දශවිධ මනස්කාර කෞශල්‍යය

1. අනුපූර්‍ව වශයෙන්

2. නාති ශීඝ්‍ර‍ වශයෙන්

3. නාති සතික වශයෙන්

4. වික්‍ෂෙප දුරුකිරීම් වශයෙන්

5. ප්‍ර‍ඥප්ති ඉක්මීම් වශයෙන්

6. අනුපූර්‍ව මුඤ්චන වශයෙන්

7. අර්පණා වශයෙන්

8. අධිචිත්ත සූත්‍ර‍ වශයෙන්

9. සීතිභාව සූත්‍ර‍ වශයෙන්

10. බොජ්ඣඞ්ග කොසල්ල සූත්‍ර‍ වශයෙන්

1. අනුපූර්‍ව වශයෙන්

මේ කර්‍මස්ථානය පුහුණු කරන්නට ගත් තැන පටන් කේශාදි දෙතිස් කොටස් පිළිවෙළින් මෙනෙහි කළ යුතු ය. එකක් හැරැ එකක් මෙනෙහි නො කළ යුතු ය. පෙති දෙතිසකින් යුත් හිණිමඟෙක නඟින අදක්‍ෂ පුරුෂ එක් එක් පෙත්ත හැරැ හැරැ නඟුත් ක්ලාන්ත වැ වැටෙයි. මත්තට නැඟ ගත නො හැකි වෙයි. එමෙන් එකක් හැරැ එකක් මෙනෙහි කරන යෝගාවචර ද භාවනා සම්පත්ති වශයෙන් ලබා ගත යුතු ආස්වාදය නො ලැබැ සිත ක්ලාන්ත වැ වැටෙයි. භාවනාව සම්පාදනය කර ගත නොහැකි වෙයි. එබැවින් පිළිවෙළින් ම මෙනෙහි කළ යුතු යි.

2. නාති ශීඝ්‍ර‍ වශයෙන්

පිළිවෙළින් මෙනෙහි කරන්නහු විසිනුදු ඉතා ශීඝ්‍ර‍ වශයෙන් මෙනෙහි නො කළ යුතු. තුන් යොදුන් මඟකට පැමිණැ යා යුතු නොයා යුතු තැන් නො සලකා ලහි ලහියේ සිය වරක් හෝ ගමනා ගමනය කරන පුරුෂ හට ද යා යුතු මඟ අවසන් වුවත් යා යුතු නො යා යුතු තැන් විචාරාම යා යුතු වන්නා සේ ශීඝ්‍ර‍ වැ මෙනෙහි කරන්නහුට කර්‍මස්ථානය අවසන් වුවත් විභූත වශයෙන් නො වැටහෙන්නේ ය. විශේෂ ගුණයක් ගෙනැ නො දෙන්නේ ය. එබැවින් අතිශීඝ්‍ර‍ වශයෙන් මෙනෙහි නො කළ යුතු යි.

3. නාති සනික වශයෙන්

ඉතා ශීඝ්‍රයෙන් මෙනෙහි නො කළ යුතු සේ ම ඉතා සෙමෙන් ද මෙනෙහි නො කළ යුතු ය. එක් දවසින් තුන් යොදුන් මඟක් ගෙවා යා යුතු පුරුෂයකු හට අතර මග ගස් ගල්-විල් බලමින් ප්‍ර‍මාද වෙමින් යත් ම දෙතුන් දිනකින් ඒ මඟ ගෙවා යා යුතු වන්නා සේ ඉතා සෙමෙන් මෙනෙහි කරන ලද කර්‍මස්ථානයාගේ අවසානයෙක් නො වන්නේ ය. විශේෂාධිගමකට ප්‍ර‍ත්‍යය ද නො වන්නේ ය.

