පජානාති, යනු ආදීනව ඥානය දන්නේ උත්පාදාදී වස්තුන් පසක ද, අනුත්පාදා දී වස්තුන් පසක් දැ යි දස ඤාණයක් ප්‍රකාරයෙන් දනී. ප්‍රතිවේධ කෙරේ, සාක්‍ෂාත් කෙරේ.
ද්වින්තං ඤාණානං කුසලතා = (ආදීනව ඤාණයා ගේ ද, සන්තිපද ඤාණයා ගේ ද යන මේ) ද්විඥානයා ගේ දක්‍ෂ බැවින්,
නානාදිට්ඨිසු න කම්පති = පරම දෘෂ්ට ධර්‍ම නිර්වාණාදි වශයෙන් පැවති දෘෂ්ටීන් හි නො සැලේ.
(සෙසු නය නොගැඹුරු අර්‍ථ ඇත්තේ යි.)
ආදීනවානුපස්සනාඤාණය නිමි.
-
ප:ම: ඤාණකථා 57 (බුරුම) ↑