අවිද්‍යාව කර්‍කශත්‍වාදී ස්වලක්ෂණ වශයෙන් ද, අනිත්‍යාදී සාමාන්‍ය ලක්‍ෂණ වශයෙන් ද ඒ ඒ ධර්‍මයන් නො දක්නා හෙයින් අන්‍ධයකු වැනිය.
අවිද්‍යා ප්‍රත්‍යයයෙන් වන සංස්කාර (දුඃඛොත්පත්තියට හෙතු වන හෙයින්) අන්‍ධයා ගේ පැකිලීම මෙනි.
සංස්කාර ප්‍රත්‍යයයෙන් වන විඥානය (භවාන්තරයට පමුණුවන හෙයින්) පැකුළුණහු ගේ හීම මෙනි.
විඥාන ප්‍රත්‍යයයෙන් වන නාම-රූප, වැටුණහු ගේ ගඩ හට ගැනීම මෙනි.
නාම-රූප ප්‍රත්‍යයයෙන් වන ෂඩායතන, ගඩ පැසවා බිදීමට හටගත් බිබිලි මෙනි.
ෂඩායතන ප්‍රත්‍යයෙන් වන ස්පර්‍ශය, ගඩ හටගත් බිබිලි ගැටීම මෙනි.
ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වන වෙදනා, ඝට්ටනයෙන් හටගත් දුක මෙනි.
වෙදනාවෙන් වන තෘෂ්ණාව, දුකට ප්‍රතිකාර කැමැත්ත මෙනි.
තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් වන උපාදාන, ප්‍රතිකාර කැමැත්තෙන් අසත්ප්‍රාය ප්‍රතිකාර ලැබීම මෙනි.
උපාදාන ප්‍රත්‍යයයෙන් වන භවය, ගන්නා ලද නො සැප බෙහෙත් ආලේපය මෙනි.
භව ප්‍රත්‍යයයෙන් වන ජාතිය, නො සැප ආලේපනයෙන් ගඩ විකාර පහළවීම මෙනි.
ජාති ප්‍රත්‍යයයෙන් වන ජරා-මරණ, ඉදිමීම්, පූයාහට ගැනීම් ආදියෙන් ගඩ බිඳීම මෙනි.
තවද උපමාවෙකි:- මෙහි අවිද්‍යාව ‘දුඃඛාදිය දැනීමට නො පිළිපැදීම ය, වරදවා පිළිපැදීම ය, යන මෙයින් සත්ත්වයන් මැඩ-පියන හෙයින් ඇසෙහි පටලයක් මෙනි. ඒ අවිද්‍යාවෙන් මඩනා ලද බාලයා පුනර්‍භවය ගෙන දෙන සංස්කාරයන් ගෙන් තමා ම පෙළේ. කොෂකාර කෘමියා (පට පණුවා) තමා ම කළ කොෂයෙහි වෙළෙන්නාක් මෙනි.
සංස්කාරයෙන් උපස්තම්භනය ලද විඥානය, පඤ්චවිධ ගතියෙහි පිහිට ලබා, මහ ඇමතියක්හු අරක් ගන්නා ලද රාජ කුමාරයකු රාජ්‍යයෙහි පිහිටන්නාක් මෙනි.
උත්පත්තියට නිමිති වූ කර්‍මාදි ආලම්බනයෙන් පරිකල්පිත හෙයින් විඥානය, ප්‍රතිසන්‍ධියෙහි දේව-මනුෂ්‍යාදි අනේක ප්‍රකාර නාම-රූප නිපදවයි. මායාකාරයා මවා පාන්නක් මෙනි.
නාම-රූපයෙහි පිහිටි ෂඩායතනය, වැඩීමට-පත් කිරීමට- මහත් බවට පැමිණි මනා බිමෙක පිහිටි වන ලැහැබක් මෙනි.
ආයතනයන්ගේ ගැටීමෙන් ස්පර්‍ශය උපදී. ගිනි ගානා දඬු ගැටීමෙන් වන ගින්න මෙනි.
ස්පර්‍ශයෙන් පහළහුට වෙදනා වේ. ගින්නෙන් පහරන ලද්දහුට දාහය මෙනි.
විඳින්නාහට තෘෂ්ණාව වැඩේ. ලුණු දිය බොන්නහුට පිපාසය මෙනි. තෘෂ්ණා ඇත්තේ භවයෙහි අභිලාෂ කෙරේ. පිපාසා ඇත්තහුට පැනෙහි රිසිය මෙනි. (ඒ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ගැනීම ඔහු ගේ උපාදානය යි.) උපාදානයෙන් භවය ගනී. ආමිස ලොභයෙන් බිලිය ගන්නා මත්ස්‍යයා මෙනි.
භවය ඇති කළ ජාතිය වේ. බීජය ඇති කල අංකුරය මෙනි.
උපන්නහුට අවශ්‍යයෙන් ජරා-මරණ වේ. හටගත් වෘක්‍ෂයා ගේ වැඩීම මෙනි.
මෙසේ උපමායෙනුදු සුදුසු පරිදි මේ භවචක්‍රය දතයුතු.