4. වික්‍ෂේප දුරුකිරීම් වශයෙන්

කර්‍මස්ථානය හැරැ පියා පිටත පුථුත්තාරම්මණයෙහි සිත නෙ හෙලිය යුතු ය. ඒකපදික ප්‍ර‍පාත මාර්‍ගයෙක ගමන් ගත් පුරුෂයා ඇක්මෙන පියා නො සලකා ඔබ මොබ බලමින් යන්නේ පදචාරය වැරදිණි නම් ශතපෞරුෂ ප්‍ර‍පාන්තාතයෙහි හෙන්නා සේ චිත්ත වික්‍ෂේපය ඇති කල කර්‍මස්ථානය පිරිහෙන්නේ ය - නැති වැ යන්නේ ය. එ බැවින් වික්‍ෂේප දුරු කිරීම් වශයෙන් මෙනෙහි කට යුතු යි. (රූපාදීහු නීලාදි විසින් නානා ස්වභාව ඇති හෙයින් පුථුත්තාරම්මණ නම් වෙත්. අශුචිය, පිළිකුලැ යි කේශාදියෙහි පැවතිය යුතු වූ අශුභානුදර්‍ශනාව හැරැ ශුභාදි විසින් ගන්නා ලබන කේශාදීහු බහිද්ධා පුථුත්තාරම්මණ නම් වෙති යි දත යුතු” යනු සන්න යි.)

5. ප්‍ර‍ඥප්ති ඉක්මීම් වශයෙන්

කෙස් ය, ලොම් ය යනාදි වශයෙන් පැවති ප්‍ර‍ඥප්තිය ඉක්මැ පිළිකුල් ය යි සිත තැබිය යුතු යි. ජල දුර්‍ලභ නියං සමයෙහි මිනිස්සු වල්හි ලිඳක් දුටු නම් එහි තලපත් ආදි සලකුණු බැඳ ඒ සලකුණින් අවුත් නහති. පැන් බොති. නිතර එහි ගමනාගමනයෙන් ගමන් මග ප්‍ර‍කට වූ කල ඒ සලකුණින් ප්‍රයොජන නැත. රිසි සේ ඇසිල්ලෙහි අවුත් නහති. පැන් බොති. එමෙන් පූර්‍වභාගයෙහි කෙස් ය, ලොම් ය යනාදි වශයෙන් ප්‍ර‍ඥප්තිය මෙනෙහි කරන කල පිළිකුල් බව ප්‍ර‍කට ය. ඉක්බිති ඒ ප්‍ර‍ඥප්තිය ඉක්මැ පිළිකුල් බැව්හි ම සිත යෙදිය යුතු යි.

6. අනුපූර්‍ව මුඤ්චන වශයෙන්

දෙතිස් කොටස් අතුරෙන් යම් යම් කොටසෙක් නො වැටහේ නම් ඒ නො වැටහෙන කොටස් හැරැ පීමෙන් අනුපූර්‍ව මුඤ්චන වශයෙන් මෙනෙහි කළ යුතු. ඒ කළ යුතු මෙසේ ය.

ආදි කර්මිකයා ‘කේසා’ යි මෙනෙහි කරත් ම මනසිකාරය ගොස් “මුත්තං යන අවශාන කොටසෙහි හැපී සිටින්නේ ය. ‘මුත්තං’ යි මෙනෙහි කරත් ම ‘කේසා’ යන ප්‍ර‍ථම කොටසෙහි හැපී සිටින්නේ ය. මෙසේ මෙනෙහි කරත් කරත් ඔහුට ඇතැම් කොටස් වැටහී සිටියි. ඇතැම් කොටස් නො වැටහී සිටියි. එවිට වැටහෙන කොටස් ගෙනැ එහි භාවනා කටයුතු ය. දෙකක් වැටහෙන කල ඉනි දු වඩා වැටහෙන කොටස් ගෙනැ එම මෙනෙහි කිරීමෙන් අර්පණා උපදවා ගත යුතු යි.

