සප්තවිධ උද්ග්‍ර‍හ කෞශල්‍යය

1 වචනයෙන්, 2 සිතින් 3. වර්‍ණ වශයෙන්, 4. ඝණ්ඨාන වශයෙන්, 5. දිසා වශයෙන්, 6. අවකාශ වශයෙන්, 7. පරිච්ඡේද වශයෙන් යන සත් ආකාරයෙන් උද්ග්‍ර‍හ කෞශල්‍යය කියා දිය යුතු.

1 වචනයෙන්

මේ ප්‍ර‍තිකුල මනසිකාර කර්‍මස්ථානය ත්‍රිපිටකධරයකු වුව ද මෙනෙහි කරන ලද පළමු කොටැ වාග්භෙද කිරීමෙන් ම හෙවත් වචනයෙන් කීමෙන් ම සජ්ඣායනා කටයුතු. එසේ සජ්ඣායනා කරන කල්හි ම මලය දනව් වැසි මහාදේව තෙරුන් ළඟ කමටහන් ගත් ස්ථවිර දෙනමට මෙන් ඇතැම් කෙනකුන්ට කර්‍මස්ථානය ප්‍ර‍කට වන්නේ ය. මහාදේව තෙරුන්වහන්සේ ඒ දෙදෙනාවහන්සේ කමටහන් ඉල්ලූ කල “සාර මසක් මෙ ය සජ්ඣායනා කරව”යි ද්වත්තිංසාකාර පාළිය කියවූහ. ඒ දෙනො වහන්සේට සඟි දෙකක් තුනක් ප්‍ර‍ගුණ වැ තිබුණේ ය.

ඔව්හු ගෞරවයෙන් කමටහන ගෙන සාර මස සජ්ඣායනා කිරීමෙන් ම සෝවාන් වූහ. එබැවින් කමටහන දෙන ආචාර්‍ය්‍ය විසින් “පළමුකොට මෙය වචනයෙන් කියමින් ම සජ්ඣායනා කරව”යි අතවැස්සාට කිය යුතු ය. අතවැස්සා විසිනුදු තචපඤ්චකාදීය පරිච්ඡේද කොටැ අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් සජ්ඣායනා කටයුතු ය.

“කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ”යි කියා යළි ප්‍ර‍තිලෝම වශයෙන් “තචෝ, දන්තා, නඛා, ලෝමා, කේසා” යි කිය යුතු.

ඉක්බිති වක්ක පඤ්චකයෙහි “මංසං, නහාරූ අට්ඨි අට්ඨිමිඤ්ජා, වක්කං යි කියා ප්‍ර‍තිලෝම වශයෙන් වක්කං, අට්ඨිමිඤ්ජා, අට්ඨි, මංස, තචෝ, දන්තා, නඛා, ලෝමා, කේසා”යි කිය යුතු.

ඉක්බිති පප්ඵාස පඤ්චකයෙහි හදයං, යකනං, කිලොමකං, පිහකං, පප්ඵාසං” යි කියා යළි ප්‍ර‍තිලෝම වශයෙන් පප්ඵාසං, පිහකං, කිලොමකං, යකනං, හදය, වක්කං, අට්ඨිමිඤ්ජා, අට්ඨි, නහරූ, මංසා, තචෝ, දන්තා, නඛා, ලෝමා, කේසා”යි කිය යුතු.

ඉක්බිති මත්‍ථලුඞ්ග පඤ්චකයෙහි අන්තං, අන්තගුණං, උදරියං, කරීසං, මත්‍ථලුඞ්ග”යි කියා යළි ප්‍ර‍තිලෝම වශයෙන් “මත්‍ථලුඞ්ග, කරීසං, උදරියං, අන්තගුණ, අන්තං, පප්ඵාසං, පිහකං, කිලෝමකං, යකනං, හදයං, වක්ක, අට්ඨිමිඤ්ජා, අට්ඨි, නහරූ මංසා, තචෝ, දන්තා, නඛා, ලෝමා, කේසා”යි කිය යුතු.

ඉක්බිති මෙදච්ඡක්කයෙහි “පිත්තං, සෙම්හං පුබ්බො, ලෝහිතං, සෙදො, මෙදො” යි කියා යළි ප්‍ර‍තිලෝම වශයෙන් “මෙදො, සෙදො, ලොහිතං, පුබ්බො, සෙම්හං, පිත්තං, මත්‍ථලුඞ්ග, කරීසං, උදරියං, අන්තගුණ, අන්තං, පප්ඵාසං, පිහකං, කිලෝමකං, යකනං, හදයං, වක්ක, අට්ඨිමිඤ්ජා, අට්ඨි, නහරූ මංසා, තචෝ, දන්තා, නඛා, ලෝමා, කේසා”යි කිය යුතු.

