5. ගම්භීර වසයෙන්

star_outline

(5) ගම්භීර හෙයින් : භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාදය, අත්ථි ධර්‍ම - දෙශනා -ප්‍ර‍තිවේධ වශයෙන් ගැඹුරු බව් නිසා “ගම්භීරොචායං ආනන්‍ද පටිච්චසමුප්පාදො ගම්භීරවභාසො ච”[1] ‘ආනන්‍දය, මේ පටිච්චසමුප්පාදය ගැඹුරු යැ. ගැඹුරු වැ මැ වැටහේ’ ය යි වදාළසේක. මෙසේ ගම්භීර භෙද වශයෙන් ද භව චක්‍ර‍ය දත යුතු යි.

විස්තර:- ජාති ප්‍ර‍ත්‍යයයෙන් ජරා-මරණ නො වන්නේ නො වේ. වන්නේ මැයි. ජාතිය හැර අනෙකකින් ජරා-මරණ නො වේ. මෙසේ ජාති ප්‍ර‍ත්‍යයයෙන් වන්නේ ය යි (මෙ සේ ජාති ප්‍ර‍ත්‍යයයෙන් වන බව) දත නො හැකි බැවින් ජරා-මරණ ප්‍ර‍ත්‍යයයෙන් හට ගෙන ඒ හා එක්වැ පැවැතැ ඒ අනුවැ ම මතු මත්තෙහි පැමිණීම් සඞ්ඛ්‍යාත තත්ත්‍වය අවබෝධ කිරීමට දුෂ්කර හෙයින් ගැඹුරු ය. එසේ ම ජාතිය ගේ භව ප්‍ර‍ත්‍යයයෙන් හටගැනීම් ආදි අර්ථය ද ගම්භීර යැ.

(මෙහි ‘ජාති ප්‍ර‍ත්‍යයයෙන් ජරා-මරණ නො වන්නේ නොවේ’ යනුවෙන් අවිතථාර්ථය දක්ව යි. ‘ජාතිය හැර අනෙකකින් ජරා-මරණ නො වේ’ යනුවෙන් අනන්‍යථර්‍ථය දක්වයි. මෙසේ ‘ජාති ප්‍ර‍ත්‍යයයෙන් වන්නේ යැ, යන්නෙන් තථාර්ථය දක්ව යි. එහෙයින් ප්‍ර‍ත්‍යය ධර්‍ම ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍මයනට ප්‍ර‍ත්‍යය භාවයෙහි තථා, අවිතථ, අනඤ්ඤථ වන්නාසේ ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍ම ද ප්‍ර‍ත්‍යය ධර්‍ම ඇති කල්හි ම වන බව දක්වයි. සෙස්සෙහි ද මෙසේ මැ යි.)

එසේ ම ජාතිය භව ප්‍ර‍ත්‍යයෙන් සම්භූත සමූදාගතාර්ථය ද, -පෙ-සංස්කාර අවිද්‍යා ප්‍ර‍ත්‍යයයෙන් සම්භූත සමුදාගතාර්ථය ද ගැඹුරු යැ.

එසේම මේ භව චක්‍ර‍ය අත්‍ථි හෙයින් ගැඹුරු යැ. මේ මෙහි අත්‍ථි ගම්භීරතා යි.

හේතු - ඵලය අත්‍ථිය යි කියනු ලැබේ.

එයින් වදාළහ. “හෙතුඵලෙ ඤාණං අත්‍ථපටිසම්භිදා”[2] ‘හෙතු-ඵලයෙහි ඤාණය අර්‍ථ ප්‍ර‍තිසම්භිදා’ යැ.

යම් ආකාරයකින් යම් අවස්ථාවෙකින් සිටි අවිද්‍යාව ඒ ඒ සංස්කාරයනට ප්‍ර‍ත්‍යය වේ නම් ඒ ආකාර දුරවබොධ බැවින් අවිද්‍යාව ගේ සංස්කාරයනට ප්‍ර‍ත්‍යයාර්ථය ගම්භීර යැ. සංස්කාරදීන් ගේ ද විඥානාදියට ප්‍ර‍ත්‍යයාර්ථභාවය ද එසේ මැයි (අවස්ථා විශේෂවත් ධර්‍මයෝ ඒ ඒ අවස්ථා විශේෂයෙන් යුක්ත වැ ඒ ඒ කෘත්‍යයන් සාධන්නට සමර්‍ථ වෙත් යනු සත්‍ය යි.)

එසේම මේ භව චක්‍ර‍ය ධර්‍ම ගම්භිර යැ.

හේතු හට ධර්‍ම යනු නමි. එහෙයින් වදාළහ. “හෙතුම්භි ඤාණජ ධම්මපටිසම්භිදා”1 ‘හේතුවෙහිපවත්නා නුවණ ධම්ම පටිසම්භිදා’ යැ.

මේ මෙහි ධර්‍ම ගම්භිරතා යැ.