උපමාවෙක් මෙසේ ය :- තල් රුක් දෙතිසක් ඇත් තල් වනයෙකි. එහි වඳුරෙක් වසන්නේ ය. ඌ අල්වාගනු කැමති වැද්දෙක් ඌ ලැගුම් ගෙනැ සිටි මුල් තල් රුකෙහි කොළයට ඊයෙන් විදැ ඔල්වර හඩ නගන්නේ ය. වඳුරා පිළිවෙළින් ඒ ඒ තල් රුකට පැනැ පැනැ ගොස් අවශාන තල් රුකට යන්නේ ය. වැද්දා එහි දු ගොස් පෙර සේ ඊයෙන් විදැ හඩ නගන්නේ ය. එවිට වඳුරා පෙර සේ රුකින් රුකට පැනැ පැනැ ගොස් මුල් තල් රුකට එන්නේ ය. මෙසේ උන් තැනින් උගුළුවනු ලබන්නේ හඩ නැඟු නැඟු තන්හි නැඟිටැ පසු වැ එක් තලකට පැනැ එහි මැද තල් ගොබ් දණ්ඩ අල්වා ගන්නේ ය. විදුනු ලැබුවත් නො නැඟෙන්නේ ය. එහි තල් වනයෙහි දෙතිස් තල් රුක් මෙනි මේ ශරීරයේ දෙතිස් කොටස්, වඳුරා මෙනි සිත, වැද්දා මෙනි යෝගාවචර දෙතිස් තලක් ඇති කල් වනයෙහි වඳුරාගේ විසිම මෙනි දෙතිස් කොටස් ඇති සිරුරෙහි චිත්තයා ගේ අරමුණ වශයෙනි හැසිරීම. වැද්දා මුල් තලෙහි කොළ හීයෙන් විදැ හඬ නැගූ කල වඳුරා තලින් තල පැනැ අවශාන තලට යාම මෙනි යොගී “කේසා”යි මෙනෙහි කරන්නට වන් කළ පිළිවෙළින් ගොස් සිත අවශාන කොටසෙහි හැපී සිටීම. එහි දු හඬ තැලූ කල වඳුරා පෙරලා ඊම මෙනි සිත පෙරලා මුල් කොටසට ඊම. නැවත නැවත උගුළුවනු ලබන වඳුරා ශබ්ද කළ කළ තැනින් නැඟී සිටීම මෙනි නැවත නැවත මෙනෙහි කරත් ම නො වැටහෙන කොටස් හැරැ වැටහෙන කොටස්හි පරිකර්‍ම කිරීම, අවශානයෙහි එක් තලෙක හී ඊ මැද ගොබ් දණ්ඩ අල්වා ගෙනැ විඳිනු ලැබුවත් නො නැගීම මෙනි අවසානයෙහි වැටහෙන කොටස් දෙකක් ඇති තල්හි ඉනි දු එකක් හැරැ වා වැටහෙන කොටස ගෙනැ එම නැවත නැවත මෙනෙහි කොටැ අර්පණා උපදවීම.

තවද උපමාවෙකි

දෙතිස් කුලයක් ඇති ගමෙකි. පිණ්ඩපාතික භික්‍ෂු නමෙක් ඒ ඇසුරු කොටැ වසන්නේය. භික්‍ෂු පිඬු පිණිස යන්නේ ආදි ම ගෙයි භික්‍ෂා දෙකක් ලද නම් ඔබ්බෙහි එක් ගෙයක් හරනේ ය. දෙවන දින භික්‍ෂා තුනක් ලද නම් ඔබ්බෙහි දෙ ගෙයක් හරනේ ය. තෙ වන දින ආදි ගෙයි ම පා පුරා ලද නම් ඔබ්බෙහි නො ගොස් අසුන් හලට වැදැ වළඳන්නේ ය. දෙතිස් කුලයක් ඇති ගම මෙනි ද්වත්තිංසාකාරය. පිණ්ඩපාතික භික්‍ෂු මෙනි යොගී. භික්‍ෂු ඒ ගම නිසා විසුම මෙනි යොගී ද්වත්තිංසාකාරයෙහි පරිකර්‍ම කිරීම. ආදි ම ගෙයි භික්‍ෂා දෙකක් ලැබැ ඔබ්බෙහි එකක් හැරීම ද, දෙවැනි දින භික්‍ෂා තුනක් ලැබැ ඔබ්බෙහි දෙකක් හැරීම ද මෙනි. මෙනෙහි කරත් කරත් නො වැටහෙන කොටස් හැරැ හැරැ වැටහෙන කොටස්හි දෙ කොටස දක්වා පරිකර්‍ම කිරීම. තුන් වැනි දින ආදි ගෙයි ම පා පුරා ලැබැ අසුන් හල හිඳැ වැළඳීම මෙනි ඒ දෙකිනු දු වඩා වැටහෙන්න ගෙනැ එ මැ නැවත නැවත මෙනෙහි කොටැ අර්පණා උපදවීම.