ඉක්බිති මුත්තචඡක්කයෙහි “අස්සු, වසා, ඛෙලො, සිඞ්ඝාණිකා, ලසීකා, මුත්තං” යි කියා යළි ප්‍ර‍තිලෝම වශයෙන් “මුත්තං, ලසිකා, සිඞ්ඝාණිකා, ඛෙලෝ, වසා, අස්සු, මේදො, සෙදො, ලොහිතං, පුබ්බො, සෙම්හං, පිත්තං, මත්‍ථලුඞ්ග, කරීසං, උදරියං, අන්තගුණ, අන්තං, පප්ඵාසං, පිහකං, කිලෝමකං, යකනං, හදයං, වක්ක, අට්ඨිමිඤ්ජා, අට්ඨි, නහරූ මංසා, තචෝ, දන්තා, නඛා, ලෝමා, කේසා”යි කිය යුතු.

(පෘථිවි ධාතු බහුල බැවින් මත්‍ථලුඞ්ග - “කරීසං, මත්‍ථලුඞ්ගං”යි කරීසය අවසන් කොට කීහ. මෙහි වනාහි “මංසං, නහාරූ, අට්ඨි, අට්ඨිමිඤ්ජා, වක්කං, වක්කං, අට්ඨිමිඤ්ජා, අට්ඨිනහාරු, මංසං, තචො, දන්තා, නඛා, ලෝමා, කේසා”යි මෙසේ වක්ක පඤ්චකාදියෙහි අනුලෝම වශයෙන් සජ්ඣාය කියා ප්‍ර‍තිලෝම සජ්ඣාය පුරිමයන් හා සම්බන්‍ධ කොටැ කියන ලද, මෙසේ සජ්ඣාය ක්‍ර‍මය සම්මෝහවිනෝදනියෙහි වෙන වෙන තුන් පඤ්චාහයෙක පුරිමයන් හා එක් කොටැ තුන් පඤ්චාහයෙකැයි පඤ්චාහ ෂට්කයන් සජ්ඣාය කටයුතුයි යමක් කියන ලද ද, ඔහු ආදි අන්ත දක්වන පිණිස කියන පදැ යි දත යුතු. සම්මෝහවිනොදනියෙහි තචපඤ්චකයෙහි යට කී නියමය අනුලෝමයෙන් ම පස් දවසෙක පටිලෝමයෙන් පස් දවසෙක, අනුලෝම පටිලෝමයෙන් පස් දවසෙකැයි අඩමසක් සජ්ඣාය කටයුතු ය. ඉක්බිති ආචාරීන් සමීපයට ගොස් වක්කපඤ්චකය ඉගෙනැ එසේ අඩමසක් සජ්ඣාය කටයුතුය. ඉක්බිත්තෙන් ඒ දස කොටසුන් එක් කොටැ ගෙනැ අඩමසෙක, ඒ විසි කොටසුන් එක් කොට ගෙනැ අඩමසෙක, නැවත පප්ඵාසපඤ්චකාදියෙහි දු එකි එකී පඤ්චකය ඉගෙනැ අඩ අඩමසෙක, ඉක්බිත්තෙන් ඒ පසලොස් කොටසුන් එක් කොටැ ගෙනැ අඩමසෙක, මත්‍ථලුඞ්ගපඤ්චකය අඩමසෙක, ඒ විසි කොටසුන් එක් කොටැ ගෙනැ අඩමසෙක, මෙදච්ඡක්කය අඩමසෙකැ, මුත්තච්ඡක්කය අඩමසෙක ඉක්බිති සියලු දෙතිස් කොටසුන් එක් කොටැ ගෙනැ අඩමසෙකැයි මෙසේ සමසක් සජ්ඣාය කටයුතු ය යි කියන ලද. එහි ආදි වූ අනුලෝම සජ්ඣාය ද, අනුලෝම පටිලෝම සජ්ඣායයෙහි අන්ත වූ පටිලෝම සජ්ඣාය ද මෙහි දක්වන ලදැ යි දත යුතුයි. සජ්ඣාය කාලයෙහි ම කේසාදි කොට්ඨාසයන්ගේ වර්‍ණ නිමිත්තය, පරිච්ඡෙදනිමිත්තය යන මොවුන් තෙප්ලෙන් පැහැර පැහැරැ එකි එකී කොටස්හි මෙ ම වැන්නැ යි තුන් පරිද්දෙන් සජ්ඣාය කටයුතු යි” යනු සන්න යි.)