දෙශනා ගම්භීරතාව, ඒ භව චක්‍ර‍ය විනෙය ජනයන් ගේ චතුඃසත්‍යාවබෝධයට අනුරූප සේ ඒ ඒ කාරණයෙන් අනුලොම-ප්‍ර‍තිලොමාදි ඒ ඒ ප්‍ර‍කාරයෙන් පැවැත්විය යුතු හෙයින් දේශනාව ද ගම්භිර යැ. ඒ දෙශනාන ප්‍ර‍කාරයෙහි සර්‍වඥතාඥානය විනා අන්‍ය ඥානයෙන් පිහිට නො ලබා.

එහෙයින් ම මේ භව චක්‍ර‍ය අනුලොමයෙන් (ආදියෙහි පටන් අන්තය තෙක්) ද කිසියම් සූත්‍රයෙකැ ප්‍ර‍තිලොමයෙන් (අන්ත යෙහි පටන් ආදිය තෙක්) ද, කිසියම් සූත්‍රයෙකැ අනුලොම ප්‍ර‍තිලොමයෙන් ද, කිසි සූත්‍රයෙකැ මැද පටන් අනුලොම වශයෙන් ද, ප්‍ර‍තිලොම වශයෙන් ද, කිසි සූත්‍රයෙකැ ත්‍රි සන්‍ධි චතුඃ සංක්‍ෂේප කොට (ආදියෙහි පටන් අනුලොම දෙශනා වෙන් ද, අන්තයෙහි පටන් ගෙන ප්‍ර‍තිලොම දෙශනා වෙන්) ද කිසි සූත්‍රයෙකැ ද්‍විසන්ධි ත්‍රි සංක්‍ෂේප කොට ද, “ඉමෙ චත්තාරො ආහාර කිං නිදානා”[3] යනාදීන් මධ්‍යයෙහි පටන් ප්‍ර‍තිලොම දේශනාවෙන් ද, චක්‍ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්‍ඛුව්ඤ්ඤාණං තිණ්ණං සඞ්ගති ඵස්සො ඵස්ස පච්චයා වේදනා”[4] යනාදින් මධ්‍යයෙහි පටන් අනුලොම දේශනාවෙන් ද, කිසි සූත්‍රයෙකැ එකසන්‍ධි ද්විසංක්‍ෂේප කොට ද “සංයොජනීයෙසු භික්ඛවෙ ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪතී තණ්හා පච්චයා උපාදානං”[5] යනාදීන් දේශනා කරන ලදී.

මෙසේ මේ භව චක්‍ර‍ය දෙශනා වශයෙන් ද ගම්භීර යැ.

තවද, මේ භව චක්‍රයෙහි අවිද්‍යාදීන් ගේ යම් ස්වභාවයෙක් වේ නම් යම් ස්වභාවයකින් අවිද්‍යාදිය අවිපරිත කොට ස්වලක්‍ෂණය වශයෙන් ප්‍ර‍තිවේධ කරන ලද්දේ වේ නම්, අවිද්‍යාදීන් ගේ අඥාන අදර්‍ශනාදි ඒ ස්වභාවය නුවණින් අන්‍යයන් විසින් නො බැස්ස හැකි බැවින් ගැඹුරු යැ. මෙසේ මේ භව චක්‍ර‍ය ප්‍ර‍තිවේධ වශයෙන් ගම්භීර යැ.

ඒ මෙසේ යි:- (1) මේ භව චක්‍රයෙහි මේ අවිද්‍යාව ඥානයට ප්‍ර‍තිපක්‍ෂ භාවය වූ අඥානාර්ථය, අරමුණු ප්‍ර‍ත්‍යක්‍ෂ කිරීමට ප්‍ර‍තිපක්‍ෂ වූ අදර්‍ශනාර්ථය, සත්‍යයන් තතු සේ ප්‍ර‍තිවෙධ කිරීමට බාධක ස්වභාවය වූ සත්‍යයන් ගේ අසම්ප්‍ර‍තිවෙධාර්තාය යන ත්‍රිවිධ අර්ථයෙන් ගම්භීර යැ.

(මේ කරුණෙන් අඥාන නම, මේ කරුණෙන් අදර්‍ශන නම, මේ කරුණෙන් සත්‍යාසම්ප්‍ර‍තිවෙධ නමැ යි ඒ ත්‍රිවිධ ස්වභාවයන් දුෂ්ප්‍ර‍තිවෙධ බැවින් ගම්භීර යැ. මෙ නමින් මතුයෙහි ද යොදන්නේ යි යනු සත්‍යයි.)

2. සංස්කාරයන් ගේ කර්‍මයන් සකස් කරන බව ය. පූර්‍ව භාගයෙහි දානාදි වූ වස්තූන් පිළියෙළ කරන බව ය. අපූණ්‍යාභි සංස්කාර වශයෙන් රාගයට අනුකූල බව ය. පුණ්‍යාභිසංස්කාර වශයෙන් රාගයට ප්‍ර‍තිපක්‍ෂ බව ය යන මේ අර්ථය ගම්භිර යැ.

