(3) මෙසේ සියලු සංස්කාරයන් ගේ ක්‍ෂ්‍ය - ව්‍යය - භේද - සංඛ්‍යාත නිරෝධය අරමුණු කොට පැවැති භඞ්ගානුපස්සනාව ආසේවනය කරන - වඩන - නැවත නැවත වඩන ඒ යෝගීහට සියලු භව - යෝනි - ගති - විඤ්ඤාණට්ඨිති - සත්ත්‍වාසයෙහි බිඳෙන සංස්කාරයෝ සුවසේ ජීවත්වනු කැමති බියසුලු පුරුෂයෙක් හට සිහ - වග - දිවි - වලස් - තරස් - යක් - රකුස් - සැඩගොන් - සැඩබලු - බිඳුණු මද ඇති ඇත් - ගොරසප් - හෙණමඬුලු - සොහොන් - යුදබිම් - දිළිසෙන අගුරුවළ ආදිය මෙන් මහා භයවැ වැටහෙත්.
ඉකුත් සංස්කාරයෝ නිරුද්ධ වූහ. වර්‍තමාන සංස්කාරයෝ නිරුද්ධ වෙත්. අනාගතයෙහි උපදින සංස්කාරයෝ ද මෙසේ ම මතු නිරුද්ධ වන්නාහ යි බලන්නා වූ ඕ හට භයතුපට්ඨාන නම් නුවණ උපදී.
මේ එහි උපමාවෙකි:- එක් මාගමක ගේ පුත්තු තුන් දෙනෙක් රාජපරාධයක් කළහ. රජ ඔවුන් හිස් සිඳීමට නියෝග කෙළේය. ඕ තොමෝ පුතුන් හා වධස්ථානයට පැමිණියා ය. එකල ඇය ගේ දෙටු පුතා ගේ හිස සිඳ, මද්දුමයා ගේ හිස සිඳීමට සූදානම් වූහ. ඕ තොමෝ, ‘වැඩිමලා ගේ හිස සින්දේ යැ’ මද්දුමයා ගේ හිස ද සිඳී ය යි’ බාලයා කෙරෙහි ආලය හැරියා ය. මේ තෙමේ ද අනෙක් දෙදෙනා මෙනැ යි කියා යි.
ඒ උපමාහි:- ඒ ස්ත්‍රිය දෙටු පුතා ගේ සිඳි හිස දැකීම මෙන් යෝගීහු ගේ ඉකුත් සංස්කාරයන් ගේ නිරෝධය දැකී ම ද, මද්දුමයා ගේ හිස සිඳිනු දැකීම මෙන් වත්මන් සංස්කාර නිරෝධය දැකීම ද, මේ ද මොවුන් වැනි යයි බාලයා ගේ ආශාව හැරීම මෙන් අනාගතයෙහි ද උපදනා සංස්කාරයෝ බිඳෙත්යැ යි අනාගත ධර්‍මයන් ගේ නිරෝධය දැකීම ද දතයුතු. මෙසේ බලන්නා වූ ඒ යෝගීහට මෙ තැන භයතුපඨාන ඤාණය උපදී.
තවද උපමාවෙකි:- මියන දරුවන් ඇති එක් මාගමක් දරුවන් දස දෙනකු වැදුවාය. ඔවුනතුරින් නව දෙනෙක් මළහ. එකෙක් දැන් අතෙහි මැරේ. අනෙකෙක් කුසෙහි ද සිටී. ඕ දරුවන් නව දෙනෙකුන් මළ කලැ දස වැන්නා මියයන්නාහු දැක කුසහොත් දරුවා මළවුන් හා සමය, යි ඔහු කෙරෙහි ආලය හැරියා ය.
ඒ උපමාහි ද, ඒ ස්ත්‍රියගේ දරුවන් නව දෙනෙකුන් ගේ මරණය සිහිකිරීම මෙන් ඒ යෝගීහු ගේ අතීත සංස්කාර පිළිබඳ නිරෝධය සිහිකිරිම ද, අත දරුවා මියනු දැකීම මෙන් වර්‍තමාන සංස්කාර නිරෝධය දැකීම ද, කුසහොත් දරුවා ගේ ආලය හැරීම මෙන් අනාගත සංස්කාර නිරෝධය දැකීම ද දත යුතු යි. මෙසේ බලන්නා වූ ඒ යෝගීහට එකණෙහි භයතුපඨාන ඤාණය උපදී.
ප්‍රශ්නයෙකි:- භයතුපට්ඨාන ඤාණය බාද නො බාද
පිළිතුර:- නො බායි බිය වන ආකාරයෙන් නුවණ නූපදනා හෙයිනි.