7. අර්පණා වශයෙන්

අර්පණා වන්නේ කොටස් වශයෙනි. කේසාදීන් අතුරෙන් එක් එක් කොටසෙක ම අර්පණා වන්නේය යි කී සේ යි.

8. අධිචිත්ත සූත්‍ර‍ වශයෙන්

“අධිචිත්තමනුයුත්තෙන භික්ඛවෙ භික්ඛුනා තීනි නිමිත්තානි මනසිකාතබ්බාති. කාලෙන කාලං සමාධි නිමිත්තං මනසිකාතබ්බං, කාලෙන කාලං පග්ගහනිමිත්තං මනසිකාතබ්බං, කාලෙන කාලං උපෙක්ඛානිමිත්තං මනසිකාතබ්බං, සචෙ භික්ඛවෙ අධිචිත්තමනුයුත්තො භික්ඛු සමාධිනිමිත්තඤ්ඤෙච මනසිකරෙය්‍ය ඨානං තං චිත්තා කොසජ්ජාය සංවත්තෙය්‍ය. සචෙ භික්ඛවෙ අධීචිත්ත මනුයුත්තොභික්ඛු පග්ගහනිමිත්තඤ්ඤෙච මනසිකරෙය්‍ය ඨානං තං චිත්තං උද්ධච්චාය සංවත්තෙය්‍ය. සචෙ භික්ඛවෙ අධිචිත්තමනුයුත්තො භික්ඛු එකන්තං උපෙක්ඛා නිමිත්තඤ්ඤෙච මනසිකරෙය්‍ය ඨානං තං චිත්තං න සම්මාසමාධියෙය්‍ය ආසවානං ඛයාය.

යතො ච ඛො භික්ඛවෙ අධිචිත්තමනුයුත්තො භික්ඛුකාලෙන කාලං සමාධිනිමිත්තං -පෙ- පග්ගනිමිත්තං -පෙ- උපෙක්ඛානිමිත්තං මනසිකරොති තං හොති චිත්තං මුදු ච, කම්මඤ්ඤං ච, පභස්සරං ච න ච පභඞ්ගු. සම්මා සමාධියති ආසවානං ඛයාය.

