මෙසේ ෂෝඩශ වස්තු වශනෙය් ද, ශාන්තභාවාදි වශයෙන් ද මේ ආනාපාණසතිය මහත් ඵල වේ. මහානිසංස වේ. “අයම්පි ඛො භික්ඛවෙ ආනාපාණසති සමාධි භාවිතො බහුලීකතො සන්තො චෙව පණිතො ච”[1] යනාදීන් ඒ ශාන්තභාවාදිය යට කියන ලද්දේ ය.
විතර්‍ක සිඳැ ලීම ද මෙහි එක් මහානිසංසයෙකි. මේ වනාහි යට දැක්වුණු සේ ශාන්ත ප්‍රණීත අසේචනක සුඛවිහාර බැවින් සමාධියට අන්තරායකර වූ විතර්‍කයන්ගේ වශයෙන් සිත ඔබ-මොබ දිවීම නවත්වා ආනාපාණාරම්මණයට ම අභිමුඛ කරන බැවිනි. “ආනාපාණසති භාවෙතබ්බො විතක්කූපච්ඡදාය” යනු එහෙයින් වදාළේ යි. (විතර්‍ක සිඳැලීම සඳහා ආනාපාණසති වැඩිය යුතු යනු එහි අර්‍ථ යි.)
මාර්‍ග-ඵල පිරීමට මුල් වන බව ද එක් මහානිසංසයෙකි. “ආනාපාණසති භික්ඛවෙ භාවිතා බහුලීකතා චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති. චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්තබොජ්ඣංගෙ පරිපූරෙන්ති සත්තබොජ්ඣංගා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්ති පරිපූරෙන්ති”[2] ආනාපාණසති වඩන ලද්දේ සිව් සීවටන් ද, සිව් සීවටන් වඩන ලද්දේ සත්තබොජ්ඣංග ද, සත්තබොජ්ඣංග වඩන ලද්දේ මාර්‍ග ඵල ද පුරන්නේ ය’යි වදාළ බැවිනි.
චරිමක ආශ්වාස-ප්‍රශ්වාස දැනැ ගැන්ම ද එක් මහානිසංසයෙකි. “එවං භාවිතාය ඛො රාහුල ආනාපාණසතියා එවං බහුලීකතාය යෙපි තෙ චරිමකා අස්සාසපස්සාසා තෙපි විදිතා‘ව නිරුජඣන්ති නො අවිදිතා”[3] ‘රාහුලය, ආනාපාණසතිය මෙසේ භාවිත බහුලීකෘත කළ කල්හි චරිමක ආශ්වාස-ප්‍රශ්වාස පවා දැනී මැ නිරුද්ධ වේ. නො දැනී නිරුද්ධ නො වෙයි’ යනු වදාළ බැවිනි. (චරිමක නම් අවශානය කෙළවර ය.)
ආශ්වාස-ප්‍රශ්වාස පිළිබඳ නිරුද්ධවීම් වශයෙන් චරිමක තුනෙකි. භවචරිමක, ඣානචරිමක, චුතිචරිමකය යි භව අතුරෙන් කාම භවයෙහි ආශ්වාස-ප්‍රශ්වාස ඇති රූපාරූප භවයෙහි නැති. එ බැවින් කාම භවයෙහි ආශ්වාස-ප්‍රශ්වාස ඇති. රූපාරූපභාවයෙහි නැති. එ බැවින් කාම භවයෙහි ආශ්වාස-ප්‍රශ්වාස භවචරිමකය. ධ්‍යාන අතුරෙන් ප්‍රථම ද්විතීය තෘතීය ධ්‍යානයන්හි ආශ්වාස-ප්‍රශ්වාස ඇති. චතුර්‍ථ ධ්‍යානයෙහි නැති. එබැවින් ප්‍රථම ධ්‍යානත්‍රයයෙහි ආශ්වාස-ප්‍රශ්වාස ධ්‍යාන චරිමක ය. චුති චිත්තයට පෙරාතු වැ සොළොස් වන චිත්තය සමග උපන් යම් ආශ්වාස-ප්‍රශ්වාස කෙනෙක් ඒ චුති චිත්තය සමග නිරුද්ධ වෙද් ද ඒ ආශ්වාස-ප්‍රශ්වාස චුතිචරිමක ය. මෙහි චරිමක යන්නෙන් දැක්වූයේ මේ චුති චරිමක බව දත යුතු. (“රහත්නට වනාහි සිත්හු ශාන්ත ව වැටෙන බැවින් ආශ්වාස ප්‍රශ්වාසයෝ චුති චිත්තයෙන් පෙරටවැ මැ නිරුද්ධ වෙත්” යනු සන්න යි.) මේ චුති චරිමක ආශ්වාස-ප්‍රශ්වාස මේ කමටහනෙහි මනාව යෙදුණු යෝගීහට ප්‍රකට වැ ම දැනෙයි.