විශේෂ:- ඒ ඤාණය වනාහී ඉකුත් සංස්කාරයෝ නිරුද්ධයහ. වර්‍තමාන සංස්කාරයෝ නිරුද්ධ වෙත්. අනාගත සංස්කාරයෝ නිරුද්ධ වන්නාහ’යි මෙසේ තීරණ මාත්‍රයෙක් මැයි.
ඒ මෙසේයි:- ඇස් ඇති පුරුෂයෙක් නුවර දොර අඟුරු වළවල් තුනක් දැක මේ තෙමේ නො බායි. හුදෙක් ‘මෙහි යම් යම් කෙනෙක් වැටෙත් නම් ඔහු හැම දෙනම බොහෝ දුක් අනුභව කෙරෙත්ය’ යි තීරණ මාත්‍රයෙක් ම ඕහට වේ. එසේ ම පිළිවෙලින් තුබූ කිහිරි හුලෙක, යහුලෙක, රත් හුලෙකැ යි හුල් තුනක් දක්නා ඇස් ඇත්තෙක් තෙමේ නොබායි. හුදෙක් යම් යම් කෙනෙක් මේ හුල්වල හෙත් නම් ඔහු හැම දෙනම බොහෝ දුක් අනුභව කෙරෙත්ය යි තීරණ මාත්‍රයෙක් ම වේ. මෙසේ භයතුපට්ඨාන ඤාණය නො බා යි හුදෙක් ඒ යෝගීහට අඟුරු වළවල් තුනක් වැනි වූ ද, හුල් තුනක් වැනි වූ ද ත්‍රිවිධ භවයෙහි “අතීත සංස්කාරයො නිරුද්ධයහ. වර්‍තමාන සංස්කාරයෝ නිරුද්ධ වන්නාහ.’ යි තීරණ මාත්‍රය ම වේ. හුදෙක් ඒ යෝගීහට සියලු භව - යෝනි - ගති - ඨිති - නිවාසගති සංස්කාරයෝ ව්‍යසන ප්‍රාප්තයන්වැ - ප්‍රතිභවය සහිතයන්වැ භය වශයෙන් වැටහෙති. එහෙයින් භයතුපඨානය යි කියනු ලැබේ.
මේ ඒ පිළිබඳ පාළිය යි:- “අනිච්චතො මනසිකරොතො කිං භයතො උපට්ඨාතීති. අනිච්චතො මනසිකරොතො නිමිත්තං භයතො උපට්ඨාති. දුක්ඛතො මනසිකරොතො පවත්තං භයතො උපට්ඨාති. අනත්තතො මනසිකරොතො පවත්තං භයතො උපට්ඨාති අනත්තතො මනසිකරොතො නිමිත්තඤ්ච පවත්තඤ්ච භයතො උපට්ඨාති”[1] යනු යි. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන යෝගීහට කුමක් භය වශයෙන් වැටහේ ද, අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට නිමිත්ත භය වශයෙන් වැටහේ. දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට ප්‍රවෘත්තිය භය වශයෙන් නිමිත්ත ද, භව ප්‍රවෘත්තිය ද භය වශයෙන් වැටහේ.’
විස්තර:- එහි නිමිත්ත නම් සංස්කාර නිමිත්ත යැ. අතීත අනාගත - ප්‍රත්‍යුත්පන්න වූ සංස්කාරයනට ම මේ නමෙකි.
ඒ මෙසේයි:- අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන යෝගී තෙමේ සංස්කාරයන් ගේ මරණය (භඞ්ගය) ම බලයි. එහෙයින් ඒ යෝගීහට සංස්කාර නිමිත්ත භය වශයෙන් වැටහේ. ප්‍රවෘත්තිය නම් රූප - අරූප භවයන් ගේ ප්‍රවෘත්තිය යි. දුක් වශයෙන් මෙනෙහි කරන්නේ සුඛ සම්මත වූ ද ප්‍රවෘත්තිය නිතර පෙළන බව ම දකී. එහෙයින් ඒ යෝගී භව ප්‍රවෘත්තිය ම භය වශයෙන් දකී. අනාත්ම වශයෙන් මෙනෙහි කරන යෝගී තෙමේ ප්‍රවෘත්ති - නිමිතිි යන මේ දෙක ම ශූන්‍ය වූ ගමක් මෙන් ද, මිරිඟු දියක් මෙන් ද, ගන්‍ධර්‍ව නගරයක් මේන ද රිත්ක යැ. තුච්ඡ යැ, ශුන්‍ය යැ, අස්වාමික යැ, අපරිනායකයැ යි දකී. එහෙයින් ඒ යෝගීහට නිමිත්ත - පවත්ත යන දෙකම භය වශයෙන් වැටහේ.
භයතුපට්ඨාන ඤාණය නිමියේ යි.
-
ප:ම: විමොක්ඛකථා 259 (බුරුම) ↑