ආනාපාණසතිය

star_outline

“අයම්පි ඛො භික්ඛවෙ ආනාපාණසති සමාධි භාවිතො බහුලිකතො සන්තො චෙව පණිතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙති”[1] මහණෙනි! මේ ආනාපාණසති සමාධිය භාවිත බහුලීකෘත කෙළේ ශාන්ත ද ප්‍ර‍ණීත ද අසේචනක ද-සුඛවිහරණ ද වන්නේ ය. උපන්නුපන් පාප අකුශල ධර්‍ම ඇසිල්ලේකින් අතුරුදහන් කරන්නේ ය සන්සිඳුවන්නේ ය’ යි බුදුරජාණන් වහන්සේ ආනාපාණසති සමාධියට ප්‍ර‍ශංසා කළ සේක.

ප්‍ර‍ශංසා කොටැ “කථං භාවිකො ච භික්ඛවෙ ආනාපාණසති සමාධි භාවිතො බහුලිකතො සන්තෙ චෙව පණිතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප්පන්නූප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ, ඨානසො අන්තරධාපෙති වූපසමෙති?

ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤාගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා සො සතො‘ච අස්සති සතො පස්සසති.

දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති

දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති

රස්සං වා අස්සසන්තො -පෙ-

රස්සං වා පස්සසන්තො -පෙ-

සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී‘ති සික්ඛති

සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී‘ති සික්ඛති

පස්සම්භයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්ඛති

පස්සම්භයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති

පීතිපටිසංවෙදී -පෙ-

පීතිපටිසංවෙදී -පෙ-

සුඛපටිසංවෙදී -පෙ-

සුඛපටිසංවෙදී -පෙ-

චිත්තසංඛාරපටිසංවෙදී -පෙ-

චිත්තසඞ්ඛාරපටිසංවෙදී -පෙ-

පස්සම්භයං චිත්තසංඛාරං -පෙ-

පස්සම්භයං චිත්තසංඛාරං -පෙ-

චිත්තපටිසංවෙදී -පෙ-

චිත්තපටිසංවෙදී -පෙ-

අභිප්පමොදයං චිත්තං -පෙ-

අභිප්පමොදයං චිත්තං -පෙ-

සමාදහං චිත්තං -පෙ-

සමාදහං චිත්තං -පෙ-

විමොචයං චිත්තං -පෙ-

විමොචයං චිත්තං -පෙ-

අනිච්චානුපස්සී -පෙ-

අනිච්චානුපස්සී -පෙ-

චිරාගානුපස්සී -පෙ-

චිරාගානුපස්සී -පෙ-

නිරොධානුපස්සී -පෙ-

නිරොධානුපස්සී -පෙ-

පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති

පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති

‘මහණෙනි! කෙසේ භාවිත බහුලීකෘත කළ ආනාපාණසති සමාධිය ශාන්ත - ප්‍ර‍ණීත - අසේචනක - සුඛවිහාර වන්නේ ද කෙසේ උපන්නුපන් පාප අකුශල ධර්‍ම ඇසිල්ලෙන් අතුරුදහන් කරමින් සන්සිඳුවන්නේ ද

‘මහණෙනි! මේ සසුන් වැදැ පැවිදි වූ මහණ අරණ්‍යයකට හෝ වෘක්‍ෂමූලයකට හෝ ශුන්‍යාගාරයකට හෝ ගොස් පලග බැඳැ හිඳැ ගෙනැ කය සෘජු ව තබා සිහිය කර්‍මස්ථානයට අභිමුඛ කොටැ පිහිටුවා සිහි ඇති වැ ම ආශ්වාස කරන්නේ ය. සිහි ඇතිවැ ම ප්‍ර‍ශ්වාස කරන්නේ ය. දීර්‍ඝ කොටැ ආශ්වාස කරමින් දීර්‍ඝ කොටැ ආශ්වාස කරමි යි දැනැ ගන්නේ ය. දීර්‍ඝ කොටැ ප්‍ර‍ශ්වාස කරමින් දීර්‍ඝ කොටැ ප්‍ර‍ශ්වාස කරමි දැනැ ගන්නේ ය. ලුහුඬු කොටැ ආශ්වාස කරමින් ලුහුඬු කොටැ ආශ්වාස කරමි දැනැ ගන්නේ ය. ලුහුඬු කොටැ ප්‍ර‍ශ්වාස කරමින් ලුහුඬු කොටැ ප්‍ර‍ශ්වාස කරමි දැනැ ගන්නේ ය. සබ්බකායපටිසංවෙදි වැ ආශ්වාස කරමි යි හික්මෙන්නේ ය. සබ්බකායපටිසංවෙදි වැ ප්‍ර‍ශ්වාස කරමි යි හික්මෙන්නේ ය. -පෙ- පටිනිස්සග්ගානුපස්සී වැ ආශ්වාස කරමි යි හික්මෙන්නේ ය. පටිනිස්සග්ගානුපස්සී වැ ප්‍ර‍ශ්වාස කරමි යි හික්මෙන්නේ’ යි ෂෝඩශවස්තුක ආනාපාණසති කර්‍මස්ථානය වදාළ සේක. දැන් කළ යුත්තේ ඒ භාවනා කරන ක්‍ර‍මය විස්තර කිරීම යි. පාළි අනුසාරයෙන් ම එය විස්තර කරන කල සර්‍ව සම්පූර්‍ණ වන බැවින් මෙතැන් පටන් එසේ විස්තර කරමු.

“කථං භාවිතො ච භික්ඛවෙ ආනාපාණසති සමාධි” - යන මෙහි “කථං” යනු ආනාපාණසතිසමාධි භාවනාව නානා ප්‍ර‍කාරයෙන් විස්තර කරනු කැමැත්තෙන් කරන විචාරීම ය. “කෙසේ” යනු එහි අර්‍ථ යි. “භාවිතො භික්ඛවෙ ආනාපාණසතිසමාධි” යනු එසේ විචාරනු ලබන ධර්‍ම ය. “කථං බහුලීකතො -පෙ- වූපසමෙති” යනු දු ඒ මැ යි.

භාවිතො = උපදවන ලද හෝ වඩන ලද (ඉපදැ ලබ්ධාසෙවන වූයේ භාවිත ය. ප්‍ර‍ගුණ භාවයට ගියේ වඩ්ඪිත ය.)

“ආනාපාණසති සමාධි = ආශ්වාස - ප්‍ර‍ශ්වාස පිරිසිඳැ ගන්නා සිහිය හා යෙදුණු සමාධි ය. මෙයින් සති සමාධීන්ගේ එකුප්පාදාදි ලක්‍ෂණ කීහ. නොහොත් ආනාපාණසතියෙහි වූ සමාධි කීහ.

බහුලීකතො = බොහෝ කොටැ පවත්වන ලද හෙවත් නැවත නැවත කරන ලද. මෙයින් ආවර්‍ජනාදි වශීභාවය කීහ. (මේ පද තුනින් උපදවා ගත් - උපදවා ගෙනැ ආසේවනය කැරැ ගත් - ආසේවනය කැරැ ප්‍ර‍ගුණ කැරැ ගත් - ප්‍ර‍ගුණ කැරැ ගෙනැ ආවජ්ජන සමාපජ්ජනාදි පස් ආකාරයෙන් වශඟ කැරැ ගත් ආනාපාණසති සමාධිය කියවුණේය ය යි දත යුතු.)

සන්තො චෙව පණිතො ච = “සන්තො ච එව පණිතොච එව” යි ඒව ශබ්දය දෙ තන්හිම ලා ශාන්ත ම ද, ප්‍ර‍ණීත ම දැ යි අර්‍ථ ගත යුතු.

එහි අදහස මෙසේ ය:- අශුභ කර්‍මස්ථාන ශාන්ත ප්‍ර‍ණීත වන්නේ හුදෙක් ප්‍ර‍තිවේධ වශයෙන් පමණෙකි. ආරම්මණ වශයෙන් ඒ ශාන්ත ප්‍ර‍ණීත නොවේ. කුමක් හෙයින් ද ඒ අශුභාරම්මණ ඖදාරික ද පිළිකුල් ද බැවිනි. මේ ආනාපාණසතිය ඒ කෙසේ හෝ අශාන්ත - අප්‍ර‍ණීත නො වේ. සියලු ආකාරයෙන් ම ශාන්ත-ප්‍ර‍ණීත වේ. ආරම්මණ ශාන්තත්‍වයෙන් ද ශාන්ත වේ. ව්‍යුපශාන්ත වේ. නිර්‍වෘත වේ. ප්‍ර‍තිවේධ සංඛ්‍යාත අඞ්ග ශාන්තත්‍වයෙන් ද ශාන්ත වේ. ව්‍යුපශාන්ත වේ. නිර්‍වෘත වේ. ආරම්මණ ප්‍ර‍ණීතත්‍වයෙන් ද ප්‍ර‍ණීත වේ. අතෘප්තිකර වේ. ප්‍ර‍තිවේධ සංඛ්‍යාත අඞ්ග ප්‍ර‍ණීතත්‍වයෙන් ද ප්‍ර‍ණීත වේ. අතෘප්තිකර වේ. එහෙයිනි කියන ලද්දේ “සන්තො චෙව පණිතො ච” යි (අශුභාරම්මණ මහත් ය. පිළිකුල් ය. එබැවින් ඒ ආරම්මණ වශයෙන් ශාන්ත ප්‍ර‍ණීත නො වේ. මේ ආශ්වාස - ප්‍ර‍ශ්වාසාරම්මණ සියුම් ය. ප්‍ර‍ණීත ය. එ බැවින් ඒ ආරම්මණ වශයෙන් ශාන්ත ප්‍ර‍ණීත වේ යයි කී සේයි. ප්‍ර‍තිවේධ වශයෙන් දෙක ම ශාන්ත ප්‍ර‍ණීත යි.)

අසෙචනකො ච = (නාස්ස සෙචනාති අසෙචනකො) ශාන්ත ප්‍ර‍ණීත කැරැ ගන්නා පිණිස අමුතුයෙන් යමක් වත් කළ යුතු නො වේ. එ හෙයින්ම අනාසිත්තකය. අනාසිත්තක හෙයින් ම අව්‍යාකීර්‍ණය හෙවත් අසම්මිශ්‍ර‍ ය. අව්‍යාකීර්‍ණ හෙයින් ම පාටියෙකක ය හෙවත් වෙන් ය. ආවෙනික ය මෙහි පරිකර්‍මයෙන් හෝ උපචාරයෙන් හෝ ශාන්ත භාවයෙක් වුවමනා නොවේ. ස්වභාවයෙන් ම ශාන්තය ප්‍ර‍ණීතය යි සේ යි. (ඇතැම්හු “මේ ‘අසෙචනකො’ යන්නට අනාසිත්තක ය, ඔජස් වී ය, ස්වභාවයෙන්ම මධුරය, යන අර්‍ථ දෙත්.)

සුඛො ච විහාරො = අර්පිත - අර්පිත ක්‍ෂණයෙහි හෙවත් සමවතට සමවන් - සමවන් ඇසිල්ලෙහි කායික-චෛතසික සුඛ ප්‍ර‍තිලාභයට කරුණු වන බැවින් සුඛවිහාරද වේ. (ත්‍රික-චතුෂ්ක-ධ්‍යාන වශයෙන් හෝ උපේක්‍ෂාවගේ ශාන්ත බැවින් හෝ සුඛගතික හෙයින් සියලු ධ්‍යානයන්ගේ වශයෙන් චෛතසික සුඛ ප්‍ර‍තිලාභයට කාරණ වෙයි. ධ්‍යානසමුත්‍ථාන ප්‍ර‍ණීත රූප ස්ඵුට ශරීර ඇති බැවින් කායික සුඛ ප්‍ර‍තිලාභයට කාරණා වේ. හේ ධ්‍යානයෙන් නැඟි සඳ වෙයි යනු සන්න යි.

උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ = උපනුපන් (විෂ්කම්භනය නො කළ) ලාමක අකුශල ධර්‍මයන්-අකුශල ධර්‍ම නම් අකෞශල්‍ය සංඛ්‍යාත අවිද්‍යායෙන් නිපන් ධර්‍මය -පාප ධර්‍ම යි සේ යි.

ඨානසො අන්තරධාපෙති = ඇසිල්ලකින් ම අතුරුදහන් කරයි - විෂ්කම්භනය කරයි.

වූපසමෙති = විශේෂයෙන් සන්සිඳුවයි. (“සෙසු සමාධි ද තමාගේ ප්‍ර‍වෘත්තික්‍ෂණයෙහි ප්‍ර‍තිපක්‍ෂ ධර්‍මයන් වූපසනය කෙරෙයි. කුමක් හෙයින් ද මේ සමාධි ය මෙසේ වෙසෙසා කියන ලද ද යත් :- පූර්‍වභාගයෙහි පටන් ම නානා විතර්‍ක ව්‍යපශමනය කරන හෙයින.

එ හෙයින් ම කීහ : “ආනාපාණසති භාවෙතබ්බා චිතක්කූපච්ඡෙදාය” යි අනෙකෙකුදු ඇත. මේ කමටහන තීක්ෂණ ප්‍ර‍ඥා ඇති ඥානොත්තරයහට ය. ඥානොත්තරාගේ ක්ලේශ ප්‍ර‍හාණය සෙස්සන්ගේ ක්ලෙශ ප්‍ර‍හාණයට වඩා සාතිශය වේ. ශ්‍ර‍ද්ධා විමුක්තයහට වඩා දෘෂ්ටිප්‍රාප්තයාගේ ක්ලේශ ප්‍ර‍හාණිය මෙනි. එහෙයින් මේ ආනාපාණසති විශේෂය සඳහා “ඨානසො අන්තරධාපෙති වූපසමෙති”යි කීහු. නොහොත් නිමිත්ත ප්‍රාදුර්‍භාවය ඇති කල්හි ඒ ක්‍ෂණයෙහි ම අඞ්ගප්‍රාදුර්‍භාවය වන හෙයින් මේ සමාධිය ම “ඨානසො අන්තරධාපෙති වූපසමෙති”යි කියන ලදි” යනු සන්නයි.

තවද මෙය නිබ්බේධ භාගිය බැවින් පිළිවෙළින් ආර්‍ය්‍යමාර්‍ග වෘද්ධියට පැමිණැ කෙලෙස් සිඳැලයි - සන්සිඳුවෙයි. (ශාසනිකයන්ගේ ධ්‍යාන භාවනාව බොහෝ සෙයින්ම නිබ්බේධභාගිය ය. බුදුන්ට වනාහි ඒකාන්තයෙන් නිබ්බේධභාගිය ම වේ. මේ කමටහන වඩා ම සියලු බුදුවරයෝ බුද්ධත්‍වයට පැමිණෙත්.)

‘කථං භාවිතො ච භික්ඛවෙ” යනාදියෙහි විස්තරය යට දැක්වුණේ ය. එහි සංක්‍ෂෙපාර්‍ථය මෙසේය. ‘මහණෙනි! කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපාණසති සමාධිය ශාන්ත-ප්‍ර‍ණීත-අසේචනක-සුඛවිහාර වන්නේද, කෙසේ උපනුපන් ලාමක අකුශල ධර්‍ම ඇසිල්ලෙන් අතුරුදහන් කරන්නේද සන්සිඳුවන්නේ ද මෙය විසඳනසේක් “ඉධ භික්ඛවෙ භික්ඛු” යනාදීන් වදාළ සේක.

ඉධ භික්ඛවෙ භික්ඛු = මහණෙනි! මේ ශාසනයෙහි භික්‍ෂු. මේ ශාසනයෙහි යන්නෙන් සර්‍වාකාර ආනාපාණසති සමාධි උපදවන යෝගාවචරයාට ආධාර වූ බුද්ධශාසනය දක්වයි. එසේ නැති අන්‍ය ශාසන ප්‍ර‍තිෂේධ කරයි.

වදාළේ මැයි:- “ඉධ භික්ඛවෙ සමණො - පෙ-සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ”[2] යි. මහණෙනි! ප්‍ර‍ථම ශ්‍ර‍මණ ද මේ ශාසනයෙහි ම ය. ද්විතීය ශ්‍ර‍මණ ද මේ ශාසනයෙහි ම ය. තෘතීය ශ්‍ර‍මණ ද මේ ශාසනයෙහි ම ය. චතුර්‍ථ ශ්‍ර‍මණ ද මේ ශාසනයෙහිම ය. පරප්‍ර‍වාද ශුන්‍යය. ශ්‍ර‍මණයන්ගෙන් හිස් ය.

අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාර ගතො වා = මෙයින් ඒ භික්‍ෂුහට ආනාපාණසති සමාධි භාවනාවට සුදුසු සෙනසුන දක්වයි. බොහෝ කලක් රූපාදි නානා අරමුණෙහි බැඳී ගිය සිත ආනාපාණසති සමාධි අරමුණට නැඟෙන්නට නො කැමැති වැ කුළු ගොනකු යෙදූ රථය මෙන් නො මඟට ම දුවයි. කුළු දෙනගේ කිරි මුළුල්ල බී වැඩුණු කුළු වසු හික්මවා ගනු කැමැති ගොපොල්ලා ඒ වසු දෙනගෙන් ඉවත් කොටැ අසල සවි ඇති ටැඹක් සිටුවා එහි යොතින් බැඳැලයි. වසු ඔබ මොබ දඟලා පැන යා නො හැකි වැ ඒ ටැම් මුල ම වැතිරැ හිඳී. එක්කෝ එහි ම නිදයි. එමෙන් බොහෝ කලක් රූපාරම්මණාදි රස පානයෙන් වැඩුණු ස්වකීය දුෂ්ට වූ සිත දමනය කැරැ ලනු කැමැති ඒ භික්‍ෂු ද ඒ සිත රූපාදි අරමුණෙන් ඉවත්කොටැ ලා වලකට හෝ රුක්මුලකට හෝ හිස් ගෙයකට හෝ එළඹැ ආනාපාණ ටැඹෙහි සත් යොතින් බඳින්නේ ය. එවිට ඒ සිත ඔබ-මොබ දුවැ ද පෙර පුරුදු අරමුණු නො ලැබැ සත් යොත කඩා ගෙනැ පැනැ යා නො හැකි වැ එ අරමුණ මැ ගෙනැ උපචාර - අර්පණා වශයෙන් පවත්නේ ය. එහෙයින් කීහු පෞරාණිකයෝ :-

“යථා ථම්හෙ නිබන්‍ධෙය්‍ය - වච්ඡං දම්මං නරො ඉධ

බන්‍ධෙය්‍යෙවං සකං චිත්තං - සතියාරම්මණෙ දළ්හ”[3] යි.

‘ගොපොල්ලා දමනය කැරැ ගත යුතු වසු යොතින් ටැඹෙහි බැඳැ ලන්නා සේ යෝගාවචර ස්වකීය සිත සිහියෙන් අරමුණෙහි දැඩි වැ බැඳැ ලන්නේ ය.’ මෙසේ හෙයින් ඔහුගේ ඒ සේනාසනය භාවනාවට යෝග්‍ය වන්නේ ය. “මෙයින් ඒ භික්‍ෂුහට ආනාපාණසති සමාධි භාවනාවට සුදුසු සෙනසුන දක්වයි” යනු යට දැක්වුණේ මේ නිසා ය.

තව ද මේ ආනාපාණසති කර්‍මස්ථානය සෙසු කර්‍මස්ථානයන්ට වඩා ප්‍ර‍ධාන ය. බුදු-පසේබුදු-බුදුසව්වන්ගේ විශේෂාධිගමයට හා මේ අත්බැව්හි සැප විහරණයට හා කාරණ ය. ස්ත්‍රී-පුරුෂ-ඇත්-අස්-ගව ආදීන්ගෙන් ගහණ වූ ග්‍රාමාන්තය හැරැ නො පියා භාවනා කළ නො හැකි ය. එයට ශබ්දය කටුවන බැවිනි. අග්‍රාම අරණ්‍යයෙහි නම් භාවනා කළ හැකි ය. යෝගාවචරහට අග්‍රාම අරණ්‍යයෙහි දී මෙය වඩා ආනාපාණසති චතුර්‍ථධ්‍යානය ලැබැ එම පාදක කොටැ සංස්කාර සම්මර්‍ශනයෙන් අග්‍ර‍ඵල සංඛ්‍යාත අර්‍හත්‍වය ලැබැ ගත හැකි ය. එ බැවින් එයට අනුරූප සෙනසුන් දක්වන බුදුරජාණන් වහන්සේ “අරඤ්ඤගතො වා” යනාදීන් වදාළ සේක. බුදුරජාණන් වහන්සේ වාස්තුවිද්‍යාව දන්නා ආචාර්‍ය්‍යවරයකු බඳු ය. වාස්තු විද්‍යාචාර්‍ය්‍ය වනාහි නගර නිර්‍මාණයට සුදුසු භූමියක් දැක මැනෙවින් පරීක්‍ෂා කොටැ බලා “මෙහි නුවර නංවවු ය’ යි උපදෙස් දී සුවසේ නුවර නිමි කල්හි රජකුලයෙන් මහත් සත්කාර ලබන්නේ ය. බුදුරජාණන් වහන්සේ ද යෝගාවචරහට යෝග්‍ය වූ සෙනසුන සොයා “මෙහි කමටහන් වඩව”යි නියෝග දී කමටහන් වැඩූ යෝගාවචර අර්‍හත්‍වයට පැමිණි කල්හි “ඒකාන්තයෙන් භාග්‍යවත්හු සම්‍යක් සම්බුද්ධයෝ ය” යන මහත් සත්කාරය ලබන සේක.

මේ යෝගාවචර භික්‍ෂු දිවියකු බඳුය යි කිය යුතු. දිවි වනාහි වනාන්තරයෙහි වන ලැහැබෙක හෝ තෘණ ලැහැබෙක හෝ ගිරිදුර්‍ගයෙක හෝ සැඟවී සිටැ වල්මී-ගෝන-හූරු ආදීන් අල්වා ගන්නේ ය. අරණ්‍යාදියෙහි වැදී කර්‍මස්ථාන වඩනා යෝගාවචර භික්‍ෂු ද පිළිවෙළින් සෝවාන්-සකෘදාගාමි-අනාගාමි-අර්‍හත් මාර්‍ග-ඵල ලබා ගන්නේ ය.

කීයේ මැයි පෞරාණිකයන් විසින් :-

“යථා පි දීපිකො නාම - නිලීයිත්‍වා ගණ්හති මිගෙ

තථෙවායං බුද්ධපුත්තො - යුත්තයොගො විපස්සකො

අරඤ්ඤං පවිසිත්‍වාන - ගණ්හාති ඵලමුත්තමං”[4] යි.

‘යම් සේ දිවි සැඟවී සිටැ මුවන් අල්ලා ගන්නේ ද, එසේ මේ යුක්තයෝග විදර්‍ශක බුද්ධපුත්‍ර‍ ද අරණ්‍යයට වැදැ උතුම් මාර්‍ග-ඵල ලබා ගන්නේ ය.

එසේ හෙයින් යෝගිහුගේ පරාක්‍ර‍ම ජවයට යෝග්‍ය භූමි වූ අරණ්‍ය සෙනසුන දක්වන භාග්‍යවතුන් වහන්සේ “අරඤ්ඤගතො වා” යනාදීන් වදාළ සේක.

අරඤ්ඤගතො වා = අරණ්‍යයකට ගියේ හෝ “අරඤ්ඤංනාම නික්ඛමිත්‍වා බහි ඉන්‍දඛීලා සබ්බමෙතං අරඤ්ඤං”යි අභිධර්‍මක්‍ර‍මයෙන් ද, “අරඤ්ඤං නාම සෙනාසනං පඤ්චධනු - සතිකං පච්ඡිමං”යි සූත්‍ර‍ ක්‍ර‍මයෙන් ද කී ලක්‍ෂණ ඇති අරණ්‍ය අතුරෙන් විවෙකසුඛයෙන් යුත් යම්කිසි අරණ්‍යයකට ගියේ හෝ

රුක්ඛමූලගතො වා = වෘක්‍ෂ සමීපයකට ගියේ හෝ

සුඤ්ඤාගාරගතො වා = ජන ශුන්‍ය විවේක ගෘහයකට ගියේ හෝ අරණ්‍ය - වෘක්‍ෂමූල හැරැ සෙසු පර්‍වත - කන්‍දර ගිරිගුහා - සුසාන - වනපත්‍ථ - අබේභාකාස - පලාලපුඤ්ජ යන සප්තවිධ සේනාසන ශුන්‍යාගාරය යි කිය යුතු.

මෙයින් සෘතු තුනට ද, ධාතු තුනට ද, චරියා තුනට ද, යෝග්‍ය වූ ආනාපාණසති භාවනානුකුල සේනාසන දක්වන ලද්දේ ය. (“ගිම් කල්හි ශීතල බැවින් අරණ්‍යය අනුකුල වේ ශරත්’ කල්හි විවරණ බැවින් රුක් මුල් අනුකුල වේ වැසි කල්හි වැසි වරණ බැවින් ශුන්‍යාගාරය අනුකුල වේ. ශ්ලේෂ්ම ප්‍ර‍කෘතිහට අරණ්‍යය, පිත්ත ප්‍ර‍කෘතිහට වෘක්‍ෂමූල ය, වාත ප්‍ර‍කෘතිහට ශුන්‍යාගාරය අනුකූල වේ” යනු සන්න යි.) එසේ දක්වා සයනය කුසීත පක්‍ෂයෙහි ද ස්ථාන චංක්‍ර‍මණ ඖදධත්‍ය පක්‍ෂයෙහි ද වැටෙන බැවින් ඒ තුන හැරැ අලීන අනෞදධත්‍ය පාක්‍ෂික වූ හිඳීම දක්වන්නේ “නිසීදති” යි කීහ.

නිසීදති = හිඳැ ගන්නේ ය.

හිඳැ ගැන්ම දැඩි වන සැටි ද, ආශ්වාස-ප්‍ර‍ශ්වාස සුව සේ පවත්නා සැටි ද අරමුණු ගැන්මට සුදුසු වන සැටි ද දක්වන්නේ ඉක්බිති “පල්ලඞ්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා”යි කීහ.

පල්ලඞ්කං ආභූජිත්‍වා = හාත්පසින් ඌරුබද්ධාසනය බැඳැ - අරමිනිය ගොතා හිඳැ ගෙනැ යි සේ යි. (මෙයින් හිඳැ ගැන්ම දැඩි වන සැටි කීහ)

උජුං කායං පණිධාය = උපරි ශරීරය සෘජු වැ තබා ගෙනැ - අටලොස් පිටකටු ඇට කොන් එකක් මතු එකක් තිබෙන සේ පිළිවෙළින් පිහිටුවා ගෙනැ මෙසේ උන් කල්හි සම්-මස්-නහර නො නැමෙන බැවින් විටින් විටවත් වේදනා නූපදියි. වේදනා නැති කල්හි සිත එකඟ වේ. කමටහන නො වැටෙයි. එයින් භාවනා වෘද්ධිය වේ. (මෙයින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස සුවසේ පවත්නා සැටි කීහ.)

පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා = කර්‍මස්ථානාභිමුඛ කොටැ සිහිය එළවා (බාහිර අරමුණින් සිහිය ඉවත් කොටැ කර්‍මස්ථානයට අභිමුඛ කොටැ පිහිටුවා යනු අර්‍ථ යි. මෙහි පරි යනු අභි යන්නෙහි අර්‍ථය දෙයි. තවද “පරී‘ති පරිග්ගහට්ඨො, මුඛංති නීය්‍යානට්ඨො, සතීති උපට්ඨානට්ඨො තෙන වුච්චති පරිමුකං සතිං” යි පටිසම්භිදා පාළියෙහි කී පරිදි ද මෙහි ලා දත යුතු යි. පරි යනු පරිග්‍ර‍හාර්‍ථ ය, මුඛ යනු නිර්‍ය්‍යාණාර්‍ථ ය, සති යනු උපස්ථානාර්‍ථ යි. එහෙයින් පරිමුඛං සතිං යි කියනු ලැබේ. යනු එහි භාව යි. ‘ගන්නා ලද නිර්‍ය්‍යාණ ඇති සිහිය කොටැ’ යනු එහි සංක්‍ෂිප්ත තේරුම යි. (නිර්‍ය්‍යාණ නම් කෙලෙසුන්ගෙන් නික්මීම ය - නිර්‍වාණය - නිවන් අරමුණු කොටැ සිහිය උපදවා ගෙනැ)

සො සතොව අස්සසති සතො පස්සසති = ඒ භික්‍ෂු යට කී පරිදි හිඳැ ගෙනැ, යට කී පරිදි සිහි එළවා ගෙනැ ඒ සිහිය නො හරිමින් ම ආශ්වාස කරයි. සියලු තැන සතොකාරි වෙයි. සතොකාරී වැ කෙසේ ආශ්වාස කරන්නේ ද කෙසේ ප්‍ර‍ශ්වාස කරන්නේ ද යනු දක්වන්නට “දීඝං වා අස්සසන්තො” යනාදිය කීහ. පටිසම්භිදායෙහිදු “සතො ච අස්සසති සතො පස්සසති”[5] යි ද එහිම විභඞ්ගයෙහි ද “ඛත්තිංසාය ආකාරෙහි සතොකාරී හොති. දීඝං අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති. තාය සතියා තෙන ඤාණෙන සතොකාරී හොති. දීඝං පස්සාසවසෙන -පෙ- පටිනිස්සග්ගානුපස්සි අස්සාසවසෙන පටිනිස්සග්ගානුපස්සි පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤානෙන සතෝකාරී හොති”1 යි කියන ලද්දේ ය. දෙතිස් ආකාරයෙකින් සතෝකාරී වෙයි. දීර්‍ඝ කොටැ ආශ්වාස කිරීම් වශයෙන් සිත එකඟ වූ බව දැනුත් ම සිහිය එළඹුණේ වේ. ඒ සිහියෙන් ඒ නුවණින් සතෝකාරී වෙයි. දීර්‍ඝ කොටැ ප්‍ර‍ශ්වාස කිරීම් වශයෙන් යනාදි සෙසු සතලොස් තන්හි ද මෙසේ ම අර්‍ථ දත යුතු. (මෙයින් සතෝකාරී වැ ම ආශ්වාස ප්‍ර‍ශ්වාස කළ යුතු බව කීහ.)

දීඝං වා අස්සසන්තො = දීර්‍ඝ කොටැ හෝ ආශ්වාස කරන්නේ. ආශ්වාස නම් පිටවෙන වාතය යි ද, ප්‍ර‍ශ්වාස නම් ඇතුළු වෙන වාතය යි ද විනය අටුවාහි දැක්වේ. සූත්‍ර‍ අටුවාහි වනාහි ආශ්වාස නම් ඇතුළු වන වාතය යිද, ප්‍ර‍ශ්වාස නම් පිට වන වාතය යි ද දක්වා තිබේ. සියලුම ගර්‍භශායි සත්ත්‍වයන් මව් කුසින් බිහිවන කල පළමු කොටැ ඇතුළත තුබුණු වාතය පිටතට නික්මේ. පසු වැ පිටත වාතය සියුම් රජස් ගෙනැ ඇතුළට පිවිසැ තල්ලේ හැපී නිවී යයි. මේ ආශ්වාසය මේ ප්‍ර‍ශ්වාසය යි දතයුතු මෙසේ ය.

(‘මව් කුස උපන් සඳ නික්මෙනුවට අවකාශ නො ලද වාතය මව් කුසින් නික්මෙත් ම පිටතට නික්මෙන බැවින් උත්පත්ති ක්‍ර‍ම වශයෙන් විනය අටුවායෙහි ඇතුළත්හි නාශාවාතය ගෙනැ “ආදෞශ්වාසය” ආශ්වාස නමැයි කිවු. පළමු නාශාවාතය ඇතුළත ඉක්බිති බාහිර කරන බැවින් සූතාන්ත අටුවායෙහි භාවනා ක්‍ර‍මයෙන් ආදියෙහි නාශාවාතය ගෙනැ අදෞශ්වාසය ආශ්වාසය යි වදනා නාශාවාතය ආශ්වාස නමැ යි කීහු. විනය අටුවායෙහි උත්පත්ති ක්‍ර‍මයෙන් කීවා සිටුවා ප්‍ර‍වෘත්ති ක්‍ර‍ම භාවනාවට කැමැති විය යුතු බැවිනුදු ‘අස්සාසාදිමජ්ඣපරියොසානං සතියා අනුගච්ඡතො අජ්ඣත්තං වික්ඛෙපගතෙන චිත්තෙන”[6] යන පෙළ ඇති බැවිනුදු සූත්‍ර‍ අටුවායෙහි කී නියායෙන් ම වී යනු සන්න යි. ටීකායෙහි වනාහි “විනය නයෙන අන්තො උට්ඨි තස්සනං අස්සාසො, ඛහි උට්ඨිතස්සනං පස්සාසො. සුත්තන්ත නයෙන ඛහි උට්ඨහිත්‍වාපි අන්තොසසනතො අස්සාසො, අන්නො උට්ඨහිත්‍වාපි බහි සසනතො පස්සාසො” යි කීහු. යනු පැරකුම්බා සන්න යි)

මේ ආශ්වාස - ප්‍ර‍ශ්වාසයන්ගේ දීර්‍ඝ බව හෝ භ්‍ර‍ස්ව බව හෝ දත යුත්තේ කාල වශයෙනි. දීර්‍ඝ පෙදෙසක පැතිරැ පවත්නා දිය දික් ඇල්ලය යි ද, වැලි දික්වැල්ලය යිද, ලුහුඬු පෙදෙසක පැතිරැ පවත්නා දිය කොට ඇල්ල යිද, වැලි කොටවැල්ලය යි ද, ව්‍යවහාර කරනු ලැබේ. එමෙන් කලාප වශයෙන් සුණු විසුණු වූ ද ආශ්වාස - ප්‍ර‍ශ්වාස කාල වශයෙන් ගෙනැ දීර්‍ඝ ආශ්වාස-ප්‍ර‍ශ්වාසය, භ්‍ර‍ස්ව ආශ්වාස-ප්‍ර‍ශ්වාසය යි කියනු ලැබේ. ඇතුන්ගේ ද නයින්ගේ ද ශරීර දීර්‍ඝ ය. ඔවුන්ගේ ආශ්වාස-ප්‍ර‍ශ්වාස දීර්‍ඝ වැ සෙමෙන් පවත්නේ ය. එ බැවින් ඒ දීර්‍ඝ ආශ්වාස දීර්‍ඝ ප්‍ර‍ශ්වාසය යි කියනු ලැබේ. බලු-සා ආදීන්ගේ ශරීර ලුහුඬු ය. ඔවුන්ගේ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කොටින් - කොටින් ඉක්මන් වැ පවත්නේ ය. එබැවින් එය භ්‍ර‍ස්ව ආශ්වාස-භ්‍ර‍ස්ව ප්‍ර‍ශ්වාසය යි කියනු ලැබේ. මිනිසුන්ගෙන් ඇතැම් කෙනෙක් හස්ති-සර්‍පාදීන් මෙන් දීර්‍ඝ කොටැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරති. ඇතැම් කෙනෙක් බලු-සා ආදීන් මෙන් ලුහුඬු කොටැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරති. දීර්‍ඝ කොටැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන කල්හි දීර්‍ඝ ආශ්වාස-ප්‍ර‍ශ්වාසය යි ද, භ්‍ර‍ස්ව කොටැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන කල්හි භ්‍ර‍ස්ව ආශ්වාස-ප්‍ර‍ශ්වාසය යි ද දත යුතු.

