උපසමානුස්සතිය

star_outline

ආනාපාණසතියට අනතුරු වැ උපසමානුස්සතිය දක්වන ලද්දේ ය. එය වඩනු කැමති යෝගී විසින් විවේක ගත වැ නොයෙක් අරමුණු වලින් සිත ඉවත් කොටැ “යාවතා භික්ඛවෙ ධම්මා සඞ්ඛතා වා අසඞ්ඛතා වා විරාගො තෙසං ධම්මානං අග්ගමක්ඛායති යදිදං මදනිම්මදනො පිපාසවිනයො ආලයසමුග්ඝාතො වට්ටුපච්ඡෙදො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාණං”[1] මහණෙනි! සඞ්ඛත වූ හෝ අසංඛත වූ හෝ යම්තාක් ධර්‍ම ඇද්ද ඒ ධර්‍ම අතුරෙන් විරාගය අග්‍ර‍ය යි කියනු ලැබේ. ඒ වනාහි මදනිම්මදනය, පිපාස විනයය, ආලයසමුග්ඝාත, වට්ටුපචේඡදය, තණ්හාක්ඛයය, විරාගය, නිරොධය, නිර්‍වාණයයි වදාළ පරිදි සියලු දුක් නිවාලන නිර්‍වාණයෙහි ගුණ සිහි කළ යුතුය. එහි :

සඞ්ඛත නම් හේතුයෙන් ප්‍ර‍ත්‍යයයෙන් නිපන්නේ ය.

අසඞ්ඛත නම් හේතුයෙන් ප්‍ර‍ත්‍යයෙන් නො නිපන්නේ ය.

ධර්‍ම නම් ස්වභාව ධර්‍ම ය, (පඤ්ඤත්තිධම්මා යනාදියෙහි අසභාවය ද ධර්‍ම නම් වන බැවින් එයින් නිවෘත්තනය කරන්නේ “ධම්මාති සභාවා”යි කීහු යනු සන්න යි”)

විරාග නම් රාගාභාවය යි. නිර්‍වාණය යි. නිර්‍වාණය රාගාභාව මාත්‍ර‍ ම නො වේ. මදනිම්මදනාදිය ද වන්නේය යි දක්වන්නට මදනිම්මදන යනාදිය වදාළේ ය.

මදනිම්මදනය = නිර්‍වාණයට පැමිණීමෙන් සියලු මාන මද පුරුෂ මද ජාතිමදාදිය නිම්මදන වේ - විනාශ වේ. එ බැවින් නිර්‍වාණය මදනිම්මදන ය.

පිපාසවිනය = නිර්‍වාණයට පැමිණීමෙන් සියලු කාමපිපාසා - කාමතෘෂ්ණා, විනයයට - අස්තයට ය යි. එ බැවින් නිර්‍වාණය පිපාසවිනය.

ආලයසමුග්ඝාතය = නිර්‍වාණයට පැමිණීමෙන් පඤ්චකාම ගුණාලය සමුග්ඝාතයට - විනාශයට ය යි. එ බැවින් නිර්‍වාණය ආලයසමුග්ඝාතය.

වට්ටුපච්ඡේදය = නිර්‍වාණයට පැමිණීමෙන් ත්‍රෛභූමක වෘත්ත ඡේදය - සිඳීමට යයි. එ බැවින් නිර්‍වාණය වට්ටුපච්ඡේදය.

තණ්හක්ඛය, විරාගය, නිරොධය = නිර්‍වාණයට පැමිණීමෙන් සියලු තෘෂ්ණා ක්‍ෂයට යයි. නොඇලීමට යයි. නිරුද්ධ වෙයි. එ බැවින් නිර්‍වාණය තණ්හක්ඛය, විරාගය, නිරොධයි.

නිර්‍වාණය = තාෂ්ණාව වනාහි සත යොනි - පස් ගති - සප්ත විඥානස්ථිති - නව සත්ත්‍වාවාස යන ම් මතු - මතු භව පිණිස බඳනා හයෙින් - නිවන හෙයින් වාණය යි කියනු ලැබේ. ඒ වාණයෙන් නික්මුණේ - නො ඇළුණේ නිර්‍වාණ ය.

මෙසේ මදනිම්මදන්තාදි ගුණ වශයෙන් නිර්‍වාණ සංඛ්‍යාත උපසමය සිහි කළ යුතු.