ඒ එසේ මැයි :- චුති චිත්තයට පෙරාතු සොළොස් වන සිත උපදින විට ඒ උත්පාදය ආවර්‍ජනය කරත්ම උත්පාදය ප්‍රකට වෙයි. ස්ථිතිය ආවර්‍ජනය කරත් ම ස්ථිතිය ප්‍රකට වෙයි. භඞ්ගය ආවර්‍ජනය කරත් ම භඞ්ගය ප්‍රකට වෙයි.
සෙසු කමටහන් වඩා රහත් වන භික්‍ෂූන්ගේ දිවි පවත්නා කාලය පරිච්ඡින්න ද විය හැකි ය. අපරිච්ඡින්න ද විය හැකි ය. මේ ශෝඩෂ වස්තුක ආනාපාණසතිය වඩා රහත් වන භික්‍ෂූන්ගේ දිවි පවත්නා කාලය පරිච්ඡින්න ම ය. මේ වනාහි මගේ ආයු සංස්කාර මෙතෙක් කල් පවත්නේ ය. මින් මතු නො පවත්නේ ය’යි දැනැ ස්වකීය ධර්‍මතා වශයෙන් ම සිරුරු පිළිදැගුම් සිවුරු හැඳුම් පෙරවීම් ආදි සියලු කෘත්‍ය කොට නිමවා ඇස් පියාලන්නේ ය. කොළපව් වෙහෙර විසූ තිස්ස තෙරණුවෝ ද, මහකරඳ වෙහෙර විසූ මහාතිස්ස තෙරණුවෝ ද, දෙව්පුත් රට පිණ්ඩපාතික තෙරණුවෝ ද, සිතුල්පව් වෙහෙර විසූ දෙ සොහොයුරු තෙරහු ද එසේ කොළෝ වෙති. අවසානයෙහි කථා ප්‍රවෘත්තිය මෙසේ ය.
සිතුල්පව් වෙහෙර විසූ දෙ බෑ තෙරුන් අතුරෙන් එක් නමෙක් පුරපසළොස්වක පාමොක් දෙසා භික්‍ෂු සංඝයා පිරිවරා තමා වැඩ වසන වෙහෙරට එළැඹැ සක්මන් මලුවේ සිටැ සඳ පහන බලා ස්වකීය ආයුඃසංස්කාරය ද බලන්නේ (“පෙර අඩ මස සවස් වේලෙහි හාත්පසින් හමන ලද ක්‍ෂීර ධාරා බඳු වූ ගගන තලය ද, රිදී පට බඳු වැලි තලා ඇති භූමි භාගය ද දැකැ මෙ කල ද, ප්‍රදේශය ද, රම්‍ය ය, මාගේ අදහස වැන්න. කෙතෙක් කල් මේ දුඃඛභාරය ඉසිලිය යුතු දෝ යි තමන් ආයුසංස්කාරය සලකා යන අභිප්‍රාය යි” යනු සන්න යි.) “ඔබ කෙබඳු ඉරියව්වෙකින් පිරිනිවෙනා භික්‍ෂූන් දුටුහු දැයි” භික්‍ෂූන් විචාළේ ය. “අපි අසුන්හි හිඳැ ගෙනැ පිරිනිවෙනා භික්‍ෂූන් දුටුම්හ”යි කෙනෙක් කීහ. “අපි අහස පලඟ බැඳැ පිරිනිවෙනා භික්‍ෂූන් දුටුම්හ” යි කෙනෙක් කීහ. “එසේ ද එසේ නම් මම ඔබට සක්මන් කරමින් පිරිනිවෙනා භික්‍ෂුවක් දක්වමි. බැලුව මැනවැ”යි කියා සක්මන සරස ඉරක් ඇඳැ “මම මේ කෙළවරින් අනෙක් කෙළවරට ගොස් එයින් හැරී එන්නෙම් මේ ඉරට පැමිණැ පිරිනිවෙන්නමි”යි කියා සක්මනට බැසැ අනෙක් කෙළවරට ගොස් හැරී එන්නේ ශ්‍රී පතුලින් ඉර ඇක්ම ගත්තේ ම පිරිනිවියේ ය.
“තස්මා හවෙ අප්පමත්තො - අනුයුඤ්ජෙථ පණ්ඩිතො
එවං අනෙකානිසංසං - ආනාපාණ සතිං සදා.”
මෙසේ හෙයින් නුවණැත්තේ අනේකානිසංස ඇති මේ ආනාපාණසතියෙහි සත්තයෙන් ඒකාන්තයෙන් යෙදෙන්නේ ය.
ආනාපාණසති භාවනායෙහි විස්තර කථාමුඛස යි.