මේ යෝගී භික්‍ෂු නව ආකාරයෙකින් දීර්‍ඝ කොටැ ආශ්වාස ප්‍ර‍ශ්වාස කරන්නේ “මම දීර්‍ඝ කොටැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරමි”යි දැනැ ගන්නේ ය. එසේ දැනැ ගත් ඔහුට දීර්‍ඝ අස්සාස-පස්සාස රස්ස අස්සාස-පස්සාස යන සතරින් හෝ මේ කියනු ලබන නවයෙන් හෝ එක් ආකාරයෙකින් කායානුපස්සනා සතිපට්ඨාන භාවනාව සමෘද්ධ වේ.

පටිසම්භිදායෙහි :-

“කථං දීඝං අස්සසන්තො දීඝං[7] අස්සසාමීති පජානාති, දීඝං පස්සසන්තො දීඝං පස්සසාමිති පජානාති. දීඝං අස්සාසං අද්ධාසඞ්ඛාතෙ අස්සසති. දීඝං පස්සාසං අද්ධානසඞ්ඛාතෙ පස්සසති. දීඝං අස්සාස-පස්සාසං අද්ධානසඞ්ඛාතෙ අස්සසතිපි, පස්සසතිපි. දීඝං අස්සාසපස්සාසං අද්ධානසඞ්ඛාතෙ අස්සසතොපි පස්සසතොපි ඡන්‍දො උප්පජ්ජති. ඡන්‍දවසෙන තතො සුඛුමතරං දීඝං පස්සායං අද්ධානසඞ්ඛාතෙ පස්සසති. ඡන්‍දවසෙන තතො සුඛුමතරං දීඝං අස්සාසපස්සාසං අද්ධානසඞ්ඛාතෙ අස්සසතිපි පස්සසතිපි ඡන්‍දවසෙන තතො සුඛුමතරං දීඝං අස්සාස-පස්සාසං අස්ස සතොපි පස්සසතොපි පාමොජ්ජං උප්පජ්ජති. පාමොජ්ජවසෙන තතො සුඛුමතරං දීඝං අස්සාසපස්සාසං අද්ධානසඞ්ඛාතෙ අස්සසතො‘පි පස්ස සතො‘පි දීඝං අස්සාසපස්සාසා චිත්තං විවට්ටති. උපෙක්ඛා සණ්ඨාති. ඉමෙහි නවහි ආකාරෙහි දීඝං අස්සාසපස්සාසා කායො, උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං කායො උපට්ඨානං නො සති, සති උපට්ඨානං චෙව සති ච, තායසතිසා තෙ ඤාණෙන තං කායං අනුපස්සති. තෙන වුච්චති කායෙ කායානුපස්සනා සතිපට්ඨානභාවනා”[8] යි.

මෙහි අර්‍ථ මෙසේ ය:-

‘දීර්‍ඝ කොටැ ආශ්වාස කරන්නේ “දීර්‍ඝ කොටැ ආශ්වාස කරමි”යි ද කෙසේ දන්නේ ද,

‘දීර්‍ඝ ආශ්වාසය දීර්‍ඝ වේලාවක් ආශ්වාස කරයි’ දීර්‍ඝ ප්‍ර‍ශ්වාසය දීර්‍ඝ වේලාවක් ප්‍ර‍ශ්වාස කරයි. දීර්‍ඝ ආශ්වාස-ප්‍ර‍ශ්වාස දීර්‍ඝ වේලාවක් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරයි. එසේ දීර්‍ඝ ආශ්වාස-ප්‍ර‍ශ්වාස දීර්‍ඝ වේලාවක් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරත් ම ඒ යොගීහට කත්තුකම්‍යතා කුශලච්ඡන්දය උපදින්නේ ය. (කත්තුකම්‍යතා කුශලච්ඡන්‍දය නම් පෙරට වඩා අතිශයයෙන් භාවනා කරනු කැමැති බව යි.) ඉක්බිති ඒ කත්තුකම්‍යතා කුශලච්ඡන්‍ද වශයෙන් පෙරට වඩා අතිශයයෙන් සියුම් වූ (භාවනා බලයෙන් කායප්‍ර‍ශ්‍ර‍බ්ධ වූ දරථ පරිදාහ ඇති බැවින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස වාතයෝ සූක්‍ෂමතර වැ පවත්නාහු යි.” දීර්‍ඝ ආශ්වාසය දීර්‍ඝ වේලාවක් ආශ්වාස කරයි. කත්තුකම්‍යතා කුශලච්ඡන්‍ද වශයෙන් පෙරට වඩා අතිශයයෙන් සියුම් වූ දීර්‍ඝ ප්‍ර‍ශ්වාසය දීර්‍ඝ වේලාවක් ප්‍ර‍ශ්වාස කරයි. කත්තුකම්‍යතා කුශලච්ඡන්‍ද වශයෙන් පෙරට වඩා අතිශයයෙන් සියුම් වූ දීර්‍ඝ ආශ්වාස-ප්‍ර‍ශ්වාස දීර්‍ඝ වේලාවක් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරයි. එසේ කත්තුකම්‍යතා කුශලච්ඡන්‍ද වශයෙන් පෙරට වඩා අතිශයයෙන් සියුම් වූ දීර්‍ඝ ආශ්වාස-ප්‍රශ්වාස දීර්‍ඝ කොටැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරත් ම ඒ යෝගීහට ප්‍රමෝදය උපදනේය. (“ආශ්වාස-ප්‍ර‍ශ්වාසයෙන් සූක්‍ෂ්මතර බැවිනුදු ආලම්බනය ශාන්තිකර බැවිනුදු කර්‍මස්ථානය වීථි ප්‍ර‍තිපන්න බැවිනුදු භාවනා චිත්තසහගත වූ ප්‍රමෝදය හෙවත් ක්‍ෂුද්‍රිකාදි ප්‍රභේද ඇති තරුණ ප්‍රීතිය උපදී” යනු සන්න යි.) ඉක්බිති ප්‍රමෝද වශයෙන් පෙරටත් වඩා අතිශයයෙන් සියුම් වූ දීර්‍ඝ ආශ්වාස දීර්‍ඝ වේලාවක් ආශ්වාස කරයි. එසේ මැ ප්‍ර‍ශ්වාස දීර්‍ඝ වේලාවක් ප්‍ර‍ශ්වාස කරයි. දීර්‍ඝ ආශ්වාස ප්‍ර‍ශ්වාස දීර්‍ඝ වේලාවක් ආශ්වාස ප්‍ර‍ශ්වාස කරයි. එසේ ප්‍රමෝද වශයෙන් පෙරට වඩා අතිශයයෙන් සියුම් වූ දීර්‍ඝ ආශ්වාස ප්‍ර‍ශ්වාස දීර්‍ඝ වශයෙන් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරත් ම (“අනුක්‍ර‍මයෙන් ආශ්වාස-ප්‍ර‍ශ්වාසයෙන් අතිශයයෙන් සූක්‍ෂමතර බවට පැමිණීමෙන් නො වැටහෙන කල්හි සෙවිය යුතු ආකාරයට පැමිණි”) ඒ ආශ්වාස-ප්‍ර‍ශ්වාසයන් කෙරෙන් සිත පෙරලෙයි. තත්‍ර‍ මධ්‍යස්ථතා සංඛ්‍යාත උපේක්‍ෂාව පිහිටයි. (භාවනා බෙලෙන් ආශ්වාස-ප්‍ර‍ශ්වාසයෙන් සූක්‍ෂමතර බවට පැමිණි කල්හි ඉඟි ප්‍ර‍තිභාග නිමිත්තය උපන් කල්හි ප්‍ර‍කෘති ආශ්වාස-ප්‍ර‍ශ්වාසය කෙරෙන් සිත නවතී. ඒ ප්‍ර‍තිභාග නිමිත්තයෙහි උපචාර-අර්පණා භෙද සමාධිය උපන් කල්හි නැවත ධ්‍යානෝත්පාදය පිණිස ව්‍යාපාරයක් නැති බැවින් අධ්‍යුපේක්‍ෂණය වෙයි කියත්” යනු සන්නයි.)

මේ නවාකාරයෙන් දීර්‍ඝ කොට පැවැති ආශ්වාස-ප්‍ර‍ශ්වාස කාය ය. (ආශ්වාස-ප්‍ර‍ශ්වාස නිසා උපන් ප්‍ර‍තිභාග නිමිත්ත ද ආශ්වාස-ප්‍ර‍ශ්වාස නමින් ම ගැණෙන බව දත යුතු.) ඒ ආශ්වාස-ප්‍ර‍ශ්වාස අරමුණ කරා එළඹ සිටින්නේ සතිය අනුපස්සනාව ඤාණ ය. (අනුපස්සනා නම් සමථ වශයෙන් ද, විපස්සනා වශයෙන් ද යථාභූතාවබොධය යි) කාය උපට්ඨාන ය. සති නො වේ. සතිය උපට්ඨාන හා සති වේ. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කාය ලබන්නේ ය. එහෙයින් කායානුපස්සනා සතිපට්ඨාන භාවනා යයි කියනු ලැබේ. (“කුමක් කී නියාද යත් :- යථොක්ත වූ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කායයෙහි ද ඕහට නිශ්‍ර‍ය වූ කරජකායයෙහි ද කායයාගේ ම අනුපස්සනා ය. අනුදක වූ මරීචියෙහි උදකානුපස්සනාව මෙන් අනිත්‍යාදි ස්වභාවාකාරයෙහි නිත්‍යාදිශාවයෙන් අනුපස්සනාවක් නො වෙයි.

වැළි කිමෙක් ද යත් :- යථාර්‍භයෙන් අනිත්‍ය දුඃඛානාත්මාසුභභාවයාගේ ම අනුපස්සනා ය. නොහොත් කායයෙහි මම ය, මාගේ ය, ස්ත්‍රිය, පුරුෂය යි ගත යුතු කිසිවක්හු නැති බැවින් එබඳුවක්හු නො බලා කායාමාත්‍ර‍යාගේම අනුපස්සනාව කායානුපස්සනා නමි. ඒ කායානුපස්සනාව හා සම්ප්‍ර‍යුක්ත ස්මෘති තොමෝ ම උපස්ථාන වී සතිපට්ඨාන නම් වෙයි. ඔහුගේ භාවනාවට්ඨතාව කායානුපස්සනා සතිපට්ඨාන භාවනාය යි කී නියා යි” යනු සන්නයි.

“රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමිති පජානාති” යන්නෙහි දු ක්‍ර‍මය මෙසේ ය. “දීඝං අස්සාසං අදධනසඞ්ඛාතෝ” යනු වෙනුවට “රස්සංඅස්සායං ඉත්තරසඞ්ඛාතෙ”යි යොදනු. සෙස්ස පෙර කී සේ ම ය.

මෙසේ මේ යෝගි දීර්‍ඝ කාල වශයෙන් ද, ස්වල්ප කාල වශයෙන් ද යට කී පරිදි ආශ්වාස ප්‍ර‍ශ්වාස වන්නේ “දීඝා වා අස්සසන්තො දීඝං අස්සසාමිති පජානාති-පෙ-රස්සං වා පස්සන්තො රස්සං පස්සසාමිති පජානාති”යි වන්නේ ය. එසේ දන්නා වූ ඒ යෝගීහුගේ නැහැ අග-

“දීඝො රස්සො ච අස්සාසො - පස්සාසොපි ච තාදිසො

චත්තාරො වණ්ණා වත්තන්ති - නාසිකග්ගෙච භික්ඛුනො” යි

කී පරිදි දීර්‍ඝ ආශ්වාස-භ්‍ර‍ස්ව ආශ්වාස දීර්‍ඝ ප්‍ර‍ශ්වාස-භ්‍ර‍ස්ව ප්‍ර‍ශ්වාස යන සතර ආකාරය පවත්නේ ය යි දත යුතු.

“සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමිති සික්ඛති

සබ්බකායපටිසංවේදි පස්සසිස්සාමීති සික්කති.”

‘සියලු ආශ්වාසකායයාගේ ආදි-මධ්‍ය-අවශාන ප්‍ර‍කට කොට දනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.’ සියලු ප්‍ර‍ශ්වාස කායයාගේ ආදි මධ්‍ය අවශානය ප්‍ර‍කට කොට දනිමින් ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය, ආශ්වාස-ප්‍ර‍ශ්වාස ප්‍ර‍කට කොටැ දනිමින් ඥානසම්ප්‍ර‍යුක්ත සිතින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කළ යුතු යයි කී සේ ය.

ඇතැම් යෝගියකුට කලාප වශයෙන් සුණු විසුණු වූ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කායයෙහි ආදිය ප්‍ර‍කට වේ. මධ්‍ය අවශාන ප්‍ර‍කට නො වේ. ඒ යෝගී ආදිය ම පිරිසිඳැ දැන ගන්නට සමර්‍ථ වේ. මධ්‍ය-අවශාන දෙක්හි වෙහෙසට පත් වේ. ඇතැම් යෝගියකුට මධ්‍යය ප්‍ර‍කට වේ. ආදි-අවශාන ප්‍ර‍කට නො වේ. ඇතැම් යෝගියකුට අවශානය ප්‍ර‍කට වේ. ආදි - මධ්‍ය ප්‍ර‍කට නො වේ. හේ ආදි - මධ්‍යයෙහි වෙහෙසට පත් වේ. ඇතැම් යෝගියකුට ආදි - මධ්‍ය - අවශාන යන තුන් තැන ම ප්‍ර‍කට වේ. හේ ඒ සියල්ල ම පිරිසිඳැ දැන්මට සමර්‍ථ වේ. කිසි තැනෙතු දු වෙහෙසට පත් නො වේ. එබන්දකු විය යුතුය යි දක්වන්නට ය. “සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමිති සික්ඛති සබ්බකායපටිසංවේදි පස්සසිස්සාමීති සික්ඛති.” යි වදාළේ “සික්ඛති” යන්නෙහි තේරුම නම් ‘හික්මෙන්නේ ය-ගටෙන්නේ ය-වෑයම් කරන්නේ ය’ යනුයි.

මේ කී පරිදි තුන් තැන්හි ම හික්මෙන්නහුගේ යම් සංවරයෙක් වේ ද එය අධිශීල ශික්‍ෂා ය. යම් සමාධියක් වේ ද එය අධිචිත්තශික්‍ෂා ය. යම් ප්‍ර‍ඥාවෙක් වේ ද එය අධිප්‍ර‍ඥා ශික්‍ෂා ය. මේ මෙහිලා ත්‍රිවිධ ශික්‍ෂා යි.

ඒ අරමුණෙහි එ කී සිහියෙන් එ කී මනස්කාරයෙන් හික්මෙන්නේ ය, සෙව්නේ ය, වඩන්නේ ය, බහුල කරන්නේ ය යි එහි අර්‍ථ දත යුතු යි.

“දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති -පෙ- රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමිතී පජානාති”යි කියූ තන්හි හුදෙක් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කටයුතු බව කීවා විනා අන් කිසි කටයුත්තක් නො කීයේ ය. මෙ තැන් පටන් ඥානොත්පාදාදිය සඳහා උත්සාහ කටයුතු බව කියන්නේ ය. එහෙයින් එහි “අස්සසාමි, පස්සසාමි”යි වර්‍තමාන ක්‍රියායෙන් පාළිය දක්වා මෙතැන් පටන් කටයුතු ඥානොත්පාදාදි ආකාර දක්වන්නට “සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමි” යනාදීන් අනාගතකාල වශයෙන් පාළිය තබන ලදැ යි දතයුතු.

“පස්සම්භයං කායසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති

පස්සම්භයං කායසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති”

ඖදාරික කාය සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙන්නේ ය. ‘ඖදාරික කාය සංස්කාර සංසිඳුවමින් ප්‍ර‍ශ්වාස කරන්නෙමි’යි හික්මෙන්නේ ය. (කාය සංස්කාර නම් ආශ්වාස ප්‍ර‍ශ්වාස යි. එය චිත්තසමුට්ඨාන වුව ද කය පිළිබඳ වැ පවත්නා බැවින් කායසංස්කාරය යි කියන ලදී.)