(රාගයට අප්‍ර‍තිපක්‍ෂ බැවින් රාගප්‍ර‍වර්‍ධක බැවින් සියලු අපුණ්‍යාසංස්කාරය ම රාග නම් වේ. ඉතරය තත් ප්‍ර‍තිපක්‍ෂ බැවින් විරාගය යි දතයුතු.)

3. විඤ්ඤාණයා ගේ ආත්ම ස්වභාවයෙන් ශූන්‍ය බව ය, අව්‍යාපාරාර්‍ථය, අසංක්‍ර‍මණාර්‍ථය ප්‍ර‍තිසන්‍ධි වශයෙන් පහළ වන බව ය යන මේ අර්ථය ගම්භීර යැ.

4. නාම රූපයා ගේ එක්වැ ඉපදීම යැ, අමිශ්‍ර‍ය පැවැත්වීම ය, නාමයන් නාමයන් හා එක්වැ මිශ්‍ර‍ව පැවැත්මය. නාම ය අරමුණෙහි නැමෙන බවය, රූපය විකාරයට පැමිණෙන බව ය යන මේ අර්ථය ගම්භීර යැ.

5. ෂඩායතනයා ගේ දර්‍ශනාදියෙහි අධිපති බව ය, ලොක බව ය, වාර බව ය, ක්‍ෂේත්‍ර‍ බව ය, විෂයි බව ය යන මේ අර්ථය ගම්භීර යැ.

6. ස්පර්‍ශයා ගේ අරමුණු ස්පර්‍ශ කිරීම් බව ය, අරමුණෙහි ගැටෙන බව ය, වස්තු ආලම්බන විඥානයන් එක්වන බව ය වස්තු ආලම්බන විඥානයන් එළඹ සිටින බව ය යන මේ අර්ථය ගම්භීර යැ.

7. වෙදනාව ගේ අරමුණු රස විඳීම් කෘත්‍ය කොට ඇති බව ය, සැප දුක්හි මැදහත් බව ය, සත්ත්‍වයකු නො වන බව ය, අරමුණු රස විඳීම් ලක්‍ෂණ කොට ඇති බව ය යන මේ අර්ථය ගම්භිර යැ.

8. තෘෂ්ණාව ගේ අරමුණෙහි සතුටු වන බව ය, අරමුණ ගිල ගන්නාක් මෙන් තදින් එහි ලොල් වන බව ය, අරමුණ කරා බව බව ය, අරමුණෙහි වෙළෙන බව ය, ගඟක් මෙන් දිගට යන බව ය, පවස් ඇති බව ය, සමුද්‍ර‍ය මෙන් පිරවිය නො හැකි බව ය යන මේ අර්ථය ගම්භිර යැ.

9. උපාදානයා ගේ අරමුණු දැඩිවැ ගන්නා බව ය, (කාමොපාදානය) කැමැතිවීම් වශයෙන් ගන්නා බව ය, (දිට්ඨි උපාදානය) නිත්‍යාදි වශයෙන් ගන්නා බව ය, (සීලබ්බතූපාදනය) ආත්මාදි වශයෙන් ගන්නා බව ය, (අත්තවාදූපාදානය) ගත් අරමුණ ඉක්මවාලිය නො හැකි බව ය යන මේ අර්ථය ගම්භීර යැ.

10. භවයා ගේ පූර්‍ව භාගයෙහි දානාදි වස්තු සම්පාදනය කිරීම් වශයෙන් කර්‍ම රැස් කරන බව ය, කර්‍ම පසක් කොට පිළියෙල කරන බව ය, යොනි-ගති-ස්ථිති-සත්ත්වාවාසයන්හි බලා ලන බව ය යන මේ අර්ථය ගම්භීර යැ.

11. ජාතිය ගේ ස්කන්‍ධයන් ගේ (අපරිපූර්‍ණත්වයෙන්) පහළ වන බව ය. (පරිපූර්‍ණත්වයෙන් ආයතනයන් ගේ) උපදනා බව ය, මවු කුස වදනාක් මෙන් උපදනා බව ය, ස්කන්‍ධයන් ගේ ප්‍ර‍කට සේ පහළ වන බව ය යන අර්ථය ගම්භීර යැ.

12. ජරා-මරණයා ගේ ක්‍ෂය බව ය, ව්‍යය බව ය, බිඳෙන බව ය, අන්‍යථාත්‍වයට පැමිණෙන බව ය, යන මේ අර්ථය ගම්භීර යැ.

මේ භව චක්‍රයෙහි ප්‍ර‍තිවෙධ වශයෙන් ගැඹුරු බව යි.

  1. දී:නි: මහාවග්ග 34 ↑

  2. වි:ප: පටිසම්භිදාවිභඞ්ග 221 ↑

  3. සං:නි: ආහාරවග්ග 159 ↑

  4. සං:නි: සළායතන ව: 562 ↑

  5. සං:නි: නිදානවග්ග 205 ↑