සෙය්‍යථාපි භික්ඛවෙ සුවණ්ණකාරො වා සුවණ්ණා කාරන්තෙවාසී වා උක්කං බන්‍ධති, උක්කං බන්‍ධිත්‍වා උක්කා මුඛං ආලිම්පති, උක්කං බන්‍ධිත්‍වා උක්කං මුඛං ආලිම්පති, උඛ්කාමුඛං ආලිම්පත්‍වා සණ්ඩාසෙන ජාතරූපං ගහෙත්‍වා උක්කාමුඛෙ පක්ඛිපිත්‍වා කාලෙන කාලං අභිධමති, කාලෙන කාලං උදකෙන පරිප්ඵොසෙති, කාලෙන කාලං අජ්ඣුපෙක්ඛති, සචෙ භික්ඛවෙ සුවණ්ණා කාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා තං ජාතරූපං එකන්තං අභිධමෙය්‍ය ඨානං තං ජාතරූපං ඩහෙය්‍ය. සචෙ භික්ඛවෙ සුවණ්ණකාරො වා සුවණ්ණාකාරන්තෙවාසී වා තං ජාතරූපං එකන්තං උදකෙන පරිප්ඵොසෙය්‍ය, ඨානං තං ජාතරූපං නිබ්බාසෙය්‍ය, සචෙ භික්ඛවෙ සුවණ්ණාකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා තං ජාතරූපං එකන්තං අජ්ඣුපෙක්ඛෙය්‍ය ඨානං තං ජාතරූපං න සම්මා පරිපාකං ගච්ඡෙය්‍ය. යතො ච ඛො තං ජාතරූපං කාලෙන කාලං අභිධමති, කාලෙන කාලං උදකෙන පරිප්ඵොසෙති, කාලෙන කාලං අජ්ඣුපෙක්ඛති තං හොති ජාතරූපං මුදු ච කම්මඤ්ඤං ච පහස්සරං ච න ච පභඞ්ගු, සම්මා උපෙති කම්මාය, යස්සා යස්සා ච පිලන්‍ධනචිකතියා ආකඞ්ඛති යදි පට්ටිකාය, යදි කුණ්ඩලාය, යදි ගිවෙය්‍යකාය, යදි සුවණ්ණමාලාය තං චස්ස අත්‍ථං අනුභොති.

එවමෙව ඛො භික්ඛවෙ අධිචිත්තමනුයුත්තෙන භික්ඛුනා -පෙ- සම්මා සමාධියති ආසවානං ඛයාය. යස්ස යස්ස ච අභිඤ්ඤා සච්ඡිකරණියස්ස ධම්මස්ස චිත්තං අභිනින්තාමෙති අභිඤ්ඤා සච්ඡිකිරියාය තත්‍ර‍තත්‍රෙව සක්ඛිභත්තං පාපුණාති සති සති ආයතනෙ”[1] යනු අධිචිත්ත සූත්‍ර‍ය යි එහි සංක්‍ෂිපතාර්‍ථ මෙසේ ය.

‘මහණෙනි! සමථ විදර්‍ශනා භාවනාවෙහි යෙදුණු භික්‍ෂු විසින් නිමිති තුනෙක් මෙනෙහි කළ යුතුය. කලින් කල සමාධිනිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල පග්ගහනිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල උපේක්‍ෂා නිමිත්ත මෙනෙහි කළ යුතුය. මහණෙනි! ඉදින් ඒ භික්‍ෂු සමාධි නිමිත්තම මෙනෙහි කෙළේ නම් සිත නො සන්සුන් බවට වැටෙන්නේ ය. උපෙක්‍ෂානිමිත්ත ම මෙනෙහි කළේ නම් සිත ආශ්‍ර‍වක්‍ෂය පිණිස සමාධිමත් නො වන්නේ ය. මහණෙනි! ඉදින් ඒ භික්‍ෂු කලින් කල සමාධිනිමිත්ත - කලින් කල පග්ගහ නිමිත්ත - කලින් කල උපේක්‍ෂානිමිත්ත මෙනෙහි කෙළේ නම් ඔහුගේ ඒ සිත මෘදු ද, කර්‍මණ්‍ය ද, ප්‍ර‍භාස්වර ද වන්නේන ය. නො බිඳෙන සුලු වන්නේ ය. ආශ්‍ර‍වක්‍ෂය පිණිස මොනවට සමාධිමත් වන්නේ යි.