එහි ඖදාරික බව ද, සියුම් බව ද, සන්සිඳුවනා සැටි ද මෙසේ දත යුතු. කර්‍මස්ථානාරම්භයට පළමු ඒ යෝගිහුගේ කය හා සිත සදරථ ය - ඖදාරික ය. කය හා සිත සදරථ-ඖදාරික කල්හි ඔහුගේ ආශ්වාස - ප්‍ර‍ශ්වාස ද ඖදාරික ය. - බලවත් ය. නාසිකාව නො පොහොනේ මුඛයෙන් ද ආශ්වාස - ප්‍ර‍ශ්වාස කරන්නේ ය. “නිසිදති පල්ලඞ්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය” යන ක්‍ර‍මයෙන් කය ද “පරිමුඛ සතිං උප්ඨාපෙත්‍වා” යන ක්‍ර‍මයෙන් සිත ද පරිග්‍ර‍හ කරන ලද කල්හි ඒ කය හා සිත ශාන්ත වන්නේ ය. කය හා සිත ශාන්ත කල්හි ආශ්වාස-ප්‍ර‍ශ්වාස ද ශාන්ත වැ සියුම් වැ පවත්නේ ය. ඇද්දෝ හෝ නැද්දෝ හෝ යි සෙවිය යුතු බවට පැමිණෙන්නේ ය. මිනිසකු වේගයෙන් දුවැ හෝ පර්‍වතයකින් බැසැ හෝ මහ බරක් හිසින් බහා සිටි කල්හි ඔහුගේ ආශ්වාස-ප්‍ර‍ශ්වාස ඖදාරික ය, නාසිකාව නො පොහොනේ මුඛයෙන් ද ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නේ ය. ඒ විඩාව දුරු කොටැ දිය නා පැන් බී කෙත් කඩක් ළය තබා ගෙනැ සිහිල් සෙවනේ හුන් කල්හි ඒ ආශ්වාස-ප්‍ර‍ශ්වාස සියුම් වැ ඇද්දෝ හෝ නැද්දෝ හෝ යි සෙවිය යුතු බවට පැමිණෙන්නේ ය. මෙහිදීත් එ බඳු යයි දත යුතු. කුමක් හෙයින් ද, අපරිගෘහිත කාලයෙහි ඔහුට ඖදාරික ඖදාරික ආශ්වාස-ප්‍ර‍ශ්වාස සන්සිඳුවමි යි යන අභෝගයෙක් සමන්නාභාරයෙක් - මනස්කාරයෙක් - ප්‍ර‍ත්‍යවෙක්‍ෂ්ණයෙක් නුවූයේ ය. පරිගෘහිතකාලයෙහි ම වූයේ ය. එ හෙයින් අපරිගෘහීත කාලයෙහි සියුම් නො වැ පරිගෘහිත කාලයෙහි ම සියුම් වන්නේ ය.

කියන ලද මැ යි :-

“සාරද්ධෙ කායෙ චිත්තෙ ච - අධිමතතං පවත්තති

අසාරද්ධමහි කායම්හි - සුඛුමං සම්පවත්තති”[9] යි.

“කාය චිත්ත සඳහා සහිත වූ - කෝප සහිත වූ කල්හි කායසංස්කාර අධික වැ පවත්නේ ය. කාය චිත්ත සිසිල් වූ - කෝප රහිත වූ කල්හි සූක්‍ෂම වැ පවත්නේ ය, යනු එහි අර්‍ථ යි.

“පරිගෘහීත කාලයෙහි ද ඖදාරික යි කිය යුතු. ප්‍ර‍ථම ධ්‍යානයෙහි සියුම් ය. ප්‍ර‍ථමධ්‍යානෝපචාරයෙහි ඖදාරික ය. ප්‍ර‍ථම ධ්‍යානයෙහි සියුම් ය. ප්‍ර‍ථමධ්‍යානයෙහි ද, ද්විතීයධ්‍යානෝපචාරයෙහි ද ඖදාරික ය, ද්විතීයධ්‍යානයෙහි සියුම් ය. ද්විතීයධ්‍යානෝපචාරයෙහි ද ඖදාරික ය. ද්විතීයධ්‍යානයෙහි සියුම් ය. ද්විතීයධ්‍යානයෙහි ද, තෘතීයධ්‍යානෝපචාරයෙහි ද ඖදාරික ය, තෘතීයධ්‍යානයෙහි සියුම් ය. තෘතීයධ්‍යානයෙහි ද චතුර්‍ථධ්‍යානෝපචාරයෙහි ද ඖදාරික ය, චතුර්‍ථධ්‍යානයෙහි අති සියුම් වැ - නැතැ යි කිය යුතු බවට පැමිණෙන්නේ ය” මේ කියන ලද්දේ දීඝභාණක සංයුත්තභාණකයන්ගේ මතය යි. මජ්ඣිමභාණකයෝ “ප්‍ර‍ථමධ්‍යානයෙහි ඖදාරික ය. ද්විතීයධ්‍යානෝපචාරයෙහි සියුම් ය” යනාදි වශයෙන් යට යට ධ්‍යානයෙහිදීට වඩා මතු මතු ධ්‍යානෝපචාරයෙහි දී සියුම් යයි කියති. දෙපක්‍ෂයේ ම මතයෙන් අපරිගෘහීත කාලයෙහි පැවති කාය සංස්කාර පරිගෘහීත කාලයෙහි සන්සිඳෙන බව ද, පරිගෘහිත කාලයෙහි පැවැති කායසංස්කාර ප්‍ර‍ථම ධ්‍යානෝපචාරයෙහි සන්සිඳෙන බව ද -පෙ- චතුර්‍ථ ධ්‍යානෝපචාරයෙහි පැවැති කාය සංස්කාර චතුර්‍ථ ධ්‍යානයෙහි දී සන්සිඳෙන බව ද කීයේ ය යි දත යුතු. මේ සමථයෙහි ක්‍ර‍මය යි.

විදර්‍ශනායෙහි දී වනාහි අපරිගෘහිත කාලයෙහි හෙවත් කමටහන් නො ගත් කල්හි පැවැති කායසංස්කාර ඖදාරික ය. සතර මහාභූත පරිගෘහීත කල්හි සුඛුම ය. සතර මහාභූත පරිගෘහීත කල්හි දු ඖදාරික ය. උපාදාය රූප පරිගෘහීත කල්හි සුඛුම ය. උපාදාය රූප පරිගෘහීත කල්හි දු ඖදාරික ය. සකල රූප පරිගෘහීත කල්හි සුඛුම ය. සකල රූප පරිගෘහීත කල්හි දු ඖදාරික ය. අරූප පරිගෘහීත කල්හි සුඛුම ය. අරූප පරිගෘහීත කල්හි දු ඖදාරික ය. රූපාරූප පරිගෘහීත කල්හි සුඛුම ය. එ ද ඖදාරික ය. ප්‍ර‍ත්‍යය පරිගෘහීත කල්හි සුඛුම ය. එ ද ඖදාරික ය. සප්‍ර‍ත්‍යය නාම-රූප පරිගෘහීත කල්හි සුඛුම ය. එ ද ඖදාරික ය. ලක්‍ෂණාරම්මණික විදර්‍ශනායෙහි සුඛුම ය. එ ද දුර්‍වල විදර්‍ශනායෙහි ඖදාරික ය. බලවත් විදර්‍ශනායෙහි සුඛුම ය. (මෙහි රූපාරූප පරිග්‍ර‍හය යි දෘෂ්ටි විශුද්ධි කීහු. සප්‍ර‍ත්‍යය නාම-රූප පරිග්‍ර‍හය යි කා ක්‍ෂාවිතරණ විශුද්ධි කීහු. ලක්ඛණාරම්මණික විපස්සනාය යි උදයව්‍යය දර්‍ශනයෙන් පෙරටු කලාප සම්මර්‍ශනයෙහි පහරවා කීහු බලව විපස්සනාය යි භඞ්ගානුදර්‍ශනායෙහි පහරවා හෝ නිර්‍වෙදානුදර්‍ශනායෙහි පහරවා හේ කීහ යනු සන්න යි. ටීකායෙහි ‘නිබ්බිදානු පස්සනතො පට්ඨාය බලව විපස්සනා. තතො ඔරං දුබ්බල විපස්සනා’යි කීහු යනු පැරකුම් සන්න යි.) සමථයෙහි කී සේ මෙහි පූර්‍ව පූර්‍ව කායසංස්කාර පශ්චිම-පශ්චිමයෙන් සන්සිඳෙන්නේ ය. කායසංස්කාර පිළිබඳ ඖදාරිකත්‍වය හා සූක්‍ෂමත්‍ව ද, පටිපපස්සද්ධිය ද මෙසේ මෙහි දක්වන ලදැයි දත යුතු.

සැරියුත් ස්වාමි පරිසම්භිදායෙහි දී මේ අර්‍ථය චෝදනා පරිහාර සමගින් මෙසේ දක්වයි.

“කථං පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛතිපස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති.

කතමෙ කායසඞ්ඛාරො? දීඝං අස්සාසපස්සාසා-කායිකා එතෙ ධම්මා කායපටිබද්ධා-කායසඞ්ඛාරා තෙ කායසඞ්ඛාරෙ පස්සම්භෙන්තො නිරොධෙන්තො වුපසමෙන්තො සික්ඛති. යථාරූපෙහි කායසඞ්ඛාරෙහි කායස්ස ආනමනා විනමනා සත්තමනා පනමනා ඉඤ්ජනා ඵන්‍දනා චලනා කම්පනා. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති යථාරූපෙහි කායසංඛාරෙහි කායස්ස න ආනමනා, න විනමනා, න සන්නමනා, න පනමනා, අතිඤ්ජනා අඵන්‍දනා අචලනා අකම්පනා සන්තං සුඛමං පස්සම්භයං කායසඞ්ඛාරං අස්ස සිස්සාමීති පස්සසිස්සාමීති සික්ඛතීති. ඉති කිර පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. එවං සන්තෙ වාතුපලද්ධියා ච පහාවනා න හොති. අස්සාසපස්සාසානං ච පභාවනා න හොති. ආනාපාණසතියා ච පභාචනා න හොති. ආනාපාණසති සමාධිස්ස ච පභාචනා න හොති. න ච නං තං සමාපත්තිං පණ්ඩිතා සමාපජ්ජන්තිපි වුට්ඨහන්තිපි. ඉති කිර පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. එවං සන්තො වාතුපලද්ධියා ච පභාචනා හොති. අස්සාසපස්සාසානං ච පභාචනා න හොති. ආනාපාණසතියා ච පභාචනා න හොති. ආනාපාණසතිසමාධිස්ස ච පභාචනා හොති. තං ච නං සමාපත්තිං පණ්ඩිතා සමාපජ්ජවන්තිපි වුට්ඨහන්තිපි.

යථාකථං විය?

සෙය්‍යථාපි කංසෙ ආකොටිතෙ පඨමං ඔළාරිකා සද්දා පවත්තන්ති. ඔළාරිකානං සද්දානං නිමිත්තං සුග්ගහිතත්තා සුමනසිකතත්තා සුපධාරිතත්තා නිරුද්ධෙපි ඔළාරිකෙ සද්දෙ අථ පච්ඡා සුඛුමකා සද්දා පවත්තන්ති. සඛුමකානං සද්දානං නිමිත්තං සුග්ගහිතත්තා සුමනසිකතත්තා සූපධාරිතත්තා නිරුද්ධෙපි සුඛුමකෙ සද්දෙ අථ පච්ඡා සුඛුමසද්ද නිමිත්තාරම්මණතාපි චිත්තං පවත්තති. එවමෙවං පඨමං ඔළාරිකා අස්සාස-පස්සාසා පවත්තන්ති. ඔළාරිකානං අස්සාස පස්සාසානං නිමිත්තං සුග්ගහිතත්තා සුමනසිකතත්තා සූපධාරිතත්තා නිරුද්ධෙපි ඔළාරිකෙ අස්සාස පස්සාසෙ අථ පච්ඡා සුඛුමකා අස්සාසපස්සාසා පවත්තන්ති. සුඛුමකානං අස්සාසපස්සාසානං නිමිත්තං සුග්ගහිතත්තා සුමනසිකතත්තා සූපධාරිතත්තා නිරුද්ධෙපි සුඛුමකෙ සද්දෙ අථ පච්ඡා සුඛුමසද්ද නිමිත්තාරම්මනතාපි චිත්තං පවත්තති. එවමෙවං පඨමං ඔළාරිකා අස්සාස-පස්සාසා පවත්තන්ති. ඔළාරිකානං අස්සාස පස්සාසානං නිමිත්තං සුග්ගහිතත්තා සුමනසිකතත්තා සූපධාරිතත්තා නිරුද්ධෙපි ඔළාරිකෙ අස්සාස පස්සාසෙ අථ පච්ඡා සුඛුමකා අස්සාසපස්සාසා පවත්තන්ති. සුඛුමකානං අස්සාසපස්සාසානං නිමිත්තං සුග්ගහිතත්තා සුමනසිකතත්තා සූපධාරිතත්තා නිරුද්ධෙපි සුඛුමකෙ අස්සාසපස්සාසෙ අථ පච්ඡා සුඛුමඅස්සාස-පස්සාසානිමිත්තාරම්මණතාපි චිත්තං න වික්ඛෙපං ගච්ඡති. එවං සන්තෙ වාතුපලද්ධියා ච පහාවනා හොති, අස්සාසපස්සාසානං ච පභාචනා හොති, ආනාපාණසතියා ච පභාචනා හොති, ආනාපාණසතිසමාධිස්ස ච පභාචනා හොති. තං ච නං සමාපත්තිං පණ්ඩිතා සමාපජ්ජන්තිපි වුට්ඨහන්තිපි. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සාසපස්සාස කායෙ උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං, කායො, උපට්ඨානං නො සති, සති උපට්ඨානං චෙව සති ච, තාය සතියා තෙන ඤාණෙන තං කායං අනුපස්සති. තෙන වුච්චති කායෙ කායානුපස්සනා සතිපට්ඨාන භාවනාති.

මෙහි සංක්‍ෂෙපාර්‍ථ මෙසේ ය :-

“පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති” යනු කෙසේ වේ ද

‘මෙහි කායසඞ්ඛාර නම් දීර්‍ඝ ආශ්වාස-ප්‍ර‍ශ්වාසයෝ ය. ඔව්හු කායික බැවින් කායප්‍ර‍තිබද්ධ බැවින් කායසඞ්ඛාරය යි කියනු ලැබෙත්. යම් කායසඞ්ඛාරයෙකින් ශරීරය ඉදිරියට නැවීම් දෙපසට නැමීම් සැලීම් ආදි ක්‍රියා කෙරේ ද ඒ කායසඞ්ඛාර ඖදාරික කායසංස්කාර ය. ඒ ඖදාරික කායසංස්කාර සන්සිඳුවමින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරමි යි හික්මෙන්නේ ය. යම් කායසංස්කාරයෙකින් ශරීරය ඉදිරියට නැමීම් දෙපසට නැමීම් සැලීම් ආදි ක්‍රියා නොකෙරේ ද, ඒ කායසංස්කාර සූක්‍ෂ්ම කායසංස්කාර ය. ඒ සූක්‍ෂ්මකායසංස්කාර සන්සිඳුවමින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරමි යි හික්මෙන්නේ ය’

(චෝදනාවෙකි) එසේ නම් ආශ්වාස-ප්‍ර‍ශ්වාසය වාතය අරමුණු කොටැ ගත් සිතෙක පැවැත්ම නො වේ. ආශ්වාස-ප්‍ර‍ශ්වාසයන්ගේ පැවැත්ම ද නොවේ. ආනාපාණසතියේ පැවැත්ම ද නොවේ. ආනාපාණසතිසමාධියේ පැවැත්මද නොවේ. එ බඳු සමාපත්තියකට පණ්ඩිතයෝ සමවැදීම ද නො කරති. නැඟී සිටීම ද නො කරති.

(පරිහාර) එසේ ඇති කල්හි වාතය අරමුණු කොටැ ගත් සිතේ පැවැත්ම ද වේ. ආශ්වාස-ප්‍ර‍ශ්වාසයන්ගේ පැවැත්ම ද වේ. ආනාපාණසතියේ පැවැත්ම ද වේ. ආනාපාණසති සමාධිායේ පැවැත්ම ද වේ. පණ්ඩිතයෝ ඒ සමාපත්තියට සමවැදීම ද කෙරෙති. නැඟී සිටීම ද කරත්.

එයට උපමා මෙසේ ය :- ලොහො බඳුනකට තට්ටු කළ කල්හි පළමු කොට ඖදාරික හඬ නඟී. ඒ අනුවැ සිත පවතී. ඖදාරික හඬ අඩු වූ කල්හි සියුම් හඬ පවතී. ඒ අනු වැ සිත ද පවතී, ඒ සියුම් හඬ නැති වැ ගිය කල්හි ද එය අරමුණු කොටැ සිත පවතී. එමෙන් පළමු කොටැ ඖදාරික ආශ්වාස-ප්‍ර‍ශ්වාස සන්සිඳුණු කල්හි සූක්‍ෂම ආශ්වාස-ප්‍ර‍ශ්වාස අරමුණු කොටැ සිත පවතී. ඒ සන්සිඳුණු කල්හි ද එය අරමුණු කොටැ සිත පවතී. සෙස්ස පෙර කී සේය.

කායානුපස්සනා වශයෙන් දැක්වූ ප්‍ර‍ථම චතුෂ්කයාගේ

අනුපූර්‍ව පද වර්‍ණනාව යි.

ආදිකර්‍මමිකහට කර්‍මස්ථාන වශයෙන් වදාළේ මේ දැක්වුණු චතුෂ්ක සතර පමණෙකි. මතු දැක්වෙන චතුෂ්ක ත්‍රිකය මෙයින් ධ්‍යාන ලත් පුද්ගලයාහට වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන් වදාළේ ය. එ බැවින් මේ කර්‍මස්ථානය වඩා ආනාපාණ චතුර්‍ථධ්‍යානය පදස්ථාන කොටැ ඇති විදර්‍ශනායෙන් සිව් පිළිසිඹියා සමග අර්‍හත්ත්‍වය ලබනු කැමැති ආදිකර්‍මමිකයා විසින් පෙර කී සේ සිල් පිරිසිදු කැරැ ගැනීම් ආදි සියල්ල කොටැ යට කියූ පරිදි ආචාර්‍ය්‍යවරයකු කරා එළැඹැ උග්ගහ-පරිපුච්ඡා-උපට්ඨාන-අප්පණා-ලක්ඛණ යන සන්‍ධි පසින් යුත් කර්‍මස්ථානය උගත යුතු.