මෙසේ සියල් කල් දහස් කල් සියදහස් කල් වචනයෙන් කියා කියා සජ්ඣායනා කටයුතු. එයින් කමටහන් පෙළ පුහුණු වෙයි. සිත ඔබ මොම නුදුව යි. කොටස් ප්‍ර‍කට වෙයි. හත්‍ථ සංඛලිකාවක් සේ ද, වතිපාදපන්තියක් සේ ද වැටහෙයි. (හත්‍ථ සංඛාලිකා නම් දෙ අත ඒකමුඛ කොටැ ඔවුනොවුන් හා සම්බන්‍ධ කොටැ තබන ලද ඇඟගි”යි. වතිපාදපන්ති නම් වැටෙහි ඉනි පෙළ යි.)

2. සිතින්

වචනයෙන් සේ ම සිතින් ද සජ්ඣායනා කළ යුතු යි. වචනයෙන් කරන සජ්ඣායනාව සිතින් සජ්ඣායනා කිරීමට ද, සිතින් සජ්ඣායනාව අශුභ ලක්‍ෂණාවබෝධයට ද උපකාර වන්නේ ය.

3. වර්‍ණ වශයෙන්

කේශාදීන්ගේ වර්‍ණය ව්‍යවස්ථා කට යුතු යි.

4. සණ්ඨාන වශයෙන්

කේශාදීන්ගේ සටහන් ව්‍යවස්ථා කට යුතු යි.

5. දිශා වශයෙන්

ශරීරයෙහි නාභියෙන් උඩ උඩදිසා ය. නාභියෙන් යට යට දිසා ය. මේ කේසාදි කොටස් මේ මේ දිශායෙහි යයි දිශා ව්‍යවස්ථා කට යුතු යි.

6. අවකාශ වශයෙන්

මේ කොටස් මේ මේ අවකාශයෙහි යයි අවකාශ ව්‍යවස්ථා කට යුතු යි.

7. පරිච්ඡේද වශයෙන්

සභාගපරිච්ඡේදය, විසභාගපරිච්ඡේදය යි පරිච්ඡේද දෙකෙකි. මේ කේසාදි කොටස් යට හා මතු හා සරස හා මෙ නම් දෙයින් පරිච්ඡින්න යි සභාගපරිච්ඡෙදය ද, මේ කෙස් ය, ලොම් නොවේ, මේ ලොම් ය, කෙස් නොවේ ය යි අමිශ්‍ර‍ වශයෙන් විසභාග පරිච්ඡෙද ය ද දත යුතුයි.

මෙසේ සප්තවිධ උද්ග්‍ර‍හ කෞශලය්‍ය කියා දීලා වැළි මේ කර්‍මස්ථානය අසුවල් සූත්‍රයෙහි පිළිකුල් වශයෙන් වදාළේ ය. අසුවල් සූත්‍රයෙහි ධාතු වශයෙන් වදාළේ යයි කියා දිය යුතු යි. මේ වනාහි සතිපට්ඨාන[1] සූත්‍රයෙහි පිළිකුල් වශයෙන් ද, මහා හත්‍ථිපදොපම[2], මහාරාහුලොවාද[3], ධාතුවිභඞ්ග[4] යන්හි ධාතු වශයෙන් ද වදාරන ලද්දේ ය. කායගතාසති[5] සූත්‍රයෙහි වර්‍ණ වශයෙන් වැටහෙන්නවුන් සඳහා චතුර්ථධ්‍යාන බෙදන ලද්දේ ය. එහි ධාතු වශයෙන් වදාළ කොටස විදර්‍ශනා කර්‍මස්ථාන ය. ප්‍ර‍තිකුල වශයෙන් වදාළ කොටස සමථ කර්‍මස්ථාන ය. මෙහි සමථ කර්‍මස්ථාන මැ යි.

සප්තවිධ උද්ග්‍ර‍හකෞශල්‍ය විධි යි.

මෙසේ උද්ග්‍ර‍හ කෞශල්‍යය කියා දී ඉක්බිති දශවිධමනස්කාර කෞශල්‍යය කියා දිය යුතුයි.

  1. දි:නි: මහාව: 179

  2. ම:නි: මූලපණ්ණාසක 199

  3. ම:නි: මජ්ඣිම ප: 68

  4. ම:නි: උපරිපණ්ණාසක 245

  5. ම:නි: උපරිප: 117