මහණෙනි! රන්කරු හෝ රන්කරු අතවැසි හෝ උදුන සාදා උදුන් මුව ගිනි පත්තු කැරැ අඩුවකින් රත්රන් ගෙනැ එහිලා වරින් වර පිඹින්නේ ය. වරින් වර දිය ඉසින්නේ ය. වරින් වර උපේක්‍ෂක වන්නේ යි. ඉදින් හේ පිම්ඹේ ම නම් රත්රන් පැලහී යන්නේ ය. දිය ම ඉස්සේ නම් නිවී යන්නේ ය. උපේක්‍ෂක ම වූයේ නම් පරිපාකයට නො යන්නේ යි. මහණෙනි! ඉදින් හේ වරින් වර පිම්ඹේ නම් වරින් වර දිය ඉස්සේ නම් වරින් වර උපේක්‍ෂක වූයේ නම් ඒ රත්රන් මෘදු ද, කර්‍මණ්‍ය ද, ප්‍ර‍භාස්වර ද වන්නේ ය. නො බිඳෙන සුලු වන්නේ ය. කර්මාන්ත පිණිස සුදුසු වන්නේ ය. ඉදින් එයින් නළල් පටක් හෝ කුණ්ඩලාභරණයක් හෝ ග්‍රීවාහරණයක් හෝ ස්වර්‍ණමාලාවක් හෝ කරනු කැමති වූයේ නම් එය කළ හැකි වන්නේ ය.

මහණෙනි! එහෙයින් සමථ විදර්‍ශනායෙහි යෙදුණු භික්‍ෂු විසින් -පෙ- ආශ්‍ර‍වක්‍ෂය පිණිස සමාධිමත් වන්නේය. අභිඥායෙන් අවබෝධ කටයුතු යුතු වූ යම් යම් ධර්‍මයක් එසේ අවබෝධ කර ගැන්ම පිණිස සිත නැමිණි නම් පූර්‍ව හේතු ආදි කරුණු ඇති කල්හි එය අවබෝධ කැරැ ගත හැකි වන්නේ ය.

9. සිතිභාව සූත්‍ර‍ වශයෙන්

“ජහි භික්ඛවෙ ධම්මෙහි සමන්තාගතො භික්ඛු හබ්බො අනුත්තරං සීතිභාවං සච්ඡිකාතුං. කතමෙ ජහි? ඉධ භික්ඛවෙ භික්ඛු යස්මිං සමයෙ චිත්තං නිග්ගහෙතබ්බං තස්මිං සමයෙ චිත්තං නිග්ගණ්හාති, යස්මිං සමයෙ චිත්තං පග්ගහෙ තබ්බං තස්මිං සමයෙ චිත්තං පග්ගණ්හාති, යස්මිං සමයෙ චිත්තං සම්පහංසිතබ්බං තස්මිං සමයෙ චිත්තං සම්පහංසෙති, යස්මිං සමයෙ චිත්තං අජඣුපෙක්ඛිතබ්බං තස්මිං සමයෙ චිත්තං අජ්ඣුපෙක්ඛිති, පණිතාධිමුත්තකො ච හොති, නිබ්බාණාභිරතො. ඉමෙහි ඛො භික්කවෙ ජහි ධම්මෙහි සමන්තාගතො භික්ඛු භබ්බො අනුත්තරං සීතිභාවං සච්ඡිකාතුං”[2] යනු සීතිභාව සූත්‍ර‍ය යි. එහි සංක්‍ෂිපතාර්‍ථය මෙසේ ය.

‘මහණෙනි! ධර්‍ම සයෙකින් යුක්ත භික්‍ෂු නිරුත්තර ශීති භාවය-සිහිල් බව - නිර්‍වාණය අවබෝධ කැරැ ගන්නට සමර්‍ථ ය. කවර ධර්‍ම සයෙකින් ද, මහණෙනි! භික්‍ෂු ඉදින් සිතට නිග්‍ර‍හ කටයුතු කල්හි නිග්‍ර‍හ කෙරේ ද, සිතට ප්‍ර‍ග්‍ර‍හ කටයුතු කල්හි උත්සාහ කෙරේ ද, සිත සතුටු කටයුතු කල්හි සතුටු කෙරේ ද සිතට උපේක්‍ෂා කටයුතු කල්හි උපේක්‍ෂා කෙරේ ද, ප්‍ර‍ණිතාධි මුක්තික වේ ද හෙවත් මාර්‍ග ඵලයන්ට නැමුණු සිත් ඇති වේ ද, නිර්‍වාණයෙහි ඇළුණේ වේ ද මහණෙනි! මේ ධර්‍මසයෙන් යුක්ත භික්‍ෂු අනුත්තර ශීතිභාවය අවබොධ කැරැ ගන්නට සමර්‍ථ ය.