එහි :-

උග්ගහ නම් කර්‍මස්ථාන ග්‍ර‍න්‍ථය උගැන්ම ය.

පරිපුච්ඡා නම් අර්‍ථ උගැන්ම ය. නොහොත් ග්‍ර‍න්‍ථ වශයෙන් අර්‍ථ වශයෙන් කර්‍මස්ථාන උගැන්ම උග්ගහ ය. එහි සැක තැන් විචාරීම පරිපුච්ඡා යි.

උපට්ඨාන නම් මේ භාවනායෙහි යෙදෙන්නහුට මෙසේ නිමිත්ත උපදී ය යි වටහා ගැන්ම ය.

අප්පණා නම් මෙයින් මෙසේ ධ්‍යාන උපදීය යි දැන ගැන්ම ය.

ලක්ඛණ නම් කර්‍මස්ථානයාගේ ලක්‍ෂණය. මේ කර්‍මස්ථානය මෙ බඳු ලක්‍ෂණ ඇත්තේය යි කර්‍මස්ථානයාගේ ස්වභාව දැනැ ගැන්ම ය යි සේ යි. (“ගණනාඅනුබන්‍ධනා ඵුසනා යන මොවුන්ගේ වශයෙන් භාවනා වඩා ඨපනාවට පැමිණීම ද එයින් මතුයෙහි දු සල්ලක්ඛණාදි වශයෙන් මස්තක ප්‍රාප්තිය ද යන කමටහන්හුගේ ස්වභාව සැලකීම ය” යනු සන්න යි.)

මෙසේ පඤ්ච සන්‍ධික කර්‍මස්ථානය උගන්නේ නම් තෙමේත් වෙහෙසට පත් නො වන්නේ ය. ආචාර්‍ය්‍යයන් ද වෙහෙසට පත් නො කරන්නේ ය. එ බැවින් ස්වල්පයක් කියවා ගෙනැ බොහෝ වේලා සජ්ඣායනා කොටැ පඤ්ච සන්‍ධික කර්‍මස්ථානය උගෙනැ ආචාර්‍ය්‍යයන් සමීපයෙහි හේ වෙනෙ තැනෙක හෝ යට කී ආකාර සෙනසුනෙක වෙසෙමින් කුඩා පළිබෝධ ද දුරු කොටැ පියා දහවල් බත් කිස නිමවා භත්තමුර්ච්ඡාව ද දුරු කොටැ ගෙනැ තෙරුවන් ගුණ සැලකීමෙන් සිත සතුටු කොටැ ආචාර්‍ය්‍යයන් උගැන්වූ ක්‍ර‍මයෙන් එක පදයකුදු විස්මරණය නො කොටැ මේ ආනාපාණසති කර්‍මස්ථානය මෙනෙහි කළ යුතු. ඒ මෙනෙහි කරන ක්‍ර‍මය මෙසේ ය.

“ගණනා අනුබන්‍ධනා

ඵුසනා ඨපනා සල්ලක්ඛණා,

විවට්ටනා පාරිසුද්ධි

තෙසං ච පතිපස්සනා.”[10]

ගණනය, අනුබන්‍ධනය, ඵුසනය, ඨපනය, සල්ලක්ඛණය, විවට්ටනය, පාරිසුද්ධිය, පතිපස්සනය යන මේ අට මෙනෙහි කළ යුතු පිළිවෙළ යි.

ගණන නම් ගණන් කිරීම ය, අනුබන්‍ධන නම් සිහිය ආශ්වාස-ප්‍ර‍ශ්වාස අනුව පැවැත්වීම ය, ඵූසන නම් ස්පර්‍ශ කරන තැන ය, ඨපන නම් අර්පණා ය, සල්ලක්ඛණ නම් විදර්‍ශනා ය, විවට්ටන නම් මාර්‍ග ය, පාරිසුද්ධි නම් ඵල ය, පතිපස්සන නම් ප්‍ර‍ත්‍යවේක්‍ෂණ යි.

ගණන

ආදිකර්මිකයා විසින් පළමු කොටැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස ගණන් කිරීමෙන් මේ කර්‍මස්ථානය මෙනෙහි කළ යුතු. ගණන් කරන කල්හි දු පසින් යට නො නැවැත්විය යුතු. දසයෙන් මතු නො ගෙනිය යුතු. එක, තුන, පහ යනාදි වශයෙන් අතර නොකැඩිය යුතු. පසින් යට නැවැත්තුව හොත් ඉඩ මඳ ගාලෙහි ගෙරිමුළ සේ සම්බාධ අවකාශයෙහි සිත කැලඹෙයි. දසයෙන් මතු ගෙනැ ගිය හොත් සිත ගණනෙහි ම බැඳෙයි. අතර කඩ කළහොත් කර්‍මස්ථානය මුදුන් පැමිණියේ දො හෝ නො පැමිණියේ දෝ හෝ යි සිත චංචල බවට පත් වෙයි. එ බැවින් එසේ දොස් නො වන පරිදි ගණන් කළ යුතු. ගණන් කරන කල පළමු කොටැ දන්‍ධ ගණනින් - වී මනින ගණනින් ගණන් කළ යුතු. වී මනින්නා වියෙන් කුරුණිය පුරා එ-ක-යි කියා මල්ලට දමයි. නැවැත කුරුණිය පුරවන අතර රොඩුවක් ඇත්නම් ඒ ඉවත දමමින් එකයි-එකයි කියයි. දෙකයි-දෙකයි යනාදි වශයෙන් කියන්නේත් එසේ ය. මේ යෝගියා විසිනුදු ආශ්වාස-ප්‍ර‍ශ්වාස අතුරෙන් යමක් වැටහුණේ නම් එය අරමුණු කොටැ ගෙනැ එකයි-එකයි, දෙකයි-දෙකයි තුනයි-තුනයි යනාදි වශයෙන් දසය දක්වා වැටෙන වැටෙන ආශ්වාස-ප්‍ර‍ශ්වාස අරමුණු කොටැ ගණන් කළ යුතු. එසේ ගණන් කරන කල්හි නික්මෙන්නා වූ ද ඇතුළු වන්නා වූ ද ආශ්වාස-ප්‍ර‍ශ්වාස ප්‍ර‍කට වෙයි. එසේ ප්‍ර‍කට වූ කල්හි ඔහු විසින් ඒ දන්‍ධ ගණන - වී මනින ගණන හැරැපියා ශීඝ්‍ර‍ ගණනින්-ගොපලු ගණනින් ගණන් කළ යුතු. දක්‍ෂ ගොපොල්ලා කැට ගල් ඔඩොක්කුවෙහි ලා ගෙනැ රැහැන් කෙවිටි ගෙනැ උදෑසනක් සේ ගාලට ගොස් කෙවිටෙන් ගවයන් පිට පහර දී නඟා පියා හිදිවර ටැම් මතුයෙහි හිඳැ දොරට එන නඑන ගවයා එකයි-දෙකයි යනාදීන් කැට ගල් දම දමා ගණන් කරයි. රෑ මුළුල්ලේ හකයෙහි දුක සේ උන් ගවයෝ නික් මැ එන්නෝ උනුන් ඇඟ ගටමින් වෙළෙවි වෙළෙවි වැ මුළු මුළු වැ නික්මෙති. ගොපල්ලා ද වෙළෙවි වෙළෙවි වැ තුනයි-හතරයි-පහයි යනාදි වශයෙන් ගණන් කරයි. එසේ ම මේ යෝගී ද පෙර සේ ගණන් කරත් ම ආශ්වාස-ප්‍ර‍ශ්වාස ප්‍ර‍කට වැ වහ වහා නැවත නැවත හැසිරෙයි. ඉක්බිති ඔහු විසින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස නැවත නැවත හැසිරේ ය යි දැනැ ඇතුළ පිට වදනා ආශ්වාස-ප්‍ර‍ශ්වාස නො ගෙනැ දොරට පත් පත් ආශ්වාස-ප්‍ර‍ශ්වාස ම ගෙනැ එකයි-දෙකයි-තුනයි-හතරයි-පහයි-හයයි-හතයි, එකයි-දෙකයි-තුනයි-හතරයි-පහයි-හයයි-හතයි-අටයි-නවයයි-දහයයි කියා වහා වහා ගණන් කළ යුතු. කර්‍මස්ථානය මෙසේ ගණන් පිළිබඳ වූ කල්හි ඒ ගණන් බලයෙන් ම සිත එකඟ බවට පත් වේ. සැඩ වතුරේ රිටේ බලයෙන් නැව රැඳවීම මෙනි. මෙසේ වහ වහා ගණන් කරත් ම කර්‍මස්ථානය අතර නැති වැ පවතින බව ඔහුට වැටහෙයි. එවිට ඔහු විසින් කර්‍මස්ථානය නිරන්තර ප්‍ර‍වෘත්තය යි දැනැ ඇතුළ පිට වදනා වාතය අරමුණු නො කොටැ පෙර සේ ම වහ වහා ගණන් කළ යුතු. ඉදින් ඇතුළට පිවිසෙන වාතය හා සමග සිත ද ඇතුළු කෙළේ නම් ඇතුළ වාතයෙන් පහරන ලද්දාක් මෙන් ද මෙන් ද මේද තෙලින් පිරුණාක් මෙන් ද වේ. පිටතට නික්මෙන වාතය හා සමග සිත බැහැර කෙළේ නම් බැහැර නොයෙක් අරමුණුවල සිත දිවෙන්නේ වේ. එසේ නො කොටැ ස්පර්‍ශ කරන ලද නාසිකා අග මැ සිහිය පිහිටුවා භාවනා කෙළේ නම් භාවනාව සමෘද්ධ වේ. “ඇතුළ පිට වදනා වාතය අරමුණු නො කොටැ පෙර සේ ම වහ වහා ගණන් කළ යුතු” යයි කීයේ මේ නිසා ය. මෙසේ මේ ගණන් කිරීම් කොතෙක් කල් කළ යුතු ද යම්තාක් කලෙකින් ගණන් කිරීම් නැති වැ ආශ්වාස-ප්‍ර‍ශ්වාසාරම්මණයෙහි සිහිය පිහිටා ද ඒ තාක් කල කළ යුතුය. මේ ගණන් කිරීම කළ යුත්තේ බැහැර අරමුණුවල දිවෙන විතර්‍කය නවත්වා සිහිය ආශ්වාස-ප්‍ර‍ශ්වාසරම්මණයෙහි ම පිහිටුවනු සඳහා ය. මෙසේ ගණන් කිරීම් වශයෙන් මෙනෙහි කොටැ ඉක්බිති අනුබන්‍ධන වශයෙන් මෙනෙහි කළ යුතු ය.

අනුබන්‍ධනය

අනුබන්‍ධන නම් ගණන් කිරීම නවත්වා සිහියෙන් නිතොර ආශ්වාස-ප්‍ර‍ශ්වාස අනු වැ යාම ය. ඒ අනුව වැ යාම ද ආශ්වාස-ප්‍ර‍ශ්වාසයන්ගේ ආදි-මධ්‍ය-අවශාන අනු වැ යාම් වශයෙන් නො කළ යුතු ය. පිටත නික්මෙන වාතයේ ආදිය නැබ ය. මධ්‍යය හෘදය ය. අවශානය නාසිකාව ය. ඇතුළුවන වාතයේ ආදිය නාසිකා අගය. මධ්‍යය හෘදය ය. අවශානය නැබය. ඒ අනු වැ ගියහොත් සිත වික්‍ෂේප වැ දරථ පිණිස ද චංචල පිණිස ද වේ.

කියන ලද මැ යි :- “අස්සාසාදිමජ්ඣපරියොසානං සතියා අනුගච්ඡතො අජ්ඣත්තං වික්ඛෙපගතෙන චිත්තෙන කායොපි චිත්තංපි සාරදධා ව හොන්ති, ඉඤ්ජිතා ච ඵන්‍දිතා ච. පස්සාසාදිමජ්ඣෙ පරියොසානං සතියා අනුගච්ඡතො බහිද්ධා වික්ඛෙපගතෙන චිත්තෙන කායොපි චිත්තංපි සාරද්ධා ච හොන්ති. ඉඤ්ජිතා ච ඵන්‍දිතා ච”[11] යි. එබැවින් අනුබන්‍ධනයෙන් මෙනෙහි කරන විට ආදි, මධ්‍ය, අවශාන වශයෙන් මෙනෙහි නො කළ යුතු. එසේ නම් කෙසේ මෙනෙහි කළ යුතු ද ඵුසන වශයෙන් ද ඨපන වශයෙන් ද මෙනෙහි කළ යුතු. ගණන වශයෙන් අනුබන්‍ධන වශයෙන් මෙනෙහි කරන්නා සේ ඵුසන වශයෙන් ඨපන වශයෙන් වෙන වෙන ම මෙනෙහි කිරීමෙක් නැති ආශ්වාස-ප්‍ර‍ශ්වාස ස්පර්‍ශ කළ තැන් ගණන් කරන විට ගණන වශයෙන් ද ඵූසන වශයෙන් ද මෙනෙහි කෙළේ වේ. එහි මැ ගණන් කිරීම් නවත්වා දමෘතියෙන් අනුබන්‍ධනය කරමින් අර්පණා වශයෙන් සිත ඨපනය කළ විට අනුබන්‍ධන වශයෙන් ද, ඵූපන වශයෙන් ද, ඨපන වශයෙන් ද, මෙනෙහි කෙළේ වෙයි. මේ අර්‍ථය පැහැදිලි කරනු සඳහා අටුවායෙහි පඞ්ගුල දොවාරික උපමා ද, පටිසම්භිදායෙහි කකවූපමාව ද දක්වන ලද්දේ ය.

පඞ්ගුලෝපමාව

ක්‍රීඩාකාමි මව්-පුත් දෙ දෙන හෝවිල්ලෙක නැඟැ සිටිති. පිළෙක් හෝවිල්ල පදවයි. හෝවිල්ල වරෙක ඔබ යයි වරෙක මොබ එයි. හේ හෝවිල්ල පදවා හෝවිල්ල බැඳි ටැම් මුල හිඳ ඔබ මොබ යන හෝවිලි පෝරුවේ දොකොණ හා මැද බලයි. ඔහුට එසේ බැලීම සඳහා විශේෂ උත්සාහයෙක් අවශ්‍ය නො වේ. අනායාසයෙන් ම සිද්ධවන බැවිනි එසේ ම මේ යෝගි ද සිහියෙන් උපනිබන්‍ධන ටැම් මුල හිඳැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස හෝවිල්ල මෙහෙයා ඒ නිමිත්ත ම ගෙනැ සිහියෙන් උන්නේ ක්‍ර‍මයෙන් නැඟෙන වැටෙන ආශ්වාස-ප්‍ර‍ශ්වාසයන්ගේ ආදි-මධ්‍ය-අවශානය ස්පර්‍ශය කළ තන්හි ම සිහිය පිහිටුවා බලයි. ඒ බැලීම සඳහා ඔහුට විශේෂ උත්සාහයෙක් නැත.

දෝවාරිකෝපමාව

දොරටුපාලයා නුවර ඇතුළ පිට සිටියවුන් වෙත ගොස් තෝ කවරෙක් ද කොයි සිට ආයෙහි ද, කොයි යන්නේහි ද, තා අත කිමෙක් දැ”යි පරීක්‍ෂා නො කරයි. එසේ පරීක්‍ෂා කිරීම ඔහුට අයත් නො වේ දොරටුව කරා පැමිණි පැමිණියෙන් ම පරීක්‍ෂා කිරීම ය ඔහුට අයත්. එසේ ම මේ යෝගිහට ද ඇතුළ වන් වාත ද බැහැර ගිය වාත ද අරමුණු කිරීම අයත් නො වේ. නාසිකාග්‍ර‍යට වන් වන් වාත අරමුණු කිරීම ම ය අයත්.

කකචොපමාව

කකචූපමාව උපමෙයයෙහි පටන් මෙසේ දත යුතු. කීයේ මැ යි.

“නිමිත්තං අස්සාසපස්සාස - ආනාරම්මණමෙකචිත්තස්ස

අජානතො ච තයො ධම්මෙ - භාවනානූපලබ්භති.

නිමිත්තං අස්සාසපස්සාස - ආනාරම්මණමෙකචිත්තස්ස

අජානතො ච තයො ධම්මෙ - භාවනා උපලබ්භති”[12] යි.

‘උපනිබන්‍ධන නිමිත්ත සංඛ්‍යාත නාසිකාග්‍ර‍ය ද, ආශ්වාස ප්‍ර‍ශ්වාස ද එක සිතට අරමුණු නොවන්නේ ය. ඒ තුන අරමුණු කිරීම වශයෙන් නො දනුත් හොත් භාවනා සිද්ධ නො වන්නේ ය’ මේ චෝදනාව ය. පරිහාර මෙසේ ය.

උපනිබන්‍ධන සංඛ්‍යාත නාසිකාග්‍ර‍ය ද, ආශ්වාස-ප්‍ර‍ශ්වාස ද එක සිතකට අරමුණු නොවන්නේ ය. ඒ තුන අරමුනු කිරීම වශයෙන් දනුත් හොත් භාවනා සිද්ධ නො වන්නේ ය, මේ ගාථා අර්‍ථ යි. එම පැහැදිලි කරති.

