1. සමාන භාවය වූ එකත්ත නය යැ
2. අසමාන භාවය වූ නානත්ත නය යැ
3. නිරුත්සාහ භාවය වූ අව්‍යාපාර නය යැ
4. අවිද්‍යාදී ධර්‍මයන් ගේ මේ ස්වභාවය යි කියන ලද එවං ධම්මතා නය යැ යි අර්ථ නය සතරෙකි.
මෙසේ මේ භව චක්‍රය නය භෙදයෙන් ද සුදුසු පරිදි දතයුතු.
(1) ඒ චතුර්විධ නය අතුරින් එකත්‍ව නය මෙසේ යි : බීජයේ අඞ්කුර-පත්‍ර-ස්කන්‍ධ-ශාඛා-පලාසාදි භාවයෙන් වෘක්‍ෂ භාවයට පැමිණීම මෙන්, ‘අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරය වේ’ ‘සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වේ’ යැ යන මේ පරිද්දෙන් සන්තතිය නො සිඳ පැවැත්ම ඒකාන්ත නය යැ.
විස්තර:- ඒ එකත්‍ව නය අවිපරීත කොට දක්වන්නේ හේතු ඵල ධර්‍මයන් ගේ ගැළපීමෙන් වන්නා වූ හේතු-ඵල පරම්පරාව නො සිඳ පැවැත්ම ඇති සැටි අවබොධ කරන හෙයින් උච්ඡෙද දෘෂ්ටිය සිඳී.
ඒ සන්තතිය ගේ නො සිඳ පැවැත් ම විපරීත කොට දක්නේ හේතු-ඵල ධර්‍මයන් ගේ ගැළපීමෙන් වන්නා වූ හේතු-ඵල පරම්පරාව නො සිඳ පැවැත් ම, හේතු-ඵල භේදයක් නො කොට එකත්‍වය යි ගැනීමෙන් ශාස්වත දෘෂ්ටිය දැඩිකොට ගනී.
(2) අවිද්‍යාදීන් ගේ තම - තමා පිළිබඳ ලක්ෂණ විනිශ්චය කොට දැකීම නානාත්‍ව නය නමි.
විස්තර:- එය ලක්ෂණ ව්‍යවස්ථානයෙන් අවිපරීත කොට දක්නේ අභිනව ධර්‍මයන් ගේ ඉපැත්ම දක්නා හෙයින් ශාස්වත දෘෂ්ටිය හරී.
ඒ ලක්ෂණ ව්‍යවස්ථානය විපරීත කොට දක්නේ එකම සන්තානයෙකැ (පරම්පරාවෙකැ) පතිත වූ හේතු-ඵල ධර්‍ම සමූහයක ගේ භින්න සන්තානයෙකැ පැවැති හේතු-ඵල පරම්පරාවක් මෙන් නානාත්‍වයෙන් ගන්නා හෙයින් උච්ඡේද දෘෂ්ටිය දැඩි කොට ගනී.
(3) සංස්කාර ‘මා විසින් ඉපද විය යුතු’ යැ යි අවිද්‍යාවට හෝ විඤ්ඤාණ ‘අප විසින් ඉපදවිය යුතු’ යැ යි සංස්කාරයනට හෝ මෙසේ මේ ආදි ව්‍යාපාරයක් (උත්සාහයක්) නැති බව අව්‍යාපාර නය නමි.
විස්තර:- එය අවිපරිත කොට දක්නේ ඊශ්වරාදි කාරකයකු අවිද්‍යාමාන බව අවබෝධ කිරීමෙන් ආත්ම (නිර්‍මාණ) දෘෂ්ටිය දුරු කෙරේ. ඒ අව්‍යාපාර නය විපරීත කොට දක්නේ උත්සාහය නැති කල්හි දු අවිද්‍යාදී ස්වභාවයම වූ නියම වශයෙන් සිද්ධ යම් හේතු ස්වභාවයෙන් වේ නම් ඒ හේතු භාවය වටහා නො ගැනීමෙන් අක්‍රිය දෘෂ්ටිය දැඩි කොට ගනී.