10. බොජ්ඣංග කෝසල්ල සූත්‍ර‍ වශයෙන්

බොජ්ඣංග කොසල්ලය වනාහි “එවමෙව ඛො භික්ඛවෙ යස්මිං සමයෙ ලීනං චිත්තං හොති අකාලො තස්මිං සමයෙ පස්සද්ධි සම්බොජ්ඣංගස්ස භාවනාය”[3] යනාදීන් අර්පණා කෞශල්‍ය කථායෙහි දැක්වුණේ ය.

මෙසේ යට දැක්වුණු සප්තවිධ උද්ග්‍ර‍හ කෞශල්‍යය මනා වැ දැනැගෙනැ මේ දශවිධ මනස්කාර කෞශල්‍ය වශයෙන් කර්‍මස්ථානය උගත යුතු ය. ඉදින් උහුට ආචාර්‍ය්‍යවරයාණන් සමග එක වෙහෙර විසීම පහසු නම් විස්තර වශයෙන් කියවා නොගෙනැ කර්‍මස්ථානයෙහි යෙදෙමින් විශේෂ ලැබැ ගනිමින් මතු මතු කියවා ගත යුතු ය. අන් තැනෙකැ වසනු කැමති නම් යට කී සේ විස්තර වශයෙන් කියනා ගෙනැ පුන-පුනා තෙප්ලෙනුදු සිතිනුදු පිරිවහා සියලු ගැට තැන් ශුද්ධ කොටැ ගෙනැ පඨවිකසිණයෙහි කී පරිදි නුසුදුසු සෙනසුන් හැරැපියා සුදුසු සෙනස්නෙක වසමින් කුඩා පළිබොධ ද දුරු කොටැ ගෙනැ ප්‍ර‍තිකුල මනස්කාරයෙහි පරිකර්‍ම කල යුතු යි.

ඔහු විසින් පළමු කොටැ කේශයෙහි නිමිති ගත යුත. කෙසේ ගත යුතු ද එක කෙස් ගසක් හෝ කෙස් ගස් දෙකක් හෝ කඩා අල්ලේ තබා ගෙනැ පළමු කොට එහි වර්‍ණය සැලකිය යුතු. කපා ලු තැනෙක හෝ ජලපාත්‍රයෙක හෝ කැඳ පාත්‍රයෙක හෝ තිබෙන කෙස් බැලුව ද නිස්සරණධ්‍යාශයෙන් බලන බැවින් වරද නැති. කලු පැහැ කල්හි දුටු නම් කලු පැහැය යි ද, සුදු පැහැ කල්හි දුටු නම් සුදු පැහැය යි ද, ඒ දෙකින් මුසු කල්හි දුටු නම් අධිකයේ පැහැ වශයෙන් ද මෙනෙහි කටයුතු. කෙස් මෙන් ම සියලු තච පංචක ඇසින් ම දැකැ නිමිති ගත යුතු. එසේ නිමිති ගෙනැ සියලු කොටස් වර්‍ණ, සණ්ඨාන, දිශා, අවකාශ, පරිච්ඡෙද වශයෙන් ව්‍යවස්ථා කළ යුතු. එසේ ව්‍යවස්ථා කොට ඉක්බිති වර්‍ණ, වණ්ඨාන, ගන්‍ධ, අසය, අවකාස යන පස් ආකාරයෙන් පිළිකුල් බව ව්‍යවස්ථා කළයුතු. ඒ සියලු කොටස් පිළිබඳ පිළිවෙළ කථාව මෙසේ ය.

  1. අ:නි: ඡක්කනිපාත 156

  2. අ:නි: ඡක්ක 611

  3. සං:නි: බොජ්ඣඞ්ගසං 881