කෙසේ මේ ධර්‍ම තුන එක් සිතකට අරමුණු නො වේ ද, කෙසේ අවිදිත නො වේ ද, කෙසේ සිත වික්‍ෂේප නො වේ ද, කෙසේ භාවනා නිෂ්පාදක වූ වීර්‍ය්‍යය පැනේ ද, කෙසේ භාවනානුයෝගය සිද්ධ වේ ද, කෙසේ ලෞකික ලෝකෝත්තර විශේෂයට පැමිණේ ද යන මේ ප්‍ර‍ශ්න කකචෝපමායෙන් ක්‍ර‍මයෙන් විසඳනු ලැබේ.

සම බිමෙක තුබූ රුක් කඳෙකි. වඩුවෙක් එය කියතින් ඉරන්නේ ය. ඉරන කල වඩුවාගේ සිහිය රඳා පවත්නේ කියත් දැති වදිනා තැන ය. ඔබ මොම යන කියත් දැති පිළිබඳ ඔහුගේ මෙනෙහි කිරීමෙක් නැත. එහෙත් ඔහුට ඒ යන-එන කියත් දැති පිළිබඳ දැනීම නැත්තේ නොවේ. හැම කියත් දැති ම එහි ස්පර්‍ශ කරමින් යන-එන බැවිනි. මෙසේ ඒ වඩුවාගේ රුක් කඳ ඉරීමේ වීර්‍ය්‍යය ද පෙනේ. කඳ ඉරීම් ක්‍රියාව ද සිද්ධ වේ. කඳ දෙකඩව යාම ද වෙයි.

සම බිම තුබූ රුක් කඳ මෙහි උපනිබන්‍ධන නිමිත්ත (උපනිබන්‍ධන නිමිත්ත නම් නැහැ අග හෝ මුඛ නිමිත්ත ය.) කියත් දැති මෙනි ආශ්වාස-ප්‍ර‍ශ්වාස ඉරන කල වඩුවාගේ සිහිය කියත් දැති වදිනා තැන රඳා පැවැත්ම මෙනි යෝගිහුගේ සිහිය නැහැ අග හෝ මුව නිමිත්තේ රඳා පැවැත්ම. ඔබ මොම යන කියත් දැති පිළිබඳ මෙනෙහි කිරීමක් නැත්තා මෙනි. ආශ්වාස-ප්‍ර‍ශ්වාස මෙනෙහි නොකිරීම. යන-එන හැම කියත් දැති පිළිබඳ දැනීම ඇත්තා මෙනි යන-එන හැම ආශ්වාස-ප්‍ර‍ශ්වාස පිළිබඳ දැනීම ඇති බව. රුක් කඳ ඉරීමේ වීර්‍ය්‍යය ඇති බව මෙනි කාය-චිත්ත කර්‍මණ්‍ය ඇති බව කඳ ඉරීම් ක්‍රියාව සිද්ධ වීම මෙනි යෝගිහුගේ උපක්ලේශ ප්‍ර‍හාණය හා විතර්‍ක ව්‍යපසම ය. කඳ දෙකඩ වැ යාම මෙනි සංයෝජන ප්‍ර‍හාණය හා අනුශය ව්‍යනතීභාවය.

මෙසේ බලත් උපනිබන්‍ධන - ආශ්වාස - ප්‍ර‍ශ්වාස යන ධර්‍ම තුන එක සිතට අරමුණු වන්නේ නො වේ. එහෙත් මේ ධර්‍ම තුන එක සිතින් නො දන්නේ ද නො වේ. සිත වික්‍ෂේපයට යන්නේ ද නො වේ. ප්‍ර‍ධාන සංඛ්‍යාත වීර්‍ය්‍ය ද පෙනෙයි. භාවනානුයෝගය ද සිද්ධ වේ. ලෞකික - ලෝකෝත්තර විශේෂයට ද පැමිණේ.

“ආනාපාණසතී යස්ස - පරිපුණ්ණා සුභාවිතා

අනුපුබ්බා පරිචිතා - යථා බුද්ධෙන දෙසිතා

සො ඉමං ලොකං පභාසෙති - අබ්භාමුත්තො‘ව චන්‍දිමා.”[13]

‘යමකු විසින් බුදුන් වදාළ පරිදි මේ ආනාපාණසතිය සම්පූර්‍ණයෙන් භාවනා කරන ලද්දේ ද, පිළිවෙළින් පුරුදු කරන ලද්දේ ද හේ මේ ගැබින් නිකුත් පුන්සඳ සේ මේ ලොව ආලෝක කරන්නේ ය.’

මේ ය කකචොපමාව. මෙයින් ගත යුත්තේ ආ-ගිය වශයෙන් ආශ්වාස-ප්‍ර‍ශ්වාස මෙනෙහි නො කිරීම පමණයි.

මෙසේ මේ කර්‍මස්ථානය මෙනෙහි කරත් ම කිසිවකුහට නොබෝ කලෙකින් ප්‍ර‍තිභාග නිමිත්ත උපදනේ ය. අවශේෂ විතර්‍කාදි ධ්‍යානඞ්ගයන්ගෙන් යුක්ත වූ අර්පණා සංඛ්‍යාත ඨපනාව ද සිද්ධ වන්නේ ය. විඩාපත් වූවකු ඇඳෙක හෝ පුටුවෙක හෝ හිඳිනා කල්හි ඇඳ හෝ පුටුව හෝ නැමෙ යි. ශබ්ද කෙරෙයි. ඇතිරිලි රැලි නැගෙයි. විඩාපත් නුවූවකු හිඳිනා කල්හි එසේ නො නැමෙයි. ශබ්ද නො කෙරෙයි. ඇතිරිලි රැලි නො ගැසෙයි. පුළුන් පිරූ සේ ඇඳ පුටු නිශ්චල වැ තිබෙයි. එමෙන් කිසිවකුහට ගණන වශයෙන් මෙනෙහි කරන කාලයෙහි පටන් ඖදාරික ආශ්වාස-ප්‍ර‍ශ්වාස නිරුද්ධවීම් වශයෙන් කාය දරථ සන්සිඳෙයි. එසේ සන්සුන් කල්හි කය ද සිත ද සැහැල්ලු වෙයි. ශරීරය අහසෙහි නැඟී යන ආකාරයට පැමිණෙයි. ඔහුගේ ඖදාරික ආශ්වාස-ප්‍ර‍ශ්වාස නිරුද්ධ කල්හි සිත සූක්‍ෂම වූ ආශ්වාස-ප්‍ර‍ශ්වාස නිමිත්ත අරමුණු කොටැ පවතියි. එ ද නිරුද්ධ කල්හි මතු මතු එයට ද වඩා සියුම් වූ පසු එයට ද වඩා අතිශයයෙන් සියුම් වූ ආශ්වාස-ප්‍ර‍ශ්වාස අරමුණු කොටැ පවතියි. ලොහො හිරටුයෙකින් කස්තලට ගැසූ කල එකවරින් ම සිත මහත් ශබ්දය අරමුණු කොටැ පවතියි. ඒ නිරුද්ධ කල්හි ක්‍ර‍මයෙන් සියුම්-සියුම් ශබ්දය අරමුණු කොටැ පවතියි. මේත් එ බඳු ය යි දත යුතුයි.

අන්‍ය කර්‍මස්ථාන වඩත් - වඩත් මතු - මතු විභූත වේ. මේ වනාහි එසේ නොවේ. මේ වඩත් වඩත් ක්‍ර‍මයෙන් සියුම් වේ. අන්තිමයේ දී ආශ්වාස-ප්‍ර‍ශ්වාස ඇතැ යි යන වැටහීම ද නැති වේ. එසේ වූ කල්හි ඒ යෝගී හුනස්නෙන් නැඟී සම්කඩ ගසා දමා ගෙනැ නො යා යුතු. කුම් කළ යුතු ද, ‘ආචාර්‍ය්‍යයන් විචාරමි’ යි හෝ ‘මගේ කර්‍මස්ථානය නැති විණි’යි සිතා හෝ හුන් තැනින් නො නැඟිය යුතු. ඉරියව් වෙනස් කළහොත් කර්‍මස්ථානය අළුත් අළුත්ම වේ. එ බැවින් හුන් තැනැ ම හිඳැ ගෙනැ පියොවින් පවත්නා දෙය වශයෙන් කර්‍මස්ථානය ඇති බව සිතට එළවා ගත යුතු. (“පූර්‍වයෙන් තමා ඵුසන විසින් සලකන ලද තැන් එළවිය යුතු ය යන අර්‍ථ යි) කර්‍මස්ථානය ඇති බව සිතට එළවා ගන්නා ආකාරය මෙසේ ය. කර්‍මස්ථානය හෙවත් ආශ්වාස-ප්‍ර‍ශ්වාස නො වැටහෙන බව දැනුණු ඒ යෝගී විසින් මේ ආශ්වාස-ප්‍ර‍ශ්වාස ඇත්තේ කොහි ද නැත්තේ කොහි ද ඇත්තේ කාහට ද නැත්තේ කාහට දැයි සැලකිය යුතු ය. එසේ සලකන්නහු විසින් මේ ආශ්වාස-ප්‍ර‍ශ්වාස මව් කුස වසන්නවුන්ට ද දියෙහි ගිලුනුවුන්ට ද, අසංඥීතල වැසියන්ට ද, මළවුන්ට ද, චතුර්‍ථධ්‍යානයට සමවැදුණුවුන්ට ද, රූපි රූප භවසමඞ්ගීන්ට ද, නිරොධසමාපත්තියට සමවැදුනුවුන්ට ද නැත්තේ ය යි දත යුතු ය. එසේ දැනැ තමා ම තමා පිළිවිසිය යුතු. ‘පණ්ඩිතය, තෝ කිම දැන් මව් කුස වසන්නෙහි ද, නැත. දියෙහි ගිලුණෙහි ද, නැත. අසංඥියෙහි ද, නැත. මෙළෙහි ද, නැත. චතුර්‍ථධ්‍යානයට සමවැදුණෙහි ද, නැත. රූපා-රූපභව සමඞ්ගියෙහි ද, නැත. නිරොධ සමාපත්තියට සමවැදුණෙහි ද, නැත. එසේ නම් තට ආශ්වාස-ප්‍ර‍ශ්වාස තිබිය යුතුම ය. නුවණ මඳ බැවින් තට ඇත්තා වූම එය දැනැ ගත නො හැකිය’යි මෙසේ දැනැ ඔහු විසින් පියොවින් පහස්නා තැන වශයෙන් සිත පිහිටුවා මෙනෙහි කළ යුතු ය. මේ ආශ්වාස-ප්‍ර‍ශ්වාස දික් නැහැ ඇත්තවුන්ට නාස් පුටයෙහි ගැටී පවතී. කොට නැහැ ඇත්තවුන්ට උඩු තොල ගැටී පවතී. එ බැවින් ඔහු විසින් මේ නැහැ ගැටෙමින් පවතී ය යි නිමිති එළවිය යුතු යි. “නාහං භික්ඛවෙ මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස ආනාපාණ සතිභාවනං වදාමි”[14] = ‘මහණෙනි! මම නුවණ නැති මුළා සිහි ඇත්තහුට ආනාපාණසතිය නො කියමි’යි බුදුහු වදාළේ මේ අවස්ථාව ගෙනැ ය. කවර කමටහනක් හෝ සම්පාදනය වන්නේ සිහි නුවණ ඇත්තහුට ම ය. මේ හැරැ සෙසු කමටහන් මෙනෙහි කරත්-කරත් ප්‍ර‍කට වන්නේ ය. මේ ආනාපාණය ගරු ය. භාවනාව ද ගරු ය. බුදු-පසේබුදු- බුදු පුත් වූ මහාසත්ත්‍වයන්ට ම මෙනෙහි කිරීමට තැන් ය. මේ ලාමක නො වේ. ලාමකයන් විසින් සෙවුනා ලද්දේ ද නො වේ. මෙනෙහි කළ-කළ තරමින් ශාන්ත වේ. සියුම් වේ. එ බැවින් මෙහි ලා බලවත් වූ ම සිහි නුවණ තිබිය යුතු ය. පට සළු හිදියම් කරන කල සියුම් වූ ම හිදි තිබිය යුතු ය. හිදි විදිනා කටුව එයට ද වඩා සියුම් විය යුතු ය. පටසළුවක් වැනි වූ මේ කමටහන භාවනා කරන කල හිඳි විය යුතු ය. එ බඳු සිහි නුවණින් යුක්ත යෝගී ඒ ආශ්වාස-ප්‍ර‍ශ්වාස පියොවින් පහස්නා තැන විනා අන් තැනෙක නො සෙවිය යුතු ය. සී සානා ගොවි සී සාලා ගොනුන් මුදාපියා ගොදුරට යවා තෙමේ සිහිල් සෙවණේ හිඳැ විශ්‍රාම කරන්නේ ය. ගොන්නු වේගයෙන් ගොස් කැලේ වදිති. ගොවියා නුවණැත්තෙක් නම් උන් නැවත සී සෑමෙහි යොදවනු කැමැති වැ උන්ගේ පියවර පසු ගොස් කැලේ නෑවිදිති. රැහැන් කෙවිටි ගෙනැ කෙළින් ම උන් පැන් බොන තොටට ගොස් එහි හිඳියි. ගොන්නු දහවල් ගොදුරු කා සවස් වන්නා ම පැන් තොටට ගොස් පැන් නා බී ගොඩ නැඟී සිටිති. ගොවි එසේ උන්, උන් දැකැ රැහැනින් බැඳැ කෙවිටින් අණිමින් ගෙනවුත් යළි සී සෑමෙහි යොදව යි. මේ යෝගී භික්‍ෂු විසින් ද පියොවින් පහස්නා තැනැ මිස අන්තැනෙක ආශ්වාස-ප්‍ර‍ශ්වාස නො සෙවිය යුතු. සී රැහැන ද නුවණ කෙවිට ද ගෙනැ පියොවින් පහස්නා තැන ම සිත එළවා මනස්කාරය පැවැත්විය යුතු. එසේ මනස්කාර පවත්වත් ම පැන් තොට ගවයන් මෙන් ආශ්වාස-ප්‍ර‍ශ්වාස නො බෝ කලෙකින් ලැබෙයි. එ විට සී රැහැනින් බැඳැ එහි ම යොදා නුවණ කෙවිටින් විදිමින් පුන පුනා කර්‍මස්ථානයෙහි යෙදිය යුතු. එ සේ යෙදෙන්නා ම නොබෝ කලෙකින් උද්ග්‍ර‍හනිමිති පටිභාග නිමිති වැටහෙන්නේ ය. නිමිති වනාහි සියල්ලවුන්ට ම එක සමාන වැ වැටහෙන්නේ නො වේ. ‘කිසිවකුහට සුව පහස් උපදවමින් හිඹුල් පුලුන් පෙඳ සේ ද, කපු පුළුන් පෙඳ සේ ද, වාතධාරා සේ ද වැටහේ’ යනු සමහර ආචාර්‍ය්‍යවරයන්ගේ මතය. අටුවායෙහි ආ විනිශ්චය මෙසේ ය. කිසිවකුහට මේ නිමිති තරු රූ සේ ද, මිණි ගුලි සේ ද, මුතු ගුළි සේ ද වැටහෙයි. කිසිවකුහට රළ පහස් ඇති වැ කපු ඇට සේ ද, දඬුහර හිදි සේ ද වැටහෙයි. කිසිවකුහට දික් හවඩි හූ සේ ද, මල්දම් සේ ද, දුම්සිලු සේ ද වැටහෙයි. කිසිවකුහට පළල් මකුළු හූ සේ ද, වලා පටල සේ ද, නෙළුම් මල් සේ ද, රිය සක් සේ ද, සඳ මඬුලු - හිරු මඬුලු සේ ද වැටහෙයි.

කුමක් හෙයින් එසේ නානා විධ වැ වැටහේ ද යත් :- සංඥා නානාත්‍වයෙන් එසේ නානාවිධ වැ වැටහෙයි. භික්‍ෂුහු කීප දෙනෙක් එක් තැන් වැ සූත්‍රාන්තයක් හදාරා හිඳිති. ඔවුන් අතුරෙන් එක් නමෙක් ‘මේ තොපට කෙබඳු වැ වැටහුණේ දැ යි’ විචාරයි. ‘පර්‍වතයෙකින් ගලා බස්නා මහත් ගඟක් මෙන් මට වැටහුණේ ය’ යි හේ කියයි. අනෙකක් ‘මට එය වනරාජියක් මෙන් වැටහුණේ ය’යි ද අනෙකෙක් ‘සිහිල් සෙවණ ඇති අතුපතරින් රැඳි පලබරින් නැමුණු තුරක් මෙන් වැටහුණේ ය’යි ද කියයි. එක ම සූත්‍රාන්තය ඔවුනොවුන්ට තමන්ගේ ප්‍ර‍ඥානානාත්‍වයෙන් නානාවිධ වැ වැටහෙයි. එ පරිද්දෙන් එක ම කර්‍මස්ථානය ඔවුනොවුන් ගේ සංඥා නානාත්‍වයෙන් නානාවිධ වැ වැටහෙයි. මේ නිමිත්ත සංඥායෙන් උපදින්නේ ය. එය සංඥාව නිමිති කොටැ ඇත්තේ ය. සංඥාව ම ප්‍ර‍භව කොට ඇත්තේ ය. මෙසේ සංඥා නානාත්‍වයෙන් නානාවිධ වැ වැටහේ යයි දත යුතු.

