(15) සභාග විසභාග වශයෙන්
සියලු සත්‍යයෝ අවිතථ භාවයෙන් ද, ආත්ම ශුන්‍ය හෙයින් ද, ප්‍රතිවේධයෙහි දුෂ්කර හෙයින් ද, ඔවුනොවුන් හා සදෘශයෝ යැ. එයින් වදාළහ.
“තං කිං මඤ්ඤසි ආනන්‍ද! කතමං නුඛො දුක්කරතරං වා දුරභිසම්භවතරං වා යො වා දූරතොව සුඛුමෙන තාලච්ඡිග්ගලෙන අසනං අතිපාතෙය්‍ය පොඞ්ඛානුපොඞ්ඛං අවිරාධිතං. යොවා සතධා භින්නස්ස වාළස්ස කොටියා කොටිං පටිවිජ්ඣෙය්‍යාති.
එතදෙව භන්තෙ දුක්කරතරඤ්චෙව දුරභිසම්භවතරඤ්ච යො අථඛො තෙ ආනන්‍ද දුප්පටිවිජඣතරං පටිවිජඣනති. යෙ ඉදං දුක්ඛන්ති යථාභූතං පටිවිජඣන්ති. -පෙ- අයං දුක්ඛන්ති යථාභූතං පටිවිජඣන්ති” ති[1]
ආනන්‍දය! එය කුමකැයි හඟනෙහි ද යම් පුරුෂයෙක් දුරින්මැ කෙසිසිදුරකින් පළමු පළමු විදි හී පගිලියෙන් පසුව පසුව විදි හී තුඩ නො වරදවා ඊතය විදින්නේ ය. යමෙක් හේ සියක් භාග කොට ඉරන ලද අස්ලොමක්හු ගේ එක් භාගයක් ගෙන හීතුඩ බැද එක් භාගයක් බටු පකෙක බැඳ උඩක සිට හී තුඩ බැදි (වාළ) අස්ලොම් කෙළවරනි් බටුපක බැසි අස්ලොම් කෙළවර විදින්නේය. මේ දෙකින් කවරක් දුෂ්කරද සාධලිය නොහේ ද
වහන්ස! සියක් වර පළනලද අස්ලොම් කෙළවරකින් අනෙක් අස්ලොම් කෙළවර විදීම අතිශයින් දුෂ්කර යැ. සාධලිය නොහැකි ද වේ. ආනන්‍දය! මේ දුකැයි ද, මේ දුක් ඉපදීමේ හේතුවයැයි ද, මේ දුක් නැති කිරීමැයි ද, මේ දුක් නැති කිරීමේ මගැයැ යි ද යමෙකු තතු සේ අස්ලොම් විදීමට ද වඩා අතිශයින් දුෂ්කර වුවක් කරන්නේ ය.
ඒ චතුරාර්‍ය්‍යසත්‍යයෝ ස්වලක්‍ෂණ ව්‍යවස්ථා කිරීම් වශයෙන් විසභාගයෝ ය. දුඃඛය, සමුදය යන ප්‍රථම සත්‍ය ද්වයය ඖදාරික යැ. තිරිසනුන්නටද දුක ද ආහාර තෘෂ්ණාව ද ප්‍රකට යැ. පීඩන ආයුහනාදි වශයෙන් මේ දුක යැ. මේ දුකට හේතුව යයි,
යථාස්වභාවයෙන් අවගාහනය (තීරණය) කළ නො හැකි හෙයින් ගැඹුරු බැවිනුදු, ලෞකික බැවිනුදු, සාශ්‍රව බැවිනුදු සභාග යැ.
ඵල-හේතු භේදයෙන්ද, පරිඤ්ඤෙද-පහාතබ්බ බැවින් ද, විසභාග යි.
නිරොධ-මාර්‍ග යන පශ්චිම සත්‍යද්වයය ගැඹුරු බැවිනුදු දුකසේ අවබෝධ කළයුතු බැවිනුදු, ආශ්‍රවයනට අරමුණු නො වන බැවිනුදු සභාග යැ. ආලම්බන ආලම්බනික භේදයෙනුදු, සාක්ෂාත් කළයුතු වැඩිය යුතු බැවිනුදු යන භේදයෙන් විසභාගයි.
දුඃඛ-නිරොධ ද්වයය ඵලහෙයින් සභාග යැ. සඞ්ඛතඅසංඛත හෙයින් විසභාගය යි.
සමුදය-මාර්‍ග දෙක හේතු බැවින් සභාග යැ. එකාන්ත අකුසල්-කුසල් වන හෙයින් විසභාග යි.
දුඃඛ-මාර්‍ග දෙක සඞ්ඛත හෙයින් සභාග යැ. ලෞකික ලෝකෝත්තර හෙයින් විසභාග යි.
සමුදය-නිරෝධ දෙක නෙවසෙඛ-නාසෙඛ හෙයින් සභාග යැ. අරමුණු ගැනිම්-නොගැනීම් බැවින් විසභාග යි.
මෙසේ මේ අයුරින් ද, නානා නයින් ද, නුවණැත්තේ සිව්සස් ධමුන් ගේ සභාග-විසභාග භාවය දන්නේය.
මෙතෙකින් සුධී ජනයන්ගේ ප්‍රසාද පිණිස කළ සිංහල විශුද්‍ධි මාර්‍ගයෙහි
ඉන්‍ද්‍රිය -සත්‍ය නිර්‍දෙශය නම් වූ සොළොස් වන පරිච්ඡේදය නිමියේ යි.
-
සං:නි: සච්චසංයුත්තක 1095 ↑