තවද භාගවත් බුදුහු විසින් “අසංඛතං ච වො භික්ඛවෙ දෙසිස්සාමි - සච්චං ච - පාරං ච - සුදුද්දසං ච - අජරං ච - ධුවං ච - නිප්පපඤ්චං ච - අබ්‍යාපජ්ඣං ච - විසුද්ධිං ච - දීපං ච - තානංච වො භික්ඛවෙ දෙසිස්සාමි” යනාදීන් වදාළ උපසම ගුණ වශයෙන් ද සිහි කළ යුතු. එහි ප්‍ර‍ත්‍යයෙන් නො නිපන් බැවින් අසංඛතය. සැබෑ බැවින් සච්චය. (“නිවන් තෙමේ කිසි පර්‍ය්‍යායකිනු දු අසත් නොවන බැවින් එකාන්තයෙන් සත් ‍හෙයින් ම අවිපරීර්‍ථයෙන් සත්‍ය නම්” එ හෙයින් කීහ:- “එකං හි සච්චං න දුතියමත්‍ථි” යනු සන්න යි) සසර පරතෙර බැවින් පාර ය. පරම ගම්භීර බැවින් ද, ඉතා සියුම් ශාන්ත ස්වභාව ඇති බැවින් ද නුමුහු කළ නුවණ නැතියන් විසින් දක්නට දුෂ්කර ය. ජරා නැති බැවින් අජර ය. ජරාදීන් නො නස්නා හෙයින් ස්ථිර හෙයින් ධුව ය. තෘෂ්ණා ප්‍ර‍පඤ්ච රහිත බැවින් නිප්පපඤ්ච ය. මරණ නැති බැවින් අමත ය. අශිව බව කරන කෙලෙස් නැති බැවින් සිව ය. කාමාදීන් උපද්‍ර‍ව නැති බැවින් ඛේම ය. ආශ්චර්‍ය්‍ය බැවින් ද අභූතපූර්‍ව බැවින් ද අබ්භූත ය. ඊති සංඛ්‍යාත අනර්ථ නැති බැවින් අනිතික ය. දුක් නැති බැවින් අව්‍යාපජ්ඣ ය. අත්‍යන්තයෙන් පිරිසිදු බැවින් විසුද්ධි ය. කාමාදි චතුරෝඝයෙන් නො මඩන ලද බැවින් දීප ය සසර දුකින් රක්නා බැවින් තාන ය.

මෙසේ උපසමය සිහි කරත් ම ඒ යෝගිහුගේ සිත ඒ වේලෙහි රාග-ද්වේෂ මෝහාදියෙන් පරිපීඩිත නො වේ. උපසමය අරබයා ම සිත සෘජු වේ. එවිට බුද්ධානුස්මෘති ආදියෙහි කී පරිදි නිවරණ විෂ්කම්භන වේ. ධ්‍යානාඞ්ග උපදී. උපසම ගුණ ගැඹුරු බැවින් ද, නානාවිධ ගුණ සිහි කිරීමෙහි අදහස් ඇති බැවින් ද අර්පණා ප්‍රාප්ත නො වැ ධ්‍යානය උපචාර ප්‍රාප්ත ම වේ. උපසම ගුණ සිහි කරන බැවින් මෙයට උපසමානුස්සතිය යි කියනු ලැබේ. යට දැක්වුණු ෂඩනුස්මෘති මෙන් මෙ ද සමෘද්ධ වන්නේ ආර්‍ය්‍යශ්‍රාවකයන්ට ම ය. එසේ වුව ද උපසමය ගරු කොටැ ගත් පුහුදුන් විසින් ද මෙනෙහි කටයුතු. ශ්‍රැත වශයෙනු දු උපසමයෙහි සිත පහදන බැවිනි.

මේ උපසමානුස්සතිය වඩනා යෝගී සුව සේ සැතපෙන්නේ ය. සුව සේ පිබිදෙන්නේ ය. සන්සුන් ඉඳුරන් ඇති වන්නේ ය. සන්සුන් සිත් ඇති වන්නේ ය. හිරි ඔතප් දෙකින් යුක්ත වන්නේ ය. පසාද උපදවන්නේ ය. ප්‍ර‍ණීත අදහස් ඇති වන්නේ ය. සබ්‍ර‍ම්සරුන්හට ගරු සම්භාවනීය වන්නේ ය. මතුයෙහි චතුස්සත්‍යාවබෝධය නූනි නම් ස්වර්‍ගපරායන වන්නේ ය.

“තස්මා භවෙ අප්පමත්තො

භාවයෙථ විචක්ඛණො

එවං අනෙකානිසංසං

අරියෙ උපසමෙ සතිං.”

මෙසේ හෙයින් නුවණැති යෝගී එකාන්තයෙන් අප්‍ර‍මාද වැ නොයෙක් ආනිසංස ඇති මේ උතුම් උපසමානුස්සතිය වඩන්නේයි.

උපසමානුස්සති භාවනායෙහි විස්තර කථා මුඛය යි.

හුදී ජන පහන් පිණිස කළ විශුද්ධිමාර්‍ගයෙහි

සමාධිභාවනාධිකාරයට ඇතුළත් අනුස්සතිකම්මට්ඨාන

නිර්දේශ නම් අටවන පරිච්ඡේදය නිමි.

  1. අ:නි: චතුක්කනිපාත 209