මෙහි වනාහි ආශ්වාස අරමුණු කොටැ සිත අනෙකෙකි. ප්‍ර‍ශ්වාස අරමුණු කොට ඇති සිත අනෙකෙකි. නිමිත්ත අරමුණු කොට ඇති සිත අනෙකෙකි. මේ ධර්‍ම තුන නැත්තහුගේ කර්‍මස්ථානය අර්‍පණොපචාරයන්ට නො පැමිණේ. ඇත්තහුගේ ම අර්‍පණොපචාරයට පැමිණේ. කීයේ මැ යි :-

“නිමිත්තං අස්සාසපස්සාසා - අනාරම්මණමෙකචිත්තස්ස

අජානතො ව තයො ධම්මෙ - භාවනා නූපලබ්භති

“නිමිත්තං අස්සාසපස්සාසා - අනාරම්මණමෙක චිත්තස්ස

ජානතො ව තයො ධම්මෙ - භාවනා උපලබ්භති”[15] යි.

අර්‍ථ යට කියන ලද මැයි.

මෙසේ නිමිති ලත් යෝගී විසින් ආචාර්‍ය්‍යයන් කරා එළඹැ “මට මෙ බඳු නිමිත්තයෙක් පෙනේ”ය යි කිය යුතු. ආචාර්‍ය්‍යයන් විසින් ද, මේ නිමිත්ත යයි කියා හෝ නො නිමිත්තය”යි කියා හෝ නො කියා “ඇවැත්නි! එ බන්දෙක් වන්නේ ය”යි කියා ‘නැවත නැවත මෙනෙහි කරව”යි කිය යුතු. නිමිත්තය යි කීයේ නම් එයින් ම අවසානයට පැමිණෙන්නේ ය. (“උපදනුවට දුෂ්කර වූ නිමිත්ත ලබන ලද. එ බැවින් යම් යම් කලෙක විශේෂය උපදවමි යි සංකෝචයට පැමිණේ”) නිමිත්ත නො වේ ය යි කීයේ නම් එයින් ම ආසා කඩ වැ පසු බැසීමට පැමිණෙන්නේ ය. (“මෙ තෙක් කල් භාවනායෙහි යෙදෙනුවහට නිමිති පමණෙක් පවා නො උපන. විශේෂ ලාභයට අභව්‍ය වෙමි යි විෂාදයට පැමිණේ”) මේ දීඝභාණකයන්ගේ මතය යි. මධ්‍යම භාණකයෝ “ඇවැත්නි! මේ නිමිත්ත යි. කමටහන පුන පුනා මෙනෙහි කරව යි කිය යුතුය”යි කියති. මෙ විට ඔහු විසින් නිමිත්තයෙහි ම සිත පිහිටවිය යුතු. මෙ තැන් පටන් ඔහුට අනුබන්‍ධන වශයෙන් ඵුසන වශයෙන් මනස්කාරය හැරැ පියා ඨපන වශයෙන් භාවනාව වන්නේය. කීයේ මැ යි පෞරාණිකයන් විසින් :-

“නිමිතෙත ඨපය චිත්තං - නානාකාරං විභාවයං

ධීරො අස්සාසපස්සාසො - සකං චිත්තං නිබන්‍ධති”[16] යි.

‘ප්‍ර‍තිභාග නිමිත්තයෙහි සිත පිහිටුවමින් ආශ්වාස-ප්‍ර‍ශ්වාසයෙහි නානාකාරය විභාවනා කරමින් නුවණැත්තේ ස්වකීය චිත්තය අර්පණාවට පමුණුවන්නේ ය, යනු එහි අර්‍ථ යි. මෙ සේ ද අර්‍ථ දිය හැකි ය.

‘නුවණැති යෝගී ආශ්වාස - ප්‍ර‍ශ්වාස නානාප්‍ර‍කාරයෙන් ප්‍ර‍කට කරමින් හෙවත් ඖදාරික සන්සිඳුවමින් එහි ලත් ප්‍ර‍තිභාග නිමිත්තෙහි සිත පිහිටුවමින් සිය සිත ක්‍ර‍මයෙන් අර්පණාවට පමුණුවන්නේ ය.’

මෙසේ ප්‍ර‍තිභාග නිමිති ලත් තැන් පටන් ඔහුගේ නීවරණ විෂ්කම්භිත වන්නේ ය. ක්ලේශ සන්සිඳෙන්නේ ය. සිහියට එළඹ සිටින්නේ ය. සිත උපචාර සමාධියෙන් සමාහිත වන්නේ ය. එවිට ඔහු විසින් ඒ නිමිත්ත වර්‍ණ වශයෙන් මෙනෙහි නො කට යුතු ය. ලක්‍ෂණ වශයෙන් ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කට යුතු ය. ක්‍ෂත්‍රිය මභිෂියක් සක්විති දරු ගැබ සේ ද, ගොවියකු හැල්-යව ගැබ සේ ද ආවාසාදි සත් අසප්පාය දුරු කොට එම ආවාසාදි සත් සප්පාය සෙව්මින් සකසා රැක්ක යුතු ය. එසේ රැක නැවත නැවත මෙනෙහි කිරීම් වශයෙන් වඩා දශවිධ අර්පණා කෞශල්‍යය සැපයිය යුතු. වීර්‍ය්‍ය සමත්‍වය යෙදිය යුතු. එසේ උත්සාහ කරත් ම යට පඨවි කසිණයෙහි කීසේ එම නිමිති කොටැ චතුෂ්ක-පඤ්චක ධ්‍යාන උපදින්නේ ය.

චතුෂ්ක-පඤ්චක ධ්‍යාන උපදවා ගත් යෝගී සල්ලක්ඛණ, විවට්ටන වශයෙන් කමටහන් වඩා පාරිශුද්ධියට පැමිණියැටියේ නම් ඒ ධ්‍යානය ම පඤ්ච වශිතායෙන් වශප්‍රාප්ත කොටැ ගෙනැ නාම-රූප ව්‍යවස්ථා කොටැ විදර්‍ශනා වඩන්නේ ය.

කෙසේද යත් :- හේ සමවතින් නැඟී ආශ්වාස-ප්‍ර‍ශ්වාසයන්ගේ සමුදාය කරජකය හා සිතය යි දැනැ ගන්නේ ය. කඹුරු හම සුළ ගන්වන කල්හි සම ද, පුරුෂෝත්සාහය ද නිසා වාතය පවත්නා සේ කය හා සිත නිසා ආශ්වාස-ප්‍ර‍ශ්වාස පවත්නේය යි දත යුතු. ඉක්බිති ආශ්වාස-ප්‍ර‍ශ්වාස හා කය රූපය යි ද, සිත හා තත්සම්ප්‍ර‍යුක්ත ධර්‍ම අරූපය යි ද ව්‍යවස්ථා කරන්නේ ය. මේ මෙහි සංක්‍ෂේපය යි. (විස්තර මතු දිට්ඨිවිසුද්ධි නිර්‍දෙශයෙහි බලනු.) එසේ නාම - රූප ව්‍යවස්ථා කොටැ ඒ නාමරූපයන්ගේ ප්‍ර‍ත්‍යය සොයන්නේ ය. සොයා ඒ ප්‍ර‍ත්‍යය දැනැ තුන් කල්හි ඒ පිළිබඳ පැවැත්මේ සැකය දුරු කරන්නේ යැ. එසේ සැක දුරු කොටැ කලාප සම්මර්‍ශන වශයෙන් තිලකුණු නඟා උදයබ්බයානු පසස්නාවට පූර්‍වභාගයෙහි උපන් ඔභාසාදි දශ විදර්‍ශනෝපක්ලේශයන් දුරු කොටැ උපක්ලේශයෙන් මිදුණු පටිසම්භිදා මාර්‍ගඥානය මාර්‍ගය යි. ව්‍යවස්ථා කොටැ උදය හැරැ පියා භඞ්ගානුපස්සනාවට පැමිණැ නිරතුරු භඞ්ගානුපස්සනායෙන් භය වශයෙන් වැටහී ගිය සියලු සංස්කාරයෙන් කෙරෙහි නිර්‍වෙදයට පැමිණැ එයින් විරාගයට පැමිණැ කෙලෙසුන් කෙරෙන් මිදෙන්නේ පිළිවෙළින් සෝවාන් ආදි සතරමාර්‍ග-ඵලයන්ට පැමිණැ අර්‍හත් ඵලයෙහි සිටැ එකුන්විසි ප්‍ර‍ත්‍යවේක්‍ෂා ඥානයන්ගේ පර්‍ය්‍යයන්ත ගත වැ සදේවක ලෝකයෙහි අග්‍ර‍ දක්‍ෂිණාර්‍භ වන්නේය.

මෙතෙකින් ගණනා ආදි කොටැ ඇති පතිපස්සනා අවසන් කොටැ ඇති ආනාපාණසතිසමාධි භාවනා නිමියේ ය.

ප්‍ර‍ථම චතුෂ්ක වර්‍ණනාව යි.

සෙසු චතුෂ්කත්‍රිකයෙහි වෙන් වෙන් වශයෙන් කිය යුතු කර්‍මස්ථාන භාවනා ක්‍ර‍මයෙක් නැති. ප්‍ර‍ථම චතුෂ්ක වශයෙන් ලැබැ ගත් ධ්‍යාන ඇතියහට වෙදනා-චිත්ත-ධම්මානුපස්සනා වශයෙන් එය ලැබෙන බැවිනි. එ බැවින් ඔවුන් පිළිබඳ අනුපද වර්‍ණනාමාත්‍රයෙක් මෙහි දක්වනු ලැබේ.

ද්විතීය චතුෂ්කය.

1. “පීතිපටිසංවෙදි අසස්සිස්සාමීති සික්ඛති

පීතිපටිසංවෙදි පස්සසිස්සාමීති සික්ඛති

2. සුඛපටිසංවෙදි අස්සසිස්සාමීති සික්ඛති

සුඛපටිසංවෙදි පස්සසිස්සාමීති සික්ඛති

3. චිත්තසඞ්ඛාරපටිසංවෙදි අස්සසිස්සාමීති සික්ඛති

චිත්තසඞ්ඛාරපටිසංවෙදි පස්සසිස්සාමීති සික්ඛති

4. පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති

පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති

1. ප්‍රීතිය දනිමින් - ප්‍ර‍කට කැරැ ගනිමින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. එහි ප්‍රීතිය ප්‍ර‍කට කැරැ ගැනීම ආරම්මණ වශයෙන් ද, අසම්මෝහ වශයෙන් ද යන දෙ ආකාරයෙකින් සිද්ධ වේ. ආරම්මණ වශයෙන් ප්‍රීතිය ප්‍ර‍කට කැරැ ගන්නේ මෙසේ ය. යමෙක් ප්‍රීති සහගත ධ්‍යාන ද්වයට හෙවත් ප්‍ර‍ථම-ද්විතීය ධ්‍යානයන්ට සමවදී ද, හේ සමාපත්ති ක්‍ෂණයෙහි ධ්‍යාන ලැබීමෙන් ආරම්මණ වශයෙන් ප්‍රීතිය දන්නේ - ප්‍ර‍කට කැරැ ගන්නේ වේ. ආරම්මණය ප්‍රීති පටිසංවිදිත බැවිනි. (“යම් සේ සර්‍ප පර්යෙෂණ කරන්නහු විසින් ඒ සර්‍පයා වසන තුඹස දුටු කල්හි සර්‍ප දක්නා ලද ම නම් වේ ද, ගෘහිත නම් වේ ද, මන්ත්‍රාගද බලයෙන් ගන්නට පිළිවන් වන්නේ ද, එසේ ම ප්‍රීතියට ආසන්න වූ ආලම්බනය දත් කල්හි ප්‍රීතිය ද දන්නා ලද ම නම් වේ. ස්වලක්‍ෂණ සාමාන්‍ය ලක්‍ෂණ වශයෙන් ප්‍රීතිය ගන්නට සුව බැවිනි” යනු සන්න යි.)

අසම්මෝහ වශයෙන් ප්‍රීතිය දන්නේ - ප්‍ර‍කට කැරැ ගන්නේ මෙසේ ය:- ප්‍රීතිසහගත ධ්‍යාන ද්වයයට හෙවත් ප්‍ර‍ථම ද්විතීය ධ්‍යානයන්ට සමවැදැ එයින් නැඟී ධ්‍යාන සම්ප්‍ර‍යුක්ත ප්‍රීතිය ක්‍ෂය-ව්‍යය වශයෙන් සම්මර්‍ශනය කෙරේ ද, එ විට විදර්‍ශනා ක්‍ෂණයෙහි ලක්‍ෂණ ප්‍ර‍තිවේධයෙන් අසම්මෝහ වශයෙන් ප්‍රීතිය දන්නේ - ප්‍ර‍කට කැරැ ගන්නේ වේ.

කියන ලද මැ යි:-

පටිසම්භිදායෙහි -

“දීඝං අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති. තාය සතියා තෙන ඤාණෙන සා පීති පටිසංවිදිතා හොති. දීඝං පස්සාසවසෙන -පෙ- රස්ස අස්සාසපස්සාසවසෙන සබ්බකායපටිසංවෙදි අස්සාසපස්සාසවසෙන පස්සම්භයං කායසඞ්ඛාරං අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති. තාය සතියා තෙන ඤාණෙන සා පීති පටිසංවිදිතා හොති. ආවජ්ජනාතො සා පීති පටිසංවිදිතා හොති. ජානතො, පස්සතො, පච්චවෙක්ඛතො, චිත්තං අධිට්ඨාතො, සද්ධාය අධිමුචචතො, විරියං පග්ගණභතො, සති උපට්ඨාපයතො, චිත්තං සමාදහතො, පඤ්ඤාය පජානතො, අභිඤ්ඤය්‍යාං පරිඤ්ඤෙය්‍යං පභාතබ්බං භාවෙතබ්බං සච්ඡිකාතබ්බං සච්ඡිකරොතො, සා පීති පටිසංවිදිතා හොති. එවං සා පීති පටිසංවිදිතා හොති”[17] යි.

‘දීර්‍ඝ කොටැ ආශ්වාස කිරීම් වශයෙන්, ප්‍ර‍ශ්වාස කිරීම් වශයෙන්, ආශ්වාස-ප්‍ර‍ශ්වාස කිරීම් වශයෙන්; භ්‍ර‍ස්ව කොටැ, සබ්බකාය පටිසංවෙදී වැ, කාය සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කිරීම් වශයෙන්, ප්‍ර‍ශ්වාස කිරීම් වශයෙන්, ආශ්වාස-ප්‍ර‍ශ්වාස කිරීම් වශයෙන් චිතේතකාග්‍ර‍තා සංඛ්‍යාත අවික්‍ෂෙපය දක්නාහට සිහිය එළඹ සිටියේ වෙයි. ඒ සිහියෙන් ඒ ඥානයෙන් ප්‍රීතිය ප්‍ර‍කට කොටැ දන්නේ වෙයි. ආවර්‍ජනය කරන්නාහට, විදර්‍ශනාඥානයෙන් තිලකුණු ආරෝපණය කොටැ දන්නාහට, දක්නාහට, ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන්නාහට ප්‍රීතියෙහි විදර්‍ශනා චිත්තය පිහිටුවන්නාහට, ශ්‍ර‍ද්ධායෙන් අදහන්නාහට, වීර්‍ය්‍යය හුවන්නාහට, සිහිය එළවන්නාහට, සිත එකඟකරන්නාහට, විදර්‍ශනා ඥානයෙන් මනාව දක්නාහට අභිඥෙය-පරිඥෙය-ප්‍ර‍භාතව්‍ය-භාවිතව්‍ය-සාක්‍ෂාත් කරණිය, සාක්‍ෂාත් කරන්නාහට සිහිය එළඹ සිටියේ වෙයි. ඒ සිහියෙන් ඒ ඥානයෙන් ඒ ප්‍රීතිය ප්‍ර‍කට කොට දන්නේ වෙයි. මෙසේ ඒ යෝගී ප්‍රීතිය ප්‍ර‍කට කොටැ දන්නේ නම් වෙයි’ යනු එහි සංක්‍ෂිප්ත අර්‍ථ යි.

මේ ක්‍ර‍මයෙන් සෙස්ස ද අර්‍ථ වශයෙන් දත යුතු යි. විශේෂ පමණක් මතු දක්වනු ලැබේ.

2-3 ප්‍ර‍ථම-ද්විතීය-තෘතීය ධ්‍යානයන්ගේ වශයෙන් සුඛපටිසංවෙදි බව ද, චතුර් ධ්‍යානයන්ගේ වශයෙන් චිත්ත සංඛාර පටිසංවෙදි බව ද දත යුතු. මෙහි චිත්තසංඛාර නම් වෙදනා ස්කන්‍ධය හා සංඥාස්කන්‍ධයි. පටිසම්භිදායෙහි වනාහි සුඛ පටිසංවෙද යන පදයෙහි විදර්‍ශනා භූමි දක්වනු සඳහා “සුඛං ති ද්‍වෙ සුඛානි කායිකං ච සුඛං චෙතසිකං ච”[18] යි වදාළේ යි.

4. “පස්සම්භයං චිත්තසඞ්ඛාරාං” ඖදාරික ඖදාරික චිත්ත-සංස්කාර සංසිඳුවන්නේ නිරුද්ධ කරන්නේ යනු අර්‍ථ යි. එහි විස්තර යට සංස්කාරයෙහි කී පරිදි දත යුතු.

තවද මේ චතුෂ්කයෙහි “පීතිපටිසංවෙදි” යන පදයෙහි ප්‍රීති ශීර්‍ෂයෙන් වේදනාව කියන ලද්දේ ය. “සුඛපටිසංවෙදි” යන පදයෙහි ස්වරූපයෙන් ම වේදනාව කියන ලද්දේ ය. සෙසු චිත්තසංඛාර දෙ පදයෙහි “සඤ්ඤා ච වෙදනා ච චෙතසිකා එතෙ ධම්මා චිත්තපටිබද්ධා චිත්තසඞ්ඛාරා” යි කී හෙයින් සංඥා සම්ප්‍ර‍යුක්ත වූ වේදනාව කියන ලද්දේ ය. මෙසේ වේදනානු පස්සනා වශයෙන් මේ චතුෂ්කය වදාළ බැව් දත යුතු යි.

තෘතීය චතුෂ්කය

1. චිත්තපටිසංවෙදි අස්සසිස්සාමීති සික්ඛති

” පස්සසිස්සාමීති ”

2. අභිප්පමොදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති

” පස්සසිස්සාමීති ”

3. සමාදහං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති

” පස්සසිස්සාමීති ”

4. විමොචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති

” පස්සසිස්සාමීති ”

1. මෙහි චිත්තපටිසංවේදිතාව හෙවත් සිත මොනවට දන්නා බව සතර වැදෑරුම් ධ්‍යාන සිත් වශයෙන් දත යුතු.

2. සිත අභිප්‍රමෝද කරමින් හෙවත් ධ්‍යාන සම්ප්‍ර‍යුක්ත චිත්තය තත් සම්ප්‍ර‍යුක්ත ප්‍රීති සමේබාධ්‍යාඞ්ග වූ ධ්‍යාන ප්‍රීතියෙන් සතුටු කරමින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. මෙහි අභිප්‍රමෝද කිරීම සමාධි වශයෙන් ද, විදර්‍ශනා වශයෙන් ද යන දෙ ආකාරයෙකින් වේ. ප්‍රීතිසහගත ධ්‍යානද්වයට සමවැද ඒ සමවන් ඇසිල්ලෙහි තත් සම්ප්‍ර‍යුක්ත ප්‍රීතියෙන් සිත සතුටු කරන්නේ ධ්‍යාන වශයෙන් සිත අභිප්‍රමෝද කරන්නේ වේ. ප්‍රීතිසහගත ධ්‍යානද්වයට සමවැද එයින් නැඟී ධ්‍යාන සම්ප්‍ර‍යුක්ත ප්‍රීතිය ක්‍ෂය-ව්‍යය වශයෙන් සම්මර්‍ශනය කරන්නේ විදර්‍ශනා වශයෙන් චිත්තය අභිප්‍රමෝදය කරන්නේ වේ. මෙසේ දෙ ආකාරයෙන් සිත අභිප්‍රමෝදය කරමින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරමියි හික්මෙන්නේය යි කී සේ ය.

3. ප්‍ර‍ථම ධ්‍යානාදි වශයෙන් සිත අරමුණෙහි සම කොටැ පිහිටුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. මේ සමාධි වශයෙනි. (යම් සේ මඳකුදු ලීන පක්‍ෂයට - ඖධත්‍ය පක්‍ෂයට නො ගොස් අවනත උන්නත නො වැ ඉන්‍ද්‍රියයන්ගේ සමත්‍වයට පැමිණීමෙන් විසම නො වේ ද, එසේ සම කොටැ තබන්නේ, සමාධිහුගේ හෝ උත්කර්‍ෂයට යාමෙන් අචල බවට පැමිණි හෙයින් මනා කොට සිටියේ ද, එසේ අර්පනා වශයෙන් තබන්නේ යන අර්‍ථ යි” යනු සන්නයි) නොහොත් ප්‍ර‍ථම ධ්‍යානාදියට සමවැද එයින් නැඟී ධ්‍යාන සම්ප්‍ර‍යුධ්ත චිත්තය ක්‍ෂය ව්‍යය වශයෙන් බලත් ම විදර්‍ශනා ක්‍ෂණයෙහි අනිත්‍යාදි ලක්‍ෂණ ප්‍ර‍තිවේධ වශයෙන් සම ක්‍ෂණික චිත්තකාග්‍ර‍තාවෙක් උපදී ද ඒ වශයෙන් සිත අරමුණෙහි සම කොටැ පිහිටුවමින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. මේ විදර්‍ශනා වශයෙනි. (ක්‍ෂණික සමාධිය ද අරමුණෙහි නිරන්තරයෙන් ඒකාකාරයෙන් පවත්නේ ප්‍ර‍තිපක්‍ෂයන් විසින් අනභිභූත බැවින් අර්පිතයක්හු මෙන් සිත්හු නිශ්චල කොටැ සිටුවා” යනු සන්නයි.)

4. ප්‍ර‍ථම ධ්‍යානයෙන් නීවරණ කෙරෙන් සිත මුදමින්, ද්විතීය ධ්‍යානයෙන් විතර්‍ක-විචාර කෙරෙන් සිත මුදමින්, තෘතීය ධ්‍යානයෙන් ප්‍රීතිය කෙරෙන් සිත මුදමින්, චතුර්‍ථ ධ්‍යානයෙන් සුඛ-දුඃඛ කෙරෙන් සිත මුදමින්, ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. (මේ සමාධි වශයෙනි) නොහොත් ඒ ප්‍ර‍ථම ධ්‍යානයන්ට සමවැද එයින් නැඟී ධ්‍යාන සම්ප්‍ර‍යුක්ත චිත්තය ක්‍ෂය-ව්‍යය වශයෙන් සම්මර්‍ශනය කරයි. එසේ සම්මර්‍ශනය කරන යෝගී විදර්‍ශනාක්‍ෂණයෙහි අනිච්චානුපස්සනායෙන් නිත්‍ය සංඥායෙන් ද, දුක්ඛානුපස්සනායෙන් සුඛ සංඥායෙන් ද, අනත්තානුපස්සනායෙන් ආත්ම සංඥායෙන් ද, නිබ්බිදානුපස්සනායෙන් නන්‍දියෙන් ද, විරාගානුපස්සනායෙන් රාගයෙන් ද, නිරෝධානුපස්සනායෙන් සමුදයයෙන් ද, පටිනිස්සග්ගානුපස්සනායෙන් ආදානයෙන් ද සිත මුදමින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නේ ය. “විමොචයං චිත්තං අස්සසිස්සාමි පස්සසිස්සාමීති සික්ඛති” යි. එ හෙයින් වදාළේ ය. මෙසේ හෙයින් චිත්තානුපස්සනා වශයෙන් මේ චතුෂ්කය වදාරන ලද්දේ යයි දත යුතු යි.

චතුර්‍ථ චතුෂ්කය

1. “අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති

” පස්සසිස්සාමීති සික්ඛති

2. “විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති

” පස්සසිස්සාමීති සික්ඛති

3. “නිරොධානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති

” පස්සසිස්සාමීති සික්ඛති

4. “පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති

” පස්සසිස්සාමීති සික්ඛති

1. අනිත්‍යය යි දක්මින් ආශ්වාස කරන්නෙමි, ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. මෙහි ලා අනිත්‍ය කිම? අනිත්‍යතාව කිම? අනිත්‍යය යි දැක්ම කිම? අනිත්‍යය යි දක්නේ කවරේ ද, යනු දත යුතු. එහි අනිත්‍ය නම් පඤ්චස්කන්‍ධ යි. කුමක් හෙයින් ද උත්පාද, ව්‍යය, අන්‍යථාත්‍ව යන මෙයින් යුක්ත බැවිනි. (“එහි ප්‍ර‍ත්‍යයසමුත්පන්න ධර්‍මයන්ගේ හේතු ප්‍ර‍ත්‍යයෙන් උත්පත්තිය - අහුත්‍වා සම්භවය - ආත්මලාභය උත්පාද නම. උත්පන්න වූ ඒ ධර්‍මයන්ගේ නිරෝධය විනාශය ව්‍යය නම. ජරායෙන් අන්‍යථාභාවය අන්‍යථාත්‍ව නමි. යම් සේ උත්පාදාවස්ථායෙන් භින්න වූ භඞ්ගාවස්ථායෙහි වස්තුභේදය නැද්ද, එසේ ම ස්ථිති සංඛ්‍යාත වූ භඞ්ගාභිමුඛාවස්ථායෙහි දු වස්තු භේදය නැති. එහි ජරා ව්‍යවහාරය වෙයි දන්නේ” යනු සන්නයි.) අනිත්‍යතා නම් ඒ පඤ්චස්කන්‍ධයන් ගේ ම උත්පාද ව්‍යය අන්‍යථාත්‍වය යි. (“යම් ලක්‍ෂණයන් තුන් දෙනෙකුන්ගේ සද්භාවයෙන් ස්කන්‍ධයන් කෙරෙහි අනිත්‍ය සංඥාව වේ ද ඒ ලක්‍ෂණත්‍ර‍ය අනිත්‍ය නම් වේ” යනු සන්නයි.) ඉපිදැ නැතිවීම, උපන් දේ ඒ උපන් ආකාරයෙන් නො තිබී ක්‍ෂණ භඞ්ගයෙන් බිඳී යාම අනිත්‍යතාව යැ යි සේ යි. අනිත්‍යය යි දැක්ම නම් ඒ ක්‍ෂණභඞ්ග සංඛ්‍යාත අනිත්‍යතාවගේ වශයෙන් රූපාදි ධර්‍මයන් කෙරෙහි අනිත්‍යය යි බැලීම යි. අනිත්‍යය යි දක්නේ නම් එසේ බලන යෝගාවචර යි. මෙසේ අනිත්‍යය යි දක්මින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නේ “අනිච්චානුපස්සී අස්සසිස්සාමි පස්සසිස්සාමිති සික්ඛති” යි වේ.

2. විරාගය දක්මින් ආශ්වාස කරන්නෙමි, ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. මෙහි ලා ක්‍ෂය විරාගය, අත්‍යන්ත විරාගය යි විරාග ද්විවිධ ය. ක්‍ෂය විරාග නම් සංස්කාරයන්ගේ ක්‍ෂණ භඞ්ගය. අත්‍යන්ත විරාග නම් නිර්‍වාණ ය. විරාගානුපස්සනා නම් ඒ ක්‍ෂය විරාග, අත්‍යන්ත විරාග වශයෙන් පැවැති විදර්‍ශනාව හා මාර්‍ගය යි. ඒ දෙ වැදෑරුම් අනුපස්සනායෙන් යුක්ත වැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නේ “විරාගානුපස්සී-පෙ-සික්ඛති” යි වේ. (ක්‍ෂය විරාගානුපස්සනා වශයෙන් විදර්‍ශනාවගේ ද අත්‍යන්ත විරාගානුපස්සනා වශයෙන් මාර්‍ගයාගේ ද ප්‍ර‍වෘත්තිය යෙදිය යුතු” යනු සන්නයි.)

3. නිරෝධය දක්මින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. මෙහි අර්‍ථ විරාගානුපස්සනායෙහි මෙනි. (ක්‍ෂය නිරෝධ, අත්‍යන්ත නිරෝධය යි නිරෝධ ද්විවිධ ය. ක්‍ෂය නිරෝධ නම් සංස්කාරයන්ගේ ක්‍ෂණ භඞ්ගය. අත්‍යන්ත නිරෝධ නම් නිර්‍වාණය. ක්‍ෂය නිරෝධයෙන් විදර්‍ශනාව ද අත්‍යන්ත නිරෝධයෙන් මාර්‍ග ද කීය.

4. පටිනිස්සග්ගය දක්මින් ආශ්වාස කරන්නෙමි ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. පටිනිස්සග්ග වනාහි පරිච්චාග පටිනිස්සග්ග, පක්ඛන්‍දන පටිනිස්සග්ගය යි දෙ වැදෑරුම් වේ. ඒ දෙ වැදෑරුම් පටිනිස්සග්ග අනු වැ බැලීම පටිනිස්සග්ගානුපස්සනාය. පටිනිස්සග්ගානුපස්සනා යනු විදර්‍ශනාවට හා මාර්‍ගයට නම් බව දත යුතු. එහි විදර්‍ශනාව ද පරිච්චාග පටිනිස්සග්ගානුපස්සනා හා පක්ඛන්‍දන පටිනිස්සග්ගානුපස්සනා වේ.

ඒ මෙසේ ය :- තදඞ්ග ප්‍ර‍හාණ වශයෙන් ස්කන්‍ධාහිසංස්කාරයන් සමග කෙලෙස් දුරු කරන විට විදර්‍ශනාව පරිච්චාග පටිනිස්සග්ගානුපස්සනා වේ. (අනිත්‍යානුදර්‍ශනා තොමෝ තදඞ්ග ප්‍ර‍හාණ වශයෙන් නිත්‍ය සංඥාව දුරු කරන්නී නිත්‍ය ග්‍ර‍හණ වශයෙන් ප්‍ර‍වෘත්ත ක්ලේශයන් හා තන්මූලක අභිසංස්කාරයනු දු තදුහය මූලක වූ අනාගතයෙහි උපදනා විපාක ස්කන්‍ධයන් ද දුරු කෙරේ. දුඃඛ සංඥාදිය ද එසේ ම දුරු කෙරේ යනු සන්නයි.) සංස්කාරයන්ගෙ අනිත්‍යාදි දෝෂ දැක්මෙන් එ බඳු දෝෂ නැති නිර්‍වාණයෙහි නිම්න භාවයෙන් පැනැ වදින විට විදර්‍ශනාව පක්ඛන්‍දන පටිනිස්සග්ගානුපස්සනා වේ. මාර්‍ගය ද පරිච්චාගපටිනිස්සග්ගානුපස්සනා හා පක්ඛන්‍දන පටිනිස්සග්ගානුපස්සනා වේ.

ඒ මෙසේ ය :- සමුච්ඡේද ප්‍ර‍හාණ වශයෙන් ස්කන්‍ධාභිසංස්කාරයන් සමග කෙලෙස් දුරු කරන විට මාර්‍ගය පරිච්චාග පටිනිස්සග්ගානුපස්සනා වේ. (“මාර්‍ගයෙන් ක්ලේශයන් පරිත්‍යාග කරන කල්හි විපාක ධර්‍මතාපාදනයෙන් අභිසංස්කාරයෝ ද, අනුත්පත්තියට අර්‍හ බැවින් තන්මූලක වූ විපාක ස්කන්‍ධයෝ ද පරිත්‍යක්ත නම් වෙත්” යනු සන්න යි.) අරමුණු කිරීම් වශයෙන් නිර්‍වාණයෙහි පැනැ වදින විට මාර්‍ගය පක්ඛන්‍දන පටිනිස්සග්ගානුපස්සනා වේ. විදර්‍ශනා මාර්‍ග සංඛ්‍යාත මේ පටිනිස්සග්ගය අනුපස්සනා වන්නේ පූර්‍ව-පූර්‍ව ඥානයට අනු වැ බලන බැවිනි. (මාර්‍ගඥානය ද, ගොත්‍ර‍භුඥානයට පසු වැ නිර්‍වාණ දර්‍ශනය කරන හෙයින් අනුපස්සනා නම් හගනේ” යනු සන්න යි.) පටිනිස්සග්ග නම් හැරැ පීම යි. දුරු කිරීම වශයෙන් ම හැරැපීම ය, පැනැ අරමුණු වශයෙන් අල්ලා ගැනීමෙන් හැරැ පීම යයි ඒ හැරැ පීම දෙ වැදෑරුම් බව කී නියා දත යුතු. මෙයින් විදර්‍ශනා ඥාන හා මාර්‍ග ඥාන ගැනේ.) ඒ දෙවැදෑරුම් හැරැ පීමෙන් යුක්ත වැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරමි යි හික්මෙන්නේ “පටිනිස්සග්ගානුපස්සි අස්සසිස්සාමි පස්සසිස්සාමීති සික්ඛති” යි කීයේ වේ.

මේ සතර වන චතුෂ්කය ශුද්ධ විදර්‍ශනා වශයෙන් ද - මුල් චතුෂ්ක තුන සමථ-විදර්‍ශනා වශයෙන් ද වදාළ බැව් දත යුතු.

චතුෂ්ක වශයෙන් ෂෝඩශ වස්තුක ආනාපාණසති

භාවනා නය නිමියේ යි.

  1. ස:නි: ආනාපාණසං: 1004 ↑

  2. ම:නි: මූලපණ්ණාසක: 68 ↑

  3. ස: පකාසිනී ආනාපාණසති කථාය 336 ↑

  4. ස: පකාසිනී ආනාපාණස: වණ්ණනා 336 ↑

  5. පටි. ම: ආනාපාණසතිකථා 174 බුරුම ↑

  6. පටි: ම: ආනාපාණසතිකථා 165 (බුරුම) ↑

  7. පටි: ම: ආනාපාණසතිකථා 165 (බුරුම) ↑

  8. පටි: ම: ආනාපාණසතිථා 175 බුරුම ↑

  9. ස: පකාසිනී ආනා: වණ්ණනා 338 ↑

  10. ස: පකාසිනී ආනාපාණ වණ්ණනා 340 ↑

  11. පටි. ම: ආනාපාණසතිකථා 165 (බුරුම) ↑

  12. පටි. ම: ආනාපාණසතිකථා 169 (බුරුම) ↑

  13. පටි. ම: ආනාපාණසතිකථා 166 (බුරුම) ↑

  14. සං:නි: ආනාපාණ සං: 1015 ↑

  15. පටි: ම: ආනාපාණසතිකථා 169 (බුරුම) ↑

  16. ස: පකාසිනී ආනාපාණ: ව: 344 ↑

  17. පටි: ම: ආනාපාණසතිකථා 185 (බුරුම) ↑

  18. පටි. ම: ආනාපාණසතිකථා 186 (බුරුම) ↑